ජනපති අපේක්ෂක වෙයි කියා හිතන හැමකෙනා එක්කම අපි සාකච්ඡා කරනවා


ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන කරළිය උණුසුම් වෙමින් තිබිය දී මේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සමගිනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී 
වාසුදේව නානායක්කාර

 

• දේශපාලන කරළියේ ආසන්නම උණුසුම වාසු සහෝදරයට දැනෙන්නෙ ​ෙකාහොමද?  


තාම එහෙම ලොකු උණුසුමක් නෑ වගේ නේද? තාම තියෙන්නේ හැමෝගෙම හෙමින් සීරුවෙ මතුවීගෙන එන සූදානමක්. හැමෝම සූදානමක ඉන්නවා. ඒත් බරපතළ විදියට උණුසුමක් දැනෙන්න පටන් අරන් නෑ තාම.  


• ගෝඨාභය රාජපක්ෂගෙ නමත් එක්ක උණුසුමක් තියෙනව නේද ජනාධිපති අපේක්ෂකකම ගැන. නැත්තං වාසුදේවලත් මොකට ද ගෝඨාභය හම්බවෙන්න දුවන්නේ?  


ගෝඨාභය මහත්තය කාලෙක ඉඳලම ‘වියත් මග’, ‘එළිය’ ආදිය හරහා යම් වැඩසටහන් මාලාවක් කරගෙන යනවා. ඒවයි ප්‍රමුඛත්වය ගනිමින් යම් ඇඟවීමක් කරමින් ඉන්නවා ඔහු. ඒ වගේම ඔහු ජනාධිපතිවරණයට අපේක්ෂකයා විදියට එයි කියලා කටකතා එහෙමත් පැතිරුණා. ඒත් මහින්ද මහත්තයා කිව්වා එයා තාම ඒ ගැන තීරණයක් අරගෙන නෑ කියලා. අපේ පෙරමුණත් තාම ඒ ගැන තීන්දුවක් අරගෙන නෑ. සන්ධානයත් තාම තීරණයක් අරගෙන නෑ මේ ගැන. ඒක නිසා ඒ පැතිරුණු කතාවෙත් උණුසුම පහළ බැස්සා. ඒත් අපේ කඳවුරේ අය අතරේ ලොකු උනන්දුවක් තියෙනවා ගෝඨාභය එනවා නම් තමයි හොඳ කියලා.  


• වාසුදේව සහෝදරයා ඔච්චර අංශක ගාණක් කැරකුනේ කොහොමද? ඔබ තමයි මුල ඉඳල ගෝඨාභය එනවට ගේම ඉල්ලල කතා කළේ?  


ඔව්. මම මුලදී මේ ගැන විරුද්ධව හිටියා. මම මුල ඉඳලම කිව්වෙ ගෝඨාභය කියන්නේ ජනතාව අතරින් මතුවුණු කෙනෙක් නෙවෙයි. ජනතාව අතර හිටපු කෙනෙකුත් නෙවෙයි. ජනතාවගේ සංවේදිතාවයන් ගැන ඒ තරම් හුරුවකුත් නෑ. එයාට තියෙන්නේ මිලිටරි ශෛලිය. එයා ආරක්ෂක ලේකම් හැටියට හිටපු කාලේ මම එයා ගැන දුටු දේ තමයි එයාගෙ කටයුතුවල තිබුණු මිලිටරි ස්වභාවය. ඉතිං ඒ නිසා මම හිතුවා පුළුල් ජනතා ඉල්ලුමක් එක්ක එකට බැඳෙන චරිතයක් වෙන්න අමාරුයි කියල.  


• ඔබේ ඒ විරෝධය ටිකෙන් ටික දියවෙලා යනවා වගේ?  


නෑ අපේ කඳවුර තීන්දු කරනවනම් ගෝඨාභය තමයි එන්න ඕනැ කියලා, එතකොට ඉතිං මට වෙන තෝරා ගැනීමක් නෑනේ. මගේ කඳවුරත් එක්ක මට එකට ඉන්න වෙනවනේ. 18 වැනි සංශෝධනයට මම විරුද්ධ බව පාර්ලිමේන්තුවෙ ප්‍රකාශ කරමින්ම මම අපේ කඳවුරත් එක්ක හිටියනේ මීට කලින්. ඒ වගේ තමයි මෙතනදීත්. මම අපේ කඳවුර එක්ක තියෙන සම්බන්ධය කඩාගන්න සූදානම් නෑ. මම මේ අපේ කඳවුර කියලා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂගෙ නායකත්වයෙන් තියෙන ජනතාවාදී කඳවුර.  


