ජවිපෙ දෙවැනි කැරැල්ලෙන්
9 වැනි කොටස
වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2වැනි කැරලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ධර්මන් වික්‍රමරත්න මෙයට ප්‍රථම ජවිපෙ 2 වැනි කැරැල්ල - ප්‍රථම කාණ්ඩය මැයින් පිටු 880ක ග්‍රන්ථයක්ද එළිදක්වා තිබිණි. ඉදිරියේදී නිකුත්වන ඔහුගේ දෙවන කාණ්ඩයේ ග්‍රන්ථයට අදාළ මෙම ලිපි මාලාව මෙතක් කිසිදු පුවත්පතක හෝ ග්‍රන්ථයක පළ වී නැති අතර එය කොටස් වශයෙන් පාඨක ඔබ වෙත මෙසේ ගෙන එනු ලබයි.
කෑගල්ල දිස්ත්‍රික්කය පිහිටා ඇත්තේ සබරගමුවේ උතුරු කොටසේය. විශාලත්වය වර්ග කිලෝ මීටර් 1,662කි. උතුරින් කුරුණෑගල, නැගෙනහිරින් මහනුවර, ගිනිකොණ දිගින් නුවරඑළිය, දකුණින් රත්නපුරය, නිරිත දිගින් කොළඹ සහ බටහිරින් ගම්පහ යන දිස්ත්‍රික්කයන්ට මායිම් වේ.
පැරණි සිංහල පාලන ක‍්‍රමය පැවතියදී කෑගල්ල දිස්ත්‍රික්කය සතර කෝරළය සහ තුන් කෝරළය ලෙස දිසා 2කට අයත්ව තිබිණි. කිණිගොඩ කෝරළය, ගල්බොඩ කෝරළය, පරණකුරු කෝරළය සහ බෙලිගල් කෝරළය එක්වීමෙන් සතර කෝරළය සෑදිණි. තුන් කෝරළය සෑදුණේ අටළුගම් පනාවල් කෝරළය, පාත බුලත්ගම කෝරළය සහ දෙහිගම්පල කෝරළය එක්වීමෙනි. නූතනයේදී පවා මෙම පරිපාලන ක‍්‍රමය භාවිත කරන අතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 10කට එය අයත්ය. ඉතා යහපත් වූ කාලගුණයක් ඇති කෑගල්ල දිස්ත්‍රික්කයේ ප‍්‍රධානම ආර්ථික බෝගය රබර් වගාවය. එක් කොටසක හැර තේ වතු පිහිටා ඇත්තේ තැනින් තැනය. තේ වගාව මෙන්ම පොල්, ගෙවතු වගාව සහ සුළු අපනයන භෝග වගාව සඳහාද ඉඩම් කොටස් වෙන්ව ඇත.
ජවිපෙ 2වැනි කැරලි සමයේ කෑගල්ල දිස්ත්‍රික්කය ප‍්‍රධාන කලාප 4කට වෙන්කර තිබිණි. එම කලාප 4ට දැරණියගල, රුවන්වැල්ල, පින්දෙණිය, ගලිගමුව, යටියන්තොට, වරකාපොල, දැදිගම, කෑගල්ල, අරණායක, මාවනැල්ල, අවිස්සාවේල්ල, කොස්ගම, බුලත්කොහුපිටිය, රඹුක්කන, හෙම්මාතගම සහ කිතුල්ගල යන කොට්ඨාස අයත් විය. කෑගල්ල දිස්ත්‍රික්කය ජවිපෙ මධ්‍යම කලාපයට අයත්වූ අතර එම මධ්‍යම කලාපයේ දේශපාලන නායකයා වූයේ පියදාස රණසිංහය. යුද නායකයා සමන් පියසිරිය.
දෙවැනි කැරලි සමය තුළ කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරුන් වූයේ කමලසිරි ගිරිබාව හෙවත් රුවන්, නන්දතිලක අමදෝරු ගලප්පත්ති හෙවත් ආරි, පී.කේ.බී.ඒ ඉන්ද්‍රරත්න හෙවත් පාල හෙවත් ජයවීර හෙවත් බණ්ඩාර, නුවර සිරිල් ඇතුළු කිහිපදෙනෙකි. විජේවීර ඝාතනයෙන් පසු දිස්ත්‍රික් දේශපාලන ලේකම් ලෙස පත්වූයේ එස්.එම්. නිස්මි හෙවත් කමල්ය. සන්නද්ධ දිස්ත්‍රික් ලේකම්වරුන් වූයේ කුරුණෑගල ඒ.ඩී. සුමනදාස හෙවත් සුමනේ, පේරාදෙණිය ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ සිසු ලලිත් හෙට්ටිආරච්චි හෙවත් අනිල්, ආර්.එම්. පොඩිනිලමේ හෙවත් කලින් පැවිදිව සිටි බදුල්ලේ ඇටම්පිටියේ මංගල හිමි, කඩවත්මඩුවේ මිලින්ද සේරම් සහ පරගම්මන අජිත් ප්‍රේමසිරි ඇතුළු කිහිපදෙනෙකි.
