එක් දහස් නවසිය හැට අටේ සරසවි සම්මාන උළෙලේ අවසාන වටය සඳහා චිත්‍රපට දෙකක් නම්කර තිබුණි. එයින් එකක් වූයේ හැටේ දශකයේ ජනප්‍රියත්වයට පත්වූ ලේඛකයකු වන කරුණාසේන ජයලත්ගේ අතිශය ජනප්‍රියවූ ‘ගොළු හදවත’ නවකතාව ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්මාණය කළ ‘ගොළු හදවත’ චිත්‍රපටය ය.
නමුත් එම වසරේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවත චිත්‍රපටය අභිබවා හොඳම චිත්‍රපටය වශයෙන් සම්මාන ලැබුවේ ජී.ඩී.එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටය විය.
නමුත් ජී.ඩී.එල්. පෙරේරා තමන්ගේ චිත්‍රපට ගුරුවරයා වශයෙන් සැලකුවේ ලෙස්ටර් ජේම්ස් පීරිස්මය.
‘‘මට මුලින්ම චිත්‍රපට කැමරාවට ඇහැතියන්න ඉඩ දුන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්. මහ කප්පින්න වලව්වේ ගම්පෙරලිය කැමරාගත කරද්දි ලැබෙන විවේක කාලයේදී ලෙස්ටර් මට චිත්‍රපට කැමරාවකට අහැතියලා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳ විස්තර කරලා දුන්නා. ජී.ඩී.එල්. ලෙස්ටර් ගැන පවසන්නේ අතිශය කෘතවේදී හැඟීමකිනි
එය එසේ වී නමුදු, ජී.ඩී.එල්. පෙරේරාගේ චිත්‍රපට ජීවිතය ආරම්භවන්නේ එයට බොහෝ කාලයකට පෙර ඔහු දහනමවැනි වියේ සිටියේදීය.
‘‘ඒ කාලේ අපේ යාලුවෙකුට එයාගේ තාත්තගේ මිලිමීටර් අටේ කැමරාවක් අරන් දීලා තිබුණා. කොලු විසේට අපි ඒ දවස්වල ගල්කිස්සේ අව්ව තපින සුද්දියන්ව පොටෝ අරගෙන බැවුවා. නමුත් ටික කාලයක් යද්දි අපිට හිතුණ මේ මි.මී. අටේ කැමරාවෙන් එයට වැඩියෙන් ප්‍රයෝජනයක් ගන්න බැරිද කියලා.
එකල ටාසන් චිත්‍රපට මෙන්ම, ටාසන් චිත්‍රකතා ද නාගරික තරුණයන් අතර බෙහෙවින් ප්‍රචලිතව ඇති කාලයක් විය. එම චිත්‍රපට ආභාසයෙන් ඩවුන් ‘වන ගත කොල්ලා’ යනුවෙන් මි.මී. අටේ කළු සුදු චිත්‍රපටයක් නිර්මාණය කළහ.
ලංකාවේ ප්‍රථම ළමා චිත්‍රපටය වූ ‘වනගත කොල්ලා’ මුල්වරට ප්‍රදර්ශනය වූයේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ පන්ති කාමරයක සුදු හුණු ගෑ බිත්තියක් මතය.
තවත් වසරක් පමණ ගෙවී යද්දී තවත් මිතුරන් පස් දෙනෙකු සමග ‘කඳුළු’ යනුවෙන් නාට්‍යයක් නිර්මාණය කළේය. බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශලාවේ එය වේදිකාගත වූයේ 1956 නොවැම්බර් හයවැනි දිනය. එකල එම නාට්‍ය ශාලාවේ ගාස්තුව රුපියල් විසිපහක් විය. යහළුවෝ පස්දෙනා රුපියල් පහ බැගින් එකතුකර නාට්‍ය ශාලාවේ ගාස්තු ගෙවා දැමූහ.
කඳුළු නාට්‍ය නාර්මාණයට දායක වූ හත් දෙනෙකු මුල්ම ජී.ඩී.එල්. ‘අගනුවර කලා පෙළ නාට්‍ය සංගමය’ ද අරම්භ කරන්නේද එම වසරේ දීමය. එකල කලාපෙළ, කඳුළ, මනමාලකම, තම්මැන්නා, සාමා, සක්කරවට්ටං, රතු රෝස, මෙහෙව් ලෝකෙක, මගුල් මතේ, තොටුපළ යන නාට්‍ය නිර්මාණයවූ අතර එයින් තොටුපළ නාට්‍යය 1964 සිංහල නාට්‍ය උත්සවයේදී හොඳම නාට්‍ය වශයෙන් සම්මාන ලැබීය.
