IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

‘‘බුදු දහම පුදුමාකාර ආගමක් සහ දර්ශනයක් වන අතර කාලයත් සමග මම ඒ ගැන වැඩි යමක් ඉගෙන ගනිමින් සිටිමි.’’ යනුවෙන් ලෝකයේ ළාබාලතම බිලියනපතියා ලෙස සැලකෙන, ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘ මාක් සකර්බර්ග් ප්‍රකාශ කර තිබිණි.  


ශ්‍රී ලංකාව පුරා නිරාගමික රැල්ලක් පැතිරෙමින් යන අවධියක ලෝකයේ බටහිර රටවල බුද්ධි ජීවින් අතර බෞද්ධ දර්ශනය වේගයෙන් ප්‍රචලිත වෙමින් තිබේ. ඊට හේතුව මනුෂ්‍යත්වය පිළිබඳවත් මනුෂ්‍යාගේ චිත්ත සන්තානය පිළිබඳවත් ලෝකය හා ලෝකයේ යථාර්ථය පිළිබඳවත් බුදුන් වහන්සේගේ මූලික ඉගැන්වීම බුද්ධිමය සමාජය අතර පිළිගැනීමට ලක්වෙමින් තිබීමයි.  


කාල් මාක්ස් ‘‘ආගම අබිං’’ යැයි ප්‍රකාශ කරන ලද්දේ ලොව බොහෝ ආගම් මිනිසාගේ චිත්තන ශක්තිය මොට කරන ස්වයං මෝහනයකට පත්කර අන්ධ භක්තිකයන් පිරිසක් බිහි කරනු ලබන හෙයිනි. එහෙත් බෞද්ධ දර්ශනය මිනිසාගේ චින්තනයේ දාර්ශනික සත්‍යය මතුකරන, විද්‍යාව නම් කඩතුරාව බිඳ දමන අති විශිෂ්ට දාර්ශනික ඉගැන්වීමකි.  
එහෙයින් බුදුන් වහන්සේගේ සුවිශිෂ්ට යථාර්ථවාදී සත්‍ය දර්ශනයෙහි මූලික ස්වරූපය හෙවත් මුල් බුදු සමය ප්‍රතික්ෂේප කළ හැකි හෝ එයට අභියෝග කළ හැකි ජගතෙක් ලෝකයෙහි මෙතෙක් පහළ නොවීය. පසුකාලීනව ඇතැම් අටුවාචාරීන් වහන්සේලා අතින් හෝ විවිධ භික්‍ෂූන් අතින් යම් යම් අභව්‍ය කාරණා බෞද්ධ ග්‍රන්ථවලට එක්ව ඇති නමුදු බුදුන් වදාළ මූලික දාර්ශනික හරය වටහා ගැනීමට විමර්ශනශීලී බුද්ධිමතෙකුට තවමත් ඉඩ අවකාශ පවතී.  


බුදු සමයෙහි එකී දාර්ශනික ගැඹුර - හරය හා වටිනාකම සොයා යන බොහෝ පිරිස් විදේශික බුද්ධිමතුන් වීම පුදුමයකි. බුද්ධ ධර්මයට අදාළ පද පිළිබඳ අර්ථ විවරණය කරමින් Buddhist Dictionary හෙවත් ‘බෞද්ධ ශබ්දකෝෂයක්’ සම්පාදනය කරනු ලැබ ඇත්තේද ජර්මන් ජාතිකයෙකු වීම පුදුමයට කරුණකි.  


බුදු සමයෙහි දාර්ශනික පාරිභාෂික පදවලට නිවැරදි අර්ථ විග්‍රහ සැපයීම අති දුෂ්කර කාර්යයකි. එහෙත් ථෙරවාද භික්ෂුභාවය ලැබූ ප්‍රථම යුරෝපීය භික්‍ෂුව ලෙස සැලකෙන ජර්මන් ජාතික ඤාණාතිලෝක හිමියන් බෞද්ධ ශබ්දකෝෂය නිමවීමට ගත් වෙහෙස ගැන සිතද්දී නූතන ලාංකිකයන් මේ විශිෂ්ට දර්ශනය විග්‍රහ කර විමස විමසා ඉගෙනීමත්, එහි ප්‍රතිඵල ලබාගැනීමත් මතු භවයට කල්දමා තිබීම අතිශය දුක්ඛදායක තත්ත්වයකි.  


