IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය

ජයතිලක ද සිල්වා

අපි අර්බුදයකට මුහුණදී සිටිමු. එය අද ඊයේ හටගත්තක් නොව කලක් තිස්සේ පැවැත එන්නකි. යටත් පිරිසෙයින් පසුගිය වසර තුන හතරම අපි ඊට ගොදුරු වීමු.  ආර්ථිකය, දේශපාලනය, විදේශ සම්බන්ධතා, ජාතික සමගිය හා එක්සත්කම පවත්වා ගන්නේ කෙසේ දැයි නිශ්චය කළ නොහැකිව ඔබමොබ දෝලනයවෙමින් එක්වරම එකිනෙක පරස්පර පිළිවෙත් අනුගමනය කරමින් රට පඹ ගාලක පැටැලී පැවැතියේය. මෙම මොහොතෙහි අප මුහුණ දෙන්නේ එම අර්බුදයෙහි වඩා තීව්‍ර වඩා උත්සන්න අවස්ථාවකටය. 

මෙම අවස්ථාවෙහි අලුත් සාධකය ව්‍යවස්ථා අර්බුදයයි. එය හටගත්තේ පසුගිය ඔක්තෝබර 26 වැනි දින ජනාධිපතිතුමන්  විසින් අගමැති ඉවත් කර නව අගමැතිවරයකු පාර්ලිමේන්තුවෙන් බාහිරව පත් කිරීමෙනි. එහි ප්‍රතිඵලය රට අස්ථාවර වීමය. අද දෙපිරිසක් ආණ්ඩුව තමන් යැයි කියා සිටිත්. පරිපාලනය ඇන හිට ඇත. පාර්ලිමේන්තුව ආණ්ඩුවම වර්ජනය කරයි. අවුල නිරාකරණයට අධිකරණයෙහි පිහිට ද පතා ඇත.

මෙම අර්බුදය අපට කියාදෙන පාඩම් කිහිපයෙකි. ඉන් සමහරක් විමසා බලමු. පළමුවෙන්ම අප දකින්නේ රට අස්ථාවර වූයේ ජනාධිපතිවරයාගේ ක්‍රියාව නිසා බවය. එම ක්‍රියාව ව්‍යවස්ථානුකූල වුව නොවූව, සදාචාරමය වුව නොවූව, එය රටට අයහපත් ඵලවිපාක දැනවීය. ඒ අතින් එය අහිතකර නපුරකි. විධායක ජනාධිපති රට ජාතිය සහ බුද්ධාගම බේරාගන්නා ගැලැවුම්කරුවෙකු වෙතැ යි උන්මත්තක දේශපාලනඥයන් සහ අන්තවාදී කණ්ඩායම්  බයිලා කීව ද ඇත්තටම ඔහු ගත් පියවරෙන් රට විනාශය අබියසය. රට විනාශවන්නේ නම් ආගම ඉතිරි වෙයිද? බුලත් හෙප්පුවට හෙණ වැදුන විට හුණු කිල්ලෝටය ඉතිරි වෙයිද?

 මෙසේ වත්මන් අර්බුදය අපට කියාදෙන පළමු වැනි පාඩම විධායක ජනාධිපති ක්‍රමය මෙරටට නොගැළපෙන සහ ව්‍යසන ගෙන දෙන උවදුරක් බවය. ජනතාව එයට ආරම්භයෙහි සිට එරෙහි වූයේ එහෙයිනි. කවරකු එම නිලය හෙබ වූවද විධායක ජනාධිපති ක්‍රමය ජනතා විරෝධී බව අත්දැකීමෙන් පෙනේ. එය ඒකාධිපති ප්‍රවණතා ශක්තිමත් කරන්නකි. එහෙයින් අහෝසි කළ යුත්තකි.

මෙම අර්බුදය සක්සුදක් සේ පැහැදිලිව පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ  පාලනය දරන සහ අපේක්ෂා කරන ප්‍රධාන දේශපාලන ප්‍රවාහ දෙක තුනම සිය පරමාධ්‍යාශය හෙවත් පළමු අභිප්‍රාය කර ගන්නේ බල තණ්හාව මිස ජනතා සුබසිද්ධිය නොවන බව ය. රට හා ජනතාව විපතට ලක්වූවද තම පෞද්ගලික ආශා මුදුන් පත් කළ හැකි නම් ඔවුනට ඒ කදිමය. එයින් බැස ගත යුතු පාඩම වන්නේ රට ගොඩගැනීමට නම් වෙනත් අතක් බලා ගත යුතු බවය. නව බලවේගයක්, ජනතා ප්‍රේමී දුප්පතුනට හිතකර බලවේගයක් හදා ගත යුතු බවය. බඩගෝස්තරවාදී දේශපාලනය පරාර්ථකාමී සහ පොදු යහපත පෙර දැරි කර ගන්නා දේශපාලනයකින් ආදේශ කළ යුතු බවය.

