IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


මුල් පුටුවට එන්න කරන භෝජන සංග්‍රහ

නිදහස් සන්ධානයේ මන්ත්‍රී රැස්වීම

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා උදේ 11.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පාර්ලිමේන්තුවේ සතියේ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කරුණු තිබේ නම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂනායකවරයා ඉල්ලීමක් කළේය. ඒ අනුව මුලින්ම නැගිට්ටේ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාය. මෛත්‍රීපාල ජනාධිපතිතුමා සජිත් ප්‍රේමද‌ාස වර්ණනා කරල තියෙනවා. එතුමා මොකක්ද මේ කරන්න හදන්නේ යැයි අරුන්දික විමසුවේ ජනාධිපතිවරයා සජිත්ට සහතික දී ඇති බව කියමිනි. ‘ඔයාලා ඒකට කලබල වෙන්න එපා. ඒක දේශපාලන උපක්‍රමයක්. එතුමා එහෙම කියන්න ඇත්තේ යම්කිසි හේතුවක් ඇතිවයි. මහින්ද කීවේ අරුන්දිකගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.


ඊළඟ ප්‍රශ්නය ගාල්ලේ චන්දිම වීරක්කොඩිගෙනි. එය ප්‍රශ්නයක් නොව නෝක්කාඩුවකි. ඔහු නෝක්කාඩුව කීවේ රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාට එරෙහිව බව නමින් නොකීවද එය එහි සිටි බොහෝ දෙනකුට තේරුම් ගියේය. ‘අපේ සහයෝගය එපා නම් කියන්න. අපි 2005 දීත් 2010 දීත්, 2015 දීත් වැඩ කළේ ඔබතුමා දිනවන්න. හැබැයි දැන් කට්ටියක් මනාප ගැන හිතල වැඩ කරන්නෙ අපි පැත්තකට ද‌ාලයි. හබරාදූව රැස්වීමේදී වේදිකාවට නගින්න නොදී බාධා කළා. අපි කරන්නෙ ජනාධිපතිවරණයක්. අපි කවුරුත් එකට එකතු වෙලයි ඒක දිනන්න වැඩ කරන්න ඕනෑ. එහෙම වැඩ කරද්දී සමහරු අපේ කකුලෙන් අදිනවා. අපේ සහයෝගය එපා නම් අපිට කියන්න. චන්දිම කීවේ තරමක කේන්තියෙනි.


රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා නැගී සිටියේ චන්දිමගේ චෝදනාව ගැන කරුණු පැහැදිලි කිරීමටය. ඔහු කීවේ තමා හෝ තමාගේ කණ්ඩායමේ කිසිවකුත් චන්දිමට විරුද්ධව කටයුතු නොකළ බවය. වෙනත් පිරිසක් එය කරන්නට ඇති බව රමේෂ් කීවේය. වාදය දිගින් දිගට යද්දී විපක්ෂනායකවරයා ද ප්‍රශ්නය සමථයකට පත්කරන්නට මැදිහත් විය. ‘අපි ජනාධිපතිවරණය දිනන්න ඕන. ඒ නිසා මනාප බලාගෙන වැඩ නොකර කවුරුත් එකතු වෙලා වැඩකරමු.’ මහින්ද කීවේය. ‘මාතර එහෙම නෑ නේදැයි මහින්ද ඇසුවේ ලක්ෂ්මන් යාපා දෙස බලමිනි. ‘මට නම් එහෙම එකක් දැනෙන්නෙ නෑ.’ යැයි ලක්ෂ්මන් යාපා කීවේ මාතර ඔහොම ප්‍රශ්නයක් නැති බව කියමිනි. ඒ අතර ඩලස් ද කීවේ මාතර ප්‍රශ්නයක් නෑ. එතුමා සෙනගත් ගෙනාවා යනුවෙනි.


මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසානයේ විපක්ෂනායකවරයා හැමෝටම ආරාධනයක් කළේය. ඒ බද‌ාද‌ා රාත්‍රියේ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයට සිය බිරින්දෑවරුන් ද සමග පැමිණෙන ලෙසය. ‘ඔබතුමාලා හෙට හැන්දෑවට ෂැංග්‍රිලා එකට එන්න. හැබැයි තනිවම නෙවෙයි. බිරින්දෑවරුත් එක්ක මහින්ද කී​ෙව් හැමෝම හිනස්සමිනි.


