කොට්ටාව මහා නගරයක් සේ නම්කර තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ නගරයට ප්‍රවේශවන වාහනයකට තෝරාගැනීමට මාර්ග දෙකක් ඇත. එකක් මහරගම - නුගේගොඩ හරහා ගමන් කරන ක්‍රමයයි. අනෙක බත්තරමුල්ල - බොරැල්ල හරහා යා හැකිය. මහරගම හරහා යන වාහනයකට වර්ණ සංඥා ස්ථාන තිස් එකක් පසුකළ යුතුය.
බත්තරමුල්ල ඔස්සේ ගමන් කරන වාහනයකට වර්ණ සංඥා විසි පහක් පසු කරන්නට සිදුවෙයි. මෙම සෑම ස්ථානයකම විනාඩි දෙකක් නතර කරන වාහනයක ගමන් වේගය කුමක්ද? අධිවේගී මාර්ගයෙන් සැතපුම් සියයක වේගයෙන් එන වාහනයක් වටරවුම් මධ්‍යස්ථානයෙන් පිටවී කොළඹට සේන්දුවීමට මෙම වර්ණ සංඥා බාධක තරණය කළ යුතුය. උදේ සහ සවස සෑම මගී හුවමාරු සලකුණක් අසලම පොලිස් නිලධාරියෙකි. හෙතෙම වාහන පාලනය කරයි. මගීන්ට මාරුවීමට වාහන නතරකර නැවත පිටත්වීමට විනාඩි දෙක බැගින් වැයකළත් ගාල්ලේ සිට කොළඹට එන වාහනයක් එය මෙන් දෙගුණයක කාලයක් කොට්ටාවේ සිට කොළඹට ගමන්කිරීමට වැයකරනු ඇත.
වර්ණ සංඥා සහ දැන් භාවිතාකරන සුදු ඉරිවලින් වාහන හා පදික වේදිකාව පරිහරණයකරන මගීන්ට විශාල සේවාවක් බව ඇත්ත බව පිළිගත යුතුය. එහෙත් වාහන ගමනාගමනයට කරන බාධාව සෑහෙන තදබදයක් ඇතිකර තිබේ. එය බරපතළ නාස්තියකි. කාලය අපතේ හැරීමකි. කිලෝ මීටර් විස්සක් ඇතුළත තිස් එක් තැනක නතරකරන, එයට අමතරව සෑම මගී මාරු ස්ථානයකම බොහෝ දුරට නතරවීමට සිදුවන ගමනකින් ඇතිකරන කාර්යක්ෂමතාව කුමක්ද? රටට සිදුවන නාස්තිය ගැන හිතන්නට බලධාරීහු අසමත්ද? මහා මාර්ගයේ තදබදය ගැන හිතන විද්වත්හු පාර පුළුල් කරන බව දක්වති. සැහැල්ලු දුම්රිය සේවා ඇතිකරන බව කියා සිටී. මහ පොළවට ඉහළින් ගමන් කරන මොනෝ රේල් ක්‍රම ගැන සාකච්ඡා කරයි. ඒවා ක්‍රියාවට නංවන්නට ධනය නැත. එක පැත්තක් සංවර්ධනය කිරීම විසඳුම නොවේ. අනාගත සැලැසුම් අනුව කොට්ටාව, කෙරවලපිටිය, කඩවත හා කඩුවෙල යන නගර සන්ධිස්ථාන බවට පත්වෙයි. මෙම ස්ථානවලින් වටරවුම් මාර්ගය බද්ධ වන අතර දක්ෂිණ, නුවර, රත්නපුර හා යාපනය යන අධිවේගී මාර්ගවලට යොමුවන ස්ථාන බවට පත්වෙයි. දැනට දක්ෂිණ මාර්ගය කඩුවෙල, කඩවත හා කොට්ටාව ස්ථානවලින් සම්බන්ධ වී ඇති අතර තවත් අවුරුදු දහයක් පමණ අවසානයේ මෙකී අධිවේගී මාර්ග සියල්ල යා වනු ඇතැයි සැලකේ. එම කාලය තෙක් සෑම වාහනයක්ම සෑම මාර්ගයකින්ම වර්ණ සංඥා වලින් හා රථවාහන පොලිස් නිලධාරීන්ගේ පාලනයට යටත්ය.
