21 වැනි සියවසේ අගනාම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ මුත්තයියා මුරලිදරන් සමග පිළිසඳරක්
ක්‍රිකට් ක්‍රීඩාවේ අත්පොත මෙන් බඳුවූ ලෝප්‍රකට විස්ඩන් සඟරාව 21 වැනි සියවසේ, වඩාත් වටිනාම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස, මුත්තයියා මුරලිදරන් නම් කර තිබේ. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලාභියා ලෙස, ලෝක වාර්තාවට හිමිකම් කියනු ලබන්නේ, මුත්තයියා මුරලිදරන්ය. මෙලෙසින් සියවසේ වඩාත් අගනා වටිනා ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මුරලි, සඳහන් වීම පුද්ගලිකව ඔහු ලැබූ ජයග්‍රහණයකටත් වඩා ශ්‍රී ලංකාව මෙන්ම, ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝක සිතියම මත සනිටුහන් සුවිශේෂි සලකුණකි. මේ මොහොතේ ලෝක පූජිත, මුත්තයියා මුරලිදරන් ඉරිදා ලංකාදීපයට විශේෂිතව ලබාදුන් පිළිසඳරකි මේ.
‘සියවසේ අගනාම ක්‍රිකට් ක්‍රීඩකයා’ මුරලි එසේ නම් වීම ගැන, මේ මොහොතේ ඔබට දැනෙන හැඟීම් මොන වගේද?
මේ පුවත අපේ රටේ ආදරණීය ජනතාවට ලොකු දෙයක් ලෙස දැනේවි. ඒත් මම ඒ ගැන හිතන්නෙ බොහොම සාමාන්‍ය විදියටයි. මොකද කිව්වොත් මම එදා ක්‍රිකට් ගැහුවෙ රට දිනවන්නයි. මම මා වෙනුවෙන් නෙවෙයි ක්‍රිකට් ගැහුවෙ. නිතරම තරග වලට ගිහාම රට දිනවන්නෙ කොහොමද කියන එක ගැනයි හිතුවෙ. ඕනෑම ක්‍රීඩකයෙක්, බොහෝ විට හිතන්නේ ඒ විදිහටයි. මේ මොහොතේ මට සතුටක් තියෙනවා. ඒත් මට ඒ නිසා අනවශ්‍ය විදිහට, ඒක ඇඟට ගන්න අවශ්‍ය නැහැ. මට මේක පෙනෙන්නෙ ඉතාම සුළු දෙයක් විදිහටයි.
ඔබ එහෙම කිව්වට රටේ ජනතාව මේ පුවත ගැන අහලා ලොකු සතුටක් ලබන්නෙ කිව්වොත්? ජනපතිතුමා සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට සුබපතලා තිබුණා, එහෙම නේද?
බොහෝ විට මම සමාජජාලා පරිහරණයේදී, ඒවා තුළ ඇලී ගැලී සිටින කෙනෙක් නෙවෙයි. එහෙම සුබපතලා තිබෙනව නම්, මම එතුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ විදිහට සියවසේ ක්‍රීඩකයා වුණාය කියලා, මම අමුතුවෙන් ශාරීරිකව විශාල වෙලා නැහැනෙ. ඒ වගේම මම වෙනස් වෙලත් නැහැනෙ. මගේ ජීවිතය හරි සරලයි. රසම් එක්ක බත් කාලා තෘප්තිමත් වෙන්න මට පුළුවනි. ඒ හැර ලොකුම හෝටලයකට ගිහින් කෑමක් කන්න, ලෝකයේ තියෙන සුඛෝපභෝගී හොඳම වාහනය මේ මොහොතේ මම ගන්න ඕනෑය කියන හැඟීම් මට නැහැ. එදා මට ආසාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩා කරන්නයි. ඒ නිසා ඒ වෙනුවෙන් කැපවෙලා ඉතාම ආසාවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළා. ක්‍රිකට් වලින් සමුගත්තට පස්සෙ මගේ ආසාව වුණේ, අලුත් අලුත් නිර්මාණාත්මක දේ සහ රටට ඵලදායි විදිහෙ කර්මාන්තයක නියැලෙන්නයි. ඒ හැර අනෙකුත් භෞතික සම්පත් ගැන, ජීවන රටාවේ සුඛෝපභෝගී බව ගැන විශේෂයෙන් හිතුවෙ නැහැ. උදේට පානුයි පරිප්පුයි කෑවා කියලා මම ඒක ප්‍රශ්නයක් කරගත්තෙ නැහැ. මමත් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක්.
