IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඒ ආණ්ඩුවත් එතුමාගේ මේ ආණ්ඩුවත් එතුමාගේ

මහත්මා ගාන්ධි චරිත කතාවේ සඳහන්වෙන අන්දමට මිනිසුන් විසින් සිදුකරනු ලබන මහා පව් හතකි. ඉන් ප්‍රධාන එකක් වන්නේ අසාධාරණ ලෙස ධනය ඉපැයීමයි. මෙම කාරණාව අපේ රටේ දේශපාලනඥයින්ට කෙතරම් දුරට ගැලපෙන්නේ දැයි තේරුම් යන්නේ අපේ දේශපාලනඥයින් කෙතරම් අසාධාරණ ලෙස ධනය උපයා ඇතිදැයි විපරම් කිරීමේදීය.


පාපැදියක් හෝ නොමැතිව ඉන්න හිටින්නට හරිහැටි නිවසක් හෝ නොමැතිව දේශපාලනයට පිවිසෙන්නෝ වසර කීපයක් ගතවන විටම ලෝකයේ ඇති සුපිරි වාහන කීපයක අයිතිකරුවන් බවට පත්වන්නේත් නගරයේ ඉදිකළ සුවිසල් මන්දිර කිහිපයක අයිතිකරුවන් බවට පත්වන්නේත් අපේ රටේ ඇති දේශපාලනයේ බලමහිමය නිසාමය. බටහිර ජාතීන්ගේ පාලනයෙන් නිදහස ලැබූ අන් රටවල් ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය කරා ළඟා වෙද්දී ශ්‍රී ලංකාව තවදුරටත් දුප්පත් රටක් බවට පත්ව තිබෙන්නේද දේශපාලනඥයින්ගේ මෙම මහජන මුදල් කොල්ලකෑමේ ප්‍රතිපත්තිය නිසාය.


 දූෂණ වංචා, සොරකම්, මිනීමැරුම් හා බලය අනිසිලෙස භාවිතා කිරීම බොහෝ දේශපාලනඥයින් ප්‍රතිපත්තිය කරගත් අපේ රටේ මේ කියන්නට සූදානම් වෙන්නේද එහෙව් දේශපාලනඥයෙකු පිළිබඳවය. එක්තරා ඓතිහාසික ප්‍රදේශයකින් දේශපාලනයට පිවිසි මෙම පුද්ගලයා දේශපාලනයට පැමිණීමට පෙර කටයුතු කළේ රජයේ සේවයේය. උසස් පෙළ විභාගය අසමත් මෙම පුද්ගලයා ගුරු වෘත්තියට පිවිසෙන්නේ දේශපාලන උපකාරය ඇතිවය. පුදුමයකට කාරණාව වන්නේ ඔහු දේශපාලන උපකාර ලබන්නේ පසුව තමා දේශපාලනයට පිවිසෙන පක්ෂයෙන් නොව එවකට බලයේ සිටි පක්ෂයේ දේශපාලනඥයෙකුගෙන් වීමය.


පසුව මෙරට ප්‍රබල දේශපාලන පවුලකට සහයෝගය දක්වන ඔහු එම දේශපාලන පවුලෙන් පළාත් සභාවට පත්වූ ප්‍රධාන දේශපාලනඥයකුගේ කාර්ය මණ්ඩලයේ තනතුරකට පත්වන්නේය. දේශපාලනයෙන් මුදල් හම්බ කිරීමේ රසය ඔහුට දැනෙන්නට පටන් ගන්නේ ඉන් පසුවය. සභාවේ ප්‍රධාන තනතුරක් දැරූ තම දේශපාලන ස්වාමියාගේ නමට මුවාවී ඔහු හොඳ ගණනක් හෙව්වේය. රැකියා අවස්ථා රුපියල් ලක්ෂ ගණන්වලට වික්කේය. කොන්ත්‍රාත් ලබාදී ඇති විශාල මුදලක් යටිමඩි ගසා ගැනීමට ද ඔහුට හැකිවිය. සභාවේ සිටි තම ප්‍රධානියා දේශපාලනයේ ඉහළම තනතුරකට පත්වීමෙන් පසුවද මෙම පුද්ගලයා අඛණ්ඩවම ලේකම් තනතුර ඉසිලීය. තම ප්‍රධානියාගේ තනතුර භාවිතා කරමින් තව තවත් දූෂණ වංචාවල නිරත වූවත් ඒ ගැන ඇහැක් ඇර බැලුවේ ප්‍රධානියා නම් නොවේ.


