මිනිසාගේ සුන්දරතම නිර්මාණය වන්නේ දෙවියන්ය. දෙවියන් තරම් මනුස්ස ජීවිතයට ළං වූ හා කුතුහලය දනවන තවත් වචනයක් නැති තරම්ය. මෙය අතිශය සංකීර්ණ හා විවාදාපන්ත ස්වරූපයකින් යුක්ත වේ. ලෝක ඉතිහාසයෙහි ද දෙවියන් පිළිබඳව දක්වන ආකල්පය වන්නේ ඉතා භක්තිවන්ත ස්වරූපයකි. දෙවියන්ට සියල්ල කළ හැකිය. ලෝකය වෙනස් කළ හැකිය. මිනිසාගේ ජීවිතයට බලපෑමක් කළ හැකිය වැනි අදහස් ජන විඤ්ඤාණය තුළ මුල් බැසගත් ඒවා වේ. නූතන තාක්‍ෂණික ලෝකය වඩාත් වේගයෙන් භෞතික වශයෙන් දියුණු වන කල්හි තමන්ගේ ඇසට පෙනෙන දේ පමණක් ප්‍රත්‍යක්‍ෂයෙන් පිළිගැනීමට ඇතැම්හු පෙළැඹෙති.
දියුණු යැයි සම්මත මිනිසා ආගම් ඇදහිල්ල හා දේව විශ්වාස ප්‍රාථමික සංකල්පයන් ලෙස හුවා දක්වන අතරම එවැනි විශ්වාස ඇති මිනිසා දෙස බලනුයේ අවඥා සහගත ස්වරූපයකිනි. සියල්ල මුදලින් හා භෞතික වස්තුවලින් විසඳා ගත හැකි යැයි සිතන ඇතැම් නූතන මිනිසා මානසික වශයෙන් පරාජිත සත්ත්වයෙකි. රටක මිනිසුන්ගේ සංස්කෘතියේ ගති ලක්‍ෂණ පෙන්නුම් කරනුයේ ඔවුනගේ හැදියාවෙන් හා ආගමික විශ්වාස මතය. ජීවිතය යන්ත්‍රයක් බවට පත් වී මානසික අතෘප්තිකර මිනිසාට ආගම් මගින් ලබාදෙන සහනය ජීවිත ගමනට මහත් වූ රුකුලකි. කායික හා මානසික සංවරශීලි ස්වරූපයක් ඇති කර සමාජය වඩාත් සුපහන් තත්ත්වයකට රැගෙන යෑමට මිනිසාගේ ඇදහිලි හා විශ්වාස උපකාරී වේ. දෙවියන්, යක්ෂයන්, භූතයන්, ප්‍රේතයන් ජීවත් වන්නේ නම් ඒ පිරිස ගෙනත් පෙන්වා දෙන්න යනුවෙන් තර්ක කරන ඇතැම් පිරිස් අවබෝධ කරගත යුත්තේ මේ විශ්වය තුළ අපගේ ඇසට නොපෙනෙන ඉතා සූක්‍ෂම විද්‍යුත් උපකරණවලට ද අසු නොවන ජීව කොට්ඨාස පවතින බවයි. මෙය බුදුන් වහන්සේ හා ආර්යයන් වහන්සේ දැක ඇත්තේ ඉතා දියුණු මනසකිනි. රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස්වලින් බරිත පුහුදුන් මිනිසාට මේ විශ්වයේ දැකිය හැක්කේ ඉතා සීමිත පරාසයකි. අපගේ ප්‍රයත්නය සමාජය කොතරම් ශීඝ්‍රයෙන් දියුණු වූව ද ජන විඤ්ඤාණයහි තවමත් නොනැසී පවතින දේව විශ්වාස විග්‍රහ කිරීමටය. මෙහි ලා ලංකාවේ දේව ධූරාවලියෙහි ඇති විවිධ දේව කොට්ඨාස හා ඔවුන් පිළිබඳව ඇති ජනප්‍රවාදාත්මක තොරතුරු මෙන්ම මේ විශ්වාස පිළිබඳව මිනිසා ලැබූ අත්දැකීම් පිළිඳව ද විස්තර කිරීමට අපේක්‍ෂිතය. මෙම ලිපි මාලාවේ සමාරම්භය ලකුණු කරමින් දේව සංකල්පය පිළිබඳව බෞද්ධ දෘෂ්ටිය පිළිබඳව මූලික හැඳින්වීමක් මෙහිලා සිදු කෙරේ. මේ පදනමේ සිට මෙකී විශ්වාසවල ස්වභාවය අවබෝධ කර ගත හැකි වේ.
