රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේගේ පළමුවැනි ගුණානුස්මරණය හෙටට (9) යෙදෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ඈත අතීතයේ සිට සිරිලක දකුණු දෙස ධර්මශාස්ත්‍ර විශාරද මහා පඬිවරුන් දෙස් විදෙස් හි පතල සංඝ නේතෘවරුන් සිල්වත් ගුණවත් උතුමන් ජාතියේ ගමන්මඟ හෙළිකළ ජන නායකයන් කවියන් මහගත්කරුවන් රණවිරුවන් ඇතුළු විවිධ තරාතිරම්වලට අයත් විශිෂ්ට පුද්ගලයන් ජාතියට දායාදකිරීම නිසා ලබා ඇත්තේ අසහාය කිර්තියකි අසහාය ගෞරවයකි.
මෑත යුගයේ දකුණු දෙසට සියම් මහා නිකායට පමණක් නොව සම්බුදු සසුනටම ආලෝකයක්ව වැඩ සිට අපවත් වී වදාළ ගාල්ලේ මලිගස්පේ ශ්‍රි සුභදාරාමාධිපතිව වැඩ විසූ රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, අග්ගමහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී ග්‍රන්ථ විශාරද, ශ්‍රි සුමංගල විද්‍යාවතංස ශාස්ත්‍ර විශාරද, රත්මලානේ භික්‍ෂු විද්‍යාලයේ හිටපු විදුහල්පති, මහෝපාධ්‍යාය, සාහිත්‍ය ශිරෝමණී සද්ධර්ම වාගීශ්වර පල්ලත්තර සුමනජෝති දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක මහා ස්වාමිත්‍රයන් වහන්සේ වියත් දස දෙස පුදත් හැමකල් යන පුරාණෝක්තිය සනාථ කරමින් වර්තමාන යුගයේ වැඩ විසු ථෙරවාදි සඟ පරපු සතු මහනීය ගුණයන් සිය පැවිදි ජීවිතය තුළින් මූර්තිමත් කර දක්වමින් වැඩ විසු සංඝපීතෘවන් වහන්සේ නමක් වුහ.
1924 පොසොන් මස 20 වැනිදා හම්බන්තොට ගිරුවාපත්තුවේ පල්ලත්තර නම් වූ නියම් ගමේ උපත ලැබූ මුන්වහන්සේ මුල්කිරිගල මුලගිරි පරිවේණාධිපතිව වැඩ විසු රාජකීය පණ්ඩිත කොටවිල සිරිසුමනාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1937 දී ප්‍රවුජ්‍යා භූමියට පත්ව උන්වහන්සේ වෙතින් මුලීක අධයාපනය ලබා උසස් අධ්‍යාපනය සඳහා 1945 කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙණට ඇතුළත්ව පණ්ඩිත ශිරෝමණී බද්දේගම පියරතන නාහිමිපාණන් සාහිත්‍ය චක්‍රවර්ති පණ්ඩිත සාර්ව භෞම වැලිවිටියේ සෝරත නාහිමිපාණන් ආදි රටක කලාතුරකින් පහළවන අති දුර්ලභ ගණයේ විශාරද පණ්ඩිත වරෙණ්‍යයන් ඇසුරෙන් ධර්ම විනය ශබ්ද ශාස්ත්‍රාදිය හදාරා 1951 වර්ෂයේ විද්‍යෝදය මහ පිරිවෙණේ අවසාන පරික්‍ෂණයෙන් උත්තීර්ණව ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සංස්කෘත ත්‍යාගයද දිනා ගත්හ.
1957 වර්ෂයේ ප්‍රාචීන පණ්ඩිත විභාගයට පෙනී සිට ඉතිහාස, පූරාවිද්‍යා, ශිලාලේඛන, තර්ක න්‍යාය ජානේද්රලංකාර, ප්‍රකෘත භාෂාව සහිතව සිංහල, පාලි සංස්කෘත යන භාෂාත්‍රයයෙන් උසස් ලෙස සමත්ව රාජකීය පණ්ඩිත උපාධියද හිමිකර ගත්හ. 1963 ශ්‍රි ලංකා විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත්ව සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධියත් 1965වසරේදී ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියත් හිමිකර ගත්හ.
මෙසේ ස්වකීය ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා දෙමළ ඉංග්‍රිසි ආදි භාෂා පිළිබඳව ද නිපුනත්වයට පත්වූ අප නාහිමියෝ හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙණෙහි ආචාර්ය ධුරයකට පත්ව අධ්‍යාපන කාර්යයන්හි නිරතව සිටියද දී 1969 වර්ෂයේදී පො/ පලුගම් දමන මහා විද්‍යාලය කො/සීවලී මහා විද්‍යාලය ගා/මීපාවල අමරසුරිය මහා විද්‍යාලය ගා/මාහින්ද මහා විද්‍යාලය යන විදුහල්වල විසිපස් වසරක් අධ්‍යාපන සේවයෙහි නිරත වුහ.