මින් කෑගල්ල දිස්ත්‍රික්කයේ දේශපාලන දිස්ත්‍රික් ලේකම්වරුන් කිහිපදෙනෙකු ගේ විස්තර මෙසේය. වාසල මුදියන්සේලාගේ කමලසිරි ටිකිරි බංඩා ගිරිබාව හෙවත් රුවන් ගල්ගමුවේ පදිංචිකරුවෙකු වන අතර නුවර, රත්නපුර සහ මාතලේද දිසා ලේකම්වරයකු වශයෙන් කටයුතු කළේය. රාජගිරිය මාදින්නාගොඩදී 1990 ජූනි 07 අත්අඩංගුවට පත් වී වසර ගණනාවකට පසු නිදහස් වූ ඔහු 2018 වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධවේදියෙකි. දෙදරු පියෙකි. නන්දතිලක ගලප්පත්ති ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයෙකු වූ අතර කලක් කළුතර සහ බදුල්ල දිසා ලේකම්වරයා වශයෙන්ද කටයුතු කළේය. කෑගල්ල දිසා ලේකම් ලෙස 1988 දී මැදභාගයේදී පත් වූ අතර දිසා කමිටුව පින්නවල වාගොල්ලේදී 1989 අගෝස්තු 31 රැස්වූ අවස්ථාවකදී ආරක්ෂක අංශ විසින් එය වටලා නන්දතිලක ඇතුළු දිසා කමිටු සාමාජිකයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. පසුව කෑගල්ල වික‍්‍රමසිංහ බංගලාවට සහ මත්තේගොඩ හමුදා කඳවුරට ගෙන ආ නන්දතිලක 1989 සැප්තැම්බර් 10 ඝාතනයට පත්විය. එක්දරු පියෙකි. බිරිඳ රංජනී ගමගේය. පන්නල කොට්ටල් භද්‍රආරච්චිගේ ඉන්ද්‍රරත්න 1971 අප්‍රේල් කැරලිකරුවෙකු වූ අතර ජවිපෙ මධ්‍යම කාරක සභිකයෙකි. කෑගල්ල දිසා ලේකම් වශයෙන් පැමිණීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් වී වැහැර හමුදා කඳවුරේදී 1989 ඔක්තෝබර් 07 ඝාතනයට පත්විය.
දිස්ත්‍රික් සන්නද්ධ ලේකම්වරුන් අතර සිටි ලලිත් හෙට්ටිආරච්චි හෙවත් අනිල් පේරාදෙණිය සරසවියේ ශ‍්‍ාස්ත්‍ර පීඨයේ සිසුවෙකි. පේරාදෙණිය සරසවිය 1989 ජූලි 12 වැනිදා දහසකට ආසන්න හමුදා භටයින් සහ පොලිසිය විසින් වටකර සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සරසවි සිසුන් 271ක් අත්අඩංගුවට ගනුු ලැබීය. ලලිත් හෙට්ටිආරච්චි හඳුනා ගැනීමෙන් පසු ඔහු සහ නුවර පී.ටී.එම් දසනායක ඝාතනය කර කඩුගන්නාව පාලමෙන් පහළට දමන ලදී. අත්අඩංගුවට ගත් සිසුන් ගෙන් 47 දෙනෙකු හැර සෙසු අය මහාචාර්ය අර්ජුන අළුවිහාර ගේ මැදිහත්වීමෙන් පසුව නිදහස් කර තිබිණි.
මේ ජවිපෙ 2වැනි කැරැලි සමයේ සිදුවූ තවත් ඝාතනයකි
මේ ඉතා හොඳින් හැඳ පැළඳ රැවුල කපා හිස පීරා කෑගල්ල පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් තිදෙනෙකි. 1990 ජූලි මාසයේ මෙම ඡායාරූපය ගත්තේ එවකට හමුදා හා පොලිස් රැඳවුම්භාරයේ සිටි ජවිපෙ සැකකරුවන්ගේ අවශ්‍යතා සොයාබැලීමට ස්විට්සර්ලන්ත රතුකුරුස නියෝජිතයන් එන අතරතුරදීය. රතුකුරුස නියෝජිතයන් එනවිට සැකකරුවන්ට ආරක්ෂක අංශ දක්වන්නේ මෙවැනි සැලකිල්ලකි. තිරස්චින වධබන්ධනවලට ලක් වූ කැරලිකරුවන් රතුකුරුස සංවිධානය එනවිට වෙනස් ස්ථානවල සඟවා තබයි. රතුකුරුස නියෝජිතයෙකු ගත් මෙම ඡායාරූපයේ වමේ සිට සිටින්නේ කැරලිකරුවන් යැයි සැකපිට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවාගෙන සිටි තෝලංගමුවේ අජිත් හෙවත් සුගත්, කෑගල්ලේ කලක් ජවිපෙ දේශපාලන ලේකම්ව සිටි කමලසිරි ගිරිබාව සහ අටළුගම ගාමිණී හෙවත් නිශ්ශංක බව කියති.