මානව ජීවිතයෙහි මිනිසාට මුහුණ පාන්නට සිදුවන විවිධ දුක් කරදර මෙන්ම, වඩා යහපත් වූ ජීවිතයක් ගත කිරීම උදෙසා ද තම සමාජ කණ්ඩායම් අතර ස්ථාවරත්වයක් ගොඩනඟාගෙන තම භෞතික දෑ ආරක්‍ෂා කර ගැනීමේ අරමුණින් දෙවියන් හෝ තමන්ගේ ඇසට නොපෙනන අධිභෞතික බලවේගයන්ගේ හෝ පිහිට පැතීම මුල් කාලයේ සිටම සිදුවිය. මිනිසා ක්‍රමයෙන් ආර්ථික අංශයෙන් ඇති කරගත් දියුණුව සමඟ ආධ්‍යාත්මික අංශ කෙරෙහි ද යොමුවීමක් සිදු විය. එපමණක් නොව මෙලොව මෙන්ම පරලොව පිළිබඳව ද සිතන්නට විය. මිනිසාගේ විශ්වාසය මත දෙවියන් කොටස් පහක් යටතේ පෙන්වා දිය හැකිය.
01. ස්වාභාවික වස්තූන් දෙවියන් ලෙස සැලකීම - ඉර, හඳ, තරාකා, ගහ, කොළ වැනි ස්වභාවික වස්තු
02. සාහිත්‍ය මගින් ඉදිරිපත් වූ චරිත දේවත්වයට පත්වීම - පත්තිනි වැනි චරිත.
03. ලෝකය හා සත්ත්වයා මවා පාලනය කරන දෙවිවරුන් හා මහා බ්‍රාහ්මයා, අහුරමාද් අල්ලා වැනි දෙවිවරු.
04. ලෝකයේ ජීවත් වී සමාජයට යහපත් වූ වැඩක් කළ පිරිස මිය යෑමෙන් පසුව දෙවත්වයෙන් සැලකීම උදා: මින්නේරි දෙවියන්, සුමන සමන් දෙවියන්.
05. ස්වභාවික දිව්‍යලෝකවල සිටින දෙවිවරු: බුමාටු දෙවිවරු මෙන්ම යාමය, තුසිතය ආදී දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන්.
විහංග ප්‍රකරණයෙන් දැක්වෙන ආකාරයට දෙවිවරු වර්ග තුනකින් යුක්තවේ. එනම් සම්මුති දෙවි, උත්පත්ති දෙවි හා විසුද්ධි දෙවි යනුවෙනි. සම්මුති දෙවි යනු රජවරු, බිසෝවරු හා රාජකුමාරයෝ ය. උත්පත්ති දෙවියන් යනු චාතුම්මහාරාජිකයේ දෙවියන් පටන් පියන් උඩ දෙව්ලොව සිටින දෙවිවරු වෙති. විසුද්ධි දෙවි යනු නම් රහත්හුය. මෙහිදී දේව ශබ්දය රජුන්ටත් රහතන් වහන්සේලාටත් සමානාර්ථයකින් යෙදෙන බව පෙනේ. එමෙන්ම ගෞරවාර්ථයකින් යෙදෙන බව ද දැක්වේ.
