දිගාමඩුලු අඩවියේ සැඟවුණු කතා
බුදුන් දවස ඇඳිවත ද අහිමිව මළ දරු සිඟිත්තෙක් තුරුලු කොට මළ පුතුට පණ දෙන්නැයි කියමින් හඬා වැටෙමින් මහ මඟ දිගේ දිව ගිය කිසාගෝතමිය මෙන් මෙකල ද මිනිසුන් විසින් මනා ලෙස නොරැක්මෙන් අසරණ බවට පත්ව දිවි තොරවුණ සිඟිති කිරි කැටියෙක් තුරුලු කරගෙන දින හයක් තිස්සේ වල් අලි මැද දිය පොදක් නොමැතිව සාපිපාසාවෙන් පෙළෙමින් ඇඳි වතෙන් මිය ගිය දරුවා ගුලි කරගෙන යට ඇඳුමෙන් විළිවසා ගෙන පිස්සියක මෙන් මිනිස් වාසයක් හොයා ගෙන පැමිණි මව් කෙනෙකුන් පිළිබඳ අනුවේදනීය වූත් ශෝක ජනකවූත් කතා පුවතක් දිගාමඩුලු බින්තැන්නේ දී අසන්නට ලැබුණි.
දිගාමඩුලු බින්තැන්නේ හෙවත් මහවැදි රටේ ඌරුවරිගේ උපන් ඇය ළඳ බොළඳ යුවතියක් නොවුවාය. ඇය උපතින් වැදි ළියකි. වයස අවුරුදු 24ක් පමණ ඇගේ වත මැලවි ගොසිනි. ඇය මහඔය මූලික රෝහල් විශේෂ ප්‍රතිකාර ඒකකයේ ඇඳක උඩුකුරුව නිදා සිටියි. හෙදියෝ කිහිපදෙනෙක් හා වෛද්‍යවරුන් ඇය වටකරගෙන සිටිති.
අනේ... පව් ඒ ඇත්තිත් මියැදෙයි වත්දෝ එහා ඇදේ සිටි රෝගී මවක් මා දෙස බලා කීවාය.
මම කිසිවක් නොදොඩා එතනින් පිටවී කොරිඩෝවට පැමිණ මඳ වෙලාවක් එහි රැඳී සිටියෙමි. වෛද්‍යවරයෙකු හදිසි ප්‍රතිකාර ඒකකයෙන් පිවිස කොරිඩෝව දිගේ ගමන් කරන්නට විය. මම ඔහු වෙත ළංව කොහොමද ඩොක්ට දැන් ලෙඩාගේ තත්ත්වය විමසිමි. බය වෙන්ට දෙයක් නෑ කෑම නැති අමාරුවයි, වෙහෙසයි මානසික ආතතියයි. තියෙන්නේ. කොහොමත් සේලයින් එකෙන් පස්සේ කතාව අහගන්ට පුළුවනි. මේක හරි දුක හිතෙන කතාවක්. නූතන කිසාගෝතමියගේ කතාවක්. මේ වගේ කතා වර්තමානයේදීත් අහන්ට ලැබෙනවා නේ... යැයි කියමින් වෛද්‍යවරයා මගෙන් සමුගෙන සිය රාජකාරිය සඳහා වහ වහා පිටත්ව ගියේය.
මම ද රෝහලෙන් පිටත්ව ගොස්, පැය තුන හතරකට පසුව නැවත රෝහල වෙත ගියෙමි... හදිසි මරණ පරීක්ෂකවරයා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් සිවිල් ආරක්ෂක සෙබළෙක් ඇඳක වැතිර ගත් කාන්තාව අසල සිටියහ. ඇය සිය කතාව කියන්නට වූවාය.
ඇගේ කතාව ඉකි ගැසීම හඬා වැළපීම් අතර කියැවිණි. ඇය දෙඩුවේ ද හෙළ බස හා මුසු වූ වැදි බසෙනි.
