IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඇන්තිකීතර යාන්ත්‍රණයේ අබිරහස සොයා කිමිදෙයි

මීට වසර 2100කට පෙර නිර්මාණය කළ විස්මිත නිර්මාණයක්, මීට වසර 100කට පෙර, 1900 වසරේදී සොයා ගැණින. මේ නිර්මාණය කුමක්දැයි පැහැදිලි කර ගැනුනේ ඊට වසර ගණනාවකට පසු 2005 වසරේදීය. කෙසේ නමුත් මේ අපූරු නිර්මාණය තවමත් අබිරහසකි. මේ වනවිට මෙම අබිරහස විසඳීමේත්, තවත් අබිරහස් සෙවීමේත් අරමුණ ඇතිව, මූදු පතුළේ ගවේෂණයක් සිදුවෙමින් පවතී. ඒ සඳහා යොද​ා ගැනෙන්නේ විස්මිත කිමිදුම් ඇඳුමකි. 

මිනිසා තාක්ෂණයෙන් දියුණුවට පත් වීමට පෙර, පරිගණකයක් ගැන සිහිනෙකින්වත් නොසිතූ යුගයක පරිගණකයක් නිපදවා තිබුණේ යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නේද? කලින් සඳහන් කළ විස්මිත නිර්මාණය එයයි. එය හැඳින්වෙන්නේ ‘ඇන්තිකීතර යාන්ත‍්‍රණය’ (Antikythera Mechanism) කියාය. ඇන්තිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටි කුඩා දූපතකි. 1900 වසරේ දී, ග්‍රීසියේ ගල්මල් කඩන්නන්ට මේ දූපත අසල මුහුද සුවිශේෂී තැනක් විය. ඔවුන් ගල්මල් කැඩීමට මෙම මුහුදු සීමාව තෝරා ගත් අතර, අධික ගැඹුරින් යුක්ත වූ හෙයින් පතුළට කිමිදීම අසීරු විය. එක් දිනක්, ගල් මල් කැඩීමට ගිය කිමිදුම්කරුවන් පිරිසකට මූදු පතුළේ ගිලී ගිය නැවක සුන්බුන් දකින්න ලැබුණි. කිමිදීමේ කටයුතු ගැන තාක්ෂණයක් හෝ දැනුමක් නොතිබුණු යුගයක වුවත් කිමිදුම්කරුවෝ එක් වී ඔවුන්ට ළඟා වීමට හැකි වුණු නැව් කොටසේ තිබී කුඩා ප‍්‍රමාණයේ ලී පෙට්ටියක් සොයා ගත්හ. 


ග්‍රීක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබී හමුවූයේ ක්‍රිස්තු පූර්ව 70 තරම් ඈත අතීතයට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබුණි. ඒ, වසර ගණනාවකට පසුවය. නැවේ කෞතුක භාණ්ඩ අතර තිබී හමුවුණු ලී පෙට්ටිය ගල්මල් කඩන්නන්ට කිසිදු වටිනාකමකින් යුතු වස්තුවක් නොවිණි. ඔවුන් උනන්දුවක් දැක්වූයේ නැවේ තිබී හමුවුණු සෙසු කෞතුක භාණ්ඩ කෙරෙහිය. ඉපැරණි ලී පෙට්ටිය ගැන උනන්දුවක් දැක්වූයේ එය දුටු විද්‍යාඥයෝය. ලී පෙට්ටිය තුළ බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් ඔවුන්ට දකින්න ලැබිණි. ඊට කොටස්වල කැඩී බිඳී ගිය ලෝකඩවලින් තැනුණු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණි. එය දුටු ග්‍රීක විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුව ද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ ගැන තේරුම් බේරුම් කර දීමට එවකට විද්‍යාව දියුණු නොවිණි. ඒ නිසා එවකට සිටි ග්‍රීක විද්‍යාඥයෝ ඉතා නුවණැති තීරණයක් ගත්හ. ඔවුහු ලී පෙට්ටිය එලෙසින්ම ග්‍රීක කෞතුකාගාරයක තැන්පත් කළහ. කෙසේ නමුත් මෙය කාලයත් සමඟ කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලුවේ නැත. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබිණ. එය විකේතණය කිරීම (රහස් සංකේත තේරුම් බේරුම් කර ගැනීම) පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් කරන්න නොහැකි විය. 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන ලී පෙට්ටිය සහ ඒ තුළ වූ විශ්මිත නිර්මාණයේ සැඟවුණු රහස් මතු කර ගන්නට මග පෑදුණේ වසර ගණනාවකට පසුවය. එය ‘ඇන්තිකීතර යාන්ත‍්‍රණය’ යනුවෙන් නම් කළේ ද 21 වැනි සියවසින් පසුවය. 