වරක් බුදු සමය පිළිබඳ ගවේෂණය කරන බුදු සමයට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ කරන රුසියානු ජාතික තරුණයකු අපට මුණ ගැසිණි. ඔහු අග්ගමහාපණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියන්ගේ දියුණු භාවනාමය මනස පිළිබඳ ගෞරවයකින් කටයුතු කළ රුසියානු අධ්‍යාත්මික සංගමයේ නියෝජිතයෙකු වූ දිමිත්‍රි උස්තිනෝවාය.  


අප ඔහු කරන රැකියාව කුමක්දැයි ඇසූ විට ඔහු දුන් පිළිතුර අප අන්දමන්ද කරවීමට සමත් විය. දිමිත්‍රි උස්තිනෝවා නම් මේ රුසියානු ජාතික තරුණයා අපට කීවේ ධර්මයට සේවය කිරීම තමාගේ රැකියාව බවය. (My job is service to Dhamma).   


රුසියාවේ බෞද්ධ භාවනාව හා යෝග ක්‍රම ප්‍රගුණ කරවීමේ පාසලක් පවත්වාගෙන යන ඔහු අවිවාහකව, බ්‍රහ්මචාරීව, ධර්මචාරීව ජීවත් වෙයි. බෞද්ධ දර්ශනයට පහර දී රැඩිකල් චරිත වීමට උත්සාහ කිරීම නූතන ඇතැම් ලාංකික තරුණයන්ගේ විලාසිතාවක් වී ඇති අවධියක දිමිත්‍රි වැනි විදේශික තරුණයන් බෞද්ධ දර්ශනය වෙනුවෙන් ජීවිතයම කැපකර සිටීම කෙතරම් අපූර්වතරද?  


බුදු දහම යනු පරලොව උදෙසා පවතින ආගමක් නොවේ. මේ මොහොතේම ප්‍රතිඵල ලබාදෙන මේ භවයේම අවබෝධය ළඟා කර දෙන විශ්මයජනක නිර්මාණශීලි චින්තන සම්ප්‍රදායකි. බෞද්ධ දර්ශනයෙහි හරය යථාර්ථය ගැඹුර වටහා ගත් තැනැත්තා ක්‍රමානුකුලව මාර්ගඵල නම් උසස් අධ්‍යාත්මික තලයන්ට ළඟාවේ. ධර්මය විමස විමසා බලන, ධර්මයෙහි විවිධ පැති ප්‍රඥාවෙන් දකින විදර්ශනා ප්‍රඥාව දියුණු කරන තැනැත්තාට මේ භවයේදීම සෝවාන්ඵලයට පත්වීම දුෂ්කර කාර්යයක් නොවේ.   
අද ඇතැම් බෞද්ධයන්ට පවා, ඇතැම් බෞද්ධ භික්ෂූන්ට පවා මේ මාර්ගඵල අවබෝධය පිළිබඳ තිබෙන්නේ දැඩි සැක සහිත භාවයකි. ඇතැමුන් ප්‍රකාශ කර සිටින්නේ මේ අවධියෙහි කිසිවෙකුට මාර්ගඵල අවබෝධ කරගත නොහැකි බවය.  


දැන් මිනිස් ලොව මාර්ගඵල ලැබීමේ කාලය අවසන්ව ඇති බවත්, පින්කම් කොට දිව්‍ය තලවල උපත ලබා ඒවායේ සිටින මාර්ගඵලලාභී දෙවියන්ගෙන් ධර්ම ශ්‍රවණය කොට මාර්ගඵල ලැබිය යුතු බවත්ය. එසේම මෑතකදී එක්තරා වනවාසී යැයි හඳුන්වන හිමිනමක කියා සිටියේ නිර්වාණය කියා දෙයක් ඇතැයි තමන් විශ්වාස නොකරන බවත් නිවන් දුටු කිසිවෙකු තමාට හමු වී නැති බවත්ය.  


