IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සිරිද‌ාස අන්ධ විය

කෙටි කතාව

මන්තර ගුරුකම් කරපු අපේ මුත්තා කෙනෙක් හිටියලු. අපේ සීයාගේ සීයා කෙනෙක්. ඒ මුත්තට මන්තර ගුරුකම් ගැන තිබුණේ පුදුම දැනුමක්ලු. එයා ළඟ මන්තරයක් තිබුණලු කෝපි කෝප්පයකට මතුරලා බිව්වාම මුත්තට නොපෙනී යන්න පුළුවන්ලු.  කතාවේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ඉඳහිට මේ කථාව කාර්යාලයේ අපේ ශාඛාවේ කිහිප දෙනෙක්ට රසකර පැවසීම සිරිද‌ාසට අමුතුම වින්දනයක් ලබාදෙන කටයුත්තක් මෙන්ම අසන පිරිස විනෝදමත් කිරීම මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් විය.  


කාර්යාලයේ වෙනත් ශාඛාවලට රාජකාරි කටයුතු සඳහා ගියවිට මෙම ප්‍රවෘත්තිය නැවත නැවත පුනරුච්චාරණය කරමින්, රසකර පැවසීම කාර්යාලයේ අප සැම රසෝඝයක ගිල්වීමක් බඳුවිය. කතාව අසා කාර්යාලයේ සමහර අය ‘‘පල පල කෙබර නොගහා’’ කියා සිරිද‌ාසව එළව ගත් අවස්ථාවලුත් තිබුණි. එසේ වුවත් සිරිදාස කිසිම අවස්ථාවක කාර්යාලයේ අනික් අය එක්ක තරහක් ඇතිකර ගත්තෙත් නැත.  
රාජ්‍ය සංවර්ධන අමාත්‍යාංශයේ පියන් කෙනෙකු වූ සිරිදාස එම අමාත්‍යාංශයේ ආපද‌ා කළමනාකරණ අංශයේ සේවය කළා. අමාත්‍යාංශයේ සෑම අංශයකම අය සමග සුහදව සිටි සිරිද‌ාස කෙරෙහි සෑම කෙනෙක් තුළම පැවතියේ ලෙන්ගතු, මිත්‍රශීලි ආකල්පයක් බව පැහැදිලිව සඳහන් කළ හැක.  


හදිසියේ සිරිද‌ාසට රාජ්‍ය ගමන් බලපත්‍ර දෙපාර්තමේන්තුවට ස්ථාන මාරුවක් ලැබුණු බව මට දැනගන්නට ලැබුණේ මෙම ස්ථාන මාරුවීම පිළිබඳ මා දැනුම්වත් කර සමුගැනීමට පැමිණි අවස්ථාවේදී බැව් සඳහන් කළ යුතුය.  


තම ස්ථාන මාරුවීම පිළිබඳ සිරිද‌ාස තුළ තිබුණේ දුකක් වේදනාවක් නොව ඉතාම වින්දනීය සතුටක් බව සිරිද‌ාසගේ මුහුණ දිහා බැලූ මා හට වැටහුණත් ඒ මන්ද යන්න එවකට ආධුනික ලිපිකරුවකු වශයෙන් වැඩ කළ මට වටහා ගැනීමට නොහැකි විය.  


දවසින් දවස මාසයෙන් මාසය කාලය කෙමෙන් ගලාගිය අතර සිරිද‌ාස පිළිබඳ මතකයන් ඈත්වන්නට වූයේ නිතැතින්මයි. සිරිදාස ස්ථාන මාරුවී අවුරුද්දක පමණ කාලයක් ගතවිය. නොසිතූ විරුලෙස සිරිද‌ාස පිළිබඳ දැනගන්නට ලැබුණේ සතුටුද‌ායක ආරංචියක් නොව ඉතා කනගාටුද‌ායක දොම්නස් සහගත ආරංචියකි. එනම් රු. 1000/- ක අල්ලසක් ගැනීමේදී අල්ලස් හා දූෂණ මර්දන පොලිසියට අසු වී ඔහු එම පොලිසියේ ප්‍රධාන කාර්යාලයට ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බවයි.  


සිරිද‌ාස අධිකරණය හමුවේ වරද පිළිගත් අතර ඔහුට දඬුවම වශයෙන් වසර පහකට අත්හිටවූ සිරදඬුවමක් හා රු 10000/- ක දඩයක් නියම කෙරුණි. සිරිද‌ාසට ලැබුණු දඬුවම හේතුවෙන් ඔහුගේ රැකියාව අහිමි වූ බව ආරංචි විය.  


