IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


අවුරුද්දට පමුණුවේ වෙළෙඳාම සරුද?

මේ  සිංහල හින්දු අලු‍ත් අවුරුදු මාසයයි. සිංහල සහ හින්දු අලු‍ත් අවුරුද්දට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. ලොකු කුඩා දුප්පත් පොහොසත් බේදයකින් තොරව අලු‍ත් අවුරුදු සමයට රෙදි පිළිගැනීම සඳහා කොයි කවුරුත් සාප්පු සවාරි යෑම මේ දිනවල ඉතා සුලභ සිද්ධියකි. සාමාන්‍ය දිනවලට වඩා කඩ සාප්පු සෙනගින් පිරී පවතින බවට නම් සැකයක් නැත. සෑම වසරකදීම සිංහල හා හින්දු අලු‍ත් අවුරුදු සමයේදී පිටකොටුව මෙන්ම නොනිදන නගරයක් ලෙස මහරගම පමුණුව ද හැඳින්විය හැකිය. අවුරුදු සමයේදී මහරගම නගරය ඉතා කාර්යබහුලය. අලු‍යම් කාලයේදී මෙන්ම දහවල් කාලයේද එක හා සමාන ජනතාවක් මහරගම පමුණුව නගරයේ දැකගත හැකිය. ඒ කොළඹ අවට ජනතාව පමණක් නොව දිවයිනේ නන් දෙසින් පැමිණෙන ජනතාවය. දුර ගැන නොසිතා ජනතාව මහරගම පමුණුව වෙත ඇදෙන්නේ අඩු මිල ගණන් යටතේ රෙදි පිළි මිලදී ගැනීමටය. 
අනෙක් වර්ෂවල මෙන්ම මෙවරද පමුණුව කාර්යබහුල නගරයක් වී තිබේ. අලු‍යම දෙකේ සිට සාමාන්‍ය ජනතාව මෙන්ම තොග වෙළෙන්දෝ ද රෙදි පිළි රැගෙන යාමට පමුණුවට පැමිණෙති. ඈත නගරවල පිහිටි බොහෝ ඇඳුම් අලෙවිසල් වෙත රෙදි පිළි රැගෙන යන්නේ මහරගම පමුණුවෙනි. මේ නිසාම මහරගම නගරයේ අවුරුදු සමයට අති විශාල රථ වාහන තදබදයක්ද පවතී. 
මහරගම පමුණුවේ වෙළෙඳ කටයුතු අදියර දෙකකින් සිදු කෙරෙයි. එනම් අලු‍යම් කාලයේදී සහ දහවල් කාලයේදී වෙළෙඳාම් ය. අනෙක් වෙළෙඳ නගර මෙන් නොව පමුණුව වෙළෙඳපොළෙහි පවතින එක් විශේෂත්වයක් වන්නේ අලු‍යම් කාලයේ වෙළෙදාම් කටයුතු කිරීමයි. වෙළෙදාම් කටයුතු ආරම්භ කරන්නේ පාන්දර 1 ට 2ට ය. පාන්දර 1 පමණ වන විටත් පාරිභෝගියක් පමුණුව වෙළෙද සංකීර්ණය අසල රැඳී සිටිමින් බලාසිටින්නේ වෙළෙදාම් කටයුතු ආරම්භ කරන තුරුය.
මහරගම පමුණුව රෙදි පිළිවලට ඉතා ප්‍රසිද්ධ වුවද මෙහිදී රෙදි පිළි පමණක් නොව, නිවෙසට අවශ්‍ය අනෙකුත් භාණ්ඩද මිලදී ගත හැකිය. පාපිසි, ප්ලාස්ටික් භාණ්ඩ, බෑග්, හිස්වැසුම්, ඔරලෝසු, සෙල්ලම් බඩු, තිර රෙදි, රේන්ද, සපත්තු ආදී බොහෝ දෑ මෙන්ම පලතුරු ආදිය ද මෙහිදී මිලදී ගත හැකිය. වෙනත් වෙළෙඳසල්වලට සාපේක්ෂව මේවායේ මිල යම් අඩුවක් පවතී. 
මෙවර අවුරුදු සමයේදී මහරගම පමුණුවේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට අපි පමුණුවට ගියෙමු. එහිදී වෙළෙද මහතුන් මෙන්ම පාරිභෝගිකයන් ද දැක්වූයේ විවිධ අදහස් ය.  