සන්ධාන මන්ත්‍රීන්ට ගෝඨාභයගෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක්


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සඳහා ෂැංග්‍රිලා හෝටලයේ බද‌ාද‌ා රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනැමුණේ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගෙනි. ඒ සඳහා මන්ත්‍රීවරුන්ට කලින් දින පැවැති කණ්ඩායම් රැස්වීමේදී ආරාධනය කර තිබුණේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ විසිනි. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර නොතිබූ අතර ගෝඨාභය බද‌ාද‌ා උදේ ජනාධිපතිවරයාට දුරකථන ඇමතුමක් දෙමින් ආරාධනය කර තිබිණි. ගෝඨාභය කියා තිබුණේ සන්ධාන මන්ත්‍රීවරුන් හමුවීම සඳහා එදින රාත්‍රියේ භෝජන සංග්‍රහයක් සූද‌ානම් කර ඇති බැවින් ජනාධිපතිවරයාට ද ඒ සඳහා සහභාගි වන ලෙස ආරාධනය කරන බවය. තමන් වැඩකටයුතු රාශියක් යොද‌ාගෙන තිබෙන බැවින් සුළු වේලාවකට හෝ ඇවිත් යන්න එන බව ජනාධිපතිවරයා දන්වා තිබිණි. මේ අතර දැනගන්නට ලැබුණේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ද භෝජන සංග්‍රහයට යන ලෙස ජනාධිපතිවරයා දන්වා ඇති බවය.


බද‌ාද‌ා රාත්‍රී 7.30 පමණ වෙද්දී සන්ධාන මන්ත්‍රීවරුන් 20 ක් 25 ක් පමණ ෂැංග්‍රිලා හෝටලයට පැමිණ සිටියේ සිය බිරින්දෑවරුන් ද සමගය. චමල්, සුසිල්, අනුරයාපා, පියංකර, ලක්ෂ්මන් යාපා, සී.බී. රත්නායක ඇතුළු පිරිසක් කල්වේලා ඇතිවම පැමිණ සිටියහ. 7.40 පමණ වෙද්දී ගෝඨාභය ද සිය බිරිඳ සමග පැමිණියේය. මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා ද රාත්‍රී 8.00 ට පමණ බිරිඳ ශිරන්ති සමග පැමිණියේය. ඒ වන විට මහින්ද යාපා, නිමල් සිරිපාල, ඩලස්, පවිත්‍රා, මහින්ද‌ානන්ද, බන්දුල, ඩිලාන්, ගම්මන්පිල, දිනේෂ්, ලොකුගේ, දයාසිරි, අමරවීර ඇතුළු මන්ත්‍රීවරු වැඩි දෙනෙක් ද බැසිල් රාජපක්ෂ ද පැමිණ සිටියහ. ගෝඨාභය කලින්ම පැමිණ මේසෙන් මේසෙට ගොස් මන්ත්‍රීවරුන්ට ආචාර කළේ පැමිණීම ගැන ස්තූතිය ද පළකරමිනි. ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රසන්න රණතුංග හා ජනක තෙන්නකෝන් හැර සෙසු මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ පැමිණ සිටියහ. ශ්‍රීලනිපයෙන් නොපැමිණියේ දුමින්ද දිසානායක, මහින්ද සමරසිංහ, මලික් ජයතිලක හා කුමාර වෙල්ගම පමණි. ප්‍රසන්න රණතුංග නොපැමිණියේ ඔහු දිවයිනෙන් බැහැරව ගොස් සිටි බැවිනි.
මහින්ද ද පැමිණ සෑම මේසයකටම ගොස් මන්ත්‍රීවරුන් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් ද සමග කතාබහ කරමින් සිටියේය. මන්ත්‍රීවරුන් සියලු දෙනාම පැමිණි පසුව, ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු දෙනා පිළිගනිමින් කතාවක් කළේ පැමිණීම ගැන ස්තුතියද පළ කරමිනි. මේ හමුවේ තවත් විශේෂත්වයක් වූයේ ගෝඨාභය ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසුව මන්ත්‍රී කණ්ඩායම හමුවූ පළමු අවස්ථාවද එය වූ බැවිනි. ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බව ගෝඨා කීවේ හැමෝගෙම අත්පොළසන් මැදය.


සාදයට පැමිණි මන්ත්‍රීවරුන්ට බිමට සූදානම් කර තිබුණේ සිසිල් බීම පමණි. එහෙත්, වෙනත් තැනක කාමර දෙකක් සප්පායම්වීමට සූදානම් කර තිබුණේ මහින්දානන්ද ඇතුළු කිහිප දෙනකුගේ මැදිහත්වීමෙනි. එය ගෝඨාභයගේ අනුදැනුමකින් තොරව සිදු වූ කටයුත්තකි. ආගිය කතා දේශපාලන කතා යන අතරේ ඩිලාන්, දයාසිරිට කීවේ, ඔන්න අපේ පක්ෂයේ අය ඔක්කොම අද එකතු වෙලානෙ යනුවෙනි. ඔහු දයාසිරිට ද ආරාධනය කළේ එකට එකතු වන්නැයි කියමිනි. ඒ අතරේ මහින්දානන්ද පැමිණ සංගීත කණ්ඩායම ළඟට ගොස් මයික් එක අතට ගත්තේය. ඔහු නිවේදක කාර්යභාරය ඉටු කරමින්, ගීතයක් ගයන්නට පියල් නිශාන්තට ආරාධනා කළේ හැමෝගෙම අත්පොළසන් මැදය. ඔහු අබේවර්ධන බාලසූරියගේ ‘කල්පනා ලොව මල්වනේ’ ගීතය ගියමින්, සාදය රසවත් කළේය. ඊළඟට කීවේ මර්වින් පෙරේරාගේ ආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි නගේ’ ගීතයයි. සිංදු දෙකක් කියා පියල් නිශාන්ත සමුගන්නට සූදානම් වූවද, ඊට ඉඩක් නොලැබුණේ කාංචන විජේසේකර, ෂෙහාන් ඇතුළු පිරිස ඔහුට ෆ්‍රෙඩී සිල්වාගේ කුණ්ඩුමනි ගීතය ගයන්නැයි කියමින් කළ පෙරැත්තය හේතුවෙනි. පියල් කුණ්ඩුමනී ගීතය රංගනයක යෙදෙමින් ගැයූවේ නැටුමකට ද පිරිස කැඳවමිනි. අරුන්දික ප්‍රනාන්දු ද ජෝතිපාලගේ ගීතයක් ගැයුවේය. අනතුරුව ආනන්ද අලුත්ගමගේ ද ගී ගැයුමට එක්විය. සාදය මැදියම් රැය ආසන්න වන තෙක්ම පැවැත්විණි.


