මෙසිරිලකට වර්ණ සහ රෙදිපිළි සම්බන්ධව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. රෙදි විවීම සහ වර්ණ ගැන්වීම සම්බන්ධයෙන් ලාංකිකයන් හපනුන් වූ බව ඈත ඉතිහාසයේද සඳහන් වෙයි. ක්‍රි.පූ. 6 වැනි සියවසේ මෙරට වැසියන් කපුවලින් රෙදි වියූ බව ඊට හොඳම සාක්ෂියයි. කෙසේ වුවත් බතික් කලාවේ ඉතිහාසය පිළිබඳ අපට මුලින්ම සාක්ෂි හමුවන්නේ සයුරෙන් එතෙරිනි. ඉතා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන බතික් නිර්මාණ කලාව ඇරඹී ඇත්තේ ඊජිප්තුවෙනි. මෙය වසර 2000 කටත් වඩා පැරණි අතර පර්සියානුවන්ද බතික් නිර්මාණවල නිරත වූ බව සඳහන්ය. මීට අමතරව 7 වැනි සියවසේ ජීවත්වූ චීන වැසියන්ද, ඉන්දියානුවන්ද, ජපනුන් සහ දකුණු ආසියානු වැසියන්ද බතික් නිර්මාණයෙහිලා අති දක්ෂයෝ වූහ.
ජාවා දූපත් වැසියන් අතරද මෙම කලාව සොබාදහමට අනුගතව පැවැති බවට සාක්ෂි ඇති අතර ඔවුන් මෙම නිර්මාණ කර ඇත්තේ ‘උසස් පෙළැන්තිය’ සඳහාය. ජාවා බතික් ලෙස මල්, පලතුරු, මාළු, සමනළයින්, කුරුල්ලන් ආදී රූප යොදමින් කරන මෙම කර්මාන්තය අදටත් ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයයි.
ඒ වගේම බතික් කර්මාන්තයේ සළුපිළි මත රටා මවන්නට කැඳ හා ඉටි බින්දු තැවරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දී ඇත්තේද පර්සියානු සහ මිසර වැසියන් බව එතෙර ඉතිහාසයේ සඳහන්ය.
මීට ශතවර්ෂ ගණනාවකට පෙර එතෙර රටවලින් ශ්‍රී ලංකාවට ගෙන ආ මෙම කලාව තුළින් දේශීය සංස්කෘතික අනන්‍යතාව පිළිබිඹු වන අපූරු විචිත්‍ර මෝස්තර බතික් කලාවට එක් කිරීමට අපේ නිර්මාණකරුවෝ සමත් වූහ. දේශීයව සොයාගත් කොළ, මුල්, ගෙඩි, පොතුවලින් සාදාගත් වර්ණ යොදා ගනිමින් නූල් වර්ණ ගන්වා රෙදි වියූ අපේ පැරැන්නන් දෑතේ කර්මාන්තයක් ලෙස සුරැකිව අද දක්වා ගෙන ආ මෙම බතික් කලාව අද ලාංකීයත්වයට එකතු වූ තවත් උරුමයකි. එදා ලන්දේසීන් හඳුන්වාදුන් බතික් කලාව අද ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ රෙදි පිළි කලාවක් දක්වා වර්ධනය වීමද විශේෂත්වයකි.
එපමණක් නොව ලාංකීය ගෘහ කර්මාන්තයට සීමා වූ මෙම කලාව එදාමෙදා මෙරට ධනය උපයන ප්‍රධාන මාර්ගයක්ද වී ඇත. ඒ අනුව 80, 90 දශකයේ මෙරට බතික් කර්මාන්තයේ ස්වර්ණමය යුගය බව මෙම කර්මාන්තකරුවන්ගේ අදහසයි. එමෙන්ම එම කාලයන් තුළ ව්‍යවසායකයින් ලක්ෂ ගණනින් ද අලුතින් තරුණ තරුණියන්ද මෙම කර්මාන්තයට එකතුවීම විශේෂත්වයකි.
