IMG-LOGO

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා


අපි යන මාර්ගය හරිද වැරදි ද කියන තීන්දුව මේ ජයග්‍රහණයේ අන්තර්ගත වෙලා තියෙනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ

​පොහොට්ටුවේ අතිවිශිෂ්ට  ජයගැන පොහොට්ටුවේ  නිර්මාතෘ බැසිල් රාජපක්ෂ  කියන කතාව

  • සමගියෙන් මේ ගමන යා යුතු බව මගේ ස්ථාවරයයි
  • ජනතාව සම්බන්ධ කරගෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරී​මේ සැලැස්මක් අපට තිබෙනවා. අනිවාර්​ෙ‌යන්ම අපි ඒක කරනවා
  • මේ ගෞරවණීය ජයග්‍රහණය ලබා දුන් ජනතාවට මම හිසනමා ආචාර කරනවා

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට හැකි විය. ජයග්‍රහණයේ මහ මොළය ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මහතා සමග මේ සාකච්ඡාව ජයග්‍රහණය සම්බන්ධයෙන් හා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙනි. 

 

ප්‍රශ්නය : ඔබ නිර්මාණය කළ පොදුජන පෙරමුණ මහ මැතිවරණයේදීත් හාස්කම් පාමින් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා.  


ඔව්. ඇත්තෙන්ම සතුටුයි. වඩාත් යහපත් රටක් වෙනුවෙන් පොදුජන පෙරමුණට ජයග්‍රහණය ලබා දුන් ජනතාවට මම මගේ ප්‍රණාමය පිරිනමනවා. ඒ වගේම මම හිතනවා අපි යන මාර්ගය හරිද? වැරැදිද? කියන තීන්දුවත් මේ ජයග්‍රහණය තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියලා. ඒ නිසා මේ ජයග්‍රහණය ගැන මම ගොඩක් සතුටු වෙනවා.  


ප්‍රශ්නය : ඔබේ කඳවුර ඉල්ලා සිටියේ තුනෙන් දෙකක බලයක්. නමුත් ජනතාව ගෙඩිය පිටින්ම එහෙම බලයක් දීලා නැහැ.  


ඇත්තෙන්ම මේ මැතිවරණ ක්‍රමය ඇතුළේ තුනෙන් දෙකක බලයක් ලබා ගන්නවා කියන්නෙම ඉතාම අසීරු කාර්යයක්. ජනතාව ලබා දීපු වරම තුළ ඔය ඔබ කියන තුනෙන් දෙකක බලය එලෙසින්ම නිරූපණය වෙන්නේ නෑ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් අපි මෙවර ඡන්දයට ගියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයෙන්. ඒ සන්ධානයට තුනෙන් දෙකක බලය ලැබිලා තියෙනවා. පොහොට්ටුවට මන්ත්‍රීධුර 145ක් තියෙනවා. ඊට අමතරව අපේ සන්ධානයෙන් ඉදිරිපත් වුණු පක්ෂවලට මන්ත්‍රීධුර පහක් ලැබිලා තියෙනවා. ඒ අනුව 150 සම්පූර්ණ වෙනවා. සන්ධානයක් හැටියට අපි ඒ ඉලක්කය සපුරලා තියෙනවා.  


ප්‍රශ්නය : ඉදිරියේදී හැදෙන්නේ ජාතික ආණ්ඩුවක් ද? පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් ද?  


ඒක තවම අපි තීරණය කරලා නෑ. පොදුජන පෙරමුණේ ඉන්නේ අපේම අය විතරක් නොවෙයිනේ. දැනටමත් කැබිනට් එකේ වෙනත් පක්ෂවල නායකයෝ ඉන්නවා. ඒ නිසා ව්‍යවස්ථාමය ජාතික ආණ්ඩුවක් නොවුණත් ඊටත් වඩා ප්‍රබල ජාතික ආණ්ඩුවක් තමයි දැන් හැදෙන්නේ.  


