සාරා කන්දෙගොඩ
2025 වසර සඳහා අයවැය යෝජනා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබ. 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය රටක පැවැත්ම ඉදිරි පැවැත්ම ගැන දර්ශනයකි. එය හුදෙක් අමාත්‍යාංශවලින් කරන දේ ප්‍රකාශයට පත් කිරීම පමණක් නොවේ. මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩු අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ගැන අවබෝධයක් සමාජයට තිබුණි. ජනාධිපතිවරණය හා පසුව පවත්වන ලද මහ මැතිවරණය ඉහළින් ජයගත් ජාතික ජන බලවේගය රට ඉහළට ඔසවා තබන ප්‍රතිපත්ති කෙරෙහි විශේෂ අවධානයක් දෙස් විදෙස් ප්‍රජාව තුළ තිබුණි. කෙසේ වෙතත් අයවැය අවසන් වූ පසු පුරුදු ධනවාදී ආර්ථික සැලැස්ම තවදුරටත් දිගටම අනුගමනය කරන ප්‍රකාශන පමණක් ඉදිරියට පැමිණ තිබේ.
අයවැය කෙරෙහි ආණ්ඩුව තුළ සැලකිය යුතු ප්‍රගති ලක්ෂණ තිබිය හැකි නමුත් විපක්ෂ දේශපාලන පක්ෂ මෙහි සැලකිය යුතු කරුණු ඇති බවක් නොදක්වන්නට ඉඩ තිබේ. එහෙත් ආයෝජන සම්බන්ධයෙන් ඇති කරන අවස්ථා, ඩිජිටල් ආර්ථිකය, දූෂණ තුරන් කරන පිළිවෙළට, රජයේ සේවකයන්ට ලබාදුන් වැටුප්, රජයේ ආයතන සඳහා පරිපාලිත සභාවක් ඇති කිරීම, ඌණ භාවිත ඉඩම් ප්‍රයෝජනයට ගැනීම ඇතුළු අංශ ගණනාවක් සැලකිය යුතු ආකාරයකින් ආර්ථිකය ඉදිරියට ගෙන යන තල්ලුවක් ඇති කරනු ඇතැයි විශ්වාස කළ හැකිය. සමස්ත අයවැය ගැන කෙසේ වෙතත් තෝරාගත් අංශ කිහිපයක් ගැන ගැඹුරින් සොයා බැලීම සුදුසුය.
පැමිණි ගමනේ පැවැති අකටයුතුකම් ඇතිකළ රාමුව
අයවැය ප්‍රවේශයේදී මෙතෙක් ශ්‍රී ලංකාවේ අනුගමනය කරන ලද ක්‍රමවේද හේතු කරගෙන නිර්මාණය වූ දූෂිත පාලනය, අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති, වගකීම් විරහිත රාජ්‍ය මූල්‍ය කළමනාකාරීත්වය තද දෝෂ දර්ශනයකට ලක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරවල සිය කුටුම්භ දක්වා සියලු අංශ පීඩාවට පත්ව තිබුණු බව දැක්වීය. ආණ්ඩු බලය ලබාගන්නා අවස්ථාවේදී ඇති කරන ලද භීතිය මගින් පොලිය, රුපියලේ අගය, ණය ආපසු ගෙවීම හා ආර්ථිකය හැඩගසා ගැනීම වැනි කරුණු සම්බන්ධයෙන් අසමත්භාවයක් ගැන කරුණු මතු කරන ලද නමුත් ඒවා වළකා ගන්නට සමත් වීම ගැන ද විශේෂයෙන් හුවා දැක්වීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිබුණු අවදානම් සහගත තත්වයෙන් ගැලවී ඇති අතර ජාත්‍යන්තර ප්‍රජාව විශ්වාස කරන පදනමක් දක්වා කැඳවන්නට සමත්ව තිබේ. 