හින්දු දේවකථාවල කාමාශාවන් මුර්තිමත් කෙරෙන දෙවියා අනංගයා ය. පසු කාලයේ දී ඔහුට ‘අනංග’ යන නම ද ව්‍යවහාර වූ බවත්, සිරුරක් නැත්තා යන එහි අර්ථය බවත්, සිංහල විශ්වකෝෂයේ සඳහන්ව ඇත. අනංගයාගේ දුන්න උක් දඬුවකි. සිංහල සාහිත්‍ය ග්‍රන්ථයන්හි අනංගයා නිතර නොයෙක් නම් වලින් අර්ථ දක්වා ඇත. මදය, මදනය, මල්සරය, කුසුම් සරය. ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගගේ මහා සිංහල ශබ්ද කෝෂයේ දැක්වෙන පරිදි අනංගයා යනු සිත්හී රාගික සිතිවිලි උපදවෙතැයි සලකන දෙවියා, කාම දේවයා, ඔල්සරා, කන්දර්යා ය. අනංගයා විසින් විඳිනු ලබතැයි කියන හී පහර පියුම් අසෝක අඹ දෑසමන් නිලුපුල් යන මල් පසය.
අනංගයා ගැන හිටි හැටියේ අපට කීමට සිත් වූයේ මීට වසර 59කට පෙර (1959-1950) ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ (වෙළඳ සේවයෙන්) එවකට සිටි ජනප්‍රිය ගායකයන් දෙදෙනෙකු අනංග වාදයක පැටලී ගී ලොව විකසිත කළ අයුරු එදා තරුණ වියේ සිටි අයට නම් අමුතුවෙන් කිවයුතු නොවේ.
මේ ජනප්‍රිය ගායකයන් දෙදෙනා එච්.ආර්. ජෝතිපාල හා ජේ.ඒ. මිල්ටන් පෙරේරාය. අනංගවාදයට මුල පිරෙන්නේ අහම්බයකිනි. එකල කොළඹ මාලිගාකන්දේ සැලස්කි පෙදෙසේ පිහිටි ‘සීගිරි’ නම් නිවස ගුවන් විදුලි ගායක ගායිකාවන්ට තෝතැන්නකි. එයට හේතුව වූයේ එය ජනප්‍රිය ගීත රචක කරුණාරත්න අබේසේකරයන්ගේ නිවස වීමය. එදා ජෝතිපාල කරු සොයා එහි පැමිණියේ අලුත් ගීතයක් රචනා කර ගැනීමටය. එදා කරු ගෙදර නොසිටියේ ය. කරුගේ බාල සොහොයුරු ගුණරත්න අබේසේකර හා කතාවට වැටුණ ජෝතිපාල කියා ඇත්තේ ‘‘කරු නැති නිසා ගුණේ මේ ගීතය ලියලා දෙන්න ලෙසය. මේ පිළිබඳව ගුණරත්න අබේසේකරයන් 1980 දී පමණ මට ඒ අතීත කතාව කීවේය.
එදා ජෝතිපාල කළේ අපේ ගෙදර කෑම මේසයට තාලයකට තට්ටු කරමින් ගීතයක තාලයක් මුමුණා කරු අයියා එන තුරු බලා හිටිය කරු අයියාගේ පමාවීම නිසා ජෝති මට මෙහෙම කිව්වා.
‘‘ගුණේ මේ තාලෙට එහෙනං වචන ටික දාල දෙන්න.’’
මම ඒ වෙන විට ගීත ලියලා තිබුණේ නෑ. ජෝතිගේ බලවත් ඉල්ලීම නිසා ඔහුගේ තාලයට මම ‘‘රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුණ නමයි - උතුවන් කන්දේ සූර සරදියෙල් මම යි’’ කියලා ඒ ගීතයට වචන ලිව්වා. ගීතය කියලා අවසන් වෙලා මම කොළය ජෝතිට දුන්නා. ජෝති මගේ පදවල් නලවා ලෙළවා ජීවය කවා ගායනා කළා. මේ ගීතය ඒ කාලේ ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය වුණා. අායිත් දවසක ජෝති අපේ ගෙදර ආවා. එදත් කරු අයියා හිටියෙ නෑ. එදත් මට වුණේ අලුත් සින්දුවක් ලියලා දෙන්න. ඒ කාලයේ ජෝතිට තිබුණේ ළයාන්විත හඬක්. ඒ හඬ පෙමින් වෙළුණ තරුණ හදවත්වල කිඳා බැස තිබුණා. ඒ නිසා මට හිතුණා අනංගයා ගැන ගීතයක් ලියන්න. මම ගීතයක් ලියලා ජෝතිට දුන්නා.