අනුවණ භාවය, අවිද්‍යාව, නැතහොත් මෝහය නමැති කඩතුරාව බිඳ දමා බුදු දහමෙහි දාර්ශනික සත්‍යය ප්‍රත්‍යක්‍ෂ වශයෙන් අවබෝධ කරගත් පැනසර විදර්ශකයෙකු ඉදිරියේ මේ අවියත් ප්‍රකාශ සියල්ල නිෂ්ප්‍රභ වී යයි නිවන් දුටු කිසිවෙකු තමාට හමු වී නැතැයි, භික්‍ෂුවක කරන ප්‍රකාශය බුදුන් වහන්සේටද බෞද්ධ දර්ශනයටද බරපතළ නිග්‍රහයක් වන්නේ බුද්ධ ධර්මයේ පරම නිෂ්ඨාව වූ නිර්වාණය පිළිබඳ එය අතිශය සාවද්‍ය අදහසක් වන බැවිනි.  


මහා සතිපට්ඨාන සූතය නම් අති සම්භාවනීය, සුවිශිෂ්ට ධර්ම ප්‍රකරණයට අනුව සතර සතිපට්ඨාන ධර්මයන් නිසිලෙස, මනාව, නිරවද්‍ය ආකාරයට ප්‍රගුණ කරන තැනැත්තාට උපරිම වශයෙන් සත් වසරකින් අවම වශයෙන් සත් දිනකින් අරහත් ඵලයට හෝ අනාගාමී ඵලයට පත් විය හැකි බව බුදුන් වහන්සේගේ ඉගැන්වීමයි. ධර්මය ප්‍රගුණ නොකරන, විදර්ශනා ප්‍රඥාව දියුණු නොකරන අවියත් පෘථග්ජනභාවයේම ගැලී සිටින පුද්ගලයන්ට මේ බුද්ධ භාෂිතය පිළිගත නොහැකි වූවද මේ මාර්ගය වඩා උසස් අධ්‍යාත්මික ප්‍රතිඵල ලැබූවන්ට හෝ එබඳු මාර්ගාධිගම ලැබූ අය ඇසුරු කළ අයට නම් මෙහි සැක සිතීමට කිසිවක් ඇත්තේ නැත.  


බුද්ධ සුභාෂිතය කෙතරම් පරම සත්‍යයක්දැයි වැටහී යනුයේ ධර්මය නිවැරදිව ගවේෂණය කරන, ධර්මය ස්වකීය ආධ්‍යාත්මය තුළට පමුණුවාගෙන රසවිඳින, එමගින් ප්‍රීතිය, ප්‍රමෝදය, මිහිර හා සතුට උපදවා ගත් නැණැති දනන්ට පමණය. ධර්මයෙහි රසයෙන් මත්ව, එය තම ජීවිතය තුළ අත්හදා බලන, ගැඹුරු විදර්ශනා ප්‍රඥාව දියුණු කරන තැනැත්තාට ජීවිතයේ පුදුමාකාර ප්‍රමෝදයක් ඇති වේ. තෘප්තිදායක බවක්, සැනසිලිදායක බවක්, සහනශීලි බවක් ඇති වේ. සතුට, මිහිර උතුරා යන්නට වේ. ඒ ධර්මයේ ශක්තියයි. ධර්මයේ බලයයි. ධර්මයේ රසයයි. ලෝකයේ නීතිය යනු නීතිපොතේ, ව්‍යවස්ථාවෙහි, අධිකරණයෙහි ඇති දෙයක් නොව එය ඇත්තේ ධර්මය තුළයි. එය ධර්මයේ නීතියයි.  
බුද්ධ සුභාෂිත නිර්වාණ යාත්‍රාවට ගොඩවන සත්පුරුෂ සුධීමතා එම යාත්‍රාව විසින් රළ රැළි කපාගෙන විවිධ රමණීය තොටුපළ කරා රැගෙන යන්නේ ඔහුටද නොදැනෙන තරම් වේගයකිනි. ඒ ධර්ම යාත්‍රිකයා සෝතාපන්න ඵලය නම් තොටුපොළ වෙත ළංවන විට එය ඔහුට විශ්මයක්ද, අදහාගත නොහැකි චිත්ත සන්තුෂ්ටියක්ද වන්නේ ධර්මය මේ තරම් වේගයෙන් ප්‍රතිඵල ලබා දෙන බවක් ඔහුට කිසිවෙකුගෙන් කල් ඇතිව අසන්නට නොලැබෙන බැවිනි. එහෙත් එය එසේමය. ධර්මයේ සංදෘෂ්ටික හෙවත් සන්දිට්ඨික ගුණය යනු මේ භවයේම ප්‍රතිඵල ලබා දීමය.  