දෙවියන්ගේ උපත සම්බන්ධයෙන් පවතින මතවාදය අනුව සත්ත්වයන්ගේ උප්පත්ති ක්‍රම හතරකි. දණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික වශයෙන් දැක්වේ. අණ්ඩජ යනු බිත්තරයකින්, බීජයකින්, කටුවකින් උපදින සත්ත්වයෝ වෙති. බොහෝ පක්‍ෂීන් කුකුළන් වැනි සත්ත්වයන් උපදින්නේ මේ ක්‍රමය මගිනි. ජලාබුජ යනු මවුකුසකින් උපදින සත්ත්වයෝ වෙති. මවු කුසක තරලයක වැඩී උපදින සත්ත්වයෝ වෙති. මනුස්සයන් මෙන්ම ඇතැම් තිරිසන් සතුන් ද උපදින්නේ මේ ක්‍රමය මගිනි. සංසේජ යනු තෙතමනය සහිත ස්ථානවල අසූචි, මලමුත්‍රා ආදී ස්ථානවල උපදින සත්ත්වයෝ වෙති. ඕපපාතික සත්ත්වයන් යනු ඒ ඒ කුසල අකුසල කර්මානුරූපව සියලු අංගප්‍රත්‍යාංග සහිතව පිරිපුන් ශරීරයකින් එකවර පහළ වන සත්ත්වයෝය. දෙවියන් ද බ්‍රහ්මණයන් ද ප්‍රේත ආත්ම හා අසුරයෝ මෙන්ම සියලු නිරයන්හි උපදින සත්වයෝ ද ඕපපාතික සත්ත්වයන් සේ ගැනෙයි. වර්තමානයේ දී මිථ්‍යා දෘෂ්ටික යන වචනය නිරන්තයෙන්ම භාවිත වේ. අංගුත්තර නිකායේ අක්ඛණ සූත්‍ර දේශනයේ දී පෙන්නුම් කර ඇත්තේ ඕපපාතික සත්ත්වයන් පිළිබඳව කෙනෙකු විශ්වාස කරන්නේ නැත්නම් ඔහු මිථ්‍යා දෘෂ්ටිකයකු බවයි. එමෙන්ම දෙවියන් ප්‍රධාන වශයෙන් ආකාශස්ථ හා භූමියස්ථ යනුවෙන් කොටස් දෙකකින් යුක්ත වේ. පෘථිවි භූමියෙන් ඉහළ සිටින චාතුර්මහාරාජිකය පටන් ඇති දිව්‍ය තලවල වෙසෙන දෙවිවරු ආකාශ්සථ දෙවිවරු ලෙස දැක්වෙති. පෘථිවි භූමියට සම්බන්ධ එහි පිහිටා තිබෙන විමාන නමින් හැඳින්වෙන අපේ ඉන්ද්‍රිය ගෝචර නොවන වාසස්ථාන ඇසුරුකොටගෙන පහළ වී සිටින දෙවියන් භූමස්ථ දෙවියන් ලෙස සැලකේ. වෘක්ෂලතාදිය හා පූජනීය භුමි ඇසුරු කොටගෙන පවතින දෙවියන් මෙසේ දැක්විය හැකිය. සුන්දර වූ වස්තු ආශ්‍රිතව ද මෙවන් විමන් සකස් කර ගනිමින් විශාල ප්‍රමාණයක දෙවිවරු දැකගත හැකියි. ධර්මානුකූලව විමසීමේ දී පැහැදිලි වන්නේ දෙවියන්ගේ ශරීර ස්වභාවය අපේ චක්ඛු ඉන්ද්‍රියට සාමාන්‍ය තත්ත්වය යටතේ ගෝචර නොවන සියුම් ස්වභාවයක් ගන්නා බව දැක්වේ. මනුස්ස ශරීරය මෙන් රළු ස්වභාවයකින් යුක්තව දැකිය නොහැකිය. ඒ දෙවිවරුන්ගේ වර්ණවත් ස්වභාවය මත ඔවුන්ගේ ශක්තිය ද තිබිය හැකි වේ. ඉන්ද්‍රිය පද්ධතිය ද ඉතා ප්‍රබල හා සියුම් ස්වරූපයකින් යුක්ත වේ. සාමාන්‍ය මිනිසාට වඩා සියුම් දිව්‍ය කන්, ඇස්වලින් යුක්ත වන