IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


මෝදිගේ ගමනට ගෙනා පරිවාර හෙලිකොප්ටරය අක්‍රිය වුණේ දළදා මාලිගාවට ඉහළින් ගිය නිසාද?

 

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවයේ ආරම්භයත් සමඟ එම උත්සවයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයෙකු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මැයි මස 12 වැනි දින මහනුවර පුරවරයට පැමිණ ශ්‍රී දළදා සමිඳුන්ට පුජෝපහාර දැක්වීමට නියමිතව තිබිණි. ඒ කටයුත්ත වෙනුවෙන් මහනුවර නගරයට පමණක් නොව මහනුවර පුරවරයේ ගුවන් ගැබට ද විශේෂ ආරක්‍ෂක වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් තිබිණි.


ඉන්දියාවේ සිට විශේෂයෙන් පැමිණි ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යනා කීපයක් ගිගුම් දෙමින් මහනුවර පූජනීය නගරයේ ගුවන් ගැබ පුරා සැරිසැරුවේ නගරවාසීන් ද මහත් කලබලයට පත් කරවමිනි.


මෙම විශේෂ හෙලිකොප්ටර් යානා මහනුවර නගරයේ ගුවන් ගැබට පිවිසියේ මැයි මස 10 වැනි දිනදීය.


මෙම හෙලිකොප්ටර් යානා අතරින් එකක් කීප අවස්ථාවකදීම ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින කුටියේ රන් වියනට ඉතාම සමීපව වේගයෙන් ශබ්ද නගමින් සැරිසැරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ආරක්‍ෂාව නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් බව මෙරට ආරක්‍ෂක අංශ නිලධාරීන්ගෙන් අනාවරණය විය.


ඉන්දීය ආරක්‍ෂක අංශ නිලධාරීන් සහිත මෙම විශේෂ හෙලිකොප්ටර් යානය ශ්‍රී දළදා මාළිගාවට උඩින් අවස්ථා කීපයක දී ගමන් ගන්නා අවස්ථාව ශ්‍රී දළදා මාළිගාවේ ආරක්‍ෂාවට සිටි ආරක්‍ෂක නිලධාරීන් ද නගර වැසියන් ද ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික සතර මහා දේවාලවලින් එකක් වූ ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා ද මවිත වී බලා සිටියේ කිසිදා ගුවන් යානයක් රන් වියනට ඉහළින් නොයන නිසාය.


කෙසේ හෝ එම ඉන්දීය හෙලිකොප්ටර් යානාවට වැඩි වෙලාවක් සෙංකඩගල පුරවර අහස් ගැබේ සිසාරා යන්නට නොහැකි වූයේ එක්වරම එහි ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් එය මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණ භූමියට ගොඩබා එහි ස්ථානයක ගාල්කර තැබීමට සිදුවීම නිසාය.


යළි පණ ගන්වා ගුවන් ගත කිරීමට නොහැකි ලෙස යානාවේ ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කිරීමට එහි නියමුවෝ උත්සාහ ගත්හ. අඩුම වශයෙන් එහි ඇති වූ දෝෂය ඔවුනට සොයා ගත නොහැකි වූ තැන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්මික නිලධාරීන් කීප දෙනෙක් මෙම යානාවේ ඇති වූ දෝෂය හඳුනා ගත්ත ද, ඔවුනට එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන් ඉඩ ලබානොදුන් බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් හෙළිකරගත හැකි විය.


අවසානයේ ගුවන් ගත කිරීමට නොහැකි ලෙස කාර්මික දෝෂයකට ලක්වූ ඉන්දීය හෙලිකොප්ටරය විශේෂ පොලිස් ආරක්‍ෂාව යොදවා අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණ භුමියේ මුල්ලකට ගාල්කර විශේෂ ආවරණයකින් ඉදිරිපස වසා දැමීමට ඉන්දීය ගුවන් හමුදා නිලධාරීහු පියවර ගත්හ.


කිසිදු අන්දමකින් දෝෂය යථා තත්ත්වයකට පත්කර ගැනීමට නොහැකිවීමත් සමඟ දින ගණනාවක් මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේ ගාල්කර තැබූ හෙලිකොප්ටර් යානය යළිත් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉන්දියාවේ සිට විශේෂ ගුවන් යානා ඉංජිනේරුවරුන් කීප දෙනෙක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් ද සමඟ මහනුවරට පැමිණියහ.


