IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය: ඇඟලුම් කර්මාන්තයේ ජනපති ප්‍රේමදාස ආදර්ශය

 

  • ජනාධිපති ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය ඇඟලුම් කර්මාන්තය සහ ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථාවර කරයිද?

ජනාධිපති ට්‍රම්ප් ගේ තීරු බදු ප්‍රතිපත්තිය ඇඟලුම් කර්මාන්තය සහ ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථාවර කරයිද?

ඇමරිකා එක්සත් ජනපද ඇඟලුම් කෝටාව භාවිතකරමින් රටට වටිනා විදේශ විනිමය ගෙන එන එමෙන්ම අපනයන සහ රැකියා අවස්ථා නිර්මාණය කරන අපනයන මූලික කරගත් කාර්මික සංවර්ධන ව්‍යාපෘතියක් වූ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන රටපුරා ව්‍යාප්ත කරමින් තම ඉදිරි දැක්ම අනුව ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කරන ලද ප්‍රධාන කැපකිරීම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ 32 වැනි අවමංගල සංවත්සරයේදී අපි හඳුනා ගත යුතු වෙමු. උගත යුතු තවත් පාඩමක් නම් සියලු අනාගත ආණ්ඩු අද වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධාන කාර්මික අපනයනය වන ඇඟලුම් කම්හල් වැඩසටහන අඛණ්ඩව පවත්වා ගෙන යමින් එයට සහයෝගය පළ කළ බවයි. 

අද පැන නැගී ඇති ප්‍රධාන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකා භාණ්ඩ අපනයන මත පනවා ඇති ට්‍රම්ප් ගේ සියයට 44 තීරු බදු ප්‍රතිපත්තිය ඇමරිකන් ඇඟලුම් කෝටා මත ගොඩනැගී වසර ගණනාවක් පුරා ශක්තිමත්ව ඉදිරියට පැමිණි ඇඟලුම් කර්මාන්තය වෙත විනාශකාරී ලෙස බලපායිද සහ ශ්‍රී ලංකා ආර්ථිකය අස්ථාවර කරයිද? යන්නයි. 

 

 ඇඟලුම් කම්හල් 200  වැඩසටහන පිළිබඳ සංකල්පය 

ට්‍රයිස්ටාර් සමූහයේ සභාපති කුමාර් දේවපුර මහතා මහඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ සහයෝගය ඇතිව කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ වූ ඇඟලුම් කම්හලක් විවෘත කිරීම සඳහා ප්‍රේමදාස ජනාධිපතිතුමාට ආරාධනා කළේය. මෙහිදී ඇමරිකානු අපනයන වෙළෙඳපොළට ඇතුළුවීමට සහ එක්සත් රාජධානියේ Marks and Spencer වැනි ගැනුම්කරුවන්ට සම්බන්ධ වීමට හැකිවූයේ කෙසේද යන්නත් අද වරප්‍රසාද ලත් කොටසකට පමණක් සීමා වූ මෙම කෝටා ක්‍රමය ඇඟලුම් කර්මාන්තය සඳහා භාවිත කළ හැක්කේ කෙසේද යන්නත් ඔහු විසින් පැහැදිලි කරන ලදී. ප්‍රේමදාස ජනාධිපතිතුමාට ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ මූලික අදහස ඇතිවූයේ මෙම කරුණු දැක්වීමෙනි.

ඒ අනුව ප්‍රේමදාස ජනාධිපතිතුමා මහකොළඹ ආර්ථික කොමිසම යටතේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ආරම්භ කිරීමට තීරණය කළේය.

