IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


සංචාරකයන්ට හිරිහැර කරන මැර කල්ලි

මෙරටට වැඩිම විදෙස් විනිමයක් උපයා දෙන මාර්ග අතුරින් සංචාරක කර්මාන්තයට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. මේ නිසා සංචාරක ව්‍යාපාරය ආශ‍්‍රිතව සෘජු හා වක‍්‍ර රැකියා කරන පිරිස ලක්ෂ ගණනකි. ඔවුන් නිසා යැපෙන දරු පවුල් සංඛ්‍යාවද ඊට නොදෙවෙනිය. එහෙත් ඇතැමුන්ගේ නොහික්මුණු ක‍්‍රියා හේතුවෙන් අද වන විට දකුණේ සංචාරක කර්මාන්තය දැඩිලෙස අනතුරකට ලක්ව ඇත.   


විශේෂයෙන්ම දකුණු පළාතේ සුන්දර මිරිස්ස මුහුදු වෙරළ තීරයේ අසිරිය විඳ ගැනීමට විදේශීය සංචාරකයින් තුළ ඇත්තේ පුදුම උනන්දුවකි. සෑම වසරකම දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා පැවැත්වෙන සංචාරක සමයේදී මිරිස්ස හා ඒ අවට ප‍්‍රදේශවල හෝටල් කාමර වෙන් කර ගැනීමට නොහැකි තරමට පිරී පවතී. මේ නිසා එම ප‍්‍රදේශවල ගෙවල් ද කුලියට දීම ජයටම සිදු කරයි.   


නිසි ප‍්‍රමිතියකින් හා මග පෙන්වීමකින් තොරව සිදු කෙරෙන එවැනි කටයුතු නිසා සංචාරකයින් අනාරක්ෂිත තත්ත්වයට පත්වීම අරුමයක් නොවෙයි. කාලයක සිට සංචාරකයින්ට අයත් මුදල් හා දේපොළ සොරකම් කිරීම සිදු විය. ඇතැම් හෝටල් කාමර තුළට ඇතුළු වී පවා එවැනි සොරකම් සිදු කෙරිණි. ඊට අමතරව මහ මග රාත‍්‍රි කාලයේ ගමන් කරන විදේශීය කාන්තාවන්ගේ අත්බෑග යතුරු පැදිවලින් පැමිණ මංකොල්ලකෑම්ද පසුගිය කාලයේ සුලභව දැක ගත හැකි විය.   


මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා වැඩ භාර ගැනීමෙන් පසු දිගින් දිගටම පොලීසිය යොදවා එවැනි අපරාධකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමත් සමග එම තත්ත්වය යම්තාක් දුරකට පාලනය කර ගැනීමට හැකි විය. පොලිස් පා මුර සංචාර, යතුරු පැදි සංචාර හා ජංගම සංචාර ප‍්‍රමාණයද ඔහුගේ නියෝග මත වැඩි කෙරිණි.   


එහෙත් සොරකම් හා මංකොල්ලකෑම් පාලනය කළද මිරිස්ස හා ඒ අවට ප‍්‍රදේශවල සංචාරක හෝටල් තුළ මහා පරිමාණයෙන් සිදු කෙරෙන නීති විරෝධී මත් ද්‍රව්‍ය පාලනය කිරීම එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඊට හේතුව එම බොහෝ හෝටල්වලට ප‍්‍රබල දේශපාලනඥයින්ගේ හා ඇතැම් ඉහළ පොලිස් නිලධාරින්ගේ ඇල්ම බැල්ම පවතින නිසාය.   