‘‘මේක නං මරු ගුණේ. මම මේක පාලට (පී.එල්.ඒ. සෝමපාල නම් සංගීතඥයා) හොඳ ටියුන් එකක් දා ගන්නවා’’ ජෝති කිව්වේ රටක් රාජ්ජයක් ලැබුණා වගේ සතුටකින්.
මම ලිව්ව ගීතය මේ
අනංගයා මං අනංගයා
ආදරේ ප්‍රේමයේ සුරෙලාව තනතුරු දැරූ
අනංගයා මං අනංගයා
රාමා සීතා එක් වුණේ රාධා ක්‍රිෂ්ණ ළං වුණේ
සාලිය කුමරුට අසෝක මාලාවන් හමු වුණේ
මා නිසයි ලෝකයේ හැම යුවලම එක් වුණේ
අර සුරලොවේ මනු ලොවේ කොතැනත් මගෙ බල පෙනේ
අනංගයා මං අනංගයා
තරුණ හඳක් හොයනවා මල් පහ සැර යොදනවා
මේ උක් දඬු දුන්න නමා මල් හී සැර විඳිනවා
කුල බලේ නිල බලේ ධන බලේ පන්නලා
අර අතු පැලේ මාලිගේ පෙම්වතුන් ළං කළා.
අනංගයා මං අනංගයා
පැන දුවන්න ඕනැ නෑ දුක විඳන්න ඕනැ නෑ
මම ජීවත් වනතුරු මේ පෙම් ලෝකය පාළු නෑ
ආදරෙයි ප්‍රේමයයි සුරලොවටම හුරු කළා
අර මල්සර පෙම්බරා මඟුල් සක්වලේ රජා
අනංගයා මං අනංගයා
පසුදා ජෝති ගෙදර ඇවිත් මම අනංගයා ගැන ලිව්ව ගීය කරු අයියාට පෙන්නන කොට මම මගේ කාමරයට ගියා හෙමිහිට
ඒ සමගම මිල්ටන් පෙරේරාත් ආවා. ගුණරත්න අෙබ්සේකර අතීත කතාව හෙළි කළේය.
ගුණරත්න ජෝතිට ලියූ ගීතය කියවා සිනාසෙමින් බලා සිටි කරුණාරත්න ඒ මොහොතේම මිල්ටන්ට පිළිතුරු ගීතයක් ලියා දුන්නේය. කරු ලියූ ගීතය කිය වූ මිල්ටන් මෙසේ කීවේය.
‘‘ගුරු (මිල්ටන් කරුට කතා කළේ ඒ නමිනි) මේක හිට් එකක් වෙනවා කී මිල්ටන් ජෝතිට පෙන්වා ‘‘මචං ජෝති උඹේ සින්දු ජනප්‍රිය වුණාම මේ සින්දුව මම කියන්නම්’’ කීවේය. මිල්ටන් කීවා සේම ජෝතිගේ අනංගයා ගීය ජනප්‍රිය විය. ඒ සමගම කරු මිල්ටන් ලියූ මේ පිළිතුරු ගීතයට සංගීතඥයන් දෙදෙෙනක් එක්ව තනුව නිර්මාණය කිරීම ද තවත් විශේෂයකි. මේ ඒ ගීතයයි. මොහොමඩ් සාලි හා ආර්. මුත්තුසාමියි ඒ.