අතරම සාමාන්‍ය මිනිසාගේ චිත්ත ස්වභාවය දැක ගැනීමේ ශක්තිය ද ඇති බව පෙනේ. භෞතික බාධාවලින් තොරව අතිශය වේගවත් චලන ශක්තියක් දෙවියන් අතර ඇති අතරම සියුම් ශරීර සහිත දෙවියන් පහසුවෙන් මනුස්ස ලෝකයෙහි සැරිසරන බව දැක්වේ. මෙහිදී පැහැදිලි වන කරුණක් වන්නේ දෙවියන් මෙන්ම දිව්‍යමය සත්තු ද අයත් වෙති. ඔවුහු තිරිසන් අපායට අයත් නොවන සත්ත්වයෝ සේ දැක්වෙති. භූමස්ථ දෙවියන්ගේ ආයුෂ පිළිබඳව නිශ්චිත කාල පරාසයක් නොමැති අතරම අදාළ කර්ම විපාක ඇති තාක් දින හතේ සිට අවුරුදු සිය ගණනක් කාලය ගත හැකි වේ. චාතුර්මහා දිව්‍ය තලවල ආයුෂ ප්‍රමාණ පිළිබඳව දක්වා ඇතත් පහළ තලවලහි වෙසෙන දෙවියන් පිළිබඳව මෙබඳු සඳහන් දැකගත නොහැකියි. දිව්‍ය ලෝකවල පංච ඉන්ද්‍රි පිනවීමේ ප්‍රබල ශක්තියකින් යුක්තව පවතින බව පෙනේ. බොහෝ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කාම භූමිවල වාසය කළ ද ශීලාදී ගුණයන්හි යෙදෙන බව දැක්වේ. දෙවියන් දැකිය හැකි වන්නේ සිත දියුණු කළ මිනිසාට පමණි. පාටලී ගාමි සූත්‍ර දේශනාවේදී පෙනෙන ආකාරයට සිත සමාධි කරගත් භික්‍ෂූන් වහන්සේලාට නගරයෙහි ලැඟුම් ගෙන සිටි දෙවිවරු සිය ගණන් දැකගත හැකි විය.
සත්ත්වයන් උපත ලබන ගති පහක් ඇත. නරක, තිරිසන්, ප්‍රේත, මනුස්ස හා දේව යනුවෙනි. දිව්‍ය ලෝකවල සිටින දෙවිවරුන් එසේ සදාකල්ම එකම ස්වරූපයකින් පවතින බවක් නොදැක්වේ. ඒ පිරිස අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට ගොදුරු බව ධර්මයේ දැක්වේ. දේව නිකායක උපත ලැබීම සැපතක් සේ සැලකුව ද බ්‍රහ්මචාරී ලෙස වාසය කිරීම පිණිස නුසුදුසු ස්ථාන අතුරෙන් දීර්ඝායුෂ ඇති දේව යෝනිවල ඉපදීම ද ජරා මරණ දෙක පිළිබඳ සිතන්නට අවස්ථාවක් නොලැබෙන බැවින් එවැනි අවස්ථා පැතිය නොපැතිය යුතු බව දැක්වේ. දීඝ නිකායේ සංගීති සූත්‍රයේ දැක්වෙන ආකාරයට කිසියම් භික්‍ෂු කෙනෙක් එක්තරා දේව නිකායක ඉපදීම සඳහා සීලයෙන් හෝ බ්‍රහ්මචරියාවේ පසින් වැර වඩන්නේ ද හෙතෙම සසර බැදීම් දික්කරගත් කෙනෙකු සේ දක්වා ඇත. දෙවියන් දිව්‍ය ලෝකයෙන් චුතවන කල්හි ශාරීරික වශයෙන් ඇතිවෙන ලක්‍ෂණ පහක් පිළිබඳව ත්‍රිපිටක සාහිත්‍යයෙහි දැක්වේ. තමාගේ වස්ත්‍ර කිලිටිවීම, මල් මාලා මැලවීම, දහඩිය පිටවීම, තමාගේ ආසනයෙහි ඉඳ ගැනීමේ ආශාව අඩුවීම ආදී ලක්‍ෂණ මෙහිදී දක්වා ඇත.
දෙවියන් ඇතැයි යන්න ලෝක සම්මතයෙහි පවතින්නකි. එම සම්මතය වෙනස් කරන්නට කිසියම් කෙනෙකු උත්සාහ කරන්නේ නම් එය නිරර්ථක ක්‍රියාවක් සේ පෙනේ. බුදු සමයේ දැක්වෙන්නේ දෙවියන් යනු මනුෂ්‍යා මෙන්ම පව් පින් අනුව සසර සැරිසරන සත්ත්ව කොට්ඨාසයක් වශයෙනි. ඔවුනට නිශ්චිත කාය ස්වරූපයක් තිබී ඇත. එය බුදුන් වහන්සේ ලිච්ඡවී රජ දරුවන් පිළිබඳව කරන විග්‍රහයකින් පෙන්නුම් කරනුයේ තව්තිසා දෙවියන් හා ලිච්ඡවී රජ දරුවන් රූපයෙන් එක සමාන බවයි. (යෙහි භික්ඛවේ භික්ඛුහි දෙවා තාවතිංසා - මහා වග්ග පාලිය) මහණෙනි ඔබ කිසිවෙකු තව්තිසා වැසි දෙවියන් දැක නැත්නම් තව්තිසා වැසි දෙවියන්ට සමානකම් ඇති ලිච්ඡවී පිරිස දෙස බලන්න යනුවෙනි. දෙවියන්ට ඇත්තේ ඉතා සියුම් ශරීරයකි. එහෙත් සිත සමාධිගත කර ගත් භික්‍ෂූන්ට එය ඝන රූපයක් සේ දැකිය හැකියි.
මජ්ඣිම නිකායේ මහාසීහනාද සූත්‍රයේ පෙන්වා දෙන පරිදි සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතා භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි යම් සත්ත්වයෙක් දෙවියන් අතර උපදින මාර්ග ඒකාන්ත වශයෙන්ම තමන් දන්නා බවයි. එසේ වූ පුද්ගලයා නිසැක වශයෙන්ම පවත්වා ගෙන යා යුතු ක්‍රියා ඇත්තේය. එමෙන්ම දේවතානුස්සතිය වැඩීමට අවශ්‍ය මග පෙන්වා දුන්හ. දේවියන් විෂයෙහි පවත්නා වූ සද්ධා, සීල, සුත, චාග හා පඤ්ඤා යන උතුම් ධර්මයෝ වෙති. මෙසේ දෙවියන් තමන්ගේ දිව්‍යමය තත්ත්වය ළඟා කරගෙන ඇත්තේ මේ ගුණංග පුහුණු කර ගැනීම මගිනි. තිසරණ සහිත වූ පංචශීලය සමාදන් වීමෙන් අනතුරුව දිව්‍ය තලවල වෙසෙන දෙවියන්ගේ ශ්‍රද්ධාදී සීල ගුණාංග තමන්ගේ ජීවිතය තුළ ද වැඩිය යුතු වේ. මෙම ගුණාංගය මාණවීය ජීවිතයක් සාර්ථක කර ගැනීම සඳහා හේතුවන කාරණයක් බව පෙන්වා දිය හැකිය. ත්‍රිපිටකයෙහි නොයෙකුත් සූත්‍ර දේශනා මගින් දෙවියන් පිළිබඳව සාධක සොයාගත හැකියි. මෙහිලා නිදසුන් කිහිපයක් විමර්ශනය කිරීමේදී ධම්මචක්ක පවත්තන සූත්‍ර දේශනයෙන් ද බුදුන් වහන්සේ පෙන්වා දෙන්නේ දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයෙහි තමන් බුද්ධත්වය ලබාගත් බවයි. එහිම දැක්වෙන ආකාරයට දිව්‍ය ලෝක හා බ්‍රහ්ම ලෝක පිළිබඳව ද තොරතුරු දැක්වේ. බුදුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට අවවාද කළේ ද දෙවියන් මිනිසුන් සහිත ලෝකයේ සත්ත්වයන්ට අනුකම්පාවෙන් ධර්ම චාරිකාවෙහි හැසිරෙන ලෙසයි. බුදුන් වහන්සේගේ දෛනික ජීවිත කාලසටහනෙහි දැක්වෙන ආකාරයට පෙරබත් කිස, පසුබත් කිස, පෙරයම් කිස, මැදියම් කිස, පැසළුයම් කිස යනුවෙන් දැක්වෙන