IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


රාජ්‍ය කැබලිකර විකිණීම

මා කලක සිට මතු කරන කරුණක් වන්නේ මේ රට රාජ්‍යයක් නොවන බවය. මෙ රට රාජ්‍යය කළල අවස්ථාව පසුකර ගැනීමට නොහැකිව ගැබ තුළම මියගිය පුවත ඉතා ශෝචනීය වුවත් බරපතළ සත්‍යයකි. දැන් සිදුවන්නේ ඒ කළලයේ අංග කොටස්කර විවෘත වෙළඳපොළේ විකිණීමය. නුදුරු අනාගතයේ රටට අවැසි නැවත ශ්‍රී ලංකා රාජ්‍යය කළලය ගැබ් ගන්වා, මේරූ පසු, බිහිකරගෙන, හදාවඩාගෙන හැකි ඉක්මණින් පරිණත තාරුණ්‍යයක් ලබා දෙන ජනහිතකාමී වැඩපිළිවෙළක් සහිත විධිමත් මහජන බලවේගයකි. මේ ලිපිය ඒ සඳහා වූ ඉතා කෙටි පැහැදිලි කිරීමකි.
 
මෙරට රාජ්‍යය කොටස්කර විකිණීමේ ජාවාරම අද ඊයේ ඇති වූවක් නොවේ. එයට තරමක දීර්ඝ ඉතිහාසයක් ඇත. පනස් හයේ පංච මහා බලවේගයේ ස්වදේශික වැඩපිළිවෙළ පරාජය වීම සහ හැත්තෑවේ සමඟි පෙරමුණු ආණ්ඩුවේ පස් අවුරුදු සැලැස්ම කඩාකප්පල්වීම ඒ ඉතිහාසයේ සුවිශේෂී මොහොතවල්ය. හැත්තෑ පහෙන් පසු එළඹෙන්නේ රාජ්‍යය ගැන නොතැකූ ආණ්ඩු බලය ගැන පමණක්ම තැකූ කල්ලිවල අණසක බලවත් වූ කාල වකවානුවක්ය. එහි සමාරම්භය සනිටුහන් වුණේ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ මූලිකත්වයෙනි. එහෙත් රාජ්‍යය කොටස්කර විකිණීමේ ව්‍යාපාරය උසුලාගෙන සිටීමේ ශක්තිමත් අත්තිවාරම දැමුණේ ජේ.ආර්. ජයවර්ධන වෙතිනි. ඒ අත්තිවාරම කොතරම් නම් ශක්තිමත් සහ බලවත්ද කිවහොත් ඊට පසු ආණ්ඩු බලය ලබාගත් හැම කල්ලියක්ම මෙහෙය වූ දෘෂ්ටිවාදී පදනම වූයේ එයය. මධ්‍යස්ථ ශ්‍රීලනිපයට තබා වාමාංශික පක්ෂවලටවත් මේ දෘෂ්ටිවාදයෙන් තම සිත කය ගලවා ඈත් කර ගැනීම අසීරුවක්ම විය. ඉතින් එජාපය ගැන කවර කතාද? කළලය මිය ගියේ එලෙසිනි.

සමාජ තලයේ ස්වදේශිකවාදී සහ වාමවාදී බුද්ධිමය සමාජ, දේශපාලන මැදිහත්වීම් ඈත් වුණේ හෝ නැති වුණේ ඉතා වේගයෙනි. දේශපාලන භූමිය හුදු බල ලෝභී සහ ධන ලෝභී පුද්ගලයන් විසින් බෙදාගනු ලැබූ වැයික්කි බවට පත් විය. ඊට සමගාමීව පරිපාලනය සහ සුභසාධනය පදනම් කරගත් රාජ්‍ය සේවය ද ඒ ඒ කල්ලිවල සුභසාධනය සහ ආත්මලාභය සඳහා වූ වැයික්කි බවට පත් විය. මේ සෑම වැයික්කියකම ගාමක දෘෂ්ටිය වුණේ ආත්මාර්ථයය. රට, රටේ දියුණුව, මහජන සුබසාධනය සහ යහ පැවැත්ම සහිතව රාජ්‍යය ගොඩනඟාගැනීම යන අති මූලික මූලධර්මය වගකීම් ලැයිස්තුවේ පහළටම තල්ලු වුණේය.

