IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ආණ්ඩුව ඇතුළේ අර්බුදය යළි එළියට

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයෝ ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවෙ විමල් වීරවංශ ඇමතිවරයාගේ නිවසේ දී රැස් වූහ. විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, අතාවුල්ලා, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න, ගෙවිඳු කුමාරතුංග යන අය සහ අතුරලියේ රතන හිමියෝ ඊට සහභාගි වූහ. රියදුරකු කොරෝනා ආසාදිතයකු වීම නිසා, උදය ගම්මන්පිල ඇමතිවරයා ස්වයං නිරෝධායනය ට යළිත් වරක් යොමු වී සිටින බැවින් ඔහු ඊට සහභාගි වූයේ නැත. ටිරාන් අලස් ද මෙවර රැස්වීමේ නොසිටියේය.


 පක්ෂ 10 නායකයන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ආන්දෝලනය සහ ආණ්ඩුවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති නමුත්, ඊට පිළිතුරක් නොදෙන්නට එහිදී තීරණය වී ඇත, අයවැයට එම පක්ෂවල අදහස් රජයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ. අසංක නවරත්න මන්ත්‍රීවරයා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ය. හවුල්කාර පක්ෂ දහයක් ජනාධිපතිවරයාට යැවූ ලිපියට අත්සන් තැබූ පක්ෂ නායකයන් අතර ඔහුද අයෙකි. ඔහු මීට පෙරද එවැනි කටයුතුවලට සම්බන්ධ වී සිටි බැවින් ඔහු සම්බන්ධයෙන් ආණ්ඩුව එතරම් පැහැදීමකින් නොසිටියේය. ඔහුට දී තිබූ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරය ද ගිය සතියේ ඉවත් කරනු ලැබුවේ එය ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ ප්‍රමුඛයෙකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාට ලබා දෙමිනි. ජනක තෙන්නකෝන් ඇමැතිවරයාගේ පුත්‍රයා ද වන ප්‍රමිත ආණ්ඩුව වෙනුවෙන් නිතර පෙනී සිටින තරුණ මන්ත්‍රීවරයකු පමණක් නොව, බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණිය යුතු යැයි කියමින් පසුගිය කාලයේ ලොකු හඬක් ද ගෙන ගියේය. ඒ අනුව ප්‍රමිත ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගිය බ්‍රහස්පතින්දා පත් කරනු ලැබීය. අසංකගේ තනතුර ඉවත් කිරීම සම්බන්ධයෙන් ද හවුල්කාර පක්ෂවල රැස්වීමේදී සාකච්ඡා වී ඇත. එය ආණ්ඩුව ඔවුන්ට රතු එළියක් නිකුත් කිරීමක් බව ඔවුන්ගේ අදහස වී ඇතැයි වාර්තා වේ.
මහින්දානන්දට ලැබුණු දහදාහේ බඩු මල්ල විමල්ට නොලැබෙයි

 


 

 

වගකීමෙන් වැඩ කරන්න අගමැතිගෙන් ඇමැතින්ට උපදෙස්

 

 

 


 


සතියේ කැබිනට් රැස්වීම ගිය සඳුදා හැන්දෑවේ පැවැත්වුණේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දළදා පෙරහරේ සන්දේශය බාරදීමේ උත්සවයට මහනුවරට ගොස් සිටි බැවින් මෙවර කැබිනට් රැස්වීමේ මුලසුන ගත්තේ අගමැතිවරයාය. කොරෝනා අර්බුදය හේතුවෙන් මෙවර ද කැබිනට් රැස්වීම ‘‘සුම්’’ තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. නියමිත වේලාවටත් පෙර කැබිනට් රැස්වීමට සම්බන්ධ වූ ඇමතිවරු ආ ගිය තොරතුරු ද කතාබහ කරමින් සිටියහ. විශාල ප්‍රමාණයේ මල් සහිත කමීසයක් ඇඳ සිටි විමල් දුටු සී.බී. රත්නායක ඇමතිවරයා කීවේ විමල්ගේ ෂර්ට් එක හරිම ලස්සනයි කියාය. ඇයි ෂර්ට් එක විතරද, මම ලස්සන නැද්ද? විමල් පෙරලා ප්‍රශ්න කළේය. නෑ නෑ ඔයත් ලස්සනයි, ෂර්ට් එකත් ලස්සනයි. සී.බී. ද සිනාවෙන් පිළිතුරු දුන්නේ ය.


ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ඇමැති අනුකමිටුවේ වාර්තාව ද මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබිණි.”‍ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් වෙන්න ඕන කියන මතයේ කමිටුව ඒකමතිකව ඉන්නවා, එමෙන්ම මේ විසඳුම නිසා වෙනත් රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් විෂමතා සිදු නොවිය යුතුයි කියන ස්ථාවරයෙත් කමිටුව ඉන්නවා, යැයි ඩලස් කීවේ සාකච්ඡාවට ආරම්භයක් දෙමිනි. අනතුරුව කතා කළේ විමල් වීරවංශය. වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා අයවැයෙන් යෝජනා කරලා එය ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව රටට පැහැදිලි කිරීමක් කරන්න වෙනවා යැයි ඔහු කීවේය. අන්තිම මොහොතේ කමිටු වාර්තාව ලැබුණ නිසා එය අධ්‍යයනය කරන්නට වෙලාවක් නොලැබුණු බව ගම්මන්පිල කීවේය. කැබිනට් ලේකම්වරයා ඒ ගැන පැහැදිලි කෙළේය. ඔහු කිව්වේ හවස ලැබුණු වාර්තාව කැබිනට්ටුවට හදිසියේ ඉදිරිපත් කළේ එය ඉදිරිපත් කිරීමේ දැඩි අවශ්‍යතාවක් තිබුණු නිසා බවය. මීට අදාළ අනෙකුත් වාර්තා දුන්නොත් මේ වාර්තාව අධ්‍යනය කර ඊළඟ සතියේ අමාත්‍ය මණ්ඩල හමුවට කරුණු දක්වන්න පුළුවන් බව ගම්මන්පිල කීවේය.”‍ මේක ගුරුවරුන්ගෙ ප්‍රශ්නයක් වුණාට මේක ඇතුළෙ තියෙන්නෙ දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේක දිගින් දිගටම කල් දමන්න සුදුසු නැහැ යැයි විමල් කියද්දී ඇමැති බැසිල් රාජපක්ෂ ද එය අනුමත කළේය. ”‍අපි ඒ කතාව පිළිගන්නවා ප්‍රශ්නය කල් දැමීම සුදුසු නැහැ. නමුත් මේක හරහා යළි වෙන අර්බුදයන් නිර්මාණය නොවන විදියට අපි කටයුතු කරන්න ඕන. ඒ ගැනත් මෙතනදි සලකා බලන්න වෙනවා යැයි බැසිල් කීවේය. මේ ගැන තවදුරටත් සාකච්ඡා කර ලබන සතියේ තීන්දුවක් ගත හැකි යැයි රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයා ද කීවේය. දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයා කීවේ මීට අදාළ සියලු‍ වාර්තා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නම් කියාය. ඒ සියල්ල අධ්‍යයනය කර මේකට විසඳුමක් දිය හැකි බව ඔහු කීවේය. ඒ අනුව කමිටු වාර්තාව පිළිබඳ තීරණයක් ගැනීම ඊළඟ සතියට කල් දැමීය.
මේ කතාබහ අතරේ අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඉල්ලීමක් කළේය. කැබිනට් රැස්වීමේ දී තීරණය ගෙන මාධ්‍ය වෙත වෙනත් ප්‍රකාශ නිකුත් කිරීමෙන් අමාත්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය ද අපහසුතාවට පත්වන බව ඔහු කීවේය. එබැවින් ඒ ගැන සැලකිලිමත් වන්නැයි ඇමැතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමිවන පුද්ගලයන්ට රුපියල් 2000 ක දීමනාවක් දීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ විසිනි. දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ 17ක ට හිමිවන බව ඔහු කීවේය.


