IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා

(ශ්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද)

විස්ස ගෙනත් කරගන්න බැරිවුණු පළාත් සභා මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව කාන්තා අයිතීන් යොදාගත්තා යැයි කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව පැවසූයේ පෙරේදා (20) කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවති පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් රචිත කෘති දෙකක් එළි දැක්වීමේ උත්සවයට සහභාගී වෙමිනි. රෝහිත අබේගුණවර්ධන මහතා විසින් මෙහිදී එළිදක්වනු ලැබුවේ යළි එතැන් සිට (පරාජයේ අපරාජිත කතා) හා හත්වන පාර්ලිමේන්තුවේදී තමන් විසින් කළ කතා ඇතුළත්ව ලියන ලද මැතිසබේ කළ කතා යන කෘතීන් දෙකය.

මෙම කෘතින්හි පිටපත් දෙකක් අබේගුණවර්ධන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හා සිය මෑණියන් වූ මහමතී අබේගුණවර්ධන මහත්මිය වෙත පිළිගන්වනු ලැබූ අතර උත්සවයට සහභාගී වූ සෑම අයකුටම පිටපත බැගින් පිරිනමනු ලැබිණ.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

රෝහිත අද පොතක් එළදැක්වීමට අලූත් ආකෘතියක් හඳුන්වාදුන්නා. මේක අලූත් ඇරඹුමක් හැටියටයි මම දකින්නේ. රෝහිත දේශපාලනයට ආවේ අනූහතේදී. එදා ඔහු ආපු ගමන්ම ප‍්‍රාදේශීය සභාවේ සභාපති වුණා. ඒ කාලේ ඉඳන්ම ඔහු මාත් එක්ක හිතවත්. මම යන හැම තැනකම ඔහු සිටියා. ඒ නිසා බොහෝ දෙනා හිතුවා ඔහු මගේ පෞද්ගලික ආරක්ෂකයෙක් කියලා. කොටින්ම ගෝඨාභය පවා එහෙම හිතලා තිබුණා.

මම ජනාධිපති ලෙස පත්වූ පසු බොහෝ දෙනා ඇමතිකම්වලට පොරකද්දී රෝහිත කිසි දෙයක් ඉල්ලූවේ නැහැ. මම ඇහුවා ඔයාට මොනවද  ඕන කියලා. එතුමා කිව්වේ මට ඔබතුමාගේ නියෝජ්‍ය ඇමතිකම දෙන්න කරන්නම් කියලයි. ඇමතිකමක් නෙවෙයි නියෝජ්‍ය ඇමතිකමක් තමයි ඉල්ලූවේ. ටික කාලයක් වැඩකරගෙන යනකොට තමයි මටත් තේරුණේ ඒක සේරටම වඩා බලගතුයි කියලා. ඔහුට නිදහසේ වැඩ කරන්න මම ඉඩදී තිබුණා.

මම පහුගිය ජනාධිපතිවරණයෙන් පැරදිලා මැදමුලනට ගියේ දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමේ අදහසින්. නමුත් එදා සිටම ජනතාව මගේ නිවසට එන්න පටන් ගත්තා. ඒ හැම අවස්ථාවකම රෝහිතත් ආවා. අන්තිමට ඔවුන් මාව නැවත දේශපාලනයට අරන් ආවා.

මම ජනාධිපති ලෙස හිටිය කාලෙට වඩා ජයග‍්‍රහණ ලබමින් ඉදිරියට ගිය කාලයට වඩා විශාල අත්දැකීමක් පරාජයට පත්වී ගෙවී ගිය පසුගිය වසර දෙකක පමණ කාලය තුළ ලැබුවා. බලය තිබෙන කාලයේ සිටින යාලූ මිත‍්‍රාදීන්ගෙන් සැබෑ යාලූවෝ, පරාජයේදීත් ළග ඉන්න යාලූවෝ අඳුනගන්න ලැබුණා. පැරදුණාම, බලය නැති වුණාම අපිව දාලා යන අය හඳුනගන්න ලැබුණා. එදා මාව මහරජාණෝ කියලා හඳුන්වාදීපු අයම අද මාව ඒකාධිපතියා කියලා හඳුන්වා දෙනවා. ජයග‍්‍රහණයේදී වගේම පරාජයේදීත් මගේ ළඟින්ම හිටිය මිතුරෙක් තමයි රෝහිත.