මෙම බොහෝ හෝටල්වල රාත‍්‍රි සාද මහා පරිමාණයෙන් සංවිධානය කරන අතර ඒවාට අවශ්‍ය විවිධ වර්ගයේ මත්පැන් හා මත්ද්‍රව්‍යද නොඅඩුව ලැබේ. ඒවාද පානය කර හොඳට කා බී, විනෝද වී අවසානයේ නිරුවතින් නටමින් ගයමින් මුහුදු වෙරළ තීරයේදීම ලිංගික ආශාවන් ද ඉටුකර ගැනීම මිරිස්සේ අලුත් සම්ප‍්‍රදාය බවට පත්ව තිබේ. එවැනි බීච් පාටිද දිනපතා වැඩි වී ඇත. 

 
වගකිවයුතු කිසිදු රජයේ ආයතනයක් මේවා පාලනය කිරීමට හෝ ඒවාට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට ඉදිරිපත් නොවන්නේ විදේශීය ජාතිකයින් අපහසුතාවට පත්වන නිසාදැයි නොදනිමු. එසේත් නැතිනම් හොර රහසේ ලැබෙන මුදල් කුට්ටිය නිසාද යන්නද කීමට නොදනී. කෙසේ නමුත් මෙම කටයුතුවලට උදවු උපකාර හා රැකවරණය සලසන ඉහළම නිලධාරියාගේ සිට පහළට කම්කරුවා දක්වා රට බීම බෝතල්, ප‍්‍රණීත ආහාර පාන හා මුදල්කුට්ටි පිටින් ලබා දෙන බව නම් ප‍්‍රසිද්ධ රහසකි.   


කෙසේ වෙතත් ඉකුත් 08 වැනි දා රාත‍්‍රියේද එවැනි සාදයක් මිරිස්සේ සංචාරක හෝටලයක පවත්වා තිබේ. විදේශීය සංචාරකයින් පමණක් නොව මෙරට ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින් හා ධනවතුන්ද ඊට සහභාගී වී ඇත. සාමාන්‍යයෙන් ඒ සඳහා ඇතුළුවීමේ ප‍්‍රවේශපත‍්‍රය රුපියල් තුන් දහසකි. ඇතුළට ගිය පසු කෑමබීම, මත් පැන් හා මත් ද්‍රව්‍ය ආදී වෙනත් කටයුතු වෙනුවෙන් දහස් ගණනකි. සාමාන්‍යයෙන් මෙවැනි සාදයකින් අපේක්ෂිත ලාභය රුපියල් ලක්ෂ පනහක් පමණ වන බව කියති. එම නිසා අත දිගහැර ඕනෑම අයෙකුට සංතෝසම් දිය හැකිය.   


කෙසේ නමුදු සාදය අවසානයේ ඊට සහභාගී වූ අය ක‍්‍රමයෙන් විසිර යමින් තිබුණි. ඔවුන් නැවත යන පාර දෙපස ද ඇතැම්හු කෙළ හලා ගෙන බලා සිටියෝය. ඒ සමගම නෙදර්ලන්ත ජාතික තරුණියන් දෙදෙනෙකු හා බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පැමිණි අතර වෙනත් හෝටලයක් ඉදිරිපිට බීමත්ව සිටි තරුණයින් පිරිසක් ඔවුන්ට උසුළු විසුළු කර තිබේ. ඊට අමතරව බීච් පාටිවලදී මෙන් ඔවුන් අදාළ විදේශීය තරුණියන් දෙදෙනාගෙන් තම ලිංගික ආශාවන් සම්පූර්ණ කර ගැනීමටද උත්සාහ කර ඇත.   


ඊට ඔවුන් විරුද්ධත්වය දක්වා තිබෙන අතර එහිදී ඇතිවූ බහින් බස් වීම දුර දිග ගොස් ගුටි බැට හුවමාරුවක් බවට පත්ව තිබේ. කෙසේ වෙතත් විදේශීය තරුණියන් දෙදෙනා හා තරුණයා පහර කෑමෙන් පසු ඊට පසු දිනම මිරිස්ස ප‍්‍රදේශයෙන් ඉවත්ව ගොස් තිබේ.   


