බැලූ බැල්මට පෙනෙන්නේ හමා එන මුහුදු සුළඟට නැළවෙන, රසවත් පලතුරු අතු අග පිරි තුරු නිල්ල ය. ගාල්ල, හික්කඩුව, මීගමුව, පුත්තලම, කහඳමෝදර ඇතුළු වෙරළාශ්‍රිත ප්‍රදේශ ගණනාවකදී මෙන්ම මුතුරාජවෙල, මාදු ගග, දූවේ පන්සල, මාදිවෙල, මේ ආදී ප්‍රදේශ ගණනාවක දී ඈතින් පෙනෙන මෙම ඝන තුරු වදුල විටෙක නෙතට ගෙන එන්නේ සිසිලකි. තවත් විටෙක සැනසුමකි. එසේම තවත් විටෙක තේරුම්ගත නොහැකි ගුප්ත බවකි. කෙසේ වුවත් එම ගුප්තබව තුළද ඇත්තේ අපූර්ව සුන්දරත්වයකි.
කිරල ගෙඩියක්, පලතුරක් කඩා ගන්නවා හැරෙන්නට වෙන යම් කිසි ඵල ප්‍රයෝජනයක් නැති වන වදුලක් ලෙස පෙනී ගිය ද මෙම බිම්කඩ යට මිල කළ නොහැකි නිධානයක් ඇති වග කෙසේ නම් ඇදහිය හැකි ද.?
මේ මහ කිරළ කැළයේ සැඟවී ඇති සොඳුරු පාරාදීසය ගැන තොරතුරු පිළිබඳ සොයා බලන්නට වඩාත්ම පෙළඹවූ කරුණක් වූයේ මීගමුවේ කඩොලාන කලාපයක් ඉවත්කිරීමට කළ ඉල්ලීමක් සම්බන්ධයෙන් කඩොලාන කැලේ රැකගන්නට පෙරට ආ වන නිලධාරිනියත්, ඇය රැකගන්නට කොන්දේසි විරහිතවම ඉදිරිපත් වූ ආණ්ඩුව ඇතුළු සමස්ත සමාජයේම විශාල පිරිසක් නිසා ඇතිවූ සමාජ කතිකාවය.
කඩොලාන කැලේ අසිරියත්, එහි මහ නිධානයත්, අති සුන්දර පාරදීසයක තොරතුරුත් පිළිබඳව විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අමරසූරිය පිටවල මහතාගෙන් අපි විමසුවෙමු.
“කඩොලාන පද්ධතියක් කියන්නේ ඉතාම සංකීර්ණ පරිසර ව්‍යුහයක්. ඒ කඩොලාන පරිසර ව්‍යුහය අපිට වෙන් කරන්න බැහැ. සත්ව විද්‍යඥයින් හෝ එසේ නැතහොත් පැළෑටි ගැන අධ්‍යයනයන් කරන විද්‍යාඥයින්, නැත්නම් සාගර විද්‍යාඥයින් වැනි සෑම කෙනෙකුගේම සහභාගිත්වය තියෙන්නට ඕනෙ පරිසර පද්ධතියක්. එතකොට මේ වගේ සංකීර්ණ පරිසර පද්ධතියක් ආරක්ෂා කිරීම ගැන, එහි සිටින ජීවින් ගැන, එහි කෙරෙන කාර්යයන් මොනවද කියන එක ගැන, එයින් සිදුවන වාසිය ගැන, දැනුම්වත් කළ යුතුයි.
ළඟදී ඔක්සිජන් වායුව ගැන කතා කළා. ඒ වගේම තවත් බොහෝ වටිනා දේ පරිසර පද්ධතිය තුළ වෙනවා නේ. අහසින් ඔක්සිජන් සපයනවා කියන එක පමණක්ම නෙමෙයි ඊට වඩා මහා ලොකු කාර්යභාරයන් තොගයක් කෙරෙනවා. ඉතින් මේ කාර්යභාරයන් මෙච්චර වෙනවාද කියන එක ගැන වෙරළාසන්න ජනතාව දැනුම්වත් කිරීම තමයි පළමු වෙනුවට කරන්න ඕනේ.