විද්‍යාඥයෝ ‘ඇන්තිකීතර යාන්ත‍්‍රණය’ එක්තරා ආකාරයක යාන්ත්‍රික රොසැටා පුවරුවක් (Rosetta Stone) ලෙස හඳුන්වා දුන්නේ ඉන්පසුවය. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලුත්ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ‘ඇන්තිකීතර යාන්ත‍්‍රණය’ යම්තාක් දුරකට තේරුම් ගැනීමට හැකියාව ලැබුණි. 


දසක කීපයකට පසුව, මේ කැඩී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් ද පළ කළේය. එහි නම, ‘ග්‍රීකයන්ගේ ගියර: ඇන්තිකීතර යාන්ත‍්‍රණය, ක්‍රි.පූ. 80 දී භාවිත කළ පරිගණක දින දසුනක්’ (Gears from the Greeeks: The Antikythera Mechanism, a Calendar Computer from ac. 80 BC) වී තිබුණි. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කළේය. 


මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් (Analog Computer) ලෙස හැඳින් වූයේය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ග්‍රීසියේ පැවැති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලි වී තිබේ. 
1990 ගණන්වල ලන්ඩනයේ විද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලුතින් ගත් එක්ස් රේ පිටපතක් අධ්‍යයනය කළේය. ඕස්ට්‍රේලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහාය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණි. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළා. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවය. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ග්‍රීක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුව ද එය බැබිලෝනියානු ආභාසයෙන් ග්‍රීකයන්ට ලැබී තිබුණි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුව ද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලු සහගත තැන් රැසක් ම තිබුණි. 

 

 

2005 ආරම්භයේ දී එංගලන්ත හා ග්‍රීක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලුතින් අධ්‍යයනයක් ආරම්භ කළා. ඒ පර් යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්තිකීතර යාන්ත‍්‍රණ පර් යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඩ්මන්ඩ් හා ටෝනි ෆ්‍රීත් සමඟ ග්‍රීක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙයි. මේ පිරිස මේ උපකරණයේ කොටස් ත්‍රිමාණ එක්ස් රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබාගත හැකි මෙවලම් යොදා ගත්තේය. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනීම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළේය. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක් ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල් තියා අනාවැකි පළ කළ හැකි බවය. 


වසර සිය ගණනක පෙර සොයා ගත් නූතන මිනිසා මවිත කළ, නූතන විද්‍යාවට අභියෝගයක් වුණු ඇන්තිකීතර යාන්ත‍්‍රණයේ සුලමුල සොයා නව ගවේෂණයක් මේ වනවිට ආරම්භ වී ඇත. ඇන්තිකීතර දූපත අසල මුහුදු පතුළ සෝදිසි කරමින්, ඇන්තිකීතර යාන්ත‍්‍රණය හමුවුණු නැවේ සුන්බුන්වල සෑම අස්සක් මුල්ලක්ම පරීක්ෂා කිරීම මෙම නව ගවේෂණයේ අරමුණ වී ඇත. ඒ සඳහා අතිනවීන කිමිදුම් තාක්ෂණය භාවිත කිරීමට පුරාවිද්‍යාඥයන් සහ කිමිදුම්කරුවෝ සූදානම් වෙති. මෙම නව ගවේෂණයට ග්‍රීක සහ ඇමෙරිකන් පුරාවිද්‍යාඥයෝ එක් වී සිටිති. ඇන්තිකීතර යාන්ත‍්‍රණය හා සමාන තවත් විශ්මිත යාන්ත‍්‍රණ සොයා ගැනීම ද මෙම ගවේෂණයේ අරමුණක් වී ඇත. 
1900 දශකයේදී ගල්මල් කැඩීමට ගිය කිමිදුම්කරුවන් පමණක් නොව, ඉන්පසු ගවේෂණ කටයුතුවල යෙදුණු කිමිදුම්කරුවන් පවා නොගිය ගැඹුරකට ගොස් ගවේෂණ කටයුතු කරමින් මූදු පතුළේ රහස් සොයන්න මෙම පිරිස සූදානම් වෙති. ඒ සඳහා නිර්මාණය කළ ‘එක්සෝ සූට්’ නමැති කිමිදුම් ඇඳුම් කට්ටලය සුවිශේෂී එකකි. වැඩි ගැඹුරකට යෑමටත්, ගැඹුරේ පීඩනයට ඔරොත්තු දෙමින් ගවේෂණයේ යෙදීමටත් මෙම කිමිදුම් ඇඳුමින් සැරසෙන කිමිදුම්කරුවකුට හැකියාව ලැබේ. මේ ඇඳුම සාගර පතුළ ගවේෂණය කිරීමේ නිම්වළලු පුළුල් කිරීමට ද සමත් වී ඇත. ඇඳුම නිර්මාණය කළේ කැනඩාවේ ‘නුයික්ටෝ රීසර්ච්’ නමැති පර්යේෂණ ආයතනයයි. මෙම කිමිදුම් ඇඳුමින් සැරැසී මීටර් 150ක් (අඩි 492ක්) ගැඹුරට යා හැකිය. ඇලුමිනියම්වලින් නිර්මාණය වුණු මෙය කොටස් 18කින් සමන්විතය. ඇඳුම නිර්මාණය වන්නේ එම කොටස් 18 එක් වූ විටය. ඇඳුම නිර්මාණයට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් 5,88,000 කි. බර කිලෝ ග‍්‍රෑම් 226ට වැඩිය. පීඩනයට ඔරොත්තු දෙමින් කිමිදුම්කරුට මූදු පතුළේ ඇවිද යන්න හැකි ආකාරයේ අශ්ව බල 1.6ක විශේෂ මෝටර් පද්ධතියක් කි‍්‍රයාත්මක වෙයි. පැය 50කට සරිලන ආකාරයට ඔක්ෂිජන් සැපැයුමක් ලැබීම වැදගත්ම කාරණාවය. සන්නිවේදන උපාංග රැසක් මෙම ඇඳුමට සම්බන්ධ කර ඇති හෙයින් මූදු පතුළේ සිට මූද මතුපිට සිටින නැව සමඟ පහසුවෙන් පණිවුඩ හුවමාරු කර ගැනීමට ද හැකිවෙයි. ගවේෂණයට එක් වුණු පුරාවිද්‍යාඥ තියෝතෝකිස් තියෝඩෝලා පවසන්නේ මෙය ටෝයි ස්ටෝරි නමැති සුප‍්‍රසිද්ධ සජීවීකරණ චිත‍්‍රපටයේ ‘බස්ලයිට් ඉයර්’ නමැති ගගනගාමියාගේ ඇඳුමට සමාන බවය. මේ ඇඳුම නිර්මාණය වීමට පෙර මෙවැනි සුවිශේෂ ඇඳුම් කට්ටලයක් නොමැතිව කිමිදුම්කරුවන්ට යා හැකිව තිබුණේ මීටර් 60ක (අඩි 196 ක) ගැඹුරකට පමණි. 