• මොකට ද තකහනියක් ඔබ ගෝඨාභය මුණගැහුනේ ඊයේ පෙරේදා?  


මීට කලිනුත් සැරින් සැරේ අපි හමුවෙලා තියෙනවා. අපි ඊයේ එතුමව හමු වුණා අපේ පක්ෂයේ විධායක සභාව විදියට. අපේ විධායක සභාව තීන්දු කළා ජනාධිපති අපේක්ෂකයින් හැටියට එන්න ඉඩ තියෙනවා කියලා හිතෙන හැමදෙනාම හමුවෙලා සාකච්ඡා කරන්න ඕනෑ කියලා. ඒකටයි අපි හමුවුණේ. ඒ අයගේ අදහස් උදහස් දැනගන්න වගේම අපේ ස්ථාවරය කියන්නත් මේක අවස්ථාවක් කර ගන්නවා. අපේ පක්ෂය විදියට විධායක සභාවේ සාමාජිකයෝ එකොළොස් දෙනෙක් ඔහු හමුවෙන්න ගියා. අපි කෙටුම්පත් කරපු වැඩපිළිවෙළක් තියෙනවා. අපේ ආර්ථික දර්ශනයක් තියෙනවා. දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ස්ථාවරයන් අපිට තියෙනවා. ඒවා ලිඛිතව අපි ඔහුට දුන්නා. මේක ඇත්තටම පොඩි විමසුම් ක්‍රියාවලියක්.  


• පළමු සාකච්ඡා සාර්ථකද?  


සාර්ථක අසාර්ථකත්වයක් ඒකෙ නෑ. මොකද අපි ඊයේ හමුවුනේම මූලික වශයෙන් අපේ ස්ථාවරයන් පිළිබඳ සුහද කතාබහකටනේ. අපි ඉතාම හොඳට ඒක කළා.

  
• ගෝ්‍ඨාභය ඔබට ඇහුම්කන් දුන්නද? ඒ ගැන සතුටුද?  


ඔව්. එයා බොහොම ඉවසීමෙන් අපි කියාගෙන ගිය කරුණුවලට සවන් දුන්නා.  


• වෙලාවකට ගෝඨාභය අප්සෙට්ලු. ඊට පස්සෙ ගිහින් සාකච්ඡා කරනවා. මොකක්ද ඔබේ ඔය දේශපාලන ස්ථාවරය?  


මම ඒකත් කිව්වා. මම කිව්වා ඔබතුමා එනවා කියලා කතාවක් ඇතිවුණු ගමන්ම ඒ ගැන අපි විරෝධය පෑවා කියලා. ඒකට හේතුවුණු කරුණුත් මම කිව්වා. ඒ කරුණු තාමත් එහෙමම තියෙනවා.  


• ඒකට ගෝඨාභය මොකද කිව්වෙ?  


ඔහු පිළිගත්තා ඒ කාලේ ඔහු හමුදා නිලධාරියෙකු විදියට දීර්ඝව ලබපු මානසිකත්වය සහ රාජ්‍ය නිලධාරියෙකු විදියට කටයුතු කරපු ආකාරයට වඩා දැන් වෙනස් විය යුතුයි කියලා. ඔහුගේ අලුත් භූමිකාව වෙනුවෙන් ඔහු වෙනස් චරිතයක් වෙන බව තමයි ඔහු ඉඟි කළේ.  


• ඔබ ඉදිරිපත් කරපු අනික් කරුණුවලට ලැබුණු ප්‍රතිචාර කොහොමද?  


ඒ ගැන ක්ෂණිකව අදහස් පළ කරන්න අමාරුයි. ඒවා කියල බලලා ඒ ගැන අදහස් කියන්න පොරොන්දු වුණා. එහෙම වුණොත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අපි සූදානම්.  


• ඔබ කිව්වා ජනාධිපතිවරණයට එන්න සූදානම් බවට නම් කියවෙන පුද්ගලයෝ මුණගැහිලා සාකච්ඡා කරන කතාවක්. වෙන කවුද මුණගැහුණෙ?  


තාම ගෝඨාභය විතරයි මුණගැහුණේ.  


• එතකොට වාසුදේවලා කර තියාගෙන ගිය චමල් රාජපක්ෂ?  