ජනාධිපතිතුමා තම ලේකම් පාස්කරලිංගම් මහතාට මේ බැව් දැන්වූ පසු ඔහු මා දුරකතනයෙන් අමතමින් මහකොළඹ ආර්ථික කොමිසම ඉක්මනින් භාරගනු දැකීම ජනාධිපතිතුමාගේ අභිලාෂය බව මට දැන්වූයේය. මෙය ඇත්තවශයෙන්ම මා විමතියට පත් කරන්නක් විය. මහජන බැංකුවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටි මාහට ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් මහකොළඹ ආර්ථික කොමිසමේ (GCEC)  සභාපති මෙන්ම අධ්‍යක්ෂ ජනරාල් ලෙස 1991 දී තනතුරක් ලැබීම නව අභියෝගයක් විය. ජනාධිපති ප්‍රේමදාස ඉතා ඉක්මනින් මහකොළඹ ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) ලෙසට වෙනස් කළ අතර ඒ මගින් තම දැඩි අපේක්ෂාව වූ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ වගකීම මහකොළඹ ප්‍රදේශය ඇතුළු මුළු දිවයිනටම පවරන ලදී. මෙම වැඩසටහන සඳහා ඇමරිකානු ඇඟලුම් කෝටා ක්‍රමය භාවිත කළ අතර රජයේ ප්‍රධාන අපනයන මූලික කර්මාන්ත ව්‍යාපෘතිය ලෙස එය ක්‍රියාත්මක කරමින් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ එක්සත් රාජධානිය වැනි රටවලට ගුණාත්මක ඇඟලුම් නිෂ්පාදනය කරනු පිණිස ගම්බද තරුණ කතුන්ට රැකියා අවස්ථා සපයන ලදී. පෙරදී යන්තම් භාවිත කළ හෝ නාස්තිකළ ඇමරිකානු කෝටා අපහසු නැති, අපහසු සහ වඩාත් අපහසු ප්‍රදේශ තෝරා ගනිමින් රටපුරා සමානුපාතිකව බෙදා හැරුණි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තීන් සමග පිහිටුවනු ලැබූ මහකොළඹ ආර්ථික කොමිසම/ ආයෝජන මණ්ඩලය ඉතා බලවත් ආයෝජන සංවිධානයක් වූ අතර එය නිර්මාණය වූයේ ජනාධිපතිවරයා යටතේ සෘජු විදේශ ආයෝජන අනුමත කිරීමට සහ අපනයන වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන කර්මාන්ත ස්ථාපිත කිරීමේ අරමුණින් අපනයන සැකසුම් කලාප පිහිටුවීම සඳහාය. එසේම ආයෝජන මණ්ඩලයට ව්‍යවස්ථාවෙන් ලද ප්‍රධාන ක්ෂේත්‍ර තුනක් එනම් බදු විරාම, ඕනෑම වාණිජ බැංකුවක් සමග විදේශ මුදල් බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අනුමතිය සහ ආයෝජන මණ්ඩලයට සම්බන්ධ ආනයන සහ අපනයන සඳහා වූ රේගු කාර්යයන් භාර ගැනීම යන සහතිකය මත විදේශීය ආයෝජකයන් සමග ගිවිසුම් අත්සන් කිරීමේ බලය හිමිවිය.

 

 ඇඟලුම් කම්හල් 200  වැඩසටහන ආරම්භ කිරීම 

නව ගොඩනැගිලි සමග ඇඟලුම් කම්හල් 200ක්, අලුත් මහන මැෂින් සහ එක් එක් කම්හල සඳහා අවම සේවකයන් 500ක් වශයෙන් කාන්තාවන් ප්‍රමුඛ කරගත් රැකියා 100,000ක් ඉලක්කය විය. ජනසවියලාභී පවුල්වලින් සේවකයන් බඳවා ගැනීමට ආයෝජන මණ්ඩලය ඔවුන්හට සහය දැක්වීය. සියලුම කම්හල් තම සේවකයන්හට වඩාත් සුදුසු ලෙස ඔවුන්ගේ ගම්වලින් සැකසූ උදෑසන ආහාර වේලක් සැපයිය යුතු විය. ඇඟලුම් කම්හල විවෘත කිරීම ඇඟවීම සඳහා ආයෝජකයා නගරයේ ඔර්ලෝසු කණුවක් ස්ථාපිත කළයුතු විය. 

කම්හල් 200 යෙහි 100,000ක් තාරුණ්‍යය සේවයෙහි නියුක්ත කරවීමෙන් මසකට රු. මිලියන 500 සිට බිලියන 1ක් දක්වා ආර්ථිකයට එක් කිරීම ඉලක්කය විය. ගමේ තරුණ තරුණියන් ප්‍රථම වතාවට ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ප්‍රධාන වෙළෙඳපොළ සඳහා ගුණාත්මක ඇඟලුම් නිෂ්පාදනය කරන තත්වයට පත්විය. 

වැඩසටහන ආරම්භ කරන අවස්ථාවෙහි ප්‍රධාන පෙළේ ඇඟලුම් නිෂ්පාදකයන් 8 සිට 10 දක්වා වූ කමිටු රැස්වීමකදී මම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන පිළිබඳව ඔවුන්ට පැහැදිලි කළෙමි. වැඩසටහන අවසානයේදී යන්තම් කම්හල් 7ක් හෝ 8ක් ඇතිකළ හැකි බව ඔවුන් උපහාසාත්මකව මා හට පැවසූ බව මට මතක් වෙයි. මෙයින් අදහස් වූයේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා වෙනත් මගක් පිළිබඳව සොයාබැලිය යුතු බවයි.

ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා නව්‍ය උපායමාර්ග භාවිත කරන ලද අතර ආරම්භයේ එය දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තරම් වේගවත් මෙන්ම ආකර්ෂණීය විය. ජනාධිපතිවරයා තමාට මෙම අදහස ලබා දුන් කුමාර් දේවපුර කැඳවා ඇඟලුම් කම්හල් 2ක් හෝ 3ක් පිහිටුවා කෙටි කාලපරාසයක් තුළ තමා මගින් ඒවා විවෘත කිරීමට ඔහුට සහය දෙන ලදී. එසේම පුවත්පත්, ගුවන්විදුලිය සහ රූපවාහිනිය ඔස්සේ විශාල ප්‍රචාරාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. මෙය ඇඟලුම් කර්මාන්තයෙහි නියුක්තවූවන්, ඉහළම ව්‍යාපාරික ප්‍රමුඛයන් සහ ඇඟලුම් සංවිධානයේ සාමාජිකයන් මෙන්ම මධ්‍යම ප්‍රමාණයේ ආයෝජකයන්ගේ ඇස් අරවන්නක් මෙන්ම විශ්වාසය තහවුරු කරවන්නක් ද විය. ඔවුන් ඉතා ඉක්මනින් ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සඳහා ප්‍රදේශ ලබාගැනීමට ඉදිරිපත් වූ අතර ඇඟලුම් කම්හල් ක්ෂේත්‍රයේ නායකයකු වූ හයිඩ්‍රාමානි කර්මාන්තායතනය විසින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ කම්හල් 2ක් ගොඩනැගීම සඳහා ගිවිසුම් දෙකක් අත්සන් කරන ලදී. අනෙකුත් ආයෝජකයන් ඇඟලුම් ව්‍යාපෘතීන් ආරම්භ කිරීම සඳහා ආයෝජන මණ්ඩලය සමග පෙළගැසෙන්නට විය. මගේ කාර්යාලය ආයෝජකයන්ගෙන් පිරුණු අතර දිනපතා වැඩිවන අයදුම්පත් හමුවේ කාර්යමණ්ඩලය වේගවත්ව ආයෝජකයන් සඳහා සේවය සැපයීමට දිවා රාත්‍රී දෙකෙහිම වැඩ කළේය.

ග්‍රාමීය ගැහැනු දරුවන්ගේ කුසලතා භාවිත කරමින් තරගකාරී මිලකට අපනයන වෙළෙඳපොල සඳහා ඇඟලුම් නිෂ්පාදනයෙන් අමාරුවෙන් උපයාගත් විදේශ විනිමය ඇඟලුම් කම්හල් 200 වැඩසටහනින් ලැබූ සුවිශේෂ ජයග්‍රහණයන්ගෙන් එකක් වූ අතර කාර්මික සංවර්ධනයේ විප්ලවීය වෙනසක් කිරීමට සහ ජනාධිපතිවරයාගේ කළහැකිය (Can Do attitude) යන ආකල්පය ක්‍රියාවට නැංවූ පෞද්ගලික අංශයේ ආධාරය සහ සහයෝගය සහිතව ග්‍රාමීය ආර්ථිකය උසස් කිරීමට ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් සිදුකරනු ලැබූ දායකත්වයන්ගෙන් එකක්ද විය. පළමුවරට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාප වල කර්මාන්තශාලා මොනරාගල, බදුල්ල, තිස්සමහාරාමය, අනුරාධපුර, රත්නපුර, අවිස්සාවේල්ල, කුරුණෑගල, මහනුවර, ගල්නෑව, අම්පාර, නුවරඑලිය, මහියංගනය, වත්තේගම, දෙහිඅත්තකණ්ඩිය, රන්න, දික්වැල්ල සහ තවත් බොහෝ පළාත්වලට මාරුවනු අපි දුටුවෙමු. මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේ දැකනැති ප්‍රධාන ජයග්‍රහණයකි.

ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සමග සම්බන්ධවූවන් අද දේශීයව ඇඟලුම් කර්මාන්තයේ නායකයින් පමණක් නොව බොහෝ රටවල පැතුරුණු කම්හල් සහිත ගෝලීය නායකයෝද වෙති. මේ අතර MAS, Brandix, Hidramani, EAM Maliban group, Hela Clothing, Luky Industries, BAM Group, Orit Apparels, Star Garments, Smart Shirts, Penguin Sportswear, Omega Line, Vogue Tex, Timex Garments, Orit Apparel, Aitken Spence (Garments) සහ තවත් බොහෝ අයවෙති.