ගාලු දිස්ත්‍රික්කයේ ගුරුවන් අතර ජනප්‍රිය වූ නාහිමියෝ සිංහල, බුද්ධධර්මය පිළිබඳව උපදේශක තනතුරටද පත් වූහ.
විශ්‍රාම ලැබූූ පසුද තම දැනුම බෙදා දීම සඳහා ගා/ කුඹල්වැල්ල ශ්‍රි රේවත පිරිවෙණේ පරිවේණාධිපතිවද රත්මලානේ භික්‍ෂූ විද්‍යාලලයෝධිපතිව කළ සේවාවද ප්‍රශංසනීය වේ.
මෙසේ කෘතහස්ත ආචර්යවරයකු විදුහල්පතිවරයකු පරිවේණාධිපතිවරයකු අභ්‍යාස විද්‍යාල්‍යාධිපතිවරයකු වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට සුමන ජෝති නාහිමියන් ගෙන් සිදු වූ සේවාව අමිලය.
අධ්‍යාපනඥයකු වශයෙන් පමණක් නොව මේ රටේ ව්‍යක්ත, බහුශ්‍රැත, ධර්මධර ධර්මදේශකයකු වශයෙන් ලක්දිව විවිධ පළාත් වල ධර්ම දේශනා පැවැත්වීමද අත් නොහළ අප නාහිමියෝ ජන මධ්‍යවල ද සුවිශේෂි දේශකයෙක් වූහ.
මෙලොව කෙනෙකු තුළ විද්‍යාව ඇතද සදාචාරය නැත සදාචාරය ඇතද වාක් චාතුර්යය නැත වාක් චාතුර්යය ඇතද සුන්දරාවබෝධය නැත සුනදරාවබෝධය ඇත ද අන්‍යයන්ට යථාතත්වය අවබෝධකර විමේ ශක්තිය නැත. එහෙත් භාග්‍යයකට මෙන් සුමනජෝති නාහිමියන් වහන්සේ මෙකී සියල්ලන්ගෙන්ම අනුන වූහ.
දුටුවන් මන නුවන් පිනවන දේහ විලාසයෙන් ද ඒ දේහ විලාසයට සරිලන විශිෂ්ට ඥනයෙන්ද එ් විශිෂ්ට ඥානයට යෝග්‍ය වූ ශාස්ත්‍රාධ්‍යනයක් ද ලැබු උගත් ධර්ම ශාස්ත්‍රයට නිසි ක්‍රියාරම්භයක්ද ඇති ඒ ක්‍රියාරම්භයට සමාන ප්‍රතිඵල දකිමින් උසස් ධර්ම ශාස්ත්‍රීය සේවාවක යෙදී සිටි පල්ලත්තර නාහිමිපාණන් විසින් සම්පාදිත ධර්ම ශාස්ත්‍රීය ලිපි සංඛ්‍යාව සිය ගණනකි. ධර්මශාස්ත්‍රීය ගවේෂින්ට ඇත්වැලක් බඳු වූ ඒ ලිපි විද්වතුන් විසිනුදු ආදෘතය ධර්ම ශාස්ත්‍ර දෙක්හි උන් වහන්සේගේ ගැඹුරු දැනුම පළ කරවන කෘති අතර වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය පාලි භාෂා ව්‍යාකරණය ආර්ය අෂ්ටාංගික මාර්ගය, බුදුන් ලබාදුන් කාන්තා නිදහස හා විමුක්තිය මුලගිරි මහා විහාර වංශය, ලංකා ඉතිහාසයේ පුරාතන යුගය යන ලිපි විශේෂිත වේ.
නිතර සිනාමුසු මුහුණින් යුතුව පැමිණෙන කෙබන්දකු වුවද සතුටු කරවන ප්‍රියවාදිත්වය පල්ලත්තර නාහිමියන් ලද සහජ දායාදයකී. උන්වහන්සේ සමග කරන කථාව අර්ථවත්ය. එහෙයින් එය සාරාණීය කථාවක්ද වන්නේය. සීලය යනු බාහිර ආටෝපයක් හෝ ආලේපයක් නොවේ. එය උත්තම චරණයයි හෙවත් විනීත උතුම් ගති පැවතුමයි එහෙයින් අප නාහිමි පාණෝ සිල්වත්ය අනුනට හිංසාවක් පීඩාවක් හෝ මදි පුංචිකමක් හෝ උන්වහන්සේ අතින් සිදු නොවුන තරම්ය නමුත් කිවයුත්ත ඕනෑම සභාවක එඩිතරව කීම සිරිතකී.
එය උජු පටිපන්න ගුණය බව සිතෙයි.
