IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බැඳුම්කර දූෂණ විමර්ශනය අලුත් මාවතක

 ජනපතිවරණය සදහා තවත් මාස 6ක පමණ කාලයක් ඉතිරිව තිබෙන අවස්ථාවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය නැවත වතාවක් නොසන්සුන්තාවයක ගිල්වාලූයේය. ඒ වසර හතරක කාලයක් තිස්සේ විමර්ශන පැවැත්වෙමින් තිබෙන මහබැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වන කටයුතු කඩිනම් කරන ලෙස තමන් යටතේම පවතින පොලිසියට උපදෙස් දීමත් සමගිනි. 
 
බැදුම්කර වංචාව සිදුවූ අවස්ථාවේ පටන් මේ දක්වා විමර්ශන පැවැත්වෙමින් තිබෙන්නේ මන්දගාමීව යන්නත්, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පුද්ගලයින් තිදෙනෙක් පැමිණවීමට පාදක කරගෙන තිබෙන්නේ පසුගිය වසරේ සම්පාදනය කරන ලද වාර්තා මත පමණක්ය යන්නත්, ඔහුට දැනගැනීමට ලැබීම මෙයට හේතුව විය.
 
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ අර්ජුන් ජෙෆ්රි ඇලෝසියස් සහ එම සමාගමේම විධායක නිලධාරී කසුන් පළිසේන ඔවුහු තිදෙන වූහ. පැමිණිල්ල ඉදිරිපත් කළේ මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාය.
 
ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සදහන් කළ ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීම සදහා වැදගත් වන සම්පූර්ණ තොරතුරු සිංගප්පූරු රජය වෙත ලබාදීමට ශ්‍රී ලංකාවට නොහැකිව තිබෙන්නේ ද මේ හේතුව නිසාමය. 
 
පසුගිය ජනවාරි මාසයේ සිංගප්පූරු අගමැති ලී හ්සියෙන්ග් ලූන්ග් හමුවූ ජනපති සිරිසේන මහතා මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරු අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි අතර හිටපු මහබැංකු අධිපතිවරයාගේ තොරතුරු ඇතුළත් ලිපිගොනුවක් ද ඔහු අතට පත්කිරීමට පියවර ගත්තේය. දෙදෙන අතර මෙම හමුව පැවැත්වුනේ ශ්‍රී ලංකා ජනපතිවරයා එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය මත පැවැත්වුණු පාරිසරික සම්මන්ත්‍රණයකට සහභාගීවීමට එරට බලා ගොස් සිටි අවස්ථාවේදීය.
 
ප්‍රතිචාරයක් නොලැබුණු තැන ජනපති සිරිසේන මහතා සිය ඉල්ලීම අනුව කටයුතු නොකළේයැයි සිංගප්පූරුවට එරෙහිව මැසිවිලි නැගුවේ මීට දින කිහිපයකට පෙරය. ඔහු එම අවස්ථාවේ සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මැදිහත්වීම යටතේ දූෂණ විරෝධී ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි. උසස්ම තැනින් ඉල්ලීමක් කෙරුණද, සිංගප්පූරු රජය එය පිළිගෙන නැතැයි ඔහු කීවේ ය.
 
සිංගප්පූරුව මෙම චෝදනාව ප්‍රතික්ෂේප කළේය. 
 
සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයකු උපුටා දක්වමින් පිළිගත් පුවත් සේවාවන් වාර්තා කර තිබුණේ සිංගප්පූරුව ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවය.
 
නමුත් මහේන්ද්‍රන්ගේ උදර්පණයට අදාළව අපගේ නීති අනුව ලැබිය යුතු තොරතුරු ශ්‍රී ලංකාවේ ඉල්ලීමට අන්තර්ගතවෙලා නැහැ. ඒවා ලබාදෙන ලෙසට අපි කොළඹින් ඉල්ලීමක් කර තිබෙනවා. එම තොරතුරු ශ්‍රී ලංකාවෙන් අප වෙත ලැබෙනු ඇතැයි අපි අපේක්ෂාවෙන් සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ඉල්ලීම තවදුරටත් සළකා බලන්නට අපට හැකියි.
 
එය දැන් සිදුවෙමින් තිබෙන බවක් පෙනෙන්නට තිබේ.
 