 

 ඇමරිකා එක්සත් ජනපද  ඇඟලුම් අපනයන කෝටාව (පංගුව) 

ග්‍රාමීය ආර්ථිකය සංවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ දුප්පත්කම තුරන් කිරීම සඳහාවූ උපායමාර්ගික මෙවලමක් ලෙස එක්සත් ජනපද ඇඟලුම් කෝටාව භාවිත කරමින් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපනයන ප්‍රවර්ධනය කළේය. ඉහළ අපනයනකරුවන්ගෙන් අයෙකු ලෙස හොඳින් ස්ථාපිත වීමට හැකියාව ලබාදුන් සහ කෝටා ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව පවා තරගකාරී මිලගණන් යටතේ ගුණාත්මක ඇඟලුම් නිෂ්පාදනය කිරීම අඛණ්ඩව කරගෙන යාමට හැකියාව ලබා දුන් මෙම ඇඟලුම් කෝටා ත්‍යාගයට එක්සත් ජනපද ආණ්ඩුවට ගෞරවය පුදකළ යුතුය.

ඇඟලුම් කම්හල් 200 වැඩසටහනට ආකර්ෂිත දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන්ට තෝරා ගත් ප්‍රදේශ මත පදනම් වෙමින් අපහසු නැති කාණ්ඩයට දුසිම් 10,000ක්, අපහසු කාණ්ඩයට දුසිම් 25,000ක් සහ වඩාත් අපහසු කාණ්ඩයට දුසිම් 50,000ක් ලෙසට එක්සත් ජනපද අපනයන කෝටා බෙදා දෙන ලදී.

ප්‍රේමදාස ජනාධිපතිවරයාට එක්සත් ජනපද ඇඟලුම් කෝටා භාවිත කරමින් ග්‍රාමීය ආර්ථිකය උසස් කිරීමට සහ කාර්මීකකරණය නගරයෙන් ගමට මාරු කිරීමට හැකියාව ලබාදීම පිළිබඳවද ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩුවට ගෞරවය පුදකළ යුතුය. උතුරින් වවුනියාවේ සහ නැගෙනහිරින් මඩකලපුවේ යුද්ධයෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවල ඇඟලුම් කම්හල් පිහිටුවීමට වැඩිවන කෝටා ප්‍රමාණය ලබාගන්නා ලදී.

ඇමරිකා එක්සත් ජනපද තානාපතිවරයා OPIC ආයෝජන දූතපිරිස සමග පුත්තලමේ ඉදිකළ ඇඟලුම් කම්හලක් නැරඹූ අතර ඉන් මහත්සේ පැහැදීමට පත්ව ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබාදීමට එකඟත්වය පළ කළේය. ඉන්පසු එක්සත් ජනපද ආයෝජකයන් ගොඩනැගූ හෝ ඔවුන් බද්ධව්‍යාපාරිකයන් ලෙස සම්බන්ධවූ කම්හල් විවෘත කිරීමේ අවස්ථා ගණනාවක් ඇය විසින් නිරීක්ෂණය කරන ලදී. 

දුප්පතුන්ට පක්ෂ දේශපාලන ප්‍රතිපත්තීන් ප්‍රගුණ කළ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ දැක්ම හේතුවෙන් ඇඟලුම් කර්මාන්තය ශ්‍රී ලංකාවේ විශාලතම කාර්මික ව්‍යාපෘතිය බවට පත්විය. පිට පළාත්වල කම්හල් පැනනැගීමත් සමග තම ගම් අතහැර කොළඹ සහ කටුනායකට පැමිණ අඩු ඉතුරුමක් සමගින් නවාතැන් ගත් කම්කරුවන්ට තම නිවෙස්වල සිට කම්හලට යාමට හැකිවූ අතර සැලකියයුතු මුදලක් නිවෙස් වෙත ගෙනයාමටද හැකිවිය.

ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඇඟලුම් අපනයන කෝටා සැපයූ ඇමරිකා එක්සත් ජනපද රජයට මෙය විශාල ගෞරවයකි.

ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අකල් මරණය සිදුවන අවස්ථාව වනවිට ඇඟලුම් කම්හල් ඉදිකිරීම සඳහා ප්‍රදේශ 160ක් වෙන්කර තිබූ අතර ප්‍රේමදාස ජනාධිපතිවරයා කම්හල් 117ක් විවෘත කර තිබුණි. එසේම 6ක් විවෘත කිරීමට සූදානම් කරතිබූ අතර කම්හල් 37ක් ඉදිකිරීම් යටතේ පැවතුණි.