සුපෙම් ලොවේ කුසුම් සරා මල්සරා
ඔය අනංගයා තමයි මහා පෙම් හොරා
රාජ දරුවො රාජ ඔටුනු අත් හලේ
සාලිය කුමාර රැඳෙව්වෙ රොඩි පැලේ
රාවණ රජ සීතා කුමරි සිර කළේ
වානර හනුමත්තා මැව්වෙ ගිනි මැලේ
කුස නිරිඳා දුක්වින්දේ ඇත්හලේ
අනංගයා නිසයි
කුලය නිලය ධනය සලකලා
වටින තරුණ තරුණියන්ව නැති කළා
වස විස බොන්නේ මිය යන්නේ එල්ලිලා
අනංගයා නිසයි
දෙමව්පියන් වැඩිහිටියන් නොසලකයි
උදේ හවා රෑ යාමේ දහ දුකයි
ඔබ මල් හී සැර විදින දුන්න හරි සැරයි
අනංගයා වසයි
මිල්ටන් පෙරේරා ගැයූ ගීතය ද ජනප්‍රිය වීම නිසා අනංගවාදය ගුවන් විදුලියෙන් ඇසීමට ශ්‍රාවකයෝ උනන්දු වූහ.
‘‘මිල්ටන් කියන ගීතෙට අපි පිළිතුරක් ලියන්න ඕනෑ ගුණේ’’ ජෝති ගුණරත්න සොයා ගොස් කීවේය. ගුණරත්න ලියූ පිළිතුරු ගීතයට තනුව නිර්මාණය කර ගැනීමට ජෝති එවර සොයා ගියේ මොහොමඩ් සාලි හා ආර්. මුත්තුසාමිවය. එකල ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයාව සිටියේ මුත්තුසාමිය. මේ ජෝතිට ගුණරත්න ලියා දුන් පිළිතුරු ගීතයය.
පෙම්වතුන්ට සරණේ අනංගයා මම නේ
පෙම් සටනින් පැරදී දොස් නැගීම වැරදී
පෙමින් වෙළී කාලිදාස මහා කවක් බිහි කළේ
කලාකාමී කවි සිත්වල පෙම් රසයක් මතු කළේ
සංගීතය පෙම් ගීතෙන් පණ ගන්නවා ඔප කළේ
අනංගයා මමයි ලොවේ මහා හපන්කම් කළේ
මහානාද ළඟ ශීලා ජයපාලට මාලනී
ආදරයෙන් එකතු වුණා අතුල සමග රෝහිනී
නැපෝලියන් සීසර් වැනි අයටත් ආලය දැනී
මගේ හී සර පහර ලබා පෙම් ගීයෙන් මත් වුණි
ස්ථිර ආලය නොතකා දෙතුන් දෙනෙක් ගැන අසා
වස බොන්නේ මිය යන්නේ චපල හිතක් ඇති නිසා
කව්රු කොයි ලෙස කීවත් රජා මගුල් සක්වලේ
තරුණ ලොවේ රජදහනේ මම පෙන්වමි මගෙ බලේ
අනංගවාදය උච්චස්ථානයට පැමිණි නිසා ජෝතිටත් මිල්ටන්ටත් ආදරය කළ රසිකයෝ ඔවුන් අමනාප වෙලා යයි සැක කළහ. එසේ ඔවුන් අමනාප වීම අනුමත නොකළ නිසා ඒ ගැන ගුවන් විදුලි බලධරයන්ට පවා ලිපි ලියූහ. එකල තිබූ ජනප්‍රිය චිත්‍රපට සඟරාවලට ද තම අදහස් පළ කොට රසිකයෝ ලිපි යැවූහ. ඒ කෙසේ වෙතත් ජෝති හා මිල්ටන් දිගටම අනංගයාට පක්ෂව හා විපක්ෂව ගී ගැයීම අත්හැර නැත.
ජෝති ගැයූ ‘පෙම්වතුන්ගෙ සරණේ’ ගීතයට පිළිතුරු ගීතය කරු මිල්ටන්ට ලියා දුන්නේය. ඒ ගීතය ද සාලි හා මුත්තුසාමිගේ තනුවක් ලෙස ජනප්‍රිය වූහ.
අනංගයා සරණේ පෙම්වතුන්ගේ මරණේ
තරුණ තරුණියන්ට නොමැති දෙවියනි දෙවියනි රැකවරණේ
බිරිතනියේ කිරුළ අයිති වින්සර් ආදිපාදයා
මල්සරාගෙ හීය වැදී රජ සැප හැර ගියා
දුස්මන්තා කුමරු සමග සකුන්තලා පැටලුනේ
මල් හීයෙන් විදපු නිසයි ඇවිදින කොට ඇය වනේ
කවියත් ගත්කරුවත් ලොව උමතුවෙලා වැළපුණේ
අනංග හී සැරය නිසයි සක් දෙවියන් ගොළු වුණේ
ලයිල මජ්නු පෙම් කතාව හද දෙදරණ පුවතකි
අනංගයා වාසි අතට පගා ගසන මිනිහෙකි
සෙල්ලම් කොට දුන්නෙන් විඳ මුවා වෙලා සැඟවුණා.