ප්‍රතිපදාවෙහි මනාව හික්මෙන්නේ නම් ලෝකය රහතුන්ගෙන් හිස් නොවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති පරම සත්‍යයයි. එහෙයින් වර්තමාන සමාජයෙහිද මාර්ගඵලලාභීහු සිටිති. අප මෙලෙස ඒකාන්තකොට ප්‍රකාශ කර සිටින්නේ සද්ධර්මයෙහි ස්ථිරසාර භාවයට පත් වූ, නියත භාවයට පත් වූ, ආර්ය න්‍යාය නුවණින් දැන පසක් කළ, ත්‍රිවිධ සංයෝජන ප්‍රහීණ කළ අතිශ්‍රේෂ්ඨ වූ සෝතාපන්න ඵලයට පත් උදාර සත්පුරුෂ සුධීමතුන් කීප දෙනකු අපට හමු වී ඇති බැවිනි.  


මේ සෝතාපන්නයෝ සාමාන්‍ය ගෘහ ජීවිත ගත කරන, සාමාන්‍ය ශරීර ස්වභාවයෙන් යුක්ත අප වැනිම වූ පිරිසක් විනා කිසිදු ඉන්ද්‍රජාලික බලයක් ඇති, මැජික්කරුවෝ නොවෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් එදිනෙදා රැකී රක්‍ෂාවලද නියැළෙන අඹුදරුවන් පෝෂණය කරන සරල සැහැල්ලු අපිස් සතොස් ජීවිත ගතකරන පුද්ගලයෝය. ඔවුන් හා සාමාන්‍ය පුහුදුන් මිනිසා අතර ඇති එකම වෙනස නම් ඔවුන් ප්‍රබල මානසික පරිවර්තනයකට ලක්ව සිටින පිරිසක් වීමයි. සාමාන්‍ය පෘථග්ජන සිතිවිලි රටාව ඉක්මවා සිටින උදාර සිතිවිලි රටාවකින් හා උදාර ගති පැවතුම් සමූහයකින් යුක්ත වන ඔවුන්ගේ චින්තන රටාව අති සුවිශේෂී වෙයි. සෝතාපන්නයා යනු චින්තන රටාව අතින් අපූර්ව පුද්ගලයෙකි. එහෙයින් ඔහු බාහිර හැඩ රුවින්, ගමන බිමනින් හැසිරීමෙන් හඳුනාගත හැකි නොවෙයි. ඔහු තියුණු විදර්ශනා නුවණකින් යුක්ත වෙයි. පවතින සමාජයේ සම්මත චින්තන රටාව විනිවිද දකින ගැඹුරු විදර්ශනාත්මක දෘෂ්ටියකින් ඔහු පොහොසත් වෙයි.  


එහෙයින් ඔහු නූතන වල්මත් වූ, සමාජ රටාවෙන් ගැලවී සිටින්නෙකි. ඔහු උසස් මනසකින් සමාජය අවලෝකනය කර බලන්නෙකි. ලෝකයේ යථා ස්වභාවය, මානව බැඳීම්වල යථාර්ථය අෂ්ට ලෝක ධර්මයෙහි යථා ස්වභාවය ඔහු ප්‍රත්‍යක්‍ෂ කරගෙන සිටියි. එහෙයින් සෝතාපන්නයා යනු සමාජයෙහිද, ජීවිතයෙහිද යථාර්ථය විනිවිද දුටු ප්‍රඥාංකුරයෙකි.  
අද බොහෝ සුප්‍රකට ධර්ම දේශක හිමිවරුන් සමාජගත කර ඇති දුර්මතයක් වන්නේ නූතන අවධියෙහි මාර්ගඵල ලැබිය නොහැකි බවයි. අවම වශයෙන් සෝවාන් ඵලයටවත් පත්විය නොහැකි බවයි. එබඳු මාර්ගඵල ලාභීන්ගේ යුගය අවසන්ව ගොස් ඇති බවයි. එහෙත් තායිලන්තය, මියන්මාරය වැනි බෞද්ධ රටවල සමකාලීන ඉතිහාසය සලකා බැලූ විට සෝවාන් ඵලයට පත් වූවන් නොව රහතන් වහන්සේලා පවා බිහිවී ඇති ආකාරය දැකගත හැකිය.   
නූතන තායි වනගත සහ පරපුරේ පුරෝගාමීය ලෙස සැලකෙන අජාන්මුන් භූරිදත්ත හිමියන් ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ නමක බව තායිලන්ත බෞද්ධයෝ විශ්වාස කරති. එසේම තායි වනගත ආරණ්‍ය සේනාසනවල වැඩසිටි බටහිර ජාතිකයන් රැසක් පැවිදි කොට භාවනා ක්‍රම උගන්වාලූ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ චින්තන රටාවටද බෙහෙවින් බලපෑම් ඇති කළ අජාන් චා නම් මහ තෙරුන් වහන්සේද රහතන් වහන්සේ නමක ලෙස සැලකෙයි.  
එකී ධර්ම මාර්ගයෙහිම ගමන් කළ අජාන් මහාබූවා ඤාණසම්පන්නෝ හිමියෝද රහතන් වහන්සේ නමක ලෙස සැලකෙති. මේ හිමිවරුන් වැඩසිටියේ බොහෝ දුර ඈත අතීතයක නොව මේ ගෙවීගිය සියවසෙහි අගභාගයේ දීය.  