මේ ලෝක පූජිත ක්‍රීඩකයා, අදටත් ඒ විදිහටම සරලද? පානුයි පරිප්පුයි උදේ ආහාරයට ගන්නවද?
මට මගේ ගැන ලොකුවට අතිශයෝක්තියෙන් කියන්න ඕනෑ නැහැ. මගේ විදිහ ගැනයි මම කිව්වෙ. විශ්වාස කරන්න, වසර දහයකට දොළහකට විතර පෙරදි ඇඳපු පැරණි ටීෂර්ට් එහෙම මම තවම අඳිනවා. ලෝප්‍රකට වෙළෙඳ නාම යටතේ නිෂ්පාදනය කෙරෙන බ්‍රෑන්ඩ් පස්සෙ දුවන්න මට ඕනෑ නැහැ. ඒත් මා වටා සිටින සමහරු නම් වෙලාවකට මගෙන් ඒ ඇයි කියලත් අහනවා.
ඇත්තටම ඇයි ඒ?
නිතරම ජීවිතය පහසුවෙන් ගත කරන්න මම ආසයි. සරලවෙන තරමට ඒ සැහැල්ලුව දැනෙනවා. සෙරෙප්පු දෙකක් දාගෙන කලිසම ටීෂර්ට් එක ඇඳගෙන යන්න ආසයි. අත්‍යවශ්‍යම නම් විතරයි සපත්තු දාන්නෙ. ඒ හැර මම තමයි ලෝක පූජිත ක්‍රීඩකයා, ඒ නිසා මම ලෝකයේ හොඳම සපත්තු පලඳින්න ඕනෑ, ඔරලෝසුව දාන්න ඕනෑ, කලිසම අඳින්න ඕනෑ, එහෙම නොකළොත් මිනිස්සු මා දිහා බලාවිද, කියන ප්‍රශ්න මට නැහැ. මිනිස්සු බලන විදිහ හිතන විදිහ මට වෙනස් කරන්නත් බැහැනෙ. මිනිස්සු බලන්න ඕනෑ, මගේ බාහිර පෙනුම යාන වාහන, සම්පත් ගැන නෙවෙයි. මගේ හදවත එයාලට දැනෙන්න ඕනෑ. මේ විදිහට සරල නොවුවා නම්, මිනිස්සු මගේ හදවත දකින එකක් නැහැ.
ඔබගේ, මේ සරල දිවි පෙවෙතට ඔබගෙ නෝනා, නැත්නම් බිරිඳ මොනවද කියන්නෙ?
‘මම හිතන්නෙ, නෝනා සහ ළමයිනුත්, මගේ මේ ක්‍රමයට පුරුදු වෙලා.
ජනාධිපතිතුමා මේ මොහොතේ ඔබට පුද්ගලිකව කතා කරලා සුබ පතන්න ඇති?
