IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


කයිමන් දොරකඩ සීනු කණුව

සිහිවටනයක පසුබ්ම් කතාව

විදේශීය සංචාරකයින් උදෙසා කොළඹ ඉපරැණි කෞතුක වටිනාකමක් ඇති ස්ථාන හඳුන්වා දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැතිකමින් මෙරට ජාතික ධනයට එක්විය යුතු මහා විදේශ මුදල් කෝටි ගණනක් නොලැබී යන බව කොළඹ ඇති එවැනි ඓතිහාසික වටිනා ස්ථාන ගැන කරුණු සොයන්නට කරක් ගැසූ විට පෙනී යන කරුණකි. මෙරට ඉංග්‍රීසි, ලන්දේසි, ඕලන්ද යුගවල ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථාන හඳුන්වා දීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් නොමැති වීම ඇත්තෙන්ම ​ෙඛ්දවාචකයකි. කලින් කී ලංකාව යටත් කරගෙන සිටි ජාතීන්ගේ වත්මන් දරුවන් අද ලංකාවට එන්නේ තමන්ගේ මුතුන් මිත්තන් එකල මෙරටට පැමිණ කළ ‘කෙලි’ බලන්නට බව නොකිවමනාය. ඉංග්‍රීසි, ලන්දේසි, ඕලන්ද ආදී යුගවල කොළඹ ඉතිරිව ඇති සැමරුම් අද කිසිවකුගේ හව්හරණක් නැතුව ඉබාගාතේ නන්නත්තාර වී ඇති බව නොකිවමනාය.
 
අප මීට පෙර හඳුන්වා දුන් චැතැම් වීදියේ ප්‍රදීපාගාර හෝරස්ථම්භය ගැන ලිපිය කියවූ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයකු පසුගියදා අප කාර්යාලයට ඇමතුමක් මගින් දන්වා සිටියේ තමන් එම ලිපිය පරිවර්තනය කොට ‘බිග්බෙන්’ ඔරලෝසු සමාගමේ වත්මන් අනුප්‍රාප්තිකයින්ට ලබා දුන් බවය. දින කිහිපයකින් එම විදේශීය ශිෂ්‍යයා අප වෙත දන්වා සිටියේ බිග්බෙන් සමාගම ලිපිය කියවා මහත් සොම්නසට පත්වූ බවය. එමෙන්ම චැතැම් වීදියේ හෝරස්ථම්භයේ ඇති ඔරලෝසුව ගැන අධ්‍යයනයට පිරිසක් එවීමට ඔවුන් සූදානම් බව ද අප වෙත දන්වන ලදී. එම ශිෂ්‍යයා අපගෙන් ඉල්ලීමක් කරන ලද්දේ ඔරලෝසුවේ නිෂ්පාදිත වර්ෂය සඳහන් ස්ථානයේ ඡායාරූපයක් ගෙන බිග්බෙන් සමාගමේ අනුප්‍රාප්තිකයින්ට එම ඡායාරූපය ඊමේල් මගින් ලැබෙන්නට සලස්වන ලෙසය. 


යටත්විජිත යුගවල බො​ෙහා් සැමරුම් සිහිවටන අද බොහෝ විට බොහෝමයක් ඇත්තේ පියස්සකින් ආවරණය කළ යුතු තත්ත්වයකය. මෙම සැමරුම් ස්ථාන බොහොමයක් පසුකොට සංචාරකයින් යනමුත් ‘මේ අපේ අත්තලා - කිරිකිත්තලාගේ කාලේ ලංකාවේ කරපු කෙලි’ යයි ඒවා අසල නවතින්නට ඔවුනට අවබෝධයක් නැත්තේ මේ ස්ථාන අසල ඒවා හඳුන්වා දී භාෂා කීපයකින් පුවරුවක්වත් නොමැති වීම නිසා විය යුතුය. 
කොළඹ ගැන සිහිකෙරන විට අපේ මතකයට ආවේ 1936 වසරේදී මුද්‍රණයෙන් එළිදුටු ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ සුනේත්‍රා නොහොත් අවිචාර සමය කෘතියයි. කොළඹ ඇති යටත්විජිත යුගවල සැමරුම් ගැන දීර්ඝ විස්තරයක් කරන්නට සිදුවූයේ ඒ ගැන හඳුන්වා දුන් විට එම ස්ථානවලට අමුතුම සංචාරක ආකර්ෂණයක් ඇතිවී ඇති නියාය. ඩබ්ලිව්.ඒ. සිල්වා ශූරීන්ගේ සුනේත්‍රා කෘතියේ මෙසේ සඳහන්ය. 
“බාලක, තෙල පෙනෙන කොළොම්තොට බලව. එහි හංබාන් කිහිපයක් පමණ දක්නට ලැබේ. එහෙත් මෙහි අනාගතයේ ඇතිවන කොළොම්තොට මෙසේ නොවේ.” 