එසේම ලංකාවේ කඩොලාන ගැන කරන අධ්‍යයනයන් තවත් මීට වඩා කළ යුතුව තිබෙනවා. කඩොලාන හැමතැනම නැහැ. ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලා එහි පාරිසරික කාර්යභාරය ගැන අවබෝධයක් ගත යුතුයි. කෙසේ වෙතත් මුහුදු වෙරළේ තියෙන පරිසර පද්ධතිය වෙනස් කරන එකේදී හොඳ අවබෝධයක් නැතුව හිතුමතේ නොකළ යුතුයි කියන එක තමයි මගේ අදහස. ඉවක් බවක් නැතුව හෝටල් ඉදිකිරීම් වෙනවානේ. ඒ මගින් මුහුදු වෙරළේම වෙනත් ප්‍රදේශයකට එහි අහිතකර බලපෑම් සිදුවෙනවා. ඒ නිසා හොඳ අවබෝධයක් ඇතිව පරිසර පද්ධතිය ගැන අවබෝධයක් ඇතිව කරන දෙයක් කරන්න ඕනේ. මහාචාර්ය එපිටවල මහතා පවසයි.
රටේ ජනගහනය ගත් විට වැඩිම ජනගහන ගනත්වයක් ඇත්තේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවලය. එබැවින් සාමාන්‍යයන් කඩොලානවලට විතරක් නොව මිනිස් ක්‍රියාකාරකම් නිසා සාමන්‍ය පරිසර පද්ධතියටම සිදුවී තිබෙන සහ වෙමින් පවතින හානිය ද වැඩිබව ඔහුගේ අදහස යි., භූගත ජලය, පස්, අපවිත්‍ර වීම් නිරන්තරව සිදුවන අතර, සාමන්‍ය පරිසර පද්ධතියේ තියෙන මේ සියල්ල මෙන්ම ලංකාවේ විශේෂයෙන්ම වෙරළබඩ ප්‍රදේශවලට පරිසරයට සිදුවන මෙම හානිවලට මිනිස් ක්‍රියාකාරකම් හේතු වෙයි. වෙරළබඩ ප්‍රදේශය පරිසරයේ සිදුවන වෙනස්කම්වලට බොහෝ සංවේදී පරිසරයකි. මෙය සැලකිල්ලට රටේ ජනතාව ඇතුළු, අප සියල්ලන් ඒ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතුය යන්න ඔහුගේ අදහසයි.
කඩොලාන හැදෙන්නේ විශේෂ පරිසරයකය. කඩොලාන පද්ධතිය තුළ ජෛව විවිධත්වය එක පැත්තකින් තිබෙන අතර වෙනත් පරිසරවල නැති විවිධ ජීවින් කඩොලාන පද්ධති තුළ සිටී. කඩොලාන පද්ධතිය වෙනස් කිරීමෙන් එහි ජෛව විවිධත්වයට පමණක් නොව එම පරිසරයේ ඇති භෞතික තත්ත්වයෙනුත් වෙනස් වීමකට ලක්වෙයි.
මෙයට වසර ගණනාවකට පෙර 40,000 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින්, 5000 කට ආසන්න පිරිසක් අතුරුදන් කරමින් ඇතිවූ දරුණුතම සුනාමි ව්‍යසනය අද පවා සිතේ ඇති කරන්නේ දැවැන්ත කම්පනයක් මෙන්ම බියකි. මහාචාර්යවරයා පෙන්වා දෙන අන්දමට සුනාමියෙන් ඇතිවූ මොහොතේ කඩොලාන ප්‍රදේශවලට සිදුව ඇති හානිය අවමය.
“සුනාමිය ඇතිවුණු වෙලාවේ කඩොලාන තිබුණු ප්‍රදේශවලට සිදුවුණු හානිය අඩුයි. කඩොලාන නොතිබුණු ප්‍රදේශවල හානිය වැඩියි. භෞතික තත්ත්වයත් ඇති වෙන්න පුළුවන් කඩොලාන වලින්. ඒක නිසා භෞතික වශයෙනුත්, පාරිසරිකව ජෛව විවිධත්වයේ කාරණාවලට අමතරව භෞතික වශයෙනුත් ලොකු බලපෑමක් කඩොලානවලට කරනවා. මෝය ඉවුරු ඛාදනය අනිවාර්යයෙන්ම වෙරළබඩ ඛාදනය වැඩිවීමක්, සිදුවීමක් වෙන්න පුළුවන්. කඩොලාන හැදෙන්නේ විශේෂ පරිසරයකයි. එය හැමතැනකම හැදෙන්නේ නැහැ. කලපු වැනි ප්‍රදේශවල තමයි කඩොලාන දකින්න ලැබෙන්නේ. කඩොලාන පද්ධතිය තුළ සියලුම වර්ගයේ ජීවීන්, ජීවත් වෙනවා කියලා කියන්නේ, ඒ කියන්නේ, කුරුල්ලන්, මත්සයින්, ඇතුළේ පස් යට ජීවත් වෙන සතුන්ගේ සිට විවිධ සත්ව කොට්ඨාස මේ කඩොලාන පද්ධතිය තුළ ජීවත් වෙනවා.