පසුගියද‌ා පාර්ලිමේන්තුවෙහි ප්‍රදර්ශනය වූ අසික්කිත හැසිරීම අපට පෙන්වා දුන්නේ අපේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයෙහි පවත්නා අඩුපාඩුවකි. යුරෝපයෙන් පක්ෂ දේශපාලනය පිරුළට ගත්ත ද එහි හරයට වඩා පිටපොත්ත පිළිගත් සේ පෙනේ. මෙරට දේශපාලන පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරය. ඒවා පූර්ව ධනේශ්වර හා ගෝත්‍රික සම්බන්ධතා සමඟ මුසුව පවතී. ධනය හා බලය පාදක කැරැගත් ධූරාවලියක් ඒවා තුළ බල පැවැත්වෙයි. විධායක ජනාධිපති ක්‍රමය සමඟ පක්ෂ නායකයාට අසීමිත බලයක් සපයන්නට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පියවර ගත් බව නොරහසකි. පොදුජන පෙරමුණෙහි තත්ත්වය ද එසේමය. ඇත්තෙන්ම එය අනෙක්වාට හපන්ය. එහි නායකයා අධිරාජ​ෙයකි. 

වර්තමාන අර්බුදයට විසඳුම මහා මැතිවරණයකැයි විද්වත්තු ඇතුළු බොහෝ දෙනා පවසත්. එහෙත් දේශපාලන පක්ෂවල පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ඌණතා හේතුවෙන් සැබෑ නියෝජනයක් සහතික කළ නොහැකිය. මන්දයත්, මන්ත්‍රීධුරාපේක්ෂකත්වය ලැබෙන්නේ පක්ෂ නායකයාගේ අභිමතයට යටත්ව හෙයිනි. ඡන්දදායකයන්ට තෝරාපත් කරන්නට සිදුවන්නේ පක්ෂ නායකයන් නාමයෝජනා පවරන නියෝජිතයන්මය. ඔවුන් කවරකු වුව, යහපත් වුව අයහපත් වුව, විනයගරුක වුව දාමරික වුව, අපරාධකරුවන් වුව නොවුව, තෝරා යැවිය යුතුවන්නේ ඔවුන්මය. තරුණයන්ගේ හිසට ප්‍රසිද්ධියේ පරාල ඇණ  ගැසූවන්, සමූහ වශයෙන් ස්ත්‍රී දූෂණයෙහි යෙදුනවුන්, ඉහළතර වැඩි ඡන්ද සහිතව මැතිවරණ දිනීම එහි ඍජු ප්‍රතිඵලයකි. එහෙයින්  මෙම අවාසනාවන්ත තත්ත්වයෙහි මැතිවරණ නියෝජන ක්‍රමයෙහි වෙනසක් අවශ්‍ය බව අර්බුදය කියා දෙන තවත් පාඩමකි.

පිල් මාරු කිරීම සඳහා රුපියල් මිලියන ගණනින් අල්ලස් පිරිනමන බව නොබෝදා හෙළිදරව් කළේ අන්කවරකුවත් නොව ජනාධිපතිතුමන්මය. කරුණූ රහිතව එතුමන් එසේ කියතැ යි අපි නොසිතමු. එසේ මුදලට, අල්ලසට පිල්  මාරුවට ඉඩකඩ ඇහිරිය යුතුය. මැතිවරණ වියදම් විගණනය සඳහා නීති හා ව්‍යවස්ථා සම්පාදනය ද අවශ්‍යය. 

මෙරට දේශපාලන පක්ෂ ක්‍රමයෙහි බරපතළ ඌණතාවක් වන්නේ ඒවා ජනතාව සමගි කිරීමට වඩා ජාතිය හා ආගම අනුව ඔවුන් බෙදීමට රුකුල් දීමය. ආගම සහ ජාතිය පදනම්ව වෙන් වෙන් වශයෙන් පක්ෂ බිහිවීමෙන් තත්ත්වය වඩාත් පිරිහුණි.

වර්තමාන අර්බුදය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පවත්නා අඩුපාඩු මොනවට ප්‍රදර්ශනය කර ඇත. ඇත්තෙන්ම එහි වාසිය නීතිඥයන්ට පමණෙකැයි පැවැසෙන අතර එහි ද යම් අර්ථයක් තිබේ. හිටපු රාජ්‍ය නායිකාවක එය බහුභූත ව්‍යවස්ථාවකැයි කියා ඇත්තේ ද සහේතුකව යැයි දැන් පෙනේ. ගරුතර මහා සංඝරත්නය කුමක් කීව ද නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව වර්තමාන අර්බුදය උස් හඬින් කියාදෙන පාඩමකි.

