පසුගිය දා මම මිදොරිය සොයා ගියෙමි. එය පහසු කටයුත්තක් වූයේ නැත. දෙවෙන්දොරා සං කියාදුන් මං සලකුණු අද මැකීගොසින්ය. අද මිදොරිය එතැන නැත. එය තිබුණු තැන පවා අසාගත්තේ මහල්ලකුගෙන්ය. එතැන ඇත්තේ වෙනත් අවන්හලකි. මම ඒ ඉදිරිපිට දෙතුන් වතාවක් ඔබ මොබ ගමන් කරමින් සිට, හදිසියේ මෙන් එහි ඇතුළු වීමි. දෙවෙන්දොරා සං මිදොරියට ඇතුළුවූවා යයි කීවේ එලෙසය.
මගේ ඡවි වර්ණය ද දෙවෙන්දොරා සං ගේ මෙන් බැවින්, මා දුටු විගස නොරිකො අවන්හලේ අමුත්තන්ට සංග්‍රහ කිරීම මඳකට නවතා තිගැස්සී විමතියෙන් මෙන් මා දෙස බලතැයි මම ප්‍රාර්ථනා කළෙමි. එහෙත් අර්ධ කවයක ආකාරයෙන් සාදා තිබුණු කවුන්ටරය එතැන තිබුණේ නැත. කිමොනොවකින් සැරසුණු නොරිකො තබා ඇයගේ වැඩිමහලු මිතුරියවත් එතැන නැත. අද නොරිකො වැඩට ආවේ නැතිදැයි මම එතැන එකියකගෙන් ඇසීමි. ඇය තුස්නිම්භූතව මෙන් මා දෙස බැලුවා ය. මම සමච්චලයට ලක්වීමි. එතැනින් මම නික්ම ගියෙමි.
දෙවෙන්දොරා සං නොරිකො සමග සකුරා මල් බලමින් ගමන්ගත් කමකුරා හි වේ මං ඔස්සේ මම ගමන් ගතිමි. ඒ මාර්තු මාසය නොවෙන බැවින් සකුරා මල් පිපී තිබුණේ නැත. සකුරා මල් නොපිපි මාවතක මම නොරිකො කෙසේ හඳුනා ගනිමි ද?
අසකුසා හි උඩුවියන් බැඳි වේ මං ඔස්සේ ඇවිද ගිය, ෂිම්බෂි හි නෙඔන් එළි අකුරු කියාදුන් නොරිකො එතැන නැත. ඇතැම් වේ මගක් දැන් ජනාකීර්ණ පුළුල් මාවතක් බවට පත්වෙලාය. නොරිකො එවැනි තැන්වල ගැවැසීමට වැඩි ප්‍රියක් නැත.
දෙවෙන්දොරා සං කියොතෝවට යන දා ඔහු ඇරලීම පිණිස නොරිකො තම පියා සමග තෝකියෝ දුම්රියපොළ වෙත පැමිණි බවක් මට සිහිවිය. ඔහු යළි එන තුරු අතීතානුස්මරණ සාංකාවෙන් වත් නොරිකො එතැන බලා සිටිතැයි සිතුණු බැවින් මම එහි ද ගියෙමි. එහෙත් එතැන බොහෝ සේ වෙනස් වෙලාය. නන්නාඳුනන කෙනෙකුන් තබා, දන්නා හඳුනන කෙනෙකුන්වත් සොයාගත නොහැකි ලෙසින් එතැන අද ජනාකීර්ණ ය.
නොරිකො සොයා මම තෝකියෝවේ මංමාවත්වල සැරිසරමි. නියොන් එළියෙන් ආලෝකමත් වූ මං ඔස්සේ යමි. ඒ මාවත්වලදී ඇස නොගැටෙන වර්ණයක් නැති තරම්ය. එහෙත් සම්ප්‍රදායික කිමොනොවෙන් සැරසුණු යුවතියෝ එහි නැත. ඇස සොයන්නේ කිමොනොවෙන් සැරසුණු නොරිකො වය. කලිසමෙන් කබායෙන් සැරසුණු නොරිකො කෙනෙකුන් මම නොහඳුනමි.
වෛවර්ණ කිමොනොවකින් සැරසී, උස් ලී සෙරෙප්පු පැළඳ, විවිධ වර්ණ කූරු කොණ්ඩයේ ගසා, සායමෙන් සුදු කරන ලද මුහුණක් ඇති යුවතියක මම දකිමි. ඒ නොරිකො වීමට බැරිය. ඇය මෙවැනි විච්චූරණවලට අකැමැතිය. ඒ යන්නේ යොෂ්වරා අබිසාරිකාවක් යයි මම අනුමාන කරමි. නොරිකො ගේ මුහුණ වටකුරුය. දෑස් කුඩාය. ඇයට දිගු කෙස් කළඹක් ඇත. කිමොනො හඳින නොරිකො එසේය.