2024 වසරේ අවසන් කාර්තුවේ වර්ධනය සියයට 5.5 ක් විය. විදේශ ණය ආපසු ගෙවන ක්‍රමවේදය අනුමත කරගත් අතර එම ණය ආපසු ගෙවන කාලසීමාවට එකඟ වී තිබේ. පොලී අනුපාත පාලනය කරගැනීමට හා විදේශ විනිමය සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.1 දක්වා ගෙනැවිත් රුපියලේ අගය ස්ථාවර කරගන්නටද මෑත කාලය තුළ අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවලට හැකියාව ලැබී ඇත. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මාස හතළිස් අටක් දක්වා විහිදෙන විස්තීරණ ණය වැඩසටහනක් අනුමත කළ අතර එහි ප්‍රතිඵල අනුව ආර්ථිකය සියයට තුනක පමණ වර්ධනයක් අපේක්ෂා කළේය. කෙසේ වෙතත් එම අගය ඉක්මවන වර්ධනයක් ඉකුත් වසරේ අවසන් කාර්තුවේ ලබාගෙන ඇති අතර 2025 වසර තුළ සියයට පහක වර්ධනයක් ඉලක්ක කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති හා මුදල් ඇමැති අනුර දිසානායක මහතා පෙන්වා දුන්නේය. මහජනතාව විඳින පීඩනය අඩු කරන සුබසාධනය පවත්වාගෙන යන අතර වර්ධනයක් සඳහා බලාපොරොත්තු ඉදිරිපත් කිරීම සැලකිය යුතු කරුණක් වශයෙන් සඳහන් කළ හැකිය.
පැරණි ආණ්ඩුවල අයවැය හා සමානව අමාත්‍යාංශවල වැඩ කටයුතු රජයේ ප්‍රතිපත්තිවලට වඩා ඉදිරියෙන් හුවා දැක්වීමද මෙහිදී නිරීක්ෂණය කළ හැකි වූ අතර එය සම්ප්‍රදායික රාමුව ආරක්ෂා කරගැනීම විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති එකඟතා තවත් මාස විසි හතරකට තිබියදී එම ව්‍යුහය ඉක්මවා දැවැන්ත සංශෝධනවලට ගමන් කිරීමට උත්සාහ නොකර ආරක්ෂිත පියවරකට යන බවක් අයවැයෙන් විද්‍යමාන කෙරේ.
නිෂ්පාදනය අපනයනය හා ඩිජිටල් ආර්ථිකය
ඩිජිටල් ආර්ථිකය කෙරෙහි ආණ්ඩුව මහත් බලාපොරොත්තු තබා තිබේ. ඩිජිටල් හැඳුනුම්පත වේගවත් කරන අතර දත්ත පද්ධති ඇතිකර ඒවායෙන් මිනුම් ගැනීමට උත්සාහ කරන බව දැක්වේ. සේවා පද්ධති ආරක්ෂා කරන්නට ආයෝජනයක් කරන බව අනාවරණය කළේය. මුදල් පරිහරණය අවම කරන තැනට තීන්දු ගැනීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ආර්ථිකයෙන් සියයට පහළොවක් දක්වා ඩිජිටල් ආර්ථිකයේ දායකත්වය ඉලක්ක කර ඇත. පසුගිය වසරේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් අංශයේ අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියනයකි. එය බිලියන පහක් දක්වා නංවන බව අයවැය ප්‍රකාශ කරන ලද අතර එය මෙරට ඇඟලුම් අපනයන ආදායමට පමණක් දෙවැනි වනු ඇති බව දැක්විය හැකිය. සංචාරක ආකර්ශනයට, සංචාරකයන් සඳහා සේවා සැපයීමට, ව්‍යවසායකත්වයට සහ විශේෂයෙන් ජන ජීවිතය ඔසවා තබන්නට ඩිජිටල් ක්‍රමවේද අපේක්ෂා කරයි. එවැනි පරිවර්තනයකින් ලබාගත හැකි අවස්ථා වඩාත් ආකර්ශනීය වන බව සඳහන් කළ හැකි අතර දැවැන්ත උපායමාර්ගික වෙනස්කම් ඇති කරන්නට අයවැය මගින් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන තුන්සියයකි.