කවුරුන් කෙරහිත් මැද හත්ව සැළකීම හා පිළිගැනීම උන්වහන්සේ තුළ පවතින උසස් ගුණයකි. මේ මහනීය පැවැත්ම නිසා උන්වහන්සේ නිරහංකාරය, තත්ත්වයෙන්, තනතුරෙන්, පදවියෙන් උසස්වත්ම ගෞරව සම්මාන වැඩි වැඩියෙන් ලැබෙත්ම උන්වහන්සේ නිහතමානී වුයේ පැසෙන්න පැසෙන්න බිමට අවනත වන වී කරලක් මෙන්ය.
මෙසේ නිකැලැල් චරිතයත් පරාර්ථකරණයෙහි බද්ධ අධ්‍යාශයත් විසින් මෙහෙයවනු ලැබු අධයාපනික, සාමයික, සමාජික අංශ යන්ගෙන් මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් පල්ලත්තර නාහිමියන්ගෙන් සිදු වුණ උදාර සේවාවන් අගය කරමින් මල්වතු මහා විහාරයෙන් ශාසනික තනතුරු පදවි ගෞරවනාම ප්‍රදාන කරමින් සම්මානනය කරන ලද්දේ වරක් දෙවරක් නොවේ මේ අයුරින් මුලස්ථානයෙන් සම්භාවනාවට පාත්‍ර වූ වෙනත් නාහිමි නමක් නැති තරම්ය.
තමන් වහන්සේ නිතරම පරපටි බද්ධ බව සිහි කරමින් අනාගතය සඳහා මනාවූ සිසුු පිරිසක් ඇති කර බමින් සියල්ල අතහැර උපේක්‍ෂාවෙන් චාම් සරල බව මූර්තිමත් කරමින් උපතින් අනූපස් වියක් ආයුවළදා සියලු දේ අනිත්‍ය බව පෙන්වමින් 2019 ජුනි 09 දා අපවත් වුහ.
අප නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව පතමු.
බොරැල්ලේ කෝවිද හිමි
-----------------------------------------------------------------------------------------
සසුනට පහන් ටැඹක් වූ අග්ගමහා පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමි
අද්‍යතන ශ්‍රී ලංකාවේ වැඩ වාසය කළ අති පූජනීය භික්ෂූන් වහන්සේලා අතර ඉහළින්ම වැජඹුණ සසුන් කෙත ශෝභමාන කළ භික්ෂූන් වහන්සේලා අතර, අග්‍රගණ්‍ය භික්ෂූන් වහන්සේ නමක් ලෙස අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, රාජකීය පණ්ඩිත පල්ලත්තර සුමනජෝති නාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැකිය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ පල්ලත්තර ග්‍රාමයේ සාදිරිස්හාමි කූරගම දිසානායක මහතාට සහ ගිමාරා වන්නිආරච්චි මහත්මියට දාව සහෝදර සහෝදරියන් 9 දෙනෙකුගෙන් යුත් පවුලේ 5 වැනි දරුවා ලෙස 1924 වර්ෂයේ ජුනි මස 20 වැනිදා උපන් අප නාහිමිපාණන් ගිහිකල පල්ලත්තර රජයේ පාසලින් මූලික අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත. වයස අවුරුදු 12 දී (1936 වර්ෂයේදී) මුලගිරි රාජමහා විහාරයේ පරිවේණාධිපතිව වැඩවිසූ රාජකීය පණ්ඩිත කොටවිල සිරිසුමන ගුරු හාමුදුරුවන් යටතේ ශාසන දිවියට ඇතුළත්ව මුල්කිරිගල මුලගිරි රාජමහා විහාර පිරිවෙනින් පැවිදි ජීවිතයේ මූලික අධ්‍යාපනය ආරම්භ කර ඇත.
පසුකාලීනව කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහ පිරිවෙනින් ද්විතීයික අධ්‍යාපනය ලබමින් රාජකීය පණ්ඩිත විභාගය සමත්ව අනතුරුව ශාස්ත්‍රවේදී උපාධිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත. උන්වහන්සේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් හිමිකර ගත් අතර, 1944 වර්ෂයේ මල්වතු මහා විහාරයේදී උපසම්පදාව ලබා ගත්හ.