”‍ගියවර වගේ නෙවෙයි මෙවර ගෙවන්න වෙන්නේ ලැබිය යුතුම පිරිසට පමණයි ”‍බැසිල් කීවේය. ඔහු කීවේ ඔහු දන්නා අතිරේක ලේකම්වරයෙකුගේ නිවෙසටත් දහදාහෙ බඩු මල්ල ලැබී ඇති බවය. එවිට මහින්දානන්ද කීවේ තමාට ද මේ බඩු මල්ල ලැබුණු බවය. තමා එය ආපසු හරවා යැවූ බව මහින්දානන්ද කීවේය.”‍ මමත් කොරන්ටයින් වෙලා හිටියා මට ලැබුණෙ නෑ නේ මේ බඩු මල්ල”‍ එසේ කීවේ විමල්ය. ඔබතුමාත් එක්ක ප්‍රාදේශීය ලේකම්තුමා අරෝවක් ඇති”‍ වාසුදේව හිනාවෙමින් කීවේය .”‍ඒක තමයි මමත් බැලු‍වෙ මේ ගැන වෙනම හොයල බලන්න ඕන”‍ විමල් ද හිනාවෙමින් පිළිතුරු දුන්නේය.


හවුල්කාර පක්ෂ දහයේ නායකයන් ජනාධිපතිවරයාට යැවූ ලිපිය සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදීද අවධානය යොමු විය. ඒ ගැන මුලින්ම අදහස් දැක්වූයේ රෝහිත අබේගුණවර්ධන ඇමතිවරයාය. කැබිනට් එකේ තීන්දු අරන් පැය 24ක් යන්න කලින් මෙහෙම ලියුම් ලියන එක වැරදියි. ඒ විතරක් නෙවේ මාධ්‍යවලටත් නිකුත් කරල”‍ රෝහිත කීවේය. ඔහු කීවේ කැබිනට් මණ්ඩල සාමූහිකත්වය ආරක්ෂා කිරීම සියලු‍ දෙනාගේ වගකීම බවය. ඩග්ලස් දේවානන්ද ද ඒ අදහස ඉදිරිපත් කළේය. චන්ද්‍රසේන ඇමතිවරයා ද කීවේ මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම වැරදි බවය. මෙවැනි වැඩ වලින් ආණ්ඩුව අපහසුතාවට පත් වන බව ඔහු කීවේය. එම ලිපියට අත්සන් තැබූ විමල් වීරවංශ ඇමැතිවරයා එහි නොසිටි අතර, ගම්මන්පිල හා වාසුදේව පමණක් එහි සිටියහ. එහෙත් ඔවුන් ඊට පිළිතුරු දෙන්නට ගියේ නැත. අගමැතිවරයා යෝජනා කළේ අපි මේ වගේ දේවල්වල දී මීට වැඩිය වගකීමෙන් කටයුතු කරමු කියාය.


මේ අතර ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා අපූරු කතාවක් කීවේය. අපි රටක් විදිහට හැමෝටම ස්වයං විනයක් තියෙන්න ඕන. මා ඇතුළු දේශපාලනඥයන් හැමෝටමත් ඒක තියෙන්න ඕන. ඒකට හොඳම ආදර්ශය ගන්න පුළුවන් නැඳුන්ගමුවේ රාජගෙන්. නැඳුම්ගමුවෙ රාජා දළදා පෙරහැරේ කරඬුව වඩම්මද්දි පෙන්වූ ස්වයං විනය අපි හැමෝටම පරමාදර්ශයක් කියලා මම හිතනවා ”‍ඩලස් කීවේය.

