කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
තරුණ පරම්පරාව කුරුඳු කර්මාන්තයට යොමු නොවීම ගාලු දිසාවේම කුරුඳු කර්මාන්තයට වැදී ඇති මරු පහරක් බව කුරුඳු ඉඩම් හිමියෝ කියති. තමන් කෙතරම් කුරුඳු වගාව ව්‍යාප්ත කළත් කුරුඳු අස්වැන්න නෙළා ගැනීමට ශ්‍රමිකයන් නැතිනම් කරුඳු කර්මාන්තයෙන් වැඩක් නැති බවද ඔවුහු පෙන්වා දෙති. තරුණ පරපුර කුරුඳු කර්මාන්තයට නොඒමට හේතු වී ඇති කරුණු කාරණා රැසක්ම තිබෙන බව ඒ පිළිබඳ දත් අය කියති.
එදා සිට මෑතක් වනතුරුම අපේ රටේ කුරුඳු කර්මාන්තය පවත්වාගෙන ගියේ අප්පගෙන් පුතාය. නැතහොත් පරම්පරාවෙන් පරම්පරාවය. එහෙත් අද එයට කණකොකා හඬා ඇති බව නොකියාම බැරිය. මේ නිසාම ගාලු දිසාවේම කුරුඳු කර්මාන්තය අද ඇත්තේ නරක තැනක බව ප්‍රදේශවාසීහු කියති.
කුරුඳු කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක් නම් නොවේ. සිය ඉඩමේ කුරුඳු අස්වැන්න තමාටම නෙළා ගැනීමට හැකි නම් එය ඉතාම ලාභදායී කර්මාන්තයකි. හොඳ රැකියාවකි. කුලියට කුරුඳු අස්වැන්න නෙළුවද එය පාඩු ලබන රැකියාවක් නොවන බව නම් බය නැතිවම කිව හැකිය. එයට ද හේතු කිහිපයකි. ඉන් එකක් නිවසේ සිටම කළ හැකි කර්මාන්තයක් වීමය. අනෙක කුරුඳු අස්වැන්න නෙළීමේ ක්‍රමවේදයේදී කුරුඳු ඉඩම් හිමියා සහ අස්වැන්න නෙළන්නාට හොඳ ආදායමක් ලැබීමය. ඒත් ප්‍රශ්නය නම් දැනට ඉතුරු වී ඇති කුරුඳු ඉඩම්වල කුරුඳු අස්වැන්න නෙළා ගැනීමට අවශ්‍ය ශ්‍රමිකයන් උත්පාදනය කිරීමය.
නව පරපුර කුරුඳු කර්මාන්තයට අනුගත නොවීම සම්බන්ධයෙන් කුරුඳු කර්මාන්තය හා බැඳුණු ගාලු දිසාවේම පාර්ශ්ව කිහිපයක් අප සමග අදහස් දැක්වූහ. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක සරත් ගුණරත්න මහතා:-
“කරන්දෙණියත් කුරුඳුත් අතර තියෙන්නේ ලොකු සම්බන්ධතාවක්. කරන්දෙණිය කිව්වාම ඕනෑම කෙනකුට මතක් වෙන්නේ කුරුඳු. ලංකාවේ හොඳම කුරුඳුවලට ප්‍රසිද්ධත් කරන්දෙණියයි. ඒ වගේම තමයි ලංකාවේ ඕනෑම තැනක කුරුඳු අස්වැන්න නෙළන්න ගියේ කරන්දෙණියේ දක්ෂ පළපුරුදු කුරුඳු කාර්මිකයන්. කුරුඳු කර්මාන්තයේ පාසල විදිහටත් බොහෝ අය කරන්දෙණිය හැඳින්වූවා. ඒ කාලේ ඕනෑ තරම් කරන්දෙණියේ කුරුඳු කාර්මිකයන් සිටියා. තාත්තගෙන් පුතාට තමයි මේ කර්මාන්තය ගියේ. එහෙත් අද තත්වය ඉතාම නරක අතට හැරෙමින් තියෙනවා. කරන්දෙණියේ තරුණ පරම්පරාව කුරුඳු කර්මාන්තය හැර යාමට පටන්ගෙන තියෙනවා. මේක නොවිය යුත්තක්.