සදාකාලිකව බලයේ ඉන්න බැහැ. බලයේ ඉන්නකොට අපි පරෙස්සම් විය යුතු දේවල් තිබුණා. කළ යුතු දේ නොකළ යුතු දේ තිබුණා. අද මගේ පවුලේ අයට, මගේ වටේ ඉන්න අයට නොයෙකුත් නඩුහබවලට මුහුණ දෙන්න සිදුවී තිබෙනවා. යළි එතැන් සිට ඔබේ කෘතිය අද එළි දැක්වූවා. මෙහි ඊළග කොටස අද සිට ඔබට ලියන්න තිබෙන්නේ අඳුරු කතාවක්.

මේ ආණ්ඩුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය උදුරගෙන මැතිවරණ කල්දානවා. පළාත් පාලන මැතිවරණ වසර ගණනාවක් තිස්සේ කල්දමමින් ඉන්නවා. දැන් පළාත් සභා මැතිවරණත් කල්දාන්න යනවා. විස්ස ගෙනත් මේක කල්දාන්න හැදුවා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ නියෝග නිසා ඒක කරගන්න බැරි වුණා. දැන් කාන්තාවන්ට තැනක් දෙන්න කියලා නැවත කල්දාන්න අවශ්‍ය තත්ත්වයක් හදාගෙන. ඔවුන් කියන්නේ නම් ජනමතයට බයට මැතිවරණය කල්දානවා නෙවෙයි කාන්තාවන්ට වැඩි නියෝජනයක් ලැබෙන මැතිවරණ ක‍්‍රමයක් ඇති කරන්න මෙසේ කරන බවයි.

මේ ආණ්ඩුව ජනතාවට කියන්නේ එකක්. කරන්නේ තවත් එකක්. පිණ්ඩපාතේ වැඩම කළ අපේ මහාසංඝරත්නයට කිසියම් පිරිසක් හොට් ඩෝග් දාලා තිබුණා. දානේ දීමේ අදහසින් කළා නම් ඇයි වෙන දෙයක් තිබුණෙම නැද්ද දානෙට දෙන්න. හොට් ඩෝග් කියන්නේ මොනවද කියලා ඔබ දන්නවා. මේවා දුන්නේ මේ දීපු අයගේ වුවමනාවට නෙවෙයි. ඒ අයව මෙහෙයවපු අයගේ වුවමනාවටයි. මේක මේ රටේ නායකයාගේ වුවමනාවයි. මේක අපේ භික්ෂූන් වහන්සේලාට කරපු අපහාසයක්. අපි කිසිම දවසක අපේ ආගමික නායකයින්ට නෙවෙයි අඩුම තරමින් අන්‍යාගමික පූජකවරයෙකුටවත් අපහාසයක් වන කිසිම දෙයක් කරලා නැහැ. එවැනි දේ වෙන කෙනෙක් කළත් මම අනුමත කරන්නෙත් නැහැ.

හෙට රෝහිතගේ උපන් දිනය. ඔහු වයස කිව්වේ දිනවලින් නිසා මම දැනගත්තත් කියන්න යන්නේ නැහැ. මට නම් පේන්නේ ඔහු අපේ නාමල්ගේ වයසේ වගෙයි. ඔබ හැම විටම පක්ෂය සමග හිටපු අවංක දේශපාලකයෙක්. ජනතා විශ්වාසය දිනාගන ඉදිරි ගමනක් යන්න ඔබට වාසනාව ලැබේවා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා.

 

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

2015 ජනවාරි 09වැනිදා කියන්නේ මුළු රටම අඳුරු කළ දිනයයි. අද වන විට මේ අඳුරු කාලයට වසර දෙකකුත් මාස අටයි දින එකොළහක් ගත වෙලා. මේ පරාජිත කාලය තුළ ලැබු නොයෙක් අත්දැකීම් මම යළි එතැන් සිට කෘතියේ සඳහන්කර තිබෙනවා. මේක බොහොම තිත්ත කතාවක්. තිත්ත වුණත් මම කියලා තිබෙන්නේ ඇත්ත. මේ අත්දැකීම්වලින් ලද දැනුම ලෝකයේ කිසිම විශ්වවිද්‍යාලයකින් ලබන්න බැහැ. හතුරා කවුද? මිතුරා කවුද? බලය තිබෙන විට, මුදල් තිබෙන විට ළංවන අය කවුද? ඒවා නැතිවෙන කොට ඈත්වන අය කවුද කියලා හඳුනාගන්න මේ කාලය විශාල පාඩමක් වුණා.