මිල්ටන් වැනි මහා කවියන් මල්සරාව රැවටුවා
රෝමියෝ ජුලියට් වාගේ පෙම් බැඳියන් නැති කළේ
මලවි කියන මල්සරාය මැව්වේ දුක් ගිනි ජාලේ
ජෝති හා ඕල්ටන්ගේ අනංග වාදයට ගීත ලියූ කරුණාරත්න හා ගුණරත්න සොහොයුරන් ද අමනාප වී ඇති බව ගුවන් විදුලි අසන්නන් සැක පහළකළහ.
‘‘ගුණේ ඇත්තට කරු එක්ක තරහෙන් ද ඔය අනංගයා ගැන සින්දු ලියන්නෙ. ඔය දෙන්නම මම හොඳටම දන්න නිසා මිනිස්සු මගෙන් අහනවා’’ යැයි වරක් පවුලේ වැඩිහිටි හිතවතෙක් ගුණරත්නගෙන් ඇසීය.
මේ ගැන මම වරක් ගුණරත්න අබේසේකරගෙන් විමසුවෙමි.
ඔය කතාව ඇත්ත. කරු අයියත්, මමත් වගේම ජෝතිත් මිල්ටනුත් අමනාප වෙලා ද කියල බොහෝ දෙනෙක් මගෙන් ඇසුවා. ඒ නිසා කරු අයියා මට කිව්වා ‘‘මල්ලි අපි වාදය නවත්වමු. කට කතා නැති වෙන්නත් එක්ක අපි දෙන්නා ජෝතිටයි මිල්ටන්ටයි යුග ගීතයක් ලියමු. ඔයා ජෝතිගේ කොටස ලියන්න. මම මිල්ටන්ගෙ කොටස ලියන්නම්’’ කියලා. ජෝතිත් මිල්ටනුත් මේකට ඉහළින්ම කැමති වුණා. ගීතයේ තනුව හදල සංගීතවත් කළේ සාලි හා මුත්තුසාමි. මේ ඒ ගීතය.
මිල්ටන්- අපි සන්තෝසෙන් ඉන්නේ
දුක සෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
ජෝතිපාල- එක හැලියේ බත් කන්නේ
එක සෙවනේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
මිල්ටන්- අපගේ හිත්වල නෑ ක්‍රෝධෙ
විහිළුවට විවාදේ
ජෝතිපාල- අනුනට නෑ ඔරවන්නේ
අවහිංසක ලෙස ඉන්නේ
දෙදෙනාම- සැපතේ විපතේ වේවා
එක් වී එකටම ආවා
මිල්ටන් - අයියා මල්ලී වාගේ - අයියා මල්ලී
ජෝතිපාල - සිංහල රජිඳෙකු පෙර දා
මිතුදමේ අගය පාදා
මිල්ටන්-තම හිතවත් කම පෙන්නා
මහ ගිනි මැලයට පැන්නා
දෙදෙනාම - දුක සැප දෙකේම වාසේ
ආඳි බිතු සිතුවම් රූ සේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
මිල්ටන් - හැමදා උපදින වාරේ
හමුවේවා සංසාරේ
ජෝතිපාල - කවදත් එකටයි ඉන්නේ
කිසිවිට නෑ වෙන්වෙන්නේ
දෙදෙනාම- ජීවිතේ මිහිර විඳිමු
ප්‍රීතියෙන් ගීත ගයමු
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අනංගවාදය කෙළවර වූ පසු ජෝතිපාලට ගුණරත්න තවත් ජනප්‍රිය ගීත කිහිපයක් රචනා කළේය’’ මගේ ආදරීට සම්පත සැප සතුට සදන්නම්. ‘‘කිරි ඉතිරේවා නව වසරේ’’ හැන්දෑවේ මං බලා හිටියා’’ (මල්ලිකා ද සිල්වා සමග) මේ ගීත අතර කැපී පෙනෙයි.