අපි කියන්නේ නැහැ කුරුඳු තළන ශිල්පියාගේ පුතාත් ඒ රස්සාවම කරන්න ඕන කියලා. කුරුඳු තලන කෙනාගේ පුතා දොස්තර, ඉංජිනේරු කෙනෙක් වෙන එක වරදක් නැහැ. එහෙත් සමහර තරුණ කොටස් ඉගෙනීමවත් හරි හැටි කරගන්නේ නැතිව වෙනත් වැඩවලට ගිහිල්ලා තරුණ කාලයේම ජීවිතය විනාශ කර ගන්නවා. ඒක බොහෝම නරක විදිහට අපේ ප්‍රදේශවල තියෙනවා. ඒ පිරිසට කුරුඳු කර්මාන්තයේ ඇති වටිනාකම පිළිබඳව කියලා දෙන්න කෙනෙක් නැහැ. කුරුඳු කාර්මිකයාගේ නිවසෙනුත් තමන්ගේ දරුවට ඒ සම්බන්ධයෙන් කියලා දීමක් නැහැ. තමන්ගේ දරුවා ඒ වෙත නැඹුරු කර ගැනීමක් නැහැ. අන්තිමේදී වෙන්නේ නොමග ගිය දරුවා යහමගට ගන්න කියලා තමන්ගේ කුරුඳු වතුපිටින් විකුණලා නන්නත්තාර වෙන එකයි.
ඇතැම් තරුණ කොටස් තමන්ගේ කුරුඳු ඉඩම් ටික සංවර්ධනය නොකර ඒකෙන් ආදායමක් ලබා නොගෙන කුරුඳු ඉඩම් උකසට තියලා විදෙස් රැකියා සොයාගන්න මහන්සි වෙනවා. එතනදී ඔවුන් හොර ඒජන්සිකාරයන්ට අහුවෙලා තමන්ගේ කුරුඳු ඉඩම් විතරක් නෙමෙයි ජීවිත පවා විනාශ කර ගන්නවා. මේ තරුණ පරපුර තමන්ගේ කුරුඳු ඉඩම හොඳට නඩත්තු කරලා තමන්ම එහි අස්වැන්න නෙළාගන්නව නම් විදෙස් රටවල්වලට යන්න ඕන නැහැ. ගෙදර ඉඳගෙනම රට ගිහිල්ලා හම්බකරන මුදල මෙන් දෙගුණයක්ම හම්බ කරගන්න පුළුවන්. අපේ රටේ තමයි මේ දේශීය කර්මාන්තයට මෙහෙම කලක් ගිහිල්ලා තියෙන්නේ.”
පහතරට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න මහතා:-
“ඇත්තටම කුරුඳු තලන්න තරුණයෝ එනවා බොහෝම අඩුයි. ගාලු දිසාවේ රැකියා නැති මොන තරම් තරුණයන් ඉන්නවද? ඒත් ඒ අය නිකමටවත් මේ කර්මාන්තය දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. ඒ අය ඉන්නේ සිහින ලෝකෙක. ඒ අය හිතන්නේ කුරුඳු තළන එක පහත් රස්සාවක් කියලා. සමාජයේ කොන්වූ රැකියාවක් කියලා. එහෙමයි ඒ අයගේ මනස හුරුවෙලා තියෙන්නේ. ඒ අය රස්සාව මනින්නේ ඇඳුම පැළඳුමෙන්. සමාජ වටපිටාව සැලකිල්ලට ගනිමින්. ඒකයි මේකට ප්‍රධාන හේතුව. ගාලු දිසාවේම රැකියා විරහිත කුරුඳු කර්මාන්තයට ආශාවක් තියෙන තරුණ කොටස් තෝරගෙන ඔවුන් ඒ සඳහා යොදවා ගත්තොත් කුරුඳු කාර්මිකයන්ගේ හිඟයට හොඳ පිළියමක් වේවි. එහෙම නොවුණොත් අපිට වෙන්නේ අපේ කුරුඳු තළන්න අසල්වැසි රටකින් ශ්‍රමිකයන් ගෙන්වන්න. අපේ වතු වැඩවලට ඉන්දියාවෙන් ගෙන්නුවා වගේ.
නව රජයවත් මේ පිළිබඳව අවධානය යොමු කළොත් හොඳයි කියලා අපි හිතනවා. කුරුඳු කර්මාන්තය කියන්නේ රටටම ඩොලර් එන කර්මාන්තයක්නේ. රට දියුණු කරන්න පුළුවන් කර්මාන්තයක්. එහෙව් එකේ මේ කර්මාන්ත රැක ගැනීම රජයේ වගකීමක් සහ වගවීමක්. දැන් නව රජය ඒ සඳහා පියවර ගත යුතුමයි.”