ජනපතිවරයාගේ ඉල්ලීමට ප්‍රථමයෙන් රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මහේන්ද්‍රන් උදර්පණය කිරීම අරබයා එරට බලධරයින් හා සම්බන්ධව කටයුතු කර ඇත. එතැන් පටන් කොළඹ සහ සිංගප්පූරුව අතර නිරන්තරයෙන් තොරතුරු හුවමාරුව ඇති අතර, 
 
සිංගප්පූරු නීතිපති ජනරාල් ලුසියෙන් වොන්ග් මහතා මහේන්ද්‍රන්ට අදාළව පහත දැක්වෙන තොරතුරු ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
 
ශ්‍රී ලංකාවේ පිළිගත් ආයතන නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්
චෝදනා ගණන
එම එක් එක් චෝදනාව නගා ඇත්තේ කුමන පදනමක් මතදැයි යන්න, සහ එම චෝදනාව නැගීමට අදාළ නීතිය පිළිබද තොරතුරු
එම චෝදනා නැගීමට පදනම් කරගෙන තිබෙන සාක්කි (පැමිණිල්ල ගොනු කරන්නා, විමර්ෂකයා සහ වෙනත් සාක්කිකරුවන් මතුකර තිබෙන)
පිටපත් (චෝදනාවල, පැමිණිලිවල, සහ වෙනත්)
චූදිතයා හදුනාගැනීමට හැකි තොරතුරු ඇතුළත් ලිපිගොනු (ඇගිලි සළකුණු වාර්තා, ගමන් බලපත් වාර්තා, ඡායාරූප, ඉන්ටර්පොල් රතු නිවේදන)
චූදිතයාට එරෙහිව නගා තිබෙන චෝදනාවල සම්ූර්ණ වාර්තාවක්
 
මේ හමුවේ කොළඹ නීතිපති ජනරාල් දෙපාර්තමේන්තුව සක්‍රීයව සිටින අතර, නුදුරේදීම ඒ හා සම්බන්ධ සවිස්තර වාර්තාවක් කොළඹ මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇත. එම වාර්තාවට නවතම තොරතුරු ද ඇතුළත් වනු ඇතැයි සිතිය හැක්කේ අදාළ විමර්ශන කටයුතු ද දැන් කඩිනම් කර තිබෙන නිසාවෙන්ය.
 
ජනපතිවරයාගේ උපදෙස් මත මහබංකු බැඳුම්කර සිදුවීමට අදාළ විමර්ශන කටයුතු දැන් වඩාත් පුළුල් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරයෝ පසුගිය සතියේ හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති පතිරගේ සමරසිරි, පර්පෙචුවල් ටේ‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆරි ඇලෝසියස්, එහි අධ්‍යක්ෂවරුන් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්තා රන්ජන් හුලුගල්ලේ සහ මුතුරාජ සුරේන්ද්‍රන් යන අය අත්අඩංගුවට ගත්හ. 
 
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 5 වැනිදා දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කැරිණ.
 
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රිය ජයසුන්දර මහතා අධිකරණය හමුවේ අදහස් දක්වමින්, අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් ලියාපදිංචි කොටස් සහ ආරක්ෂණ ආඥා පණත උල්ලංඝණය කරමින් වැරදි ක්‍රියා සදහා ආධාර, අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ යෙදී ඇතැයි ද, එපමණක් නොව ඔවුන් මහජන දේපළ ආඥා පණත කඩකර ඇතැයි ද, චෝදනා කළේ ය. 
 
මහබැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, එවක මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ලද උපදෙස් අනුව කටයුතු කරමින් මෙම වැරදි ක්‍රියාව සදහා ආධාර සහ අනුබල ලබා දී ඇතැයි ද, මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ බැදුම්කර වංචාව සිදුවූ 2017 පෙබරවාරි මස 27 වැනි දිනයේ ඔහු බැදුම්කර නිකුත් කිරීම සදහා වන ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබීම නිසා යැයි ද, ඔහු කීවේ ය. 
 
අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනාට අදාළව ලැබෙන තවත් තොරතුරුවලින් බැදුම්කර වංචාව පිළිබදව සකස් කර ඇති වාර්තාව යාවත්කාලීන කරන බව ද, එය සිංගප්පූරු බලධරයින් ඉදිරියේ වඩා පැහැදිලි චිත්‍රයක් ගොඩනැගීමට උපකාරී වනු ඇති බව ද, පොලිසිය පැවසුවේය.
 