 


 

 

 

මාව ජනපති අපේක්ෂක කරන්න මංගල ලොකු අරගලයක් කළා

 

 

 



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සති අන්තය ගත කළේ මහනුවරය. ඊට හේතු වූයේ ජනාධිපතිවරයාට දළදා පෙරහර මංගල්‍යයේ අවසන් පෙරහර නැරඹීමට තිබීමත් පෙරහර සාර්ථකව පැවැත්වීම පිළිබඳ සංදේශය භාර ගැනීමට තිබීමත් නිසාය. ඒ අනුව ඉකුත් සෙනසුරාදා මහනුවර බලා ගිය ජනාධිපතිවරයා පොහෝ දින රාත්‍රියේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹුවේ සිය බිරිය අයෝමා රාජපක්ෂ මහත්මිය ද සමගිනි. වෙනදා ජනාධිපතිවරයා පෙරහැර බලද්දී මහනුවර ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් ද සහභාගීවන නමුත් මෙවර කිසිදු ඇමැතිවරයෙකුට ආරාධනා කර නොතිබිණි.
කෘතහස්ත දේශපාලඥයකු මෙන්ම දේශපාලන කරළියේ පෙරළි කාරයෙකු වූ මංගල සමරවීර මහතා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඉකුත් සතියේ මිය ගියේය. ඔහුගේ මියයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා පමණක් නොව, පක්ෂ විපක්ෂ බොහෝදෙනකු ද, විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන් ද සිය කනගාටුව පළ කරමින් නිවේදන නිකුත් කළේ ඔහු සිය මතවාදය වෙනුවෙන් පෙනී සිටි දුර්ලභ දේශපාලනඥයෙකු වූ බැවිනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සිය 70 වැනි සංවත්සරය ලබන දෙවැනි දා පැවැත්වීමට සැලසුම් කරමින් සිටි. කොරෝනා හමුවේ මහජන සහභාගීත්වයෙන් තොරව චාම් උත්සවයක් පමණක් පැවැත්වීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයේ දේශපාලන මණ්ඩලය තීරණය කර ඇත. මේ අතර හැත්තෑ වෙනි සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ද ශ්‍රීලනිපය පසුගිය සතියේ ආරම්භ කළේය. මේ පිළිබඳ සාකච්ඡාවක් පක්ෂ මූලස්ථානයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ශාන් විජයලාල් ද සිල්වා ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටියහ. දෙවැනිදා පැවැත්වෙන සංවත්සර උත්සවයේ දී ප්‍රධාන දේශන දෙකක් පවත්වන්නට තීරණය වූ අතර මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ ධම්ම දිසානායක යන මහත්වරුන් මෙම දේශන පවත්වනු ඇත.


මෙවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සමුළුව රාජ්‍ය නායකයන්ගේ සහභාගිත්වයෙන් ලබන මාසයේ දී නිව්​ෙ‌යා්ර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පැවැත්වේ. කොරෝනා හේතුවෙන් ගියවර සමුළුව පැවැත්වූයේ සුම් තාක්ෂණය ඔස්සේ වුවත් මෙවර ඊට රාජ්‍ය නායකයෝ සහභාගි වෙති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙවර සමුළුවට සහභාගි වීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. නව විදේශ අමාත්‍යවරයා ලෙස පත් වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ද මෙවර සමුළුවට සහභාගි වේ. ජී.එල්. පීරිස් නව තනතුරේ වැඩ භාරගත් දිනයේ සිටම විදේශ තානාපතිවරුන් සිය අමාත්‍යාංශයට කැඳවමින් රටවල් අතර රාජතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටී.


ජනතා සහන කැපුවාට විපක්ෂයේ විරෝධය


මංගල සමරවීර හිටපු ඇමැතිවරයාගේ අභාවය ගැන උදෑසනම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පණිවුඩය ලැබුණේය. සජිත්ට ඒ පුවත මහත් කම්පනයක් එක් කළ අතර ඔහු මොහොතක් නිසොල්මන්ව සිටියේය. අනතුරුව සජිත්ගේ හිතේ ඇති වූ දුක තුනී කර ගැනීමට ඔහු තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට කතා කළේය.