අසූව දශකයට දිවයන ශ්‍රී ලංකාවේ බතික් ඉතිහාසය ප්‍රේමකුමාර එපිටවල හා සෝමා උඩබාගේ මහත්මිය, මහිලා සමිති මෙන්ම සර්වෝදය වැනි ස්වේච්ඡා සංවිධාන හරහා එකල ශීඝ්‍ර ලෙස ජනප්‍රිය කලාවක් බවට පත්කිරීමට පුරෝගාමී වූ අතර, ජාතික ශිල්ප සභාව වැනි ආයතන සමග මේ කර්මාන්තය ගෘහ කර්මාන්තයෙන් ඔබ්බට ගෙන යෑමට ද ඔවුහු මග පෙන්වූහ.
බතික් යනු සිත් ඇදගන්නා ආකර්ශණීය වූ කලාවකි. අද වනවිට මෙම පාරම්පරික කර්මාන්තය ක්‍රමක්‍රමයෙන් අභාවයට යමින් පවතී. එයට ප්‍රධානතම මරු පහර වැදී ඇත්තේ ලාංකීය වෙළෙඳපොළට ඉන්දීය බතික් ආනයනයයි. එමෙන්ම මෙම කලාව සඳහා උපයෝගී කරගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ යාමද එයට තවත් එක් හේතුවක් වී ඇත.
නෙත වශී කරවන සෞන්දර්යාත්මක මෝස්තර කලාව නුදුරේදීම අපට අහිමි වීමේ දැඩි තර්ජනයකට මුහුණ පා සිටී. මෙම කර්මාන්තයේ නියැළෙන්නන් ද අද සේවය හැරයන තත්ත්වයට පත්ව අැත. බතික් ශිල්පීන්ද සොයාගැනීම දුෂ්කර කාර්යයක් වී ඇත.
ඉන්දීය මුද්‍රිත බතික් නිෂ්පාදන මෙරට වෙළඳපොළ ආක්‍රමණය කිරීමට පටන් ගැනීමත් සමග වර්ණ ගැන්වී තිබූ දේශීය බතික් ව්‍යවසායකයින්ගේ ජීවිතද අද අඳුරු පැහැගැන්වීම ආරම්භ වී ඇත.
හස්ත කර්මාන්තයක් ලෙස දේශීය බතික් නිර්මාණය සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීමත් සමඟ දේශීය බතික් නිෂ්පාදකයින්ට ආකර්ශණීය වෙළෙඳපොළක් නිර්මාණවූ අතර එය අද අභාවයට යාම කනගාටුවට කරුණකි. දීර්ඝ කාලීන පළපුරුද්ද, අත්දැකීම මෙන්ම නිර්මාණශීලීත්වය, කැපවීම තුළින් බිහිවූ ඒ දක්ෂයන් යළිත් මෙරට බිහිවේදැයි සිතිය නොහැකි තරම්ය.
අද යම් පමණකට හෝ මෙම කර්මාන්තය ආරක්ෂා වී ඇත්තේ සංචාරක කර්මාන්තය නිසාය. එහෙත් කොවිඩ් 19 වසංගතයත් සමග එයටද කණකොකා හඬා ඇත. එමෙන්ම අමුරෙදි අඩු මිලට ලබාගැනීමට තිබූ දේශීය පෙහෙකම්හල් වැසී යාමද මෙම කර්මාන්තකරුවා ආගාදයට වැටීමට බලපෑ ගැටලුවකි. අද සීමාවකින් තොරව සිදුවූ ආනයන ක්‍රියාවලිය හමුවේ බතික් කර්මාන්තයේ දියුණුව ඇනහිට ඇති අතර මෙම කර්මාන්තය එකතැන පල්වෙන තත්ත්වයක් උද්ගත වී ඇත.
සිරිලක පුරා බතික් කර්මාන්තයෙන් ජීවිතය වර්ණවත් කරගත් ලක්ෂ 4 ක පමණ බතික් කලාකරුවන්ට අද සිය ජීවිතය වර්ණ ගන්වා ගන්නට වී තිබෙන්නේ මෙවන් අනුවේදනීය තත්ත්වයක් හමුවේය. මෙරට බතික් කර්මාන්තයේ අනාගතය පිළිබඳව විමසමින් අප කළ සොයා බැලීමකි මේ.