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියට ගෙන එන ලද සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට අදාළව අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තා යාවත්කාලීන කර තිබෙන්නේ 2018 වසර අවසානය දක්වා පමණක් යැයි දැනගැනීමට ජනපතිවරයාට හැකිව තිබේ. එසේ 2018 වසරේ අගෝස්තු මාසයේ ඉදිරිපත් කර තිබෙන අවසන් වාර්තාවට අනුව 1988 සහ 1999 වසරවල දී සංශෝධනය කරන ලද මහජන දේපළ පණත යටතෙහි 5.1 කොටස යටතේ දඩුවම් ලබාදිය හැකි වරදක් ලෙස ගිනිය හැකි කටයුත්තක සැකකරුවන් නිරතව තිබෙන බව සදහන් වේ.
 
මෙම සිදුවීමට අදාළ විමර්ෂණ කටයුතු ආරම්භ කැරුණු 2018 පෙබරවාරි මස 2 වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අරබයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කැරුණු වාර්තාවේ එම කාලයේ සිදුවූ දේ පිළිබද විස්තර අන්තර්ගතය. 
 
පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.
 
පළමු සැකකරු වන ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව 2018 අප්‍රේල් මස 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වූ රතු නිවේදනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම යටතේ, ජාත්‍යන්තර පොලිසිය (අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටි ජාතික මධ්‍යම බියුරෝව හරහා) නිකුත් කළේය. සැකකරු ජීවත්වෙමින් සිටියේ සිංගප්පූරුවේය.
 
2018 අප්‍රේල් මස 27 වැනිදා අන්තර්ජාතික පොලිස් මූලස්ථානය, ජාතික මධ්‍යම බියුරෝවෙන් පහත තොරතුරු ඉල්ලා සිටියේ ය.
 
1. රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින්නේ වැඩිදුර විමර්ශන කටයුතුවලට අදාළව ද? නැතහොත් දැනටමත් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ ද?
2. චෝදනා ගොනු කිරීමක් සිදුව නොමැති නම්, ශ්‍රී ලංකා නීතිය යටතේ උදර්පණය කිරීමේ අවසරයක් පවතී ද?
3. ඔහු දැනට සිටිනා ස්ථානය ගැන තොරතුරු ඇතිනම්, එම අදාළ රට සමග උදර්පණය සම්බන්ධයෙන් වන ගිවිසුමක් පවතී ද?
4. උදර්පණය කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ ද?
5. අපරාධ මර්දනය කිරීම සදහා වන සහයෝගීතාවය යටතේ අත්සන් තබන ලද එකගතාවයන් මත උදර්පණය කිරීම සදහා ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ ද?
 
නීති උපදෙස් ඇතුළත් කර නීතිපති දෙපාර්තමේන්තුව සම්පාදනය කරන ලද වාර්තාවක් 2018 මැයි මස 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබෙන අතර, එය 2018 මැයි මස 23 වැනිදා අන්තර්ජාතික පොලිසිය වෙත යොමුකර තිබේ. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා 2018 මැයි 28 වැනි දාතමින් යුතු ලිපියක් නීතිපති ජනරාල්වරයා වෙත යොමු කරමින් ඉල්ලා සිට ඇත්තේ උදර්පණයට අදාළ නීතිමය පියවර ගන්නා ලෙසය.
 
ඒ අනුව පිළිතුරු එවා ඇති නීතිපති දෙපාර්තමේන්තුව දන්වා තිබෙනුයේ එම පියවර ගැනෙමින් පවතින බවය. 2018 අගෝස්තු මස 16 වැනිදා අන්තර්ජාතික පොලිසියේ වාර්තා භාරව කටයුතු කරන කොමිසමේ ලේකම් තැනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට විද්‍යුත් තැපැල් පණිවුඩයක් ලැබිණ. 
 