ප්‍රශ්නය : කොවිඩ්- 19 මාරක වසංගත අනතුර තිබියදීයි මැතිවරණ පැවැත්වුණේ. මේ පරිසරය තුළ සෑම පක්ෂයකටම සමාන අවස්ථා හිමිවුණා කියලා ඔබ හිතනව ද?  


අනිවාර්යෙන්ම ඔව්. ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහානේ මැතිවරණය තිබ්බේ. ඒක ජනතාව ඉතාම හොඳින් තේරුම් අරගත්තා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම සෞඛ්‍ය බලධාරීන් හා රජයේ නිලධාරීන් ගත්ත ඉතාම නිවැරැදි තීන්දු තීරණ මත සෞඛ්‍යාරක්ෂිත මැතිවරණයක් පවත්වන්න හැකි වුණා. කොවිඩ්- 19 වසංගත තත්ත්වය මර්දනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගත් ක්‍රියා මාර්ග ජනතාව අනුමත කළා. ඒ වගේම ඒ ක්‍රියා මාර්ගවලට අවනතව ක්‍රියා කළා. අපි ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කළ යුතුයි. එය හෑල්ලු වෙන්න දෙන්න බෑ. ඒ වගේම මැතිවරණ ව්‍යාපාරය මුළුමනින්ම සෞඛ්‍යාරක්ෂිත බව ජනතාව විශ්වාස කළා. ඡන්ද මධ්‍යස්ථානවල මෙන්ම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ඉතාම හොඳට මැතිවරණ කොමිසම කටයුතු සංවිධානය කරලා තිබුණා. ඒකට ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි සම්පූර්ණ සහයෝගයක් අනුමැතියක් ලැබුණා.  


ප්‍රශ්නය :සමහරු කියනවා ජනතාව පොහොට්ටුවට වැඩි බලයක් දුන්නේ ජනාධිපතිවරයා කෙරෙහි පැහැදීමට මිස, ඉදිරිපත් වෙච්ච අය ගැන විශ්වාසයකට නොවෙයි කියල. ඔබ කොහොමද මේක විග්‍රහ කරගන්නේ.  


ඒකේ යම්කිසි සත්‍යයක් තියෙනවා. මේ පසුගිය මාස කිහිපය තුළ ජනාධිපතිතුමා කටයුතු කරපු ආකාරය. එතුමා ගත්තු තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනතාවගේ ලොකු පැහැදීමක් වගේම විශ්වාසයක් තියෙනවා. පළාත් පාලන මැතිවරණයේ දී ඒ කෙරෙහි තැබූ විශ්වාසය ජනාධිපතිවරණයෙන් තහවුරු වුණා. ජනාධිපතිවරණයෙන් පස්සේ ජනාධිපතිතුමා කටයුතු කරපු ආකාරය නිසා ඒ විශ්වාසය තවත් තහවුරු වුණා. මෙවර අපේ සන්ධානයෙන් ඉදිරිපත් කළේ ඉතාම හොඳ කණ්ඩායමක්. දැන් බලන්න. ජයග්‍රාහී ලැයිස්තුව දිහා. අලුත් මුහුණු විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා. රටේ ගමන් මගේ දිශානතිය වෙනස් කළේ ජනාධිපතිවරණයෙන් ජනතාව බලාපොරොත්තු වෙච්ච ආකාරයටම ඒක කෙරීගෙන යන බව ජනතාව තේරුම් අරගෙන හිටියා. ඒ ගමනට යම් බාධාවක් තිබුණානම් මේ මහ මැතිවරණයෙදී ඒ බාධාවන් ඉවත් කරන්නත් ජනතාව කටයුතු කරලා තියෙනවා. ඉතින් මගේ ස්ථාවරය නම් සමගියෙන් මේ ගමන යා යුතුයි කියලා.  


ප්‍රශ්නය : ඇයි මෙච්චර වේලාසනින්ම ඔබ සමගිය ගැන මතක් කළේ? ඇතුළේ මොකක් හරි ප්‍රශ්නයක්ද?  