ඒකෙත් හැටි! දේශපාලකයෝ රජයේ උසස් නිලධාරින් කෝටි ගණන් හොරකම් කරනවා නේද? ඔවුන්ට දඬුවම් නොමැත. නමුත් රු. 1000/- ක් අල්ලස් ගත් සිරිද‌ාසට රැකියාව අහිමි විය. නීතිය සැමට සමානද? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේකටද? යැයි මට එක්වරම සිතුණි.   


වසර ගණනාවක්ම සිරිද‌ාස මට හමු නොවීය. එක්තරා දවසක අරුණට පෙර අලුයම හතරට පමණ සිරිද‌ාස මට දැකගන්නට ලැබුණේ කොටුව දුම්රිය ස්ථානය තුළදී අහම්බයෙන්ම වාගෙයි. ආගිය තොරතුරු කතා කිරීමේදී සිරිද‌ාස පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන බව පැවසුවා මට මතකයි.  
හදිසි රාජකාරි කටයුත්තකට මට කොළඹින් පිටත යන්නට සිදු වූ හෙයින් එදින අලුත්ගමින් පෙ.ව 3.22 ට පිටත් වන දුම්රියෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට පැමිණි පසු හදිසියේම මට සිරිදාස හමුවිය. නැවත නැවතත් දින කීපයක්ම සිරිද‌ාසව මට එම වේලාවටම කොටුව දුම්රිය ස්ථානය තුළ මුණගැසිණ.  
තවත් දවසක් කලින් වේලාවටම මට සිරිද‌ාසව මුණගැසුණු නමුත් එදින ඔහුගේ ස්වරූපය වෙනස්ව පැවතීම හේතුවෙන් මට සිරිද‌ාසව හරිහැටි හඳුනාගන්නට නොහැකි වූ අතර මාවද ඔහු හඳුනා නොගත් බැව් පැහැදිලි විය. හිඟමන් යදින ඔහුගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම වෙනස් වී කිලිටි පොඩිවුණු සරමක් හා එවැනිම බොක්සිං බැනියමක් ඇඳ අන්ධයකු ලෙස වෙස්වළාගෙන සිඟමන් යදිමින් කොටුව දුම්රිය ස්ථානයට ඉදිරිපිට පාරේ ගමන් කරනු දක්නට ලැබුණි. සිරිද‌ාස අන්ධයෙක් වීද? අන්ධ බව ඕනෑකමින් පෙන්නුම් කරයිද? යන්න මට උභතෝකෝටික ප්‍රශ්නයක් විය.  


සති කීපයක් සිරිද‌ාසට හොරෙන් මා ඔහු පිළිබඳ විමසීමක නියැළුණු අතර කිසිවක් දැනගන්නට නොලැබුණි. අහම්බයෙන් වගේ දවසක සිරිද‌ාස පාන්දර හතරයි තිහට පමණ කොටුව දුම්රිය ස්ථානය තුළ සිටිනා බව දුරතියාම මට දැකගන්නට හැකිවිය. කලිසමකින් හා කමිසයකින් සැරසි පැමිණි සිරිද‌ාස දුම්රිය ස්ථානයේ වැසිකිළියට ඇතුළු වී ඇඳුම් මාරුකර කිලිටි සරමකින් හා බැනියමකින් සැරසී දෑස් පියාගෙන සැරයටියක් රැගෙන අන්ධයකු ලෙස දුම්රිය ස්ථානය තුළ ගමන් කරනු දක්නට ලැබුණි.  


ඔහුට නොදැනෙන්නට ඔහු පසුපසින් ගොස් යන්නේ කොහාටද? කරන්නේ කුමක්ද? යන්න මම විමසිලිමත්වීමි. සිරිද‌ාස මහනුවර බලායන ශීඝ්‍රගාමි දුම්රියට ගොඩ වී අන්ධයකු ලෙස හිඟමන් යදිමින් දුම්රියේ මැදිරියෙන් මැදිරියට ගමන් කරන්නට විය.  