දෛනික කාලසටහනේදී මධ්‍යම රාත්‍රිය වෙන් කර ඇත්තේ ද දෙවියන්ට දහම් දෙසීම සඳහාය. පරාභව හා කරණීය මෙත්ත සූත්‍රවල ද දැක්වෙන්නේ ද දෙවියන් හා සම්බන්ධ ප්‍රවෘත්ති වේ. කරණීය සූත්‍රයේදී භික්‍ෂූන්ට කරදර කළ දෙවියන්ට පිං දෙමින් මෙත් වැඩිය යුතු බව දේශනයේ දැක්වේ. දෙවියන්ගේ සැබෑ තත්ත්වය පෙන්නුම් කිරීමේදී මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙන ආකාරයට මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති දේවතා රක්ඛන්ති ආදී වශයෙන් දැක්වෙන තැනදී මෛත්‍රිය වැඩීමෙන් දෙවියන් මනුස්සයන් හා අමනුස්සයන් ද ප්‍රියබව දැක්වේ. මෙය විසුද්ධි මාර්ගයෙහි විශාක තෙරුන්ගේ කතා ප්‍රවෘත්තියෙන් ද දැකගත හැකියි. වරක් සංඝාරව බමුණා ද බුදුන් වෙත පැමිණ දෙවියන් සිටී ද යනුවෙන් විමසන කල්හි, දෙවියන් ඇති බව ගුණවන්තයන් විසින් පිළිගත යුතු බව දේශනාවේ දැක්වේ. මජ්ඣිම නිකායේ බාල පණ්ඩිත සූත්‍රයෙන් ද පෙන්වා දෙන්නේ දිව්‍ය සැප සම්පත් අසීමිත බවයි. අභිධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ තුසිත දිව්‍ය ලෝකයට වැඩම කළ බව දැක්වේ. මහා පරිනිබ්බාන සූත්‍රයෙන් පෙන්වා දෙන පරිදි ධර්ම ශ්‍රවණය සඳහා ලක්‍ෂ සංඛ්‍යාත වූ දේව පිරිසක් පැමිණි බව දැක්වේ. රතන සූත්‍රයෙන් ද පෙන්වා දෙන පරිදි යානිධ භූතානි ආදී වශයෙන් දැක්වෙන ස්ථානයන්හි විවිධ ජීව කොට්ඨාස පිළිබඳව තොරතුරු හෙළිදරව් වේ.
මනුස්ස ලෝකය තුළ ජීවත් වන මිනිසුන් පින් කොට දෙන පින් දෙවියන්ට අනුමෝදන් කිරීමෙන් ඔවුන් ආරක්‍ෂා කරන බව පාටලී ගාමි සූත්‍රයෙන් ද දැක්වේ. ධර්මානුකූලව ජීවත් වන මිනිසුන් දෙවියන් විසින් ආරක්‍ෂා කෙරෙන බව ද දැක්වේ. අංගුත්තර නිකායේදී පංච බලි ගැන සඳහන් කිරීමේදී දේවතා බලි සංග්‍රහ යනුවෙන් දැක්වෙන තැනේදී දෙවියන්ට පිදිය යුතු කොටස පිළිබඳව සඳහන් වේ. රජවරු ඇතුළු මුළු මහත් ලෝකයේ වාසය කරන ජනයා අධාර්මික වනවිට ලොවෙහි ස්වභාවික වස්තුන් පවා වෙනස් වන බව දැක්වෙන අතරම දෙවියන්ගේ පවා කෝපවීම් සිදු වන බව අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේදී දැක්වේ. ධජග්ග සූත්‍රයේදී පෙන්වා දෙන්නේ දෙවියන් ද රාග දෝෂ මෝහවලින් ගහණ පිරිසක් බවයි. ධර්මය තුළ දක්වා අත්තේ මිනිසා භයට තැති ගැනීමට ලක්වන කල්හි ගස් ගල් පර්වතවල පිහිට පතන බවකි. එමෙන්ම සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ දෙවන පණ්ණාසකයේ ආනන්ද වර්ගයේ චූලනිකා සූත්‍ර දේශනාව අනුව සහස් ශ්‍රී ලෝක ධාතුව පිළිබඳව දක්වන තොරතුරු ද මෙහිදී සඳහන් වේ.