“ඒ කෙසේද ස්වාමීනි” 


“අනාගතයෙහි මෙතැන, විශාල තීර්ථයක් වන්නේය. මෙතැන මේ ශ්‍රී ලංකාද්වීපයෙන් ඉතාම පාපිෂ්ඨ වූද, ඉතාම භයානක වූද ඉතාම දුදර්ගන වූද ඓශ්චර්ය හීන වූද ස්ථානය වන්නේය.” 


“එසේය බාලක, සිංහලයනට මේ භූමි ප්‍රදේශය මුහුදට දිය කර හරින්නට සිතෙන කාලයක් වන්නේය. මෙතෙක් කිසිවකුට බිය නුදුන් මේ ශාන්ත භූමිය බළකොටුවකින් යුක්ත වන්නේය. ලෙයින් තෙත්වන්නේය. 
ගින්නෙන් දග්ධ වන්නේය. දුර්භික්ෂයෙන් උග්‍ර දර්ගන ඇති කරන්නේය.” 


කොළොම්තොට ගැන මේ කියන්නේ චන්ද්‍රගෝෂ තාපසයාය. එහි බළකොටුවක් ගැන ද කියවෙයි. කොළොම්තොටට එන ගයිගර් තම නෙතට හසුවන මුල්ම දර්ශනය ගැන ‘ගයිගර් දුටු ලංකාව’ පරිවර්තනයේ සඳහන්ය. මේ ඉතිහාසය හොඳින් හැදෑරීමට අධ්‍යයනය කළ හැකි කෘතියක් නම් 1816 දී පිලිනියස් විසින් ලියන ලද ‘පිලිනියස් දුටු ලංකාව’ (A History of Ceylon-From Earliest Period to the Year 1815)
අපට කොළඹ ගැන මෙවැනි දීර්ඝ විස්තරයක් කරන්නට සිදුවූයේ ‘ඔය කියන කොළඹ’ ඇති යටත් විජිත යුගයේ සිහිවටන ගැන අපට වඩා හොඳට පිට ​ෙද්සක්කාරයින් රස කර ලියා ඇත්තේ එහි වටිනාකම දන්නා නිසා විය යුතුය. 


කොළඹ ගෑස්පහ හන්දියේ ඇත්තේ පැරණි නගර ශාලාවයි. එය ටිකක් පසුකොට වරාය දෙසට එන විට හතරවැනි හරස්වීදිය බෝඩ්ලෑල්ල ගසා ඇත. එතැන සීනු කණුවක් වටකොට කිසිවකුට යා ​නොහැකි ලෙස කොළ පැහැති දැල් වැටක් ගසා ඇත. සීනු කණුව මුදුනේ කපුටු බෝවහන්සේ නමක් කදිමට පැළවී සීනු කණුව තව නොබෝ කලකින් බිම පත බෑවෙන ලෙස යන්තම් ඉතිරිතලාද ඇත. මෙම වටකර ඇති සීනුව දුටු විට අප මතකයට ආවේ බැංකුවකට සින්න වූ ඉඩම්වල සවිකරන ‘... බැංකුව සතු දේපලකි. අනවසරයෙන් ඇතුළු වීම තහනම්’ වැනි බෝඩ් ලෑල්ලකි. දැල් අතරින් සීනුව අසල සවිකොට ඇති බෝඩ්ලෑල්ල කියවන්නට උත්සාහ ගතිමු. එහි සඳහන් වූයේ එය පුරාවිද්‍යා ස්මාරකයක් බවය. 