කලින් අවුරුදුවල වගේම බිස්නස් තියෙනවා
Tony Enterprise  වෙළෙඳ ආයතනයේ හිමිකරු ප්‍රදීප් නිශාන්ත මහතා, 
අවුරුදු තිහක ඉඳන් මම පමුණුවේ බිස්නස් කරන්නේ. මට මේ වෙළෙඳ ආයතනයට අමතරව තවත් වෙළෙළෙඳසැල් කිහිපයක් ම පමුණුවේ තියෙනවා. මේ අවුරුද්දේ වෙළෙදාම ගැන කියනවා නම් කලින් අවුරුදුවල වගේම බිස්නස් තියෙනවා. කොරෝනා දවස්වල භාණ්ඩ මිල වැඩි වුණා. දැන් ඒ තත්වය යම් මට්ටමකට අඩුවෙලා තියෙන්නේ. සමහර අය කියනවා අපිට බිස්නස් නෑ මේ පාර කියලා. එහෙම ලොකු බිස්න්ස් කඩා වැටීමක් වෙලා නැහැ. මේ බිස්නස් තනි පුද්ගල මට්ටමෙන් අඩුවෙන්න හේතුව තමයි වෙළෙඳාම් කරන වෙළෙන්දන් ප්‍රමාණය වැඩිවී  තිබීම. වෙළෙඳුන් ප්‍රමාණය වැඩිවීම නිසා ලැබෙන ආදායම බෙදිලා යනවා. ඒ නිසා තමයි බොහෝ පිරිසක් කියන්නේ වෙළෙඳාමක් නෑ කියලා. අවුරුදු වෙළෙදාම හොඳයි මේ පාරත්.


සීසන් එක කියලා බඩුවල මිලේ වැඩිවීමක් වෙලා නැහැ
සංජීව Text වෙළෙඳ ආයතනයේ හිමිකරු ඩී.වී.සංජීව මහතා,
අවුරුදු සීසන් එකක් කියන්නේ ඕනෑම කෙනෙක් ඇඳුම් මිලදී ගන්න කාලයක් නේ. මම වසර 35ක ඉඳන් මෙහේ බිස්නස් කරන්නේ. එහෙම වුණාම බිස්නස් එක වෙළෙන්දන්ට බෙඳිලා යනවා. බිස්නස් එකක් නැහැ කියලා කාටවත් කියන්න බැහැ. පමුණුවේ රෙදි ලාබයි කියලා විවිධ පළාත්වලින් පාරිභෝගිකයෝ එනවා මිලදී ගන්න. අනුරාධපුර, කාන්තන්කුඩු සහ වව්නියා වගේ දුර පළාත්වල වෙළෙන්දෝ බස් අරගෙන එනවා පමුණුවෙන් බඩු අරගෙන යන්න පාන්දර 2, 3 වගේ ඉදන් ඇවිත් ඉන්නවා. පමුණුවේ බඩුවල මිලේ අඩුකම නිසා අවුරුදු සමය වෙද්දී පිටස්තර පාරිභෝගිකයන්ගෙන් පමුණුව පිරෙනවා. අවුරුදු සීසන් එක කියලා බඩුවල මිලේ වැඩිවීමක් වෙලා නැහැ. 


මේ පාර බිස්නස් වෙනදා තරම්වත් නැහැ
ලීලා ගමගේ මහත්මිය,
මම වසර 25ක කාලයක ඉඳන් පමුණුවේ බිස්නස් කරන්නේ. මේ පාර බිස්නස් වෙනදා තරම්වත් නැහැ. වෙනදා සීසන් එක කියන්නේ මෙහෙම විවේකයක් ගන්න පුළුවන්කමක් නැහැ. වෙනදට අපිට මෙහෙම වාඩි වෙලාවත් ඉන්න විදියක් නෑ. ඒ තරමටම සෙනඟ. සමහරදාට අපි උදේට දවල්ට දෙකටම කන්නෙත් බිස්නස් කරලා ඉවර වෙලා. මෙදා පාරනම් සෙනඟ අඩු නිසා අපි උදේ ඉදන් වාඩි වෙලා බලන් ඉන්නවා. රෙදිවල මිල වැඩීවීමක් වෙලා නැහැ. මිල අඩුවට තිබුණත් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගන්න වත්කමක් නැහැ. ඒ නිසා අපිට වෙළෙදාම් අඩුයි.


