IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අනවසර ඉදිකිරීම්වලට ඉඩදී පසුව කඩන්න යන්නේ ඇයි

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල දෙවට තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේ දී දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇති වූ බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ඉකුත් 18 වැනිදා මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ මෙහෙයුම ක්‍රියාත්මක වී ඇති අතර එයට විරෝධය පා ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති ජනයා ටයර් පුළුස්සා මාර්ග අවහිර කරමින් විරෝධතාවේ නියැළුණ බව ද ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.

සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම ජාතික සිරිතක් වශයෙන් ප්‍රගුණ කරන සමාජයක අප ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් අමුතු විමතියක් ඇති කරගත යුතු නැත. එහෙත් එසේ යැයි කියා මෙබඳු ප්‍රවෘත්ති සුළුවට ගෙන පහසුවෙන් බැහැර කළ යුතුද නැත. මන්දයත් අනවසර ඉදිකිරීම් වසංගතයක් බවට පත්ව ඇති හෙයිනි. පිළිලයක් මෙන් පැතිරී ගොස් ඇති හෙයිනි.

බිම් අඟලක හිමිකමක් නැති ජනයා අපමණය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත. එම ජනයා එහෙයින්ම කොතැනක හෝ තිබෙන දේපළක් තමන් සතුකර ගැනීමට උත්සාහ කරති. ඒ ඇතැම්විට ජීවත්වීමටය. නැතහොත් සුළුවෙන් හෝ ව්‍යාපාරයක් අරඹා ජීවිකාව සරිකර ගැනීමටය. ඒ අනවසර ඉදිකිරීම්වල එක් පැත්තකි. අනෙක් අතට මුදල් බලය හා දේශපාලන බලය සහිත පුද්ගලයෝ ද අනවසර, ඉදිකිරීම් කරති. ඔවුන් සතුව නීතිය සම්බන්ධයෙන් තඹදොයිතුවක හෝ බියක් නැත. නිවසක්, ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී ඒ වෙනුවෙන් නිසි අවසරය ගත යුතුය. ඒ එම ගොඩනැගිලි නිසි ප්‍රමිතියකට යටත් විය යුතු හෙයිනි. එහෙත් ධන බලය හා දේශපාලන බලය පිරිවැරූ පුද්ගලයෝ ඒවා නොතකති. පාරිසරික හානි හා වෙනත් හානි සම්බන්ධයෙන් අවධානය යොමු නොකරන ඔවුහු තමන් අභිමත දේ පමණක් කරති.

අනවසර ඉදිකිරීම්වලට සම්බන්ධ මෙම පුද්ගල වර්ග දෙක සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී පැහැදිලිවන එක් කරුණක් තිබේ. එනම් මෙම පුද්ගල වර්ග දෙක ක්‍රියාත්මකවීමට පෙර ඒවා නතර කිරීමේ යාන්ත්‍රණයක් නොමැති බවය. ඇත්තම කතාව නම් එබඳු යාන්ත්‍රණයක් තිබේ. ප්‍රාදේශීය සභාව, නගර සභාව, මහ නගර සභාව ආදී ආයතන පිහිටා තිබෙන්නේ ඒවාටය. ඊට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, දුම්රිය ආරක්ෂක සේවය වැනි ආයතන ද පිහිටා තිබේ.

දුම්රිය මාර්ගය දෙපස නිවාස ඉදිකිරීම නොව දුම්රිය මාර්ගය දිගේ ගමන් කිරීම ද නීති විරෝධීය. නූගත් මිනිසාට එය ප්‍රශ්නයක් නොවේ. ඔවුහු එම නීති විරෝධී ක්‍රියාව කරති. පෙරකී අදාළ ආයතන ක්‍රියාත්මක විය යුත්තේ එහි ආරම්භක අවස්ථාවේදීය. එම අනවසර භූමියේ පරම්පරා දෙක තුනක් ජීවත් වූ පසු අනවසර බව අහෝසිවී යයි. ඒවා ඔවුන්ගේ බූදල් බවට පත්වේ.