බුරුමයෙහි වැඩසිටි විපස්සනා භාවනාව ලොව පුරා ප්‍රචලිත කළ අග්ගමහාපණ්ඩිත මහාසී සයාඩෝ හිමියන්ද මාර්ගඵලලාභියෙකු ලෙස බොහෝ අය හඳුන්වති. උන්වහන්සේ අනාගාමී ඵලයට පත්ව සිටි බව අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහනාහිමියෝ විශ්වාස කළහ. ඉතාම මෑත භාගයේ ශ්‍රී ලංකාවේ වැඩසිටි ශ්‍රේෂ්ඨ ධර්මධර වියතෙකු වූ මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ද රහතන් වහන්සේ නමක හෝ අනාගාමී ඵලයට පත් වූවකු බව සමීපතමයෝ විශ්වාස කරති. මෙයින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය වැනි ථෙරවාදී බෞද්ධ රටවල ඉතා මෑත භාගයේ රහතන් වහන්සේලාද මාර්ගඵලලාභීන්ද බිහි වූ බවය. එමතුද නොව නූතන අවධියේ බටහිර රටවල පවා මාර්ගඵලලාභී ශ්‍රේෂ්ඨ චරිත බිහිව සිටින  බව අපගේ නම් විශ්වාසයයි.   


ඉන් එක් අයෙකු වනුයේ එංගලන්තයේ පීටර් බෙට්ස් නමින් උපත ලබා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධියක්ද ලැබ තරුණ අවධියේම පැවිදිව අද ලෝකයේ සුප්‍රකට ධර්ම දූතයෙකු බවට පත් වී සිටින අජාන් බ්‍රහ්ම වංසෝ මහ තෙරණුවෝය. උන්වහන්සේගේ ධර්ම ග්‍රන්ථ පරිශීලනය කරන විට විශද වනුයේ මාර්ගඵලලාභී මහ තෙර නමකගේ සුවිශුද්ධ අවබෝධයයි.   


එහෙයින් නූතනයේ මගඵල ලැබිය නොහැකිය. කළ යුතුව ඇත්තේ හැකිතාත් පින් රැස්කොට තව්තිසා දෙව්ලොව ඉපදීමය යන මිථ්‍යාවෙන් මිදී අප්‍රමාදී භාවයෙහි ගැලී බුද්ධ වචනය ගුරුකොට ක්‍රියාකිරීම යුගයේ අවශ්‍යතාවයකි. බුද්ධ වචනය ත්‍රිපිටක ගත සූත්‍ර ධර්මයන්හි සුවිශදව දක්වා තිබියදී විවිධ ආචාර්යවරුන් කලින් කල ප්‍රචලිත කරන දුර්මතයන්හි එල්බ ගැනීම ප්‍රඥාවන්ත බෞද්ධයනගේ පිළිවෙත නොවිය යුතුය.  
එබඳු දුර්මත පැතිරෙන කල නුවණැති පුද්ගලයා විසින් කළ යුතුව ඇත්තේ එය බුද්ධ වචනය හා ගලපා බැලීමයි. බුද්ධ වචනයට පරස්පර මත පවසන ආචාර්ය මතවාද ගුරුකුල ප්‍රවාද ප්‍රතික්ෂේප කිරීමයි.  