මේ පාර බිස්නස් ගොඩක් අඩුයි
W.P.N. SHOSE  වෙළෙඳ ආයතනයේ හිමිකරු ඉසුරු ගුණසිංහ
මම අවුරුදු හතරක වගේ කාලයක් ඉඳන් තමයි පමුණුවේ බිස්නස් කරන්නේ. අපි වෙළෙඳාම් කරන්නේ දේශීයව නිෂ්පාදනය කරන පාවහන් වර්ග. මේ පාර බිස්නස් ගොඩක් අඩුයි. පසුගිය වසරවල සීසන් එක කියන්නේ බිස්නස් හොඳට තියෙන කාලයක්. නමුත් එහෙම තත්වයක් මේ අවුරුද්දේ තවම නැහැ. බිස්නස් අඩු නිසා පාවහන් අලෙවිකරණ මිල ගණනුත් අඩු කරලා තියෙන්නේ. මිල අඩු නිසා හරි පාවහන් ගනී කියලා හිතලයි මිලත් අඩු කලේ. ඒත් ඉතිං බිස්නස් අඩුයි. 


බඩු මිලේ වැඩිවීමක් වෙලා නැහැ
දමයන්ති වික්‍රමසිංහ මහත්මිය
අපි විකුණන්නේ ඇඳුම්. අවුරුදු කාලේට කවුරුත් වගේ අලු‍තින් ඇදුම් ගන්නවා. හැබැයි මේ අවුරුද්දේ මිනිස්සු ඇඳුම් ගන්නෙත් නැද්ද මන්දා. වෙන අවුරුදුවල අපිට හොදට බිස්නස් තිබ්බා. පසුගිය වසරවලට සාපේක්ෂව ගත්තම මේ වසරේ බිස්නස් අඩුවෙලා තියෙන්නේ. පාරිභෝගිකයන් සාමාන්‍ය මට්ටමකට ඉන්නවා. බඩු මිලේ වැඩිවීමක් වෙලා නැහැ. ගිය වසරවල මිල ගණන් යටතේම තමයි මේ පාරත් බිස්නස් කරන්නේ. ඒත් බිස්නස් අඩුයි.


ඕෆ් සීසන් එකේ මීට වඩා සෙනග හිටියා
කසුන් බුද්ධික මහතා
මේ අවුරුද්දේ අවුරුදු වෙළෙදාම නම් ගොඩක්ම අඩුයි. ගිය අවුරුද්දේ බිස්නස් වලට සාපේක්ෂව ගිය අවුරුද්දේ බිස්නස් එකෙන් තුනෙන් එකක් වගේ තමයි මේ අවුරුද්දේ බිස්නස් තිබ්බේ. අවුරුද්ද්ට තව ලොකු දවසක් නෑ. ඉතිං මේ දවස් දෙක තුනට බිස්නස් වැඩි වෙයි කියලා හිතන්නත් බෑ. කලින් අවුරුදු වල මේ වෙනකොට පමුණුවේ කිට්ටු වෙන්න බෑ සෙනග. මම අවුරුදු 20ක ඉඳන් පමුණුවේ බිස්නස් කරන්නේ. මේ අවුරුදු 20 ටම පමුණුව මෙහෙම හිස් වෙලා තියන්නේ මේ අවුරුද්දේ තමයි. මගේ උපන් නගරයම මහරගම. ඒ නිසා පොඩි කාලේ ඉඳන්ම රෙදි ගන්න පමුණුවට එනවා. ඒ කාලේ දැනට වඩා ගොඩක් සෙනග ඉන්නවා. මේක සීසන් එක වුණාට ඕෆ් සීසන් එකේ මීට වඩා සෙනග හිටියා. බඩුවල මිලෙත් වැඩියක් නෑ. ගිය අවුරුද්දේ රුපියල් 700 ට විකුණපු ටී ෂර්ට් එක මේ පාර රුපියල් 600 ට විකුණලත් විකිණෙන්නේ නෑ.