‘‘ජනාධිපතිවරණයට මම එනවා කියලා මුලින්ම හරින් බදුල්ලේ රැස්වීම තිබ්බට දෙවැනි රැස්වීම මංගල මාතර තිබ්බා. ඒ විතරක් නෙවේ, මාව ජනාධිපති අපේක්ෂකයා කරන්න මංගල ලොකු අරගලයක් කළා.”‍ සජිත් තම හිතවතුන් සමග කීවේය.


‘‘මුලදී මංගලයි මාත් අතර ලොකු සම්බන්ධයක් තිබුණේ නෑ. ඒත් යහපාලන ආණ්ඩුව කාලයේ දී අපි ගොඩක් ළංවුණා. නිවාස අමාත්‍යාංශයේ වැඩවල දී අපි ගොඩක් ළගින් වැඩ කළා. ටික දවසකින්ම අපි කරපු වැඩසටහන් මංගල තුමා බොහොම ගැඹුරින් අධ්‍යයනය කළා. නිවාස ඉදි කරන්න එතුමා පුදුම විදිහට නිර්ලෝභීව මුදල් වෙන් කළා. එ් විතරක් නෙවෙයි, මංගල කොතරම් හොඳ මිත‍්‍රයෙක් ද කියලා තේරුම් ගත්තේ ඔහු ළගින් ඇසුරු කරපු කාලයේ දී’’ තමාට කතා කළ සියලු‍දෙනාටම සජිත් කීවේ මංගලගේ ගුණය.
”‍මාතර කියන්නේ වමට බර මාතර ආසනයක්. මංගල කියන්නේ ලිබරල් දේශපාලනඥයෙක්. එයා මාතර උඩුයටිකුරු කළා.”‍


දවස පුරාම සජිත් මංගල පිළිබඳව දැඩි සංවේගයකින් සිටියේය.


මංගලගේ අවසන් කටයුතු සිදුවන විට බොරැල්ල කනත්තට යාමට සජිත් දැඩි උත්සාහයක් ගත්තේය. එහෙත් වෛද්‍යවරුන් හා ආරක්ෂක නිලධාරීන්ගෙන් එයට අවසරයක් නොවීය. සජිත් ද කොරෝනා ආසාදිතව සිට සුවවීම නිසා ප‍්‍රවේශම් විය යුතු බව බොහෝ දෙනාගේ අදහස විය.


මේ අතර මෙරට පහළ වූ කෘතහස්ත පරිපාලකයකු හා ප්‍රතිපත්ති සම්පාදකයකු මෙන්ම ලංකා පරිපාලන සේවයේ ප්‍රමුඛතමයකු වූ ආචාර්ය සුසිල් සිරිවර්ධනයන් තමන්ගේ දිවිසැරිය නිමා කිරීමේ පුවත ද සජිත්ගේ සිතට මහත් සංවේගයක් එක් කළේය.


සූම් කණ්ඩායම් රැස්වීම


මේ සතියේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම පැවැත් වුණේ සූම් හරහාය. කොරෝනා අවදානම ගැන කාගේත් අවධානය යොමු විය.


‘‘ඩෙල්ටා ප‍්‍රභේදය දිගටම ව්‍යාප්තවන විට රට වහන්න කියලා අපි ඉල්ලා සිටියා. ආණ්ඩුව රට වහන්නේ නැතිව ඒකාධිපති විදියට ඉදලා දවසට දෙසීයක් විතර මැරෙන්න ගත්තම තමයි රට වැහුවේ’’ සජිත් කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම කීවේය


‘‘කී දෙනෙක් මැරුණත් රට වහන්නේ නෑ කියන තැන තමයි ජනාධිපතිවරයා ඉදලා තියෙන්නේ. ඒ නිසා තමයි රට වහන්න කියලා ලියුම් ලියපු විමල්ටයි, ගම්මන්පිලටයි කතා කරලා හොඳටම බැණලා තියෙන්නේ’’ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ආණ්ඩුව ඇතුළෙන්ම තමන්ට ආ තොරතුරක් කීවේය.
‘‘කොරෝනා ගැන තියෙන දත්ත විකෘති කරලා එවන්නේ’’ සජිත් කොරෝනා රෝගීන්ගේ හා මරණවල දත්ත ගැන අවධානය යොමු කළේය.