බතික් ශිල්පියකු වන ප්‍රගීත් කාංචන මහතා
‘ප්‍රින්ටට් බතික්, රෙද්ද ඉන්දියාවෙන් ගෙන්වන එක අපිට වසර ගණනාවක ඉඳලා තියෙන ගැටලුවක්. බතික් වගේ ප්‍රින්ටට් රෙද්දක් තමයි ඉන්දියාවෙන් එන්නේ. ඒක නියම බතික් එක නෙමෙයි. මේ ගැටලුවෙන් අපි පීඩා වින්දා සෑහෙන කාලයක්. වගකිවයුතු කිසිවකු අපට ඇහුම්කම් දුන්නේ නෑ. මේ අතර අපේ වර්තමාන ජනාධිපතිතුමා එක්ක බතික් කර්මාන්තයේ ගැටලු කතා කරන්න අපිට අවස්ථාව ලැබුණා.
අපි මුලින්ම ඉල්ලුවේ ඉන්දියාවෙන් ගෙන්වන ප්‍රින්ටට් බතික් රෙද්ද ආනයනය කරන එක නතර කරන්න කියලා. ඒ වෙලාවෙම ඉන්දියාවෙන් ගෙන්වන බතික් හා අත්යන්ත්‍ර රෙදිපිළි ආනයනය නතර කිරීමට ජනාධිපති අදාළ බලධාරීන්ව දැනුවත් කළා. අනිත් කාරණය තමයි අපිට බතික් කර්මාන්තයට අවශ්‍ය භාණ්ඩ රෙදි ටික තීන්ත ටික මිලදී ගන්න පිටකොටුවේ ව්‍යාපාරිකයෝ ඉන්නේ අතළොස්සයි. ඔක්කෝම යන්න ඕන අමුද්‍රව්‍ය ගන්න එයාලා ළඟට. මේ කර්මාන්තයෙන් සෘජු හෝ වක්‍රව ලක්ෂ 4 ක් විතර ජීවත් වෙනවා.
මේ අමුද්‍රව්‍ය පිටරටින් ලංකාවට එද්දි විකුණුම් මිලක් නියම වෙන්නේ නෑ. එයාලා කරන්නේ අඩු මුදලට පිටරටවලින් අමුද්‍රව්‍ය ගෙනල්ලා වැඩිපුර ලාභයක් තියාගෙන මෙහේ ඉන්න නිෂ්පාදකයන්ට දීමයි. අද ගිහින් ගන්න රෙදිවල මිලට ඊළඟ දවසේ ගියොත් ගන්න බෑ. රෙදි අමුද්‍රව්‍ය මිල දෙගුණයකින් වැඩිකරනවා.
මස්ලින්, වොයිල්, කොට්න් වගේ රෙදි තමයි බතික් කරන්න අපි ගන්නේ. තුල්හිරියේ පෙහෙකම්හල් වැහුණ එක මේ කර්මාන්තයට සිද්ධ වුණ විශාල පාඩුවක්. මගේ තාත්තා කර්මාන්තයේ යෙදෙන කාලේ අමු රෙද්ද ලංකාවේම හැදුවා. ඒ කර්මාන්ත වැහුණ නිසා පිටරටින් රෙදි එන්න ගත්තා.
අපේ ජාතික ශිල්ප සභාවට දුන්නොත් රටින් ගේන රෙදි ටික ටැක්ස් අඩු කරලා දෙන්න පුළුවන්. දැනට ඒ ක්‍රමයට රිදී, පිත්තල දෙකම ශිල්පීන්ට විකුණනවා, ශිල්ප සභාව මාර්ගයෙන්. දැන් ශිල්පීන් මේ කර්මාන්තයේ රැඳෙන්නේ නැහැ. අදටත් මේ කර්මාන්තයේ ඉන්නේ අපේ තාත්තලගේ කාලේ රැකියාව කරපු පැරණිම වයස්ගත අය. ඒ කාලේ ඉටි වලින් කරපු මෝස්තර අද නිර්මාණය වෙන්නේ නෑ. ඒ හැකියාව තියෙන අය, දැනුම දෙන අය අද නැහැ. අලුත් ක්‍රමවේද හදලා දීලා තියෙනවා ක්ෂේත්‍රයට කැමති තරුණ වැඩිහිටි අයට. NVQ සහතිකය වෘත්තීය පුහුණු ආයතන සහ ජාතික ශිල්ප සභාව පොල්ගොල්ල යන ස්ථානවලින් පාසල් හැර යන සිසුන්ට මේ කලාව ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා.