මැයි මස 15 වැනි දින සවස ඉන්දීය ගුවන් හමුදා ඉංජිනේරුවන් කීපදෙනා ශ්‍රී ලාංකීය සංචාරක මග පෙන්වන නිලධාරියෙකු සමඟ දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ට පූෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් ඉටුකොට දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගත් බව එම සංචාරක මග පෙන්වන නිලධාරියාගෙන් දැනගත හැකි විය.


පසුදින (16) පෙරවරුවේ සිට ඉන්දියාවෙන් පැමිණි ඉන්දීය ගුවන් හමුදා කාර්මික නිලධාරීන් ගුවන් ඉංජිනේරුවන් එක්ව අක්‍රීයවී තිබූ හෙලිකොප්ටරය යථා තත්ත්වයට පත්කර ගැනීමට දැඩි වෙහෙසක් ගත්හ.


ඔවුන්ගේ උත්සාහය සාර්ථක වූ අතර දින පහක් තිස්සේ ගුවන්ගත කිරීමට නොහැකිව අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේ මුල්ලක ගාල්කර තිබූ හෙලිකොප්ටර් යානය ක්‍රියාත්මක කර ගුවන් ගතකර ගැනීමට ඉන්දීය ගුවන් හමුදා නිලධාරීන්ට අවස්ථාව උදාවිය.
කිසිදු හේතුවක් නැතිව මහනුවරදී අක්‍රීය වූ මෙම ඉන්දීය යානය ඉන්දියාවේ සිට ඉතා ආරක්‍ෂිතව ලංකාවට පැමිණ අවසානයේ මහනුවර අහසේද සැරිසරා එක්වරම අක්‍රීය වීමට හේතුව ඔවුන් නොදැන සිටිය ද මහනුවර වැස්සෝ එය සත්‍යාවබෝධයෙන්ම වටහාගෙන තිබිණි.


සම්බුදු පියාණන්ගේ වාම දළදා වහන්සේ වැඩ සිඳුවා ඇති දළදා මාළිගාව උඩින් ධාවනය වූ මෙම හෙලිකොප්ටරය හිටිඅඩියේම අක්‍රිය වූයේ ශ්‍රී දළදා සමිඳුන්ට කිසිදු පූජනීය ගරුත්වයක් නොදක්වා නොහික්මුණු හිතුවක්කාර ගුවන්ගත වීමක යෙදීම නිසා බව මහනුවර නගරවාසී බොදුනුවන්ගේ සිත්තුළ පැල පදියම්වී තිබිණි.


ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණ මහනුවරට ද සැපත්වී ශ්‍රී දළදා සමිඳුන් සිය දැසින්ම දැක දළදා සමිඳුන්ට පුෂ්පෝපහාර දක්වා දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබාගෙන වැලිඇටයක සීරීමක් අනතුරක් නොලබා සැමගේ ගෞරවාදරයට පාත්‍රවී බුදුන් වැඩිය දේශයෙන් නික්ම ගිය ද බුදුන්ගේ දහමේ යථාර්ථයට ගරු බුහුමන් නොකර, එකී පූජනීයත්වයට නොසලකා හිතුවක්කාර ලෙස දළදා සමිඳුන්ට ඉහළින් අහසේ සැරිසැරූ හෙලිකොප්ටර් යානාව පැදවූ නියමුවාට ද දින කීපයක් තිස්සේ තම යානාව ගුවන්ගත කරගැනීමට නොහැකිව මහනුවර පුරවරයේ රැඳී සිටීමට සිදුවූයේ ද දෛවයේ සරදමක් ලෙසිනි.


පිටදේශයකින් මෙරටට පැමිණි ගුවන් නියමුවෙකුට උපදේශයක් හෝ දෙන්නට මෙරට ගුවන් හමුදාවේ වගකිවයුතු නිලධාරීන් නොසිටියේදැයි මහනුවර වැසියන්ට ප්‍රශ්නයකි.


සම්ප්‍රදායක් ලෙසත් නීතියක් ලෙසත් ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින ශ්‍රී දළදා මන්දිරයේ පියස්සට උඩින් හෙලිකොප්ටර් යානාවක් කිසිදිනක ගමන් නොකළ බව දළදා මාළිගාවේ සේවයේ නියුතු පැරණි සේවකයන් මෙන්ම දළදා මාළිගාවේ ඓතිහාසික තොරතුරු මැනවින් දන්නා මහා සංඝයා වහන්සේලා ද නගර වැසියන් ද පැවසූහ.