ඉන් පසුව ඔවුන් තමන්ට සිදු වූ සිද්ධිය ඊ මේල් පණිවුඩයක් මගින් සංචාරක පොලීසියට පැමිණිලි කර තිබුණි. ඉන් දින කිහිපයක් ගත වන තෙක් වැලිගම මූලස්ථාන පොලිසියද එවැනි පහරදීමේ සිද්ධියක් ගැන දැන නොසිටි අතර ඒ පිළිබඳව මාධ්‍ය වාර්තා පළවීමට පටන් ගැනීමත් සමග තොරතුරු සොයා බලන්නට විය. පසුව ඊමේල් කර තිබූ පැමිණිල්ලේ පිටපතක්ද සංචාරක පොලීසිය මගින් එවා තිබුණි. 

 

 

කෙසේ වෙතත් අදාළ සාදය සඳහා රජයේ ප‍්‍රබල දේශපාලනඥයෙකු සහභාගී වී ඇති බවද ඔහු එම හෝටලයෙන් පිටව ගොස් පැයකට පමණ පසු මෙම සිද්ධිය සිදුවී තිබෙන බවද දැන ගන්නට ඇත. එම නිසා සී.සී.ටී.වී. දර්ශන ලබා ගැනීමේදී පොලීසියට බාධා එල්ල වී තිබෙන බවද කියති.   


ඊට අමතරව කොළඹ ප‍්‍රබල පාතාල නායකයින් මෙන්ම නමගිය අපරාධකරුවන් ද මිරිස්සේ පැවැත්වෙන බීච් පාටි සඳහා පැමිණෙන බව දැනගන්නට ඇත.   


මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හය දෙනෙකු වැලිගම මූලස්ථාන පොලීසිය මගින්ද තවත් දෙදෙනෙකු මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය මගින්ද සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගනු ලැබිණ. ඔවුන් සියලු දෙනා මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.   


මෙම සිද්ධියේ උණුසුම පහව යාමටත් පෙර වැලිගම මිදිගම ප‍්‍රදේශයෙන්ද එවැනිම අවාසනාවන්ත සිදුවීමක් වාර්තා විය. ඒ මිදිගම මුහුදු තීරයේ විදේශීය තරුණියක් සර්ෆින් ක‍්‍රීඩාවේ යෙදී සිටින විට ඇයගේ සර්ෆ් බෝඩ් එක එම ප‍්‍රදේශයේ තරුණයෙකුගේ අතේ වැදී තුවාල සිදු වී ඇත. ඉන් කීයක් හෝ ගරා ගැනීමට සිතූ ඔහු අදාළ තරුණියගෙන් තුවාලයට බෙහෙත් දමා ගැනීම සඳහා මුදල් ඉල්ලා තිබේ. ඒ සමගම එතැනට ඊශ‍්‍රායල් ජාතිකයින් පස් දෙනෙකු පැමිණ ඇති අතර ඔවුන් ද ඊට මැදිහත් වී ඇත. එහිදී දෙපාර්ශ්වයම අතර ඇතිවූ බහින් බස් වීම ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වී තිබේ.   


එම අවස්ථාවේදී විදේශිකයකු මිදිගම තරුණයෙකුගේ කොණ්ඩයෙන් අල්ලා කිහිප විටක් වන්, ටූ, ත‍්‍රී, ෆෝ කියමින් මුහුදේ ගිල්වා ගෙන සිට ඇති බවද සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. ඒ සමගම අවට අයද රැස්වී ඊශ‍්‍රායල් ජාතිකයින් පස් දෙනාට අතින් පයින් හා පොලුවලින් හොඳටම පහරදී පන්නා දමා තිබේ. මිදිගම පදිංචි තරුණයෙකුද එහිදී තුවාල ලබා ඇත.   