ජාතික අපනයන සැලැස්මක් යෝජනා කරන අතර කුඩා, මධ්‍ය හා මහා පරිමාණ ආයෝජන අංශ දිරිමත් කරන්නට අදහස් කරන බව දැක්වේ. උසස් අමුද්‍රව්‍ය දැරිය හැකි මිලකට ලබාගත හැකි පරිදි අපනයන අංශ වෙත පහසුකම් සලස්වන අතර රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් තවත් වැඩිකර ගැනීමටත් අයවැය මගින් යෝජනා කර ඇත. ජාතික තනි අපනයන කවුළුවක් මගින් දැනට ඇති ඇතැම් විෂමතා තුරන් කරන්නට අදහස් කරන බව ප්‍රකාශ වූ අතර එය ඉතා වැදගත් අදහසකි. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ගැනද ජනාධිපති හා මුදල් අමාත්‍යවරයා අදහස් දැක්වීය. එය පසුගිය ආණ්ඩුව සිය විධායක බලය අනුව ආයෝජන මණ්ඩලය වැනි ආයතන අහෝසි කර ජනාධිපති කාර්යාලයට තීන්දු ගැනීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් විය. ජාතික ජනබලවේගය සිය ජනාධිපතිවරණ වේදිකාවේදී මෙම පනත ගැන විවේචනය කළ අතර එහි ආර්ථික කමිටුව පනතට එරෙහිව අධිකරණයට යන බව අවධාරණය කළ බව මතක් කළ යුතුය. 2025 අයවැය ඉදිරිපත් කරන අනුර කුමාර දිසානායක මහතා පැහැදිලිවම එම පනත සංශෝධනය කර ඉදිරියට ගෙන යන බව සඳහන් කළේය. අලුත් සංශෝධන මගින් ආර්ථික පරිවර්තනයකට ඇති කරන විභවය ඉදිරියේදී අනාවරණය වනු ඇත.
ආනයන හා අපනයන සඳහා වැදගත් වන රේගු පනත සංශෝධනය කරන අතර ජාතික තත්ව පාලන කළමනාකරණ පනතක් ඉදිරිපත් කරනු ඇත. මෙරටට ගෙන්වන අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා මෙවලම් සම්බන්ධයෙන් අය කරන තීරු බදු සාකච්ඡා කරන අතරවාරයේ මෙරටින් යැවෙන නිෂ්පාදන ඉහළ තත්වයකට කැඳවීම කාලෝචිතය. රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය, පරිසර හිතකාමී නිෂ්පාදන සඳහා කලාප ඇති කිරීම, ව්‍යවසාය සඳහා රජයේ ඉඩම් බදු දෙන ක්‍රියාමාර්ග ගැනීම ඉතා සුදුසු අංශ වශයෙන් අයවැය තුළ ඇතුළත්ය. මේවා කාලයක් ගන්නා යෝජනා බැවින් වහාම ප්‍රතිලාභ අපේක්ෂා කිරීම පහසු නැත.
කොළඹ උතුර වරාය සංවර්ධනය හා තෙල් ටැංකි
කොළම වරායේ කටයුතු පුළුල් කිරීම ගැන අයවැය යෝජනාවල කරුණු දැක්වීය. නැගෙනහිර හා බටහිර පර්යන්තවල පමණක් නොව බටහිර දෙවැනි අදියරද ඉදිරියට ගෙන යන ආකාරය ගැන ආණ්ඩුවට අදහසක් තිබේ. අලුත් ආයෝජනයක් වශයෙන් කොළඹ වරායේ උතුර සංවර්ධනය කිරීමට යෝජනා කැඳවන්නට සූදානම් බව හෙළි කරන ලදී. වරාය පුළුල් වන අතර කන්ටේනර් පරීක්ෂා කරන ක්‍රමවේද නවීකරණයටත්, ගබඩා පහසුකම් දියුණු කිරීමටත් ආණ්ඩුව සූදානම්ය. වරාය තදබදය ලිහිල් කිරීම සඳහා පරීක්ෂා කිරීමේ ක්‍රමවේද ඩිජිටල් කරන බව හෙළි කළේය.
