IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


මම කීවේ මේ දැන් තියෙන කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා නොවෙයි

මහා මාර්ග රාජ්‍ය ඇමැති   
රන්ජන් රාමනායක

 

වරින්වර ආන්දෙ‌ා්ලනාත්මක ප්‍රකාශ කරමින් කරළියට පැමිණෙන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මෙසේ සාකච්ඡාවකට එක් වේ.   

 

හැමද‌ාම වගේ තවත් බෝම්බයක් ගැහුවනේ. කවුද කොකේන් ගහන්නේ කැබිනට් එකේ හැබෑට?   


මේක අමුතු බෝම්බයක් නෙවෙයි. රටේ තියෙන ආන්දෝලනාත්මක තත්ත්වයක් මේක. මේක සුළුවෙන් තකන්න බෑ. මේක කරළියට ආවේ මාකඳුරේ මධුෂ් ඩුබායිවලදී අත්අඩංගුවට පත්වීමත් සමග. යහපාලන ආණ්ඩුව ආවට පස්සේ අල්ලපු විශාලම කුඩු තොගය විනාශ කරපු අවස්ථාව අතරේ මාධ්‍ය මගෙන් යම් විමසීමක් කළා. මම එතකොට ප්‍රකාශ කළේ මේ සඳහා දේශපාලකයින්ගේ ආශිර්වාදය තියෙන බව.   


මම කියන කිසිම දෙයක් ඉල්ලා අස්කර ගන්නේ නෑ. මම කතා කරන්නේ සාක්ෂි ඇතුව. මම කියපු කතාව මාධ්‍ය සහ තවත් අය වරද්ද ගත්තා. මම කිව්වේ මේ දැන් තියෙන කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා නෙවෙයි. මම කිව්වෙ කැබිනට් ඇමැතිවරු, රාජ්‍ය ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, පළාත් සභා මන්ත්‍රීවරු මේවට සම්බන්ධයි කියලා. තමන්ගේ වාහනවල ගංජා ඇදලා මහ ඇමැතිවරු පවා අහුවුණා පහුගිය කාලේ. මධුෂ් හරහා බොහෝ තොරතුරු හෙළිදරවු වෙමින් පවතිනවා. මමත් ඒ නිසා තමයි මම දන්න තොරතුරු එළියට ද‌ාන්නේ.   


මගේ ප්‍රකාශවලට පදනමක් තියෙනවා. මම දැනටමත් වාචිකව කතානායකතුමාට මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඊට අමතරව විමර්ශන සඳහා අවශ්‍ය තැන්වලට මම දන්න තොරතුරු ලබා දෙනවා.   


ඔබේ කතාව අල්ලගෙන පොහොට්ටුවෙ උදවිය දැන් කියන්නේ කැබිනට් එකේ කොකේන් ගහන අය කවුද කියලා රන්ජන් දැන් රටට හෙළිකළ යුතුයි කියලා.   