‘‘අපි මේකට රිසර්ච් යුනිට් එකක් පටන් ගනිමු. ඇත්ත දත්ත හොයන මෙහෙයුම පටන් ගනිමු’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.
”‍ඒක ඉතාම වටින වැඩක්. හරිම හොඳ යෝජනාවක්”‍
සජිත් මනූෂගේ යෝජනාවට ප්‍රසංසා කළේය.


‘‘අපි ඒ වගකීම මනූෂටම භාරදෙමු’’ රංජිත් මද්දුම බණ්ඩාර යෝජනා කළේය.
‘‘ලංකාවේ මෙතරම් ආදාහනාගාර තියෙනවා. දවසකට කොරෝනා මිනී මෙච්චර තියෙනවා. පැය 24ම වැඩ නම් මිනී පුච්චන්න මෙච්චර හිර වෙලා තියෙන්නේ. කොරෝනා දත්තවල පරස්පරයක් තියෙන බව ඒකෙන් පේනවා.’’ පාඨලී චම්පික රණවක මන්ත‍්‍රීවරයා පැවසුවේ පර්යේෂණ ඒකකයක් ආරම්භ කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙමිනි.


ඒ අනුව කොළඹ දිස්ත‍්‍රික්කයේ දත්ත එකතු කිරීමේ වගකීම පාඨලීට සහ එස්.එම් මරික්කාර් මන්ත‍්‍රීවරයාට පැවරිණි. ගාල්ල දිස්ත‍්‍රික්කයේ වගකීම පැවරුණේ මනූෂටය. ගම්පහ දිස්ත‍්‍රික්කයේ වගකීම හර්ෂණ රාජකරුණාට පැවරිණි.


‘‘අපි ගම්පහ වැඩේ කාවින්දට දෙමු’’ හර්ෂණ කියන විට මරික්කාර් කතා කරන්න විය.
‘‘නෑ නෑ හර්ෂණට දෙන්න. හර්ෂණ මග අරින්න හදන්නේ’’ මරික්කාර් වගකීම හර්ෂණගේ පිටම පැටවූවේය.
‘‘විපක්ෂය සහ ජනතාව කියපු නිසා රට වැහුවා, දැන් දෙන්නම් බැටේ කියලා හිතාගෙන තමයි ජනාධිපතිතුමා ජාතිය ඇමතුවේ. ජනතාවට පටි තද කරන්න කියලා කියනවා. ජනතාවට තවත් තදකරගන්න දෙයක් නෑ. මේ ආණ්ඩුව ඇවිත් ජනතාවගේ පටි නෙමෙයි, බෙල්ල තද කරලා තියෙන්නේ. රාජ්‍ය සේවකයාගේ පඩිය කපන්න, පෞද්ගලික අංශයේ සේවකයාගේ වැටුප් කපන්න තමයි මේ අය සූදානම් වෙන්නේ. අපි ඒකට ඉඩ තියන්නේ නෑ.’’ සජිත් සහතිකයක් දුන්නේය.


මේ අතර කොරෝනා රෝගීන්ට නිව්මෝනියා තත්ත්වය ඇති වූ විට ලබාදෙන ඖෂධ හිඟය ගැන කතාව ඇදී ආවේය.