ජී.ඩී.එල්. පෙරේරා ගේ කලාපෙල නාට්‍ය සංවිධානයෙන් සිදු වූ අති සුවිශේෂ මෙහෙයක් වූයේ ලංකාවේ ප්‍රථම වරට සිනමා සහ නාට්‍ය පාඨමාලාවක් ආරම්භ කිරීමය.
නාට්‍ය ක්ෂේත්‍රයෙහි වසර හයක අත්දැකීම් සමගින් ජී.ඩී.එල්. චිත්‍රපට ක්ෂේත්‍රයට අවතීර්ණවෙන්නේ එක් දහස් නවසිය හැට දෙකේදීය. ඒ ‘සාමා’ චිත්‍රපටය තුළිනි. බොහෝ විචාරකයන් එවකට පැවසුවේ, සාමා දේශීය සිනමාවේ නව රැල්ල බිහිකළ චිත්‍රපටය බවය.
එසේම බොහෝ දෙනා පවසන්නේ ‘සමුපකාර ක්‍රමයට’ ලංකාවේ නිපදවූ ප්‍රථම චිත්‍රපටය සාමා බවය.
එක් දහස් නවසිය හැට ගණන්වල ප්‍රථම කාලය වෙනවිට අගනුවර කලා පෙළ නාට්‍ය සංගමය නාට්‍ය ක්ෂේත්‍රයහි ප්‍රබල ස්ථාවරයක් ගොඩනංවාගෙන තිබුණි. මෙනිසා ඔවුනට අවශ්‍යයව තිබුණේ නාට්‍යයෙන් ඔබ්බට චිත්‍රපට ක්ෂේත්‍රය වෙත අවතීර්ණ වීමටය.
නමුත් ඒ සඳහා ඔවුනට මූලික ප්‍රාග්ධනයක් නොවීය. නාට්‍ය සංගමයේ ඉතිරිව තිබුනේ රුපියල් දෙසිය පනහක මුදලක් පමණි. රුපියල් දෙසිය පනහකින් චිත්‍රපටයක් නිර්මාණය කරන්නේ කෙසේද? ඔවුන් මුහුණ දුන් ප්‍රශ්නය විය. එකල, කලා පෙළ නාටය සංගමයේ රජයේ රැකියා කල දහ දෙනෙකු විය.
‘‘අපි දහ දෙනා මාසයට රුපියල් විසි පහ ගණනේ දෙන්නම්’’ ඔව්හු පැවසූහ.
‘‘ඔව් එතකොට මාසයට අඩි දහසක ෆිල්ම් රෝලක් ගන්න පුලුවන් ජී.ඩී.එල්. පැවසීය’’
‘‘නතර වෙද්දි තල්ලු කරන්න කැමති නම් ගමන් බිමන් යන්න මගේ වෑන් එක දෙන්නම්’’, බුද්ධි වික්‍රම පැවසීය. එයින් ප්‍රවාහන ගැටලුව විසඳුනි.
‘‘ෂූටින් තියෙන දවස්වලට ඔක්කෝටම මම කෑම දෙන්නම්’’ ලියෝනි වීරසිංහගේ පියා තවත් ගැටලුවකට විසඳුම ලබාදුනි.
‘‘එතකොට කැමරාව?’’ කිසිවෙකු පැනයක් නැගීය.
‘‘ගම්පෙරලියහි ෂූටින් නැතිදාට කැමරාව අපිට දෙන්න ලෙස්ටර් මහත්තයා කැමැතියි’’ ජී.ඩී.එල්. පැවසීය.
එකල කලා පෙළ නාට්‍ය දර්ශනයක් සඳහා රුපියල් දෙදහසක් අයකෙරුණි. නාට්‍යයෙහි රඟපෑම් සඳහා එයින් මුදල් නොගෙන, එය චිත්‍රපට නිෂ්පාදනය සඳහා පරිත්‍යාග කිරීමට සියලු දෙනා එකඟ වූහ.
‘සාමා’ චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු අවසන් වූයේ එක් දහස් නවසිය හැට හතරේ දී ය.
නමුත් ඊළඟ ප්‍රශ්නය වූයේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්නේ කෙසේද යන්නය. එකල ලංකාවේ සියලුම චිත්‍රපටි ප්‍රදර්ශනය අයිතිය තිබුණේ සිනමාස්, සිලොන් තියටර්ස් සහ සිලෝන් එන්ටටේන්මන්ට්ස් යන සමාගම් තුනටය.
එම සමාගම් තුනම ජී.ඩී.එල්. ගෙන් මුලින්ම ඇසුවේ. චිත්‍රපටයේ රඟ පෑ ‘තරු’ කවුරුන්ද කියාය. ඊළඟට චිත්‍රපටයේ ඇති නැටුම්, සටන් සින්දු, විකට ජවනිකා පිළිබඳ විමසීය. ඒ කිසිවක් නොමැති ‘සාමා’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට එම සමාගම් තුනම අකැමැති විය.