ආදි වාසි රැහේ උපතලත් සෝමා යොවුන් දිවියට පා තබා ටික දිනකින්ම බින්තැන්නේ සිංහල හේන් ගොවි තරුණයකු සමග විවාහ වී ඔහුගේ ගම් ප්‍රදේශයට පැමිණ හේන් ගොවි තැන කරගෙන දිවි ගෙවන්නට වූවාය.
මීට වසර තුනකට හතරකට පමණ පෙර ටිකිරා සමඟ සහේ ආ මේ යුවතිය හේන් ගොවි තැනට දැක් වූයේ ලොකු කැමැත්තකි. ඒ වගේම ටිකිරාද හේන් ගොවි තැන උරුම කරගත් බින්තැන්නේ කරුම දිවියට කර ගැසුවෙකි. ඉතින් මේ නව යුවල බින්තැන්නේ සේරුපැන්විල අවට කැලයෙන් හේන් කපාගෙන ජීවත් වූහ.
මේ අතරතුරේදී සෝමාවති උතුම් වූ මාතෘ පදවියට පත්වූයේ සිඟිති පුතෙක් මේ ලොවට බිහි කරමිනි. හේනේ පැල්පතට වී දරුවා ගෝහාලයේ නිදි කරවා ඇය හේන් වැඩට උදව් වූවත් අතේ කරගැට හැර වෙන දෙයක් ඔවුන්ට ඉතිරි වුණේ නැති තරම්ය.
ඇය මේ දරුවා පෝෂණය කළේ මව් කිරෙනි. මාස හයක් මව් කිරි දෙන්න යැයි කීවත් ඇගේ තන මඩලෙහි දරුවා වෙනුවෙන් බොහෝ කල් යනතෙක්ම කිරි එරෙන්නට විය.
ඒ තමා දරු සෙනෙහසේ මහිමය. පසුව ඇයට මේ දරුවාට දෙන්නට පිටි කිරි ගන්ටවත් පොහොසත් කමක් නොවූයෙන් මස් බිත්තර කවන්නට පරිප්පු චීස් බටර් කවන්නට නොහැකි විය. අවුරුදු එකහමාරක් පමණ වූ දරුවාට දුන්නේ ඉරිඟු, කුරහන්, තලපය. ලෙඩක් දුකක් වුණාම බත් ටිකක් දෙන්නේ සමෘද්ධි කාඩ් එකට ලැබෙන හාල් ටිකෙනි.
කොහොම නමුත් මේ කාලය වනවිට හේන් කපන්ට තරම් ළඟ පාතක සුදුසු කැලෑ බිමක් නොවූ හෙයින් ගමේ අනෙකුත් ඇත්තන් මෙන්ම මොවුන් ද පසුගිය අවුරුද්දේ ඈත එපිට රෑනගස්තලාව කැලයේ හේනක් කපා ගෙන එහිම පදිංචිව දිවි ගෙවූහ.
අගොස්තු මාසය බින්තැන්නට ද නියඟය පවතින කාලයක් වූ වද මේ කියන කාලයේ කඩින් කඩ වැසි කාල ගුණයක් පැවතුණි. සෝමවතීට හිටි දරුවා ඇය හැදුවේ මහත් ආදරයෙනි. මේ කාලය වනවිට මැසි මදුරු උවදුරු ද සමඟ කෑම බීම හිඟය ද බින්තැන්න පෙදෙසට බලපාමින් තිබිණි. ඒත් එක්කම ප්‍රදේශය පුරා උණ රෝගයක් ද පැතිරෙමින් තිබිණි. සෝමාවතිගේ දරුවාට ද උණ වැලඳුනි. ඇය අත් බෙහෙත් දුන්නාය. ඔහු නූල් මැතිරුවේය. එහෙත් ඒ එකකින්වත් පලක් නොවුයෙන් හෙනෙන් උපයා ගත් කව්පි ටිකකුත් පොදි බැඳගෙන දරුවාට බෙහෙත් ගැනීම සඳහා ඔව්හු පදියතලාව රෝහල වෙත යාමට පිටත් වූහ.