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල මෙරට දූපුතුනට තිළිණ කිරීමට 1959 වර්ෂයේ ප්‍රාචීණ පඬිවරයෙකු වශයෙන් මහා විද්‍යාලයන්හි උසස් පෙළ සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා කැපවූ අප නාහිමියන් රජයේ ගුරුවරයකු වශයෙන් පළමු පත්වීම පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පලුගස්දමන මහා විද්‍යාලයට ලබා ඇත. ඉන්පසු බොරැල්ලේ සීවලී මහා විද්‍යාලයේ වසර කිහිපයක් සේවය කොට ගාල්ල මීපාවල අමරසූරිය මහා විද්‍යාලයට මාරු වී එහි පළමු උපාධිධාරී ගුරුවරයා ලෙස වසර 15 ක් සේවය කර එහි නියෝජ්‍ය විදුහල්පති කාර්යයේ නියුතු විදුහල්පති තනතුර දරා ඇත. එම කාලය තුළ ගා/අමරසූරිය විද්‍යාලයේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කරමින් එවකට විද්‍යාලයේ විදුහල්පතිවරයා වශයෙන් කටයුතු කළ පසුකාලීනව මෙරට අධ්‍යාපන අමාත්‍යධූරය හෙබවූ ආචාර්ය රිචර්ඩ් පතිරණ මහතා සමග ඉතා දැඩි කැපවීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 600 ක් පමණ සිටි අමරසූරිය විද්‍යාලයේ සිසු පිරිස වසර කිහිපයකින් 3200 ක පමණ තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ. පසුව ගා/මහින්ද විද්‍යාලය වෙත ස්ථාන මාරුවක් ලැබ එහි සේවය කිරීමෙන් අනතුරුව රත්මලාන භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ ආයතනාධිපති වශයෙන්ද පත්වීමක් ලබා ඇත.
උන්වහන්සේ සිය දීර්ඝ කාලීන පැවිදි දිවිය තුළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සහ රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කරනු ලැබූ වැඩසටහන් රාශියකට විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් ලෙස දායකත්වය ලබාදී ඇති අතර, සිංහල සහ පාලි ග්‍රන්ථ කිහිපයක්ම උසස් පෙළ සිසුන් සඳහා රචනා කර ඇත. ධර්මදූත කටයුතු සඳහා විදේශ රටවල් රැසක සංචාරය කොට එම රටවල පවා ප්‍රසිද්ධියට පත්ව ඇති මුන්වහන්සේ සිය දීර්ඝ ධර්ම දූත සේවයේ ප්‍රතිඵල වශයෙන් මහෝපාධ්‍යය, සහ අග්ගමහා පණ්ඩිත උපාධි ප්‍රදානයෙන් සම්මානිතයහ.
නිස්සරණධ්‍යාසයෙන් උන්වහන්සේ ගත කළ ආගමික, ශාසනික ජීවිතය හේතුවෙන් ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ මල්වතු පාර්ශ්වයේ දක්ෂිණ ලංකාවේ උප ප්‍රධාන සංඝනායක ධුරය, ප්‍රධාන සංඝනායක ධුරය, ගාලු දිසා මල්වතු පාර්ශ්වීය නායක සංඝ සභාවේ සභාපති ධුරය සහ රුහුණ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ඇතුළු තනතුරු රාශියක් උන්වහන්සේට නිරායාසයෙන්ම හිමි වුවත් එම සියලු තනතුරු උන්වහන්සේ නිසා බැබලුණා මිස උන්වහන්සේ එම තනතුරු කිසිවකින් බැබලුණේ නැත.
උන්වහන්සේ ගාල්ල මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරස්ථානයේ අධිපති වශයෙන් සිය ශිෂ්‍ය භික්ෂු ස්වාමීන්වහන්සේලා සමග සිය දායක දායිකාවන් පිළිබඳ පතල මහා කරුණාවෙන් ආගමික කටයුතු වෙනුවෙන් කැපවී ක්‍රියා කළ අතර, නාහිමියන් මෙම පුණ්‍යභූමිය සියලු විහාරාරංග වලින් සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට තමන්ට පෞද්ගලිකව ලැබුණු ධනය පවා යොදවා තිබෙනු දුටුවන්ගේ මන නෙත් පොබයයි.
සම්බුද්ධ ශාසනය වෙනුවෙන් චිරාත් කාලයක් සේවය කළ උන්වහන්සේට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි.
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය
වෛද්‍ය රමේෂ් පතිරණ
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
වියත් දස දෙස පුදත් හැම කල් පල්ලත්තර සුමනජෝති නාහිමි
කමල් Monday, 08 June 2020 09:59 AM
හාමුදුරුනමක් වෙලා රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපතිව හිටියා නම් ඒ කුමකටද?
vidya Monday, 08 June 2020 04:34 PM
ආදරණීය දෙමව්පියන්ට දාව ඉපදී පොඩිකාලයේම සසුන්ගත්වී මෙතුවක් කාලයක් සම්මා සම්බුද්ධ චීවරය දරාගෙන මෙතුවක් කල් ඔබවහන්සේ කළ සේවාව ඉතාම අගනේය . ඔබවන්සේත් සසරින් එතෙර වෙන ගමන් දන්නා හඳුනන සෑම සත්වයාම සසරෙන් ගොඩ කිරීමට කළ වීර්‍යයෙන් ඔබවන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා !