මීමනට සීයයි


මී-මන.
 
 
මී යනු මී පැණිය. තවත් විස්තර කළහොත් මිහිරිය. මන යනු මනසය. මිහිරෙන් පිරුණු මනසක් ඇති යන අරුත මීමන යන වචනයෙන් ගම්‍ය වෙයි.
 
එසේ වුවත් මීමන යනු වචන දෙක එකට එකතු වූ තැන සුන්දර ගම්මානයක් තිබේ. හොරණ පැත්තේ පිහිටි මීමන ගම මේ වනවිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පැතිර ඇත්නම් ඒ මීමන ප්‍රේමතිලක නම් වූ කවියා නිසාය.
 
යම් පුද්ගල නමක් ලියනවිට නමට මුලින් ගමේ නම භාවිතා කරන්නේ බෞද්ධ භික්ෂූන්ය. යම් ගිහියෙක් නමට මුලින් ගමක නම භාවිතා කරන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම කවියෙකි. ඇය අනිවාර්යයෙන්ම කිවිඳියකි.
 
කරුණාරත්න ප්‍රේමතිලක මීමන ප්‍රේමතිලක බවට පත් වූයේ ඔහු ද කවියකු වූ නිසාය.
 
කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා විට ද කවියකු ලෙස ප්‍රසිද්ධියක් ඉසිලූ ඔහු ඒ වනවිට ද සිළුමිණ පත්තරයට කවි නිර්මාණ සපයමින් සිටියේය.
 
එක්තරා කාලයක සිංහල කවිය සහ කවියාට රටේ ලොකු පිළිගැනීමක් තිබිණි. විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධය පැවැති සමයේදී කවි පොත්වලට ද කවි පත්තරවලට ද කවි සඟරාවලට ද තිබුණේ ලොකු ඉල්ලුමකි. එදා ගීතයට සමාජයේ​ ලොකු තැනක් තිබුණේ නැත. ඒ නිසාම සංගිත ප්‍රසංග ද නොතිබුණි. එදා තිබුණේ කවි මඬුය. අල්විස් පෙරේරාලා, කුඩලිගමලා, කේයස්ලා රටේ ජනප්‍රිය චරිත බවට පත්ව තිබිණි. මේ නිසා එදා කවියකු වීම වාසනාවක් විය. මීමන ද කවියකු ලෙස පතල වූයේ ඔන්න ඔය වකවානුවේය. ඔහු ගෘංගාරය පිරුණු කවි පොත් ලිව්වේය. පිටු දහසයකින් යුත් කවි පොතක් ලියා ගුණසේන සාප්පුවට දුන්විට රුපියල් දහයක් ලැබිණි. ඒ නිසා යුද්ධ කාලයේ මීමන හොඳට හම්බ කළේය.
 
කවි පොතක් වෙළෙඳපොළට පැමිණි විට හමුදා සෙබළු මේ කවි පොත් අරගෙන තලු මර මරා කියවූහ.
 
මීමන වඩාත් ප්‍රචලිත වූයේ කවියකු ලෙස බව සැබැවි. එහෙත් ඔහු පත්තරකාරයකු ද වූයේය. ඔහුගේ කවිකම ගැන වැඩිදුර කතා නොකර ඔහු තුළ සිටි පත්තරකාරයා ගැන කතා කරන්නට කැමැත්තෙමි.
 
මීමන පත්තර ජීවිතය පටන් ගත්තේ ප්‍රදේශීය වාර්තාකාරයකු ලෙසිනි. සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන් ද එක සේ ලියන්නට හපනකු වූ ඔහුට වැඩි කල් නොයාම දිනමිණ රස්සාවක් ලැබිණි. පරිවර්තතයකු, උපකර්තෘවරයකු, විශේෂාංග කර්තෘවරයකු සහ කර්තෘවරයකු ලෙස පියවරෙන් පියවර ඉහළ ගිය ඔහු කිහිපවරක්ම රස්සා මාරු කළේය.
 
පුංචි කලකිරීමක් වුව ද ඔහුට රස්සාව හැර යන්නට ප්‍රමාණවත් හේතුවක් විය. එහෙත් ඔහුට රස්සාවලින් නම් අඩුවක් වූයේ නැත.
 
ඒ සිංහල ඉංග්‍රීසි ද්වි භාෂා දැනුම හේතුවෙනි. ආයතන කිහිපයකම භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරන්නට ඔහුට හැකි විය. කෙසේ වෙතත් ඔහුගේ වැඩිම කැමැත්ත තිබුණේ පත්තර කලාවටය.
 
ඔහු සිළුමිණේ විශේෂාංග බාර කර්තෘවරයා ලෙස සේවය කළ අවධියේ දී ‘ලංකාවේ ලස්සන තැන්’ නම් විශේෂාංගයක් ලිව්වේය. රාජ්‍ය ලේඛනාගාරයට ගොස් පරණ පත්තර පෙරළන විට මට මීමන ලියූ ලංකාවේ ලස්සන තැන් විශේෂාංග කිහිපයක්ම කියවන්නට හැකි විය. ඒ විශේෂාංගය තනිකරම කවියක් සේ මට දැනිණි.
 
කවියා යනු ආදරය කරන්නෙකි. ඒ ආදරය ස්ත්‍රී පුරුෂ ප්‍රේමය පමණක්ම නොවේ. ඊට වඩා ඔබ්බට ගිය එකකි. පරිසරයට අසීමිතව ප්‍රේම කරන්නට ද කවියකුට හැකිය. මීමන තම රචනාවලින් හෙළිදරව් කළේ අන්න ඒ ප්‍රේමයයි.
 
‘‘මේ විශේෂාංග සැපැයීමේ ගමන් බිමන් නිසා මම හුදකලා වනයට ප්‍රිය කරන්නට පටන් ගතිමි. විල්පත්තුවේ කෙතරම් කොටි සහ වලසුන් ඇතත් හුදෙකලාවම එහි විලක් ළඟ පක්ෂීන් නරඹ නරඹා සිටින්නට ඇත්නම් මට ඒ තරම් රසයක් නැත. යාල අභය භූමියේ වල් අලි රංචුවක් ඉදිරියේ ඒ අලින්ට නොපෙනෙන පරිදි සැඟවී බලා සිටින්නට ඇත්නම් එතරම් සම්පතක් මට නැත.’’
 
​ෙම් සොබාදහමට බැඳුණු ප්‍රේමය ගැන මීමන සිය ජීවන චරිතාපදානය වූ ‘මගේ ප්‍රේමය, කලාව සහ ජීවිතය’ පොතේ ලියා තැබූ දේය.
 
කෙසේ වෙතත් ඔහුගේ සොබාදම් ප්‍රේමය සදාකාලික වූයේ මියුණු ඇල්ල නිසාය. ඔහුගේ ගමේ මිතුරකු සමඟ එදා මියුණු ඇල්ලට යනවිට හාත් පස වැසී තිබුණේ වන ගහනයෙනි. මේ සුන්දර ඇළි කොමලියට ඔහු කොයි තරම් පෙම් බැන්දා ද යත් ඔහු ඇය ගැන කවි පොතක්ම ලිව්වේය. නිල් දියේ නලඟන යනු එයයි.
 
මේ එයින් කවි දෙක තුනකි.
 
අල්ලා අතින් පාවෙන වන මල්ක ළඹ
නිල් වතුරෙන් නැගුණු අති සුන්දර කළඹ
ගල් පර නැමති උස් රඟ මඬලට එළඹ ​
​ෙසාල්වාපන් තවත් දිය සුලි මිණි සළඹ
මිනිසුන් ගහන කටහඬකින් වද දුරුව
මහ වනයෙහි තිබෙන පාලනයම හුරුව
කුකුළු කෝරළයේ දිය දහරා තරුව
වෙන කවුරුත් නැත්ද තිගෙ ගී රස ඉරුව
 
මීමන ලස්සනට ඇලුම් කළේය. ඊට හේතුව ඔහුට මිහිරි මනසක් තිබීම ද විය හැකිය. ඔහු ලස්සන දුටු දේවල්වලට අතමරව කාන්තාව ද සිටියේය. ඒ නිසාම ඔහු බොහෝ කාන්තාවන් හා ළඟ ඇසුරුකම් පැවැත්වීය. වරක් ඔහු බසයකින් යන විට සුරූපී යුවතියක බසයේ සිටියාය. අගේ වත මඬලෙහි වූ ලස්සන වෙන කිසි තැනකික් නුදුටු ඔහු මුළු කාලය පුරාවටම ඇය දෙසම බලා සිටියේය. ඔහු බසයෙන් බැස යා යුතු තැන ද පසු වෙමින් තිබිණි. එහෙත් තම ගමනට වඩා අර යුවතියගේ ලස්සන ඔහුගේ මී මන මෝහනය කර තිබිණි.
 
අැය බසයෙන් යනතුරුම ඔහු ඇගේ ලස්සනින් සතුටු විය.
 
තවත් වතාවක ඔහුට මුණ ගැසුණු හෙදියකගේ ලස්සනට ඔහු වසඟ විය. ඒ වසඟ වීම කොයි තරම් දුර ගියා ද යත් දෙදෙනා අතර ප්‍රේමයක් පවා හට ගත්තේය.
 
මේ හැම පෙම් දමකටම හේතුව ඔහු මීමන ප්‍රේමතිලක වීමය. ඔහුගේ කවියට බොහෝ කාන්තාවන් ඇලුම් කිරීමය. කවියට හට ගන්නා ප්‍රේමය කවියා කෙරෙහි ද හට ගැනීම අරුමයක් නොවේ.
 
​ෙකසේ වෙතත් මීමනගේ වටිනාකම වන්නේ ඔහුගේ අව්‍යාජත්වයයි.
 
 
ඔහු සිළුමිණේ විශේෂාංග බාර කර්තෘවරයා ලෙස සේවය කළ අවධියේ දී ‘ලංකාවේ ලස්සන තැන්’ නම් විශේෂාංගයක් ලිව්වේය. රාජ්‍ය ලේඛනාගාරයට ගොස් පරණ පත්තර පෙරළන විට මට මීමන ලියූ ලංකාවේ ලස්සන තැන් විශේෂාංග කිහිපයක්ම කියවන්නට හැකි විය. ඒ විශේෂාංගය තනිකරම කවියක් සේ මට දැනිණි.
 
එ් සෑම ප්‍රේම කතාවක් ගැනම ඔහු අව්‍යාජව ලිවීමයි. වරක් ඔහුට හමු වූ පෙම්වතියක ගැන ඔහු පොතක්ම ලිව්වේය. හැබැයි ඒ පොතේ එකදු පිටපතක්වත් ඔහු ළඟ තිබුණේ නැත. හේතුව ඔහු ගේන ගේන පොත ඔහුගේ බිරිඳ විසින් ඉරා දමනු ලැබීමය.
 
මේ මොහොත මීමනගේ පෞද්ගලික ජීවිතයට එබී බැලිය යුතු මොහොතයි. ඇඩ්ලින් හතමුණ නම් වූ ඔහුගේ බිරිඳට ඔහු පෙම් බැන්දේ ඈ සතු අහිංසකකම හේතුවෙනි. මීමන ඇයට ලියුම් දෙක තුනක්ම යැව්වේය. එහෙත් ඇඩ්ලින් එ් එකදු ලියුමකටවත් උත්තර එව්වේ නැත. හේතුව වූයේ ඔහුගේ හැඩි දැඩි සිරුරට අහිංසක ඇය බිය වීමය. කෙසේ වෙතත් දෛවය වෙනස් කරන්න මහ බඹාටවත් නොහැක. අන්තිමේදී ඇගේ වයස අවුරුදු විසි එකේ දී විස් පස් හැවිරිදි මීමන ඇඩ්ලින් විවාහ කර ගත්තේය. ඔවුන්ගේ දරු පවුල ලොකු එකකි. සුනිල් මාධව, සරත්, සමන්, සඳුන්, රමණි සහ සරෝජා එහි සාමාජිකයන්ය. ඔවුනතරින් හතරදෙනෙක්ම පත්තරකාරයේ වූහ.
සමන් මිය ගියේ ළදරු අවධියේදීමය. ඒ මරණය මීමනගේ හදවත ​ශෝකයෙන් දැදුරු කරන්නට සමත් විය. ඒ දරුවා ගැන ‘මියගිය දරුවෙක්’ නමින් මීමන ලියූ පැදි පෙළ නොදන්නා කෙනෙක් නැති තරම්ය.
 
බුදුන් දහම් සඟුන් ළඟින් රැකු නිරන්තරෙන්
පියම්බිකාවගෙයි මගෙයි දයා බැලුම් ලැබු
සුනිල් සරත් සමන් කියා රුවන් තුනක් තිබේ
එයින් එකක් ගියා අනේ කොහේද ඒ ගියේ
විකාස පද්මයෝ නැසෙත් සැඳෑ වළා බලා
එහෙත් උදේ පිපෙන් විලේ සහස් රැසින් තෙමී
නෙළුම් මලක් වගේ වෙමින් සමන් පුතේ යළිත්
මටයි මගේ පියම්බිකාවටයි පුතා වෙයන්
 
කොළඹ සාහිත්‍ය යුගය ගැන කතා කරන විට මීමන​ ප්‍රේමතිලකගේ නම සටහන් වීම අනිවාර්යය.
 
එහෙත් ඔහු කවිකම වර්ධනය කර ගත්තේ බාධා මධ්‍යයේය. මුලින්ම ඔහු ලියන බව දැනගත් මොහොතේ ඔහුට කවි ලියන්නට එපා යැයි කීවේ ඔහුගේ තාත්තාය. ඒ කාව්‍ය භාෂාව ගැන නොදැන කවි ලියන්නට යෑමෙන් වස් වදිනවා යැයි ඔහු තුළ තිබූ විශ්වාසය නිසාය.
 
දෙවැනි වර ඔහුට කවිකම එපා වුණේ ‘ඈත් වූ පේමිය’ නම් වූ කවිය පත්තරයක පළවූ පසුවය.
 
මා ඇසේ රසඳුන් මගේ
සිටි පේමියේ තිගේ රූ සිරි
මේ දෙසේ හිඳ නෑ පෙනෙන්නෙම
බෑ අපෙන් ඉවසුම් බැරී
සේ මුතු දිලී දත් පෙළේ
සිරියා බොහෝ විය පේමියේ
මා සිතූ සැනසී එදා අද
හා දවුල් දැකැ මේ වැයේ
පායනා පසළොස්වකේ සඳ
සේසිරි පිරී තී වනේ
​ෙම් දිනේ බලමි කෙසේ මෙහි
නෑ අහෝ සැලසුම් සිතේ
 
​ෙමබඳු කවි එකොළහකින් ’ඈත් වූ පේමිය’ සමන්විත විය.
 
එවකට ඔහු අධ්‍යාපනය ලැබුවේ ආනන්දයේය. ඔහු කවි පෙළ ලියුවේ ගමේදී හමුවන සුන්දරියක වෙනුවෙනි. කෙසේ හෝ වේවා ඒ කවි පෙළ පළවී​ෙමන් පසුව විදුහලට මීමනගේ​ නමින් පාර්සලයක් ලැබී තිබිණි.
මිතුරන් වටකරගෙන පාර්සලය දිගහැරිය විට මීමන දැක ඇත්තේ තණකොළ හා පුන්නක්කුයි. ඉන් ලජ්ජාවට පත් වුණු මීමන පාසල් අධ්‍යාපනයට ආයුබෝවන් කීවේය.
 
මෙබඳු රස කතා තවත් ඕනෑ තරම්ය. මදුවිතටත් දුම්වැටියටත් අසීමිත පෙම් කළ බැවින් මීමනගේ ජීවිතය කෙටි එකක් විය. එහෙත් ඒ කෙටි කාලය තුළ ඔහු ලියූ කවි පොත් රාශියකි.
 
කිරි හාමි, සොහොන් බිම, ශ්‍රී ලංකා, අනංගයා, ආදරය, අනංග දමනය, සුරපුර, ඈත් වූ පේමිය, රති සාගරය, මිනිහා, යමුනා, අඹ මල්, පාළුගම හා පෙම් මැණික් ඒ අතර විය. මින් සමහරක් විදෙස් කාව්‍ය කාතීන්හි පරිවර්තන විය.
 
“තාත්තා ජීවත් වුණේ අවුරුදු හතළිස් හයක් විතරයි. හිටිය නම් මේ විසිවෙනිදට තාත්තාට අවුරුදු සීයක්.” තාත්තගේම කපාපු පලුව බඳු යැයි කියන රමණි මා සමඟ කීවාය.
 
කෙසේ වෙතත් තවත් අවුරුදු සීයක් ගියත් මීමනගේ නම අමරණීය බව කිවයුත්තක් නොවේ.
 
 
 
 
ශාන්ත කුමාර විතාන