මම මහින්ද රාජපක්ෂ මහතා හඳුනාගත්තේ එතුමා කම්කරු ඇමති හැටියට හිටපු කාලයේදියි. ඊට පස්සේ එතුමා විපක්ෂ නායක වුණා. අගමැති වුණා. පස්සේ ජනාධිපති වුණා. අවුරුදු දහයක් ජනාධිපති හැටියට මේ රටට විශාල මෙහෙවරක් කළා. රට එක්සේසත් කළා. නමුත් ඒ හැම අවස්ථාවකම හිටපු මහින්ද රාජපක්ෂට වඩා පරාජයට පත්වූ පසු අද ඉන්න මහින්ද රාජපක්ෂ බලවත් කියලයි මට හිතෙන්නේ. බලය තිබෙනකොට සියලූ දේ කරන්න පුළුවන් කියලා හිතෙනවා. නමුත් බලය නැති කාලෙත් වැටෙන්නේ නැතිවෙන කොට, අභියෝග එනකොට ඒවාට ශක්තිමත්ව මුහුණ දෙන්නේ  කොහොමද කියලා එතුමා අපිට පෙන්වා දුන්නා.

බලය තිබෙන කාලයේ අපේ ගෙදරට සෙනග අඩුවක් තිබුණේ නැහැ. ඒත් බලය නැති වුණාම ගෙදරට එන ප‍්‍රමාණය අඩුවුණා. අපි සමහරුන්ට කතා කරලා ඇහුවාම ගෙදරට ගොඩවෙලා යන්න එනවාද කියලා, ඔවුන් ගිහින් එන්නම් කියලා යනවා. එහෙම කියපු සමහරු දැන් නැවත අපේ ළගට කිට්ටු වෙමින් සිටිනවා. මේ ආණ්ඩුවේ තරම දැන් ඔවුන්ට වැටහී ඇති බවයි පේන්නේ.

බුදුහාමුදුරුවොත් තමන්ට බුදු වෙන්න සෙවන දුන් බෝධියට කෙළෙහි ගුණ දක්වූවා කියලා මම අහලා තිබෙනවා. මේ රටේ ජනතාව වසර දෙහසකටත් පෙර මේ රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන සිහිපත් කරන, කවදාවත් දැකලාවක් නැති එතුමාට ගරු කරන අපේ රටේ මිනිසුන්ට අවුරුදු හත අටකට කලින් මේ රටේ යුද්ධය අවසන් කර රට එක්සේසත් කළ, අපිට දකින්න තවමත් ඉන්න, මහින්ද රාජපක්ෂ මහතාව අමතක වුණා. එවැනි රටකයි අපිට ජීවත් වෙන්න සිදුවී තිබෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

රෝහිත අබේගුණවර්ධන මහතා ගමේ පොදු කටයුතුවල හිටපු ගමේ නායකයෙක්. එදා මගේ පියා ජනාධිපති ලෙස පත්වූ පසු හැමෝම ඇමතිකම්වලට පොරකද්දී එතුමා ඇමතිකමක් වෙනුවට රටට සේවය කරන්න නියෝජ්‍ය ඇමතිකමක් විතරයි ඉල්ලා සිටියේ. තනතුරු බලාගෙනම වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඒ වගේම හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදියි කියන්නත් ඔහු පසුබැස්සේ නැහැ. වර්තමාන රාජ්‍ය නායකයා තමන්ගේ රටත් ජාතියත් ජාත්‍යන්තරය හමුවේ පාවා දෙද්දී, මැතිවරණ සිතියම අකුලා දමමින් සිටියදී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පසෙකලා වෙනම සංශෝධන ගෙනත් පළාත් සභා මැතිවරණය කල්දමන්න කටයුතු කළ දිනයක් හැටියට අද දවස ඉතිහාස ගත වෙනවා.

මෙහිදී ආර්ථික විශ්ලේෂක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතාද අදහස් දැක්වූ අතර රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය, පියාගේ ගුණ කථනයක් සිදුකළේය. මෙම අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරු රැසක්ද, කලාකරුවෝ හා පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක්ව සිටියහ.



අදහස් (10)

එදා මට මහරජාණෝ කියූ අය අද ඒකාධිපතියා කියනවා

sudes Friday, 22 September 2017 05:31 AM

අපිනම් මහරජානෝ කිව්වේ නැහැ. තමන්ම බලෙන් ඒ නම දාගෙන දැන් බොරුවට කෑ ගහනවා. ස්ටේජ් වලට ගායිකාවෝ නග්ගලා මහරජානෝ කියල සින්දු කියව ගත්තා කියලනම් අපි දන්නවා.