තමබොචි සුසානයට යාමට අවසානයේදී මම තීරණය කරමි. නකජිමා පවුලේ අය අවසන් වරට දෙවෙන්දොරා සං ඇරලුවේ එතැනට ය. තම පියා වෙනුවෙන් සොහොන් කොතක් ඉදි නොකළ හිදෙජි, දෙවෙන්දොරා සං වෙනුවෙන් එතැන සොහොන් කොතක් ඉදිකර ඇතැයි සිතීමට අමාරු ය. එහෙත් නොරිකො හඳුන්කූරු මල් ආදිය ගෙන එතැනට නොගොස් සිටිතැයි සිතිය නොහැක.
කිමොනොවක් හැඳගත් රුවක් පාළු සොහොන් පිටියේ සොහොන්කොත් අතර හුදකලාව ගිය පස් ගොඩක් මත මලක් තබා, හඳුන්කූරු දල්වනු මම දකිමි. ඒ නොරිකො විය යුතුමය. මම ඇය ආසන්නයට යමි. එහෙත් ඇය මැහැල්ලකි.
දෙවෙන්දොරා සං ගේ මරණයෙන් පසුව නොරිකො ඔකතා සං ගේ අත ගත්තා යැයි සිතීමට බැරිය. දෙවෙන්දොරා සං ගේ පෙරෙත්තය පිට ඇය ඔහු සමග ගමනක් බිමනක් ගියා මිස, ඇය කිසි දා ඔහු ප්‍රිය කළේ නැත. ඇය කළේ ඔහු මගහැරීමය.
කාර්යාලයේ වැඩ ද නොරිකොට අප්‍රසන්න වී තිබුණි. ඇය සිටියේ එතැනින් මිදෙන්නේ කවදා දැයි බල බලාය. ඇය තරමක් හෝ සතුටකින් සේවය කළේ මිදොරියේය. මුලින් ම මම ඇය සොයා මිදොරියට ගියේ එබැවිනි.
දෙවෙන්දොරා සං විසින් නොරිකො පිළිබඳව වෘත්තාන්තය අපට කීවේ මීට වසර හැටකට පෙරය. ඒ අනුව අද වනවිට නොරිකොගේ වයස අවුරුදු අනූවක් පමණ විය යුතුය. එහෙත් ඒ ආකාරයෙන් නොරිකො දැකීමට සිත අකැමැතිය. සිත ඇඳි නොරිකොගේ රුව තවමත් තරුණය. අද මා දකින්නේ එදා දෙවෙන්දොරා සං දුටු නොරිකො ව ය. මගේ ඇස සොයන්නේ ඒ රුවමය.
මා දැන් බලා සිටින්නේ මළවුන්ගේ අවුරුදු දා පැමිණෙන තුරුය. එදින දෙවෙන්දොරා සං නකජිමා පවුලේ මළගිය ඇත්තන් සමග යළි පැමිණෙනු ඇත. මගේ පැතුම් නුසුන් කොට ඔහු පැමිණෙන බව මම දනිමි. එවිට නොරිකො කොහි දැයි මම ඔහුගෙන් අසමි. සමහර විටෙක නොරිකො ඔහු සමගම පැමිණෙන්නට ද බැරි නැත.
(දෙවෙන්දොරා සං ගේ සහ නොරිකො ගේ ආදර අන්දරය කියැවෙන එදිරිවීර සරච්චන්ද්‍රයානන්ගේ මළගිය ඇත්තෝ නවකතාව ප්‍රථම වරට මුද්‍රණ ද්වාරයෙන් පිටව, මේ වසරට වසර හැටක් පිරීම නිමිත්තෙන් ලියැවුණු ලිපියකි.)
ගැස්කොන් ලාසරස්
රෝමය, ඉතාලිය.
සිරියාවේ මොකද වෙන්නේ...? මේ පසුගිය ඉරිදා සිට මේ දක්වා ලෝකයේත් ලංකාවේත් විදෙස් තතු ගැන උනන්දුවක් දක්වන්නන් අතර නිරන්තරයෙන් නැගුණ ප්‍රශ්නයක්. කොහොමත් 2011 අ
එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ ගංවතුරට මැදිව පොල්අතු වහලක් උඩ සිටි පුද්ගලයකු ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් මගින් අද (27) බේරාගනු ලැබීය.
දකුණු ඉන්දීය සුපිරි තරුව තලපති විජේ, තමිල්නාඩුවේ විල්ලුපුරම් දිස්ත්‍රික්කයේ වික්‍රවන්දි නගරේ දැවැන්ත වේදිකාවට පය තැබුවේ ලක්ෂ තුනකට වැඩි රසික රසික
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම
මියන්මාරයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබුණේ 1948 ජනවාරි 4 වැනිදාය. ඒ ලංකාවේ අප නිදහස ලැබීමට හරියටම මසකට කලින්ය. නිදහස ලැබීමට පෙර මියන්මාරයේ බහුතර බෞද්ධ ජනතා
“ඇය යන්න ගියා මැකිලා’’ - අමරසිරි පීරිස්ගේ ජනප්‍රිය ගීතයක්. බංග්ලාදේශයේ මේ දිනවල ගැයෙන්නේ මෙවැනි ගීතයකි. හසීනා යන්නම ගියාය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
නොරිකො සොයා ගියෙමි