1971 අප්‍රේල් කැරැල්ල ඇරඹුණු මුල් සති දෙක තුළ එම කැරැල්ලට ඍජුවම සම්බන්ධ තරුණ පිරිස් මෙන්ම පොලිස් සහ හමුදා භටයන් සෑහෙන පිරිසක් දෙපාර්ශ්වය අතර පැවති සටන්වලින් මියගොස් තිබුණි. කෙසේ වෙතත් එම අප්‍රේල් මාසයේ තුන්වැනි හෝ හතරවැනි සතිය පමණ වන විට කැරලිකරුවන් තරමක් දුරට පසුබැස ගොස් සිටි අතර එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ එතෙක් ඔවුන්ගේ පාලනය යටතේ පැවති දෙනියාය, ඇල්පිටිය, බුලත්කොහුපිටිය සහ කෑගල්ල වැනි බොහොමයක් ප්‍රදේශයන් හි රජයේ පාලනය ස්ථාවර කරගැනීමට ආරක්ෂක හමුදාවන්ට හැකිවීමයි.
මේ අතර බලලෝභී නායකයන්ගේ මුසාබස්වලට රැවටී ආයුධ අතට ගෙන සිටින නොමග ගිය තරුණ පිරිසට ගුවන්විදුලිය ඔස්සේ ආයාචනයක් කළ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ආයුධ බිම තබා රජයට භාරවන ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබුණාය.
ගුවන්විදුලිය ඔස්සේ පැයෙන් පැයට ප්‍රචාරය කළ එම නිවේදනයට කැරැල්ලට සම්බන්ධ තරුණ පිරිසගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබුණා. ඒ අනුව විසිදහසකට ආසන්න තරුණ පිරිසක් රජයට භාර වුණා තමන්ගේම කැමැත්තෙන්...... යි කියන එවකට අගමැතිනියගේ ප්‍රධාන ආරක්ෂක සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ දිවංගත ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතා පසු කාලයකදී මාධ්‍යයට හෙළිකර තිබුණේ එලෙස රජයට භාරවූ තරුණ පිරිස රඳවා ගැනීම සඳහා සුදුසු ස්ථානයක් නොමැතිවීමද රජයට බරපතළ ප්‍රශ්නයක්වූ බවය.
ඒ අතරේ ආණ්ඩුවේ සමහර ඇමැතිවරුන් කිව්වා කැරලිගහන වුන් එකෙකු නෑර මරා දමන්න ඕනෑ කියලත්. ඒත් අගමැතිතුමිය ඒවාට කන් නොදී එම තරුණ පිරිස පුනරුත්ථාපනය කළ යුතුය කියන මතයේ තදින්ම රැඳී හිටියා...... යි කියන අනුරුද්ධ රත්වත්තේ වැඩිදුරටත් සඳහන් කළේ රජය කොග්ගල සහ වීරවිල ප්‍රදේශයන්හි පුනරුත්ථාපන කඳවුරු පිහිටුවීමට පියවර ගනු ලැබුවේ ඒ අනුව බවය. එහෙත් මුල් සති කීපය තුළ රජයට භාරවූ පිරිස අතරින් කොටසක් රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලද අතර ඒවාද පිරී ඉතිරී යාමෙන් පසු එවකට පැවති ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යෝදය මණ්ඩපයේත්, විද්‍යාලංකාර මණ්ඩපයේත් ඔවුන් රඳවනු ලැබූ බවය.
ඒ වන විට කැරැල්ලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සහ සිය කැමැත්තෙන් රජයට භාරවූ තරුණයෝ හාරදහසකට නොඅඩු පිරිසක් ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාල මණ්ඩපයේ රඳවා සිටියහ. ඒ වන විට පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවක් පිහිටුවා නොතිබුණත් එම රැඳවුම් කඳවුරු පාලනය කෙරුණේ (බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගිනි. හමුදා භට පිරිසක් එහි ආරක්ෂාව සඳහා පිටතින් රඳවනු ලැබ සිටියහ.
ඇත්තෙන්ම විද්‍යෝදය මණ්ඩපයට අයත් රැඳවුම් කඳවුර රැඳවියන්ගෙන් පිරිලයි තිබුණේ. එතැන සෑහෙන්න අඩුපාඩු තිබුණා. විශේෂයෙන්ම සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණවත් වුණේ නෑ. හරියාකාරව ජල සැපයුමක් කෙරුණේ නෑ. ඒ හැම ප්‍රශ්නයක්ම ඇතිවී තිබුණේ එහි ශාලාවල රැඳවිය හැකි පිරිස වගේ තුන් හතර ගුණයක් රඳවා සිටි නිසා බව අපිත් දැනගෙන හිටියා...... යි කියන අනුරුද්ධ රත්වත්තේ මහතා පසුව මාධ්‍යයට හෙළිකර තිබුණේ, දිනක් උදෑසන කාලයේ එම කඳවුරේ සිදුවී ඇතැයි කියන කලබලයක් පිළිබඳව තමන්ට තොරතුරක් ලැබුණු බවය.