රාජ්‍යය සැකසීම නොව කල්ලි අරමුණු සපුරාගත හැකිවන සේ ආණ්ඩු බලය අත්පත් කර ගැනීම දේශපාලන න්‍යාය පත්‍රයේ එකම අයිතමය විය. ඒ නිසා මහජන සේවා අංශය නාමික රාජ්‍ය අංශය වී පෞද්ගලික වෙළඳපොළ අංශය ක්‍රියාකාරී රාජ්‍ය අංශය විය. සුවිශේෂී තත්ත්වය වන්නේ රාජ්‍ය අංශය විසින් නිර්මාණය කරන ලද අර්බුදය විසින්ම රාජ්‍යය කොටස් කර විකිණීමේ පෞද්ගලික වෙළඳපොළක අවශ්‍යතාව නිර්මාණය කිරීමය. එය වඩාත් සුවිශේෂී වන්නේ රාජ්‍ය අංශ අර්බුදයේ නිර්මාපකයන්ම පෞද්ගලික වෙළඳපොළේ සේවායෝජකයන් වීම සහ තම සේවා සඳහා ඉහළ මිලක් අයකරමින් ලාභ උපරිමකරණය කිරීමය. රට පාවා දෙනවා, රාජ්‍යයට ද්‍රෝහී වනවා යැයි කියන අයට තම තමන්ලාත් එකතු වී රාජ්‍යය කොටස්කර විකිණීම නොපෙනෙන අරුමය නම් අරුමයක්මය.

උදාහරණ කීපයක් ගැනීම සුදුසු යැයි සිතමි. සෞඛ්‍යය විධිමත් රාජ්‍ය අංශයේ විෂයපථයක් ලෙස ආරම්භ වන්නේ 1931 ඩොනොමෝර් ආණ්ඩු ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එය රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් විය. එහෙත් 1977න් පසු ඉතා වේගයෙන් වර්ධනය වූ පෞද්ගලික වෙළඳපොළ ක්‍රමය රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක් වූ සෞඛ්‍යය අංශය මහ අර්බුදයකට ඇද දැම්මේය. එනම් සෞඛ්‍යය වෙළඳාම සහ ඊට අනුබද්ධ වෛද්‍ය සේවා වෙළඳාම එකී රාජ්‍ය සේවා නොසලකා හරින්නට පටන් ගත්තේය. රෝගීහු පාරිභෝගිකයන් බවට පත් වූහ. ක්‍රය ශක්තිය එනම් මිල දී ගැනීමේ හැකියාව ඇති අයට නියම සෞඛ්‍ය සේවයක් ද බැරි අයට වෙලාවක් තිබුණොත් (එනම් වෙළඳාමට වෙලාව අයින් කළාට පසු) සෞඛ්‍ය, වෛද්‍ය සේවය ද වශයෙන් රාජ්‍ය සෞඛ්‍ය, වෛද්‍ය සේවාව දෙකඩ විය. ඒ නිසා රාජ්‍ය අංශයේ ගම්බද රෝහල් වැසී යාමේ තර්ජනයට මුහුණපාද්දී පෞද්ගලික රෝහල්වල සිට වෛද්‍යවරුන්ට ඉක්මනින් ළඟා විය හැකි රාජ්‍ය නාගරික රෝහල් ආණ්ඩුවල වැඩි සැලකිල්ලට බඳුන් විය. ආණ්ඩුවේ ඉස්පිරිතාලයට එන අසරණ ජනයා වර්ජන තර්ජනයට මුහුණ දෙද්දී පෞද්ගලික රෝහල් සහ සෞඛ්‍ය, වෛද්‍ය අංශවල ලාභ රේට්ටු අහස උසට නැංගේය.