:       365       622

mahee Friday, 22 September 2017 07:27 AM

හොඳ වෙලාවට මෙතුමාට ඇහිලා තියෙන්නේ මහාරජාණෝ වෙනුවට 'ඒකාධිපතියා' කියනව කියලා විතරයි. මහාරජාණෝ වෙනුවට මිනිස්සු ඔබතුමාට ආදේශ කරලා තියෙන අනික් වචන සෙට් එක ඇහුව නම්...?????

:       318       470

sisira Friday, 22 September 2017 08:54 AM

එතුමාට මහරජාණෝ කියපු කෙනා අද රජු මරා රජවෙලා ....හැබැයි රට අරාජික වෙලා

:       128       340

raawana Saturday, 23 September 2017 07:31 PM

මහරජානෝ වගේ ඉන්න තිබුන යුද්දේ දිනුවට පස්සේ හරි දේවල් කළා නම්.

:       0       145

Saman Saturday, 23 September 2017 10:33 PM

පව් දෙයියනේ ! අර කැමැත්තෙන් අතුරුදහන් වුන අයගෙ අය, කියන ඒවා ඇහිල නැතුව ඇති.

:       0       20

Pubudu Saturday, 23 September 2017 10:35 PM

අර මාල කැඩුවා කියන එක්කෙනත් ලේඛකයෙක්ද ? බලාගෙන ගියාම බලය නැතිවුනාමනෙ ඔක්කොටම ලියන්න මතක් වෙන්නෙ.

:       0       69

nalaka Sunday, 24 September 2017 12:31 AM

කිසි උගත්තකමක් නැති අයගෙන්ට ඔයාට මොනවද ඕන කියලා අහලා නියෝජ්‍ය ඇමතිකම දිපු එකේ රඟ තමා රටේ ජනතාව වින්දේ එකල. නි.ඇමතිකඑක් කරන්නත් කොපමණ දැනුමක් තිබියයුතුද? ඒවා බලන්නේ නැතිවව ඡන්දෙට උදව් කරමින්ම තමන්ගෙ පස්සෙන් ආපු අයට තමයි මෙයා ඇමතිකම් දිලා තියෙන්නේ.

:       0       1

rohana Sunday, 24 September 2017 08:57 AM

රෝහිත අබේගුණවර්ධන කියන්නේ කළුතර කෙනෙක්... එයාට කියන්නේ රත්තරන් කියලා. ඒ නම වැටුනේ එයා ඉස්සර රත්තරන් මාල ගැන ප්‍රශ්නයක් නිසා... කොහොමද පොත් ලියන්නේ... මල පොතේ අකුරක්වත් බැරි කෙනෙක් නේ.

:       0       367

ජගත් ලියනගේ Sunday, 24 September 2017 03:02 PM

2010 හිටපු විදියට එහෙම කිව්වට වරදක් නැහැ. හැබැයි 2011 ඉඳන් හැසිරුණේ කවුද වගේ.

:       0       2

sathyayaa Friday, 06 October 2017 04:34 PM

"මහරජාණෝ" කියන කොට අපි නම් කිව්වේ "මහම මහා ජරාණෝ" කියලා. ඒකාධිපති තත්වයක් නොවෙයි තිබුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු
2025 පෙබරවාරි මස 04 150 0

නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.


බහලුම් ගැන සජිත් ප්‍රශ්න කරයි
2025 ජනවාරි මස 31 2063 9

මතභේදයට තුඩුදුන් අන්තරායක බහලුම් නිෂ්කාෂණය කිරීමට අවසර දුන්නේ කවුදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.


අයවැයෙන් ට්‍රිලියන 1.35ක් ආයෝජන ප්‍රාග්ධන වියදම් වෙන් කරනවා
2025 ජනවාරි මස 28 1583 0

ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


‘‘මහින්දගේ විජේරාම නිවෙස පාපන්දු පිටියක් තරම් ලොකුයිලු‘‘
2025 ජනවාරි මස 25 6491 27

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචිව සිටින කොළබ 07 විජේරාමේ පිහිටි ඉඩමෙහි මන්දිරයක් සමග වටිනාකම රුපියල් මිලියන 3357 ක් වන බව ජාතික ජන බලවේගයේ පාර්ල


‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3886 27

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 3085 21

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 775 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site