මෙතරම් වටිනා පුරාවිද්‍යා ස්ථානයක් කිසිවකුට සමීපයට යා නොහැකි ලෙස වැටක් ගසා ඇත්තේ ඇයිදැයි අපට ප්‍රශ්නාර්ථයක් ඇති විය. පාරට​ පෙනෙන ලෙස නිකල් ප්ලේට් තහඩුවක හාරන ලද අකුරෙන් මුද්‍රණය කළ සටහනක් අප කියවා ගත්තේ දැඩි අපහසුවෙනි. එදා පෘතුගීසින්ගේ, ලංදේසීන්ගේ, ඕලන්ද ජාතිකයින්ගේ අද පරපුර එදා තම මුතුන් මිත්තන් ලංකාවේ ගත කළ කාලය ගැන සිහිවටන ගැන සොයන්නට ආවොත් පැමිණිය යුත්තේ ඉනිමගක් ද සමඟය. ඒ මෙවැනි තැන් වටකොට ඇති වැටට ඉනිමග තබා මෙවැනි කෞතුක ස්ථාන නැරඹීමට සිදුවෙන නිසාය. 


ඝණ්ඨාර කුලුණ අසල ඇති සටහනක් අනුව පෙනී යන්නේ ලන්දේසින් විසින්​ කොළඹ නගරය පෘතුගීසින්ගෙන් භාරගනු ලබන විට දැනට කොටුව නමින් හැඳින්වෙන පෙදෙසේ බළකොටුවක් වූ බවය. ජෝන් කාපර්ගේ ‘ධකා සිලෝන්’ ග්‍රන්ථයේ සඳහන්ව වන්නේ ‘මේ කොටු පවුර කබොක්ගලින් නිමවා හුණුපිරියම් කොට ඇත. මෙම පිටත ප්‍රාකාරය ගංඉවුරට සමාන්තරව මුහුදු වෙරළ දක්වා පැතිරි තිබී ඇත.’ 


කයිමන් දොරකඩ නමින් හැඳින්වෙන්නේ පිටකොටුවට ඇතුළු වීමේ නැගෙනහිර දෙසින් පැවැති ආරක්ෂක දොරටුව සහ ඝණ්ඨාර කුලුණයි. මේ ඝණ්ඨාර කුලුණ අසල සටහනේ දැක්වෙන පරිදි එදා බේරේ වැවේ කිඹුලන් සිට ඇති අතර නාගරිකයින් දැමූ කැළිකසළ කෑමට කිඹුලන් මෙතැනට පැමිණ ඇත. 


 කයිමන් දොරකඩ ලෙස හඳුන්වන මෙම කුලුණ සහිත දොරටුවේ ඉහළ කොටස ආරක්කු හැඩයකින් යුක්තය. මෙම ශීර්ෂය කේතු රූපාකාර මෝස්තරයකින් යුතුය. මෙහි සවිකොට ඇති ඝණ්ඨාරය නිමවූ ලෝහය ගැන නිශ්චිත සටහනක් නැත. එය දහසය වෙනි සියවසට අයත් බව සැලකේ. අද එය මුළුමනින් කළුගැන්වී ඇත. මෙම ඝණ්ඨාරය කෝට්ටේ කඩා දමා තිබුණ දේවස්ථානයකින් ලන්දේසින් විසින්​ ගෙනවිත් සවිකළ බවට සාක්ෂි ඇත. 


 ඇත්තටම අද මේ දැල් ගසා වසා ඇත්තේ කයිමන් දොරකඩ අසල සීනු කණුවයි. අද කොටුවේ ඕල්කට් මාවත අසල බිම් පෙදෙස එදා තැනූ කොටු බැම්මෙන් වටවී තිබූ අතර පිටකොටුවේ සිට කොටුවට ඇතුළුවීමට නැගෙනහිරින් තිබී ඇත්තේ කයිමන් දොරකඩ බව කරුණු හැදෑරීමේදී පෙනී යයි. ප්‍රධාන වීදිය එදා හඳුන්වා ඇත්තේ ‘රියෝ ඩිරෙක්ටෝ’ ලෙසය. එය අද කෙළින් වීදියයි. 