ප්‍රධානියාගේ ආශිර්වාද ඇතිව ඊට වසර හයකට හතකට පමණ පසුව මෙම පුද්ගලයාද සභාවකට තරග කළ අතර ඔහු එහිදී ඉහළින්ම ජයගත්තේය. තම ප්‍රධානියාගේ මැදිහත්වීම මත එම සබාවේ ඉහළම තනතුරක්ද මෙම පුද්ගලයාට ලැබෙන්නේ සභාව තුළ සිටි ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පවා පසෙකට දමමිනි. ඔහු එයින් විවිධ ව්‍යාපෘති ආරම්භ කළේය.


එම ව්‍යාපෘති අතර වූ අපූරු මෙන්ම තම සාක්කුවට රුපියල් කෝටි ගණනක් ලැබෙන ව්‍යාපෘතියක් ඔහු ක්‍රියාත්මක කළේය. ඒ පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක තුනේ මාර්ගවල බස්නැවතුම්හල් ඉදිකිරීමය. ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග රැසක බස්රථ නැවතුම්හල් (බස් හෝල්ට්) සිය ගණනක් ඉදිකරන ලද අතර ඒ සෑම එකකම තමාගේ ඡායාරූපය හා නම සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේය. ප්‍රමිතියෙන් තොර මෙම බස් නැවතුම් අද වනවිට දැක්නට නැතත් එම ව්‍යාපෘතිය මගින් දේශපාලනඥයා රුපියල් කෝටි ගණනක් සාක්කුවේ දමා ගත්තේය.


 තම ප්‍රධානියාගේ බලය අයුතු ලෙස භාවිත කරමින් දේශපාලනඥයා තවත් අමන වැඩක් කළේය. ඒ රටේ ප්‍රචලිත රෝහලක් තුළදීය. රටේ වැදගත් නාමයක් හිමි පරම්පරාවක් විසින් අංගසම්පූර්ණ රෝහලක් සාදා රජයට පරිත්‍යාග කළේය. එම රෝහලට අයත් අති විශාල ඉඩම මෙන්ම රෝහල් ගොඩනැගිලි ඉදිකිරීමට ගිය බරපැන දරන ලද්දේද මෙම පරම්පරාව විසිනි.


රෝහල ඉදිකළ පරම්පරාවේ ප්‍රධානියා සිහිවීම පිණිස ඔවුන් විසින්ම රෝහල ඉදිරිපිටම ප්‍රතිමාවක් තැන්පත් කළ අතර උඩුකය පමණක් ප්‍රදර්ශනය වූ මේ පිළිරුවෙන් පිළිබිඹු වූයේ පරම්පරාවේ ප්‍රධානියාය. ඉතාමත් විශාල මුදලක් වැයකර මෙම ප්‍රතිමාව නිර්මාණය කර තිබුණේ අධික මිලකින් යුත් ලෝහ වර්ගයකිනි. ඉහත කී දේශපාලනඥයා මෙම වටිනා ලෝහ වර්ගයට ඉව අල්ලමින් සිටියේය.


  එක්තරා දිනක රාත්‍රියේ මැර පිරිසක් සමඟ රෝහල් භූමියට ඇතුල් වූ දේශපාලනඥයා රැගෙන ආ කැබ්රථයක ලණුවක් ගැට ගසා එහි අනෙක් කෙළවර ප්‍රතිමාවේ දවටා කැබ්රථය ධාවනය කර ප්‍රතිමාව ගලවා ගත්තේය. පසුව ඔහු එම වටිනා ප්‍රතිමාව උණුකර අධික මිලකට විකුණා ගත්තේය.


රෝහල ඉදිකළ ප්‍රභූ පරම්පරාවේ පිරිස මේ පිළිබඳව වහා ක්‍රියාත්මක වූ අතර ප්‍රතිමාව ගලවාගෙන ගියේ දේශපාලනඥයා බව ඔවුන් අනාවරණය කර ගත්හ. එහෙත් දේශපාලනඥයාගේ ප්‍රධානියා ඒ වන විට රටේ බලවත් තැනක සිටි නිසා ඒ පිළිඳව කිසිදු පරීක්ෂණයක් සිදු නොවීය. 


පුදුමයට කරුණ එයම නොවේ. ඉන්පසුව බලයට පත් රජයක් මගින් හෝ මෙම අපරාධය පිළිබඳව පරීක්ෂණයක් සිදු 
නොකිරීමයි. මේ වකවානුවේදීම රජය ගත් හදිසි තීරණයක් වූයේ කොස්ගස් ප්‍රවාහනය සඳහා බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමයි. අප පෙර කී රෝහලට ආසන්නව අක්කර 10 ක පමණ රක්ෂිත කැලයක් පිහිටා තිබිණි. එහි බහුල ලෙසම තිබුණේ කොස්ගස්ය.

