IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපට උද්ඝෝෂණ කරන්න වෙනවා

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් 

පාර්ලිමේන්තුව එකම ගාලගෝට්ටියකි. ඒ රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙනි. අන්තවාදී මුස්ලිම් සංවිධාන 11 ක් තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබුණේ ඉකුත් බද‌ාද‌ාය. කුමක් වෙයිද? සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සමග මේ සාකච්ඡාව ඒ සම්බන්ධයෙනි.

ප්‍රශ්නය:- රංජන් රාමනායකගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට එන්න ඉන්න අජිත් මාන්නප්පෙරුම ඔබලා පිළිගන්නවාද? 


පිළිතුර:- ඇත්තටම රංජන් රාමනායක මන්ත්‍රීතුමාව විශාල අසාධාරණයක් වෙලා තියෙනවා. මේ තියෙන තත්ත්වයත් එක්ක. අපි දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී පෙන්වලා දුන්නා ස්ථාවර නියෝග යටතේ රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්න බෑ කියලා. කොහොම නමුත් කතානායකවරයා තීන්දුවක් අරගෙන මැතිවරණ කොමිෂන් සභාවට දන්වලා තියෙනවා එතුමාගේ මන්ත්‍රීධුරය අහෝසි වෙලා කියලා. ඒකට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 


ප්‍රශ්නය:- රංජන්ගේ මන්ත්‍රී සම්බන්ධයෙන් තීන්දුව දීලා තියෙන්නේ අධිකරණයෙන්. අධිකරණය දීපු තීන්දුවක් කොහොමද පාර්ලිමේන්තුවේදී වෙනස් කරන්නේ? 


පිළිතුර:- අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දිය යුතු දඬුවම් සම්බන්ධයෙන් අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නෑ. ඒක තවම විවාදයක් හැටියට තමයි තියෙන්නේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීලා තියෙන නියෝගය සම්බන්ධව නැවත වතාවක් සලකා බලන්න කියන ඉල්ලීම අපි අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. අභියාචනාධිකරණයෙන් ඒක ප්‍රතික්ෂේප වුණාට පස්සේ මහාධිකරණයට යන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් තමයි අපි කතානායකතුමාට කිව්වේ අපි එහෙම ක්‍රියාමාර්ගයක් ගන්න ඉන්දැද්දී මෙහෙම ඉක්මනට මන්ත්‍රී ධුරය අහෝසි කරන්න එපා කියලා. අනිත් එක අපි එතුමාට මාස තුනකට නිවාඩු දෙන්න කියලා ඉල්ලුවත් ඒකට අවසර දුන්නේ නැහැ. ඒක තුළ පෙනී ගියේ රංජන් මන්ත්‍රීතුමාගේ මන්ත්‍රීධුරය අහෝසි කරන එකට ඉතා උනන්දුවෙන් කතානායකතුමා වැඩ කරන බව තමයි. 


ප්‍රශ්නය:-ඒ කියන්නේ අජිත් මාන්නප්පෙරුම නව මන්ත්‍රීවරයා වශයෙන් පිළිගන්න ඔබලා සූද‌ානම් නැහැ. 


පිළිතුර:- නෑ එහෙම කතාවක් නෑ. ප්‍රධාන වශයෙන් අපි මේ ගන්න උත්සාහයන් හි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත්නම් අජිත් මාන්නප්පෙරුම මහතාව අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට පිළිගන්නවා. නමුත් ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා ආපු රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න තමයි මේ හැම දෙයකින්ම අපි උත්සාහ කරන්නේ. ඒකෙන් කියැවෙන්නේ නැහැ අපි අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමාට විරුද්ධයි කියලා. 


ප්‍රශ්නය:- පාර්ලිමේන්තුව රැස්වෙන හැම දවසෙම ඔබලා උදේ පාන්දර විවිධ විගඩම් නටලා වටිනා කාලය කා දමනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා? 