රෙදිවල මිලත් යම් මට්ටමකට අඩුවෙලා
විමලා ශ්‍රියානි මහත්මිය
මම වැල්ලවායේ ඉඳන් තමයි බඩු ගන්න උදේ පාන්දරින්ම ආ‍වේ. මාත් එක්ක වැල්ලවායේ ඉඳලා තව දෙන්නෙක් ආවා ඇඳුම් ගන්න. පාන්දරින්ම ආවේ නැත්තම් ඉතුරු වෙන්නේ තේරුණු ඇඳුම්. උදෙන්ම ඇවිත් රෙදි තෝරලා මිලදී ගෙන එක රෙදි තොගයක් අඳුරන තැනක තියලා ඇවිත් තමයි ආපහු මේ ඇඳුම් තෝරන්නේ. අපි පමුණුවෙන් රෙදි තොග මිලට අරන් ගිහින් තමයි එහෙ බිස්නස් කරන්නේ. අපිට දුර වුණත් අපි එහෙ ඉඳන් පමුණුවටම එන්නේ අපිට මෙහෙන් රෙදි ගන්න එක ලාබ නිසා. රෙදි ගොඩක් තියනවා තෝර ගන්නේ මොනවාද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. රෙදිවල මිලත් යම් මට්ටමකට අඩුවෙලා තියෙන්නේ. 


මිල නම් ටිකක් වැඩියි
මාලා දමයන්ති මහත්මිය
මම මහරගම. මම තොග ඇඳුම් මිලදී ගන්න නෙමෙයි ආවේ. මම ගෙදර අයට අවුරුද්දට ඇඳුම් ගන්න ආවේ. ඇඳුම් තෝරගන්න නම් ගොඩක් තියනවා. මිල නම් ටිකක් වැඩියි. තොග මිල නම් අඩු ඇති. සෙනගත් අද අඩුයි. සමහරවිට අද සතියේ මැද දවසක් නිසා වෙන්න ඇති. සති අන්තේ නම් සෙනග වැඩිවෙයි.


මිලත් අඩුයි  වෙනදා තරම් සෙනගකුත් නෑ
ප්‍රියදර්ශනී මෙන්ඩිස් මහත්මිය
මම පානදුරේ ඉදන් ආවේ ඇඳුම් ගන්න. උදේ ඉඳන් ඇඳුම් තෝරනවා. ඇඳුම් ගොඩක් තියන නිසා තෝර ගන්නත් ආමාරුයි. ඇඳුම් මිලත් අඩුයි. ඒ වගේම වෙනදා තරම් සෙනගකුත් නෑ. 

 

ශෂිකා අබේරත්න සහ මනීෂා වීරසිංහ
ඡායාරූප - ඉසුරු පෙරේරා



අදහස් (0)

අවුරුද්දට පමුණුවේ වෙළෙඳාම සරුද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

රටේ සංසරණය වන මුදල් වලින් රුපියල් ට්‍රිලියනයක් බැංකු පද්ධතියට එන්නේ නැහැ
2025 අප්‍රේල් මස 11 371 0

වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු


සූර්ය විදුලිය ජාතික පද්ධතියට නොගන්නවාට සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ දැඩි විරෝධය
2025 අප්‍රේල් මස 11 130 0

මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ


මාස 6 කට පසුව ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාව පසුකරයි
2025 අප්‍රේල් මස 11 129 0

මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි
2025 අප්‍රේල් මස 11 124 0

මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ


ජෙට්වින්ග් සමූහය රු. මි.356කට ඩ්‍රීම් බීච් රිසෝට් මිලට ගනී
2025 අප්‍රේල් මස 11 36 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව


ව්‍යාපාර විශ්වාස පහළ ගිහින්
2025 අප්‍රේල් මස 11 23 0

ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 43 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 215 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site