මේ වගේ දේ වෙනුවෙන් කතා කරලා, කාලය වැය කරනවා වෙනුවට එතුමාට කරන්න තව කොච්චර නම් වැඩ රාජකාරි තියෙනවද? ඒ හැරත් මේ කොරෝනා වසංගතය මැඩලන්න එතුමා කරපු කාර්යභාරය, මොන තරම් විශිෂ්ඨද? එතුමා මා දකින්නෙ මේ රට බේරාගත්ත දෙවියෙක් විදියටයි. ඒ වගේ මම දේවත්වයෙන් සලකන එතුමා සමාජ මාධ්‍ය ඔස්සේ හෝ මා ගැන සඳහන් කරලා, සුබපැතීම මට මහා විශාල දෙයක්. එතුමා ප්‍රමුඛ වෛද්‍ය ක්ෂේත්‍ර්‍රය, ත්‍රිවිධ හමුදාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රාජ්‍ය නිලධාරීන් සියලුදෙනා මේ රටෙන් කොරෝනා තුරන් කරන්න කළේ සුවිශේෂී කාර්යභාරයක්. දැන් වගකීම තියෙන්නෙ රටේ ජනතාවටයි. අපි මේ සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන්, අනෙකුත් නීතිරීති සියල්ල හරියට පිළිපැදීම කළ යුතුයි. ජනපතිතුමා ප්‍රමුඛ ඒ පිරිවර හදලා දුන්න ආරක්ෂිත පරිසරය අපි හැමෝම ආරක්ෂා කරගන්න ඕනෑ. අපේ රටේ 95% ක් විතර ජනතාව ඉතා හොඳින් හැසිරුණා. මේ ජනපතිතුමා හිටපු නිසා, එක් එක් පැති අරගෙන, රට පැත්තකට ඇදලා දැම්මෙ නැහැ. කොරෝනා වසංගතය පැතිරි ගිය මේ සමයේ මේ ජනපතිතුමා නොහිටියේ නම් අපි ඉවරයි. තීන්දු තීරණ සෘජුව ගන්න පුළුවන් හොඳ කොන්ද පණ තියෙන නායකයෙක්.
විවාහවූදා...
එදා ඔබ සමග ක්‍රීඩා කළ බොහෝ සමකාලීන ක්‍රීඩකයින්, මේ මොහොතේ ඔබට කතා කරන්න ඇති?
සමකාලීන මගේ ක්‍රිකට් මිතුරන් වගේම, එදා රට නියෝජනය කළ සිදත් වෙත්තමුණි, ඇතුළු ප්‍රවීණයින් වගේම සනත්, වාස්, අරවින්ද ඇතුළු ඔක්කෝමලා වගේ මට කතා කළා. මගේ කළමනාකාර කුෂිල් ගුණසේකර, මගේ ළඟම හිතවතුන්, ඥාතීන් එහෙමත් කතා කළා. මේක ලොකු ඇගයීමක් තමයි. රටට ලොකු කීර්තියක් තමයි, ඒත් මුලින් කිව්වා වගේ මේ සම්මානය එක්ක, අගැයීම එක්ක මම වෙනදාට වඩා ලොකු වෙන්නෙ නැහැනෙ. ගසක් ඉහළට යන තරමට අතු බිමට නැමෙනවා වගේ, අපි ඕනෑම කෙනෙක් ජීවිතේ ජයග්‍රහණ ලබන තරමට, ප්‍රසංසා ගෞරව ලබන තරමට, රටට කීර්තිය ගෙනෙන තරමට, වඩාත් නිහතමානී වෙන්නට ඕනෑ. මේ ලැබුණු සුවිශේෂ ඇගයීම සහ ඒ වෙනුවෙන් ඔබ සියලුදෙනා මට දක්වන ගෞරවය ගැන මම අගයනවා, නිහතමානීව බාරගන්නවා. හැබැයි මතකතියාගන්න මේ සියලු ගෞරව අයිති මගේ රටටයි. මම ක්‍රීඩා කළේ පදාර්ථයෙන්ම මේ රටට.
පසුගිය කාලයේ ආරංචි පැතිර ගියා, ඔබ දේශපාලනයට එනවා කියලා? ඇත්තම කියන්න, ඡන්දෙ ඉල්ලන්න ආරාධනා ලැබුණා නේද?