ගෝලීය ප්‍රමිතීන් අත්පත් කර ගැනීම සඳහා සියලුම ආණ්ඩු විසින් ඇඟලුම් කම්හල් වැඩසටහන ආක්‍රමණකාරී අයුරින් අඛණ්ඩව කරගෙන යන ලදී. අද අපට බොහෝ හරිත ඇඟලුම් කම්හල් ඇත. වඩා විශාල ඇඟලුම් කම්හල් බොහොමයක් ඇඟලුම් කම්හල් 200 වැඩසටහන තුළ ආරම්භ වූ ඒවා වන අතර ශ්‍රී ලංකාවට ගෞරවය ගෙන දෙමින් ඒවා බහු ජාතික සමාගම් බවට පත්වී තිබේ. 

ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පසුව බලයට පත්වූ සියලු ආණ්ඩු විසින් සහයෝගය දක්වනු ලැබූ ව්‍යාපෘති කිහිපයෙන් එකක් වූයේ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනයි, 1991දී ඇඟලුම් අපනයන ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් ම්ලියන 764ක් වූ අතර ඇඟලුම් කම්හල් 200 වැඩසටහන ක්‍රියාත්මක කළවිට එය විශාල ප්‍රමාණයකින් වැඩිවිය. 2022 දී අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 5.483ක් දක්වා වැඩිවූ අතර 2023දී ශ්‍රී ලංකා අපනයන එක්සත් ජනපද ඩොලර් බිලියන 4.440ක් විය. මෙය 2022 හා සසඳන විට සියයට 19ක පහත වැටීමක් වූ අතර 2024දී එය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.700ක් එනම් සියයට 5ක වර්ධනයක් පෙන්නුම් කරයි. එක්සත් ජනපදයට කළ අපනයනය 2024දී එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් වූ අතර එය ආසන්න වශයෙන් සියයට 40ක් එනම් සැලකිය යුතු මට්ටමක පැවතුණි. ඇඟලුම් කර්මාන්තය ඉහළම කාර්මික අපනයන උපයන්නා වන අතර කාන්තාවන් විශාල ප්‍රමාණයක සේවායෝජකයාද වෙයි. එසේම ගෝලීය ප්‍රමිතීන් අත්පත් කරගැනීම සඳහා දැඩි පාරිසරික මෙන්ම සේවා තත්ත්වයන් සපුරාලන්නක්ද වෙයි. එනිසාම අද අපට බොහෝ හරිත කම්හල් ඇත.

1999දී ඇඟලුම් කම්හල් 200 වැඩසටහනට එක්වූ බොහෝ ඇඟලුම් කම්හල් ඔවුන්ගේ මෙහෙයුම් මෙතෙරට පමණක් නොව එතෙරටත් ව්‍යාප්ත කළ අතර දැන් ගෝලීය බහුජාතික සමාගම් බවට පත්වී ඇත. MAS, Brandix, හයිඩ්‍රාමනි ආයතන ශ්‍රී ලංකාවට මෙන්ම ඇඟලුම් කම්හල් 200 වැඩසටහනටද ගෞරවය ගෙන දෙයි. 

 

 දේශීය සහ විදේශීය  ආයෝජකයන්  ආකර්ෂණය  කරගැනීම සහ  ආයෝජන මණ්ඩලයේ  One Stop Shop සංකල්පය 

බදු දිරිදීමනා, ඉඩම්, විදුලිය, දුරකතන, ජලය, මාර්ග සහ වෙනත් ප්‍රතිලාභ වැනි යටිතල පහසුකම් ලබාදෙමින් සහ දුෂ්කර නොවන අය සඳහා දුසිම් 10,000ක්, දුෂ්කර අය සඳහා දුසිම් 25,000ක් සහ වඩාත් දුෂ්කර අය සඳහා දුසිම් 50,000ක් වශයෙන් තෝරා ගත් කාණ්ඩ සඳහා එක්සත් ජනපද අපනයන කෝටා ලබා දෙමින් දේශීය සහ විදේශීය ආයෝජකයින් ඇඟලුම් කම්හල් 200 වැඩසටහනට ආකර්ෂණය කරගැනීමට හැකිවිය.

මෙය ආයෝජන මණ්ඩලය කරදරයකින් තොරව ව්‍යාපෘති අනුමතකිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා One stop Shop සංකල්පය ක්‍රියාත්මක කළ කාලය විය. දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් සඳහා ව්‍යාපෘති අනුමතකිරීම් සහ ක්‍රියාත්මක කිරීම ආයෝජන මණ්ඩලයේ එක් වහලක් යට සිදුවිය.

ආයෝජන මණ්ඩලය සෘජුවම ජනාධිපතිවරයා යටතේ පැවතුණු බැවින් අප කෙරෙහි කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදුනොවූ අතර ස්ථාපිත නීති සහ නියාමන අනුව ඉලක්ක සහ අරමුණු අත්පත්කරගැනීම සඳහා එක් නායකයකු සමග අපට වැඩ කළ හැකි විය.