අනවසර ඉදිකිරීම් ආරම්භයේදී ඒවාට එරෙහිව ක්‍රියාත්මක නොවී උඩබලාගෙන සිටින ආයතන තත්ත්වය වර්ධනය වූ පසු පොලිස් හා යුද හමුදා බළ ඇණි පිරිවරා ඒවා ඉවත් කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. ගාල්ල දෙවට ප්‍රදේශයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ගිය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ජී. පුෂ්පකුමාර මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ අනවසර ඉදිකිරීම් විසි හතක් හඳුනාගෙන ඇති බවය. මෙම ගොඩනැගිලි අතර නිවාස, හෝටල්, ආපනශාලා, මෙන්ම සංවාරක ව්‍යාපාරික ස්ථාන ද තිබෙන බව සඳහන්ය. මෙම අනවසර ගොඩනැගිලි සියල්ලෙහිම පාහේ වැසිකිළි වළවල් මුහුදට හරවා තිබෙන නිසා මුළු ප්‍රදේශයම අපිරිසිදු බවින් හා දුර්ගන්ධයෙන් පිරී පවතින බවද සඳහන්ය.

පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් වාගාඩම්බර ඇදබාන සමාජයක මෙවන් තත්ත්වයක් නිර්මාණය විය හැකිද? මෙතරම් අනවසර ඉදිකිරීම් ප්‍රමාණයක් සිදු කරනතුරු අදාළ ආයතන සිටියේ කොහිද? ඒ මොහොතේ නෑසූ කන්ව සිටියේ මන්ද? ඔවුන් තම රාජකාරිය නිසි පරිදි ඉටුකර තිබේද?

මෙම ප්‍රශ්න කිරීම ගාල්ල, දෙවටට පමණක් අදාළ වූවක් නොවේ. රටේම පොදු තත්ත්වය මෙපරිදිය. කසිප්පු පෙරීම කසිප්පු කාරයාගේ වැඩකි. ඒවා ඇල්ලීම පොලිසියේ වැඩකි. පොලිසිය එම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන්නේ නම් කසිප්පු ජාවාරම බාධාවකින් තොරව කටයුතු කරගෙන යයි. ඇත්ත තත්ත්වය එයයි. එහෙයින් කළ යුතුවන්නේ අදාළ ආයතන අවදියෙන් සිටිමින් කටයුතු කිරීමය. සංහාරයෙන් පසුව සංරක්ෂණය සම්බන්ධයෙන් කටමැත දෙඩවීම දැන්වත් නතර කළ යුතුය. එසේ නොවුණොත් පරිසරය විනාශවී ගිය, මිනිස් සමාජයට නුසුදුසු බිමක් බවට මේ බිම පත්වනු ඇත.



අදහස් (0)

අනවසර ඉදිකිරීම්වලට ඉඩදී පසුව කඩන්න යන්නේ ඇයි

ඔබේ අදහස් එවන්න

කොලම

ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 127 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 778 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


ඡන්දයේදී ජනතා අපේක්ෂා
2024 අගෝස්තු මස 30 228 0

ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වී


ඡන්දයෙන් ජනතා අයිතිය සුරැකීම
2024 අගෝස්තු මස 26 289 2

දින නියමයක් නොමැතිව කල් දමා තිබූ පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා මැතිවරණ කොමිසමට නියෝග කළේය. ඒ අනුව ඉදිරි දිනය


විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය
2024 අගෝස්තු මස 23 715 2

මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා


​ප්‍රශ්න විසඳන නායකත්වයක අවශ්‍යතාව
2024 අගෝස්තු මස 19 417 1

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වෙන්නේ වසර 2022 දී උද්ගත වූ මහජන අරගලයෙන් එවකට බලයේ සිටි ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීම


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site