අනික් පැත්තෙන් ගත්විට කඩොලාන පද්ධතිය නිසා අවට තියෙන පරිසරයට යම් බලපෑමක් ඇතිකරවනවා. උදාහරණයක් විදියට ආසන්න පරිසරය ආරක්ෂා කිරීමක් වෙන්නේ මේ කඩොලාන පරිසරය තිබුණොත් තමයි. උදා. කඩොලාන පරිසරයත් සමග වගුරු බිම් තියෙනවා කියලා හිතන්න. එවිට වගුරු බිම් ටික ආරක්ෂා වෙන්නේ මේ කඩොලාන පරිසරය තිබුණොත් තමයි. අපි ස්වභාව ධර්මයේ ක්ෂණික වෙනස් කිරීමක් කළොත්, ඒක වෙනත් පැත්තකින් අනිවාර්යයෙන්ම බලපෑමක් වෙනවා.
ඒ කියන්නේ අපි මුහුදු වෙරළේ කිසියම් කොටසක වෙරළේ එතැන ක්‍රියාකාරකම ගැන අවබෝධයක් නැතුව එතැන රැලි එන විදිය හෝ උදම් වඩදිය බාදිය ඒවාගේ මට්ටම ඉහළ පහළ යාම ගැන අවබෝධයක් නැතුව කිසියම් තැනක මොනවා හෝ දෙයක් කළහොත්, කිසියම් ගොඩකිරීමක්, ඉදිකිරීමක් කරනවා නම් ඒක එතැනට නෙමෙයි බලපාන්නේ ඊට එහා තැනක පරිසරයටයි.
හිතමුකෝ මුහුදු වෙරළේ බැම්මක් බඳිනවා ඛාදනය අඩු කරන්න කියලා. එවිට ඛාදනය නතර වෙනවා. නමුත් වෙන තැනකින් ඊට වැඩි වේගයකින් ඛාදනය සිද්ධ වෙනවා. මුහුදු වෙරළේ පරිසර පද්ධතිය ගැන අධ්‍යයනයක් නොකර, කිසියම් කටයුත්තක් කළොත් එහෙම එහි අනිසි ප්‍රතිඵලය ලැබෙන්නේ ඒ වෙරළේම තියෙන අනික් ප්‍රදේශයකටයි. ඒක නිසා හැම වෙලාවේම මූලික වශයෙන් ඒ කඩොලාන පද්ධතිය ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒක එකක්. ඔහු ඒ පිළිබඳව පැහැදිලි කර සිටියේ එසේය.
අනික් එක තමයි දැනට ලංකාවේ තියෙන ඔය කඩොලාන පද්ධතිය ඇත්තටම ඛාදනය වෙමින් විනාශ වීමේ තත්ත්වයක් තිබෙනවා. බටහිර වෙරළේ නැගෙනහිර වෙරළේ මඩකලපුව පැත්තේ අපි පර්යේෂණයක් කළා ජපානයේ විද්‍යාඥයින් පිරිසක් සමග. අපි බැලුවේ ඇත්තටම කඩොලාන ගැන නෙමෙයි. කඩොලාන හැදෙන පරිසරයේ පස් හා ජලය ගැන. අපිට හොඳට පෙනුණ දෙයක් තමයි ඒවාගේ ජලය, පස්, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වෙලා තියෙන්නේ. බැර මූලද්‍රව්‍ය වැඩිවෙලා, වෙනත් විෂ ද්‍රව්‍ය ඒ පරිසරයට එකතුවෙලා තියෙන්නේ. ඒක හින්දා කඩොලාන විනාශ කිරීමේ තත්ත්වයකටත් අපි භාජනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලංකාවට අාවේණික නොවුණු කඩොලානත් ඔය සමහර ප්‍රදේශවල අපිට දකින්න ලැබෙනවා. යෝද නිදිකුම්බා වැනි ශාක නිසා. ඒවා ලංකාවට ආවේණික කඩොලාන නෙමෙයි.
මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා පරිසරය වෙනස් කරන හින්දා, ලංකාවට ආවේණික කඩොලාන අඩු වෙමින් යන බවත් පේනවා. ජලය අපවිත්‍ර වී තිබෙනවා නම්, පස සාරවත් නොවු බවක් තිබෙනවා නම් පරිසරයට බලපෑමක් වෙලා තියෙනවා. එවිට ඒකට ආවේණික වෙන පැළෑටි වැවෙන්න ඉඩ තියෙනවා. අනික් පැත්තෙන් ක්‍රමවත්ව කරන මිනිස් ක්‍රියාකාරකම් නිසා, පරිසරයට තිබෙන බලපෑම් ගොඩාක් වැඩියිනේ. ඒ නිසා අපිට සුරකින්න තියෙන කඩොලාන පද්ධතියවත් සුරැකීම කියන දේ ඉතාම වැදගත්.
කඩොලාන පද්ධතිය තියෙන පරිසරයක මුහුදු ජලයේ තියෙන ලවණතාව තැනින් තැනට වෙනස් වෙලා තියෙනවා. ජෛව විවිධත්වය ගොඩක් වෙනස් වෙනව කිව්වේ ඒ නිසයි. මුහුදු ජලය, කඩොලාන තියෙන තැන්වල මුහුදු ජලය විටින් විට වෙනස් වෙනවා. කඩොලානවලට තමයි පුළුවන් ඒ වෙනස් වෙන පරිසරයේ ජිවත් වෙන්න. වෙන පරිසරවලට බැහැ. කඩොලාන කියන්නේ විශේෂිත පැළෑටි වර්ගයක්. අනික් පැළෑටි වගේ නෙමෙයිනේ. එතකොට මේ වගේ තියෙන එකක මුහුදු ජලයේ ලවණතාව අඩුවැඩි වීම වෙනස්වන විට සත්තුත් ඒ වෙනස් වීමේ තත්ත්වයට අනුකූලව වැඩ කරනවා.
හේතුව කඩොලාන තියෙන පරිසරයේ ඇති පස් සහ වතුර තියෙන ඔක්සිජන් ප්‍රමාණය තියෙනවානේ ඒක දෛනිකවත් මාසිකවත් වෙනස් වෙනවා. එතකොට කඩොලාන ගත්තට පස්සේ, කඩොලානවලින් පරිසරයේ ඇති ජලය තුළ ගුණාත්මක භාවය එනම් ලාවණිකතාව හෝ කරදිය ඒ ගුණාත්මකභාවය රැක ගැනීමට ඒ වගේම අපි ඒකට කියනවා ජලයේ පිරිසිදු භාවය clarity පැහැදිලි ජලයක් ඇතිවෙන්න ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපවිත්‍ර වී තිබෙන මුහුදු වෙරළට නේ අවසාන වශයෙන් අපද්‍රව්‍ය යන්නේ. ඒ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ කඩොලාන. ඉතින් කඩොලානවලින් තමයි පරිසරයට එකතු වන අපද්‍රව්‍ය සියල්ල පිරිපහදු කරන්නේ.
ඒ වගේම තමයි මුහුදු වෙරළට ගහගෙන එන මඩ වගේ ඒවා, ගොඩබිමෙන් මුහුදට ගහගෙන යන රොන් මඩ ටික තියෙනවානේ ඒ රොන් මඩ මුහුදට ගහගෙන යන්න ඉඩ තියන්නේ නැහැ. ඒවා ඉතුරු කරගන්නේ කඩොලානවල තියෙන මුල් ටික හින්දා. මුහුදෙන් එන ඛාදනය පමණක් නෙමෙයි ගොඩබිමෙන් ගහගෙන ඛාදනය වෙන ඒවාත්වලින් පරිසරය ආරක්ෂා කරන්නේ කඩොලාන. මහාචාර්ය පිටවල මහතා පවසයි.
බැලු බැල්මට මඩ ගොඩක්, එසේ නැතහොත් පාවිච්චියට ගත නොහැකි භූමියක් ලෙස ඇතැමුන් කඩොලානක් දකින අතර තවත් සමහරුන් සිතන්නේ ඕනෑම කුණු ගොඩක් බැහැර කළ හැකි ස්ථානයක් ලෙසය. එහෙත් පරිසර විද්‍යාත්මක සහ ආර්ථික විද්‍යාත්මක වටිනාකමක් ඇති වටිනා බිමක් වූ මෙම කඩොලාන සම්බන්ධයෙන් පවතින වැරදි ආකල්ප ජනතාව නැති කර ගත යුතුව තිබේ. ස්වභාවධර්මයේ අපූර්වතම දායාදයක් වන මෙම කඩොලාන විනාශ කළහොත් නැවත අලුතින් ඇති කිරීම අසීරු බවත් තියෙන දේ රැකගනිමින් අලුතින් ඇති කරන්නට හැකි වන්නේ යැයි මෙම පරිසර විද්වතුන්ගේ අදහස ය. මේ පිළිබඳව අපි මහාචාර්ය ගිහාන් ජයසූරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපතිවරයාගෙන් විමසුවෙමු.