පක්ෂ නායක රැස්වීමට ගෝඨාත් එයි

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අඟහරුවාදා හැන්දෑවේ විජේරාම මාවතේ නිල නිවසේදී පැවැත්වුණේ විපක්ෂ නායක මහින්දගේ ප්‍රධානත්වයෙනි. දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, සී.බී. රත්නායක, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් සෙනෙවිරත්න, බැසිල් රාජපක්ෂ, එස්.බී. දිසානායක, පවිත්‍රා, උදය ගම්මන්පිල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහාචාර්ය තිස්ස විතාරණ, රාජා කොල්ලුරේ, ඩගලස් දේවානන්ද, ඩිව් ගුණසේකර, මහින්දානන්ද ඇතුළු කිහිප දෙනෙක්ම ඊට සහභාගි වූහ. රැස්වීම ආරම්භ වී විනාඩි දෙක තුනකින් විශේෂ අමුත්තෙක් ආවේය. ඒ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය. ඔහු පැමිණෙද්දී හැමෝම අත්පුඩි ගසමින් පිළිගත්තේ, උණුසුම් ප්‍රතිචාර මැදය. ගෝඨාභය පැමිණ මහින්දගේ අසල පුටුවේ ඉඳගත්තේය. ඔහු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට ආ පළමු අවස්ථාවද එයයි. එහිදී මහින්දගේ ආරාධනයෙන් ගෝඨා තම ඉදිරි සැලැස්ම ගැන කෙටි හැඳින්වීමක් ද කළේය. ඒ සමගම ඔහු කීවේ, තමා දැන් ශ්‍රී ලාංකික පුරවැසියකු පමණක් බවය. තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන ඇති බවත්, ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක් දැන් නැති බවත්, ඔහු කීවේ ප්‍රතිවාදීන් ගෙනයන අසත්‍ය ප්‍රචාරවලට ද පිළිතුරක් දෙමිනි. ඒ සමගම ඔහු කීවේ, තමාගේ ජයග්‍රහණය වෙනුවෙන් හැකි සෑම සහයෝගයක්ම දෙන ලෙසය.


මේ අතර, ගෝඨාභය බ්‍රහස්පතින්දා පළමු වරට, බත්තරමුල්ල නෙළුම් මාවත, පොදුජන පෙරමුණු කාර්යාලයට ගියේය. එදින උදේ සිට සවස් වනතුරුම ඔහු එහි ගතකළේ සාකච්ඡා කිහිපයක් යොදා ගෙන තිබූ බැවිනි. එම සෑම සාකච්ඡාවකටම විපක්ෂ නායක මහින්ද, බැසිල් සහ මහාචාර්ය ජී.ඇල්. පීරිස් ද එක්ව සිටියහ. උදේ මුලින්ම හමුවූයේ රටපුරා පළාත්පාලන ආයතනවල සභාපතිවරුන්ය. ඊළඟට පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ය. ඊටත් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හමුවිය. ඉදිරි සැලසුම් ගැන බැසිල් රාජපක්ෂ දීර්ඝ පැහැදිලි කිරීමක් කළ අතර, ගෝඨාභයද කතා කළේය. ඔහු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම ගැන පළමු වරට දිනවකවානු ද සහිතව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් ද කළේය. ඔහු කීවේ තමාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අප්‍රේල් මස 17 වැනිදා ඉවත් කරගත් බවය. එය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ද දැනුම් දී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රයක් ද ලබාගත් බව කී ගෝඨා දැන් ජනාධිපතිවරණයට තරග කිරීමට තිබූ බාධා සියල්ල ඉවත් වී ඇති බව කීවේය. එසේ වූවද එජාපය තමාට එරෙහිව මඩ අවලාද ගෙන යන බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒවා හුදු මඩ මිස සත්‍ය නොවන බව පැවැසීය.



අදහස් (0)

මුල් පුටුවට එන්න කරන භෝජන සංග්‍රහ

ඔබේ අදහස් එවන්න

 

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 602 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 842 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 686 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 507 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 439 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 394 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site