IMG-LOGO

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා


මුහුදු වතුරෙන් පහන් පත්තු කරන මුලතිව් කෝවිල

උතුරේ ජන විශ්වාස ගැන කතා කරමින් සිටි අපි පසුගිය සති කිහිපයේ කතා කළේ කිලිනොච්චිය ධර්මපුරම් පුලියම්පොකුණ නාග තම්බිරාන් කෝවිල ගැනයි. අද අපි කතා කරන්නට යන්නේ උතුරේ ජනතාව වඩාත් විශ්වාස කරන තවත් ස්ථානයක් ගැනයි. ඒ මුලතිව් නන්දිකඩාල් කළපුවේ පිහිටා ඇති වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල.

 


යුද හමුදාවේ වැඩි දෙනෙක් මේ කෝවිල ගැන හොඳින් දන්නවා ඇති. ඒ උතුරේ රාජකාරි කරන සමහර හමුදා නිලධාරීනුත් මේ කෝවිලට නිතර යන නිසයි. කෝවිලේ නම කියනවට වඩා මුහුදු වතුරෙන් පහන් පත්තු කරන කෝවිල කිව්වොත් තමයි වැඩි දෙනෙක් දන්නේ. 


කෝවිල නිර්මාණය වීම පිළිබඳ ප්‍රදේශවාසීන් කියන අතීත කතාව මේකයි. නන්දිකඩාල් කලපුවට ඔබ්බෙන් ඉස්සර සරුසාර කූඹුරු තිබිලා තියෙනවා. නන්දිකඩාල් කළපුව කියන්නේ 2009 අවසන් යුද්ධ පැවැති ප්‍රදේශය. ජනකතා අනුව මේ ප්‍රදේශයේ තරුණයන් ඉස්සර එකතු වෙලා කුඹුරු වැඩ කරනවා. ඉතින් දවසක් මේ විදියට තරුණයන් කුඹුරු වැඩ කරමින් ඉන්න අතරේ වයසක කාන්තාවක් ඇවිත් මහන්සියි කියලා මේ තරුණයන් කුඹුරු වැඩට යොදා ගත්ත නඟුලක් උඩින් වාඩි වෙලා. ඒ නඟුල හදලා තිබිලා තියෙන්නේ කොහොඹ ලීයෙන්. කොහොඹ කියන්නේ උතුරුකරයේ බොහොම සුලබ ශාඛයක්. 

 

 

ඉතින් මේ මහළු කාන්තාව තරුණයන්ට කියලා තියෙනවා එයාට බඩගිනියි කියලා. ‘අම්මට මොනවද කන්න ඕනෑ?’ තරුණයන් විමසුවා. ‘මට කිරිබත් ඕනෑ’ මහලු කාන්තාව කිව්වාලු. ඉතින් මේ තරුණයන් ඒ ළඟපාත හිටපු එළදෙනකගෙන් කිරි දොවලා කිරිබත් උයන්න පටන් ගත්තාලු. මේ තරුණයන් අර මහලු අම්මට තයෙන ගෞරවයටත් එක්ක කිරිබත හොඳින් හැදුවලු. ඉතින් කිරිබත හදලා ඉවර වෙද්දී රෑබෝවුණාලු. අද වගේ ඒ කාලේ ලයිට් තිබිලා නෑ. 


ඉතින් එළිය ගන්න පත්තු කරන්න පහන් තිබ්බට ඒ අවස්ථාවේ තෙල් තිබිලත් නෑ. ඉතින් තරුණයන් දහ අතේ කල්පනා කළා මේ අම්මට කෑම කන්න එළිය ගන්න කොහොමද දැන් පහන් පත්තු කරන්නේ කියලා. මේ වෙලාවේ තෙල් කොහෙන්ද හොයා ගන්නේ කියලා මේ තරුණයන් පිරිස කල්පනා කළා.

 

 

‘පහන් පත්තු කරන්න තෙල් ඕන නෑ. අර ඉස්සරහ කළපුවෙන් ගිහින් මුහුදු වතුර ටිකක් ගෙන්න. ගෙනත් පහන පත්තු කරන්න.’ අර කාන්තාව කිව්වා. මුහුදු වතුරෙන් පහන් පත්තු කරන්න බැරි බව මේ තරුණයන් දැනගෙන හිටියත් අර මහලු කාන්තාවට කරන ගෞරවයක් විදියට ඔවුන් මුහුදු වතුර ගෙනත් පහනට දාලා පත්තු කළා. පහන පත්තු වුණා. තරුණයන්ට හරිම පුදුමයි. 