“අපි හැමෝම හැම වෙලේම කතා කරනවානේ ලංකාවේ ආර්ථිකය වැඩි ආර්ථික සංවර්ධනය කරන්න සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ඕනේ කියලා. මෙතැන දැනට ලෝකයේ තියෙනවා (Eco tourism) එකෝ ටුවරිසම් කියලා, පාරිසරික පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය කියලා අපි සාමාන්‍යයෙන් නිකම් දෙයක් බලන්න එන සංචාරකයෝ, රටට ඇවිල්ලා වැඩි වියදමක් කරන්නේ නැහැ. නමුත් එකෝ ටුවරිසම්වලට එන්නේ යම් දැනුමක් එක්ක. සාමාන්‍ය සංචාරකයෙකුට වුණත් එය ආකර්ෂණීයව රසවිඳින්න පුළුවන්. කඩොලාන කියලා කියන්නේ පාරිසරික වශයෙන් දැක්කහම ලස්සනයි. ඊට අමතරව කඩොලාන ගත්තහම විවිධ පක්ෂීන්ගෙන් බොහෝමයි. එම සංචාරකයන් ඇවිත් බලන්නේ විශේෂයෙන්ම පක්ෂීන්. විශේෂයන් සංචාරක පක්ෂීන් වගේම අපේ දේශීය පක්ෂීන් ගොඩාක් එක වෙලාවකදි වැඩි ප්‍රමාණයක් බැලීමට ඔවුන්ට හැකි වෙනවා. එවැනි පරිසර පද්ධතියක් තමයි කඩොලාන කියලා කියන්නේ.” මහචාර්යවරයා පවසයි.
“කඩොලාන තමයි අපි දන්න භෞමික පරිසර පද්ධතියෙන් වැඩිම නිෂ්පාදනයක් තියෙන පරිසර පද්ධතිය. නිවර්තන වර්ෂා වනාන්තර ගැන අපි කතා කරනවා. සිංහරාජය මේ ආදිය. නමුත් සිංහරාජය ජෛව විවිධත්වය අතින් වැඩි වුණාට නිෂ්පාදන හැකියාව අතින් ගත්තහම කඩොලාන වනාන්තරයක නිෂ්පාදන හැකියාව වැඩියි. කඩොලාන ශාක කියන්නේ විශේෂ පරිසර පද්ධතියක්. අපි ඒකට කියනවා උදම් කලාපීය ජලයෙන් යටවෙන සීමාව තුළ හැදෙන ශාකවලට තමයි අපි කඩොලාන ශාක කියලා කියන්නේ. වෙන ශාකවලට ඒ හරියේ හැදෙන්න බැහැනේ. අහිතකර පරිසර නිසා ජලයෙන් යටවීම, ලවණතාව ඒ වගේ විශේෂ පරිසර තත්ත්ව යටතේ මේ අන්තර් උදම් කලාපයේ හැදෙන ශාකවලට තමයි අපි කඩොලාන ශාක කියලා කියන්නේ.
කඩොලාන ශාකත් ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. සත්‍ය කඩොලාන සහ ආශ්‍රිත කඩොලාන. සත්‍ය කඩොලානවලට වැවෙන්න පුළුවන් අන්තර් උදම් කලාපයේම පමණයි. නමුත් ආශ්‍රිත කඩොලානවලට කඩොලානවලත් වැවෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ලවණතාව අඩු වගුරුවලත් වැවෙන්න පුළුවන්. ප්‍රධානම වැදගත්කම තමයි කඩොලානවල තියෙන නිෂ්පාදන හැකියාව වැඩියි. නිෂ්පාදනය වැඩිම ශාක තමයි මේ කඩොලාන ශාක කියලා කියන්නේ. නිෂ්පාදනය වැඩියි කියලා කියන්නේ එයා හදන ආහාර ප්‍රමාණය වැඩියි. පිටකරන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩියි.