ඇඟලුම් කම්හල් 200 වැඩසටහනෙහි සාර්ථකත්වය වූයේ කිසිදු දේශපාලනික හෝ වෙනත් මැදිහත්වීමකින් තොරව ආයෝජන මණ්ඩලය යටතේවූ නීති සහ නියාමනයන් අනුව බදු දිරිදීමනා ප්‍රදාන, එක්සත් ජනපදයට රෙදිපිළි කෝටා, ආයෝජන මණ්ඩලයේ සහය මත ශ්‍රමය සොයා ගැනීම, ආයෝජකයන්ට බැංකු මගින් ණය සහ වෙනත් පහසුකම් සැපයීම, විදේශීය ආයෝජකයන් සහ කම්කරුවන් සඳහා ආයෝජන මණ්ඩලය මගින් වීසා සහන ලබාදීම සහ ව්‍යාපෘති විවෘත කරන අවස්ථාවලදී සුඛෝපභෝගී බෙන්ස් රථයක් ප්‍රදානය කිරීම වැනි කාරණාවලින් ව්‍යාපාර කිරීමේ පහසුවක් ඇති වීමයි. 

ප්‍රේමදාස ජනාධිපතිතුමා කිසිදු දේශපාලනික මැදිහත්වීමක් නොඉවසූ අතර ඡන්ද කොට්ඨාශවල දේශපාලනඥයන්ගේ ගැටලුවලට අප මැදිහත්වූයේද කලාතුරකිනි. 

ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන්, කළමනාකාරිත්වය සහ කාර්යමණ්ඩලය තම කාර්යයන් විශිෂ්ට ලෙස ඉටුකිරීම පිළිබඳව පැසසුමට ලක්විය යුතුය. කම්හල් පරිශ්‍ර නිරීක්ෂණය කර ජනාධිපතිවරයාට වාර්තා කිරීමේ වගකීම පවරා තිබූ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති DDG බිමල් පද්මපෙරුම මහතා, ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරුන් මෙන්ම ටියුලි කුරේ, ජෝන් සිල්වා, ජී.එල්. පෙරේරා, නීති අධ්‍යක්ෂ සෙනෙවිරත්න, එච්.බී. මාසිංහ, එල්.ඩී. ඩික්මන්, සුනිල් ප්‍රනාන්දු, ගෞරි රාජපක්ෂ, ශ්‍රියා අහංගම, රූපා පෙරේරා, චන්දන පීරිස්, පීලික්ස් පෙරේරා, දයා ගුණසේකර, මර්වින් සිල්වා, රන්ජන් සිරිවර්ධන, කුලසේකර යන කාර්යමණ්ඩලය සහ විවිධ අමාත්‍යාංශවලින් අනුයුක්ත කරනු ලැබූ තවත් බොහෝ දෙනෙක් ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සාර්ථක කිරීම සඳහා ප්‍රධාන භූමිකාවක නිරත වූහ.

ඇත්ත වශයෙන්ම මෙයින් පෙන්නුම් කළේ නිවැරැදි මෙහෙයවීම සහ අධිකාරිත්වය ලැබෙන විට පෞද්ගලික අංශයේ කළමනාකාරිත්වයට අඛණ්ඩතාව සහ අවංකත්වය පවත්වා ගනිමින් අප රටෙහි ආර්ථික සංවර්ධනය සඳහා ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළහැකි බවයි.

ආයෝජන මණ්ඩලය ආයෝජකයන්ගේ සියලු අවශ්‍යතා සපුරාගැනීමට පැමිණිය හැකි සහ සෑම දෙයක්ම එකම තැනකින් කරගතහැකි (One stop Shop) ස්ථානයක් විය. ආයෝජකයන්, ආණ්ඩුවේ අමාත්‍යාංශ, බැංකු සමග අප පැවැත්වූ බොහෝ රැස්වීම් ප්‍රේමදාස ජනාධිපතිවරයා ඔහු විසින්ම මෙහෙයවනු ලැබූ අනෙක් රැස්වීම් මුදල් ලේකම් සහ මම මෙහෙය වූවෙමු. සියලු රැස්වීම් කතා සාප්පු නොවූ අතර ආයෝජකයන්ගේ ගැටලු විසඳූ ක්‍රියා පාදක කොටගත් ඒවා විය.