ඇත්තම කිව්වොත්, ආරාධනා ලැබුණෙ නැහැ. ඒත් පසුගිය කාලයේදී යහපත් දේශයක් උදෙසා මගෙන් ලොකු කාර්යභාරයක් වුණාය කියලා හිතනවා. වියත්මගට මම ගියේ ඒක අපට වාසනාවක් සම්පතක් කියලා විශ්වාස කළ නිසයි. රට වෙනුවෙන් ඒ විදියට පුංචි ප්‍රවේශයක් හෝ ලබාදීමට හැකිවීම ගැන අද මම ලබන්නෙ ලොකු සතුටක්. මේ ජනපතිතුමා වගේ දැනිච්ච පුද්ගලයෙක් මීට පෙර මම දැකලා නැහැ. එතුමා ආරක්ෂක ලේකම්ව සිටියදී, කොළඹ කොච්චර ලස්සන කළාද? ඒ වගේ දේ මගේ හිතට වැදිලා තිබුණෙ. මේ රට ලොකු සම්පත් තියෙන රටක් කියලා එතුමා හෙට දවසේ ලෝකයට පෙන්නාවි. ඇත්තටම, එදා වියත්මගට එක්වී එතුමාට සහයෝගය දැක්වීම ගැන අද මම හරියට සතුටු වෙනවා. මේ විදිහට වැඩ කරන්න පුළුවන් නායකයෙක් පෙනෙනතෙක් මානයක හිටියෙ නැහැ. ටිකක් හරි ඒ විදිහට හිටියෙ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විතරයි.
ඔබ වගේ කෙනෙක් දේශපාලනයට ආවා නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
බොහෝදෙනෙක් මගෙනුත් ඒ ගැන විමසුවා. ඒත් මම වගේම අපේ ජනපතිතුමාත් ඒකට කැමති නැති බව මම දන්නවා. අනෙක රටට සේවයක් කරන්න ක්‍රියාකාරී දේශපාලනයම කරන්න ඕනෑ නැහැනෙ. මගේ මල්ලි ප්‍රභූ මුත්තයියා ඡන්දෙ ඉල්ලනවා. එයා සමග එක්වෙලා ලොකු කාර්යබාරයක් රටට කරන්න පුළුවන් වේවි කියලා මම හිතනවා.
ඔහු දේශපාලනයට ගැළපෙනවා කියලා ඔබ විශ්වාස කරනවද?
අපි කවුරුවත් ඕනෑම ක්ෂේත්‍රයකට එන්නෙ කලින් පුරුදු වෙලා නෙවෙයිනෙ. එයා දක්ෂයි. එයා ජයග්‍රහණය කළොත් අත්දැකීම් එක්ක හොඳ දේශපාලනඥයෙක් වේවි.
දේශපාලනය කියන දේ ඔබට දැනෙන්නෙ කොහොමද?
සෑම කෙනෙකුටම තමුන් දරන දේශපාලන මතයක් තියෙනවා. තමුන් කැමති දේශපාලනයක් තියෙනවා. තමුන් කැමති පුද්ගලයකු තෝරාගන්න බලනවනෙ. මේක දැන් මිනිසුන්ට බද්ධ වෙලා. එක අතකට තමුන් කැමති විදිහට දේශපාලනය ගැන හිතන එකත් දේශපාලනයක් තමයි.
මුරලි කවුද මේ? ඔබට ඔබ ගැන දැනෙන්නෙ කොහොමද?
හරිම සරල කෙනෙක්. රටට ආදරය කරන කෙනෙක්. රට දියුණු වෙනවට කැමති කෙනෙක්.
මුරලි අපි අහලා තියෙන විදිහට ඔබ හොඳ තාත්තා කෙනෙක්, හොඳ සැමියෙක්. එහෙව් වූ ඔබ පවුලේ අය එක්ක විවේකය ගත කරන්නෙ කොහොමද?
විවේකයක් ලැබුණාම බිරිඳගෙ අම්මගෙ ගෙදර යනවා. එයාලා ඉන්නෙ ඉන්දියාවෙ. ඒක මගෙ යුතුකමක්නෙ. ඔබ කිව්ව විදියට හොඳ තාත්තා කෙනෙක්, හොඳ සැමියෙක් වෙන්න උත්සාහ ගන්න කෙනෙක් මම.
පිළිසඳර
සඳුන් ගමගේ
ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.
කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.
ශ්රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ
“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”
මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.
පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
අවුරුදු දොළහකට කලින් අැඳපු ටීෂර්ට් තාමත් අඳිනවා