නෑ. නෑ. මම මෙතැන සමගිය කියලා කිව්වේ අපි දැක්කනේ යහපාලන කට්ටියගේ සමගිය. කො​හොමද කියලා. ඒකෙන් රටට මොන තරම් අලාභයක් ද වුණේ. රට විනාශ වීම පමණයි වුණේ. ඒකයි මම කියන්නේ අපි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන යුතුයි කියලා.   


ප්‍රශ්නය : රජුන් තනන ආණ්ඩු හදන පක්ෂයක් හදපු ඔබ කොතැන ද ස්ථාන ගත වෙන්නේ.   


මගේ ස්ථානගතවීම ජනතාව තීරණය කරයි කියලා මම හිතනවා. කොහොම නමුත් මම හිතනවා පාර්ලිමේන්තු දේශපාලනයෙන් බැහැරව මේ රටේ දේශපාලනය කරන්න. ජනතාව වෙනුවෙන් වැඩ කරන්න හොඳ මාර්ගයක් තියෙනවා කියලා. ඒ නිසා ඒකට පාර්ලිමේන්තුවේම ඉන්න අවශ්‍ය නෑ කියලයි මම හිතන්නෙ.   


ප්‍රශ්නය : ඔබ පක්ෂයේ නිර්මාතෘවරයා පමණයි. ඔබට දේශපාලන බල අධිකාරිය තුළ බලයක් නැහැ. එහෙම තිබියදී ඔබ කොහොමද ජනතාවට වැඩ කරන්නේ.   


මම මේ පක්ෂය හදපු වෙලාවේ ඉඳලම තනතුරක් ගත්තේ නැහැ. ඉදිරියේදීත් මම එහෙමම වැඩ කරනවා. පක්ෂයේ පරමාධිපත්‍ය තියෙන්නේ පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ සාමාජිකයනට. ඒ සාමාජිකයා තව තවත් බල ගන්වමින් කටයුතු කරන්න තමයි බලාපො​රොත්තු වෙන්නේ. අපේ පක්ෂයේ නායකයා අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, අපේ පක්ෂයෙන් ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළ ජනාධිපතිතුමන් ඒ නායකයන් දෙන්නගෙම සහයෝගයෙන් ඊට අමතරව පක්ෂයට බැහැරව වියත් මග, එළිය වැනි සංවිධානවලින් අපට ලොකු ශක්තියක් ලැබිලා තියෙනවා. ඒ වගේම අපේ සන්ධානයේ අනික් පක්ෂවල නායකයෝ ඒ වගේම ඒ පක්ෂවල සාමාජිකයෝ අපට විශාල ශක්තියක්. ඒ හරහා ඉතාම හොඳ කණ්ඩායමක් ජනතාව ජනාධිපතිතුමාට තෝරලා දීලා තියෙනවා. මේ සියලු දෙනාම ජනතාව තෝරලා ඉන්නේ. අපට කාටවත් පෞද්ගලික න්‍යාය පත්‍ර නෑ. අපි ඉදිරිපිට තියෙන්නේ ජාතික න්‍යාය පත්‍රයක්. ජනතාවගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ජීවමාන යථාර්ථයක් බවට පත් කිරීමේ වගකීම් තමයි අප සියලු දෙනා ඉදිරිපිටම තියෙන්නේ.   

ප්‍රශ්නය : සමහරු කිව්වා ඔබගේ පක්ෂය තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ඒමට බැරි වගන්තිය අයින් කරලා ඔබ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එන්න කියලා. ඇත්තටම එහෙම සැලසුමක් තියෙනවා නේද?   


ඒ ගැන මම මුකුත් කියන්නේ නැහැ. නමුත් ඔය ඔබ කියපු දෙයක් ගැන නම් මගේ කිසිම බලාපොරොත්තුවක් හෝ අදහසක් හෝ නැහැ. සියලු දේ ජනතාවගේ කැමැත්ත අනුව සිද්ධ වෙයි. අපේ පක්ෂයේ ඒ වගේම අපේ නායකයෝ දෙන්නා ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් තීන්දුව අනුව තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. අපේ පක්ෂය ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්ෂා කරනවා වගේම අපේ නායකයෝ හැම වෙලාවෙම නිවැරදිම දේ කරන්නේ කියන විශ්වාසයෙන් තමයි මම වැඩ කරන්නේ. මගේ කැමැත්ත නම් නැවත පාර්ලිමේන්තුවට එන්න නොවෙයි.   