සියලුම ව්‍යාපෘති නිදහස් වෙළෙඳකලාපවලින් පිටත වූ අතර (One stop Shop) සංකල්පය යටතේ වෙනමම ස්ථාපිත කළ රේගු නිෂ්කාශන මධ්‍යස්ථානයක් මගින් ආයෝජකයන්ගේ ආනයන අපනයන කාර්යයන් වේගවත් කිරීම සඳහා ඔවුන්ට සහය වන ලදී. 

ප්‍රේමදාස ජනාධිපතිතුමා කම්හල් විවෘතකිරීමට දින දෙනු ලැබූ ආයෝජකයන්හට ආරාධනය කරමින් නිතර සුචරිතයෙහි පැවැත්වූ රැස්වීම් මට සිහිපත්වෙයි. මෙහිදී ආයෝජකයන්ගේ ගැටලු වූයේ නම් ක්ෂණිකව ඒවාට විසඳුම් ලබාදුණි. නිතරම මෙම රැස්වීම්වලට විදුලි බල මණ්ඩලය, මහාමාර්ග සහ ජලසම්පාදන මණ්ඩලය සභාපතිවරුන් පැමිණ සිටි අතර මේවා ආයෝජකයන්ගේ ප්‍රධාන අවශ්‍යතා තුන විය. විදුලි සැපයුම, මංමාවත් සහ ජල සැපයුම සම්බන්ධයෙන් ආයෝජකයන්ට යම් ගැටලුවක් වූයේ නම් ඒ සඳහා විසඳුම් ලබාදීමට ඔවුහු සුදානමින් සිටියහ.

විශේෂයෙන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති සඳහා ඉඩම් පැවරීම පිළිබඳ කරුණු විමසුමට භාජන කළ කැබිනට් අනුකමිටුව සමග සතිපතා පැවැති රැස්වීම් ගැටලු නිරාකරණය කිරීමේ වෙනත් මාධ්‍යයක් වූ අතර කැබිනට් අනුකමිටුවේ නිර්දේශය මත අනුමතිය සඳහා කැබිනට් පත්‍රිකා බොහෝ ගණනක් ඉදිරිපත් කරන ලදී.

මෙතෙක් දේශීය හෝ විදේශීය ආයෝජකයන් නොසිතූ ග්‍රාමීය ප්‍රදේශවල කර්මාන්ත ශාලා ඉදිකිරීමට එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, හොංකොං, සිංගපූර් සහ ජර්මනියෙන් ආයෝජකයන් අපට ලැබුණි.

ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේදී සියලු නිල විවෘතකිරීම් සඳහා අභාවප්‍රාප්ත ජනාධිපතිවරයා සහභාගිවූ අතර සියලු ආයෝජකයන්ට ඔහු විසින් විවෘතකිරීමේ දින ලබාදෙන ලදී. නියමිත දිනයේදී තම කර්මාන්තශාලාව විවෘතකිරීම සඳහා ඔවුන්ට වේගයෙන් වැඩ කළයුතු විය. කර්මාන්තශාලාවක් විවෘතකිරීමට පෙර එය සනිටුහන් කිරීම වෙනුවෙන් සියලුම ප්‍රදේශවල අලුතින් ඉදිකළ ඔරලෝසු කණුවක් ජනාධිපතිවරයා විසින් විවෘත කරන ලදී. මෙම ඔරලෝසු කණු කොළඹ කොටුවෙහි වූ කීර්තිමත් ඔර්ලෝසු කණුවට සමාන විය.

ගැහැනුන්ගේ යට ඇඳුම් සාදන්නක් යයි කියමින් විරුද්ධ පාක්‍ෂිකයෝ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන සමච්චලයට ලක් කරන ලදී. සමහර අර්ථශාස්ත්‍රඥයන් පැවසුවේ එය විශ්වාසය තැබිය නොහැකි අස්ථාවර එකක් බවයි. කෙසේවුවද ප්‍රේමදාස ජනාධිපතිවරයා ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව රටෙහි සහ එහි වැසියන්ගේ යහපත පිණිස ආයෝජකයන්ගේ සහය ඇතිව නිවැරැදි තීරණය ගත්තේය. 