ආර්.එම්. පොඩිනිලමේ පේරාදෙණිය සරසවියේ ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ 2වන වසරේ සිසුවෙකි. බදුල්ල ඇටම්පිටියේ මංගල හිමි නමින් පැවිදි සිසුවෙකු වශයෙන් සිටියදී 1987 නොවැම්බර් මස උපැවිදි වී කැරැල්ලට එක්විය. පසුව පොඩිනිලමේ නමින් කෑගල්ල සන්නද්ධ ලේකම්වරයා විය. මාවනැල්ලේ පදිංචි ජවිපෙ සාමාජිකයෙකු ගේ නිවසක නවාතැන් ගෙන සිටි පොඩිනිලමේ ප‍්‍රහාරයකට යමින් සිටියදී 1988 නොවැම්බර් 11 අත්අඩංගුවට පත්ව කෑගල්ල වික‍්‍රමසිංහ බංගලාවේ පිහිටි කෑගල්ල ප‍්‍රධාන හමුදා මූලස්ථානයට ගෙන යෑමෙන් පසුව ඝාතනයට ලක්විය. මාවනැල්ල පොඩිනිලමේ සිටි නිවසේ පදිංචි තරුණියක ඔහුගේ පෙම්වතියද විය. පොඩිනිලමේ මියයන විට ඇය ගැබිණි මවකි. පේරාදෙණිය සරසවි ශ‍්‍රාස්ත‍්‍ර පීඨයේ පැවිදි සිසුන් වූ පෝද්දල්ගොඩ ඛේමානන්ද හිමි සහ මැදගම පඤ්ඤාසාර හිමි 1987 ජූනි අත්අඩංගුවට ගත් අවස්ථාවේදී එවකට ඇටම්පිටියේ මංගල හිමි නමින් පැවිදිව සිටි පොඩිනිලමේ ඉන් බේරී පලායෑමට සමත් විය.
කෑගල්ල දිස්ත්රික් සන්නද්ධ ලේකම්වරුන් අතරින් පෙරමුණේම සිටියේ මනම්පිටිය කඩවත්මඩුවේ මිලින්ද සේරම්ය. සේරම් ගේ දෙමාපියන් ගේ මුල් ගම මාවනැල්ල වූ අතර මහවැලි ඉඩම් හිමිවීමෙන් පසු පොළොන්නරුවට සංක‍්‍රමණය විය. ජවිපෙට 1979දී එක්වූ ඔහු පොළොන්නරුව දිසා ඇමති එච්.ජී.පී. නෙල්සන්ට 1987 ඔක්තෝබර් 12 බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ලකර පලායෑමට සමත් විය.
පසු කලෙක වරකාපොළදී අත්අඩංගුවට ගත් සේරම් පොළොන්නරුව තරුණ බෞද්ධ සමිති ශාලාවේ (වයි.එම්.බී.ඒ) පැවති වද කඳවුරේදී ඝාතනයට පත්වූ අතර සිරුර මනම්පිටිය තේක්ක කැලේදී පුලුස්සා දමනු ලැබීය. කෑගල්ල දිස්ත්‍රික් බළකාය පසුව මිලින්ද සේරම් බළකාය ලෙසද නම් කරන ලදී.
සන්නද්ධ ලේකම්වරයෙකු වූ පරගම්මන ගොඩපොල කොලනියේ පී. අජිත් ප්‍රේමසිරි 1965 උපන්නෙකි. වතුයායක සේවකයෙකු වූ ඔහු කෑගල්ල පොලිසියේ ප‍්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයේ ප‍්‍රධානී පොලිස් පරික්ෂක ලොකු බණ්ඩාර සහ කෑගල්ල පොලිසියේ රථවාහන අංශයේ ප‍්‍රධානී උප පොලිස් පරික්ෂක ධර්මවර්ධන 1988 අගෝස්තු 28 වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙකි. අත්අඩංගුවට පත්වීමෙන් පසු ප්‍රේමසිරිද ඝාතනයට ලක් විය. දිස්ත්‍රික්කයේ සන්නද්ධ කලාප ලේකම්වරුන් වූයේ අජිත්, ගැමුණු සහ ආනන්දය.
කලාප දේශපාලන ලේකම්වරයෙකු වූ එම්.වී. ආරියතිලක හෙවත් කපිල වඩුගේ දැරණියගල පාරේ දිගල දී උපන් අතර සිරි සමන් විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. ඔහුගේ මව වූ වයලට් වික‍්‍රමසිංහ ජවිපෙ සාමාජිකයන් අතර ඉතා ආදරණීය චරිතයක් වූ අතර ඇය හැඳින්වූයේ කෑගල්ලේ අම්මා ලෙසිනි.
කැරලිකරුවන් ගේ මූල කඳවුරු බවට අටුගොඩ, පරපේ, දොරවක, දීවෙල, හේවාදිවෙල, පැලම්පිටිය, කුඩාගම, බුලත්කොහුපිටිය, ඌරුවෙල, වල්ගම්පත, දෙමද, දේවාලෙගම, කොහොඹදෙනිය, ගලිගමුවේ අරන්දර, මැණික්කඩවර, දෙබත්ගම රුවන්වැල්ලේ පල්ලේකණුගල, උඩකණුගල, කඩිගමුව, බලපත්වාව ඇතුළු ගම්මාන රැසක් පත්ව තිබිණි. මෙම ගම්මාන මුළුමනින්ම වාගේ පීඩිත කුලවලට අයත් ජනයා ජීවත් වූ ගම්මාන වේ.