‘මට පුද සත්කාර කරන්නේ නම් ඔබට වරදින්නේ නැහැ.’ යනුවෙන් කියපු මහල්ල එක පාරටම අතුරුදන්වෙලා. පහුවදා වෙද්දි මේ මහල්ල ඉඳගෙන හිටපු කොහොඹ ලීයෙන් හදපු නඟුළ දළු දාලා කොහොඹ පැළයක් බවට පත් වෙලා. ප්‍රදේශවාසීන් විස්වාස කරන්නේ ඒ ආවේ කන්නගි අම්මාන් කියලයි. කන්නගී අම්මාන් කියලා විශ්වාස කරන්නේ පත්තිනි දේවියගේ එක් පෙනී සිටීමක් ලෙසයි.


කොහොම නමුත් මේ සිදුවීමෙන් පස්සේ ඒ පැළවුණු කොහොඹ නඟුල තිබුණු තැන කන්නගි අම්මාන් වෙනුවෙන් කෝවිලක් ඉදි කරන්න ප්‍රදේශවාසීන් කටයුතු කළා. ඒ කෝවිල තමයි නන්දිකඩාල් කළපුවේ පිහිටා ඇති වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල.


එදා ඉඳන් ප්‍රදේශවාසීන් මහත් වූ විශ්වාසයෙන් මේ කෝවිලට පුද පූජා පවත්වනවා. කෝවිල ඉදි කරලා කාලයක් යද්දි තවත් සිදුවීමක් සිදුවූ බවට ජනප්‍රවාදයේ තියෙනවා. ඒ ඕලන්ද ආණ්ඩු කාලේ. ඕලන්ද ජාතිකයන් රට පාලනය කරන කාලේ. මේ කෝවිල ඒ කාලය වන විට හැම තැනම ප්‍රසිද්ධ වෙලයි තිබිලා තියෙන්නේ. දවසක් යාපනේ කොටුවේ සිට ඕලන්ද ආණ්ඩුකාරවරයෙක් අශ්වයෙකුගෙ පිටේ නැඟලා මේ කෝවිල බලන්න ඇවිදින් තියෙනවා. ඇවිදින් පූසාරි තැනට අපහාසාත්මකව කියලා තියෙනවා ‘උඹලගේ කෝවිලේ අනුහස් තියෙනවාලු නේද? එහෙම අනුහස් තියෙනවා නම් පෙන්නපංකෝ බලංඩ ’ කියලා. 


පූසාරි තැනත් හා හොඳයි පෙන්වන්නම්කෝ කියලා මෙහෙම වැඩක් කළාලු. කෝවිල අසල තිබෙනවා පනිච්ච මරම් කියලා ලොකු ගහක්. කෝවිල අසල ළිඳකුත් තිබෙනවා. ඒ ළිඳ ගැනත් විවිද කතා තිබෙනවා. කොහොම නමුත් පොඩි ඉපලක් අරගෙන ළිඳේ වතුර ටිකක් ඉහලා පූසාරි ඉතා හෙමින් අර පනිච්චමරම් ගහට තට්ටු කළාලු. ඒ එක්කම ඒ ගහ වේගයෙන් පැද්දෙන්න අරං. ගගේ ගෙඩි ගැළවිලා ඇවිත් ආණ්ඩුකාරයාගේ ඇඟේ වැදුණාලු. අවසානයේ ආණ්ඩුකාරවරයා සමාව අරගෙන කෝවිලට රාජ අනුග්‍රහය ලබා දෙනවා කියලා පොරොන්දු වුණාලු.

 

බැතිමතුන්ගේ භක්තිය

 

මේවා ජනතාව විශ්වාස කරන දේවල්. කෝවිලේ පැරණි බව කියන්න නම් ඕනෑ තරම් සාක්කි සාධක තිබෙනවා. වසර පනහක හැටක පමණ සිට කෝවිලේ පූජාවලට පැමිණෙන උදවිය ඉන්නවා. යුද සමයේ එල්ටීටීඊ සංවිධානය මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවත් මේ කෝවිල ආරක්ෂා කරලා තියෙනවා. යුද සමයේ කෝවිලට කිසිම හානියක් වුණේ නැහැ කියලයි කෝවිලේ පූසාරි තැන අපිත් එක්ක කිව්වේ.