ටිකිරාත් සෝමාවතීත් දරුවත් රැගෙන පාපැදියෙන් යායේ සිට මේ ගමන පිටත් වූයේ පානු පැයටයි.
අතුරු මාර්ගයක් ඔස්සේ සැතපුම් ගණනක් පැමිණි ඔවුහු කෝන්ගස්මුල්ලේදී බයිසිකලය අසල නිවසක තබා මහ පාරට වී පැයක් බලාසිට පදියතලාව රෝහලට ගොස් අසනීපයෙන් පෙළුන දරුවාට රජයේ රෝහලෙන් බෙහෙත් ලබා ගත්හ.
කාලයකට පස්සේ නගරයට පැමිණි ටිකිරා කව්පි ටික විකුණා ගත්ත මුදලෙන් ගෙදරට අවශ්‍ය බඩුත් අරගෙන දෙතුන් දෙනත් එක්ක තේ වතුරත් බී අන්තිමට කළේ ඇඟ රත්වෙන ජාතියේ බෙහෙත් බෝතලයක් ගැනීමය.
බින්තැන්නේ ඇත්තන් දැන් ඇගේ පතේ රුදාව ඇරගන්ටත් හිතේ දුක නිවා ගන්ටත් ගන්නේ මේ බෙහෙත්ය. පදියතලාවේ පමණක් නොව බින්තැන්නේ හැම තැනකම දැන් සීල් අරක්කු පමණක් නොව වෙනත් රට බීම අලෙවි සල් මෙන්ම රෙස්ටුරන්ට් කියන තිප්පොළවල් ද අඩුවක් නැත. මේ නිසා හේනෙන් ඉරිඟු ටිකක්, කව්පි ටිකක්, වට්ටක්කා මිරිස් ටිකක් විකුණා ගන්නට එන ගොවියන් ඒවා අලෙවි කරගත් ගමන් නවතින්නේ මේ තිප්පොළවල් වලය.
හොලි මූකලානේ හේන් කොටාගෙන, අලි කොටි වලසුන් අතරේ දිවි ගෙවන ටිකිරාටද පොඩි ජොලියක් විඳින්නට සිත්වූයෙන් ඔහු ද ඉතිරි මුදලෙන් අරක්කු බෝතලයක් ගත්තේය. වැල යන පැත්තට මැස්ස ගැසීමට සිතූ ඔහු දරුවත් ගෑනිත් ඉන්න බවක් නොතකා රෝහල අසලදීම මිතුරෙකු සමඟ අරක්කු බෝතලයෙන් බාගයක්ම බුක්ති විඳ පොඩි පහේ ජොලියකින් ආපසු ආවේ පැය ගණනක් ටවුමේ ගත කිරීමෙන් පසුවය.
ඇය සැමියාගේ මේ ක්‍රියා කලාපය ගැන කිසිවක් දෙඩුවේ නැත. ඒ බින්තැන්නේ ගැහැනුන්ගේ හැටිය. ගෙදර වැඩ කරන්නාක් මෙන්ම හේනේ කුඹුරේ සියලු වැඩත් ගෑනි කළ යුතුය. කොටින්ම කියතොත් ස්වාමියාට හරි හම්බ කර දිය යුත්තේ සහේට ආ ගෑනිය. මේ තත්ත්වය සෝමාවතිට ද පොදු විය. ආපසු ආ එක ගැන ද ඇය ඇතැම්විට සතුටු වෙන්න ඇත. දරුවාත් රැගෙන බසයෙන් බැසගත් ඔවුන් කෝන්ගස්මුලේල සිට හේන දක්වා වූ ගමන යෑමට පිටත් වූයේ පා පැදියෙනි. බඩු මල්ල පාපැදියෙ පසුපසින් තබා බැඳගත් ඔහු බිරිඳත් දරුවාත් ඉදිරියෙන් තියා ගෙන වැලි පාර දිගේ සැතපුම් දෙක තුනක් ඈතට පාපැදිය පැදගෙන ගියේය. පාර ටිකක් අබලන් වී තිබුණි. මධු විත පානයෙන් ලැබූ බමන ගතියත් ටිකෙන් ටික වැඩි විය. මිනිහගේ අත පය වාරු නැතිව ගිහින් පා පැදිය පාර හරහා ඇදගෙන වැටුණේ නොහිතු වෙලාවකය. ඒත් හොඳ වෙලාවට කාටවත් කරදරයක් නොවීය. දැන් මිනිහට ආපහු පාපැදිය පදින්ට බැරි තරම්ය. පා පැදිය ටිකක් ඇද වෙලා තිබුණි.