ප්‍රශ්නය : මොකක්ද ආණ්‍ඩුව මුලින්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට ඒ ගැන අදහසක් ඇති.   


විශේ‍ෂයෙන්ම මේ ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කියලා ජනතාව අනුමැතිය දීලා තියෙනවනේ. ඒ වගේම ජනතාවගේ දරිද්‍රතාව තුරන් කිරීම අපේ ප්‍රධාන කාර්යභාරය අතර තියෙනවා. ජනාධිපතිතුමා මේ මැතිවරණයේදී විශේ‍ෂ වෙනසක් කළා. වේදිකාවට නැගලා. ජනතාව අමතන්නේ නැතිව ජනතාවට එතුමා අමතන්න අවස්ථාව ලබා දුන්නා. එතුමා හැම ගමකටම ගියා. ​රැස්වීම් හැටියට නෙවෙයි නියම ජනහමු ඒ කියන්නේ ජනතාව හමුවීම සිද්ධ වුණා. ඒ හරහා ගොඩාක් ප්‍රශ්න එතුමා හඳුනා ගත්තා. එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් අන්තර්ගත වෙලා තියෙනවා. ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් එතුමාට ප්‍රායෝගික අවබෝධයක් මේ ජන හමු නිසා ලැබුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මැතිතුමා කියන්නේ 70 ඉඳලා පාර්ලිමේන්තුවේ ඉන්න බොහොම පරිණත දේශපාලන නායකයෙක්. මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඒ වගේම අවුරුදු 20-25 ක කාලයක් පුරා පාර්ලිමේන්තුව නියෝජනය කරන දක්ෂ අත්දැකීම් තියෙන පිරිස් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ වගේම අලුත් අය නවක අය ඉන්නවා. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඉන්නවා. වෘත්තිකයන් ඉන්නවා. ව්‍යවසායකයන් ඉන්නවා. හොඳ සංයුතියක් අපේ කණ්‍ඩායමේ තියෙනවා. ඒ නිසා ජනතාව ඉල්ලන ජයග්‍රහණ ලබා දෙන්න හොඳ පසුබිමක් දැන් හැදිලා තියෙනවා.   


ප්‍රශ්නය : මේ කතා කරන මොහොත ගත්තත් බඩුමිල අහස උසට. ජනතාව පීඩනයෙන් ඉන්නේ. ජනතාවගේ බඩට තියෙන උත්තරය මොකක්ද?   


ඇත්තටම අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි ඕක අවුරුදු 72 ක්. අපි ආවට පස්සෙත් අපට කතා කරන්න වෙන්නේ බඩගින්න ගැන නම් එතැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ ගමන් මාර්ගයෙන් අපි අනිවාර්යයෙන්ම බැහැර විය යුතුයි. අපේ නිෂ්පාදනය වැඩි කිරීම තුළින් වෙළෙඳ පොළේ බඩු සුලභ කිරීමෙන් මේ ප්‍රශ්නයට අපේ රජය අනිවාර්යයෙන්ම විසඳුමක් ලබා දෙනවා. දවසේ වැඩි කාලයක් ඒ වෙනුවෙන් මේ රජය කැප කරනවා.   
ජනාධිපතිතුමා, අගමැතිතුමා විතරක් නොවෙයි මැති ඇමැතිවරුන් සියලු දෙනාමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ඉන්න අයත් විශේෂයෙන් කැප විය යුතුයි. ජනතාව සම්බන්ධ කරගෙන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ සැලැස්මක් අපට තියෙනවා. අනිවාර්යයෙන්ම අපි ඒක කරනවා.   