ඔව්. චමල් රාජපක්ෂ අපි යෝජනා කරපු නමනේ. අපි එතුමා හම්බවෙන්නත් යනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජනාධිපති අපේක්ෂකයෙක් වීමට අදහස් කරන බවක් පේනවා. ඒ නිසා ඔහුත් මුණගැහිලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.  


• ඇයි වාසුදේවලා චමල්ට මේ තරම් කැමති?  


චමල් හොඳ චරිතයක්. මධ්‍යස්ථ චරිතයක්. නිවුණු චරිතයක්. ජනතාව අතර දීර්ඝ කාලයක් ඉඳපු චරිතයක්. එයත් පොලිස් නිලධාරියෙක් වෙලාත් ඉඳල තියෙනව තමයි. ඒත් මං එයා පුංචි කාලේ ඉඳලම දන්න කෙනෙක්. රිච්මන්ඩ් එකේදී මම එයාට උගන්නලත් තියෙනවා. පුද්ගලිකවත් ඇල්මක් තියෙනවා චමල් ගැන මගේ.  


• එතකොට මේ ගුරු - ගෝල ප්‍රේමයක්.....  


එයා මගෙන් ඉගෙන ගත්තු දරුවෙක්.  


• ගෝලය ජනාධිපති කරවල ඔබට ඕනෑ ඕනෑ දේ කරවගන්නද කල්පනාව?  


එහෙම එකක් නෑ. එයාගෙ මතවාදයත් ටිකක් අපේ මතවාදයට කිට්ටුයි. මම රිච්මන්ඩ් එකේ පංතියේදී සමසමාජ පත්තරේ අරගෙන ඇවිත් කාටද ඕනෑ කියලා ඇහුවම චමල් තමයි ඉස්සෙල්ලම පත්තරේ අරගන්නේ.  


• ගෝඨාභයට වඩා චමල් හොඳ වෙන්නේ ඔය හේතු නිසාමද?  


ඔව්, වාමාංශිකවාදී මතයේ ඔහු නියෝජිතයෙක්. අපේ පක්ෂය පහුගිය කාලේ කරපු සම්මන්ත්‍රණ දෙකකදීම මූලාසනයට අපි කැඳෙව්වෙ චමල්ව.  


• හැබැයි ඔබ වගේ කීප දෙනෙක් විතරයි නේද චමල්ව ඔසවගෙන යන්නේ?  


මම වගේම චමල් ගැන කියපු කීප දෙනෙක්ම හිටියා. ඩිලාන් පෙරේරා වගේ අයත් කිව්වා. බිම් මට්ටමේ පිරිස් හමුවුණාම ඒ නමට ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශ කළා.  


• ඔබ චමල්ව කරෙන් බස්සල ගෝඨාභය එක්ක කතා කරන්න ගියාම ගෝඨාභය අවුල් වුණේ නැද්ද?  


නෑ. එහෙම එකක් නෑ. මේක අදහස් හුවමාරුවක් විතරයිනේ. අපි දෙගොල්ලො අපේ මතවාද හුවමාරු කරගත්තා විතරයිනේ තාම. ඒක නිසා කිසිම ගැටුමක් මේ ඇතුළෙ නෑ.  


• ඔබ කියපු විදිහට ගෝඨාභයගෙ නම අන්තිම තීන්දුව වුණොත් ඔබේ කඳවුරේ ඔබේ හෘද සාක්ෂියට මොකද වෙන්නේ?  


සාමූහික තීන්දුවකදී හිතට එකඟ නොවෙන තීරණ ගන්න සිද්ධ වෙන වෙලාවල් එනවා. හිතට එකඟ නැතුව තීන්දුවට පක්ෂ වුණත් තීන්දුව ගත්තට පස්සෙ හිතට එකඟ වෙනවා. අපිට ඔහු ගැන තිබුණු විචිකිච්චාවන් දුරු කරගන්න පුළුවන්ද කියලත් අපි බලනවා.  


• 2015ට කලින් ඉඳපු ගෝඨාභය වෙනස් වෙයි කියල ෂුවර්ද?  


ඒක හරියටම කියන්න බෑ. එහෙම විය යුතුයි කියල තමයි අපිත් කියන්නේ. ජනාධිපතිවරණයට අපේක්ෂකයා විදියට එනවනම් ඒ වෙනස්වීම විය යුතුමයි. ඔහු වෙනස් වෙන්න සූදානම් කියලා අපිට ඊයේ කිව්වා.  


• ඔබලා ඔය නම් පස්සේ ගියාට මහින්ද රාජපක්ෂලු නේද අවසාන තීරකයා?  