පිළිතුර:- 2015 ඉඳලා 2019 දක්වා අපේ ආණ්ඩුව තිබුණ කාලයේ හැමද‌ාම පළමු පැය දෙක විපක්ෂය ඉතාම නොහික්මුණු විදියට හැසිරුණා. සභාවේ වැඩ කටයුතු ඔක්කොම අවුල් කළා. ඊට පස්සේ ඔබතුමන්ලා දන්නවා කතානායකතුමාගේ පුටුවේ වාඩි වුණා. මිරිස් කුඩු ගැහුවා. මයික් කැඩුවා. ඒ විදියට පාර්ලිමේන්තුවට විශාල අලාභහානි කළා. අපි එවැනි ආකාරයට හැසිරෙන්නේ නෑ. මේ කතානායකතුමාගේ ක්‍රියාකලාපය පක්ෂග්‍රාහීයි. එතුමා ස්වාධීනව අපක්ෂපාතීව වැඩ කරන්නේ නැහැ. ඒ නිසා තමයි අපි විරෝධතා දක්වන්නේ. එහෙම නැතිව අපි කවද‌ාවත් පාර්ලිමේන්තුවේ දේපළවලට අලාභහානි කරලා නෑ. චණ්ඩි විදියට අපි හැසිරෙන්නේ නැහැ. 


ප්‍රශ්නය:- නමුත් විපක්ෂය ප්‍රබුද්ධ විදියට කටයුතු කරන්නේ නැහැ කියලා කිව්වොත්? 


පිළිතුර:- පාර්ලිමේන්තු කටයුතුවලට අපි සක්‍රීය ලෙස මැදිහත් වෙනවා. ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතා කරනවා. මැදිහත් වෙනවා. ඒ මැදිහත්වීම කරන්න අපට ස්ථාවර නියෝග නොතකා කතානායකවරයා අවහිර කරනවා. එහෙම කරන කොට තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපට උද්ඝෝෂණය කරන්න වෙන්නේ. 


ප්‍රශ්නය:-රංජන්ට ජනාධිපති සමාව අරන් දෙන්න යම් උත්සාහයක් ගන්නවා කියලා ඇමැති මහින්ද‌ානන්ද කීවා.

එහෙම සමාවක් දුන්නොත් ඔබලා පිළිගන්නවද? 


පිළිතුර:- මහින්ද‌ානන්ද ඇමැතිවරයා එහෙම උත්සාහ කරනවා නම් ඒක හොඳ දෙයක්. ඒත් පසුගිය බද‌ාද‌ා රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ගැන කතා කරනකොට රංජන්ට විරුද්ධව තමයි ඒ ඇමැතිවරයා කතා කළේ. රංජන් මන්ත්‍රීතුමාව සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුවෙන් නෙරපන්න ඕනැ කියලා තමයි ඒ ඇමැතිවරයා කිව්වේ. ඒකෙන් පේන්නේ එතුමා මාධ්‍යයට ඇවිත් එකක් කියලා පාර්ලිමේන්තුවේදී තව එකක් කියනවා කියලා. සම්පූර්ණයෙන්ම ප්‍රෝඩාවක් එතුමා කරන්නේ. 


ප්‍රශ්නය:- උසාවියේදී රංජන් හමුවුණාම ‘මම නඩුවෙන් පැරදුණේ සජිත් ප්‍රේමද‌ාස නිසා’ කියලා රංජන් කිව්වා කියලා ඇමැති මහින්ද‌ානන්ද පාර්ලිමේන්තුවේදී කිව්වා? 


පිළිතුර:- ඒවා බොරුනේ. පාර්ලිමේන්තුව ඇතුළේ ඕනෑම බොරුවක් කියන්න පුළුවන්නේ. ඒ වරප්‍රසාදවලට මුවා වෙලා ඒ වගේ බොරු දේවල් කියන්න පුළුවන්නේ. අනිත් එක මහින්ද‌ානන්ද ඇමැතිවරයා බොරු කියන්න අදක්ෂයෙක් නොවෙයිනේ. 


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරයෙ වින්දිතයන්ට තවමත් සාධාරණය ඉටුවුණ් නෑ? 