 

 නව අභියෝගවලට සහ  ට්‍රම්ප්ගේ සියයට 44ක තීරු  බදු වැඩිවීමට මුහුණ දීමේ  හදිසි අවශ්‍යතාව 

ජනාධිපති ට්‍රම්ප්ගේ සියයට 44 දක්වා තීරු බදු වැඩිකිරීම සහ පසුව දුන් දින 90ක සහන කාලයට මුහුණදීමේ අතිදුෂ්කර කාර්යයක් වර්තමාන ආණ්ඩුව හමුවේ පවතී. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන විශේෂයෙන් ඇඟලුම් ආරක්ෂා කර ගැනීම, රැකියා අහිමිවීම, ආර්ථික අස්ථාවරත්වය වලක්වා ගැනීම සහ විදේශ විනිමය හිඟවීම සඳහා විසඳුමක් සොයා ගතයුතුය.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය තිරසාරභාවය දෙසට යොමුවන බවත්, පරිසර හිතකාමී නිෂ්පාදන පරිචයන්ට, සදාචාරාත්මක ශ්‍රම ප්‍රමිතීන්ට සහ පාරිසරික වගකීමට අනුගතවී ඇතිබවත් අප අවධානයට ගතයුතුය. තිරසාර පරිචයන් සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම බොහෝ කම්හල් Global Organic Textile Standard (GOTS)  සහතික ලබා ගැනීමෙන් සහ හරිත නිෂ්පාදිත ශිල්පික්‍රම භාවිතයෙන් අවබෝධ කරගත හැකිය. තීරු බදු සහන ආපසු ලබා ගැනීම සඳහා වන සාකච්ඡාවලදී මේවා ප්‍රයෝජනවත් සාධක වෙයි.

කුසලතාව අධිෂ්ඨානය සහ නිපුනත්වයෙන් කටයුතු කරන ඇඟලුම් කම්හල් නායකයන් සමග නිවැරැදි සහ කාලීන සාකච්ඡාවලින් අනතුරුව ඉහත සඳහන් කරුණු රජය අවධානයට ගනු ඇතැයි මම විශ්වාස කරමි. ඒ මගින් ඇමරිකා එක්සත් ජනපදය සමග පවතින දිගුකාලීන සබඳතාව හරහා බදු වැඩිකිරීම ඉවත්කර ගැනීම සඳහා වූ ඵලදායි සාකච්ඡා පැවැත්වීමට හැකි වනු ඇත. 

මුල් යුගයේ සිට ඇඟලුම් කර්මාන්තය ගොඩනැගූ සහ පෝෂණය කළ විපක්ෂය දැඩි අවශ්‍යතාවක් පැන නැගී ඇති මෙම අවස්ථාවේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ස්ථිර ලෙස කැපවූ මූලධර්මය වන රටෙහි සහ එහි ජනතාවගේ යහපත පිණිස රජයට සහයෝගය ලබා දෙයි. ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇමරිකා එක්සත් ජනපද ඇඟලුම් කෝටාවල සහයෝගය ඇතිව ඇඟලුම් කර්මාන්තය නගාසිටුවීම සඳහා ආදර්ශවත් නායකත්වයක් ප්‍රදර්ශනය කළේය.

 



අදහස් (0)

ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්තිය: ඇඟලුම් කර්මාන්තයේ ජනපති ප්‍රේමදාස ආදර්ශය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැකි නම් විකල්ප අවශ්‍යයි
2025 අප්‍රේල් මස 30 15 0

ශ්‍රී ලංකා රජය ආදායම වැඩිකර ගැනීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සතුටුදායක මට්ටමක පවතින නමුත් බලාපොරොත්තු වූ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නොහැක


DFCC බැංකුව AFC හරිත බැඳුම්කරවල රුපියල් මිලියන 500ක් ආයෝජනය කරයි
2025 අප්‍රේල් මස 30 14 0

DFCC බැංකුව, එලායන්ස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී (AFC) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහිදී පසුගියදා නිකුත් කළ හරිත බැඳුම්කර තුළ රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු ක


ලංකා බැංකුවෙන් රුපියල් බි. 666 ඉක්මවූ අවුරුදු ගනුදෙනු
2025 අප්‍රේල් මස 30 12 0

ලංකා බැංකුව 2025 අලු‍ත් අවුරුදු සමයේ රුපියල් බිලියන 666 කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමෙන් මෙරට බැංකු ක්ෂේත්‍රයේ සිය නායකත්වය නැවතත් තහවුරු කිරීමට සම


2025 -26 වර්ෂවලදී ආර්ථික සංගණනයක්
2025 අප්‍රේල් මස 30 12 0

2025 සහ 2026 යන වර්ෂවලදී ආර්ථික සංගණනය පැවැත් වීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.


උසස් අධ්‍යාපනය නැංවීමට සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය සමග ගිවිසුමක්
2025 අප්‍රේල් මස 30 9 0

උසස් අධ්‍යාපන සහයෝගීතාව උදෙසා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත


රාජ්‍ය ව්‍යාපාර කළමනාකරණ කෙටුම්පත වැඩිදියුණු කිරීමට කමිටුවක්
2025 අප්‍රේල් මස 30 8 0

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 216 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 62 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1090 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site