හා කමක් නෑ. වෙච්චදේ වුණා. දැන් අපි බයිසිකලෙත් තල්ලු කරගෙන පයින් යමු කියලා තුන්දෙනත් එක්ක හැතැප්මක් විතර වැලිපාර දිගේ ගියහ. හේන තියෙන ඉසව්වට යෑමට පණච්ඡා ඔයෙන් එගොඩ විය යුතුය. ඔය ළඟට පැමිණි ඔහු “හා දැන් ඔයා පාර දිගේම දරුවත් අරගෙන යන්ට මං ටිකක් සුනංගුවෙලා එන්නම්” කියා එතනින් හැරී අසල තිබුණු ගෙයක් දෙසට ගියේ බයිසිකලේ ඇදත් ඇරගෙන ඇගේ පතේ අමාරුවත් ඇරගෙන එන්ට හිතාගෙනය.
කොහොම වෙතත් දහිරිය වන්ත ගෑනි ඔයා එහෙනම් ඉක්මනට එන්ට යැයි කියාගෙන තනිපංගලමේ කැලය මැදින් හේන දක්වා වැටී තියෙන අඩි පාර ඔස්සේ ගමන් කරන්නට වූවාය. පැයක් හමාරක් හෙමින් හෙමින් ගමන් කළ ඇය තම සැමියා බයිසිකලෙත් හදා ගෙන එතැයි සිතමින් කැලේ මැදින් පැය දෙකක් පමණ ගමන් කළාය.
තම සැමියාගේ සුනංගු වීම ගැන නොහිතූ ඇය හේන බලා යන්නට වූයේ ඒ වනවිටත් හිරු බැස යමින් තිබූ හෙයිනි. ඇය හෙමින් හෙමින් ගියේ අවට කැලය තුළට ද දෑස් යොමුකරමිනි. ටික දුරක් ගිය ඇය බියෙන් ත්‍රස්තවිය. ගමන් මග හරස් කරගෙන වල් අලි කොළ බිඳිමින් සිටියහ. දරුවා තුරුල් කරගත් ඇය වහා කැලය තුළට වැදී රුක් වදුලු තුළින් දුවගොස් අලි උවදුරින් මිදී වට පිට බැලුවාය.