කෙසේ නමුදු අවසානයේ ඊශ‍්‍රායල් ජාතිකයින් ඒ පිළිබඳව පොලීසිය වෙත පැමිණිලි කර තිබුණි. මෙම සිද්ධීන් දෙක ජාත්‍යන්තරයේ අවධානයටද යොමු වී තිබූ අතර බොහෝ විදේශිකයෝ මෙරට දකුණු ප‍්‍රදේශය අනාරක්ෂිත බව පවසා පැමිණීමද නවතා දැමීමට කටයුතු කළෝය. ජාත්‍යන්තරයේ බලපෑමත් සමග මෙරට රජයේද අවධානය මෙම සිද්ධීන් කෙරෙහි යොමු විය.   


සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා සංචාරක අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ මිරිස්සේ සිදු වූ මෙම සිද්ධීන් දෙකට සම්බන්ධ සියලු සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගන්නා ලෙසත් එහි වගකීම පොලීසිය භාර ගත යුතු බවත්ය.   


තවද මෙරට විදේශ විනිමය උපයන ප‍්‍රධාන මාර්ගය බවට සංචාරක ව්‍යාපාරය පත් කිරීමට රජය කටයුතු කරන අතරතුරදී සිදු වූ මෙම සිදුවීම ජාත්‍යන්තර වශයෙන් මෙරට අපකීර්තියට පත්වීමට හේතු වී ඇතැයිද ඔහු සඳහන් කළේය.   


කෙසේ වෙතත් ඇමැතිවරයාට පොලීසිය පිට පටවා මෙම සිද්ධීන්වල වගකීමෙන් බැහැර විය නොහැකිය. මිරිස්ස හා ඒ අවට සංචාරක පුරවරයේ සිදුවන අවිධිමත් ක‍්‍රියා පාලනය කිරීම සඳහා තවත් ආයතන රැසකට වගකීම පැවරී තිබේ. එහෙත් විදේශිකයින්ට අවශ්‍ය පහසුකම් ප‍්‍රමාණවත් පරිදි සැපයීමට එම සියලු ආයතන අපොහොසත් වී තිබේ.   


ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දින මිරිස්සේ පැවැත්වූ බීච් පාටි සඳහා ශබ්ද විකාශන බලපත‍්‍ර ලබා නොදීමට පොලීසිය තීරණය කළ අවස්ථාවේදී දේශපාලනඥයින් මැදිහත් වී සංචාරක කර්මාන්තය නැති කරන්නදැයි හදන්නේ?’ කියා පොලීසියට බලපෑම් කර ඒ සඳහා අවසර ලබා ගෙන තිබුණි.   


ඒ අනුව මිදිගම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම මූලස්ථාන පොලීසියට අමතරව කනංකේ, අකුරැස්ස හා පිටබැද්දර යන පොලිස් ස්ථානවල නිලධාරීන් ද වැලිගමට කැඳවා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට සැලසුම් කළේය.   


සාමාන්‍යයෙන් වැලිගම මූලස්ථාන පොලීසිය කෙරෙහි ජනතාව තුළ ඉතා හොඳ ආකල්පයක් නොමැත. ඊට ප‍්‍රධාන හේතුව ඇතැම් පොලිස් නිලධාරින්ගේ ක‍්‍රියාකලාපයන්ය. දිනපතා සොරකමක් හෝ මංකොල්ලකෑමක් ආදී වෙනත් අපරාධයක් වැලිගම පොලිස් වසමෙන් වාර්තා නොවුණහොත් එය පුදුමයකි. ඇතැම් පොලිස් නිලධාරීන්ද මෙම හෝටල්වල පැවැත්වෙන නීති විරෝධී සාද සඳහා සහයෝගය ලබා දෙන බව කවුරුත් දන්නා රහසකි. එවැනි විනය විරෝධී ක‍්‍රියා සම්බන්ධ තොරතුරු තහවුරු කර ගත් පසු මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා එවැනි පොලිස් නිලධාරින් කිහිප දෙනෙකු මීට පෙර ස්ථාන මාරුකර යැවීය. තවත් කිහිප දෙනෙකු වැඩ තහනමටද ලක් කළේය. එසේ ස්ථාන මාරුවී යන අය නැවත කෙසේ හෝ උත්සාහ කරන්නේ වැලිගම පොලීසිය වෙත ඒමටය. එය වැලිගම පොලීසියේ සාමාන්‍ය තත්ත්වයකි. මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කොතරම් හොඳට රාජකාරී කළද ඇතැම් නිලධාරින්ගේ ක‍්‍රියා නතර කිරීම ඔහුට අපහසුය. ඒ තරමටම ඔවුහු සූක්ෂ්මව එම කටයුතු සිදු කර ගෙන යති.   