විශේෂයෙන්ම ආටානාටිය මහා සමය සූත්‍ර දේශනාවලින් ද පැහැදලි වනුයේ ලෝකයේ විවිධ සත්ත්ව කොට්ඨාසවල ස්වභාවයයි. මෙම සංක්ෂිප්ත හැඳින්වීම තුළ පැහැදිලි වන්නේ බුද්ධත්වය ඥානයෙන් දුටු දෙවිවරු මෙම ලෝකධාතුව තුළම වාසය කරන බවයි. ඔවුන් විසින් කරන ලද පුණ්‍යකර්මවලට අදාළ ආයු කාලය කෙළවර, අනෙක් ලෝක සත්ත්වයන් මෙන්ම, සංසාර ගමනට එක්වන, තාවකාලික ආත්ම භවයන් ලද්දවුන් වශයෙන් දැක්වේ. මනුස්සයන්ට ප්‍රකෘති ඇසින් දෙවියන් දැකිය නොහැකිය. මනුෂ්‍යයන්ට දෙවිවරු දැකිය හැකි වන්නේ උසස් ඥානයන් උපදවා ගත් කල්හිය. මුල්කාලීන ත්‍රිපිටක ග්‍රන්ථවලින් එළි දක්වන දේව සංකල්පය හා අට්ඨ කතාවලින් හෙළි දක්වන දේව සංකල්පයන්ගේ යම් ආකාරයක වෙනස්කම් දැකිය හැකිය. ප්‍රතිපත්ති පිරීමෙන්ම නිවන් අවබෝධ කරගත හැකිය යන්න මුල්කාලීන පැවැති ආකල්පයක් වේ. පසුව එය වෙනස් ස්වරූපයකින් මතු වූ බව පෙනේ. මුල්කාලීන ත්‍රිපිටක සාහිත්‍යයෙහි පැවති දේව සංකල්ප අට්ඨ කතාදිය තුළ වෙනස් ස්වරූපයකින් දැකිය හැකිය. හින්දු ආදී ආගම්වල බලපෑම මත දේව විශ්වාසවල බලපෑම දැඩි විය. මිනිසා පින් කර දෙවියන්ට අනුමෝදන් කරනුයේ නිවන් දැකීම පිණිස නොවේ. බුදුන් විසින් පිළිගැනුණ දෙවිවරු, පූජා මගින් ඉල්ලීම් ඉදිරිපත් කිරීමට හැකි දෙවිවරුන් නොවූ නමුත්, පශ්චාද් පිටක යුගයේ දෙවිවරු තමන්ගෙන් කරන ඉල්ලීම් ලබා දෙන, මනුෂ්‍යයන් ප්‍රදානය කරන පින් අනුමෝදන් වන, එසේ පින් අනුමෝදන් වී මනුෂ්‍යයන් ආරක්‍ෂා කරන්නන් බවට පත් වෙති. ශ්‍රී ලාංකේය ජන සමාජයෙහි විශ්වාසයට පාත්‍ර වී දේව ධුරාවලිය පිළිබඳව අපගේ අවධානය යොමු කළ යුතු වේ.
විශේෂයෙන්ම එම සංකල්ප හරහා සුවිශේෂී කරුණු රාශියක් අනාවරණ කරගත හැකිවේ. වර්තමානයේදී බෞද්ධ ජනතාව වැඩි වැඩියෙන් පූජනීය ස්ථාන කරා ඇදී යෑමත් එයින් තමන්ගේ භාරවීම් පිළිබඳව මෙන්ම ඒවා ඉටුවීම් පිළිබඳව ද දක්වන අදහස් මෙන්ම ඔවුන්ගේ අත්දැකීම් ද මෙහි ලා විමසීම වැදගත් වේ.