‘‘ජෝති සහ මිල්ටන් අතර පැවතියේ ඉතා කුළුපග මිත්‍රත්වයක්. දෙදෙනාම තරගකාරී කේෂත්‍රයක රැඳී සිටීම ඔවුන්ගේ මිතුරුදම රැක ගැනීමට කිසි විටෙකත් බාධාවක් නොවූයේ ඔවුන් දෙදෙනාම එකිනෙකාට ඇළුම් කළ නිසා යැයි මම හොදාකාර දන්නවා. ප්‍රියතම ගායකයා කවුදැයි
වරක් ජෝතිගෙන් ඇසූ ප්‍රශ්නයට ඔහු කියා තිබුණේ තමා ප්‍රියකරන ගායකයා මිල්ටන් පෙරේරා බවයි. මිල්ටන් පෙරේරාගේ ගායන දක්ෂතාව හඳුනාගෙන ඔහුට එය මතුකර ගැනීමට පදනම දැම්මේ ජෝතිපාල බව මිල්ටන් මට කියා තිබෙනවා. ජෝතිපාල හා මිල්ටන්ගේ සමීප මිතුරන් වූයේ ජයසේන ද අල්විස් (ජයනන්ද) හා ෂෙල්ටන් ද ජයසිංහය.
ජෝති හා මිල්ටන් ගැයූ යුග ගීත අනංගවාදය කෙළවර කරමින් ගැයූ ගීතයට අමතරව මේ දෙදෙනා ගැයූ තවත් ගිතයක් කරුණාරත්න අබේසේකර විසින් රචනා කර තිබුණි. මොහොමඩ් සාලි තනුව නිර්මාණය කළේය.
මිල්ටන් - අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ජෝතිපාල - ඔරු පාරුවලයි රෑ එළිවන්නේ
කරුමේ මේ මල්ලියේ
මිල්ටන් - රෑට කෑවම පිටවීලා
මුහුදේ ගොසින් මහා දහවලයේ
ආයේ එන්නේ මහ දහවලේ
වෙහෙසී දුකෙන්
ජෝතිපාල- ලෝකේ මුහුදයි අපේ
මාළු බෑම සැපේ
අපි ලබා උපන් හැටි
මිල්ටන්-ඈත ළඟ පාත දැල දාලා බිලිබානවා
ඒවය විකුණා මුදල් ගන්න
අපි ගේනවා
දෙදෙනාම කන්න මාළුයි බතුයි
ඉන්නේ වෙරළෙහි පැලෙහි
අපි ලබා උපන් හැටි
වරක් මිල්ටන් ‘‘සරසි’ පුවත්පතට මෙසේ කියා තිබුණේ ජෝති එදා සිටි තැන ගැන මම ආඩම්බර වුණා. අපි දෙන්නා ගී මාවතේ ගමන් කළේ සහෝදර සෙනෙහසින් අත්වැල් බැඳගෙන. සියලු මුතුවලට වඩා වටිනා එකමුතුකම ගැන කාටත් පවසමින්’’
තම පියා (තබ්ලා පොඩි අප්පුහාමි) මෙන් දක්ෂ තබ්ලා වාදකයකු වූ මිල්ටන් පෙරේරා තම හද බැඳි මිතුරා වූ ජෝතිපාලගේ ගීත සඳහා තබ්ලා වාදනය කිරීමට තරම් නිහතමානි විය. ජෝතිපාල හා මිල්ටන් චිත්‍රපටයක අවසන් වරට එකට යුග ගීතයක් ගයනු මම දැක ඇත්තෙමි. ස්ථානය කිරුළපන චිත්‍රාගාරයයි. ඒ අසූව දසකයේ මැද භාගයයි. ජෝ මයිකල් අධ්‍යක්ෂණය කිරීමට නියමිතව සිටි ‘‘ධීවර සම්පත’’ චිත්‍රපටයේ ගීත දෙකක් එදා පටිගත කිරීමට තිබුණි.
චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ප්‍රේමදාස අතුකෝරළයි. ගීත රචකයන් වූයේ ජෝර්ජ් ලෙස්ලි රණසිංහ හා සිරිල් ඒ සීලවිමල. මුලින්ම පටිගත වූයේ ජෝති හා මිල්ටන් ගැයූ ගීතයකි. දෙවනුව පටිගත කළේ ජෝති හා දමයන්ති ජයසූරිය ගයන යුග ගීතයකි. ඒ ගීතයත් පටිගත කරන තුරු මිල්ටන් විමසිල්ලෙන් බලා සිටියේය. මද විරාමයක් ලද විගසම මිල්ටන් ශබ්දාගාරයේ දොර ඇරගෙන ජෝති ළඟට ගියේය.