ඇති අයට පෞද්ගලික රෝහල්වල වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ දී නැති බැරි අයට ප්‍රශස්ත මට්ටමේ වෛද්‍ය පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය රෝහල් සංවර්ධනය කරන අරමුණ ප්‍රමුඛ කර ගන්නා ආණ්ඩු බිහි වුණේ නැත. ඊට හේතුව ආණ්ඩු වැඩි අවධානයක් යොමු කළේ රාජ්‍යය ගොඩ නැඟීම ගැන නොව ධනකාමී වෙළඳපොළ ගොඩනැඟීම කෙරෙහි වන නිසාය. එසේම රාජ්‍ය වෛද්‍ය සේවයේ ලියාපදිංචි වී එහෙත් රාජ්‍ය රෝහලට අඩුවෙනුත් පෞද්ගලික වෛද්‍ය සේවයට වැඩියෙනුත් කාලය යොදවන බොහෝ වෛද්‍යවරුන්ද අත්‍යවශ්‍ය රාජ්‍ය පරමාර්ථයක් වන සෞඛ්‍ය සේවය අර්බුදයට ඇද දමා ඇත්තේය. දැන් වන විට රාජ්‍ය සෞඛ්‍ය, වෛද්‍ය සේවය වනාහි රාජ්‍යමය අර්බුදයකි. බෙහෙත් නැති, උපකරණ නැති, අවශ්‍ය ප්‍රමාණයට කාර්ය මණ්ඩල නැති එනම් වෛද්‍යවරුන් නැති හෝ මදි, හෙද - හෙදියන් මදි හෝ නැති, සේවය මහජන සේවයක් ලෙස නොතකන වගකීමක් නැති ඒ රාජ්‍ය අර්බුදය විසින් වෙළඳපොළේ සෞඛ්‍ය, වෛද්‍ය කුටි පමණක් නොව මහල් සිය ගණනින් වූ පෞද්ගලික රෝහල් ඉදි කරන්නේය. ඒවායේ ගිනි ගණන්වලට විකුණන්නේ රාජ්‍යයේ සෞඛ්‍ය, වෛද්‍ය අර්බුදයේ අස්වැන්නය.

මේ උදාහරණය අපැහැදිලි නම් ඉතා කෙටියෙන් තවත් උදාහරණයක් පැහැදිලි කර ගනිමු. හිතන්න රටේ අධ්‍යාපන ක්‍රමය ගැන, පූර්ව ළමාවිය, ප්‍රාථමික, ද්විතියික සහ උසස් අධ්‍යාපනය ගැන. මේ හැම එකේදීම ආණ්ඩු විසින් රාජ්‍යය අසරණ කරනු ලැබ ඇත. අසමත් කර ඇත. ඊට අදාළ රාජ්‍ය පරමාර්ථ උල්ලංඝනය කර ඇත. ආණ්ඩු විසින් ඇතිකරන ලද රාජ්‍ය අධ්‍යාපන අර්බුදය පෞද්ගලික අධ්‍යාපන වෙළඳපොළක් නිර්මාණය කර ඇත්තේ ඒ වෙළඳපොළ නියාමනය කිරීමේ කිසිදු බලයක් රාජ්‍යයට ඉතිරි නොකරමින්ය. පාසල, විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගත් රාජ්‍ය අධ්‍යාපනයේ අසමත් භාවය සහ අසරණ භාවය වටකොට ගත් අර්බුදය විසින් පෞද්ගලික උපකාරක පන්ති ව්‍යාපාරය, පෞද්ගලික විශ්වවිද්‍යාල ව්‍යාපාරය දැවැන්ත කොට ඒවා ඇතිහැකි අයට හෝ ණය ගතහැකි අයට පමණක් සීමා කරනු ලැබ ඇත. මින් පෙනී යන්නේ පෞද්ගලික අධ්‍යාපන වෙළඳපොළේ හෝ වෙළඳාම වනාහි ආණ්ඩු විසින් නොතකා හැර අසරණ කොට ඇති කරන ලද රාජ්‍ය අධ්‍යාපන අර්බුදයේ ප්‍රතිඵලයක් බවය. ඒ අනුව පෞද්ගලික අධ්‍යාපන වෙළෙන්දන්ගේ සමෘද්ධියේ තිඹිරිගෙය වනාහි රාජ්‍ය අධ්‍යාපනයේ අර්බුදයයි. වෙළඳපොළේ විකිණෙන්නේ ඒ අර්බුදයය. රාජ්‍යයේ කොටසක්ය.