පාන්දර හතරයි තිහට පමණ දුම්රිය ස්ථානයේ වේදිකාවේ ගමන් කරමින් දුර පළාත්වලට යන දුම්රියවලට ගොඩවනු මෙලෙස දවස් කීපයක්ම ඔහුව මට දැකගන්නට හැකි විය. කාර්යාලයේ සිට ප්‍රමාද වී පැමිණි එක්තරා දිනක හදිසියේ සිරිද‌ාස කලිසමකින් හා කමිසයකින් සැරසී සිටිනු මට දක්නට හැකි විය. මට ඇතිවූයේ මහත් සැකයකි.  


මා සිනාසෙමින් සුහදව සිරිද‌ාසගේ වෙස්මාරුව පිළිබඳ ඔහුගෙන් විමසන්නට වීමි. මෙම විමසීම කළේද වෙනත් කිසිවකුට නොඇසෙන ලෙසයි. මුලින් අදිමදි කරමින් වෙනත් කතාවලට මාරුවෙමින් මට පිළිතුරු දෙන්නට ඔහු අකමැති බව පෙන්වීමට මෙන් බොරු කියා මා රවටන්නට උත්සාහගත්තද රහස් පරීක්ෂකයකු ලෙස නැවත නැවත සිරිදාසගෙන් ප්‍රශ්න කළ නිසා මේ පිළිබඳව මා වෙතින් වසන් කරන්නට ඔහුට නොහැකි විය.  
අවසානයේ මෙම සිද්ධිය කිසිවකුට නොකියන ලෙස මා පොරොන්දු කරවා ගෙන සිරිදාස සත්‍යය පවසන්නට විය.   


සෑම දිනකම පෙරවරු හතරට පමණ දුම්රිය ස්ථානයට පැමිණ ඇඳුම් මාරුකරගෙන තමන් විසින්ම ඇස් දෙකට මී පැණි වත්කරගෙන අන්ධයකු මෙන් රඟපාමින් හිඟමන් යදිමින් දුර පළාත්වලට දුම්රියෙන් යමින් මුදල් සොයාගන්නා බවද ඔහු පැවසීය. සමහර දවස්වල ඔහුගේ දෛනික ආද‌ායම රු 6000/- ක පමණ වන බවත් ඔහු මා සමග වැඩිදුරටත් පවසන්නට විය.  
රාජ්‍යතාන්ත්‍රික නිලධාරියකු ලෙස වසර පහක් පමණ විදේශයක සේවය කරන්නට සිදු වූ නිසා සිරිද‌ාසව මට වසර හයක පමණ කාලයක් හමු නොවීය.  


දෛනිකව කරන රහසිගත රැකියාව පිළිබඳ විස්තර පවසා වසර විස්සකට පමණ පසු අහම්බෙන් වාගේ සිරිද‌ාසට මා හමු වූ අතර ඔහු තමාගේ විස්තර පවසන්නට වූයේ ඉතා ලෙන්ගතු ලෙසයි.  


තමා සුඛෝපබෝගි නි​ෙවසක් සහිත ඉඩමක් මිලදී ගත් බවත්, තම වැඩිමහල් පුතා ඉංජිනේරුවකු වශයෙන් සිංගප්පූරුවේ සේවය කරන බවත්, දෙවැනියා වෛද්‍යවරයකු බවත් තුන්වැන්නා පරිපාලන සේවයේ රැකියාවක නිරතවන බවත්, තිදෙනාම විවාහ වී ඇති බවත් සිරිද‌ාස මට වැඩිදුරටත් පැවසීය. දැන් තමාත් බිරිඳත් පමණක් ගෙදර සිටින බවත් අද ඇස්වලට බෙහෙත් ගැනීම සඳහා කොළඹට පැමිණි බවත් ඔහු පැවසීය.  
දෛනිකව වසර ගණනාවක්ම ඇස්වලට මී පැණි දැමීම නිසා තම ඇස්වල පෙනීම අඩුවීගෙන යන බවත් සිරිදාස තවදුරටත් මා සමග පැවසුවේ ශෝකාන්විත ලෙසයි. ඇස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් දිගටම ප්‍රතිකාර කළමුත් දීර්ඝ කාලයක් දිගටම ඇස් දෙකට මීපැණි දැමීම නිසා ඇස් දෙකේම පෙනීම නැති වී සද‌ාකාලික අන්ධයකු ලෙස ජීවිතය ගෙවන බව ඔහු බැලීමට ඔහුගේ නි​ෙවසට ගියවිට මට දැනගන්නට හැකිවිය.  

 

 

ගාමිණී පීටර්ස්  
පයාගල  



අදහස් (0)

සිරිද‌ාස අන්ධ විය

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 22 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 21 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site