සාමා චිත්‍රපටය ප්‍රදර්ශන කරන්නේ කෙසේදැයි දස අතේ කල්පනා කරමින් සිටින ජී.ඩී.එල්. ට අවසානයේ ෂුහබ් කාදර් මුණගැසුණි. ජබීර්. ඒ. කාදර් සමග චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරයේ නිරතව සිටි ෂුහබ් කාදර් තනිවම චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරය ආරම්භ කිරීමට සූදානම්ව සිටියේ එම අවදියේය. මරදාන නිව් ඔලිම්පියා සිනමා ශාලාව ඔහු සතු සිනමාහලක් විය.
ඔහුගේ ඉල්ලීම වූයේද චිත්‍රපටයට ගීත කීපයක් ඇතුළු කරන ලෙසය. ජයතිස්ස අලහකෝන්, දේවානන්ද වෛද්‍යසේකර, මල්ලිකා පෙරේරා ගයන ගීත දෙකක් ‘සාමා’ චිත්‍රපටයට පසුව එක්වෙන්නේ ඒ අනුවය.
චිත්‍රපටයේ සංගීතය භාරවූයේ පන්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව මහත්තයාට. සාමා චිත්‍රපටය වෙනුවෙන් අමරදේව මහත්තයාගෙන් ඉටුවුණ සේවයට සතයක්වත් අයකළේ නැහැ. ජී.ඩී.එල්. පෙරේරා අමරදේවයන් ගැන පැවසුවේ භක්තිමත් හැඟීමකින් යුක්තවය.
එක් දහස් නවසිය හැට පහේ ජූනි 15 දින මරදාන නිව් ඔලිම්පියා සිනමා හලේ සාමා චිත්‍රපටය ප්‍රථම වරට ප්‍රදර්ශනය කෙරුණි. වායු සමනයකළ චිත්‍රපට ශාලාවක සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළ ප්‍රථම අවස්ථාව එය විය.
ආර්ථික අපහසුකම් නිසා ජී.ඩී.එල්. ලාට ‘සාමා’ චිත්‍රපටයේ ලබාගැනීමට හැකිවූයේ පිටපත් තුනක් පමණි. ඒවා මහනුවර ලාසා, ගාල්ල ඕඩියන් කොළඹ නිව් ඔලිම්පියා සහ ගල්කිස්ස ඕඩියන්ස් යන චිත්‍රපට ශාලාවල ප්‍රදර්ශනය විය.
‘නිව් ඔලිම්පියා හෝල් එකේ සාමා චිත්‍රපටය පටන් ගන්නේ හවස හයට. ගල්කිස්ස ඕඩියන්ස් හෝල් එකේ සාමා චිත්‍රපටය පටන් ගන්නේ හයයි තිහට. නිව් ඔලිම්පියා එකේ සාමා චිත්‍රපටයේ එක රීල් එකක් ඉවර වෙද්දි මොටෝ සයිකලයකින් ඒ රීල්එක ගල්කිස්සට ගෙනියනවා. ඔය විදියට තමයි එකම දවසේ එකම වෙලාවට සාමා චිත්‍රපටය මරදානෙයි, ගල්කිස්සෙයි පෙන්නුවේ.
1965 සරසවි චිත්‍රපට සම්මාන උළෙලේදී සාමා චිත්‍රපටයට සුවිශේෂ නිර්මාණාත්මක වෑයම සඳහා ජූරියේ විශේෂ සම්මානයක් හිමිවිය.
එළිසබෙත් මහ රැජිනගේ ඔටුනු පැලඳවීමේ විසි පස්වැනි සංවත්සරය යෙදී තිබුණේ එම අවධියේමය. ඒ සඳහා පොදු රාජ්‍ය මණ්ඩලීය කලා උත්සවයක් ‘කාඩිප්’ හි සංවිධානය කෙරුණි. ඒ සඳහා ලංකාවෙන් ආරාධනා කෙරුනේ ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගම්පෙරළිය සහ ජී.ඩී.එල්. පෙරේගේ සාමා චිත්‍රපටය සඳහාය.
ගම්පෙරළිය ලන්ඩනයේ ප්‍රදර්ශනයවිය. සාමා වේල්ස්හි ප්‍රදර්ශනය වූ අනෙක් චිත්‍රපටය වූයේ සත්‍යජිත් රායිගේ ‘චාරුලතා’ චිත්‍රපටය විය.