පිළිතුර:- මෙතැන තියෙනවා කරුණු දෙකක්. මේ ප්‍රහාරය වළක්වා ගන්න හැකියාව තිබියදී වළක්වා ගත්තේ නෑ කියන එක එකක්. ඊළඟට මේ ප්‍රහාරය පිටිපස්සේ ඉඳන් මෙහෙයැව්වේ කවුද කියන එක ගැන පාස්කු වාර්තාවේ යම් යම් ඉඟි ලබාදීලා තියෙනවා. ඒක නිශ්චිත වශයෙන් සඳහන් වෙන්නේ නෑ. ඒක ගැනත් අනිවාර්යයෙන්ම පරික්ෂණයක් කළ යුතුයි. 


ප්‍රශ්නය:- පාස්කු ප්‍රහාරය මහා මොළකරුවන් ගැන කියනවා ඔබත් පිළිගන්නව ද එහෙම මහ මොළකරුවන් ඉන්නවා කියලා? 


 පිළිතුර:- මට නම් පේන්නේ ආණ්ඩුව මේ පරික්ෂණ අවසන් කරන්න යන්නේ. ආණ්ඩුවට අවුරුද්දයි මාස හතරක කාලය තුළ කාදිනල්තුමාට ලබා දුන්න පොරොන්දු ජනතාවට ලබා දුන්න පොරොන්දු එකක්වත් ඉටුකරන්න බැරිවෙලා තියෙනවා. පාස්කු ප්‍රහාරයෙ මහා මොළකරුවන් හොයනවා කියන එකත් ප්‍රධාන පොරොන්දුවක්. අපේ ආණ්ඩුවේ හිටපු මැති ඇමැතිවරුන්ට තමයි මහ මොළකරුවන් කියලා චෝදනා කළේ. නමුත් ආණ්ඩුව ඇවිත් අවුරුද්දයි මාස හතරක් ගිහිල්ලත් කොමිෂන් වාර්තාවෙන්වත් ඒ ඇමැතිවරුන්ට කිසිම චෝදනාවක් නෑ. ආණ්ඩුව අපේ ආණ්ඩුව කාලයේදි අල්ලපු කෙනෙක්ව ඉදිරිපත් කරනවා මහ මොළකරු කියලා. මම හිතන්නේ මෙතනදී කතෝලික ජනතාවට යම් කෙනෙක්ව පෙන්වන්න ඕනෑ. දිගින් දිගටම මේක සමාජය තුළ සාකච්ඡා වීම තුළ වගේම වාර්තාවේ සමහර කරුණු දිහා බලනකොට මේක කොයි පැත්තට කැරකැවේවිද කියලා හිතාගන්නත් අමාරු වෙලා තියෙනවා. ඒ නිසා ආණ්ඩුව හිතනවා ඇති ඉක්මනට මේක ඉවරයක් කරලා ද‌ාන්න ඕනෑ කියලා. 


ප්‍රශ්නය:- මුස්ලිම් දේශපාලන නායකයන් මුස්ලිම් ජනතාවට නිවරැදිව නායකත්වය නොදුන් නිසා අන්තවාදීන් බිහිවුණා කියන චෝදනාව ගැන? 


පිළිතුර:- මුස්ලිම් දේශපාලන නායකයන් ගත්තොත් සමගි ජනබලවේගයේ අපි ඉන්නවා. වෙන වෙන පක්ෂවලත් ඉන්නවා. ආණ්ඩුවෙත් ඉන්නවා. එහෙම විසිරිලා ඉන්නවා. අපි උත්සාහ කරන්නේ සියලු මුස්ලිම් ජනතාව සමගි ජනබලවේගයක් එක්ක එකතු කරගන්නයි. නව මුස්ලිම් දේශපාලන පක්ෂ තියෙනවා. ඒගොල්ලෝ වෙන අදහස් උඩ ඉන්නේ. නමුත් කිසිම නායකයෙක් ත්‍රස්තවාදය අනුගමනය කළ යුතුයි කියලා පිළිගන්නේ නෑ. යථාර්ථය තමයි මුස්ලිම් ජනතාව ගත්තොත් ලක්ෂ 20ක් විතර තමයි ඉන්නේ. එක පැත්තක දෙමළ ජනතාවත් සමග අපේ මුස්ලිම් ජනතාව ඉන්නවා. අනෙක් පැත්තෙන් සිංහල ජනතාවත් සමග ජීවත් වෙනවා. ඒ සියල්ල යථාර්ථයක් වශයෙන් අරගෙන තමයි අපි දේශාපලනය කළ යුත්තේ. අපි අනිවාර්යයෙන්ම මේ රටේ සිංහල හා දෙමළ ප්‍රජාව එක්ක සංහිඳියාවෙන්, සමගියෙන් සහයෝගයෙන් වැඩ කරන්න ඕනැ. එහෙම වැඩ කරන්න බැරිනම් අනිවාර්යයෙන්ම විවිධ ගැටලුවලට මුස්ලිම් ජනතාවට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මම හිතන්නේ නෑ දේශපාලනය කරන අපේ කිසිම කෙනෙක් ඔය අදහසින් එහාට ගිහිල්ලා මුස්ලිම් ජනතාව ත්‍රස්ත වැඩවලට යොමු කරන්න උත්සාහයක් තියෙනවා කියලා.  


ප්‍රශ්නය:- මුස්ලිම් අන්තවාදී සංවිධාන 11 ක් තහනම් කරන්න කියලා නීතිපතිවරයා පොලිස්පතිවරයාට දැනුම් දීලා තියෙනවා. මොකක් වෙයිද? 


පිළිතුර:- ඔය පාස්කු කොමිසමේ වාර්තාව අනුවනේ ඕක දීලා තියෙන්නේ. ඔය වාර්තාවේ තවත් සංවිධාන නම් කරලා තියෙනවා. ඔය ජාත්‍යන්තර සංවිධාන නොවෙයි අල්කයිඩා, අයි.එස්.අයි.එස්. වගේ සංවිධාන නොවෙයි. ලංකාවේ වැඩ කරන සමාජ සේවා කටයුතුවල යෙදිලා ඉන්න පල්ලෙහා මට්ටමේ තියෙන සංවිධාන පවා තහනම් ලැයිස්තුවේ තියෙනවා. ඉතින් මටත් තේරෙන්නේ නැත්තේ මොකක්ද මේකේ තියෙන පදනම කියලා. මේ සංවිධාන තහනම් කරන්න තියෙන සංවිධානද? ත්‍රස්ත ක්‍රියාවලට මේ සංවිධාන සම්බන්ධ වෙලා තියෙනවාද? ඒවාට ඔවුන් උදව් කරලා තියෙනවද? කියන එක තමයි තියෙන ගැටලුව. එහෙම නැතිව කොමිසම නම් කළ පමණින්ම එහෙම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නේ නැතිව ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් නොකර මෙවැනි දේ කිරීම තව තවත් අර්බුද ඇති කිරීමක්. අර්බුද වැඩි කරන පැත්තට තමයි මේ ගමන් කරන්නේ. 


ප්‍රශ්නය:- පාස්කු වාර්තාවේ තියෙනවා ‘බොදුබල සේනා සංවිධානයත් තහනම් කළ යුතුයි’ කියලා. ඒක ගැන ඔබේ පෞද්ගලික අදහස? 


පිළිතුර:- ඒක තමයි මම කිව්වේ. ආණ්ඩුවේ දේශපාලනඥයන් ඒ ගැන නිහඬයි. ඒක කරන්න එපා කියලා කිව්වත් දේශපාලන වාසියක් ගන්නයි එහෙම කියන්නේ. මම ඉන්න පොදු මතය නම් අල්කයිඩා, අයි.එස්.අයි.එස්. සංවිධාන හැරුණාම ලංකාවේ ක්‍රියාත්මක වන සංවිධාන සමග මීට වඩා ගුනාත්මක සංවාදයක් ආරම්භ කළ යුතුයි. තහනමට යන්න කලින් මේ ගැන කතා කළ යුතුයි. මම නම් හිතන්නේ නැහැ තහනම් කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. 