එම නිසාම පොලිස් අධිකාරී මාරපන මහතා මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හා මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයට ද මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට භාරකළේය. වැලිගම මූලස්ථාන පොලිසියේ ඇතැම් නිලධාරින් සම්බන්ධයෙන් බුද්ධි වාර්තා සැපයීම හේතු කරගෙන පෙත්සම් මත රොටුඹ පොලීසියට ස්ථාන මාරුකර සිටි පොලිස් කොස්තාපල් 27830 නිශාන්ත මහතා මාතර කොට්ඨාසයභාර පොලිස් අධිකාරී මාරපන මහතා විසින් යළි මාතර කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකය වෙත අනුයුක්ත කර තිබුණේ මේ අතරතුරදීය. 

 

 

වැලිගම පොලිස් වසමේ ක‍්‍රියාකාරකම් පිළිබඳව මනා සමාජ සම්බන්ධතාවයක් තිබූ නිසා ඊශ‍්‍රායල් ජාතිකයින්ට පහරදුන් සැකකරුවන් හඳුනාගෙන ඔවුන් සිටින ස්ථානය සොයා ගැනීම ඔහුට පහසුවක් විය. ඒ පිළිබඳව කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති එච්.කේ. කමල් මහතාද දැනුම්වත් කර පොලිස් අධිකාරී මාරපන මහතාගේ අවසරය මත ඔවුහු වැලිගම ප‍්‍රදේශයට ගොස් සැකකරුවන් සිව් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත්හ. ඊට සම්බන්ධ තවත් සැකකරුවකු වැලිගම පොලීසිය සැක පිට අත්අඩංගුවට ගැනිණ.   


මේ අතර පළමු සිද්ධියට අදාළව මිරිස්සේ සංචාරක හෝටලයක් පවත්වාගෙන යාම ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අත්හිටුවා ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා පවසන්නේ එම හෝටලය තම අධිකාරියේ ලියාපදිංචි කර නොමැති නිසා පරීක්ෂණ අවසන් වනතුරු එය වසා තැබීමට තීරණය කළ බවයි.   


සාමාන්‍ය සංචාරක පනත යටතේ සංචාරකයින්ට සේවා සපයන ආයතන සියල්ලම සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රයක් ලබා ගත යුතු වුවද මිරිස්සේ හෝටල් ගණනාවක් එසේ බලපත‍්‍ර නොමැතිව පවත්වාගෙන යන බව කිව යුතුය.   


සිදුවීමක් සිදුවූවාට පසු ඒ ගැන සොයනවාට වඩා එම සිදුවීම ඇති වීමට පෙර ඒවා වළක්වා ගැනීමට පියවර ගැනීම අදාළ ආයතනවල වගකීම වේ. දකුණේදී තවදුරටත් සංචාරකයින්ට මෙවැනි හිරිහැර සිදුවීමට පටන් ගතහොත් මෙරට සංචාරක කර්මාන්තය මුළුමනින්ම විනාශ මුඛයට ඇදවැටෙනු ඇත.   


ඉදිරියේදී එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා දක්ෂිණ සංවර්ධන හා තරුණ කටයුතු පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප‍්‍රධානත්වයෙන්ද සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. ඊට සංචාරක ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්ව සහභාගි වූහ.   