‘සර් මේ කොල්ලො අද උදේ ඉඳන් කෑමක් නොකා හූ කිය කියා කලබල කරනවා. අපට හමුදාව ඇතුළට යවලත් බෑ. නොයවත් බෑ. හමුදාව යැව්වොත් මහ බරපතළ සිද්ධියක් වෙන්නත් ඉඩ තියෙනවා!’
තමන්ට එම සිද්ධිය ගැන දැනුම් දුන් රැඳවුම් කඳවුර භාර නිලධාරියා කී ඒ කතාවෙන්ම සිද්ධියේ ඇති බරපතළකම හෙතෙම වටහා ගත්තේය.
නෑ... නෑ... හමුදාව ඇතුළට යවන්න එපා. මම දැන්ම එනවා...... යි කී අනුරුද්ධ රත්වත්තේ කළේ තවත් නිලධාරීන් කීපදෙනෙකුත් කැඳවාගෙන වහා ගංගොඩවිල විද්‍යෝදය විශ්වවිද්‍යාල මණ්ඩපය වෙත යාමය. ඔවුන් රැගත් වාහනය දෙල්කඳ ප්‍රදේශය පසුකරන විටම ඇසුණු හූ හඬින් මුළු ප්‍රදේශයම දෙවනත් වෙමින් තිබුණේය.
අපි එතැනට යනකොට බන්ධනාගාර කොමසාරිසුත් එතැනට ඇවිත් හිටියා. කොල්ලෝ කන්අඩි පැලෙන්න කෑගහනවා. හූ කියනවා. සටන් පාඨ කියනවා. එකම ජංජාලයයි. හමුදාවත් මුළු පැත්තම වට කරලා. ආයුධ සූදානම් කරගෙන බලාගෙන ඉන්නවා. පස්සෙ මම පළමු ආරක්ෂක වළල්ලෙන් ඇතුළු වෙලා ප්‍රධාන ගේට්ටුව ළඟට ගියා.....!
ඊළඟ මොහොතේ අනුරුද්ධ රත්වත්තේ දුරතියා හඳුනාගත් තරුණයන් දෙතුන් දෙනෙකු අත්වනා ඔහුට කතා කරන අයුරු පෙනුණේය. එහෙත් සෙසු තරුණයන්ගේ හූ හඬ අතරින් ඔවුන් කී කිසිවක් වටහා ගැනීමට ඔහුට නොහැකි විය.
ඒ සැරේ මම මගේ ළඟ තිබුණු නිල රිවෝල්වරය පැත්තකින් තියලා දෙවැනි ආරක්ෂක වළල්ලත් පහුකරලා ගේට්ටුව ළඟට ගියා. ඒ අතරේ මම දැක්කා 1970 මහ මැතිවරණ කාලයේ මට සෑහෙන්න මහන්සිවෙලා වැඩ කරපු සෙංකඩගල පැත්තෙ තරුණයන් කීපදෙනෙක් ඒ අතරේ ඉන්නවා. ඔවුන් තමයි මට මුලිනුත් අත්වනා කතා කරල තියෙන්නේ......
ඔහු ගේට්ටුව විවෘත කරගෙන ඇතුළට යාමට සූදානම් වන අයුරු දුටු කඳවුර භාර නිලධාරියා රත්වත්තේගේ අතින් අල්ලා නතර කරගත්තේ මේ අතරතුරය.
‘යන්න එපා සර්, කොල්ලො ටික සර්ට අනතුරක් කරන්න පුළුවන්..!’
එම නිලධාරියා එසේ කියමින් ඔහු වළක්වා ගැනීමට තැත් කළද හෙතෙම ඒ ගැන නොසලකා ඇතුළට ගියේය. ඔහු එලෙස කඳවුර ඇතුළට එන අයුරු දුටු සෙංකඩගල ප්‍රදේශයේ තරුණයන් දෙතුන්දෙනා ඉදිරියට ආවේ සිනාසෙමිනි.
‘බය නැතුව එන්න සර් ඇතුළට. සර්ට පෙන්වන්නට ඇතුළෙ තත්ත්වය. අපි සර්ට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ යි කී එම තරුණයන් අනුරුද්ධ රත්වත්තේ කැඳවාගෙන ඇතුළට යද්දී එක දිගට නැගෙමින් තිබූ හූ හඬ තරමක් බාල වූවේය. එහිදී ඔහුට පෙනුණේ පුද්ගලයන් හැට හැත්තෑවක් රැඳවිය හැකි ඇතැම් ශාලාවල තරුණයන් දෙතුන් සීයක් පමණදෙනා බිම වැතිරී නිදා සිටින අයුරුය.
‘සර් අර කට්ටියට උණ හැදිලා. තවත් කට්ටියකට පොලීසියෙන් හොඳටම ගහලා. තවම ඩිස්ප්‍රීන් පෙත්තක්වත් දීල නෑ’...... යි කියමින් දිග මැසිවිල්ලක් නැගූ තරුණ පිරිස එහි වැසිකිළි කාමර වෙත තමන් කැඳවාගෙන යද්දී එය මිහිපිට අපායක් ලෙස පෙනී ගිය බව හෙතෙම පවසයි.