අපාරධමය චේතනාවකින් විශ්වාසය කඩකිරීම, අපරාධමය චේතනාවකින් අවභාවිතා කිරීම, යන වැරදි සඳහා ඔහු අවශ්‍යව සිටින අතර, 2018 මාර්තු මස 15 වැනිදා මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබෙන වරෙන්තුවෙන් නඟා තිබෙන චෝදනාවල පදනම වන්නේ ඒවාය. එවන් වරදකට ලබාදිය හැකි උපරිම දඩුවම වසර 7ක සිරදඩුවමකි
පළමු සැකකරු සම්බන්ධයෙන් පහත දැක්වෙන ලිපිගොණු ඔවුන්ගෙන් ඉල්ලා ඇතැයි එහි සදහන් විය.
 
ඇ. පැමිණිල්ලට අදාළ කරුණුවල සංක්ෂිප්තයක්.
අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවේ පිටපතක්,
 
මෙම තොරතුරු සැකකරුවා වෙත ලබාදීම අරබයා කිසියම් හෝ විරෝධයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතිදැයි එම ලිපියෙන් විමසා තිබිණ. නීතිපති දෙපාර්තමේන්තුවට එම ලිපියට පිළිතුරු දෙමින්, සැකකරු වෙත එම තොරතුරු ලබා දීමේ කිසිදු විරෝධයක් නැතැයි දැන්වූ අතර, එම වාර්තා අන්තර්ජාතික පොලිසියේ වාර්තා භාරව කටයුතු කරන ලේකම්තැනට යැවීමට අදාළ කටයුතු සම්පාදනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව පියවර ගත්තේය.
 
 



අදහස් (3)

බැඳුම්කර දූෂණ විමර්ශනය අලුත් මාවතක

Nuwan Tuesday, 02 April 2019 09:43 AM

රාජතාන්ත්‍රික විදිහට ලිපි ගනුදෙනු නොකර මෙච්චර කල් පොල් ගැවද???

:       15       12

Nimal Tuesday, 02 April 2019 11:50 AM

අවුරුදු 3 කුත් පහුවෙලා තවමත් අර්ජුන් මහේන්ද්‍රන් නිදැල්ලේ. මේ ගැන අපේ ආණ්ඩුව ලැජ්ජා වෙන්න ඕනේ.

:       14       11

Demuni de silva Tuesday, 02 April 2019 10:45 PM

මහේන්ද්‍රන් පමණක් නොව, ඔහුගේ පූර්වගාමීන් ද විමර්ශනය කිරීමට නියමිතය.

:       14       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඡන්දයේදී උතුර කොයිබටද?
2024 සැප්තැම්බර් මස 07 1092 0

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ දී උතුරේ ප්‍රධාන දෙමළ දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය සමඟි ජන බලවේගයේ නායක සජිත්


ඕස්ට්‍රේලියාවේ යළි ඉපදුණ එංගලන්තයේ ඩයනා කුමරිය
2024 සැප්තැම්බර් මස 06 4566 1

බිලී කැම්බල් ඕස්ට්‍රේලියාවේ, ඇඩිලේඩ් නගරයේ ජීවත් වන අට හැවිරිදි පොඩ්ඩෙකි. දිනක්, බිලී ඔහුගේ මවටත් පියාටත් පැවැසුවේ පෙර ආත්මභවයේ තමන් බ්‍රිතාන්‍යයේ ඩ


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 124 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


පාන්තිය විහාරය හැඩකළ සාර්ලිස් මාස්ටර්
2024 සැප්තැම්බර් මස 05 510 1

බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ බටහිර පස් යොදුන් කෝරලයේ ඉද්දගොඩ පත්තුවේ, මතුගම සුළු නගර සභා සීමාව තුළ “පාන්තිය’’ නමැති සුප්‍රසිද්ධ ග්‍රාමවරයෙහ


ඡන්දයේ ජනමතය ප්‍රභූමතය
2024 සැප්තැම්බර් මස 05 413 0

මේ වසර අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල මැතිවරණ පැවැත්වෙන වසරක් බවට පත්ව තිබේ. මෙම මස 21 වැනිදා අපේ රටේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ සමාජ ආර්ථික දේශපාලන ව


බොරැල්ලේ කෝවිද හිමි
2024 සැප්තැම්බර් මස 04 1680 1

අපවත් වී වදාළ බොරැල්ලේ කෝවිද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (4) සවස 4.00ට කොළොන්නාව පුරාණ රාජමහා විහාරස්ථානයේ දී සිදු කෙරේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site