ආහාර ප්‍රමාණය වැඩියි කියලා කියන්නේ, අපි දැන් කතා කලේ ශාක ගැනනේ. සත්ව සංතතියක් ඉන්නවා. මේ නිෂ්පාදනය කරන ආහාර මත යැපෙන විශාල සත්ව සංතතියක් ඉන්නවා. විශේෂයෙන්ම කකුළුවන් මත්ස්‍යයන්. වැනි සතුන්. ඊට අමතරව මාළු අස්වැන්න ගැන කතාකරන විට මුහුදේ මාළු අස්වැන්න වුනත් තීරණය වෙන්න පුළුවන් කඩොලාන ආශ්‍රිත පරිසරයේ තියෙන තත්ත්වය මත. මොකද සමහර මාළුන් සහ කකුළුවන් විශේෂයන් ඉන්නවා. ඔවුන් බිත්තර දැමීම සඳහා පමණක් මේ කඩොලාන පරිසරයට එනවා. නිෂ්පාදනය වැඩියි කියන්නේ අපි කතාකරන ක්ෂුද්‍ර ජීවින්ගේ ප්‍රමාණයත් වැඩියි. ඉතින් ඒවා මත යැපෙන අනික් සත්ව සන්තතියත් වැඩියි. පහසුවෙන් ආහාර සොයා ගන්න පුළුවන්.
කඩොලානවල විශේෂයෙන් අර මුල් පද්ධතියක් තියෙනවානේ. පරිසරයේ පස එච්චර ස්ථාවර නැති හින්දා සාමාන්‍යයෙන් පසේ මඩ වැනි පසක්නේ තියෙන්නේ. ඒකට ඔරොත්තු දෙන විදියට මුල් පද්ධතියක් හැදිලා තියෙනවා කරුමුල් සහ කයිරිමුල් කියලා. මේවා අස්සට ගිහාම අර පොඩි සත්තුන්ට ආරක්ෂාවත් වැඩියි. ඒ නිසා බිත්තර දැමීම සඳහා සමහර සත්තු මෙතනට එනවා. එහෙම ඇවිත් බිත්තර දාලා, කුඩා පැටවු ඇතිදැඩි වුණාට පස්සේ තමයි යන්නේ. මිරිදිය පැත්තටත් යනවා. දෙපැත්තම ජෛව විවිධත්වය තීරණය වෙන්න පුළුවන් මේ ස්වභාවය මත.
ඇත්තටම ඔය නිෂ්පාදන ධාරිතාව වැඩි නිසා තමයි කඩොලාන විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. ඊළඟට දැන් අපි කොච්චර අපද්‍රව්‍ය පිට දානවද ගංගාවල් ආදියට. වගුරු බිමක් කියලා කිව්වහම කාර්මික අපද්‍රව්‍ය වැනි දේවල් කෙළින්ම අපි දානවනේ.
වතුරේ තියෙන ගුණාත්මක භාවය අඩුවෙලා තියෙන්නේ ඒ කාර්මික අපද්‍රව්‍ය දැමීම නිසයි. ඇත්තටම කාර්මික අපද්‍රව්‍ය පෙරහනක් විදියට තියෙනවා.
කඩොලාන හැදෙන්නේ සාමාන්‍යයෙන් වඩදියවලින් වටවන ප්‍රදේශවල තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මිරිදිය ජලයෙන් වටවෙන්නත් පුළුවන්. සමහර බිම් තියෙනවා ඇත්තටම දකුණු වෙරළ සීමාව ගත්තහම මුහුදු මට්ටමට වඩා පහළ බිම් පවා කඩොලාන පරිසරයන් හැදිලා තියෙනවා. එතකොට එක කාල සීමාවකදී මේ බිම සම්පූර්ණයෙන්ම එක්කෝ මිරිදිය හෝ එක්කෝ කරදිය වතුරෙන් යටවෙනවා.
පස වතුරෙන් යටවුණා කියලා කියන්නේ පසේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. වායු දරාගන්න පුළුවන් අවකාශ ප්‍රමාණය අඩුවෙනවා. එතකොට ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. එතකොට සාමාන්‍ය ශාකයකට හැදෙන්න බැහැ. ලවණතාව තියෙනවා. ඔක්සිජන් පසේ තියෙන ඊට අමතරව එක කාලෙකදි වියළි කලාපයේ තියෙන තෙත් කඩොලාන එක් කාලයකදී සම්පූර්ණයෙන් වතුරෙන් හිඳිල යනවා. එතකොට තියෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් තත්ත්වයක්. එතකොට එයා දැන ගන්න ඕනේ වතුර නැති හින්දා ආරක්ෂා කරගන්න, එතකොට එයා දැනගන්න ඕනේ ජලයෙන් වටවුණු කාලයෙදි වුණත් තියෙන්නේ ලවණ වතුරනේ. එතකොට ශාකයට, ජලය උරාගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා. වියළි කාලය වුණත්, තෙත් කාලය වුණත් ජලයෙන් යට වෙලා තිබුණත් අපිට වතුර තියෙනවා කියලා පෙනුණට අපිට ප්‍රයෝජනයට ගන්න පුළුවන් වතුර නෙමෙයි. අපිට කලපුවකින් ගිහිල්ලා වතුර බොන්න බැහැනේ. ඒ වගේම තමයි ශාකයකටත්. මේ වගේ පරිසරවලදි කඩොලාන ශාකයකට හැර වෙන ශාකයකට වැඩෙන්න අමාරුයි. කඩොලාන අයින් කළොත් ඔතැනට එන්නේ පඳුරු සහිත ලවන වතුරවල වැඩෙන ශාක තමයි එන්නේ. එකක් තමයි ඔය බිම්වල වෙන ශාකයකට වැවෙන්න හරි අමාරුයි.