ජවිපෙ නායක රෝහණ විජේවීර යටිබිම්ගත වූ කාලයේ බදුල්ල සහ නුවර දිස්ත්‍රික්කයේ ඔහුට සහ දේශපාලන සභිකයින්ට සැඟවී සිටීමට අවශ්‍ය වතු සහ නිවාස මිලට ගැනීම සඳහා මුදල් සොයා ගැනීමේ වගකීමද පැවරී තිබුණේ කෑගල්ල දිස්ත්‍රික්කයටය. ඒ සඳහා දේශපාලන මණ්ඩල සභික පියදාස රණසිංහ ගේ ප‍්‍රධානත්වයෙන් අරමුදල් ලබාගැනීම සඳහා කමිටුවක් පත්කළ අතර දේශපාලන දිස්ත්‍රික් ලේකම් ගිරිබාව සහ සන්නද්ධ ලේකම්වරයෙකුව සිටි මිලින්ද සේරම් එහි සාමාජිකයෙක් වූහ. ඒ අනුව නුවර වත්තේගම පන්විල කැලෑබොක්ක වතුයායේ වැටුප් රුපියල් හාර ලක්ෂ පනස්දාහක්ද, කොළඹ නුවර පාර නවීන තාක්ෂණය යටතේ කාපට් කරන බ්‍රිතාන්‍යයේ බී.බී.එන් සමාගමේ වාගොල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයෙන් වැටුප් සහ උප කොන්ත‍්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 18ක්ද පැහැරගැනීම සිදුවිය. එයට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් 11ක ගෙන් රුපියල් ලක්ෂ 15ක්ද මුදලින් ලබා ගන්නා ලදී. දිස්ත්‍රික් කමිටුව විසින් අදාළ මුදල් පියදාස රණසිංහ වෙත වරකාපොළ නිවසකදී භාරදී තිබිණි.
දිස්ත්‍රික්කයේ සමාජවාදී භික්ෂු සංගමයේ සංවිධායක වූයේ ගම්පහ සහ රත්නපුර දිස්ත්‍රික්කවලද සංවිධායකවරයා වූ කොළඹ සරසවියේ ශ‍්‍ාස්ත්‍ර පීඨයේ 1985-86 කණ්ඩායමේ සිසු නිකවැරටිය උපන් තලාකොළවැව චන්ද්‍රරත්න හිමි හෙවත් බුද්ධිසිරි හිමිය. කුරුණෑගල නෙළුම්ගල ප‍්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1969දී පැවිදි බිමට පත්ව දියකලල්ල ශ්‍රීපතී පිරිවෙනින් ද්විතීය අධ්‍යාපනයද කයිකාවල ශ්‍රී සුදර්ශන පිරිවෙනින් අපොස උසස් පෙළද සමත් වූ චන්ද්‍රරත්න හිමි ජවිපෙට සම්බන්ධ වූයේ 1982 දීය. පසුව කොළඹ සරසවි එක්සත් භික්ෂු සංගමයේ සභාපතිවරයා වූ අතර ආරක්ෂක හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු රජයට භාරවන්නැයි රජයේ ස්වාධීන සහ ජාතික රූපවාහිනි හරහා ජවිපෙ කැරලිකරුවන්ට ආයාචනා කළේය. ප්‍රේමදාස රජය මගින් පසුව නිදහස් කිරීමෙන් අනතුරුව ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් ජපානයට යෑමට සමත් විය. එහිදී උපැවිදි වූ ඔහු පසුව දෙදරු පියෙකු විය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ශිෂ්‍ය අංශය භාරව කටයුතු කළේ උදුගොඩ උපන් කෑගල්ල මහා විද්‍යාලයේ ආදි සිසු පේරාදෙණිය සරසවියේ ශ‍්‍ාස්ත්‍ර පීඨයේ විජිත ඒකනායකය. කෑගල්ල යට්ටොගොඩ පදිංචි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසු උදේනි බන්දුල දිසානායක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 1989 ජූනි සිට නොවැම්බර් දක්වා කැඳවුම්කරු විය. මානව අයිතීන් සුරැකීමේ ශිෂ්‍ය සංවිධානයේ නායකයෙකුව සිටියදී 1989 දෙසැම්බර් 27 පෑලියගොඩදී අත්අඩංගුවට පත් උදේනි බන්දුල පසුව ඝාතනයට පත්විය. කෑගල්ල දිස්ත්‍රික් බහුජන සංවිධාන නායකයෙකුව සිටියදි 1989 සැප්තැම්බර් 12 දැරණියගලදී අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක්වූ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසු දේවප්‍රිය සිසිර කුමාරද කෑගල්ල මඩවල පදිංචිකරුවෙකි. පල්ලෙකැලේ හමුදා කඳවුරට 1987 අප්‍රේල් 15 පහරදී අවි පැහැරගත් කණ්ඩායමේ සාමාජිකයෙකු වූ සිසිර කුමාර 1964 පෙබරවාරි 17 උපත ලැබීය. ඔහුද ඝාතනය වූයේ කෑගල්ල වික‍්‍රමසිංහ බංගලාවේ පිහිටා තිබූ හමුදා කඳවුරට ගෙන යෑමෙන් අනතුරුවය. උදේනි සහ සිසිර කුමාර උසස් පෙළ විෂයන් සඳහා 1983දී කෑගල්ලේ පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගිවීමේ පටන් කෑගල්ලේ උපන් පේරාදෙණිය ඉංජිනේරු පීඨයේම සිසුවෙකු වූ ප්‍රේමකුමාර් ගුණරත්නම් හෙවත් ගැමුණු සමඟ සමීපව ඇසුරු කළ අය වේ.
මෙහි වමේ සිට දකුණට සිටින්නේ කෑගල්ල දිස්ත්‍රික් දේශපාලන ලේකම්වරයෙකුව සිටියදී 1989 අගෝස්තු 31 අත්අඩංගුවට පත්ව 1989 සැප්තැම්බර් 10 ඝාතනයට ලක්වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික නන්දතිලක අමදෝරු ගලප්පත්ති හෙවත් ආරි, කෑගල්ල දිස්ත්රික් සන්නද්ධ ලේකම්ව සිටියදී 1988 නොවැම්බර් 11 අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක් වූ පේරාදෙණිය සරසවියේ ශ‍්‍ාස්ත්‍ර පීඨයේ දෙවන වසර සිසු ආර්.එම්. පොඩිනිලමේ හෙවත් කලින් පැවිදිව සිටි බදුල්ල ඇටම්පිටියේ මංගල හිමි, සන්නද්ධ ලේකම්වරයෙකුව සිටි පරගම්මන අජිත් ප්‍රේමසිරි හෙවත් ගුණදාස, කලාප දේශපාලන ලේකම්වරයෙකුව සිටි දැරණියගල එම්.වී. ආරියතිලක හෙවත් කපිල වඩුගේ සහ කෑගල්ල දිස්ත්‍රික් බහුජන සංවිධාන නායකයෙකුව සිටියදී 1989 සැප්තැම්බර් 12 දැරණියගලදී අත්අඩංගුවට පත්ව ඝාතනයට ලක් වූ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ සිසු කෑගල්ල මඩවල දේවපි‍්‍රය සිසිර කුමාරය.
කැරලිකරුවන්ට එරෙහිව අවි අමෝරාගත් කම්කරු ඇමැති පී. සී. ඉඹුලාන කෑගල්ලේ එජාප ඇමැතිවරුන් කැරැල්ලට මුවාවී ශ්‍රීලනිප තරුණ නායකයින් මර්දනය කිරීම යටතේ අත්අඩංගුවට පත් ජයවර්ධනපුර සරසවියේ ශ්‍රීලනිපට අයත් ප‍්‍රගතිශීලි ශිෂ්‍ය සංගමයේ නායකයෙකුව සිටි රුවන්වැල්ලේ රංජිත් සියඹලාපිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ 1989 හමුදා සම්බන්ධීකරණ නිලධාරිව සිටි කර්නල් නලීන් අංගම්මන, කැරලිකරුවන් වෙඩිතබා ඝාතනය කළ පාරම්පරික සමසමාජ පාක්ෂිකයකු වූ නීතිඥ යටන්වල ගමරාළලාගේ ලෙස්ලි සහ රජයේ ආරක්ෂක අංශ සමඟ එක්ව ජවිපෙට එරෙහිව මෙහෙයුම්වලට ක්‍රියාකාරීව දායක වූ 71 අප්‍රේල් කැරලිකරුවෙකු සහ ජවිපෙ හිටපු මධ්‍යම කාරක සභිකයෙකු වු කෑගල්ලේ රංජිත් පීරිස් මෙහි වමේ සිටය.
කැරැල්ලේදී ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඝාතනය වූ ජවිපෙ ක්‍රියාකාරින් වූ කෑගල්ල පරපේ ඊ.ඩී. සුනිල් දයාරත්න, කලාපීය ශිෂ්‍ය නායකයෙකුව සිටියදී 1989 මැයි 04 දීවෙල දී අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට පත්වූ කෑගල්ල සියඹලාපිටියේ පදිංචි පේරාදෙණිය සරසවියේ ශ‍්‍ාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසු සිසිර බාලසූරිය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ 1989 ජූනි සිට නොවැම්බර් දක්වා කැඳවුම්කරු වූද මානව අයිතීන් සුරකීමේ ශිෂ්‍ය සංවිධානයේ නායකයෙකුව සිටියදී 1989 දෙසැම්බර් 27 පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන පසුව ඝාතනයට පත්වූ කෑගල්ල යට්ටොගොඩ පදිංචි පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු සිසු උදේනි බන්දුල දිසානායක, ජවිපෙ 2වැනි කැරලි සමයේදී පැහැරගෙන ගොස් අතවරවලට ලක්ව ඝාතනය වූ තරුණියන් සිය ගණනක් අතර වූ මාවනැල්ලේ වාඩුවාවල චන්ද්‍රාමාලනී ගුණසේකර සහ මීපිටියේ සාමාලි කුමාරි සරෝජා මෙහි වෙති.
කලාපීය ශිෂ්‍ය නායකයෙකුව සිටියදී 1989 මැයි 04 අත්අඩංගුවට පත්ව පසුව ඝාතනයට ලක් වූ කෑගල්ල සියඹලාපිටියේ පදිංචි පේරාදෙණිය සරසවියේ ශාස්ත්‍ර පීඨයේ දෙවන වසරේ සිසු සිසිර බාලසූරිය කෑගල්ල ශාන්ත මරියා විදුහලේ ආදි ශිෂ්‍යයෙකි. ජවිපෙ දේශපාලන පන්තියක් දීවෙලදී පවත්වමින් සිටියදී ආයුධ සමඟ අත්අඩංගුවට සිසිර පත්වු අතර වික‍්‍රමසිංහ බංගලාවේදී වධබන්ධන වලට ලක්වීමෙන් පසු සිහිමඳ ගතියෙන් ආහාර ගැනීමට පවා නොහැකි තත්ත්වයකින් පසුවිය. පසුව තිදෙනෙකු සමඟ සතියකට පසු ඝාතනයට පත්විය. ශිෂ්‍ය අංශයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ කෑගල්ල කරදෙටියන උපන් කෑගල්ල මහා විද්‍යාලයේ සිසු ලීල් පතිරණද 1989 අගෝස්තු 29වැනි දින කෑගල්ල ප‍්‍රධාන හමුදා කඳවුර මගින් අත්අඩංගුවට ගෙන තෙමසක් තිස්සේ වධබන්ධන වලට ලක්විය. පසුව පැලවත්ත කඳවුර සහ කැප්පෙටිපොළ පුනරුත්ථාපන කඳවුරේ වසර 2ක් සැකකරුවෙකු වශයෙන් සිට 1991දී නිදහස් වූ ලීල් පතිරණ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ නියෝජිතයින් කඳවුරු නිරීක්ෂණයන්ට පැමිණි අවස්ථාවන්හි රතු කුරුසයේ භාෂා පරිවර්තන කටයුතු වලටද සහාය විය. වසර 2018 වන විට විදේශගතව සංචාරක ක්ෂේත‍්‍රයේ විකුණුම් කළමනාකරුවෙකු ලෙස සේවය කරයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේදී සැකපිට අත්අඩංගුවට ගත් බොහෝ කැරලිකරුවන් වාගොල්ල කෘෂිකර්ම මධ්‍යස්ථානය, අරණායක උස්සාපිටිය කඳවුර (භාරව සිටියේ කපිතාන් සංජීවද සිල්වාය), රුවන්වැල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය, අරන්දර තොරනගහපිටිය කඳවුර, උදුගොඩ කඳවුර, දෙහිඕවිට ඊරියගොල්ල සමූපකාර ගබඩාව, දේවාලේගම බටුවත්ත කඳවුර ඇතුළු හමුදා කඳවුරු කිහිපයකදීම තිරස්චීන වධබන්ධන වලට ලක්වූහ. ඉතා අමානුෂීය ලෙස වධ දුන් කඳවුරක් වූ බටුවත්ත කඳවුරේදී සැකකරුවන්ට වධ දීමෙන් පසු විශාල වළක් තුළට දමා උඩින් වසා දමා ටකරන් උඩට ටයර් දමා ගිනි දල්වන ලදී. අධික රස්නයෙන් වධ වේදනාවන්ට පත් වූ කිහිපදෙනෙක්ම වළ තුළදීම මිය ගියහ.
කෑගල්ලේ එක් කඳවුරක කැරලිකරුවන් තිදෙනෙක් කපන ලද වළකට බස්සවා හිස ළඟට එනතෙක් පස් දමා ගල් ගසා මරා දැමූ බවද මානව හිමිකම් සංවිධානයකට ලැබුණු පැමිණිල්ලක සඳහන් විය.
කෑගල්ල පොලිස් ස්ථානයේදී විශාල සැකකරුවන් පිරිසක් අත්අඩංගුවේ රඳවා තිබිණි. සිව්දෙනෙකු රැඳවිය හැකි පොලිස් කූඩුවක් තුළ 15ක් පමණ රැඳවූ අතර සැකකරුවන්ට නිදාගැනීමට පවා සිදුවූයේ සිටගෙනය. කෑගල්ල පොලිසියේ අපරාධ අංශයේ ප‍්‍රධානියා වූ වුඩ්වඩ්, පොලිස් පරික්ෂක ජයතිස්ස සහ උප පොලිස් පරික්ෂක අබේරත්න ද රුවන්වැල්ල පොලිසියේ පොලිස් පරික්ෂකයෙකු වූ ටියුරින් පෙරේරා යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් මගින්ද කැරලිකරුවන්ට තිරස්චින වධබන්ධන දුන් බවට බරපතල චෝදනා එල්ල විය. ඝාතනයට ලක්වූ තරුණයින් සීතාවක පාලම අසළින් ගඟට දැමූ අවස්ථා කිහිපයකි. නිට්ටඹුව සිට රුවන්වැල්ලට දිවෙන මාර්ගයේ ගෝනගල්දෙණිය සහ දළුවලාන ගම්මාන අසලද කෑගල්ල කරඳන පාලම යටද පුලුස්සා දමා තිබුණු සිරුරු සිය ගණනක් විය.
දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරි ලෙස 1988 කටයුතු කළේ කර්නල් පී.ඒ. කරුණාතිලකය. ඔහු කළුතර දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් සිටියදී තරුණයින් වධ දීම් සහ ඝාතන කිරීම් පිළිබඳව චෝදනා එල්ල වූවෙකි. කර්නල් නලීන් අංගම්මන 1989 කෑගල්ල හමුදා සම්බන්ධීකරන නිලධාරියා ලෙස පත්විය. පසු කාලයේදී කර්නල් අංගම්මන නැෙගනහිර ක‍්‍රියාන්විතයේදී දෙමළ බෙදුම්වාදීන් ගේ බිම් බෝම්බයකට හසුවීමෙන් 1995 ජුලි 30 මිය ගියේය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප‍්‍රධානතම හමුදා මූලස්ථානය පිහිටියේ කෑගල්ල වික‍්‍රමසිංහ බංගලාවේය. කාමර 35කින් සමන්විත මෙම බංගලාව 1984 කෑගල්ල නගරාධිපති වික‍්‍රමසිංහ ගේ අභාවයෙන් පසු කිසිවෙකු නිල වශයෙන් පදිංචිව සිටියේ නැත. මෙම බංගලාව මහගෙදර, අනන්ත රාත්‍රිය, ඇල්ල ළඟ වලව්ව ඇතුළු සිනමා සහ ටෙලි නිර්මාණ ගණනාවකටම යොදා ගන්නා ලදී. වික‍්‍රමසිංහ බංගලාව 1988 මැද භාගයේ සිට 1989 අවසානය දක්වා සැකපිට අත්අඩංගුවට ගත් කැරලිකරුවන් රඳවා තබාගත් අතර ඔවුහු තිරස්චින වධබන්ධන වලට ලක්කළ ප‍්‍රමුඛතම ස්ථානයකි. මෙම ස්ථානයට ගෙන ආ අය අතරින් බහුතරයක් පසුව ඝාතනයට පත්විය. යුද හමුදාව උතුරට යැවීමත් සමඟම වික‍්‍රමසිංහ බංගලාව 1990 ජූනි වසා දමා එහි අවසාන වශයෙන් ඉතිරිව සිටි ජවිපෙ සැකකරුවන් 143ක් කෑගල්ල පොලිසියට භාරදෙන ලදී. එම සැකකරුවන් ජීවත් වීමට වාසනාව ලැබුවේ ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය මගින් කලින් ඔවුන්ගේ ජීවදත්ත ලබාගෙන තිබූ බැවිනි.
එජාප ආණ්ඩුවේ සිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ ඇමැතිවරුන් ඇතුළු දේශපාලන නායකත්වය 80 දශකයේ මුල් භාගයේ සිට කෑගල්ල දිස්ත්‍රික්කයේ ජවිපෙ සාමාජිකයන් සහ හිතවතුන් ගෙන් පමණක් නොව ශ්‍රීලනිප ඇතුළු සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂවල ඉදිරි පෙළ තරුණ ක්‍රියාකාරීන්ද දේශපාලන වශයෙන් දඩයම් කරන ලදී. කළු ජූලිය පැවති 1983 ජූලි මසදී එයට සම්බන්ධ යැයි සැකකරමින් රුවන්වැල්ලේ රංජිත් සියඹලාපිටිය ඇතුළු කිහිපදෙනෙක්ම මාස 6කට පමණ කාලයක් වැලිකඩ රිමාන්ඞ් බන්ධනාගාර ගතකරන ලදී. ජයවර්ධනපුර සරසවියේ උපාධිධාරියෙකු වූ රංජිත් 1986 සහකාර පොලිස් අධිකාරි තනතුරට වැඩිම ලකුණු ලබා තේරුණද එයද දේශපාලන පළිගැනීමකට හසුවිය.
කෑගල්ලේ දිස්ත්‍රික්කය තුළ ප‍්‍රභූ පවුල් ගණනාවක් වන අතර කෑගල්ලේ බාලසූරිය, කළුගල්ල, රුවන්වැල්ලේ සියඹලාපිටිය, මාවනැල්ලේ බෙලිගම්මන, රත්නායක ඒ අතරින් කිහිපයකි. කැරලිකරුවන් නීතිඥ ෆැන්සිස් සියඹලාපිටියට ද 1988 ජනවාරි 18 කෑගල්ල අඹන්පිටියේදී වෙඩි තැබූ අතර එහිදී රියැදුරු සාදි බණ්ඩා සහ තවත් අයෙක් එම ස්ථානයේදීම මරුමුවට පත්වූහ.
හමුදාව ගමන්ගත් බස් රථයකට පිටහල්දෙනියේදී කැරලිකරුවන් වෙඩි තැබීමෙන් හමුදා භටයින් 2ක් මරුමුවට පත්වූහ. එම චෝදනාව එල්ල වූයේ සේන ජයලත්ටය. පසුදින එම ප‍්‍රදේශයේ තරුණ මළ සිරුරු 28ක් දමා තිබූ අතර එහි වගකීම අතුරු හමුදා කණ්ඩායමක් භාරගෙන තිබිණි. හමුදා සහ පොලිස් රථ කිහිපයකට වෙඩි තබා ගිනි අවි ද පැහැරගෙන තිබිණි.
කැරලිකරුවන් විසින් කෑගල්ල දිස්ත්‍රික්කයේ නගර කිහිපයක සිටි ප‍්‍රසිද්ධ දාමරිකයින් කිහිප දෙනකුද ඝාතනය කරන ලදී. දිසා ඇමැති එන්.ඒ. සෙනෙවිරත්න ගේ සමීප හිතවතෙකු වූ අඹන්පිටිය නිමල් පියරත්න හෙවත් බකල් පියරත්නද ඒ අතර විය. එමෙන්ම දැරණියගල මාලින්බොඩ කප්පම්, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ වලට චෝදනා ලැබ දේශපාලන බලපෑම් මත පොලිස් අත්අඩංගුවට පත් නොවූ සොහොයුරන් දෙදෙනෙකු වූ පොඩි චුට්ටා සහ ලොකු චුට්ටාද කැරලිකරුවන් විසින් ඝාතනය කර මාලිම්බඩ බස් නැවතුම්පළේ කණුවක ගැට ගසා තිබිණි. ආරක්ෂක අංශ අතුරු හමුදා කණ්ඩායම් මගින් කෑගල්ලේ ව්‍යාපාරික පවුලකට අයත් ක්‍රිශාන්ත හෙවත් පට්ටලේ චූටි නමැති දාමරිකයාද 1989 සැප්තැම්බර් 07 පැහැරගෙන ගොස් ඝාතනය කර සිරුර ඇදුරාපොත වංගුවේ පුලුස්සා දමා ගොස් තිබිණි.
බස් වැඩවර්ජනයේදී එකම ලංගම බස් රථයක් පමණක් ධාවනය වූ අතර එය පැදවූ පොලිස් කොස්තාපල්වරයෙකු ගේ සොහොයුරා වූ විජිත ද පහළ දැරණියගලදී ඝාතනයට ලක්විය.
වසර 1989 ජූනි මස කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, ගැටියමුල්ල, කොටියාකුඹුර, දැදිගම, පැල්පිට ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට විශාල ගංවතුරක් ඇතිවූ අතර නායයෑම් රැසක් විය. පුද්ගලයින් දහස් ගණනක් අනාථ කඳවුරුවල ගාල් විය. පාරවල් යටවූ අතර සති දෙකක් පමණ සියලු සම්බන්ධීකරණයන් එම පළාත්වල ඇණහිට තිබිණි. මාස 2කට අධික කාලයක් ගංවතුරෙන් අවතැන් ජනයා විශාල වශයෙන් කඳවුරුවල කොටු වී සිටි අතර ඒවා පාලනය කළේද මෙහෙය වූයේද සියලු ආහාර සකසා බෙදාහැරියේද කැරලිකරුවන් විසිනි.
කැරැල්ලේ පරාජයෙන් පසු අන් තැන්වල මෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේද කැරලිකරුවන් කිහිපදෙනෙක් තමන්ගේ පෞද්ගලික පැවැත්ම සඳහා මංකොල්ලකෑම්වල නිරත වූ බව කියති. දැරණියගල කන්දේ විමලේ, දෙහිඕවිට මුරුත්තෙට්ටුවේ ගාමිණී ඇතුළු කිහිපදෙනෙකුට එවැනි චෝදනා එල්ල විය. එහෙත් ඔවුහු එම චෝදනා ප‍්‍රතික්ෂේප කර තිබිණි. (ජවිපෙ 2 වැනි කැරලි සමය වූ 1986 සිට 1990 දක්‌වා පළවන මෙම ලිපි මාලාව පිළිබඳ විස්‌තර දුරකථන 011-5234384 ලබාගත හැකිය)
මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක ත්‍රිත්වයෙන් නුවරඑළිය නගරය හැරුණු විට දෙවනුවට සුන්දරම දිස්ත්‍රික්කය වන්නේ දියඇළි ගණනාවකින් පොහොසත් වසරේ සෑම ක
උඩ බැලුවම නිල්ම නිල් පාට අහස, රට වටේටම දුවන මුහුද, උතුරේ ඉඳන් දකුණට යනකල්ම වෙනස්වෙන එක එක දේශගුණ, සීගිරිය වගේ ප්‍රෞඪත්වය පෙන්වන ගිරි ශිඛර වගේම කොළ පාට පි
චාරිකාවක් යන්න කඳු තරණයක් කරන්න සූදානම් වෙද්දි අපි ගොඩාක් වෙලාවට කරන්නේ - අතට අහුවෙන දෙයක් බෑග් එකක ඔබාගෙන දුවන එක.
මධ්‍යකාලීන යුගයේ දී, එනම් මීට වසර දහසකට වඩා එහා වූ යුගයේ දී මිනිසුන් වාසය කළ නිවාස කෙසේ තිබෙන්නට ඇතිද? පුරාවිද්‍යාත්මක සාධක සාක්ෂි අනුව ඒ ගැන අපට යම්කිස
1998 වර්ෂයේ “නගරයට ආ මුවැත්තිය” හා 2003 වර්ෂයේ “නිශ්ශබ්ද” ලෙසින් කාව්‍ය කෘති දෙකක් ජනගත කළ අනුර කේ. එදිරිසූරිය විසි වසරක දිගු නිහැඬියාවකට පසු “ආදර වස්තුවක්
ක්‍රීඩා සමාජ 12 ක පමණක් සහභාගිත්වයෙන් අවසන් වරට (2022-25) පැවැති ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ නිලවරණය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයට හයියක් නොතිබුණ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
භීෂණ සමයේ කෑගල්ල