ප්‍රශ්නය : මෙවර ජනතා තීන්දුව දිහා බැලුවහම පේන්න තියෙන දේ තමයි ජනතාව අලුත් ආදර්ශ බලාපොරොත්තු වෙනවා කියන එක. මොනවද ඔබ දෙන්න බලාපොරොත්තු වෙන ආදර්ශ.   


ඇත්තෙන්ම ජනතාවගේ හදවතේ ගැස්ම, ඔවුන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ගැන හොඳ වැටහීමක් අපට තියෙනවා. අපේ රටේ ජනතාවට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් නිසාම ඔබ කියන විදිහෙ අලුත් ආදර්ශ ජනතාව බලාපොරොත්තු වෙනවා.   


ප්‍රශ්නය :විනය ගරුක රටක්? සැමට එක නීතියක් කියන සංකල්ප ජනතාව ඉදිරියෙන්ම ඉදිරිපත් කරනවා.   


අනිවාර්යයෙන්ම, ජනතාවගේ ඒ බලාපොරොත්තු ඉටු කළ යුතුමයි. දැන් බලන්න අපි දැනටම ඒ ගමන් මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්නේ. විනය තමයි අපේ මූලිකම විදිහට වුණේ. ඉතාම සාමකාමී, විනය ගරුක, පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙයවීම මගින් අපි අපේ කැපවීම පෙන්නුම් කළා. ඒකේ ගෞරවය අගමැතිතුමාට ජනාධිපතිතුමාට විතරක් නොවෙයි. අපේ සෑම අපේක්ෂකයකුටත් ඔවුන්ගේ ආධාරකරුවන්ටත් අපේ පක්ෂයටත් හිමි විය යුතුයි. ඒ අනුව ඉදිරි ගමන් මාර්ගයන් ආදර්ශ සහිතවම යන්න අවශ්‍යයි. අපට ජනතාව පණිවිඩයක් දීලා තියෙනවා. අලුත් මුහුණු ගොඩාක් තරුණ මුහුණු ගොඩාක්. උගත්තු වගේම පළපුරුදු දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එවලා තියෙනවා.   


ප්‍රශ්නය : සෑම උපාධිධාරියකුටම රැකියා ලබා දෙනවා කිව්වා. අඩු ආදායම් ලාභී පවුල් වල සාමාන්‍ය පෙළ අසමත් දරුවන් ලක්ෂයකට රැකියා දෙනවා කිව්වා. දැන් ඡන්දය ඉවරයි. මේ පොරොන්දු ඉටු වෙයිද?   


ඒවා ඡන්දෙට ඉස්සෙල්ලානේ පටන් ගත්තේ. මැතිවරණ නිතීය නිසා ඒවා තාවකාලිකව අත්හිටුවලා තිබුණා. දැන් ඒ සියල්ල කරන්න හැකියාවක් තියෙනවා. මේ ආණ්ඩුවට ලොකු වගකීමක් තියෙනවා. ජනතාවගේ බලාපොරොත්තු කඩ නොවන විදියට වැඩ කරන්න. ඒදේ ඒ විදියටම වෙයි කියලා අපි විශ්වාස කරනවා. පක්ෂයක් හැටියට ඒ සම්බන්ධයෙන් අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් දෙනවා.   


ප්‍රශ්නය :උසස් පෙළ සමත් ඕනෑම අයකුට බාහිර උපාධියක් හැදෑරීමේ අවස්ථාව තිබුණා. නමුත් දැන් ඒකට තෝරා ගැනීමේ තරග විභාගයක් තියනවා. ඒක අසාධාරණයි කියලා ඔබ හිතන්නේ නැද්ද?   