වර්ණ සංඥා සහ පාර මාරුවන ස්ථාන අවම කළ නොහැකි ඇයි? පාරේ තදබදය අඩුකරනු සඳහා විදේශ ණය ගෙන සැහැල්ලු දුම්රිය යෝජනා කරන ප්‍රතිපත්ති සම්පාදකයන් ගුවන් පාලම් සහ මගී පාලම් තැනිය යුතුය. කොළඹ හා තදාසන්න නගරවල ගුවන් පාලම් යම් ප්‍රමාණයක් තිබේ. මගී හුවමාරු පාලම් ද ඇත. වාහනවලට හෝ මගීන්ට එකතැන නතර නොවී එක වේගයකින් ගලායන්නට ක්‍රමය සකස් කළහොත් මාර්ග පුළුල් කිරීම හා විකල්ප ප්‍රවාහන ක්‍රම රටට අවශ්‍ය නැත. කොට්ටාව සිට කොළඹ එන වාහනවලට නුගේගොඩ ගුවන් පාලම විශාල පහසුවකි. එහෙත් අනෙක් සෑම මංසන්ධියකම අවහිර පමුණුවා ඇත. රාජගිරිය ගුවන් පාලම ඉදිකරන්නේ එය විවෘත කළ පසු විශාල තදබදයක් මගහැරෙන බව දක්වමින්ය. රාජගිරිය මංසන්ධියට කලින් හා එය පසුකිරීමෙන් පසු නැවත තදබදයකය. දිනපතා උදේ සහ සවස රාජකාරිවලට එන ලක්ෂ සංඛ්‍යාත ජන කොටසක් එහි පීඩාව අත් විඳිති. රාජගිරිය ගුවන් පාලම තැනීමෙන් පසු අවහිර මග හැරෙන බවට ගණන් බැලූ වියත්හු නිහඬය.
රාජගිරිය ගුවන් පාලම ඉදිකිරීමෙන් ගැටලුවට විසඳුමක් නොලැබුණ තැන ක්‍රමය වෙනස්කර තිබේ. මාලඹේ සැහැල්ලු දුම්රිය මාර්ගය ඉදිකිරීම විශාල ප්‍රාතිහාර්යයක් සේ පෙන්වමින් සිටී. අධික වාහන තදබදය තුරන්කරනු සඳහා එය පිටුවහලක් නොවේ. එකවරකට මගීන් 800 කට ගමන් කළ හැකි දුම්රියක් එහා මෙහා යන තුරු වසර 2025 තෙක් අවම වශයෙන් බලා සිටිය යුතුය. අලුත් ආණ්ඩුවක් සැලසුම වෙනස් කළහොත් එම අපේක්ෂා තවත් ප්‍රමාදවනු නිසැකය. මෙම සැහැල්ලු දුම්රිය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් වැයකෙරේ. එයින් බිලියන 1.85 ක් අවුරුදු හතලිහක් ගෙවිය යුතු සුළු පොලියක් සහිත ණය මුදලකි. මෙතෙක් ලබාගෙන ඇති ණය ගෙවන්නට නොහැකි වී සිටින ආණ්ඩුව කල්ගත වූ ණය ගෙවනු සඳහා තවත් විදේශ ණය ගන්නා පසුබිමක සැහැල්ලු දුම්රියේ ණය ගෙවන්නේ කෙසේද?