කඩොලානක වටිනාකම පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් ඒ මහතා පෙන්වා දුන්නේ විශාල වන වදුලක් වගේ පෙනුණට ඉන් එහා විශාල නිදානයක් මේ තිබෙන බව ද වඩාත් අවධාරණය කරමිනි.
“අපි හැමෝම කාලගුණ විපර්යාස ගැන කතා කරනවා. කාලගුණ විපර්යාස ගැන කතා කරද්දි ප්‍රධාන මාතෘකාව තමයි කාබන් පිට කිරීම ගැන. නිෂ්පාදන ධාරිතාව කියලා කියන්නේ කාබන් පිටකිරීමේ හැකියාවයි. ඊට අමතරව පරිසර පද්ධතිය නිසා කඩොලාන කොළයක් වැටිලා සමහර වෙලාවට ඉක්මනින් දිරලා යන්නේ නැහැ. හේතුව ලවණතාව වැඩියි. පසේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩිය. ඒ නිසා ලොකු කාලයක් සාමාන්‍යයෙන් දිරුව අතු ආදිය නිසා පසට බොහෝ දේ එකතු වෙනවා. කාබන් ගබඩා කරගැනීමේ හැකියාව වැඩියි. වැඩිම පරිසර පද්ධතියක් තමයි කඩොලාන. එවැනි පරිසරයක් විනාශ කරනවා කියලා කියන්නේ කාබන් ඔක්කොම ටික එළියට මුදා හරිනවා. ඊට අමතරව කාබන් තවත් නැතිකරලා දානවා.
කඩොලාන විනාශ වීම මිනිස් ක්‍රියාකාරකම්, අනවශ්‍ය ඉදිකිරීම් වැනි දේ මෙන්ම වෙනත් පරිසර හේතු මත ද සිදුවෙන බව පෙනී යයි. මේ පිළිබඳව අපි ඔහුගෙන් විමසුවෙමු.
ලවණතාව වෙනස් වීම. සමහර අවස්ථාවලදී මිරිදිය වතුර මෝයක සිට කලපුවකට යොමු කරන්න පුළුවන්. එතකොට කඩොලාන ශාක නැති වෙන්න පුළුවන්. කඩොලාන පරිසර පද්ධතියේ පැතිරිලා තියෙන ආකාරයක් තියෙනවා. සමහරක් කඩොලාන තියෙන්නේ කරදිය පැත්තට බරවයි. සමහර කඩොලාන තියෙනවා කඩොලානේ පිටුපස්සට වෙන්නට වගේ. විශේෂයෙන්ම ලවණතාව තමයි එයට හේතුව. ලවණතාව වෙනස් වුනොත් සමහර විශේෂයක් එතැනින් නැති වෙලා යන්න පුළුවන්.
කඩොලාන වනාන්තර ඉස්සන් කොටු නිසාත් විනාශ වෙනවා. ඉස්සන් වගාව ප්‍රචලිත කරපු 80 ගණන්වලදි වගේ කඩොලාන වනාන්තර තිබුණු බිම් තමයි එළි කරලා. ඉස්සන් කොටුවලට ගත්තේ. පහත් බිම් නිසා වතුර එකතු කරලා ටැංකි හදන්න පුළුවන් නිසා. 96 දි විතර කාලෙදි ඉස්සන්ට සුදු පුල්ලි කියන වෛරස් එකක් ඇවිත් තිබුණා. ඒවා සේරම අත්හැරලා දැම්මා ඉස්සන් කොටු. කඩොලාන වනාන්තර තිබුණු ඒවා තමයි ඉස්සෝ කොටු පත් කළේ. දැන් ඉස්සෝ කොටුත් නැහැ. කලින් තිබුණු කඩොලාන වනාන්තරත් නැහැ. පරිසර වෙනස් වෙලා අවශ්‍ය විදියට කානු කපලා එක එක රසායන ද්‍රව්‍ය දාලා දැන් ආයේ එතන කඩොලානක් ඉබේ වැවෙන්නේ නැහැ. අපේ බලපෑමෙන් තමයි ආයේ කඩොලානක් ප්‍රතිෂ්ඨාපනය කරන්න වෙන්නේ. ලංකාවේ වනගහනය සියයට 29 ක් වුණත් කඩොලාන ගහනය ඉතාම අඩු ප්‍රමාණයයි.