ඔහු තීරණය කරන්නේ අපි කාගෙත් යෝජනා සලකා බලලා. තාම ඔහු තීන්දු කරලා නෑ කවුද අපේක්ෂකයා කියලා.  


• ගෝඨාභයගේ ඇමෙරිකන් පුරවැසිභාවයත් අවුලක් නේද?  


ඒක නීතිමය ප්‍රශ්නයක්. ඒක නෛතික රාමුව ඇතුළෙ විසඳේවි. ඒ ගැන විශේෂයෙන් උනන්දු වෙන්න අපිට අවශ්‍ය නෑ. ඔහු ඒ ගැන බලා ගනිවී. ඒක බේරගන්න එක ඔහු අතේ තියෙන වැඩක්.  


• ජනාධිපති අපේක්ෂකත්වය දැන් ‘‘ජෝක්’’ වෙනවද කියලත් හිතෙනවා. අහන අහන කෙනා මමත් එනවා කියන්න පටන් අරන් වගේ නේද?  


ඔය කුමාර වෙල්ගම වගේ අය කියන කතා නම් සීරියස් ගන්න අවශ්‍ය නෑ.  


• ඔබේ මස්සිනාගෙ නමත් කියවෙනවා..... 

 
ඔව්. මගේ මස්සිනා විග්නේෂ්වරන් ගේ නමත් කියවෙනවා. ඒත් අපි ඒගොල්ලන්ට විරුද්ධයිනේ. මස්සිනාකම වෙනම එකක්. දේශපාලනිකව අපි දෙපැත්තක ඉන්නේ.  


• ඔබ කිව්වා ඔබේ කඳවුරේ අපේක්ෂකයා තීන්දු කරන්නේ සාමූහික තීරණයකින් කියලා. ඒත් මහින්ද රාජපක්ෂ අතේ නෙවෙයිද වැඩේ තියෙන්නේ?  


අපේ යෝජනා ඔක්කෝම සැලකීමට අරගෙන පොදු යෝජනාවක් ඉදිරියට එයි කියලා හිතනවා.  


• චමල්ල, ගෝඨාභයල, බැසිල්ලගෙන් මේ ගැන ඇහුව කියන්නේම ‘‘මහින්ද රාජපක්ෂ කියන එකක් තමයි ඉතිං’’ වගේ කතා.....  


මහින්ද තමයි තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ. ඒකෙ තේරුම ඒකයි. ඔහු ඒ නම ප්‍රකාශ කළාම තමයි අපි ඔක්කොම ඒ අනුව පෙළ ගැහෙන්නේ. ඔහු ඒ නම නිකමට ප්‍රකාශ කරන්නේ නෑ. ලොකු කතාබහකින් පස්සේ තමයි ඒක තීන්දු කරන්නේ. බැසිල් නම් ජනාධිපති තරගෙට එන්නේ නෑ කියල ස්ථිරවම කියලත් තියෙනවනේ.  


• දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච චරිතයක් විදියට අනාවැකියක් කියන්න ඔබට පුළුවන්ද ගෝඨාභය ආවොත් මොනවයින් මොනව වෙයි ද කියලා.......  


අපේ කඳවුරෙන් කවුරු ආවත් ඒ පුද්ගලයා දිනනවා. ඒ දිනන්නේ මේ ආණ්ඩුව ගැන ජනතාවට තියෙන බරපතළ අප්‍රසාදය නිසා. කෙටි කාලයක් තුළ ශීඝ්‍රයෙන් පිරිහීමට පත්වෙච්ච ආණ්ඩුවක් මේක. හැම අතින්ම රට කඩාගෙන වැටිලා. ආර්ථිකය ගැන කියන්න කණගාටුයි.  


• ගෝඨාභය සම්බන්ධව මිලිටරි ලක්ෂණ ගැන ඔබට තිබුණු විවේචනය සමාජය තුළ යම්කිසි බියක් විදියට තියෙනවා කියලා බොහෝ දෙනා නිතර කියන කතාවක්.......  