කාර්මික දෝෂයට ලක්ව තිබූ ඉන්දීය හෙලිකොප්ටර් යානයේ ඇතිවී තිබුණේ සුළු දෝෂයක් බව එය යථා තත්ත්වයට පත් කිරීමට ඉන්දියාවේ සිට පැමිණි නිලධාරීන් ද අවබෝධ කරගෙන තිබිණි. දළදා සමිඳුන්ගේ ඓශ්චර්යයත් වාසනා බලමහිමයත් හේතුකොටගෙන ඉන්දීය යානයත් එහි නිලධාරී පිරිසත් නිරුපද්‍රිතව ඔවුන්ගේ දේශයට ගිය බවට පසුව තොරතුරු අනාවරණය විය.
එක්කලෙක මෙරට විසූ පුරාවිද්‍යාවේ කෙළ පැමිණි මහා විද්වතෙකු දළදා මැදුරේ වැඩ වසනුයේ සත්‍ය වශයෙන්ම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ ද නැත්නම් වෙනත් සත්වයෙකුගේ දතක්දැයි පවසා සැකහැර දැනගැනීම පිණිස එවකට ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ධුරය හෙබවූ රත්වත්තේ නිලමේතුමාගේ සමයේ දළදා සමිඳුන් වෙත පැමිණ තිබේ. එම මහා විද්වතා කුඩා දෑ ලොකු කර බැලිය හැකි සුවිශේෂී කණ්නාඩියක් ද ගෙන දළදා සමිඳුන්ගේ තේවාව භාරව එවකට සිටි මහා නායක ස්වාමීන් වහන්සේට ද පවසා දළදා වහන්සේ පරීක්‍ෂාවට ලක්කිරීමට සූදානම් වෙනවාත් සමඟ ඔහු එක්වර සිහිසුන්ව එම ස්ථානයේ ඇද වැටී අවසානයේ රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ප්‍රකෘති තත්ත්වයට ද පත්කර තිබේ.


එම සිද්ධිය හෙළිකළ ශ්‍රී දළදා මාළිගාවට සම්බන්ධ ඉපැරණි නිලධාරියෙකු සඳහන් කළේ එදා එම මහා පුරා විද්‍යා විද්වතා සත්‍ය දළදා වහන්සේ පිළිබඳව සොයා බැලීමට පැමිණ මහානායක හිමිපාණන් වහන්සේලාගේ දෝෂ දර්ශනයට පවා ලක් වූ බවයි.
අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති ආචාර්ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ශ්‍රී දළදා සමිඳුන්ගේ ඓශ්චර්යමත් බල මහිමයන් පිළිබඳව කරුණු දක්වමින් මෙසේ පැවසූහ.


ඉංග්‍රීසි පාලකයන්ගේ සමයේ ශ්‍රී දළදා වහන්සේගේ සත්‍ය බලමහිමය පිළිබඳව ඔවුනට එතරම් වැටහීමක් තිබුණේ නැති බව පොතපතෙහි සඳහන් වෙනවා. ඒ සමයේ ඉංග්‍රීසි පාලකයන් ශ්‍රී දළදා සමිඳුන්ගේ සත්‍යය උරගා බලන්නට උත්සාහ කර තිබෙනවා. ඒ සමයේ දී දළදා මාළිගාව අවට පරිශ්‍රයට මහා වර්ෂාවක් ඇද වැටී දළදා මාළිගා මහ මළුවත් වැසි ජලයෙන් යටවී මහනුවර වැවේ ජලයත් පිරී උතුරා පිටාර ගලා තිබෙනවා. මේ ගැන ඉංග්‍රීසි පාලකයන්ගේ සමයේ ලියන ලද ග්‍රන්ථවල සහ ලේඛනවල සඳහන් වී තිබෙනවා.


එදා එල්ටීටීඊ ත්‍රස්තවාදීන් දළදා මාළිගාවට බෝම්බ ගහලා ශ්‍රී දළදා සමිඳුන් විනාශ කිරීමට උත්සාහ කළත් ඒ බෝම්බ ප්‍රහාරවලින් දළදා වහන්සේ වැඩ සිටි කුටියට හෝ දළදා වහන්සේට කිසිදු හානියක් සිදුවූයේ නැහැ. ඒකම ශ්‍රී දළදා සමිඳුන්ගේ ඓශ්චර්යය හැටියට හඳුන්වන්න හැකියි නේද?