1965 දී ජී.ඩී.එල්ට බ්‍රිතාන්‍ය නාට්‍ය සංසදය මගින් නාට්‍ය රංගනය සහ නිර්මාණය පිළිබඳව ශිෂ්‍යත්වයක් ලැබුණි. ජී.ඩී.එල්ට ප්‍රථමයෙන් ඩී.බී. නිහාල්සිංහ මුණ ගැසෙන්නේ එංගලන්තයේදීය. නිහාල්සිංහ සාමා චිත්‍රපටයේ තිබූ කාර්මික දුර්වලතා කීපයක් පෙන්වා දුන් අතර ජී.ඩී.එල්. නැවත චිත්‍රපටයක් නිර්මාණය කරන විට එහි කැමරාකරණය භාර ගැනීමට එකඟ විය.
ආපසු ලංකාවට පැමිණි ජී.ඩී.එල්. ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටය නිර්මාණය කිරීමට ආරම්භ කරන්නේ ඩී.බී. නිහාල්සිංහ ගෙන් ලද හයිය ඇතිවය.
චිත්‍රපට විචාරක සහ ලේඛක සම්මාන උළෙලේ “දහසක් සිතුවිලි” සඳහා හොඳම තිර රචනය වෙනුවෙන් සම්මානය හිමි වූයේ ද ජී.ඩී.එල්. ටය. දහසක් සිතුවිලි චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හෙන්රි ජයසේනටද හොඳම කැමරාකරණයට හිමි සම්මානය ඩී.බී. නිහාල්සිංහ ටද හිමි විය.
එපමණක් නොව දහසක් සිතුවිලි චිත්‍රපටය ජර්මනියේ බර්ලින් චිත්‍රපට උළෙලද, ඉතාලියේ ලොකර්නෝ චිත්‍රපට උළෙලද, ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලද නියෝජනය කළේය.
‘‘එක් දහස් නවසිය හැත්තෑ අටේ වගේ කාලයේදී මට එංගලන්තයේදී මුණ ගැසුණා එවකට චිත්‍රපට සංස්ථාවේ සභාපතිව සිටි ඇන්ටන් වික්‍රමසිංහ මහත්තයාව. ඔහු මට යෝජනා කළා විදේශ වෙළෙඳ පොළ සඳහා සුදුසු ලාංකික චිත්‍රපටයක් නිපදවන්න. එයට සියයට සියයක ණය ආධාර සපයන්නම් කියල. ඒ අනුව මම එංගලන්ත ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් පටන් ගන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කළා. නමුත් මම අවුරුදු පහකට වැඩියෙන් එංගලන්තයේ ජීවත්වන නිසා මට ලංකාවේ පුරවැසිභාවය නැහැය කියලා, ලංකාවේ පුරවැසියකු නොවන කෙනෙකුට සංස්ථාවෙන් ණය දෙන්න බැහැය කියලා, චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මංඩලය ඒ ණය ප්‍රදානය ප්‍රතික්ෂේප කළා, ජී.ඩී.එල්. පැවසුවේය.
ශ්‍රී ලංකාව හැර ලෝකයේ රටවල් ගණනාවක වානිජව ප්‍රදර්ශනය වූ ශ්‍රී ලාංකික චිත්‍රපටය ‘පීටර් ඔෆ් ද එලිපන්ට්ස්’ විය.
ජී.ඩී.එල්. එක්දහස් නවසිය අසූවේදී නිර්මාණය කළ පීටර් ඔෆ්ද එලිෆන්ට්ස් චිත්‍රපටයේ ප්‍රදර්ශන අයිතිය ඔහු චිත්‍රපට සංස්ථාවට පැවරුවේ රුපියල් පනස් දාහකටය.
‘‘අවුරුදු දෙකක් යනකම් ඒ චිත්‍රපටිය ලංකාවේ පෙන්නුවේ නැහැ. ඒත් ඒ වෙනකොට ඒ චිත්‍රපටය එංගලන්තය, ඇමෙරිකාව, මැලේසියාව, සිංගප්පූර්ව වගේ රටවල් ගණනාවක ප්‍රදර්ශනය කරලා. 1982 ජූනි මාසෙ වගේ එම්පයර් සිනමා හලේ 3.30 දර්ශනයට ‘පීටර් ඔෆ් ද එලිෆන්ට්ස්’ චිත්‍රපටිය පෙන්වලා. චිත්‍රපටයේ රීල් අටක් තිබුණා. නැතිවෙලාය කියලා රීල් තුනයි පෙන්නල තියෙන්නේ. චිත්‍රපටයේ රඟ පෑ මාලනී ෆොන්සේකා 6.30 දර්ශනය බලන්න යද්දී චිත්‍රපටය ගලවලා. ජී.ඩී.එල්. පැවසුවේ ඔහුගේ ‘පීටර් ඔෆ් ද එලිෆන්ට්ස්’ චිත්‍රපටයට ලංකාවේදී ලැබුණ සැලකිල්ල පිළිබඳවය.
පීටර් කැනියුට් පෙරේරා