2020 ජනාවාරි මාසේ දි අලුතින් ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා. ලංකාවේ ඉන්නවා කඩොලාන සම්බන්ධයෙන් වැඩ කරන අයගේ කමිටුවක් තියෙනවා. පරිසර අමාත්‍යාංශයෙන් තමයි කට්ටිය එකතු කරලා තියෙන්නේ. අවුරුදු 2 ක් විතර ප්‍රතිපත්ති ප්‍රකාශයක් හැදුවා. කැබිනට් අනුමැතිය ජනවාරි 20 විතර ලැබුණා. එ්කේ ඇත්තටම ඔය ප්‍රශ්නෙ ගැන කතා කරනවා. ලංකාවේ කඩොලාන වගා කරන්න පෙළඹවීමකුත් තියෙනවා. වගා කළාට ඒක දීර්ඝකාලීනව අධීක්ෂණය කරන්නේ නැහැ. එක පාරක් වවලා අතහැරලා දානවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක අරමුණක් තමයි තියෙන කඩොලාන ටික ආරක්ෂා කර ගැනීම. තියෙන ප්‍රමාණයත් අඩුයි. අලුතින් වවන්නත් අමාරුයි. ඒ නිසා තියෙන ටික ආරක්ෂා කරගැනීම තමයි කරගත යුත්තේ.
ශ්‍රී ලංකාවේ කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණය සහ තිරසර භාවිතය පිළිබද වු ජාතික ප්‍රතිපත්තිය පිළිබදව පැහැදිලි කරමින් මහාචාර්ය ගිහාන් එසේ පවසයි.
පද්මිණි මාතරගේ
මෙම වැකි දැනට වසර ගණනාවක සිටම අසන්නට දකින්නට ලැබුණත්, තවමත් එහි ක්‍රියාත්මක වීමක් සිදු වී නොමැති බව හැඟෙන්නේ දිනෙන් දින ඉහළ යන ඩෙංගු රෝගීන් හා මරණ සංඛ්
ඔක්ස්ෆර්ඩ් යනු සරසවි අතර මහ සරසවියකි. මහා බ්‍රිතාන්‍යයේ ස්ථාපිත මෙම විශ්වවිද්‍යාලය හැඳින්වෙන්නේ ඉංග්‍රීසි බස සඳහා වෙන්වූ ලොව පැරණිතම අධ්‍යාපන කේන්
මීට දසක පහකට පමණ පෙර ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ඇසුණු මෙම ගීතය ගැයුවේ, ප්‍රවීණ ගායන ශිල්පිනියක වූ චන්ද්‍රාණි ගුණවර්ධනයි. කතරගම පුදබිමේ කිරි වෙහෙරට ය
අද දෙසැම්බර් පළමුදාය. සෑම වර්ෂයකම අවසන් මාසයේ පළමු දිනයයි. ඒ දිනය පිළිබඳව බොහෝ දෙනකු මතකයේ තබාගැනීමට ප්‍රධානම හේතුව වන්නේ ලෝක එ්ඩ්ස් දිනය සැමරීම නිසාව
ගෞතම් අදානි... ශ්‍රී ලංකාවේ අපට ඉතා හුරු පුරුදු නමක්. නිරන්තරයෙන් දේශපාලන හා දූෂණ විරෝධී ක්‍රියාකාරි වේදිකාවල පලු ගසනු ලැබූ නමක්.
විජය කුමරු ක්‍රි.පූ. 5 වැනි සියවසේ සිය අනුගාමිකයන් හත්සියයක් සමග තම්බපන්නි වෙත ගොඩ බසින අවස්ථාවේ මෙම දිවයින දුටුවේ මිනිස් වාසයෙන් තොර කොදෙව්වක් ලෙසිනි
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මිනිසාට හුස්ම ගන්න කඩොලාන දෙන දායකත්වය