අනික් එක තමයි අපිට මේවා විකුණ ගන්න තියෙන අර්බුදය. තරුණ දරුවන්ව මේ කර්මාන්තයට යොමු කරාට වැඩක් නෑ. එයාලා හදන නව නිර්මාණ කාටද විකුණගන්නේ කියන අර්බුදය තියෙනවා. අපට හරි වෙළෙඳපොළක් නැහැ. අපිට නිර්මාණ දෙන්න තියෙන්නේ ලක්සලට. ලක්සලෙන් කරන්නේ බඩු විකුණලා දෙන එක. ජාතික ශිල්ප සභාවෙන් කරන්නේ පුහුණුව හා උපදේශනය, මෝස්තර මධ්‍යස්ථානයෙන් කරන්නේ අලුත් මෝස්තර හදලා දෙන එක. මේ දෙක හරහා අන්තිමට යන්න ඕන ලක්සලට.
ලක්සල කියන ආයතනය ගැන කතා කරන්න අද ඇත්තටම කනගාටුයි. ඒකේ ගෙවීම් කිරීම සම්බන්ධයෙන් අපිට කිසිම පැහැදීමක් නෑ. මේක අපේ කර්මාන්තකරුවන්ට වසර ගාණක ඉඳලා තියෙන ප්‍රශ්නයක්. ලක්සල ආයතනය අපෙන් තුට්ටු දෙකට ගන්න බඩු විශාල ගාණකට විදේශිකයනට විකුණනවා. ඒත් අපිට ගෙවීම් කරන්නේ නෑ.
බතික් ඇඳුමක් අඳින්න ආස වුණත් ලංකාවේ අය බතික් අඳින්න පෙලඹෙන්නේ නැහැ. මොකද අධික මිල ගණන් නිසා. මේ විදිහට දේශීය වෙළෙඳපොළක් හදාගන්න පුළුවන්ද?
ඇත්තටම බතික් මිල අධිකයි. හේතුව අමුද්‍රව්‍යවල සහ රෙදිවල මිල ගණන් නිසා. ඉන්දියාවෙන් ගේන ප්‍රින්ටට් බතික් සාරිය රු 2800 ට දෙනකොට අපිට ලංකාවේ රෙද්දවත් ඒ ගාණට ගන්න බැහැ. අමුද්‍රව්‍ය අඩු කරලා රෙදි ටිකට සහ තීන්ත ටිකට සහන මිලක් දෙන්න පුළුවන්නම් අපිට හොඳ බතික් සාරියක් රු. 2000 සිට ඉහළට වෙළෙඳපොළට දාන්න පුළුවන්.
බතික්වලින් නිර්මාණය කරපු ලක්ෂයට, ලක්ෂ එකහමාරට එහා යන මංගල සාරිත් තියෙනවා. රජයෙන් අපිට අමුද්‍රව්‍ය ටිකවත් අඩුවට දෙනවනම් අඩු මුදලකට හොඳ නිෂ්පාදනයක් දෙන්න අපේ නිර්මාණ ශිල්පීන්ට පුළුවන්.
අපි යෝජනාවක් කරනවා අනාගත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ රජයේ සේවකයින්ට සතියකට එක් දිනක් හෝ බතික් හරි හෑන්ඩ්ලුම් හරි අඳින්න කියලා. අපේ කර්මාන්තය ගොඩගන්න ඒක අපට ලොකු ශක්තියක්. අපිට පුළුවන් කාර්යාලවලට සරිලන ආකාරයට සරල සියුම් බතික් මෝස්තර යොදලා සාරි, බ්ලවුස්, කමිස නිර්මාණය කරන්න.