අලුත් පැති ගැන අවධානය යොමු කළ නොහැකි ඇයි? උදාහරණයක් වශයෙන් කොළඹ - කොට්ටාව මාර්ගයේ ගුවන් පාලම් කිහිපයක් හදන්නට බැරිකමක් නැත. කොට්ටාව නගරය, මහරගම තුන්මුල්ල හා ඇස්වාට්ටුව හන්දිය ගුවන් පාලම් ඉදිකළහොත් වාහන ගලායාම වේගවත් වනු ඇත. බාධාවකින් තොරව පාරවල් හරහා යන වාහන තදබදය අවම කරන බව කල්පනා නොකරන්නේ මන්ද? මෙම ස්ථානවල මගී මාරුවට ද අවකාශ ඇති කළ හැකිය. අනෙක ඒවායේ අතිරේක ඉඩකඩ ව්‍යවසායකත්වය වෙනුවෙන් වෙන්කළ හැකිවේ. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ඉඩම් මිල ඉතා ඉහළය. පාරේ ගමන් කරන මගීන්ට මිලදීගැනීමට නිතර අවශ්‍යවන දේ අලෙවිකරන වෙළෙඳ කුටි මෙම මගී පර්යන්ත ආශ්‍රිතව ඉදිකළ හැකිය. එය අතිරේක වාසියකි.
ගුවන් පාලම් හා මගී මාරුවන ස්ථාන තනන්නට අති විශාල වියදමක් අවශ්‍ය නැත. ඉඩම් පවරාගැනීමට තදබල වුවමනාවක් ඇතැයි නොපෙනේ. එසේ හෙයින් විශාල වන්දි ගෙවන යාන්ත්‍රණයකට යා යුතු නැත. ලෝකයේ නව ප්‍රවණතා අනුව මෙවැනි ගුවන් පාලම් හා මගී පාලම් හදන්නේ ආණ්ඩු නොවේ. පෞද්ගලික අංශයයි. එම ආයෝජනය මගින් විකල්ප ආදායම් මාර්ග තනාගැනීමට ආයෝජකයන්ට අවස්ථාව ඇත.
අලුත්ම දත්ත අනුව එක දවසකට මිලියන දෙකක පමණ ජන කොටසක් කොළඹට ඇතුලුවෙති. මෙම පිරිස භාවිතා කරන පොදු හා පෞද්ගලික වාහන සංඛ්‍යාව ලක්ෂ පහකි. පොදු වාහන ගණන පනස් දහසකට අඩුය. තදබදය හෙයින් කොළඹ අවට නගරයක සිට කිලෝ මීටර් විස්සක් ගමන් කරන්නට පැය දෙකක් හෝ තුනක් වැයකරන්නට සිදුවී තිබේ. එය කාලය හා ධනය නාස්තිකරන ප්‍රවාහනයකි. මොරටුව විශ්වවිද්‍යාලය කරන ලද පර්යේෂණයක් අනුව එක දවසකට මගී ප්‍රවාහනයේ නාස්තිය රුපියල් මිලියන 500 කි. මෙම වාහන ඉක්මනින් එහා මෙහා යන්නට හැකි සුදුසු වාතාවරණයක් සකස් කිරීම අලුත් ආර්ථිකයක් බිහිකිරීමක් වනු ඇත. අවම මට්ටමට වැටී ඇති ආර්ථික සංවර්ධන වේගය දියුණු කරන සැලැස්මක් වනු ඇත.
සාරා කන්දේගොඩ
චීනයෙන් පැතිරෙන කොරෝනා වයිරසය සංචාරක කර්මාන්තය කෙරෙහි බරපතළ ප්‍රශ්න මතුකර තිබේ. වරින් වර පැන නැගෙන මෙවැනි අලුත් රෝග තත්ත්ව සංචරණ අංශ භීතියට පත් කරයි.
“අධ්‍යයන අවස්ථා දුප්පත්කම” යනුවෙන් නිර්වචනයක් තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය දක්වන පරිදි වයස අවුරුදු දහය වන තෙක් අකුරක් කියවා ගත නොහැකි දරුවෝ මිලියන
බහාලුම් ප්‍රවාහනය කරන වාහන දෙස බලන්නේ කැමැත්තකින් නොවේ. මහ පාරේ ධාවනය වන බහාලුම් එනම් කන්ටේනර් මහා හිරිහැරයක් සේ ජනතාව පොදුවේ කල්පනා කරන බව නිරීක්ෂණය
ඔහු ජීවත් වූයේ දහතුන් වැනි සියවසේ තුර්කියේ බව ප්‍රකාශ වෙයි. ජනතාව ඇත්ත කියන්නට නැඹුරුවනු කෙසේ වෙතත් එන පිරිස සම්පූර්ණයෙන්ම ඇන හිටියේය. මෙය නිරීක්ෂණය ක
අලුත් ආණ්ඩුව තාක්ෂණය ගැන අවධානය යොමු කරමින් සිටී. ජනතාවට සේවය කරනු සඳහා තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කළ හැකිය. ලෝකයේ නොයෙක් තැන කෘතීම බුද්ධිය උපයෝගී කර
ශ්රී ලංකාවේ තේ කර්මාන්තය අතරමැදි යුගයකට අවතීර්ණ වී තිබේ. තේ කර්මාන්තයේ අනාගතය ගැන තීරණ ගැනීම ඉතා වැදගත්ය. පවතින ගැටලු ජනාධිපතිවරණ වේදිකාව තුළ සාකච්ඡ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අධික තදබදය වළක්වන ගුවන් පාලම්
Susil Thursday, 05 September 2019 08:00 AM
කොට්ටාව සිට කොළඹට හයිලෙවෙල් පාරේ එනවිට ලොකුම හිරවීමක් ඇත්තේ මහරගම්ය.මෙහිදී දෙහිවල පැත්තෙන් එන මාර්ගයට පිළියන්දල සිට මාර්ගයේ වාහනද එකතුවී එයි.පමුණුගම පාරෙන් එන වාහනද එකතුවේ.කොට්ටාව සිට එන මාර්ගයේ දක්ෂිණ අධිවෙගයෙන්ද කඩවත පැත්තෙන් එන අධිවේගී පාරේ වාහනද පිළියන්දල ,අතුරුගිරිය ,හොරණ මර්ගවලද වාහන එකතුව ඇත.මේ සියලු වාහන මහරගමින් පිටවීමට ඇති මාර්ගය ප්‍රමාණවත්ව පළල් වී නොමැත.මෙය අඩි 40 වත් පළල් උවහොත් උදයට වාහන සිර නොවනු ඇත.
himal Thursday, 05 September 2019 09:03 AM
මේක හරියට හොයන්නෙ බලන්නේ නැතිව ලියපු ලිපියක්. මෙයා කතා කරන්නේ පුද්ගලික ප්‍රවාහනය ගැන මිසක් පොදු ප්‍රවාහනය ගැන නොවේ. කොච්චර ගුවන් පාලම් හැදුවත් පොදු ප්‍රවාහනය දියුණු නොකර ඔය ගැටළුව විසඳන්න බෑ. රාජගිරිය ගුවන් පාලමින් තදබදය අඩු නොවුනා කියලා පේන්නේ ඒක මතත් අති විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරනා නිසා. ඒත් ඒක නොතිබුණා නම් තවත් තදබදය වැඩි වෙනවා. පුද්ගලික ආයෝජකයින්ට ගුවන් පාලම් හදන්න කිව්වොත් ඒකේ යන්න ටිකට් කඩන්න වෙනවා. ඒක ප්‍රායෝගිකද? ගුවන් පාලම් යට කඩ හැදුවොත් එතනත් මගී ජනතාව පිරුනාම ආයිමත් තදබදයක්.
eric Thursday, 05 September 2019 04:43 PM
අපි පොදු ප්‍රවාහන සේවාවන් දියුනු කර පුද්ගලික වාහන නගරයට පිවිසීම සීමා කල යුතුයි
sirimal Friday, 06 September 2019 07:23 AM
හොඳම විසඳුම කනත්ත හන්දියේ සිට රිජ්වේ රෝහල දක්වා ගුවන් පාලමක් යෙදීමයි. ඊට අමතරව ගුවන් හමුදා රෝහල අසල සිට ජාතික පොළ හරහා සරණ පාර මීටර් 50න් සම්බන්ධ කිරීමෙන් කනත්ත හන්දියේ තදබදය අඩු කළ හැකිය..
ගමගේ Saturday, 07 September 2019 12:13 AM
එහෙනම් ඉතින් හැමෝම දගලන්නේ කනත්ත හන්දියට යන්න. ඕක ඉතින් කවදා කෙලෙස වෙනවාදැයි දන්නේ නැහැ. එහෙත් සැවොම රියර්සල් දාන එකයි ඔය අප්‍රමාදයට හෝ ප්‍රමාදයට හේතුව. අපිටනම් ඔය කනත්ත හන්දිය පළාතකට යන්න තවම අදහසක් නැත.
Kennath (Los Angeles) Tuesday, 10 September 2019 09:54 PM
ගුවන් පාලම් , දුම්රිය මාර්ග රටේ කාර්යක්ෂමතාව ඉහල දැමීමට උදව්වකි. එවාට සුවිසල් පිරිවැයක්ද දැරිය යුතුය. මේ තදබදය ගැන අපි තවත් පැතිවලින් සිතිය යුතුය. සැමදා උදෑසන සහ හවස කොළඹට මෙතරම් ජන සන්නිපාතයක් ඇදෙන්නේ ඇයි ? නිවාඩු දිනයන්වල කොළඹ හිස්වන්නේ ඇයි ? මිනිසුන් කොළඹට රැකියාව කිරීමට දිනපතා එකම වෙලාවක එන එකයි ප්‍රශ්නය. බටහිර රටවල බොහෝ කාර්යාලවල Alternative work week සහ flexible work hours හදුන්ව දීල තියෙන්නේ මේ කාරණය හින්දමයි. සතියේ දින 4ක් පැය 10 ගානේ වැඩ කලාම සෑම සිකුරාදාම නිවාඩු ගත හැකියි . ඒවගේම තව පැත්තක්, කොළඹට තම කටයුතු කරගැනීමට ඇදී එන ජන ගඟ 80%ක් නවතාගත හැකියි online services තුලින්. රාජ්‍ය ආයතන වල දියුණු වෙබ් මගින් තම ගෙදර සිටම ඒ කටයුතු online කරගන්න හැකිනම් අගනුවරට එන ජන ගග අඩුකරගත හැක. ඒ වගේම රාජ්‍ය කාර්යාල සටර්ලිය්ට් ක්‍රමයට කොට්ටාව , මාලබේ , රත්මලාන , වගේ වපසරියක පිහිටුවිය හැකිනම් ඒ ඒ පැතිවල ජනයාට තම කටයුතු ඒ ස්ථාන වලින්ම කරගත හැකි. work from home සංකල්පයද අද ඉතා බහුලව භාවිතා වෙයි. ඒ වගේම online Shopping කිරීමට වෙළද ජාල සාර්ථක ක්‍රම සැදීම නිසා තවත් රැකියා අවස්ථා පව
Gamarala Thursday, 12 September 2019 12:43 AM
අමල් කුමාරගේ වැනි මුදලට කෑදර උපදේශකයින් සිටිනතාක් කල් ලංකාවේ මාර්ග තදබද නැවැත්විය නොහැක. ලංකාවේ කටුබැද්ද විශ්වවිද්‍යාලයේ සිටින්නේ මොහු විතරද? අනෙක් මහාචාර්ය වරුන්ගෙනුත් පාලකයින් උපදෙස් ලබාගත්තොත් නරකද? හිතලා බලන්න...
කමල් අනුරාදපුර සිට Thursday, 12 September 2019 07:49 AM
ගාල්ල, මාතර, හම්බන්තොට ඉඳලා කොට්ටාවට හරි එන්න අධිවේග මාර්ග තියනවා. නමුත් කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුවේ මිනිස්සුන්ට කොළඹට එන්න තිබ්බේ සුද්දගේ කාලේ හදපු කොච්චි පාරයි. මාර්ග තදබදයෙන් පිරුණු සාමාන්‍ය මාර්ග ඇරෙන්න වෙනත් දේවල් නැහැ. ඒ මිනිස්සු ලංකාවේ පුරවැසියන් නොවේද...?