වරාය හා ගුවන් තොටුපොළ මෙරට ආනයන හා අපනයන අංශවලට ඉතාම වැදගත් වන අතර ඒවායේ දියුණුවට තීන්දු ගත යුතුව තිබේ. කෙසේ වෙතත් රට තුළ කරන නිෂ්පාදනය ඉතාම වේගයෙන් වර්ධනය වන තෙක් ප්‍රතිඅපනයන මධ්‍යස්ථාන වනු ඇත. දැනටමත් කොළඹ වරායේ මෙහෙයුම්වලින් සියයට හැටක් පමණ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන කන්ටේනර් බව වාර්තා දක්වයි. කොළඹට ගෙන එන කන්ටේනර් නැවත කුඩා නැව්වලට පැටවීම වෙනුවට කෙළින්ම දුම්රිය මාර්ග භාවිත කර ඉන්දියාවට යැවීම යෝජනා වී තිබේ. එය වියදම් අඩු ක්‍රමයකි. ජනාධිපතිවරයාගේ ඉන්දියානු නිල සංචාරයේදී ද දෙරට අතර සම්බන්ධතාව ගැන සාකච්ඡා වී ඇත. ගොඩබිමෙන් සම්බන්ධ කිරීම ගැන එපමණ තියුණු අදහසක් ආණ්ඩුවට නැත. වරාය මෙහෙයුම්වලදී පිරිවැය ඉහළ ගියහොත් විකල්පයක් වශයෙන් තමන්ගේ වරාය ගැඹුරු කරන අතර අන්දමන් දූපත්වල තමන්ටම ගැඹුරු වරායක් ඉන්දියාව යෝජනා කරයි. එම වරාය ඉදිකළහොත් මෙරට වරාය මෙහෙයුම්වලින් කොටසක් අඩු වේ. කොළඹ වරාය පුළුල් කරන අතරවාරයේ පිරිවැය අඩු කර වේගයෙන් ඉන්දියාවට කන්ටේනර් යැවිය හැකි ක්‍රම අධ්‍යයනය කළ යුතුය.
ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිවලින් දැනට ඉන්දියන් ඔයිල් සමාගමට බැහැරව ඇති ප්‍රමාණය සඳහා ආයෝජන අවස්ථා ගැන සොයන්නට ආණ්ඩුව සූදානම්ය. එය නැගෙනහිර පළාතේ සංවර්ධනයට හේතු වේ. කෙසේ වෙතත් ඛනිජ තෙල් පිරිපහදුව හා ගබඩා සඳහා අලුත් ආයෝජන ලබාගැනීම පහසු නැත. ශ්‍රී ලංකාවේ තෙල් බෙදාහැරීමට සූදානම් වූ ඔස්ට්‍රේලියානු සමාගම එයින් ඉවත්ව සිටී. චීන සංචාරය අතරතුර ජනාධිපතිවරයා අත්සන් කරන ලද ගිවිසුම අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදි කෙරේ. මෙයට අමතරව තවත් සමාගමක් ත්‍රිකුණාමලයට කැඳවන යෝජනාව දිගු කාලයක් ගතවන අංශයක් සේ බැහැර තැබීමට සිදුවේ.
විශ්‍රාමිකයන්ට සහන තවත් බැංකුවක් සමග ණය ඇපකර
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ආණ්ඩුව සියයට තුනක අමතර පොලියක් යෝජනා කරයි. එය සඳහා වසරකට රුපියල් මිලියන පහළොස් දහසක මුදලක් අයවැය මගින් වෙන් කර ඇත. සැලකිය යුතු පිරිවැයකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පැරණි ණය ගෙවීම සඳහා රුපියල් මිලියන විසි දහසක් වෙන් කර ඇත. පොහොර සහනාධාරය සඳහා වෙන් කරන මුදල රුපියල් මිලියන තිස්පන් දහසකි. මෙම ඉලක්කම් අනෙක් යෝජනා සමග සැසඳිය යුතු වේ. ජාතික තත්ව පාලනයට රු. මිලියන හත්සිය පනහක්, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනගන්නට රු. මිලියන තුන් දහසක්, නවෝත්පාදන හා නව නිපැයුම් සඳහා රුපියල් මිලියන දහසක්, කිරි නිෂ්පාදනය නංවන්නට රු. මිලියන දෙදහස් පන්සියයක්, දුම්රිය ගැල් අලුත්වැඩියාව හා ආශ්‍රිත කටයුතු සඳහා රු. මිලියන පන්සියයක් හා බස් සියයක් මිල දී ගැනීමට රු. මිලියන තුන් දහසක් වෙන් කරන බව දැක්වේ.