මාතර දිස්ත්‍රික්කයේ බතික් කර්මාන්තයේ නියැළෙන මංගල ගුණවර්ධන මහතා
‘මම මේ බතික් කර්මාන්තය කරගෙන එන්නේ 1995 අවුරුද්දේ ඉඳලා. අපිට තිබුණ දරුණුම ගැටලුව වුණේ අමුද්‍රව්‍යවල මිල ගණන් ව්‍යාපාරිකයන් හිතූ හිතූ විදිහට වැඩිකිරීම. ආණ්ඩුවෙන් වැට් අඩුවුණා කිව්වට සත පහක සහනයක් අපිට ලැබුණේ නෑ. රෙදි ටික ගන්න ගියහම ඩොලර් එක වැඩිවුණා කිය කිය හැමදාම රෙදිවල තීන්තවල ගාණ වැඩිකරනවා. ඒත් අපි මේ කර්මාන්තයට ආදරේ නිසා අමාරුවෙන් හරි අතාරින්නේ නැතුව කරගෙන එනවා.
අපේ මිනිස්සු බතික් ඇඳුම් අඳින්න රුචිකත්වයක් දක්වනවා. ඒ වගේම බතික් රෙදිවල නිමාව මෙන්ම පරිසරයට ගැළපීමත් අපගේ පාරිසරික උෂ්ණත්වයට ඇති ගැළපීමත් නිසා වැඩිදෙනා අතර මේ රෙදිපිළි ජනප්‍රිය වීමට විශාල හේතුවක්.
කොයිතරම් ඉල්ලුමක් තිබුණත් අපට මේ රෙදි දාන්න හරි ආකාරව වෙළෙඳපොළක් නැහැ. ඉන්දියාවෙන්, චීනයෙන්, ඉන්දුනීසියාවෙන් ආනයනය කරන ප්‍රින්ටට් බතික් රෙදි නිසා අපිට දේශීව බතික් කරන සරමක් විකුණගන්න බෑ. අපි වගේම බතික් එක රෙද්දේ ප්‍රින්ට් කරලා එයාලා වෙළෙඳපොළට දානවා. මිනිස්සු දන්නේ නෑ මේ දෙකෙන් මොකද්ද බතික් රෙද්ද කියලා. ඒක සෑහෙන මිල අඩු නිසා මිනිස්සු ගන්නේ පිටරටවලින් එන ප්‍රින්ටට් බතික් රෙද්ද.
මේක ඉතාම දුක්ඛිත රස්සාවක්. මේ රැකියාව කරන්න හරිම අමාරුයි. ඉටි එක්ක වැඩ කරද්දි අත් පිච්චෙනවා. වර්ණ කෙමිකල්වලට අත් පැලෙනවා. දවසම ලාම්පුතෙල් ළිපක් ළඟ ඉඳගෙන උණු වතුර බැරල්වල දාලා තම්බලා විශාල දුකක් විඳලා තමා මේ රෙදි කෑල්ලක් බතික් කරන්නේ. මේක දෑතේ මහන්සියෙන් කරන කර්මාන්තයක්. ඒක තුට්ටු දෙකට දීලා අපිට දරාගන්න අමාරුයි.
දැන් මේ කර්මාන්තය කරන්න සේවකයොවත් සොයාගන්න බෑ. මගේ ළඟ 5 දෙනෙක් වැඩ කළා. ඒ අය මේ රැකියාවෙන් සදහටම ඉවත් වෙලා. අපි රෙදි හැදුවට ගන්න මිනිස්සු නෑ. මේ කර්මාන්තය දැන් අපට තිත්ත වෙලා තියෙන්නේ. ඒත් මේක අපේ පරම්පරාගත රැකියාව. මොනව කරන්නද?
අද මේ බතික් කර්මාන්තය අතෑරලා මම ත්‍රීරෝද රථයක් එළවනවා.
මේ කර්මාන්තයේ වටිනාකම දන්න ඇමතිකෙනෙක් පත් වුණොත් මේ කර්මාන්තය ගොඩගන්න පුළුවන්. දැන්නම් හැමෝම ඡන්ද පොරොන්දු විතරක් දෙනවා විතරයි.