අතීතයේ ශ‍්‍රී ලංකාව ප‍්‍රසිද්ධියට පත්ව තිබුණේ ආගන්තුක සත්කාරයට මුල් තැන දෙන ජාතියක් වශයෙනි. එහෙත් වර්තමානයේ එය වෙනස් වී ආගන්තුකයින්ට හිරිහැර කරන කොට්ඨාසයක් බවට පත්වෙමින් තිබේ. එම නිසා මෙම තත්ත්වය වළක්වා ගෙන සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා කටයුතු කිරීම සියලු දෙනාගේ යුතුකමක් හා වගකීමක් වන්නේය.   


දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එෆ්. ප‍්‍රනාන්දු මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා මාතර කොට්ඨාසය භාර පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක මිලාන් ලසන්ත බුද්ධික, මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ජේ.ඒ. සමන්, කොට්ඨාස බුද්ධි තොරතුරු ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.කේ. කමල්, සැරයන්වරුන් වන 55810 වසන්ත, 55988 ඉඳුනිල් හා 27830 නිශාන්ත යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

 

 

 

 

ඡායාරූප හා සටහන
ක‍්‍රිෂාන් ජීවක ජයරුක්



අදහස් (0)

සංචාරකයන්ට හිරිහැර කරන මැර කල්ලි

ඔබේ අදහස් එවන්න

 

 

පුවත්

ඉදිරි සතිය වෙන විට රතු සහල් හිගය අවසන් - ඇමති වසන්ත සමරසිංහ කියයි
2025 පෙබරවාරි මස 02 20 0

රතු සහල් හිඟය ඉදිරි සතිය ​ෙවන විට අවසන් ​ෙවන බවත් අනෙකුත් සහල් හිඟය මේ ​ෙවන විට අවසන් වෙමින් තිබෙන බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය


මහපොළ‌ සහ ශිෂ්‍යාධාර මාස හතරකින් ලැබී නැහැ
2025 පෙබරවාරි මස 02 19 0

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබාදෙන මහපොළ හා ශිෂ්‍යාධාර දීමනා මාස 4ක පමණ කාලයක සිට සිසුන්ට ලැබී නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.


අ​ෙප්‍ර්ල් මසදී පොල් මිල පහළට
2025 පෙබරවාරි මස 02 13 0

ආනයනය කරන පොල් මද පොල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනීම හා අප්‍රේල් මාසයේදී සාමාන්‍ය පරිදි පොල් ඵලදාව වැඩිවීම අනුව ඉදිරියේදී පොල් හිඟයක් උද්ගත නොවන බ


මැතිසබේ ලිංගික හිංසන සිද්ධියේ පරීක්ෂණයට බාධා
2025 පෙබරවාරි මස 02 26 0

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදුවී ඇතැයි පැවසෙන ලිංගික හිරිහැර සම්බන්ධයෙන් බාහිර පරීක්ෂණයක් පැවැත


ආනයනික ඖෂධ තත්ත්ව පරීක්ෂාවට ලක් නොවීමේ අවදානමක් තිබෙන පරීක්ෂණාගාරය අවුරුදු 35 ක් පරණයි
2025 පෙබරවාරි මස 02 23 0

රජය සතු ඖෂධ තත්ත්ව පාලන පරීක්ෂණාගාරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් ආනයනික ඖෂධ වැඩි ප්‍රමාණයක් නිසි තත්ත්ව පරීක්ෂාවකට ලක් නොවෙන බව සෞඛ්‍ය අංශ පෙන්ව


නිල වශයෙන් කියන්න මම යනවා - මහින්ද රාජපක්ෂ
2025 ජනවාරි මස 27 168 0

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන්ට ලබා දී ඇති නිවසින් ඉවත්වීමට ආණ්ඩුව නිලවශයෙන් ලබා දෙන දිනයට තමන් එම නිවසින් ඉවත්ව යන බව පස් වැනි විධායක ජනාධිපති මහින්ද


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 87 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 763 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 738 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site