දේශපාලනඥයා තම සහචරයින් යොදවා එම රක්ෂිතයේ තිබූ සියලුම කොස්ගස් කපා දැම්මේය. කොස් ප්‍රවාහන බලපත්‍ර නීතිය ද ක්‍රියාත්මක නොවීම නිසා ඉතා පහසුවෙන් කොස්ගස් සියල්ල පිටත්කර ප්‍රදේශයකට 
රැගෙනගොස් ඉක්මනින්ම ඒවා සල්ලි කර ගත්තේය. මෙම රක්ෂිතය අසල රජයේ ආයතනයකට අයත් ගොඩනැගිලි රැසක් වූ අතර ඒවා ඉදිකර තිබුණේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේදීය. මෙම වටිනා ගොඩනැගිලිවලින් කීපයක් කඩා දමා එහි වටිනා දැව හා අනෙකුත් කොටස් දේශපාලනඥයා ලබා ගත්තේය. එදා ආණ්ඩුව මෙන්ම ඊට පසුව පත්වූ ආණ්ඩු ද මේ පිළිබඳව කිසිදු විභාගයක් නොපැවැත්වීය.


 පසුව අනාවරණය වූ පරිදි කොස් ගස් ප්‍රවාහන බලපත්‍ර අහෝසිවීමේ නීතිය ක්‍රියාත්මක කරවා ගන්නට දේශපාලනඥයා තම ප්‍රධානියාගේද සහාය මත විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබිණි. රක්ෂිත කැලයේ කොස්ගස් කපා දමා ප්‍රවාහනය කිරීමෙන් සතියකට දෙකකට පසුව යළිත් ප්‍රවාහන බලපත්‍ර නීතිය ක්‍රියාත්මක විය.


සමහර දේශපාලනඥයින් දේශපාලනයට අත්පොත තබන විට පාපැදියක් හෝ නොතිබුණත් මෙම දේශපාලනඥයාට නම් පාපැදියක් තිබිණි. එසේ වුවත් වෙනත් කිසිදු වාහනයක් ඔහුට නොතිබිණි. එදා සිට අද දක්වාම දේශපාලනයේ නිරත මෙම දේශපාලනඥයා සතුව අද ඇති වත්කම් මිල කළ නොහැකි තරම්ය. බදුල්ල දිස්ත්‍රික්කයේ එළවළු සඳහා ප්‍රචලිත නගරයක සුරාසැල් දෙකක් ඔහු සතුය. කොළඹ නගරයේ ප්‍රධානම විදුහලක් අසල පිහිටි ඉන්ධන පිරවුම්හල ඔහුගේය. සමුපකාරයට අයත්ව තිබූ එම ඉන්ධන පිරවුම්හල දේශපාලනඥයා ලබා ගත්තේ ඉතා සූක්ෂ්ම හා කපටි ආකාරයෙනි. ඊට අමතරව සුවිසල් මන්දිර කීපයක් හා අති සුඛෝපභෝගී වාහන රැසක් ඔහු සතුය.


 තමාට දේශපාලනයට එන්නට අතදුන් ප්‍රධානියාට බලය අහිමි වීමෙන් පසුව ප්‍රධානියා අතහැර නව ප්‍රධානියෙකු සොයා දේශපාලනඥයා ගියේය. පසුව එම ප්‍රධානියාට ද බලය අහිමි වීමෙන් පසුව අලුත් ප්‍රධානියෙකු යටතට දේශපාලනඥයා ගියේය. ඔහු දැන් සිටින්නේද තමාට වාසියක් ඇති පැත්තේය. පුදුමය නම් කිසිම ප්‍රධානියෙකු මේ දේශපාලනඥයාට ඇති චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීමයි.


 අපේ රටේ දේශපාලනයට අනුව මේ වැරදිවලට දඬුවම් ලැබීමට නම් එම දේශපාලනඥයා පවතින රජයට එරෙහි තදබල විපක්ෂ දේශපාලනඥයෙකු විය යුතුමය  එහෙත් කිසිදු එවැනි තත්ත්වයක් උදා නොවන්නේ දූෂිත දේශපාලනඥයා සැමදා බලයේ සිටින කණ්ඩායම නියෝජනය කරන බැවිනි.

ආලවකයා



අදහස් (0)

ඒ ආණ්ඩුවත් එතුමාගේ මේ ආණ්ඩුවත් එතුමාගේ

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 20 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 19 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 13 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 26 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 23 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 168 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 86 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 761 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 736 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site