“දෙවියන්ගේ පානය අමාවයි: මිනිසාගේ අමාව ජලයයි!” මේ වැකිය දැනට වසර දශක කිහිපයකට පෙර මෙරට පළ වූ පුවත්පත් දැන්වීමක සඳහන් වූවකි. අදාළ දැන්වීම ජල සම්පත සුරැකීම සෑම මිනිසකුගේම වගකීමක් බව පෙන්වා දීම සඳහා පළකර තිබූ දැන්වීමක් බව ද අපට මතකය. මෙකී ප්‍රබල වැකිය එදාට වඩා අද දවසට දැඩි ලෙස අදාළ බව සඳහන් කරනු කැමැත්තෙමු. නියං තත්ත්වය ද සමඟ මේ රට මුහුණ දී සිටින ජල සම්පත හිඟවීමේ ප්‍රශ්නය එන්න එන්නම උග්‍රවෙමින් පැවතීම ඊට හේතුවය.
ශ්‍රී ලංකාව දැන් යළිත් දරුණු නියං තත්ත්වයකට මුහුණ දී සිටියි. රජරට වැසියෝ ලක්ෂ ගණනක් මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. බීමට ජලය ගන්නා ළිං පමණක් නොව වගාවට ගන්නා වැව්වල ජලය ද සිඳී ගොසිනි. වික්ටෝරියා ජලාශය පතුලටම සිඳී ගොස් ඇති බව පෙන්නුම් කරන ඡායාරූප මාධ්‍යවල පළ වූ අතර තත්ත්වය ඉදිරියේදී තවත් බැරෑරුම් අතට හැරෙන බවට ලකුණු පහළවෙමින් තිබේ. ඒ අතරවාරයේ කැලෑ වැනසීම ද ජයටම සිදුවෙමින් පවතී. රිටිගල රක්ෂිතයේ මහ කැලෑවේ අක්කර 50කටත් වඩා මහ ගස් කපා දමා හෙළිකර ඇතැයි පසුගියදා වාර්තා පළ විය. කැලෑ කපන තරමට මේ තරමින් හෝ රටට වැස්ස ලැබීම ගැන දෙවියන්ට ස්තූති කළ යුතුය.
මෝසම් වර්ෂාව නොලැබීම ඉදිරි මාස කිහිපය තුළදී මේ රට තුළ බරපතළ ජල ප්‍රශ්නයක් ඇති කරන බවට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා අනතුරු ඇඟවීය. බත්තරමුල්ලේ පැවැති උත්සවයකදී ඇමැතිවරයා එම රතු එළිය දල්වමින් ඉදිරි කාලය තුළදී රටෙහි ඇති වන පානීය ජල ප්‍රශ්නයට, කෘෂිකාර්මික හා විදුලිය නිෂ්පාදනයට ජලය යොදා ගැනීමේදී ඇතිවිය හැකි ප්‍රශ්නවලට මුහුණදීම සඳහා “කාලගුණික හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කළ යුතු බව ද සඳහන් කළේය. කාලගුණික හා දේශගුණික විපර්යාස අද ලෝකයටම බරපතළ ප්‍රශ්න ඇතිකර තිබෙන බවත් ඔහු කියා තිබිණි.
ප්‍රශ්නය මේ තරම් බරපතළ වන විට එය වහාම රටේ සියලු වගකිවයුත්තන්ගේ අවධානයට ලක්විය යුතුය. ගෝලීය උණුසුම ඉහළ යාමත් සමඟ සිදුවෙමින් පවතින කාලගුණ විපර්යාස කිසිවකුත් ගණන් නොගැනීම පැහැදිලිවම අනාගතයේ දී බරපතළ අර්බුදයකට අතවැනීමකි. මේ අර්බුදයේ විනාශකාරී බලපෑම දේශපාලන පක්ෂයකට, ආණ්ඩුවට හෝ විපක්ෂයට නොව මුළු රටටමය.
මෝසම් වැස්සෙන් පානීය ජලය, කෘෂිකාර්මික අවශ්‍යතා සපුරා ගන්නා රටක් වන ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සිදුවන දේශගුණික හා කාලගුණික විපර්යාසවලට ගොදුරු වීමේ බරපතළ අවදානමකට මුහුණ දී සිටින රටකි. මෝසම් වැස්ස නිසි ආකාරයට නොලැබුණොත් රටේ ප්‍රදේශ කිහිපයකට දරුණු නියඟයක් ඇතිවෙයි. සෙසු ඇතැම් ප්‍රදේශවලට දරුණු වැසි ද ඇති විය හැකිය. මෙවැනි අසමතුලිත කාලගුණික තත්ත්වයක් ඇතිවීමට ගෝලීය උෂ්ණත්වයේ ඉහළයාම පමණක් නොව අපේ රටේම ඇතැම් විනාශකාරී පුද්ගලයන්ගේ කැලෑ කැපීම් වැනි ක්‍රියාකාරකම් ද හේතු වන බවත් පෙන්වා දිය යුතුය. එය පාලනය කිරීම සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍යය.
මේ ආකාරයට නියං තත්ත්වයක් අපේ රටේ ඇති වූ පළමු අවස්ථාව මෙය නොවේ. පසුගිය වසර කිහිපයේ ද වරින්වර දරුණු නියං කාල ඇති විය. නියඟය ස්වාභාවික ආපදාවක් බව සැබෑය. එහෙත් එය නිසි ලෙස කළමනාකරණය කරගන්නේ නම් එහි ආදීනව අඩු කරගත හැකිය. අදාළ ප්‍රදේශවල ජනතාව පෙර සූදානමකින් තබා ඔවුන්ගේ අවශ්‍යතා හැකිතරම් දුරකට ඉටුකර දීමට පියවර ගත හැකිය. එහෙත් තවමත් පෙනෙන්නේ පෙර ආකාරයටම නියඟය නිසා වැව් පතුල් වේලී පැලී යනතුරු ඒවාට පිළියම් යෙදීමක් සිදුනොවන බවය. නියං ආපදාව කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා තවමත් ප්‍රමාණවත් උත්සාහයක් ගෙන නැත. මනා සම්බන්ධීකරණයකින් යුත් එවැනි තිරසාර කාලෝචිත ප්‍රතිපත්ති හා සැලසුම් මඟින් මහජනතාවගේ පීඩාව ද ආපදාවේ හානිය ද අඩු කරගත හැකි වනු ඇත.
යුරෝපයේ බොහොමයක් රටවල පරිසරය, කාලගුණික සහ දේශගුණික විපර්යාස සංවේදී මාතෘකා වෙයි. මේ මාතෘකා ඇතැම්විට, නෝර්වේ, ස්වීඩන්, ස්විට්සර්ලන්තය වැනි රටවල ඡන්ද පොරොන්දු බවට ද පත්වෙයි. ඒ කාලයේ පරිසරය රැකීම ඡන්ද පොරොන්දු බවට පත්වන බව අසා අපි ඇතැම් විට සිනා පහළ කළෙමු. එහෙත් එහි වටිනාකම අප සියලුදෙනාටම වැටහෙන්නේ දැන්ය. පරිසරය රැකීම, ගස් කැපීම වැළැක්වීම, අපතේ නොයවා ජල සම්පත සුරැකීම අපේ රටේ ද ඡන්ද පොරොන්දු බවට පත් කරගත යුතු වෙමු. ඒ සමඟ ඒවා ක්‍රියාත්මක කරවා ගැනීමට ජනතාවද බලයට පත්වන ආණ්ඩුවලට බල කිරීම ද අවශ්‍යය. ඇහැට ඇඟිල්ලෙන් ඇන්නත් ඒවා නොපෙනෙන නායකයන් ද සිටින බැවිනි.
පරිසරය රැක ගැනීමකින් තොරව රටේ ජල සම්පත රැක ගැනීමක් ගැන සිතීම පවා පලක් නැත. ඒ සඳහා ආදර්ශය පැමිණිය යුතුවන්නේ ඉහළ සිට පහළටය. රටේ වන සම්පත් විනාශ කරන කැලෑ පාළුවන් පිටුපස සිටින මහ බලවතුන් හඳුනා ගැනීමත් තරාතිරම නොබලා ඔවුන් නීතිය හමුවට පැමිණවීමත් අත්‍යවශ්‍ය වෙයි. මෙවැනි ඍජු තීන්දු ගැනීමකින් තොරව “කාලගුණික හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පලක් නැත. අපේ රටට පමණක් නොව බලවත් රටවල්වලට පවා භයානක ප්‍රතිඵල අත්කර දෙන කාලගුණික සහ දේශගුණික විපර්යාස පිළිබඳව සියලු දෙනාම දැනට වඩා දැඩි අවධානයක් යොමු කිරීම අවශ්‍යය. එසේ නොවූවොත් මිනිසාගේ “අමාව” සොයා දෙවියන් යැදීමෙන් වුවද පලක් නොවනු ඇත.
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරුන් සිය මංගල විදේශ සංචාරය ඉන්දියාවේ කිරීම චාරිත්‍රයක් බවට පත්වී ඇත. එය මේ ශත වර්ෂය ආරම්භයේ සිටම (2000 සිටම) දක්නට ඇති තත්
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමෙන් පසුව සිය ප්‍රථම විදෙස් නිල සංචාරය ලෙස ඉන්දියාව තෝරා ගැනීමත්, එම සංචාරයේදී දෙරට විසින් ගනු ල
ශ්රී ලංකාව 2022 වසරේදී ප්‍රකාශයට පත් කරන ලද විදේශ ණය නොගෙවා සිටීමේ තීරණය හේතුවෙන් රට මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් අත්මිදීම සඳහා වූ තවත් පියවරක් ඉදිරියට
නව රජයක් බලයට පත් වී ඇත. නව ජනාධිපතිවරයකු සහ නව පාර්ලිමේන්තුවක්ද පත්කරගෙන තීන්ත වේළීමටත් පෙර එතෙක් දශක ගණනාවක පටන්ම පවතින දහසකුත් එකක් නිදන්ගත රෝග නව
සහල් අර්බුදය යනු ශ්‍රී ලංකාවට නවමු අත්දැකීමක් නොවන්නේය. මන්ද මෙම සහල් මිල ඉහළ යාම සහ සහල් හිඟය අද ඊයෙක පටන් සිදු වූවක් නොවන නිසාය. 1960 හර්තාලය ඇති වන්නේද හ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
කාලගුණ විපර්යාස සුළුවට ගණන් ගන්න එපා