අපිටත් දැනගන්න ලැබුණා දළදා මාළිගාවට උඩින් හෙලිකොප්ටර් යානාවක් ගමන් කළ බව. සිවිල් ගුවන් සේවා අධිකාරිය යටතේ වෙනම විශේෂ වූ නීතියක් පනවා තිබෙනවා කිසිම ගුවන් යානයකට හෙලිකොප්ටර් යානාවකට ශ්‍රී දළදා මාළිගාවේ පියස්සට උඩින් ගමන් කිරීමට නොහැකිවෙන සේ. මා ළඟ ඒ සම්බන්ධව කරුණු ඇතුළත් ලේඛනයක පිටපතක් තිබෙනවා. 2016 වසරේදී තමයි ආණ්ඩුව විසින් මේ සම්බන්ධව නීතියක් ඇති කරල එය ලේඛනගත කරල තිබෙන්නේ. ශ්‍රී දළදා මාළිගාවට විශේෂ ආරක්‍ෂාවක් තිබිය යුතුයි. කාට හෝ අවශ්‍ය පරිදි ගුවන් යානා හෝ හෙලිකොප්ටර් යානා මේ පූජනීය ස්ථානය සමීපව උඩින් ගමන් කළ නොහැකියි.
අනාරක්‍ෂිත තත්ත්වයන් අපි නොසිතු විදියට ඇති වෙනවා. කිසිසේත් කවුරුත් හිතුව දෙයක් නොවෙයි ශ්‍රී දළදා මාළිගාවේ පියස්සට උඩින් හෙලිකොප්ටර් යානාවක් ගමන් කිරීම. එය සුදුසු ක්‍රියාවක් ද නොවෙයි. මෙම පූජනීය ස්ථානය අසලින් “රේඩාර්” උපකරණ සවිකළ යුතුයි.


ශ්‍රී දළදා මාළිගාව ඉදිරිපිටින් මාර්ගය රථ වාහන ධාවනයට විවෘත කර ගන්නත් ඇතැමුන් ලොකු උත්සාහයක් ගන්නවා. එදා ඉඳල අපි ඒකටත් එකඟ නොවන්නේ ශ්‍රී දළදා මාළිගාව ලෝක උරුම පූජනීය වස්තුවක් බැවින් එය ආරක්‍ෂා කිරීමට මීට වඩා වගකිවයුතු අංශයන්හිත්, රජයේත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.


නොදැනුවත් කමට හෝ මෙම පූජනීය ස්ථානයට සමීපව හෙලිකොප්ටර් යානය ගමන් කළා නම් ඒ පිළිබඳව එම හෙලිකොප්ටර් යානාව පැද වූ නියමු නිලධාරියා දැනුවත් කිරීමට වගකිව යුතු බලධාරීන් පියවර නොගැනීම සහ අවධානය යොමු නොකිරීම ද අවධානයට ලක්විය යුතු කාරණාවක් බවද උන්වහන්සේ කියති.


මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයාන් හීන්කෙන්ද මහතා අදහස් දක්වමින්.


ව්‍යවහාර භාෂාව අනුව නම් ශ්‍රී දළදා මාළිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින මාළිගයේ රන්වියනට උඩින් කිසිම යානාවක් යන්නේ නැහැ. කොටින්ම කියතොත් කපුටෙක්වත් මේ උඩින් යන්නේ නැහැ. මමත් දුටුවා මේ හෙලිකොප්ටර් යානය දළදා වහන්සේ වැඩ සිටින මාළිගාවේ රන් වියනට උඩින් සමීපව අහසේ ධාවනය වෙනවා. මෙම පූජනීය ස්ථානයේ කිසියම් අධ්‍යාත්මික ඓශ්චර්යාත්මක බලයක් තිබෙනවා. බෞද්ධ ජනතාව මෙම පූජනීය ස්ථානයට දක්වන්නේ පුදුමාකාර භක්තියක්.


ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාට ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදී එදා දළදා වහන්සේ තැන්පත් කර තිබූ රන්කරඬු නිරාවරණය කරද්දී අධික වර්ෂාවක් වැස්සා දළදා මාළිගාව පරිශ්‍රය අවට පමණක්. අපි පෙරහරට කප් සිටුවීම ආරම්භ කරන සුබ මොහොතේදීත් වැස්සක් ඇති වෙනවා. ශ්‍රී නාථ දේවාලයේ පසුගිය අප්‍රේල් 10 වැනි දින පිංකම් පවත්වද්දීත් වැස්සක් ඇති වුණා.


කවදාවත් නොදුටු සිද්ධියක් තමයි ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින දළදා මාළිගාවේ රන්වියනට (රන් ආලේපිත උළු සෙවිලිකළ වහලය) උඩින් හෙලිකොප්ටරයක් ධාවනය වීම. මේ වාගේ දේවල් සිදුනොවිය යුතුයි.