පියල් ගාමිණී මහතා:-
“අපේ රටේ විතරක් නෙමෙයි ඕනෑම රටක කර්මාන්තයක අනාගතය රැඳී පැවතිලා තියෙන්නේ ඒ රටේ අනාගත පරපුර අතේ. ඒ කියන්නේ තරුණ පරපුර අතේ. ඒ කර්මාන්තයට තරුණ පරපුර අත නොගැසුවොත් එයට ඉදිරියට යා නොහැකියි. ඒ නිසා අපේ කුරුඳු කර්මාන්තයත් රටේ තරුණ පරපුරට දායාද කරන්න ඕන. කුරුඳු කාර්මිකයා කියන්නේ බුලත් විටක් කාගෙන රෙද්ද බැනියම ඇඳිය යුතු කෙනෙක් කියලා මෙතෙක් කලක් ගසා තිබූ ලේබලය නැති කරලා දාන්න ඕන. කුරුඳු කර්මාන්තය සඳහා එදා තිබුණු ආයුධ කට්ටලයත් නවීකරණය කිරීමත් එයට හොඳ තල්ලුවක්. ඒ වගේම නවීන ක්‍රමයට කුරුඳු තැලීමේ ක්‍රම තරුණ පරපුරට උගන්වන්න ඕන. නවීන තාක්ෂණයට කුරුඳු තැළීම කියා දෙන කුරුඳු තැලීමේ ම්‍යස්ථාන ස්ථාපිත කරන්න ඕන. දැන් ඒ සඳහා අවශ්‍යම කාලය මේක. නැත්නම් කුරුඳු තලන්න රොබෝවරුන් හදන්න වේවි.”
එච්.ඩී.එල්. මල්ලිකා මහත්මිය:-
“තරුණ පරපුර කුරුඳු තළන්න එන්නේ නැත්නම් කාන්තාවන් වන අපිට එය කරන්න පුළුවන්. දැනටත් කරන්දෙණිය හා ඒ අවට කාන්තාවන් රැසක්ම කුරුඳු තැළීමේ කාර්යයේ නිරත වී සිටිනවා. අද කාන්තාවන්ටත් බැරි දෙයක් නැහැ. මේ කුරුඳු තැළීමේ කර්මාන්තය කාන්තාවන් අතර ජනප්‍රිය කළොත් මේ කර්මාන්තය ගොඩ දාගන්න පුළුවන්. අපිට නිවසේ ඉඳලාම කුරුඳු තළන්න පුළුවන්. තරුණයන් එන්නේ නැත්නම් මේ කර්මාන්තයට තරුණියන් පුරුදු කරන්න. දැනටත් මම කුරුඳු තළනවා. දැන් මට ඕනෑම අයෙක් සමග කරට කර කුරුඳු තළන්න පුළුවන්. ඒ වගේ අනෙක් කාන්තාවනුත් පෙරට ආවොත් කුරුඳු කර්මාන්තයට ශ්‍රමිකයන් නැතිවෙන්නේ නැහැ.
අපේ ගම්වල ඉන්නවද කොච්චරවත් රස්සා නැති කතුන්. ඒ අයව මේ ක්ෂේත්‍රයට ගන්න ඕන. ඒ සඳහා ඔවුනගේ මොළ හදන්න ඕන. මේ කුරුඳු කර්මාන්තය හොඳ කර්මාන්තයක්. හොඳ ආදායමක් ලබන්න පුළුවන් එකක්. නිවසේ ඉඳලම හොඳ ආදායමක් ගන්න පුළුවන් කර්මාන්තයක්. කුරුඳු කපන එක කුරුඳු තළන එක පිරිමින් මෙතෙක් කලක් ආක්‍රමණය කරගෙන හිටියත් අපිටත් පුළුවන් අපේ ශක්තිය පෙන්වන්න. ඒ සඳහා කාන්තාවන් පුරුදු පුහුණු කරන්න කියලා මම රජයට යෝජනා කරන්න කැමැතියි.”
වසරකට රට තුළ සංස්කරණය වන මුදල් වලින් අතිවිශාල ප්‍රමාණයක් බැංකු පද්ධතියට නොපැමිණෙන බවත්, එම මුදල් ආර්ථිකය වෙත ගෙන්වා ගැනීමට නම් ජනතාව ඩිජිටල් ගනුදෙනු
මෙරට සූර්ය බලශක්තිය මගින් නිපදවනු ලබන විදුලිය ඊයේ (10) සිට එළැඹෙන 21 වැනිදා දක්වා ජාතික විදුලිබල පද්ධතියට නොගැනීමට ලංකා විදුලි බල මණ්ඩලය ගෙන ඇති තීරණයට සූ
මාස 6 කට පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල ඊයේ (10) රුපියල් 300 සීමාව පසු කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකයට අන
මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘ
කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන The Lighthouse Hotel PLC අම්බලන්ගොඩ පිහිටි ඩ්‍රීම් බීච් රිසෝට් හෝටලයේ සියයට 100ක කොටස් හිමිකාරීත්වය අත්පත් කරගත් බව
ආර්ථිකයේ දිගු කාලීනව ඉහළ යෑමත් පැවැතිවත් එයට සාපේක්ෂව කෙටි කාලීනව පහත යෑමක් සිදුවුණු බව ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන එල්එම්ඩී වාර්තා කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුරුදු කර්මාන්තයට වැදුණු මරු පහර