අපේ කඳවුරෙන් එනවනම් බියෙන් යුතුව වුණත් මිනිස්සු ඔහුට ඡන්දය දේවි. මොකද කඳවුර පිළිබඳ විශ්‍වාසය ප්‍රබල සාධකයක් වෙනවා. කඳවුර පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛවෙලා පුද්ගලයා පිළිබඳ ප්‍රශ්නය ද්විතීයික වෙනවා. ගෝ්‍ඨාභයට විරුද්ධව එක්සත් ජාතික පක්ෂය ඇතුළු සතුරු කඳවුරෙන් ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා එල්ල වෙයි. සුදු වෑන් කතා කියයි. තව නොයෙකුත් දේ කියයි. ඒවා ඔක්කොටොම උත්තර දෙන්නත් අපිට සිද්ධ වෙයි.  


• උත්තර දෙනව වගේම බැරිවෙලාවත් ගෝඨාභය ජනාධිපතිවෙලා කරන කියන හොඳ හෝ නරක ඕනෑම දේකට ඔහුට කර තියපු අය හැටියට වාසුදේවලටත් ජනතාවට වගකියන්න වේවි.  


නැත්තං. පැහැදිලිවම වගකියන්න වෙනවා. එක කඳවුරක් හැටියට තීන්දු ගන්නවනම් ඒ වගකීම්වලින් පැනලා යන්න බෑ. අපේ බලයට යටත්ව ජනතාව සම්බන්ධයෙන් හැම දෙයක්ම සිද්ධ වේවි. අපේ අපේක්ෂකයා දරන තනතුරත් අවසාන වශයෙන් අපේ බලයට යටත්. ජනප්‍රියම චරිතය තෝරගන්නවා වගේම එයා අපිට ඕනෑ විදියට හසුරුවා ගන්නත් ඕනෑ. ඒක අපේ වගකීම. අපිට දරාගන්නම බැරි තත්ත්වයකදී තීන්දුවක් ගන්න වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගැනම නෙවෙයි මම මේ කියන්නේ. අපේක්ෂකයා කවුරු වුණත් කොන්දේසිය ඒක.  


• මොන ඡන්දෙ ඉස්සර වෙයි ද කියන දෙගිඩියාවත් අපි ඉදිරියේ තියෙනවා......  


ඔව්. ජනාධිපතිවරණයට කලින් මහමැතිවරණයක් එන්න ඉඩ තියෙනවා. ඒ පැත්තට තමා වඩා වැඩි බර තියෙන්නේ. ජනාධිපතිතුමාගේ ධුර කාලය ගැන තීන්දුවක් එක්ක මේ ගැන ස්ථිර උත්තරයක් ලැබේවි. ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණයක් ආවොත් ප්‍රධාන වෙන්නේ අගමැති පත් වීම. එතකොට තමයි මහින්ද මහත්තයා කරළියට එන්නේ.  


• කරළියට කිව්වෙ අගමැති පුටුවට එන්න ඉඩ තියෙනවා......  


ඉඩ තියෙනවා නෙවෙයි අගමැති පුටුවෙ වාඩිවෙනවා. ඒක හැකියාවක් නියතයක්.  


• වාසුදේව සහෝදරයගෙ පක්ෂෙ අනන්‍යතාව රඳවගෙන මේ ගමන තවදුරටත් යන්න පුළුවන්ද? එහෙම නැත්නම් පහුගිය අවුරුදු දහයක් වුණා වගේ රාජපක්ෂ පාලනයේම ඔබේ පක්ෂ අනන්‍යතාවය දිය වෙලා යාවිද?  


දේශපාලනයේදී එකට එක ගැළපෙන එකට එක යාවෙන දේශපාලන අදහස් මතවාද දරන්නා වූ පක්ෂ එකට එකතුවෙනවා වගේම විරුද්ධ මත දරන පක්ෂ හෝ කණ්ඩායම් එකට එකතු වෙලා කටයුතු කරනවා. ප්‍රධාන බලවේගයේ ප්‍රමුඛත්වය මුල් කරගෙන තමයි ඒ එකතුවීම් ගොඩනැගෙන්නේ. ඒ හැම වෙලාවකම ද්විතීයික පක්ෂවලට යම් යම් ගැටලු මතු වෙනවා. ප්‍රධාන කූඩුව වටේ එල්ලෙන පැටව් කූඩුවලට යම් යම් ප්‍රශ්න එන්න පුළුවන්. ඒ අතර යම් යම් අඬදබර මතුවෙන්නත් පුළුවන්. ඒ හැම එකක්ම එසේ තිබිය දී වුණත් එක්සත් ජාතික පක්ෂය ඉදිරියේ අපි එක බැටෑලියන් එකක් විදියට ඉන්න ඕන. හතළිස් ගණන්වල ඉඳල තියෙන ස්වරූපය ඕක තමයි.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි