රටට ඩොලර් උල්පතක්
ලණු මිලදීගත් සමාගමක් දැන් එන්නේ නැහැ
දේශීය නිෂ්පාදන දියුණු කළ යුතුමයි
කර්මාන්තශාලා හතරෙන් දෙකක් වැහිලා. ඉතිරි දෙකත් ළඟදීම එකක් වේවි
ආනයනික පොලිතින් මලු කර්මාන්තය කඩාවැටීමට හේතුවක්
මේ රටේ ලණු මලු නොගත්තාට විදෙස් ඇණවුම් ලැබෙනවා
විදුලි බිල වැඩිවීමත් කර්මාන්තය කඩාවැටීමට හේතුවක්
ලාබ උපයන්නෝ අතරමැදියෝ
ගාලු දිසාවේ ලණු මලු කර්මාන්තයට ඇත්තේ දිගු ඉතිහාසයකි.එය මේ කාලයේ ආරම්භ වූවා යයි කෙනකුට නිශ්චිතවම කිව නොහැකි තරමේ දිගු ඉතිහාසයකි. එදා මුළු සිරිලකටම ලණු මළු සැපයූවෝ ගාල්ලේ ඇත්තෝය. බෙන්තර සිට ගිංතොට දක්වාම මේ කර්මාන්තය එදා ගම් නියම්ගම්වල පමණක් නොව නගරවලද ව්‍යාප්තව තිබිණ.
එදා උඩරට එළවළු සහ පලතුරු ගබඩා කොට අනෙක් ප්‍රදේශවලට ප්‍රවාහනය සඳහා නුවරඑළියට ගෙන ගියේද ගාල්ලේ ඇත්තන්ගේ දෙඅතින් නිෂ්පාදනය කෙරුණු ලණු මලුය. එක රැයකට එක ලණු මලු කර්මාන්ත ශාලාවකින් නුවරඑළියට පැටවූ ලණු මලු ලොරි ගණන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි. ඒ තරමටම එදා ගාල්ලේ ලණු මලු කර්මාන්තය ජනප්‍රියව පැවතියේය. මේ කර්මාන්තය ගාලු පුරේ ජනප්‍රිය වන තරමටම එම කර්මාන්තය සමග අත්වැල් බැඳගත්තෝද එමටය. මේ නිසාමදෝ එදා විශේෂයෙන් ගාලු ප්‍රදේශයේ ප්‍රධාන ගංගා ආශ්‍රිතව ලණු මලු නිෂ්පාදනයට අත්‍යවශ්‍ය අමු ද්‍රව්‍යයක් වන කොහු ලණු අඹරන්නෝද හිග නොවූහ. සෑම නිවසකම පාහේ කොහු ලණු කර්මාන්තයේ නිරතවූ අය සිටියහ. එදා මේ කර්මාන්තයට අනුගතවූවෝ කාන්තාවෝය. එදා ලණු අඹරන කාන්තාවක් නැති නිවසක් සොයා ගැනීමට නොහැකි තරම් විය.
ඒ එදාය. අද තත්වය ඊට ඉඳුරාම වෙනස්ය. අද ගාල්ලේ කොහු ලණු අඹරන නිවසක් නැති තරම්ය. මේ නිසාම ලණු මළු කර්මාන්තයට ද වැදුණේ මරු පහරකි.
ලංකාවේ නමක් ගත් ගාල්ලේ ලණු මලු කර්මාන්තය අද ඇත්තේ මරණ මංචකයේය. එම කර්මාන්තය දිනෙන් දිනම වළපල්ලටම යන්නේ කීද්දුවත් නොනැගිටින අපේ රටේ බලධාරීන් හේතුවෙනි. දැන් නව ආණ්ඩුවෙන් ලංකාවම ක්ලීන් කරමින් සිටී. එය ගාල්ලේ ලණු මලු කර්මාන්තයට ද යොදා ගත හොත් රටට එන්නේ ඩොලර් තොග පිටින්ය. ඒ ගාල්ලේ ලණු මලු කර්මාන්තය නව දිශානතියකට හැරොව්වොත් පමණි. ඒ සඳහා මේ කාලයයි. අවශ්‍ය වන්නේ බලධාරීන්ගේ නිලධාරීන්ගේ මැදිහත්වීම පමණි. මේ අපේ වෑයම ඒ සඳහාය.අපේ පමණක් නොව එම කර්මාන්තයේ තවමත් ශේෂවූ පිරිසකගේ ද අභිප්‍රාය ය.
ලණු මලු කර්මාන්තය ගාල්ලෙන් වළපල්ලට යා නොදී ඉතා අපහසුවෙන් අල්ලාගෙන සිටින පිරිසගේ දුක්ගැනවිල්ලත් එම කර්මාන්තය ගොඩගත හැකි ආකාරයත් පිළිබඳව ඒ අය කී කතාවයි මේ.
රුවන් ප්‍රීති කුමාර මෙසේ කීවේය:-
මා ළඟ ගැමි කතුන් නිෂ්පාදනය කළ කොහු ලණු විශාල තොගයක් ගබඩා කරල තිබෙනවා. කාලයක් මෙහෙම ලණු ගබඩා කරලා තියන්න බැහැ. යන්තම් හරි ගිනි කූරක් දුම් වැටියක කොටසක් මේ කොහු ලණු ගබඩා කරලා ඇති ස්ථානයට වැටුණොත් වන හානිය ගැන දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණයි. මේ කොහු ලණු වලට තියෙනෙ ඉල්ලුම ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ. මේ කොහු ලණු මිලදී ගන්නේ නැති තරම්. අපි සල්ලි යටකරලා බලන් ඉන්නවා. අපි ළඟ ඕනෑ තරම් තොග තියාගෙන කොහොමද ගැමි කතුන්ගෙන් බඩු ගන්නේ.
දැන් නම් අවශ්‍ය ග්‍රාමීය නිෂ්පාදනයට මුල් තැන දෙන වැඩපිළිවෙළක්. මේ කර්මාන්තය වැටීලා ගියොත් විශාල අපරාධයක්. ගැමි කතුන්ට එමගින් වන හානිය මෙතෙකැයි කියන්න බැරි තරම්. ඒ නිසා වත්මන් රජයේ අවධානයවත් මේ කර්මාන්තයට යොමුවිය යුතුයි.
මේ කර්මාන්තය උස්සලා තියෙනවනම් අපේ ගම්මානවල කාන්තාවන්ට රැකිය සඳහා නගරයට යන්න ඕන නැහැ. ගමේ ඉඳන්ම නිවසට ආදායමක් සොයා ගන්න පුළුවන්. රටක් දියුණු කරන්න නම් ඒ රටේ නිෂ්පාදන දියුණු කළ යුතුම වෙනවා.
ලලිතා හෙට්ටිආරච්චි ඒ පිළිබඳව මෙසේ කීවාය.
ලණු මලු කර්මාන්තයේ තැනුම් ඒකකය කොහු ලණු. කොහු ලණුත් ලණු මලු කර්මාන්තයත් අතර තියෙන්නේ ලොකු සම්බන්ධයක්. කොහු ලණු නැතිව ලණු මලු කර්මාන්තය කරගෙන යන්න බැහැ. මම අපේ ගම්මානවලට කොහු ගෙනැවිත් දීලා ලණු අඹරවලා ඒවා මිලදී ගන්නවා. අද මේ කොහු ලණු ගන්නවා. මේ ලණු විවිධ නිෂ්පාදනවලට රට පටවනවා. ඒ තුළින් රටට විශාල ඩොලර් ආදායමක් එනවා. මම ගමේ කාන්තාවන්ගෙන් මිලදී ගන්නා කොහු ලණු සමාගමකට අලෙවි කරනවා. දැන් එම සමාගමෙන් කොහු ලණු ගැනීම නතර වෙලයි තියෙන්නේ. එම සමාගම කොහු ලණු ගන්නේ නැතිව මට බැහැනේ ගමේ කාන්තාවන්ගෙන් ඒවා මිලදී ගන්න. අපේ ගමේ කාන්තාවන්ගෙන් මිලදී ගත්ත කොහු ලණු විශාල තොගයක් මා ළඟ දැන් ගොඩගහලා තියෙනවා. මම ඒවා මිලදී ගත්තේ අපේ කතුන්ගේ දුක දැකලයි. ඒ අය තමන්ගේ දරුවට ටියුෂන් පීස් දෙන්න. එහෙමත් නැත්තම් වෙනයම් අවශ්‍යතාවක් සඳහායි ලණු අඹරලා මගෙන් සල්ලි ගන්නේ.
අපි මේ පිළිබඳව සොයා බැලුවා අපේ නිෂ්පාදන මේ ආකාරයට විකුණ ගන්න බැරිවෙලා තියෙන්නේ මේවා විදෙස් රටවලට රැගෙන යන නැව් ගාස්තු මිල ඉහළ යාම නිසයි කියලයි කියන්නේ. නැව් ගාස්තු මිල ඉහළ යාම නිසා සමාගම්වලට අපේ නිෂ්පාදන රට පැටවීමෙන් ලාබයක් නැහැ කියලයි කියන්නේ. ලාබයක් නැතිව යම් සමාගමක් යම් ව්‍යාපාරයක් කරන්නේ නැහැනේ. එම සමාගම් අපෙන් කොහු ලණු මිලදී ගන්නේ නම් අවශ්‍ය තරම් තොග අපිට දෙන්න පුළුවන්. එවිට ඒ අයගෙත් ආර්ථිකය ශක්තිමත්. රටටත් ඩොලර් එනව.
ඩී. නාලක:-
අපේ ලණු මලු කර්මාන්තයේ කඩා වැටීම කොහොමද කියනවනම් අපේ ඉඩමේ ලණු මලු කර්මාන්ත ශාලා හතරක් පවත්වාගෙන ගියා. ඒවායේ ගමේ පිරිමි, ගැහැනු හැට හැත්තෑවක් වැඩ කළා. ඒ දවස්වල මේ අය කාටවත් අත නොපා කාලාබීලා හිටියා. රජයේ මොනම ආධාරයක්වත් ගන්න පෝලිම්වලට ගියේ නැහැ. නිවසේ ඉඳගෙනම කරන්න පුළුවන් රැකියාවක් නිසා ඔවුනගේ පවුල්වල ගැටලුත් ඇතිවුණේ නැහැ. එහෙත් දැන් තත්වය ඊට ඉඳුරාම වෙනස්. අපේ කර්මාන්ත ශාලා හතර දැන් දෙකට වැටුණා. වැහුණු කර්මාන්ත ශාලා දෙකේම සේවකයන් ගෙදර. දැන් තියෙන කර්මාන්ත ශාලා දෙකත් ළඟදීම එකක් වේවි. වහන කර්මාන්ත ශාලාවේ සේවකයන්ට වෙන්නේ ගෙදර නවතින්නයි.
අපේ ලණු මලු එදා අපි ලොරි ගණන් නුවරඑළියට පැටවූවා. ඒ එළවළු ගබඩා කරන්න. අද එක ලොරියක්වත් නුවරඑළියට පටවන්නේ නැහැ. ඒ පිටරටින් ආ පොලිතින් මල්ලක් ඒකට පාවිච්චි කරන නිසා. දේශීය කර්මාන්තය වළපල්ලට ගියා. පිටරට කර්මාන්තය ඉස්සරහට ගියා. මේ සමගම අපේ ලණු මලු කර්මාන්තය වැටුණා. මේ වැටීමත් එක්ක මේ කර්මාන්තයට ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ අම්බලන්ගොඩ, මාදම්පේ ලණු කර්මාන්තයත් වැටුණා. අපේ ගමේ කොහු ලණු නොඅඹරන ගෙයක් තිබුණේ නැහැ. ගෙවල් තුන හතරක් අතර ලණු මලු කර්මාන්ත ශාලා තිබුණා. අද කොහු ලණු අඹරන ගෙවලුත් අඩුයි. ලණු මලු කර්මාන්ත ශාලාත් අඩුයි. මේ වනවිට අපේ ගමේ ලණු මලු කර්මාන්තශාලා පවත්වාගෙන ගිය අය මුහුදු යනවා.
අපේ ලණු මලුවලට අපේ රටේ වෙළෙඳ පොළක් නැතිවුණාට චීනය, ජපානය, ඇමරිකාව වගේ රටවල්වලින් හොඳ ඉල්ලුමක් තිබුණා. වැඩේ කියන්නේ අපි චීනෙන් පොලිතීන් බෑග් ගේනකොට අපේ ලණු මල්ල චීනය ඉල්ලනවා. ජපානයත්, ඇමරිකානුවත් එහෙමයි. කොහු ලණු දිරලා යනවා. ඒ තුළින් පරිසරය ආරක්ෂා වෙනවා. අපේ රටේ පාලකයන් ඒ ගැන හිතන්නේ නැහැ. නොදිරන පොලිතින් තමයි ඒ අයට ඕන. ලොකු ලොකු කොමිස් ඒවයෙන් හබ්බ වෙනවනේ.
ඩී. ජනක:-
අපි පවුල්පිටින් තමයි මේ කර්මාන්තය කර ගෙන ගියේ. ගෙදර ඉන්න හැමදෙනාම ඒ සඳහා සහාය වුණා. ලණු මලු ප්‍රවාහනය කරන්න අපිට වාහන කීයක් තිබුණා. ලොකු ලොරිත් තිබුණා. අද යන්තම් පොඩි ලොරියක් තියෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය අපිම වෙළෙඳ පොළ සොයන් අපේ අය නොගත්ත ලණු මලු චීනයට, ජපානයට, ඇමරිකාවට පැටෙව්වා. ඒ තුළින් මේ කර්මාන්තයේ යළි පිබිදීමක් ඇතිවුණා. අපි ලණු මළු පිටරටවල්වලට පටවන්න ගත්තාම ඉන්දියාවත් ඒ කර්මාන්තය කරන්න ගත්තා. අපේ ලණු මලුවලට වඩා අඩු මිලකට ඉන්දියාව ලණු මලු ලෝක වෙළෙඳ පොළට දෙනවා. ඒ අය හදන්නේ ලණු මලු ලෝක වෙළඳ පොළ අල්ල ගන්න. ලණු මලු කර්මාන්තය තනි අතට ගන්නයි ඉන්දියාව හදන්නේ. ඒ වගේම ඉන්දියාවේ ලණු මලු කර්මාන්තයේ යෙදෙන අයට ලොකු පහසුකම් දීලා තමයි ඒ අය මේ ගේම ගහන්නේ. දියුණු වෙන රටවල් එහෙමයි. එහේ රටවල් කරන ඇත්තන් එහෙමයි.
එහෙත් ඉන්දියාවේ ලණු මලුවලට වඩා ලංකාවේ ලණු මල්ල තත්වයෙන් ඉතා ඉහළයි. මේ පණිවිඩය ලෝක වෙළෙඳ පොළට දෙන්න ඕන.
එදා වගේම ලණු මලු ඕනෑ තරම් තොග අපිට දෙන්න පුළුවන් බලධාරීන් මැදිහත් වෙලා ලෝක වෙළෙඳ පොළ හදලා දෙනවනම්. දැන් අපි ලණු මලු තොග හදලා බලන් ඉන්නවා රට රටවලින් ඉල්ලනකම්. ඔය අපේ රටේ රාජ්‍ය නායකයන්ට පුළුවන්නේ මේ කර්මාන්තය සමග චීනය, ඇමරිකාව වගේ රටවල් සමග ගිවිසුම් ගහන්න කෝ කරන්නේ නැහැනේ. එහෙම ගිවිසුමකට එනවනම් අපිට මේ කර්මාන්තය බබලවන්න පුළුවන්. එහෙම වුණොත් අපේ ගම්මානවල අයට අලුතින් රැකියා උත්පදනය කරන්න ඕන නැහැ. ඕන තරම් රැකියා මේ කර්මාන්තය තුළ තියෙනවා. පොල් ගහේ පොල්ලෙල්ලේ සිට නිෂ්පාදනය කෙරෙන ලණු මල්ල දක්වාම රස්සාවල් තියෙනවා.
මට තවත් එකක් අමතකවුණා. විදුලි බිල වැඩිවීමත් මේ කර්මාන්තය කඩා වැටීමට තවත් හේතුවක් වුණා. දැන් දැන් ලණු මලුවලට අවශ්‍ය කොහු ලණු අඹරන්නේ මැෂින් වලින්, ඒ සඳහා විදුලිය අවශ්‍යයි. විදුලි බිල දරන්න බැරි තරම් ඉහළ දැමීමත් අපේ කර්මාන්තයට ලොකු ගැටලුවක් වුණා.
කේ. අජිත්;-
අපේ මේ කර්මාන්තයෙන් ලාබ ගන්නේ අතරමැදියා. අපි දුක්විඳලා දුක් විඳලා ලණු හොයාගෙන ලණු කර්මාන්තය කළත් කොහු ටිකක් ඇඟේවත් ගාගන්නේ නැති පැත්තක ඉන්න අතරමැදියා අපේ නිෂ්පාදන සොච්චම් මුදලකට තොග අරගෙන ඒ අය ලාබ ගන්නවා. මේ නිසා දැන් නම් මේ කර්මාන්තය කර ගෙන යන්නේ පාඩුවටයි. අපිව සූරා කන අතරමැදියාගෙන් බේරා ගැනීමට නව රජය වැඩපිළිවෙළක් යොදාවි කියලා අපි බලාපොරුත්තු වෙනවා. මේ කර්මාන්තය රටට ඩොලර් පොම්ප කරන්න පුළුවන් කර්මාන්තයක්. අපිට ඉන්දියාවත් එක්ක හොඳ සටනක් දෙන්න පුළුවන්. ඉන්දියාවේ ලණු මලුවලට වඩා අපේ ලණු මලුවල තත්වය ඉතා ඉහළයි. අපි තියන් හිටපු ලණු මලු ඒකාකාධිකාරිය දැන් ඉන්දියාව ඩැහැගන්න යනවා. අපි සටනට සූදානම්. නැව් ගාස්තු අඩු කරලා දෙනවනම්. විදුලි බිලට සහනයක් දෙනවනම්. අතරමැදියගෙන් තොරව රජය මැදිහත්වෙලා අපේ නිෂ්පාදන අරගෙන රටපටවනවනම් අපිට ඉන්දියාවත් එක්ක නෙමෙයි ලෝකයේ ඕනෑම රටක් එක්ක තරග කරන්න පුළුවන්. අනිත් එක අපේ ලණු මලු පිළිබඳව ලෝකයේ අනෙක් රටවල්වලටත් විශාල ප්‍රසිද්ධියක් දෙන්න ඕන. අපේ නිෂ්පාදන ගන්න තවත් රටවල් කැමැතිවේවි. මේ කර්මාන්තය කරන්නේ අහකදාන පොල්ලෙල්ලෙන් නේ. අපේ පොල්ලෙල්ලටත් එතකොට හොඳ කලක් යනවා. මේවා පිළිබඳව දැන් ඉඳලාම පියවරක් නොගත්තොත් අපේ රටේ ලණු මලු කර්මාන්තය හාන්සිවේවි.
මේ පිළිබඳ අපි නව රජයේ පර්ශවකරුවකු වන, ධීවර නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගෙන් විමසූවිට පැවසුවේ, මේ දේශීය කර්මාන්තය පිළිබඳව රජයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවය.
ප්‍රතිපත්තිමය වැරදි සහ ආර්ථික අර්බුදය හේතුවෙන් කඩාවැටුණු සිය ව්‍යාපාර නැවත නඟා සිටුවීමට ප්‍රමාණවත් සහායක් තවමත් ලැබී නැතැයි මෙරට ආර්ථිකයේ කොඳු නාර
ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහ
ඇඟලුම් කර්මාන්තයේ නියැලෙන ඉතාලි සමාගමක් වන ‘බෙන්ජි’ සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඩොලර් මිලියන 35 ක ව්‍යාපාර පුළුල් කිරීමේ ගිවිසුමක් පසුගියදා අත්
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමුවරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව ඊයේ (23) පසු කළේය.
ඇමෙරිකාව පදනම් කරගත් ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් මෙරට බැංකු 10 ක ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම පසුගියදා ඉහළ දැමීමට කටයුතු කළේය.
පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව සියයට 5 කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇතැයි මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
අභාවයට යන ගාල්ලේ ලණු මලු කර්මාන්තය