ප්‍රශ්නය:- හකීම්ට, රිෂාද් බදුර්දීන්ට සමගි ජන බලවේගයෙන් නාම යෝජනා දෙන්නේ නැහැ කියලත් කතාවක් තියෙනවා. ඒක ඇත්තද? 


පිළිතුර:- දැන් අපි සමගි ජනබලවේගය සන්ධානයක් හැටියටයි යන්නේ. ඒ සන්ධානය තමයි තීරණය කරන්නේ අපි එකට ඉල්ලනවද නැද්ද කියන එක. දැනට අපි පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සන්ධානයක් හැටියට වැඩ කරගෙන යනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් හැටියට ඔවුන් අපිත් එක්ක රැස්වීම්වලට සහභාගි වෙනවා. ඒ නිසා ඉදිරියටත් අපිට සන්ධානයක් හැටියට යන්න පුළුවන් වෙයි. මම හිතන්නේ නෑ ගැටලුවක් ඇතිවෙයි කියලා. 

 

සාකච්ඡා කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 

 

 



අදහස් (0)

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න අපට උද්ඝෝෂණ කරන්න වෙනවා

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

විජේවීර යාපනයේ දේශපාලනය ගොඩනැගූ හැටි
2025 පෙබරවාරි මස 05 11 0

1977 නොවැම්බරයේ දී ආණ්ඩුව විසින් අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාව අහෝසි කිරීමත් සමග - රෝහණ විජේවීර හිරෙන් නිදහස් විය.


“නිදහස් සටන මුවහත් කළ කවි අසිපත් ”
2025 පෙබරවාරි මස 05 7 0

නව නිදහස් සටනක ආරම්භය මෙසේ පබැඳුමෙන් ලියවෙද්දී නව දේශපාලන පරිච්ඡේදයත් සමඟ නව රජයක්, නව පාලනයක් යටතේ 77 වන නිදහස් දිනය අති උත්කර්ෂවත් අන්දමින් පෙබරවාරි 0


නිදහස් සටනේ ගමන් මග
2025 පෙබරවාරි මස 05 8 0

1505 වර්ෂයේදී පෘතුගීසින්ටද, 1658 ලන්දේසි පාලනයට නතු වී සිටි ශ්‍රී ලංකාවට 1796 දී ඉංග්‍රීසින්ට ද යටත් රජ්‍යයක් බවට පත්වීමට සිදු විය.


ශ්‍රී ලංකාවේ පළමු නිර්පාර්ෂික ජනාධිපති
2025 පෙබරවාරි මස 05 15 0

ශ්‍රී මත් ඔලිවර් ගුණතිලකයන්ගෙන් පසුව මෙරට නව ආණ්ඩුකාර ධුරයට පත් ශ්‍රීමත් විලියම් ගොපල්ලව උතුමාණන්ගේ පදවි ප්‍රාප්ති උළෙල බුද්ධභාෂිත පාලි බසින් එදා ද


කණපිට හැරුණු ප්‍රතිපත්ති
2025 ජනවාරි මස 27 311 0

සෑම ආණ්ඩුවක්ම බලයට ආවේ ඡන්දදායකයන්ට අති විශාල පොරොන්දු ප්‍රමාණයක් ලබාදෙමිනි. ඡන්දදායකයන් කල්පනා කරන්නේ බලයට එන ආණ්ඩු රටේ ඒ වනවිටත් පවත්වාගෙන යන ක්‍ර


ඉදිරි ගමනෙහි මාවත කාර්ම්කරණයයි
2025 ජනවාරි මස 27 67 0

ජනාධිපති අනුර කුමාර දිසානායක දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ප්‍රතිඥා දුන්නේ තම පක්ෂයේ නායකත්වය යටතේ “2022-23 වැනි තත්ත්වයක් අපේ රටේ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site