ඇත්තෙන්ම අපේ ප්‍රතිපත්තියක් සෑම පුරවැසියකුට උගත්තු කිරීමයි. ඉගෙන ගැනීම මානව අයිතියක් අපි කරන්න ඕනැ. ඒකට බාධා කිරීම නොවෙයි. තවත් පහසුකම් ඇති කිරීමයි. ඒ නිසා ඔය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු කරලා සාධාරණයක් ඉටු කරනවා. අපේ ශ්‍රම බළකාය නිරෝගිමත් වෙන්න ඕනැ. දැනුම්වත් වෙන්න ඕනැ. උගත්කම තියෙන්න ඕනෑ. එහෙම වුණොත් තමයි රටක් දියුණු වෙන්නේ. අධ්‍යාපනය කියන එක සියලු දෙනාටම ලබා දෙන්න. ඉහළට යන්න අවස්ථාව සැලසීම රටක සංවර්ධනයේ මූලිකම කාරණයක්. ඒ නිසා අපේ රජයක් යටතේ එවැනි බාධා තිබිය නොහැකියි. 


ප්‍රශ්නය :කොවිඩ් 19 වසංගතය නිසා පෞද්ගලික අංශය බොහෝ අසීරුතාවට පත් වෙලා. ඔවුන් තවමත් සහන අපේක්ෂා කරනවා. ඔවුන් ගැන බලන්නේ නැද්ද?   


අවශ්‍ය හැම දෙයක්ම ආණ්ඩුව කරනවා. ලොකුම සහනය තමයි එදා අවුරුදු 30 ක් පුරා තිබ්බ යුද්ධය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසන් කිරීම. මං හිතන්නේ ඒක තමයි ජනතාව ලබපු ලොකුම සහනය. ඒ වගේම තමයි මේ කොවිඩ් 19 වසංගතයෙන් රට බේරා ගැනීම. ඒකේ ප්‍රතිඵල හැටියට ජනතාවට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වෙනුවෙන් රජය අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා. ඒක මූල්‍යමය ආධාරයට වඩා ඔවුන්ට තියෙන බාධා ඉවත් කිරීම හරහා සහන ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. රටෙන් බාහිර සාධකවල බලපෑමක් තියෙනවා. ඒ සියල්ල තුළින් අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දෙනවා.   


ප්‍රශ්නය :එජාපයේ දෙකඩ වීම ඔබලාට අතිරේක වාසියක් වුණා ?   


දෙකඩ වීමක් වෙලා නෑ. එක්සත් ජාතික පක්ෂයේ නම මාරු වෙලා. ලකුණ මාරු වෙලා කියලා විතරයි මට නම් පේන්න තියෙන්නේ.   


ප්‍රශ්නය : ඔබේ පැරණි මිතුරකු වන එජාප නායක රනිල් වික්‍රමසිංහ ඡන්දෙන් පස්සේ කතා කළේ නැද්ද?   


නෑ.නැ. මගේ මිතුරු කමක් නෑ. මම පාර්ලිමේන්තුවේ ඉන්න කොට එතුමා පක්ෂ නායකයෙක් හැටියට හිටියා. ඒ හැරෙන්න වෙන මිතුරුකමක් නෑ. මට තවම කතා කරන්න ලැබුණේ නම් නෑ.   


ප්‍රශ්නය : ජනතාව දුන් වරමේ ගෞරවය රකින බවට ඔබට මේ මොහොතේ සහතිකයක් දෙන්න පුළුවන්ද?   


මට ඒ සහතිකය දීමට වඩා මම විශ්වාසය පළ කරනවා. ඔව්. අපි ඒ ගෞරවය රකිනවා.

 

 

සාකච්ඡා කළේ : 
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්



අදහස් (0)

අපි යන මාර්ගය හරිද වැරදි ද කියන තීන්දුව මේ ජයග්‍රහණයේ අන්තර්ගත වෙලා තියෙනවා

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 34 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


මහත්මා ගාන්ධිගේ යාපනය සංචාරය
2025 මාර්තු මස 12 35 0

1920 දශකයේ මැද භාගයේ බිහිවූ , ආරම්භයේ දී යාපන ශිෂ්‍ය කොංග්‍රසය නමින් හැඳින්වූ “යාපන තරුණ කොංග්‍රසය” එම යුගයේ බිහිවූ දේශපාලන සංවිධාන අතුරින් ඉතාමත් දියුණ


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 27 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 14 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 34 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 52 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 149 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 375 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 222 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site