‘‘මේ බෙහෙත් හිඟය ගැන විපක්ෂනායකතුමා කියපු එක හරියටම හරි. ඔබතුමා කියන බෙහෙත නොතිබුණා නම් ලොකු අවුලක්. මේවා නොදන්නා ඇමැතිවරු මේ කතා විහිළුවට ගන්නවා.’’ රාජිත සේනාරත්න මන්ත‍්‍රීවරයා කීවේ තමන්ගේ අත්දැකීම්වලිනි.


‘‘නායකතුමා එදා ඉදන් කියපු දේවල් හරි බව ආණ්ඩුවේ අයටම පිළිගන්න වෙලා තියෙනවා.‘‘ අශෝක් අබේසිංහ පැවසුවේය.

 

  • අසංග නවරත්නගේ පුටුව ප්‍රමිත තෙන්නකෝන්ට 


කප්පාදුවට එරෙහිව


කොරෝනා ආසාදිතයන්ට ලබාදෙන රුපියල් දස දහසේ බඩු මල්ල කප්පාදු කිරීම හා ආදායම් අහිමි ජනතාවට ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාව රුපියල් දෙදහස දක්වා කප්පාදු කිරීම ගැනත් සජිත්ගේ අවධානය යොමු වුණේය.


‘‘රුපියල් පන්දාහ දෙදාහට බස්සලා බඩු මල්ලක් දෙන්න හදනවා. ඒ අතරේ බඩු මිලත් ඉහළ දානවා. ආණ්ඩුව ජනතාව ගැන හිතන තරම තමයි මේකෙන් පේන්නේ.’’ සජිත් කීවේ කොරෝනාවලින් පීඩාවට පත් ජනතාවට සහන ලබාදීම ගැන අවධානය යොමු කරමින්ය.


මේ අතර රුපියල් දසදහසේ බඩු මල්ල කප්පාදු කිරීම ගැනත් සජිත් කතා කළේ තරමක් ආවේගශීලීවය.
‘‘හරි වෙලාවට හරි තීන්දු ගන්නේ නැති ආණ්ඩුව දැන් ජනතාවගේ සහන කපන තීන්දු ගන්නේ. මෙහෙම ජනතාව පීඩාවට පත් කරන්න නම් ආණ්ඩුවක් ඕනෑ නැහැ. ආණ්ඩුවක් අවශ්‍ය මොකටද කියන එක මුලින්ම මේ අය තේරුම් අරගෙන ඉන්න ඕනෑ’’සජිත් කීවේ ය.


එජාපය සම්මේලනයට සුදානම් වෙයි


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතිය පුරා සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡා ගණනාවකට සහභාගි වූයේ ය.


ලබන මස 6 වැනිදා පැවැත්වෙන පක්ෂයේ සම්මේලනය වෙනුවෙන් සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීම 75ක් පැවැත්වීමට පියවර ගන්නා ලෙසට පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු ඇමැතිවරුන් සමග පැවති සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා නියම කළේය.


සමන් රත්නප්‍රිය, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.


දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සාර්ථක එකක් නොවන බව මෙහිදී පෙන්වා දී ඇති රනිල් වික්‍රමසිංහ මහතා විද්‍යානුකූල ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන තෙක් කොරෝනා වසංගතය තුරන් කිරීමට හැකියාවක් නොමැති බව ද මෙහිදී පෙන්වා දී ඇත. රටේ තත්ත්වය, ආනගතයේ දී මුහුණ පෑමට සිදුවන බරපතළ තත්ත්වය හා ජනතාවට මුහුණ පෑමට යන අසීරුතාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇත.


බ්‍රහස්පතින්දා වෘත්තිකයන් සමග සාකච්ඡා කළ ඔහු සිකුරාදා පක්ෂයේ තරුණ සංවිධානය සමඟ සාකච්ඡා කළේය.

 

 

-ගජබා-



අදහස් (0)

ආණ්ඩුව ඇතුළේ අර්බුදය යළි එළියට

ඔබේ අදහස් එවන්න

 

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 602 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 842 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 686 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 507 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 439 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 394 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 735 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site