තවත් කෙටි උදාහරණයක් ගනිමු. කෙටි වුණාට බරපතළය. ලංකාවේ පෞද්ගලික මගී ප්‍රවාහන සේවය යනු රාජ්‍ය මගී ප්‍රවාහන සේවා අර්බුදයේ ප්‍රතිඵලයක් නොවේද? ලොරි චැසි උඩ ගැසූ බස් බොඩි ඇතුළේ කෑලි ගානට විකිණෙන්නේ අන්න ඒ රාජ්‍ය අර්බුදයමයි. එතැනත් සිදුවන්නේ රාජ්‍යය කොටස්කර විකිණීම නොවේද? නැවත කිව යුත්තේ රට, රාජ්‍යය විදේශවලට විකුණනවෝ යැයි කියමින් රාජ්‍යයේ අර්බුද විකුණන වෙළෙන්දන් ද ඔවුන්ට අතරමැදිකම් කරන පාලකයන් ද යන දෙගොල්ලන්ම එකපතේ කෑම කන්නවුන් බවය. මෙය මේ ආකාරයෙන් සිදුවන්නේ මේ රට විධිමත්, මධ්‍යගත, විමධ්‍යගත, ජාලික හෝ ජාලගත, පද්ධතිමය සහ මනා සම්බන්ධීකරණයකින් යුත් රාජ්‍යයක් කිරීමට පාලකයන් සහ ආණ්ඩු අසමත් වීම හෝ ඔවුන්ට ඕනෑකමක් නොමැති වීම නිසාය.

දැන් අප හමුවේ බරපතළ ප්‍රශ්නයක් ඇත. මේ රාජ්‍යය සෑදීමේ මහා කටයුත්ත වසර අසූ අටක් තිස්සේ මඟ හැර ඇති පාලක කල්ලි ඉදිරියේදීවත් ඒ කාර්යයට දායක වේද යනු ඒ ප්‍රශ්නයයි. මහ ආණ්ඩුවේ, පළාත් ආණ්ඩුවල, ප්‍රාදේශීය ආණ්ඩුවල සහ සමුපකාරවල පවා බලය අල්ලා ගැනීමට මහන්සිවෙන පොජපෙ, එජාප, ශ්‍රීලනිප යන පක්ෂ දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ අත්හැර දමා ඇති, රාජ්‍යයක් සෑදීමේ කටයුත්තට කොයි තරම් දුරකට සූදානම්ද? විශේෂයෙන් කිව යුත්තේ මේ කණ්ඩායම් තුනේම අය මේ රාජ්‍ය අර්බුදය නිර්මාණය කිරීමේ පුරෝගාමිහුය. රාජ්‍යය කොටස් කර විකිණීමට අදාළ මැදිහත් කරුවෝය. ඉන් එපිට දෙයක් ගැන නොසිතන මොවුන්ට අප කිවයුත්තේ කුමක් ද?

මේ අය රාජ්‍යය සෑදීමේ කටයුත්තට අව්‍යාජව ප්‍රවේශ වන්නේ නම් ඒ සඳහා මොවුන් පොළඹවන, දිරිගන්වන ඔවුන් සතු දේශපාලන, ආර්ථික, සමාජ දර්ශනය කුමක්ද? මූලධාර්මික ප්‍රතිමාන මොනවාද? හුදු මැතිවරණ ප්‍රචාරක ප්‍රකාශන සකසමින්, පෙන්වමින් මැතිවරණ මගින් ආණ්ඩු බලයම පතන බලවාදීන් මිස මේ අය රාජ්‍යවාදීහු නම් නොවෙති. මේ කියන දෙය අනිත් අය කෙසේ වෙතත් පොදුජන පෙරමුණේ තාරක බාලසූරියත්, එජාපයේ හර්ෂ ද සිල්වාත්, ශ්‍රීලනිපයේ දුමින්ද දිසානායකත්, ජවිපෙ ලාල්කාන්තත්, පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩත්, පරණ වමේ නායකයිනුත් තේරුම් ගන්නවාට මා වඩාත් කැමැතිය.

ධම්ම දිසානායක



අදහස් (13)

රාජ්‍ය කැබලිකර විකිණීම

ase Friday, 27 September 2019 10:26 AM

සියලු දේ රජය විසින් පාලනය කල යුතු යැයි සිතන පට්ට කොමියුනිස්ට් යල් පැනපු අදහසක්...

:       25       27

Sanath KandyFriday, 27 September 2019 12:32 PM

මාක්ස් කියලා තියෙන විදිහට කොමියුනිස්ට් යුගයේ රජයක් නැහැ සහෝදරයා...

:       2       45

aseSaturday, 28 September 2019 03:20 AM

මාක්ස් වාදය ගැන දැනගෙනද ලියන්නේ? නැත්නම් ඔබලාගේ ජවිපෙ නායකයා හදන්න යන්නේ රජයක් නැති රටක්ද?

:       12       14

arunaWednesday, 02 October 2019 07:39 AM

එ්ක මාර්කස්ගේ සිහිනයක් පමණි. එවැනි තත්වයක් ලෝකයේ කිසිම තැනක කවර කාලයකවත් ප්‍රායෝගිකව බිහිනොවන තත්වයක්... එය විශ්වාස කරන්නේ අන්ධ මාක්ස්වාදීන් පමණයි.