ඇය මහ කැලය මැද්දෙන් බොහෝ දුරක් ගොස් ඇත. කැලය මැද්දේ හතර අතටම දැව ජාවාරම්කරුවන් ලී ප්‍රවාහණය කළ කරත්ත පාරවල්ය. ඇය හේන දෙසට විහිදෙන පාරක් යැයි අනුමාන කළ කරත්ත පාරක් දිගේ මද දුරක් ගියාය. එහෙත් තමා මංමුලා වී ඇති බව ඇයට දැනුණි. අඳුර ගලා එමින් තිබිණි. ඇය වෙනත් දිහාවකට දුවන්නට වූවාය. එහෙත් එවෙලේ ඇදහැලෙන්නට වූ අකල් වැස්සෙන් දිවීම නැවතිණි. වට පිට බැලූ අැගේ නෙතට දිස්වූයේ ගල් ගෙයකි. තෙත බරිත ඇඳුමෙන් යුතුව ගල් ගෙය තුළට වැදුණු ඇය මෙතෙක් වේලා තුරුලු කරගෙන සිටි දරු සිඟිත්තා පසෙකින් තබා රෙද්දත් හැට්ටයත් ගලවා මිරිකා පසෙකින් වැනුවාය. ඇගේ යට ඇඳුම එතරම් තෙමී නොතිබුණේ එයින් දරුවා ඔතා දරුවාට කිරි පෙව්වා.ය. වැහිරී ගිය තන පොත්තෙන් ගලා ආ කිරි බිඳු කිහිපයකින් යන්තම් සන්තර්පනය වූ දරුවා රෙදි කඩට ගුලිවී නිදද්දි ඇය දරුවා ඔඩොක්කුවෙ තබා ගෙන අඩ නින්දේ ගල්රැහැනේ වැතිරී සිටියේ හෙට දිනයේ පායන හිරු එළියෙන් යා යුතු මඟ සොයා ගන්නා අටියෙනි.
පසුදින හිරු නැඟී පිබිදුනු ඇය රෙදි කඩ ඇඳගෙන දරුවාත් ඔසොවා ගෙන ඉර පායන දෙසට ගමන් කරන්නට වූවාය. පැයක් දෙකක් ගමන් කළ ඇයට කිසිම හෝඩුවාවක් නොවුයෙන් උස් කඳුමුදුන් වලට නැඟ හූ කියමින් ඇය තැනින් තැන ගමන් කළේ කවුරුන් හෝ හමුවෙතැයි යන සිතුවිල්ලෙනි. ඉපල් බේරුණ අතු රිකිලි හැර කැලය පුරාම මලක් ගෙඩියක් නොවුයෙන් එදා දවසම අහේමයෙන් ගමන් කරන්නට වූ ඇය බඩ ගින්නෙන් උන් දරුවාට තන පුඩුව උරන්ට දුන්නේ කිරි ඉල්ලා අඬන දරුවාට දෙන්ට වෙන දෙයක් තමා සම්මතයෙහි නැති බැවිනි. ඇය කොතෙක් තනපුඩුව දරුවාගේ කටට එබුවද එයින් ඉනු කිරක් නැතුවා සේය.
එදා දවස ද ගෙවී හිර ගල වැටෙන්න වූයේ ඇගේ මනස තව තවත් අවුල් කරවමිනි. කළ හැකි අන්දෙයක් නොමැති වූයෙන් මේ දිරිය මව තම දරුවා තුරුල් කරගෙන ගල් කන්දක් මතට නැග දිග ඇදී සිටියාය. එදා ඇය රැය පහන් කළ ගල් කන්ද පාමුල වල් අලි රංචුවක් කොළ අතු බිඳිමින් එහෙ මෙහෙ යමින් මහත් කලබලයක් කළහ. එහෙත් ගිරි දුර්ගයක් තරණය කරන්නට උන් කිසිදා උත්සාහයක් නොදැරූහ. එදා උදේ නවය දහය වන විට අලි ගල පාමුලින් ගොස් සිටි හෙයින් ගල මුදුනේ සිටි ඇය හූ වක් දෙකක් තැබුවාය. එහෙත් ඇගේ හූ හඬට කිසිවකුගෙන් ප්‍රතිචාරයක් නොවීය. ගල් කුලෙන් බැස්ස ඇය හිරු පායා ඇති දෙසට කැලය මැදින් හෙමින් හෙමින් යද්දී ඈතින් අලි රංචුවක් සිටින බව දුටු ඇය දරුවා තුරුලු කරගෙන කටු ගාල් මැද්දෙන් රිංගද්දී ඇගේඇග කටු වලින් සීරි ලේ ගලන්ට විය, ඇඳුම් කටු අකුල් වලින් ඉරී වැරහැලි විය. අලින්ගෙන් බේරී කැලය මැදින් දුවන්ට වූ ඇය දැක්කේ කුළු හරක් රංචුවකි. දිවි පරදුවට තබා ඇය දිව්වාය. ඇගේ කකුල් කැපී ලේ ගලන්ට විය. ඒ හැම එකක්ම ඉවසා ඇය තුන්වැනි දවසේ රැය ගත කළේ ගල් ගෙයක් තුළය. එදාත් රෑ වැස්ස වහින්නට වූයෙන් ඇඳ සිටි වැරහැලි අැඳුම් සියල්ල තෙත බරිත විය. දරුවා හඩා වැටෙමින් මවගේ කිරි උරමින් නිදා වැටුණේ අඬා ගන්නවත් පණ කෙන්දත් ඔහු සතුව නොවූ හෙයිනි.
රැය පහන්වී හතරවැනි දවස උදා වූයෙන් ඇය ගම් දනව්වක් හෝ මිනිස් වාසයක් ඇති තැනක් සොයමින් කැලයේ හතර අත ඇවිදින්නට පටන් ගත්තාය. දරුවා එදා උදේ සිටම කිරි ඉල්ලා හඬා වැටෙන්ට වූයේ.
අම්බෝ... උක්කු දියා...න් අම්බොයියෝ... මට... උක්කු... දියාන්... ඒ නොදරුවා කී ගාමින් අඬා වැටෙන්නට වූවාය. කොල්ලා අඬා වැටීම ඇයට ඉවසා සිටින්නට නොහැකි තරම් විය. ඇය දරුවාත් රැගෙන කැලයේ තව තවත් දුවන්නට වූවාය.
හිරු මුදුන් වී තිබුණි. ඈතින් කුඩා දිය පාරක් ගලා යමින් තිබිණි. දරුවා බෝ දිලන් බෝ දිලන් යැයි වතුර ඉල්ලා හැඬුවේය.
දරුවාත් රැගෙන දිය කඩ ළඟ ඇන තබාගත් ඇය දරු සිඟිත්තා ගේ හිස පිරි මැද ආදර කරුණාවෙන් සිප සනසා දරුවා ඔඩොක්කුවේ රුවා ගෙනම දෝතින් දිය පොවන්නට වූයේ කිරි කඳුළකට අඬා වැටෙන තම දරු සිඟිත්තාට දිය දෝතක් හෝ පොවන්නට ලැබීම වාසනාවක් කොට සලකා ගෙනය.
දින හතරක් තිස්සේ කුසට අහරක් නොමැතිව උගුර තෙමෙන්නට දිය බිඳක් නොමැතිව සිටි දරු පැටියා අමෘතය ලැබුවාක් සේ ගුඩුස් ගුඩුස් ගාමින් දෝතින් දිය බී ගෙන බී ගෙන ගියේය. අන්තිමට වතුර බීම අතහැර දැමූ ඔහු කට ඇරගෙන හුස්මක් පිට කළේය. ඒ දිග හුස්ම ඔහුගේ සිරුර අභ්‍යන්තරයේ තිබූ සියලුම ජීව ගුණයන් එක් රැස් කරගෙන වා තලයට එක්විය. ඇස් දෙක ජිල් බෝල දෙකක් මෙන් කැරකී උඩ ගියේය. සිඟිත්තා නිහඬ විය.
අම්මේ මං උඹ දාලා යනවා... උඹට කළු බණ්ඩාර දෙයියන්ගේ පිහිටයි. ඔහු කියන්නට ඇත. මව් සෙනෙහසින් පිරීගිය ඇය දරුවාගේ මුහුණට වතුර ඉස්සාය. පපුව පිරිමැද්දාය. එහෙත් දරුවා නිසොල්මන්ය. මගේ පුතේ කතා කරපන් පුතේ උඹට මොක ද? පුතේ තව ඩිංගයි පුතේ අපි අද කොහොම හරි ගෙදර යමු... ඇය කීවාය. එහෙත් දරුවා නිසොල්මන්ය.
දරුවා මළ බවක් ඇය නොසිතුවාය. අම්මා කෙනෙකුට කෙසේවත් තම දරුවා මිය ගියේ යැයි සිතිය නොහැකිය. ඇය ද අම්මා කෙනෙකි. අම්මා කෙනෙක් පමණක් නොව දිරිය මවකි. උගත් යැයි කියන සමාජය කියන උන්ට ඇය දිරිය මාතාවකි. ඇය තම රෙදිකඩ උනා එයින් දරුවා ඔතා ගත්තාය. යට ගවුම් කැබැල්ල ලිහා තන මඩල වැසෙන සේ උඩට කොට ඇඳගත් ඕ තොමෝ දරුවාත් කර පින්නා ගෙන කැලය මැදින් මිනිස් වාසයක් සොයා ගමන යන්නට පිටත් වූවාය. ගමන කෙළවර නොවූ නමුත් දවස කෙළවර වී රැය උදා විය. රැය ගෙවන්නට ඇයට ගල්ගෙයක් අවශ්‍ය නොවිය. පස්වැනි දිනයේ රැය ගල් තලාවක් මතට නැගී ගහක් මුලට වී ගෙවන්නට වූ ඇයට වැස්ස හරස් විය. වැස්සේ තෙමෙමින් උක්කුටයෙන් ඉඳගෙන ඇය දරුවා නොතෙමෙන්නට පපුවෙන් තුරුල් කර ගත්තාය. පැයක් පමණ වැස්සේ තෙමෙමින් දරුවා නොතෙමූ ඇය සිය පුතුගේ පපුවට කන තබා බැලුවාය. ඇගේ පපු කැනැත්ත දා ගියේය. දරුවාගේ පපුවෙන් වෙනදා නැගෙන ඩිග් ඩිග් හඬ නෑසිනි. ඇය කඳුළු සලමින් හැඬුවාය. මයේ දරුවා මියැදිලා.... වත්ද? නෑ... මයේ කිරි සප්පයා මියැදෙන්නේ නෑ මෙහෙමයි. ඇය සිය මව් සෙනහසින් ඇත්ත නැමති මාරයා පරදවා ලූවේය. ඇයට වෙහෙස මහන්සියත් අහේනියත් දුක් වේදනාවනුත් අතරේ නින්ද යන්නට ඇතැයි සිතිය නොහැක.
පස්වෙනි රැය ගෙවී හිරු උදාවෙන මොහොතේ ඇය එදවසට මුහුණ දෙන්නට සූදානමින් රෙදි කඩේ ඔතා සිටි දරුවා ඇකයට ගත්තාය. ඇගේ හිත ගැස්සී ගියේ සුරතල් දරු සිඟිත්තා දර දඬු මළ සිරුරක් බවට පත්වී තිබූ හෙයිනි. ඇය හිතා ගෙන සිටියේ දරුවා පණ පිටින් බවය. එහෙත් ඇගේ සිතුම් පැතුම් බොඳ කරමින් සොබා දම ඉතා කුරිරු ලෙසින් ඒ පුංචි දරුවා මරුවාගේ තුරුලට ගෙන ඇත්තේ කුසගින්නත් සා පිපාසාව හා රෝගි බව ද විසකුරු සපුන් ලෙස පොලඹවා දරු සිඟිත්තාගේ සිරුර තුළ සැඟවී තිබූ පණ කෙන්ද විනාශ කරවමිනි.
දරදඬු මළ පුතුගේ සිරුර ලෙහි තුරුල් කරගත් මේ දිරිය මව ගලෙන් බැස යළිත් වන ලැහැබ තුළ ඇවිදින්නට වූවාය.
ස්වභාවයෙන්ම ගුප්ත වූත් රෞද්‍ර වූත් වන ලැහැබ විටක සියොතුන්ගේ ගී රාවයෙන් නින්නාද දෙන රඟහලක් වන්නේය. විටක කිසිදු හැළ හොල්මනක් නොමැති වනය නිහඬ නිසසල ගොළු බවක් කියා පාන්නේය. විශ්වයේ ඇති විශ්ම ජනක තැන් වලින් එකක් වූ මෙවන් වන රුකුලක මිය ගිය දරුවකුගේ දර දඬු වූ මළ සිරුරත් කරපින්නා ගෙන තනපට වැසෙන නොවැසෙන තරම් වූ රෙදි කඩකින් විළි වසාගත් සෝමාවති නම් වූ ඇගේ දෙනතට හසුවූයේ වන මැද තලා කඩක තණ බුදිමින් සිටින ගව රැලකි. මිනිස් වාසයක් මේ ළඟම ඇතැයි සිතූ ඇය ගව රංචුව දෙසට යත්ම බියට පත් ගව රැළ දුවන්ට වූහ. දරුවා කරපින්නා ගත් ඇය ද වැටි වැටී උන් පස්සේ දිවුවාය. ඉලුක් මානන් වලින් ඇගේ ඇඟපත සිරී ලේ ගලද්දී ඇය දිව්වාය. පැයක පමණ ගවයින් පසු පස දිව ගිය ඇයට ඈත වන ලැහැබින් පිට තලාකඩ අයිනේ ගෙයක් ඇති බව දිස්විය. වෙහෙස මහන්සියත් කුසගින්නත් ඉහ වහා ගිය ද මළ දරුවාගේ මුහුණ දකිත්ම සසලවී ගිය ඇගේ හදවත යළි දරු දුකින් පණපෙවී සවිමත් විය. ඇය ගේ දෙසට දිව්වාය.
මේ වනවිට පෙරවරු 10.00ට පමණ ඇත. ගෙහිමියා මිදුලේ කිසියම් කාරියක් කරමින් සිටිද්දි ඈතින් දරුවකු වඩා ගත් ගැහැනියක් දුවගෙන එන බව දුටුවේය. නමුත් ඇගේ හරි මනත් අඳුමක් නොමැතිව දරුවකු කරපින්නාගෙන එන්නේ විපතකට පත් වූ තැනැත්තියක් බව ඔහුට නොබෝ වෙලාවකින්ම පසක් විය.
ඔහුගේ බිරිඳගේ සාත්තු සප්පායමෙන් මද සහනයක් ලැබූ මේ මළ කඳ වඩා ගත් මව නිවසින් දුන් සුදු රෙදි කඩකින් තම එකම පුතුගේ මළ සිරුර ඔතා පසෙකින් තබා ඔවුන් විසින් සපයා දුන් චීත්ත රෙදි කඩකින් හා හැට්ටයක් ඇඟලා ගෙන තමාට සිදුවූ විපත සැකවින් කීවාය. පොලිසියට පණිවිඩයක් යවා අවශ්‍ය කටයුතු කරන්නට ගතවූයේ පැය බාගයකටත් අඩු කාලයකි.
රෝහල වෙත ගෙන ආ මේ දිරිය මවගේ දිවිය රැකුණ ද ඒ වනවිටත් දරුවා මියගොස් දවසක් ගතවී තිබිණි.
(නම් ගම් පමණක් මනඃකල්පිතය.)
බින්තැන්න සඳරුවන් ලොකුහේවා
රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි
ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්
ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික
තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.
පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ
සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ් සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිඟිති දරුවකුත් කරපින්නාගෙන කැලේ අතරමං වූ මවකගේ දුක්බර කතාවක්
sampath Monday, 08 November 2021 10:30 PM
මේ රටේ මේ වගේ කී දාහක් මැරි මැරී ජිවත් වෙනවා ඇතිද.?
රන්ජිත් Friday, 12 November 2021 11:46 AM
මේවා ගිහින් කියන්න රට කාපු රාජපක්ෂ පවුලට.