යුද සමයේ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරනුත් වරින් වර මෙතනට ඇවිත් ගිහින් තියෙනවා. ප්‍රභාකරන්නේ බිරිය හා දරුවන් නිතරම මේ කෝවිලට ආවා කියලා පූසාරි කිව්වා. ඔවුන් නිතර ඇවිත් පූජාවන්ට සම්බන්ධ වෙනවාලු. මෑතක් වෙනකම්ම ඔවුන් ආපු බවට ඔප්පු කරන්න ඡායාරූප කෝවිලේ තිබ්බා කියලා පූසාරි කිව්වා. යුද සමයේ කෝවිලේ පූජාවක් අවස්ථාවක එල්ටීටීඊ සංවිධානය ඔවුන් සතුවූ කුඩා ගුවන් යානයෙන් ඉහළ සිට මල් ඉස්සා කියලත් ප්‍රදේශවාසීන් කියනවා. 

 

 

යුද්ධයෙන් පසු හමුදාවත් ඒ ආකාරයටම පූජාව අවස්ථාවේ ඉහළ සිට මල් ඉස්සා. අදටත් කෝවිලට යුද හමුදාවේ පිරිස් ඇවිත් ගෞරව දක්වලා යනවා. අපි කෝවිලට යන අවස්ථාව වන විටත් යුද හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් කෝවිලේ පූජාවට සහභාගී වෙලා හිටියා. එදා එල්ටීටීඊය වගේම අද යුද හමුදාවත් මේ කෝවිලට ගරු බුහුමන් දක්වනවා.


කෝවිලේ වාර්ෂික පූජාව ආරම්භ වන්නේ මැයි මාසයේ අවසාන සතියෙදි. එතැන් සිට දවස් ගණනාවක් විවිධ වැඩසටහන් තියෙනවා. ජුනි මස දෙවැනිදා තමයි චාරිත්‍රානුකූලව පහන් පත්තු කිරීම සඳහා කෝවිල ඉදිරිපිට කළපුවෙන් මුහුදු වතුර ගන්නේ. ඒ වතුරෙන් පහන් පත්තු කරනවා. එතැන් සිට දින හයක් එක දිගට ඒ ගත්තු මුහුදු වතුරෙන් පහන් පත්තු කරන බව ප්‍රදේශවාසීන් කියනවා. 


යළිත් වරක් ලබන වසරේ මැයි මාසයේ අවසන් සතියේ මේ වාර්ෂික පූජාව පැවැත්වෙනවා.  පූජාවට සමගාමීව දන්සල් ආදී විවිධ ක්‍රියාකාරකම් රැසක් සිදු කරනවා. 


පිං කැටය කඩන්න ආ හොරාට මොකද වුණේ? ලබන සතියේ....

 

 

 

තරිඳු ජයවර්ධන සහ 
සිතුම් චතුරංග



අදහස් (0)

මුහුදු වතුරෙන් පහන් පත්තු කරන මුලතිව් කෝවිල

ඔබේ අදහස් එවන්න

 

 

සඳැල්ල

කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 108 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


ඉදිරියෙදි මාව සිනමාව තුළින් දැකගන්න හැකිවේවි - පියුමාලි එදිරිසිංහ
2025 ජනවාරි මස 30 36 0

’’පාට කුරුල්ලෝ’’ ටෙලි නිර්මාණය හරහා නිම්නාවි ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණි ඈ මේ දිනවල ’’ආලවන්ති’’ ටෙලි නිර්මාණයේ මෙතුලිගේ චරි


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 81 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 63 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


Hiru Star කිරුළ දිනූ චමෝද් කවිශ්ක
2025 ජනවාරි මස 30 39 0

පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්‍රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක.


කාසි වාසි හරහා සැබෑ වුණේ අමන්ද්‍යාගේ ජීවිතේ තිබුණ ලොකුම හීනය ද ? - අමන්ද්‍යා උත්පලී
2025 ජනවාරි මස 30 48 0

ගායනය රංගනය උපතින්ම උරුමකරගත් අමන්ද්‍යා උත්පලී ප්‍රවීණ සම්මානනීය රංගන ශිල්පියෙකු සහ සිනමාකරුවකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය ලෙසින් අමුතුවෙන් හඳු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 92 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 776 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 746 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site