ත්‍රිපිටකගත බුද්ධ සුභාෂිතය අනුව මේ යුගයේ මගඵල නොලැබිය හැකිය යනුවෙන් කිසිඳු සඳහනක් ඇත්තේ නැත. බුදුන් වහන්සේ විශද කරන කාරණය යනු අප්‍රමාදීව ධර්මයෙහි හැසිරෙන පුද්ගලයාට නිර්වාණාවබෝධය දුර නොවන බවයි. එසේ ධර්මය අධ්‍යයනය කරමින්, ධර්මය ගවේෂණය කරමින් ධර්මය තුළ නියතභාවයට පත් සෝතාපන්නයන් ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේදීත් වැඩසිටින බව අප අත්දැකීමෙන් දන්නා දෙයකි. ඔවුන් ඇසුරු කර ඇති ඔවුන් හා ධර්ම සාකච්ඡාවල නිරත වී ඇති පුද්ගලයෙකු වශයෙන් අපට කිව හැකි කාරණය වන්නේ එබඳු පුද්ගලයින් කෝටි සංඛ්‍යාත වූ ලෝක ජනගහනය තුළ සිටින්නේ අල්පමාත්‍රයක් බවයි.   


එහෙත් ඒ සත්පුරුණ සෝතාපන්නයෝ නිහඬව, අප්‍රකටව, අකම්පිතව යථාර්ථවාදී දෘෂ්ටියෙන් ධර්මය ප්‍රගුණ කරමින් හුදෙකලාව දිවි ගෙවති. ඔවුන්ගේ අදහස් උදහස්, අත්දැකීම් හා සිතිවිලි නිහඬ හුදෙකලා භාවනා කුටිවල, කඳු මුදුන්වල ගල්ලෙන් තුළ හෝ ඔවුන්ගේ හදවත් ගිරිශිකරවල සැඟවී යමින් තිබේ. ලොව කිසිදු ඇගයීමක් නොපතන සිය ආධ්‍යාත්මික සංවර්ධනය ලොවට හෙළිදරව් නොකරන මේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ලොව සිටින විශිෂ්ටතම හදවත් ඇති උදාරතරයෝ වෙති.   


එහෙත් නූතන යුගයේ රහතන් වහන්සේලා, අර්හත් මෙහෙණින් වහන්සේලා හෝ මාර්ගඵලලාභී යැයි ගොස නගන බොහෝ දෙනෙකුට වඩා ඔවුන් නිහඬය. තියුණුය. ගවේෂණාත්මකය. තැන්පත්ය. දීර්ඝ සංසාරයෙහි බොහෝ කාලයක් ධර්මය ස්වකීය හදවත් තුළ ප්‍රගුණ කිරීමෙන් ධර්මය බලවේගයක් බවට පත් වී ඔවුන්ගේ හදවත් තුළ ස්ථාවර වී තිබේ. එහෙයින් සෝතාපන්නයාට බුද්ධ සුභාෂිතයෙහි මූලික දාර්ශනික කාරණා ගැන කිසිදු විචිකිච්ඡාවක් හෝ විපිලිසර භාවයක් ඇත්තේ නැත.  


ඔවුහු බුදුන් වදාළ සත්‍ය දර්ශනය ඒකාන්ත වශයෙන් නිසැක ලෙස පිළිගෙන තවදුරටත් එය අත්හදා බලමින් ආර්ය මාර්ගය නමැති සැඩ පහරට බැස, ඒ මාර්ගයේ ගමන් කරමින් සිටිති. අග්‍රැතවත් අවියත් පෘථග්ජන භාවයෙන් මිදී සද්ධර්මය තුළ ස්ථිරසාරව බැස සිටින සැබෑ සෝතාපන්නයන්ගේ අත්දැකීම් පෙළක් ඉදිරි සතිවලදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

 

සමුද්‍ර වෙත්තසිංහ 



අදහස් (0)

නූතන සෝතාපන්නයන්ගේ අත්දැකීම්

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 42 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 64 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 81 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් - චන්න පෙරේරා
2025 ජනවාරි මස 08 44 0

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.


චන්දන අයියා ගැන සද්ධා මල්ලි කියන කතා
2025 ජනවාරි මස 08 112 0

‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.


ප්‍රවීණයන් ඇසුරින් මා ලැබූ ශක්තිය අපමණයි - ආදිත්‍යා වැලිවත්ත
2025 ජනවාරි මස 08 92 0

සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 220 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 554 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 302 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site