බතික් නිර්මාණ ශිල්පිනී රම්‍යා කුමාරි පරණගම මහත්මිය
2000 වර්ෂයට පෙර හොඳ වෙළෙඳපොළක් මේ බතික් කර්මාන්තයට තිබුණා. ඊට පස්සේ විදෙස් රෙදි නිසා අපි පාරටම වැටුණා. ලංකාවේ සමහර ව්‍යාපාරිකයෝ අපේ නිර්මාණ මෝස්තර සොරකම් කරලා ඒවා පිටරටවලට දීලා ඒ මෝස්තරයම ප්‍රින්ට් කරලා අඩුවට ලංකාවට රෙදි ගෙන්වනවා. මේ දේවල්වලට තිත තියන්න ඕන.
පාරම්පරික ශිල්පීන්ගෙන් පස්සේ අලුත් අය මේ කර්මාන්තයේ යෙදෙන්නේ නෑ. ඒ හරි වෙළෙඳපොළක් නැති නිසා. බතික් කර්මාන්තයට හොඳ වෙළෙඳපොළක් හදලා දෙනවා නම් තරුණ පිරිසට රැකියා විශාල වශයෙන් උත්පාදනය වෙනවා. මෙම කර්මාන්තයේ නියැළුන ලක්ෂ ගණන් නිර්මාණකරුවන් කර්මාන්තය හැර යනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ බතික් නිර්මාණ ශිල්පිණී ධම්මිකා මැදුන්කුමාරිහාමි මහත්මිය-
පාස්කු ප්‍රහාරයෙන් බිඳවැටුණු කර්මාන්තය කොරෝනා හේතුවෙන්ද අද ගොඩගත නොහැකි තත්ත්වයටම ඇදවැටිලා.
මම මේ ක්ෂේත්‍රයට එන්නේ අවුරුදු 19 දී. මේක පරම්පරාවෙන් එන ශිල්පයක්. එදා ඉඳලා අද වෙනකම් මේ කර්මාන්තයෙන් ජීවත්වූයේ ඉතාම දුෂ්කරතා මැද්දේ. අපේ රෙදි කිසිම කෙනෙක් මිලදී නොගත්ත කාලයක් තිබුණා. ඒත් අපි අතෑරියේ නෑ.
දැන් පිටකොටුවේ රෙදි කඩ, තීන්ත විකුණන මුදලාලිලා ගිනි කාක්කෝ වගේ හිතු හිතු මුදලට අපිට භාණ්ඩ විකුණනවා. තීන්ත කුප්පියක් රු 5000 - රු 6000 අතරයි. රෙදි මීටරයක් රු 1000 - රු 2000 අතරයි. පාලන මිලක් නෑ.
අලුත් අවුරුද්ද වෙනුවෙන් කරපු නිර්මාණ තාම අලෙවි කරගන්න බැරුව ගොඩගැහිලා. සේවකයෙකුට වැටුපක් දීලා තියාගන්න අමාරුයි. ඉස්සර මාතලේ දිස්ත්‍රික්කයේ බතික් නිර්මාණවලට ඉහළ ජනප්‍රියත්වයක් තිබුණා. විදෙස් රෙදි නිසා අපේ නිර්මාණවල ජනප්‍රියත්වය අද තුට්ටුවටම වැටිලා. මම ඉල්ලන්නේ මේ අමුද්‍රව්‍යවලට වහාම පාලන මිලක් ගේන්න. නැත්නම් පාරම්පරික දේශීය කර්මාන්තයට තිත තියන්න වෙනවා. ඒක සංචාරක ව්‍යාපාරයටත් විශාල පහරක් වේවි.
විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා ගොඩක් මිලට ගන්නේ බතික් රෙදි. පහුගිය ආණ්ඩුවෙන් අප දිහා ඇහැක් අැරලා බැලුවෙ නෑ. බලධාරීන්ට ලියුම් ලිව්වා. ඒවා ගියේ උන්ගෙ කුණුකූඩවලට. මේ ආණ්ඩුව ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපට හොඳ ආර්ථිකයක් හදලා දේවි කියලා.
ප්‍රමුඛ බතික් නිර්මාණකරුවකු වන පතිරණ බතික් හිමිකරු වන යූ.පී.එල්. රංජිත් පතිරණ මහතා
තාත්තාගෙන් තමයි මට මේ කර්මාන්තය උරුම වෙන්නේ. ඇත්තටම 80, 90 කියන්නේ බතික් කර්මාන්තයේ ස්වර්ණමය යුගය. 99, 2000 වර්ෂ වෙනකොට අපේ කර්මාන්ත කඩාවැටුණා. ඒත් අපි යන්තම් ඇදගෙන ආවා.
ඉස්සර බතික් කියලා දැක්කේ අලි, මල්, ගස්, සත්තු වැනි රූප තියෙන කමිස, සරම්, සාරි, බ්ලවුස්. ඒ නිසා දේශීය අයට වඩා විදේශිකයෝ මේ ඇඳුම්වලට විශාල කැමැත්තක් දක්වනවා.
අමුරෙදි අඩු මිලට ලබාගන්න තිබුණ පෙහෙකම්හල් විවිධ බලවේග ඇවිල්ලා වැහුණා. අපේ රටේ ඉන්දියාවෙන් නූල් ගෙනල්ලා අමු රෙදි හදලා ඉන්දියාවටත් යැව්වා. ඒ තරම් ලංකාව දියුණු වෙලා තිබුණා. විදෙස් බාල බඩු ගෙනල්ලා හිටපු ආණ්ඩු අපේ කර්මාන්තය නැත්තටම නැති කළා.
අමු රෙද්ද ලංකාවේ හදන්න ලේසියි. ඒකට නිර්මාණකරුවෝ ශිල්පීය පුහුණුව තියෙන අය ලංකාවේ ඉන්නවා. ආණ්ඩුවෙන් සහය දෙනව නම් ඒ කර්මාන්ත නැවත ආරම්භ කරන්න පුළුවන්. එවිට අපිට විදෙස්වලට දත නියවන්න ඕන නෑ.
අපිට ජනවාරියෙන් පස්සේ කිසිම වෙළෙඳාමක් නෑ. ඉන්දියානු, ඉන්දුනීසියානු බතික් නිසා අපේ බතික් මිනිස්සු ගන්නේ නෑ.
අපිව පාරට ඇදලා දාපු අනිත් තැන තමයි රජයෙන් පවත්වාගෙන යන ලක්සල. ලක්සල බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව තමයි අනවශ්‍ය නිලධාරීන්. වගකීමක් ඇතුව වැඩ කරන නිලධාරීන් ලක්සලේ පාලන අධිකාරියේ නෑ. ඔක්කොම ඉන්නේ හොරා කන එවුන්. අපෙන් තුට්ටුවට භාණ්ඩ අරගෙන සුද්දන්ට දහස් ගණන්වලට විකුණලාත් අපිට මුදල් දෙන්නේ නෑ. අපිව හරියට රස්තියාදු කරනවා.
ලක්සල අපෙන් රු 4000 ට ගත්ත සාරිය විකුණන්නේ රු 12,000 ට. විකිණිලත් අපට සල්ලි දෙන්නේ නෑ.
ඇත්තටම මේ කර්මාන්තය හරියට කරනවා නම් ලංකාවම ආර්ථික අතින් ගොඩගන්න පුළුවන්. ලක්සලේ සළුසලේ පාලන අධිකාරියේ ඉන්න තක්කඩි ටික පන්නනවනම් අපේ කර්මාන්තයට හොඳ කලක් උදාවේවි.
නදීෂා අතුකෝරළ
ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,
බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.
ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
තම සැමියා දෙගිඩියාවෙන් යුතුව වුවද රාජකාරියට වාර්තා කිරීමට සූදානම් වෙද්දී - දීපා තවදුරටත් ඔහුගේ ගමන වළකාලීමට උත්සාහ නොකළාය.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
රට බතික් නිසා අසරණ වූ අපේ බතික් නිර්මාණකරුවෝ