:       1       1

Dr. Vajira Fernando Friday, 27 September 2019 11:13 AM

70-77 කළලය බිහි වුණා නම් බිහිවෙන්නේ මන්දපෝෂණයෙන් දුර්වල වුණු මන්දබුද්ධික, අබාධිත දරුවෙක් විදිහට. හාල්, පොල් දාලා පාන් පෝලිම් දාලා මිනිස්සු හාමතේ ඇවිදින ඇටසැකිලි කරලා කොහොමද නිරෝගී කලලයක් බිහි කරන්නේ? මෙයාලගේ උගත්කම්, පාට කන්නාඩිවලින් ඔල්මොරොන්දම් වෙලා තියෙන්නේ...

:       322       322

samitha Friday, 27 September 2019 05:44 PM

පිළිතුර නාගානන්ද කොඩිතුවක්කු මහත්මයයි. එතුමාට ජයවේවා...!!!

:       28       519

මාවිල්මඩ වජිර හිමි Saturday, 28 September 2019 03:45 AM

නාගානන්ද සර්වබලධාරී දෙවි කෙනෙක්ද? එයා කියන දේවල් පහුගිය අවුරුදු 25ක් තිස්සේ අපේ රටේ විකල්ප බලවේගය කියූ දේවල්. මෙච්චරකල් ඇස් කන් වහගෙන ඉඳල හදිස්සියේ එංගලන්තෙන් ගොඩ බැහැපු කෙනෙක් අන්තර්ජාලයේ වීඩියෝ කීපයක් දාපු ගමන් එයා තමා අපිව ගොඩගන්න ආපු ඉෂ්ට දේවතාව කියලා හිතන්න තරම් අපේ මිනිස්සු මෝඩයිනේ...

:       349       165

jayaSaturday, 28 September 2019 02:13 PM

අනිවාර්යයෙන්ම. එක පුද්ගලයෙකුට මේ රට ගොඩගන්න පුළුවන් කියන සුරඟන කතාව විශ්වාස කරනකල් මේ රට හැදෙන්නේ නෑ..

:       0       47

රසික Saturday, 28 September 2019 01:33 PM

සියළු දේ ආණ්ඩුවෙන් මිනිස්සුන්ගේ දෙපතුළ ළඟට ගෙනත් දිය යුතු යැයි සිතීමම විකාරයක්. සෞඛ්‍ය හෝ ප්‍රවාහනය පෞද්ගලික අංශයේද සහභාගීත්වය ලැබීමේ ඇති වරද කුමක්ද? ලංකාවේ ඇත්තේ කිසිම දෙයක් අවශ්‍ය ලෙස නියාමනය නොකිරීමේ වරද මිස රජයේද පුද්ගලිකද කියන එක නොවේ...

:       0       68

ලුම්බිණි Tuesday, 01 October 2019 02:24 AM

මේ අදහස් ගැලපෙන්නේ එක්දහස් නවසිය හැට ගණන් වලට.

:       1       4

wipula Wednesday, 02 October 2019 07:43 AM

මේ මහතා අාචාර්යද නැතිනම් ආචාරිද? කී වැනි සියවසේද ඉන්නේ..?

:       1       1

piyal Wednesday, 02 October 2019 08:31 AM

කිසිම දෙයක් පිළිබදව ප්‍රයෝගික දැනුමක් තිබේද යන්න සැක සහිතයි.

:       1       1

Kumar Saturday, 05 October 2019 02:08 AM

මමත් රජයට අනුබද්ධ ආයතනයක රකියවකලා. එම ආයතනය ඇමතිගේ රැකියා බැංකුවක් වාගෙ. ඇමැතිලාගේ මාර්ගයෙන් එන අය වැඩ කරන්න හරිම හොරයි. මම සෑම අවස්ථාවක කියන්නෙ කජු සංස්ථාව වැනි ආයතන වසා දමන්න කියලයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 

කිවිදා දැක්ම

ජනවරම රැකීමේ අභියෝගය
2025 ජනවාරි මස 31 388 1

මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙ


ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව
2025 ජනවාරි මස 24 776 5

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ


දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 440 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1131 16

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 402 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල
2024 දෙසැම්බර් මස 20 903 0

රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site