 

 

නව ගවේෂණයට එක්වුණු පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ, ඇන්තිකීතර යාන්ත‍්‍රණය හමුවුණු නැවේ තවත් වටිනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට ඇතැයි කියාය. එපමණක් නොව, එම නැව හා සමාන තවත් නැවක් ද ඒ අසල මුහුදුබත් වී ඇතැයි ඔවුන්ට සාක්ෂි හමුවී ඇත. ඇන්තිකීතර යාන්ත‍්‍රණය හමුවුණු නැව වෙළෙඳ නැවක් බවත්, වටිනා කියන දේවල් ද සමඟ එය රෝමය බලා පිටත් වීමට නියමිතව තිබියදී කිසියම් හේතුවක් නිසා මුහුදුබත් වී ඇති බවත් තහවුරු වී ඇත. ඒ මෙතෙක් ලැබී ඇති සාක්ෂි අනුවය. එම සාක්ෂි හමුවී ඇත්තේ 2012 සහ 2013 වසරවලදී මෙම සාගර කලාපයේ සිදු කළ ගවේෂණවලදීය. දෙවැනි නැව ඇතැයි පැවැසෙන්නේ ඇන්තිකීතර යාන්ත‍්‍රණය ඇති නැවේ සිට මීටර් 250ක් පමණ දුරිනි. මෙම ගවේෂණය සිදුවන්නේ ග්‍රීක ජාතික ගවේෂණ කණ්ඩායමක නායකත්වයෙනි. ඇමෙරිකානුවන් සම්බන්ධ වී සිටින්නේ ඔවුන්ට සහාය දීමටය. ඇමෙරිකන් සාගර ගවේෂකයකු මෙන්ම සාගර පුරාවිද්‍යාඥයකු ද වන බ්‍රෙන්ඩන් ෆොලී ද එක් වී සිටී. ටයිටැනික් නැව සොයා ගිය ගවේෂණයට ද ෆොලී සම්බන්ධ වූයේය. 


ඇන්තිකීතර දූපතේ අද වෙසෙන්නේ 44 දෙනකු පමණය. පුරාණයේ එය ප‍්‍රධාන වෙළෙඳ වරාය නගරයක් පිහිටි දූපතකි. සිසිලියනු මූදු කොල්ලකරුවන්ගේ තෝතැන්නකි. ඉතිහාසයට අනුව, තරුණ ජුලියස් සීසර් අල්ලාගෙන කප්පම් ලබා ගැනීමට රඳවා ගෙන සිටියෝ මෙම මූදු කොල්ලකරුවෝය. අවසානයේදී මූදු කොල්ලකරුවන් සියල්ල අල්ලා කුරුසයේ ගසා මරා දැමීමට සීසර් කටයුතු කළේය. 

 

 


ලුසිත ජයමාන්න 
ඩේලිමේල් සහ ‘ද ගේ‍්‍රට් 
ඩිස්කවරීස්’ කෘතිය ඇසුරිනි 



අදහස් (0)

ඇන්තිකීතර යාන්ත්‍රණයේ අබිරහස සොයා කිමිදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 108 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 81 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 48 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 774 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 745 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site