බටහිර ප්‍රජාතන්ත්‍රවාදය සමඟ අපට දායාද කළ මතයක් වූයේ සර්වජන ඡන්ද බලය සහ බහුතරයේ පාලනය මඟින් ප්‍රජාතන්ත්‍රය සාක්ෂාත් වන බවය. එහෙත් එය එසේ නොවන බව අත්දැකීමෙන් සනාථව ඇත. බොහෝ විට එමඟින් සුළුතර ප්‍රජාවන්හි අයිතීන් යටපත් කැරෙන අතර පාලකයන්ගේ ප්‍රභූ ස්වභාවය හේතුවෙන් බහුතර ජනයාගේ අයිතීන්ද නොරැකෙන තත්ත්වයක් පවතී. 

අප උරුම කැරැගත් ප්‍රජාතන්ත්‍රය පරිසමාප්ත වූවක් නොව කිහිප අතකින්ම සංවර්ධනය කළ යුත්තකි. වර්තමානයෙහි, විශේෂයෙන්ම දියුණුවන රටවල් සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදයක් කරා පියනඟන්නට වෙහෙසෙන්නේ එහෙයිනි. ඡන්දදායකයා මැතිවරණයෙහි දී සිය නියෝජිතයන් තෝරා ගැනීමට අමතරව එදිනෙදා පාලනය ගෙන යාමෙහි දී ද යම් ආකාරයකින් සහභාගී වන්නේ නම් එය වඩා ප්‍රජාතාන්ත්‍රික වනු ඇත. ප්‍රජාතන්ත්‍රය ශක්තිමත් වන්නේ සහ සමාජ සංගතිය සහතික වන්නේ සියල්ලම සහභාගි කරවන තරමටය. යම් පිරිසක් බැහැර ​ෙකරේ නම් එය සාමයට තර්ජනයක් වෙයි. එවිට සමාජ ගැටුම් මතුව, වර්ධනයව සමාජ වියමනම ලිහී අනතුරට ලක් වෙයි.

අනෙක් කාරණය ප්‍රජාතන්ත්‍රය හරි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා ජනතාවගේ පුරවැසි විඥානය හෙවත් තම සමාජ යුතුකම් පිළිබඳ දැනුම උසස් විය යුතුය. සමාජයට තමන්ගෙන් ඉටු  වියයුතු යුතුකම් සහ තම සමාජ වගකීම් නොදන්නා කල නිසි අයුරින් සිය ඡන්ද අයිතිය භාවිතාවටවත් යමෙකු අසමත් වනු ඇත. හොරුන්, තක්කඩින්, ස්ත්‍රී දූෂකයන් සහ වෙනත් අපරාධකරුවන් ජනතා කර පිටින් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ සහ පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් වන්නේ එහෙයිනි. 

ආත්මාර්ථයට ප්‍රමුඛත්වය දෙන සමාජයක, පරාර්ථය අවඥාවට ලක් කැරෙන සමාජයක පොදු යහපත පිළිබඳ හැඟීමක් ඇති පරපුරක් බිහි වෙතැයි සිතිය නොහැකිය. තමන් හිසට තම අතමය සෙවණැල්ල යැයි පවසමින් මිනිසුන් හුදකලා කරවන සමාජයක, බාලාංශයෙහි පටන් අනෙකා පරයන්නට දරුවන් හුරුකරවන සමාජයක, ජාතිය කුලය ආගම අනුව අපි-තොපි  යැයි බෙදා තමන් ලෝකෙට ලොක්කන් යැයි පිළිගැනීමට දරුවනට පවා උගන්වන සමාජයක පොදු යහපතක් ගැන කවර කතාද?

වර්තමාන අර්බුදය විදේශ කුමන්ත්‍රණයකැයි අැතැම්හු කියති.  අර්බුදය දියත් කළ ජනාධිපතිතුමන් ද එවන් අදහසක් පැවැසූ බව වාර්තා විය. අද බලවත් රටවල් අපේ ඔළුවට අත හෝදන බව ඇත්තකි. අපට වැදි බණ දෙසන බවද ඇත්තකි. ඔවුන් මෙරට කටයුතුවලට ඇඟිලි නොගසනවා ද නොවේ. එහෙත් කාගේ වරදින්ද? අපේම වරදිනි. අපේම අසමගිය නිසාය. අපේම දීනකම් නිසාය. 

 



අදහස් (0)

ජපකළ ව්‍යවස්ථා මන්ත්‍රය

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 379 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවට හිමි තැන
2025 ජනවාරි මස 27 2048 6

භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 776 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


වාහන ආනයනයේ වාසි - අවාසි
2025 ජනවාරි මස 20 974 1

තීරණාත්මක ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයන තහනම හඳුන්වා දෙන ලදි. විදේශ මුදල් අර්බුදය සහ වර්ධනය වෙමින් පැවැති ණය ගැටලු මධ්‍යයේ ක්‍


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 440 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 530 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site