 කොළඹ කොටුව ගැන කියන විට මතකයේ රැඳෙන ප්‍රධාන පදවැලක් නම් ‘කොළඹ කොටුවේ බළල් මසුත් ගිනි ගණන් ගියා’ යන පද වැලයි. 


 ඉතිහාසය හාරා ඇවිස්සීමේදී පෙනී යන්නේ ගෙරිසමකින් වැසිය හැකි ප්‍රදේශයක ධාන්‍ය ගබඩාවක් ඉදිකර ගැනීමට කෛරාටිකයින් වූ පෘතුගීසින් ඉල්ලා සිටි බවකි. බොහෝ දෙනා සිතා සිටින්නේ කෝට්ටේ ධර්මපරාක්‍රමබාහු රජුගේ සංග්‍රහශීලි පිළිවෙත ‘මෝඩකමක්’ ලෙස සිතා ‘ගෙරිසම’ කීතු කීතුවලට ඉරා පෘතුගීසින් කොටුවක් තැනූ බවය. ‘ගෙරිසම’ එදා පෘතුගීසි කටවහරේ වූ මැනුම් ඒකකයක් බව The Histor of Ceylon ග්‍රන්ථයේ සඳහන්ව ඇත. මේ ගැන විචාරකයක් කරන නවරත්න අත්තනායක මහතාගේ ලේඛනයක ඇත්තේ කටවහරේ මිනුම් ඕනෑම රටකට පොදු බවය. ‘අල්ලක් විතර’ යන්න ඉතා සුළු බිම් ප්‍රමාණයක් සඳහා වේ. ඉතා සුළු බිම් ප්‍රදේශයක් හැඟවීම සඳහා ඉඩම් කරටියක් හෝ ඉඩම් අගිස්සක් ලෙස ද කටවහරේ දැකිය හැකිය. 


 ඓතිහාසික ලේඛන පිරික්සීමේදී ටිකිරි අබේසිංහ මහතා සඳහන් කොට ඇති පරිදි ලන්දේසින් පිටකොටුව ‘අවුද් ස්මාල්’ ලෙස හඳුන්වා ඇත. නමුත් බ්‍රිතාන්‍යන්ට එය ‘පෙටා’ නම් විය. ආචාර්ය රෝහිත දිසානායකගේ මතය අනුව කයිමන් යනු ඇමෙරිකානු ඉන්දියානු වචනයක් වූ ‘ගෙයිමන්’ යන වචනයෙන් බිදී ආවකි. එහි අරුත ‘දැවැන්ත කිඹුලා’ යන අරුත් දේ. 


දිසානායක මහතා පෙන්වා දෙන පරිදි ශාන්ත ජෝන් ගංගාව දිගේ කිඹුලන් ඇදී එන්නට ඇත්තේ නගරයේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීමටය. එහෙත් එච්.ඒ.ජේ. හුලුගල්ල මහතා විසින් කොළඹ නගර සභාවේ ශත සංවත්සරය වෙනුවෙන් ඩේලිනිව්ස් පුවත්පතට ලියන ලද ලිපි පෙළක මේ කයිමන් දොරකඩ ගැන ද දීර්ඝ ලිපියක් ඇත. එහි සඳහන්ව ඇත්තේ මෙහි මිනිසුන් එල්ලා මැරූ ස්ථානයක් වූ බවය. එහෙත් එල්ලා මැරූ මිනිසුන් මුහුදට ගසාගෙන යාමට ශාන්ත ජෝන් ගංගාවට දැමූ බවට සාක්ෂි නැති බැවින් කිඹුලන් පැමිණ ඇත්තේ අපද්‍රව්‍ය ආහාරයට ගැනීමටම බව මෙහිදී සාක්ෂාත් වේ. 


 අද කයිමන් දොරකඩ සීනු කණුවේ ඇති සීනුව කෝට්ටේ දේවස්ථානයක සිට ගෙන ආ එකක් බව සීනු කණුව ඉදිරියේ ඇති සමරු ඵලකයේ සඳහන්ය. කොටුව හා පිටකොටුව අතර ගේට්ටුව අරින බවට සාක්ෂියක් වී ඇත්තේ මේ සීනුව නාද කිරීමය. 