එලෙස මුළු කඳවුර පුරාම ඇවිද එහි තත්ත්වය පරික්ෂා කර බලා රත්වත්තේ මහතා තරුණ පිරිස සමග සාකච්ඡාවක් පවත්වමින් සිටියදී තවත් පිරිසක් එම ස්ථානයට කඩා වැදුනහ.
‘අපේ ඉල්ලීම් දෙනකං අපි මෙයා රඳවා ගමු’ යි මරුමුස් පෙනුමකින් යුත් එම පිරිස රත්වත්තේ තමන්ගේ අත්අඩංගුවට ගත්තේ කිසිදු ගරුසරුවක් පවා නොදක්වමිනි.
ඔවුන්ගේ එම ක්‍රියාවට සෙංකඩගල පැත්තෙන් පැමිණි තරුණ පිරිස විරුද්ධ වුවත් ඔහු වටලා ගෙන සිටි අයගේ පිරිස් බලය වැඩිවූවෙන් ඔවුන්ට සිදුවූයේ නිහඬව පැත්තකට වීමටය.
‘අපිට ඔබතුමා එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබතුමා අපේ කඳවුර ඇතුළට ආවෙත් අපට උදව් කරන බව අපි දන්නවා. ඒත් දැන්නං ඔබතුමාට යන්න දෙන්න බෑ......’ යි කී එම මරුමුස් පෙනුමකින් යුත් තරුණයන් තදින්ම අවධාරණය කළේ තමන්ගේ ඉල්ලීම් ලබාදෙනතුරු රත්වත්තේ මහතා නිදහස් නොකරන බවය.
“ඔවුන් එහෙම කියන කොට මම පොඞ්ඩක්වත් කලබල වුණේ නෑ. ඒ සැරේ මම කිව්වා දැන් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා ඔයගොල්ලන් විඳින වධ වේදනා ගැන. මට බලයක් තියෙනවා නං මම මේ මොහොතේම ඒ ප්‍රශ්න විසඳනවා. ඒත් මට එහෙම බලයක් නෑ. හැබැයි මට පුළුවන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න ගැන අගමැතිතුමියට දැනුම් දෙන්න. එතකොට මට හොඳටම විශ්වාසයි එතුමිය යම් සහනදායි පියවරක් ගනීවිය කියලා.....!
ඔහු එසේ කියද්දී ඒ කතාවේද යම් සත්‍යයක් ඇතැයි එම තරුණ පිරිසටද පෙනී ගොස් තිබුණේය. ඒ අනුව විසිතිස් දෙනෙකු රත්වත්තේගේ මුරට තැබූ තරුණ පිරිස පසෙකට ගොස් ඒ ගැන සාකච්ඡා කිරීමට පටන් ගත්තේ පිටත තත්ත්වය පිළිබඳව ද විටින් විට විමසිලිමත් වෙමිනි.
මතු සම්බන්ධයි.
නිහාල් ජගත්චන්ද්‍ර
ඡායාරූපය : අන්තර්ජාලයෙනි
අද ලංකාවේ හැමදාම හැම තැනම විවිධ ඉල්ලීම් දිනා ගැනීම සඳහා පොදු ජනතාව මෙන්ම රාජ්‍ය සේවකයින් ද වැඩ වර්ජන හා උද්ඝෝෂණ පවත්වති. ඔවුන්ගේ මේ උද්ඝෝෂණ වලින් වැඩි
මිත්‍රවරුනි දේශපාලනය සඳහා තිබිය යුතු ලොකුම සුදුසුකම් දෙක තමයි බුද්ධිය හා අත්දැකීම්. හොරුන්ට මැරයන්ට දේශපාලනය කරන්න බෑ. මේ පාර යටියන්තොට ආසනේට පෙරේරල
දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) විමුක්තිය උදාකර ගැනීම සඳහා තෝරා ගෙන තිබුණු ඝාතන සංස්කෘතියේ පළමු බිල්ල වූයේ දෙමළ ජාතිකයෙකි. ඔහු එවකට අගමැතිනි සි
ලංකාවේ දෙවැනි අගමැති ඔහුය. ඔහුගේ පියා ලංකාවේ ප්‍රථම අගමැතිය. ඔහු තුන් වරක් ලංකාවේ අගමැති ධුරය හෙබවූවේය. 1911 වසරේ ඉපදී 1973 දී එනම් 62 හැවිරිදි වියේදී මියගිය ත
කුල භේදය සම්බන්ධයෙන් උගුරට හොරා බෙහෙත් බීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළ ජෝන් කොතලාවලට තවත් වරක් අපූරු ඇබැද්දියක් සිදුව තිබේ. වරක් ඔහුට ආධාර කළ උසස් යැය
පසුගිය නොවැම්බර මස 16 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය ලැබීමෙන් පසුව මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත්කර රජයක් පිහිට
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අනුරුද්ධ රත්වත්තේ කොල්ලන්ගේ අත්අඩංගුවේ