ඇත්තටම මේ අතරේ වැඩියෙන්ම ඉන්නේ පොහොට්ටුවේ අය. මම වගකීමෙන් කියන්නේ. පොහොට්ටුවේ දැන් ඉන්න හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකුගේ නිවස මේ සම්බන්ධයට නාකොටින්  එකෙන් වටලපු වෙලාවෙ හිටපු ජනාධිපතිතුමා චොපර් එකෙන් දුවල ගිහින් තමයි ඒක බේර ගත්තේ. ඒක කවුරුත් දන්න දේවල්. සමහර ඇමැතිවරුන්ගෙ සහෝදරවරු, මේවට සම්බන්ධයි. දැනටත් හිරේ ඉන්න අධීක්ෂණ මන්ත්‍රීවරු මේ අතරේ ඉන්නවා. මේකට පොහොට්ටුවෙ විශාල පිරිසක් හවුල්. ඒ වගේම මේක එක පක්ෂයකට විතරක් එල්ලවෙන චෝදනාවක් නෙවෙයි. ගොඩක් පක්ෂවල අය සම්බන්ධයි. මට දැනට ලැබිල තියෙන ඔත්තුවලට අනුව ටී.එන්.ඒ. එ​ෙකයි ජේ.වී.පී. එ​ෙකයි අය විතරයි මේවට සම්බන්ධ නැත්තේ. සමහර සුළු පක්ෂවල නායකයොත් මේ ලැයිස්තුවෙ ඉන්නවා. සමහර වතුකරේ නායකයෝ මේවයි ඉහළින්ම ඉන්නවා. ඒ වගේම ඔය දේශප්‍රේමී කියාගෙන රටටම බණ කියන පක්ෂවල නායකයෝ ඒ පක්ෂවල දෙවෙනි පෙළේ අය මේවට සම්බන්ධයි කියන එක රහසක් නෙවෙයි. මේ අයගෙ හැසිරීම දිහා බැලුවම වුණත් මේක පැහැදිලි වෙනවා. මේ පාවිච්චි කරන ජාති අතරේ මත්කුඩු, ඉන්ජෙක්ෂන්, ස්ටිකර්, පෙති, දියර වර්ග, බ්‍රවුන් ෂුගර්, මර්ජුවානා, හෂීෂ්, කොකේන් වගේ ගොඩක් ජාති තියෙනවා. මම මේ ගැන කතානායකතුමාට දැනුම් දීලා තියෙන්නේ. එතුමත් කිව්වේ පහුගිය කාලේ පාර්ලිමේන්තුවෙ අයගෙ හැසිරීම දිහා බැලුවම ඒ සමහරු පියවි සිහියෙන් හිටියා කියලා හිතන්න බෑ කියලා.   


ඔබේ ඔය චෝදනාවට අහුවෙන යූඑන්පියේ අය කවුද?   


කාගෙත් නම් ගම් අවශ්‍ය වෙලාවට හෙළිදරවු වේවි. අඩු වැඩි වශයෙන් අපේ පක්ෂෙ අයගෙත් සම්බන්ධකම් තියෙනවා මේවට. මම මේක පක්ෂයක් ඉලක්ක කරගෙන කියපු දෙයක් නෙවෙයි. මම කියන්නේ කුඩු ලෝලීන්ට කලින් කුඩු ජාවාරම්කාරයො, කුඩු බිස්නස් කාරයෝ සුද්ද කරල ඉන්න ඕනැ කියන එකයි මගේ මතය. කොකේන් ලෝලීන් සාමාන්‍ය කුඩු ලෝලීන්ට වඩා වත්පොහොසත්ය. මොකද කොකේන් ස්වල්පයක් වුණත් මිල සාමාන්‍ය ආද‌ායමක් තියෙන අයට දරන්න පුළුවන් එකක් නෙවෙයි. දේශපාලකයෝ කුඩු බිස්නස් එකේ පහසුකම් සපයන්නාගේ භූමිකාවෙන් ඉවත්වෙන්න ඕනෑ කියන අදහසයි මම කියන්නේ. මේවට සම්බන්ධ ඇමැතිවරු ඇමැති පුත්තු තාමත් නිරුපද්‍රිතව ඉන්නවා. බය නිසා කවුරුත් කතා කරන්නේ නෑ මේව ගැන. මේවට වැඩිම ආශිර්වාදයක් තිබුණේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කාලේ. ඒ අයට ඒ කාලේ දේශපාලන රැකවරණයක් ඉහළින් ලැබුණා.   


ඔබ දන්නා තොරතුරු කතානායකවරයාට දුන්නා කිව්වා. එතන මේවට සම්බන්ධ අයගෙ නම් ගම් සහිතව සඳහන් වෙනවද?   


ඔව්. මම කතානායකතුමාටයි. තවත් අවශ්‍ය තැන්වලටයි අවශ්‍ය තොරතුරු නම් ගම් සහිතව දැනුම් දීලා තියෙන්නේ. දැන් පරීක්ෂණය කරන්න පුළුවන් මේ ඔස්සේ.   


මත්ද්‍රව්‍ය පිටුදකිනවා කියලා වැඩේට බැහැල ඉන්න ජනාධිපතිතුමාට මේ තොරතුරු ටික දුන්නේ නැද්ද?   


ඇත්තටම මේ ගැන ජනාධිපතිතුමා එක්ක කතා කරන්න අවශ්‍යයි. එතුමා යම්කිසි වැඩ කොටසක් කරනවා මේ පිළිබඳව.   


අගමැතිතුමා මොකද කිව්වේ ඔබේ මේ අනාවරණය ගැන. මීට කලින් කීප විටක්ම ඔබේ බ්‍රේක් නැති කට පරිස්සම් කරගන්න කියලා ඔහු අවවාද කරලත් තියෙනවා.   


තාම නම් මොකුත් කතාබහ කළේ නෑ.   


යූ.එන්.පී. එකේ අය දොස් කියනව ද ඔබට මේ කතාවට?   


හැමෝම වගේ මවිතව ඉන්නවා මේ හෙළිකිරීමත් එක්ක. කීප දෙනෙක් කතා කළා. මේ ගැන. ඒ අය ඇහුවෙ එයාලගෙ නම එහෙමත් ඔය ලිස්ට් එකේ තියෙනව ද කියලා. ඒ අය විමසුවෙ මම මේ දේවල් අනාවරණය කරන පදනම මොකක්ද කියලා. මම ඒ අයට පැහැදිලි කළා ඇයි මම මේ දේවල් හෙළි කරන්නේ කියල සහ කොහොමද මම ඒවා කරන්නේ කියලා. මොනවද මට ඒවට තියෙන සාක්ෂි කියලත් මම පැහැදිලි කළා. මම මේක කරන්නේ කවුරුවත් එක්ක පුද්ගලික ආරෝවකින් නෙවෙයි. අනාගත දරු පරපුර මේ උවදුරෙන් බේරගත යුතුයි.   


ඔබ දන්න මේ තොරතුරු රටේ ජනතාව දැනගන්නේ කවද්ද?   


ඒ ලිස්ට් එක හරියටම මම දෙන්නම් ඡන්දෙ කිට්ටුවෙද්දි. පරීක්ෂණ සිදුවෙන කාලය තුළ ඒ තොරතුරු සමාජගත වෙන්න ඕනැ නෑ. අවශ්‍ය මොහොතේ රට හමුවේ ඉදිරිපත් කරනවා. ඒ ගැන අවිශ්වාසයක් තියාගන්න එපා. දැන්ම ඒවා එළියට දැමීම පරීක්ෂණවලටත් බාධාවක්. මේ පිළිබඳ පරීක්ෂණ කරන පිරිස් මට ඒ පිළිබඳ අවවාද කරල තියෙනවා. ඩුබායි පොලිසිය මධුෂ්ව අල්ලා ගන්නකම් ඒ ගැන කිසිම දෙයක් රටට කිය කිය හිටියේ නෑ. ඒවා රහසිගතව කෙරෙන්නේ. අපිත් වෙලාව ආවම සියල්ල හෙළිකරන්නම්.   


පහුගිය මහ ඡන්දෙට කලින් අපි යම් යම් පුද්ගලයින්ට විරුද්ධව මේ සම්බන්ධව කරුණු කිව්වම ඔවුන්ට ඡන්දෙට නාම යෝජනා නොදෙන්න ඒ පක්ෂ නායකවරු පියවර ගත්තා. ඒක ජයග්‍රාහී තත්ත්වයක්. එහෙම නාම යෝජනා අහිමි වුණු අය අතර සජින් වාස් ගුණවර්ධන, සරණ ගුණවර්ධන, දුමින්ද දිසානායක, මර්වින් සිල්වා වගේ ප්‍රබල දේශපාලකයන් හිටියා. ඒක නිසා අපි ජනතාවට කියනවා මේ වගේ දේවල්වලට සම්බන්ධ අය ඊළඟ පාර්ලිමේන්තුවට එවන්න එපා.   


ඔබ කිව්වා මේ නම් ඡන්දෙ කිට්ටු කරලා හෙළිදරවු කරන්නම් කියලා. ඡන්ද ගුණ්ඩුවක් විදිහට ඒකත් පාවිච්චි කරන්න හදන්නේ?   


කිසිසේත්ම නෑ. මම මේ දේවල් ඡන්ද කාලෙ කිට්ටු කරලා කියන්නම් කිව්වේ පටු වාසියක් බලාගෙන නෙවෙයි. එතකොට ඡන්දද‌ායකයින්ට පුළුවන් මේ අය පාර්ලිමේන්තු එන එක වළක්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණාම ලැබෙන වරප්‍රසාදවලට මුවාවෙලා බොහෝ දෙනෙක් දුරාචාර වැඩ කරනවා. ඒක නතර විය යුතුයි. ඡන්ද ද‌ායකයින්ටත් කලිනුත් පක්ෂ නායකවරුන්ට වගකීමක් තියෙනවා තමන්ගේ පක්ෂෙන් මේ අයට නාමයෝජනා නොදීමට. ඒ වගේම ජනතාවත් අවශ්‍ය මොහොතේ මේවා ගැන දැනුවත්ව සිටිය යුතුයි. ඒකෙන් කිසියම් දුරකට මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන්. මම දැනටමත් දීපු ඉඟිවලින් මේ ලැයිස්තුවෙ ඉන්න අය කවුද කින්ද මන්ද කියලා තේරුම් ගන්න පුළුවන්. දන්න අය දන්නවා.   


මධුෂ් අත්අඩංගුවට ගැනීමේ අයිතියට අපේ රටේ දේශපාලකයො පොරකනවා දැන්..... 

 
ඔව්. ඕක ඉතිං සාමාන්‍ය තත්ත්වයක්නේ. ජයග්‍රහණයට පියවරු දහසයි, පරාජය අවජාතකයි කියලනේ කියන්නේ. වෙන කාටවත් වැඩිය මේකෙ පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෑ ලතීෆ් මහත්තයට. එයා තමයි මේ සැලසුමේ ප්‍රධානියා. ඔහුට සේවා දිගුවක් ජනාධිපතිතුමා ලබා දුන්නා. ඒකත් ඉතාම කාලෝචිත වැඩක්. ලතීෆ් මහත්තයා විශ්‍රාම ගියා කියල තමයි මධුෂ්ල පාටියක් ද‌ාලා තිබුණෙත්. අගමැතිතුමා වගේම හිටපු නීතිය හා සාමය ඇමැති සාගල රත්නායක, රන්ජිත් මද්දුම බණ්ඩාර යන අයත් මේ ගැන සැලකිල්ලෙන් ඉඳපු අය. මේක එක රැයකින් සාර්ථක කරගත්තු මෙහෙයුමක් නෙවෙයි. මධුෂ්ගෙ ක්‍රියාකාරකම් අල්ලන්න ගිහින් මියගිය, තුවාල ලැබූ ආරක්ෂක අංශවල පිරිස් ඉන්නවා. ඒ අය පවා මේකෙදි අමතක නොකළ යුතුයි. මට නම් කිසිම දෙයක් ඕනෑ නෑ. අවදානමක් අරගෙන මම බොහෝ දේවල් අනාවරණය කරනවා. ඉදිරියටත් ඒක කරනවා. ඒ කරන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන්.   


කවුද අර ඔබ කියල තිබුණෙ මධුෂ්ගෙ සල්ලිවලින් චිත්‍රපටි කරපු, චිත්‍රපටි හෝල් අයිතිකර ගත්තු අය?   


ඒ ගැනත් වැරදි අදහසක් එළියට ගියේ. මම මුලින්ම අනාවරණය කළේ මුජා කියන පුද්ගලයා ගැන. ශ්‍යාම් මොහොමඩ් සහ ඔහුගේ බිරිඳ මේ විදියට විශාල කුඩු තොගයක් එක්ක අහුවුණා. ඔහු තමයි ඔය සෙල්වම්, පරාවර්තන වගේ චිත්‍රපටිවලට මුදල් වියදම් කරල තිබුණේ. මේ චිත්‍රපටිවලට ඒ කාලේ ආණ්ඩුවලත් සහයෝගය ලැබුණා. මහා කුඩු ජාවාරම්කාරයොත් ගැන එවකට ආරක්ෂක ප්‍රධානීන් නොදැන ඉන්න විදියක් නෑ. මේ චිත්‍රපටියේ මංගල දර්ශනයට හිටපු ආරක්ෂක ලේකම්තුමත් සහභාගිවෙලා තිබුණා. ඒ අය මේ චිත්‍රපටි හදපු අය ගැන නොදැන හිටිය ද අපි දන්නේ නෑ. කුඩු බිස්නස් කරන අය එක්ක අපේ සමහර කලාකරුවෝ සෘජු සම්බන්ධකම් පවත්වනවා. සමහරු චිත්‍රපටි පවා ගැහුවා ඩුබායිවල ගිහින්. සමහරු ඩුබායි ගිහින් හදන චිත්‍රපටි ගැන මට තොරතුරු ලැබිල තියෙනවා. මේ අය මනි ලොන්ඩරින් යටතේ චිත්‍රපටි විශාල මිලදී ගැනීම් කළා. කටයුතුවලට අනුග්‍රහය දැන්වීම් වගේ දේවල් පවා කරනවා. මේවා ගැන පුළුල් පරීක්ෂණ පවත්වල තීන්දු ගත යුතුයි.  


දැන් තරගෙට වගේ දේශපාලකයෝ මධුෂ් එක්ක තමන්ට සම්බන්ධකම් නෑ කියලා පෙන්නන්න මාධ්‍ය සාකච්ඡා තියනවා.  


තවත් අය මධුෂ්ගෙ ක්‍රියාකාරකම් තනුක කරනවා. ඇත්තටම මධුෂ් එක්ක සම්බන්ධ අය ඉදිරියේදීත් මධුෂ් රකීවි. එහෙම වුණොත් මොකද වෙන්නේ?  


පැහැදිලිවම එහෙම වෙයි. මධුෂ් එක්ක ගනුදෙනු කරපු අය දැන් රත්වෙලා. ඒ අය විසින් කතා කියනවා. ඉදිරියේදීත් මධුෂ් රකින්න මේ අය ඉදිරිපත් නොවෙයි කියල අපිට කියන්න බෑ. ඒ ප්‍රයන්තය අපි වළක්වාලිය යුතුයි.  


ඔබ වීරයෙක් වගේ මේ දේවල් අනාවරණය කරන අතරෙම කැරොකෙ, පාටිවලටත් යනවා.  


මට ආරාධනා කරන ඕනෑ තැනකට මම යනවා. කලාකාරයෙක් වශයෙන් මම එහෙම කරනවා. ඔය වගේ පාටිවලට ගියාම විවිධ අය මාත් එක්ක ඡායාරූපත් ගන්නවා. මට ළඟදී ලතීෆ් මහත්තයා කතා කරලා කැරො​ෙක කරන කෙනෙක් සිංගප්පූරු ගිහින් තියෙනවා කිව්වම මම කිව්වා මම චෙක් කරල බලල කියන්නම් කියලා. මම උපායදූතයෙක් විදියටත් මේ දේවල් ගැන විමර්ශකයෙක් විදියටත් අවදියෙන් ඉන්නව කියලා. හැබැයි මම ඔය කාගෙවත් බිස්නස්වලට හවුල් නෑ. 


ඔබ කොකේන් ගහන මන්ත්‍රීවරුන් ගැන කතානායකතුමාට ලිඛිතව තොරතුරු දුන්නා කියපු එක කතානායකතුමා ප්‍රතික්ෂේප කළා නේද?  


නෑ මම කිව්වේ වාචිකව දුරකතනයෙන් මේ ගැන කතානායකතුමාට දැනුම් දුන්නා කියලා. ලිඛිතව දුන්නෙ නෑ. ලිඛිතව ඒ දේවල් බාරගන්න එතුමගෙ පොඩි අකමැත්තකුත් තිබුණා. මොකද එතුමා වෛද්‍යවරයෙක්වත් මේ ගැන පරීක්‍ෂණ කරන සී.අයි.ඩී. ඔෆිසර් කෙනෙක්වත් නෙවෙයිනේ. එතුමට මේ ගැන පරීක්‍ෂණ කරන්න බලයකුත් නෑනේ.  

 

 

 

ප්‍රියන්ත කොඩිප්පිලි   

 

 



අදහස් (0)

මම කීවේ මේ දැන් තියෙන කැබිනට් එකේ ඇමැතිවරු කොකේන් ගහනවා කියලා නොවෙයි

ඔබේ අදහස් එවන්න

 

දේශපාලන

වී අලෙවි මණ්ඩලය ගොඩගත හැකිද?
2025 මාර්තු මස 10 22 0

මෙරට සහල් සහ පොල් ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් ලෙස මතු වන්නේ එම ද්‍රව්‍ය දෙකම හිඟ වූ විටය. සහල් හිඟය හේතුවෙන් වත්මන් රජයට විවිධ අපවාද එල්ල වූ අතර, ජනාධිපති


මැති ඇමති ආරක්ෂාව
2025 මාර්තු මස 10 42 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විවිධ ජනහමු අතරතුර ජනතාව අතරට යාම ඔහුගේ ආරක්ෂාවට තර්ජනයක් බවට බුද්ධි අංශ හඳුනාගෙන ඇතැයි මේ වනවිට පුවත් පළ වී තිබේ. ඒ


රට තවම අයි.එම්.එෆ් මාර්ගයේ අතරමැද
2025 මාර්තු මස 10 20 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය අරමුදල් පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කෙරුණු අතර ඒ අනුව ශ්‍රී ලංකාවට තවත් ඩොලර් මිලියන 334 ක මුදලක


විදෙස් ආධාර නැත ඉල්ලන්නත් එපා අමෙරිකානු කසකාරයා පසුපස බ්‍රිතාන්‍යය හා යුරෝපයත්
2025 මාර්තු මස 03 502 0

ආධාර ලැබෙන තෙක් පොහොසත් රටවල් දෙස බලා සිටි යුගය අවසන් වේද? ධනවත් රටවල සේප්පු අගුළු වැටෙමින් පවතීද? දැනට අමෙරිකාව නිවේදනය කර ඇති විදෙස් ආධාර අත්හිටුවීම


ජාතික ආරක්ෂාව යනු කුමක්ද?
2025 මාර්තු මස 03 109 0

රට තුළ පසුගිය මාස කීපය තුළදී සිදුවූ මනුෂ්‍ය ඝාතන සිදුවීම් වැල, රටේ ජාතික ආරක්ෂාවක් පවතින්නේ ද යන්න පිළිබඳව කතිකාවක් නිර්මාණය කළේය. පසුගිය මාස දෙකක කාල


මාලිමා ආණ්ඩුවත් අසමත්ද?
2025 මාර්තු මස 03 271 0

ආණ්ඩුව පත්වී මාස පහක් ගෙවී යද්දී ගෙන ආ අයවැය ආණ්ඩුවේ ගමන්මග හා ප්‍රතිපත්ති ගැන යළිත් කතිකාවක් ආරම්භ කරන්නට හේතුවක් වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 259 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 201 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site