1656 දී පෘතුගීසි යුගය නිම වනවිට කොළඹ වඩාත් ඉඩකඩ ඇති බලකොටු නගරයක් ලෙස සකස් වී තිබුණු බව ඉතිහාස මූලාශ්‍රවල සඳහන් වේ. කොටුව වටා තිබූ පවුර සැතපුම් තුනක් වූ අතර පවුරේ තැන තැන අට්ටාල දාහතරක් වූ බව කියවේ. නගරයේ ප්‍රධාන දොරටුව වූයේ ශාන්ත ජෝන් අට්ටාලයයි. කයිමන් දොරටුව අසල සීනු කණුව අසල සිට මෑතක් වනතුරු පැවැති ශාන්ත ජෝන් මාළු වෙළඳසැලට ඇත්තේ ‘හූ’ හඬක දුරකි. 
 ඉතිහාසය සාක්ෂි දරන්නේ පෘතුගීසින් රළු, කෲර හා ආගම පැතිරවීම සඳහා සැහැසි ක්‍රියාවල යෙදුන ජාතියක් ලෙසය. පෘතුගීසි සික්ක්‍රෝවරුන් විසින් තම මව් බිමේදී මෙන්ම සැහැල්ලුවෙන් ගෙවී ගිය බවට අනුමාන කළ හැකිය. කයිමන් දොරකඩ හරහා එකල බෙහෙවින් පිළිගැනුන සේද, විල්ලුද හා රනෙන් රිදියෙන් වැඩ දැමූ ඇඳුම් හා ආයිත්තම්වලින් සැරසුන පෘතුගීසි ජාතිකයන් ස්වදේශකයින් විශ්මයට පත්කරමින් අවි ආයුධ භාවිත කළ බව ද ඉතිහාසයේ සඳහන්ය. මේ කයිමන් දොරකඩින් ඇතුළු වූ කොටුව තුළ ප්‍රධාන විනෝදාස්වාද මාධ්‍යයක් වී ඇත්තේ ස්පාඤ්ඤ වීනා සංගීතයයි. පෘතුගීසින් ස්පාඤ්ඤ සංගීතයට බෙහෙවින් ලොල් වී සිටි බවට සාක්ෂි ඇත. එම නිසා ඔවුන් සෑම යටත් විජිතයක් පාසා ස්පාඤ්ඤ සංගීතය ව්‍යාප්ත කළ බැව් පෙනේ. 


 මෙම කයිමන් දොරකඩ ගැන ඇති ලේඛනවල ඇත්තේ මේ ප්‍රදේශය ආශ්‍රිත පවුල්වල පුද්ගලයින්​ෙග් හා නිලධාරින්ගේ ජීවන රටාව කොටුව ඇතුලේ ජීවත් වූ ජීවන රටාවට වඩා වෙනස් වූ බවය. මෙම කයිමන් දොරකඩ ගැන තොරතුරු විමසන්නට ගිය විට එතැනට ඒ ගැන අධ්‍යයනය කරන්නට පැමිණ සිටි ඉතිහාසඥයකු අපට හමුවිය. ඔහු පවසන පරිදි එදා කයිමන් දොරකඩ අසල වරදකරුවන් එල්ලා මැරූ ස්ථානයක් තිබී ඇති බවය. සෙනඟ පීරමින් එම ඝාතනයට ලක්වෙන පුද්ගලයින් බැලීමට පොරකන පිරිසක් ද හුරු වී සිට ඇත. ඉතිහාස දත්ත පිරික්සීමේදී පෙනී යන්​ෙන් මේ අසල පරංගි සෙබළුන් ජීවත් වී ඇත්තේ ජනතාවට පීඩාවට පත්වන ලෙස බවය. මේ කයිමන් දොරකඩ අසල සිටි සෙබළුන් මේ අසල වූ මත්පැන් ගුදම්වලින් පිරි තැබෑරුම් තුළ එකක් ඉවර වෙන්නට එකක් වයින් පිරවූ වීදුරු හිස් කොට ඇත. පහත් පෙළේ විහිලු කරමින් ඔවුන් කාලය කා දමා ඇත. 
 මෙම කයිමන් දොරකඩ සීනු කණුව අවසන් වරට නාද කොට ඇත්තේ ලෝක යුද සමයේදී බව කොළඹ ශත සංවත්සර ග්‍රන්ථයේ සඳහන්ය. මෙම සීනුව ගැන තොරතුරු සොයන්නට ගිය විට අපට ලංකාවේ එකල පැවැති ගෘහ නිර්මාණ ගැන ද තොරතුරක් දැනගත හැකි විය. ඒ නිසා එකල විශාල ආලින්ද සහිත නිවාස පාරවල්වල ඉඩ ඇහිරී ඇත. 1846 දී බ්‍රිතාන්‍ය රජය ‘ආලින්දයේ නීතිය’ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කොට ඇත. ඉන්පසු කයිමන් දොරකඩ අසලත් රට පුරාමත් ආලින්ද සහිත නිවාස ඉදිවීම නතර වී ඇත. 