ඔහු ජෝතිගෙ කනට කොඳුරා මෙසේ කීය.
‘‘මචං ජෝති මේකට ඩොලැක් පාරක් ආවා නම් තවත් නැගල යනවා’’
ජෝති එය අනුමත කළ අතර ඔහු සංගීත අධ්‍යක්ෂ අතුකෝරාලට කීවේය.
‘‘ඩොලැක් එකක් නම් හොයා ගත හැකි කවුද ගහන්නෙ’’
‘‘මම ගහන්නම් මාස්ටර්’’ මිල්ටන් කීය.
එදා මිල්ටන් ඒ ගීතය සඳහා වැයූ ඩොලැක් වාදනය ඒ ගීතය ප්‍රාණවත් කළේය.
ඒ මිල්ටන්ගේ හැටිය ජෝතිත් එසේමය.
ජෝති තම ප්‍රියතම ගායකයා මිල්ටන් බව කීමට අමතක නොකළේය. එක් සරසවිය සම්මාන උළෙලක දී 1983 මුල්වරට ජෝතිපාල හොඳම ගායකයා ලෙස සම්මාන ලැබූ පසු මා සමග ඔහු මිල්ටන් ගැන එසේ කීවේය. ජෝතිපාලට පෙර 1966 චිත්‍රපට ගායනය සඳහා ප්‍රියතම ගායකයා ලෙස සරසවි සම්මානය ලැබුණේ මිල්ටන්ටය.
1936 පෙබරවාරි 12 වෙනිදා උපත ලබා 1987 ජූලි 07 වෙනිදා ජීවිතයෙන් සමුගත් හෙට්ටිආරච්චිගේ රෙජිනෝල්ඩ් ජෝතිපාලත්, 1938 මැයි 05 ඉපදී 1991 ඔක්තෝබර් 24 වෙනිදා ජීවිතයෙන් සමුගත් ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරාටත් අනංගවාදයට ගී ලියූ කරුණාරත්ත අබේසේකර 1930 ජුනි 03 වෙනිදා ඉපදී 1993 අප්‍රේල් 21 වෙනිදා 1934 මැයි 18 වෙනිදා උපන් ගුණරත්න අබේසේකර මිය ගියේ 1992 දෙසැම්බර් 15 වෙනිදාය. අනංගවාදයට ගී තනු නිර්මානය කළ පී.එල්.ඒ. සෝමපාල (1921-1988) ආර්. මුත්තුසාමි (1928-1988) මොහොමඩ් සාලි (1930-1988) මිය ගියහ.
ඒ.ඩී. රන්ජිත් කුමාර
ඡායාරූප පිටපත් කිරීම ලාල් සෙනරත්
එදා මම රජයේ සංගීත විද්‍යාලයේ (අද සෞන්දර්ය සරසවිය) නර්තනය හැදෑරූ ශිෂ්‍යාවක්. එයා හිටියෙ සංගීත අංශයේ සිසුවකු ලෙස. මේ දෙගොල්ළොම සහභාගි වූ ශ්‍රමදානයක් පැව
ගණනය කළොත් හැදු ගී තනු සෑහෙනය සංගීතයෙන් කළෙ සිත් සම්බාහනය
ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ 70 දශකයේය.
මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.
ගීතයකට ජීවිතයේ සුන්දරම මොහොතක් සේම, අසුන්දරම මොහොතක් සැණින් මතකයට ගෙන එන්නටත්, නෙතට කඳුළක් සේම, මුවගට සිනහවක් එක් කිරීමටත් ඇත්තේ අපූරු හැකියාවකි.
ඔහු ගැන ලිවීමට, කතා කිරීමට, කොතැනින් කොහොම පටන් ගන්නේ දැයි, සිතාගත නොහැකි තරම්ය. ඒත් කොතැනකින් හෝ පටන් ගත යුතුය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචිත ගේය පද
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
අනංගයා ගීතයෙන් ජෝති සහ මිල්ටන් තරහ වූ හැටි...