මහනුවර නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් ඉදිකිරීමට මූලික අඩිතාලම දැමූ ව්‍යාපාරිකයෙක් වූ කැන්ඩි සිටි සෙන්ටර්ස් (ආර්ථික මධ්‍යස්ථාන සංකීර්ණය) ආයතනයේ සභාපති තුසිත විජේසේන මහතා ද තම ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර ශ්‍රී දළදා සමිඳුන්ට විශේෂ පූජෝපහාරයක් දක්වා දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලබාගෙන එහි ඉදිකිරීම් ආරම්භ කර සියලු අභියෝග බාධක ජයගෙන ලංකාවේ අති සුපිරිතම ආර්ථික මධ්‍යස්ථානයක් බිහි කළේය. වත්මනෙහි ‘එකී සුපිරි වෙළඳ සංකීර්ණය දෙස් විදෙස් සංචාරකයන්ගේ අගැයීමට ලක්ව තිබේ. ශ්‍රී දළදා වහන්සේගේ ආශීර්වාදය එකී කාර්යය සඳහා ආරම්භයේ සිටම ලබාගත් නිසාම අද වෙනවිට එම ආයතනය සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යන බව එම ආයතනයේ විධායක නිලධාරියෙක් සඳහන් කළේය.


ශ්‍රී දළදා සමිඳුන්ගේ ඓශ්චර්යය හා පුණ්‍යබල මහිමය සිහිපත් කරමින් ශ්‍රී දළදා සමිඳුන් වෙත නිතිපතා හිමිදිරියේ සිට පැමිණෙන දස දහස් සංඛ්‍යාත බැතිමතුන් දුටුවිට දළදා සමිඳුන් කෙතරම් පූජනීයත්වයකින් මිනිසුන් බැති වන්දනා කරන්නේදැයි සිතා බැලීම වටී.

ජේ.ඒ.එල්. ජයසිංහ

 



අදහස් (0)

මෝදිගේ ගමනට ගෙනා පරිවාර හෙලිකොප්ටරය අක්‍රිය වුණේ දළදා මාලිගාවට ඉහළින් ගිය නිසාද?

ඔබේ අදහස් එවන්න

පුවත්

ටියුෂන් පන්ති තහනම් කළ චක්‍රලේඛය අත්හිටුවා ඇත්තේ අගමැතිනියත් හොරෙන් පළාත් පහක දැනටමත් චක්‍රලේඛය ක්‍රියාත්මකයි
2024 දෙසැම්බර් මස 30 97 0

පාසල් ගුරුවරුන් තම පන්තිවල ඉගෙන ගන්නා දරුවන්ට මුදල් අය කෙරෙන උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින් බස්නාහිර පළාතට අදාළව යැවූ චක්‍රලේඛය අත්හිටුවීම අධ්


ලංකාවට න්‍යෂ්ටික බලාගාර තුනක්
2024 දෙසැම්බර් මස 30 108 0

මෙගා වොට් 900 ක විදුලියක් ජනනය කළ හැකි න්‍යෂ්ටික බලාගාර තුනක් ඉදිකිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු සොයා ගැනීම වෙනුවෙන් සකස් කළ අභිලාෂය ප්‍රකාශ කිරීමේ පත්‍රය


පෙබරවාරි 15 ට පෙර වත්කම් කියන්න අලු‍ත් මන්ත්‍රීන්ට මැතිසභා ලේකම්ගෙන් දැනුම්දීමක්
2024 දෙසැම්බර් මස 30 15 0

ලබන පෙබරවාරි මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලු‍ම පාර්ලිමේන්තු මන්ත


මහින්දගේ ආරක්ෂාවට දෙපැත්ත ඇවිලෙයි
2024 දෙසැම්බර් මස 30 32 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල ප


ලබන මාර්තු වෙන තුරු පොල් මිල පහළ බසීන්නේ නෑ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති
2024 දෙසැම්බර් මස 30 21 0

ලබන වසරේ (2025) මාර්තු ​ෙවනතුරු පොල් මිල පහළ බැසීමක් සිදු නො​ෙවන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග ඉරිදා ලංකාදීපයට පැවසීය. මාර්තු ​ෙවනතුරු පව


රාත්‍රී වාහන පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට ලුමිනස් ඇඳුම් අනිවාර්යයි
2024 දෙසැම්බර් මස 30 19 0

රථවාහන පොලිස් නිලධාරීන්ට ජැකට් සහ රතු පැහැති විදුලිපන්දම් ලබාදෙන තුරු රාත්‍රී කාලයේ දී පොලිස් නිල ඇඳුමෙන් සැරසී සාමාන්‍ය විදුලි පන්දම් භාවිත කර වාහන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site