 කයිමන් දොරකඩ හරහා පිටකොටුවට තිබූ වීදිය එකල ඉතා පටු එකක් වී ඇත. එච්.ඒ.ජේ. හුලුගල්ල විසින් සංස්කරණය කළ කොළඹ සංවත්සර කලාපයේ කයිමන් දොරකඩ ගැන වූ සටහනක් ලිපියේ අවසානයට උචිත බැවින් මෙසේ උපුටා ගත්හ. 


“කයිමන් දොරටුව වඩාත් චිත්තාකර්ෂණීය ස්ථානයක් ලෙස අද ද සිංහලයා තුළ හැඟීම් මාත්‍රයක් ඇත. කයිමන් දොරටුව නොහොත් කේමන් දොරටුව හරහා පිටකොටුවේ අනෙක් පසට වැටී ඇති වීදිය පටු හෙයින් මේ ප්‍ර​ෙද්ශය අධික රශ්මියෙන් යුක්ත බව කියන්නේ පර්සිවල් ය. සරප්වරු මුදල් මාරු කරන්නත් පදිංචි වී සිටියා යැයි සැලකෙන මේ ප්‍රදේශයේ කාර්යබහුලව නොතිබුණේ යයි කාටනම් කිව හැකිද? මුදල් මාරු කරන්නන් වඩාත් බලවත් පුද්ගලයින් ලෙස එකල සමාජයේ ජීවත් වූවාට සැකයක් නැත. ජේත්තුවට යුරෝපීය ඇඳුම් පැළඳුමෙන් සැරසුණු ස්වදේශිකයන් බර සපත්තු පැළඳ මේ වීදි පුරා ඇවිද යනු මඳකට නෙත් පියාගෙන මෙනෙහි නොකර සිටීමට කාට නම් හැකිවනු ඇතිද?” 


 හුලුගල්ලයන් එසේ සඳහන් කළ ද අද කයිමන් දොරටුව අසල සීනුව අසල මුදල් මාරු කරන්නන් බේතකටත් සොයා ගැනීමට නැත. මේ කයිමන් දොරකඩ අසලින් ඇරඹෙන හතරවැනි හරස් වීදියේ ඇත්තේකරවල තොග කඩ සමූහයකි. බර සපත්තු කෙසේ වෙතත් ජේත්තුවට යුරෝපීය ඇඳුම් ඇඳ මේ කයිමන් දොරකඩ සීනු කණුව පසුකර යන ඇත්තන් දෙස මේ සීනු කනුව නිසොල්මනේ බලා සිටින්නේ දශක ගණනාවක ඉතිහාසයක් කියාගත නොහැකිව වේදනා බරිතව බලා සිටින්නාක් මෙනි. කයිමන් දොරකඩ ඝණ්ඨාර කුලුණ නාදවෙනවා අසන්නට අද පරම්පරාවට තවත් ලෝක යුද්ධයක් එනතුරු බලා සිටින්නට සිදු නොවේවායි ප්‍රාර්ථනය පමණක් ඇතිව අපි එතැනින් නික්ම ආවෙමු. 

 

 

 

 


වජිර ලියනගේ 
ඡායාරූප ඇලෙක්සැන්ඩර් බාලසූරිය



අදහස් (0)

කයිමන් දොරකඩ සීනු කණුව

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 107 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 80 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 47 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 743 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site