ගුවන්යානා පොලිය නතර කරන වැඩපිළිවෙළකින් දුම්රිය හෝ බස් ගමනාගමනයෙහි ඇති කළ හැකි පරිවර්තනය ගැන අවධානයක් යොමු කර නැත. රාජ්‍ය ආයතන ගැන තීන්දුවක් ගත යුතු බවට මූල්‍ය අරමුදල සමග එකඟතාවක් ඇත. එය පසෙක තිබියදී සමහර ආයතන ඒකාබද්ධ කරන හා තවත් ආයතන අහෝසි කරන බව පමණක් දක්වා තිබේ. මෙකී ප්‍රතිපත්තිය මත රජයේ වියදම අලාභ ලබන ආයතනවලට නැවතත් බැරවීම වැළැක්විය නොහැකිය. කාර්යක්ෂමතාව හෝ වෙනස් පද්ධති ඉතිහාසයේ සිට සලකා බලා ඇති බව අමතක කළ යුතු නැත.
රාජ්‍ය බැංකු සමග පරිපාලනය වන අලුත් ණය ඇපකර බැංකුවක් අයවැය යෝජනාවකි. එමගින් ණය ලබාගන්නා ව්‍යවසායකයන්ට ඇපකර යෝජනා කරන බව පෙනේ. ව්‍යවසායකත්වය ඇති කිරීම අවශ්‍යය. ව්‍යවසායකත්ව බැංකු ක්‍රමයක් සුදුසුය. රාජ්‍ය බැංකු මෙකී කර්තව්‍ය සඳහා ඈඳා ගැනීම තුළ ප්‍රශ්න තිබේ. දැනටමත් රජයේ බැංකු අකාර්යක්ෂම හා ඒවායේ ක්‍රියාකාරීත්වය හේතු කොටගෙන සිදුවන අවාසි ගැන රජයට අවබෝධයක් ඇති බව නිසැකය. රජයේ බැංකු කාර්යක්ෂම හා ප්‍රතිව්‍යුහගත කරන යෝජනා තිබේ. විවෘත ආර්ථික ක්‍රමය, එහි තරගකාරීත්වය හා මෙතෙක් පැවති රාමුව තුළ ගමන් කරන ආණ්ඩුවක් වශයෙන් රාජ්‍ය බැංකු ගැන තීරණ ගැනීමද වැදගත් වේ. අයවැය මගින් විදුලිය බල පනත සංශෝධනය කරන්නට යෝජනා කරන අතර එයට සමාන්තරව අකාර්යක්ෂම අනෙක් අංශ ද අවධානයට ගැනීම වැදගත් වේ.
ශ්‍රී ලංකාව ඉතිහාසයේ සිට විවිධ ණය යෝජනා ක්‍රම යටතේ තරුණ, කාන්තා හා වෙනත් විශේෂිත ණය අඩු පොලි යටතේ ලබා දී ඇති අතර ඒවායෙන් ලබාගත් පිටිවහල ගැන නිවැරදි දත්ත නැත. අවාසිය ආණ්ඩු පවරාගෙන ඇත. වාණිජ බැංකු ඒවා බොල් ණය වශයෙන් පැත්තකට දමා තිබේ. සුළු ණය ආපසු නොගෙවීම හේතු කොටගෙන නඩු පැමිණවීමටද නොහැකි වී ඇත. මෙම පැති සලකා බලා අලුත් ඇපකර බැංකුව නිර්මාණය කිරීම සුදුසු වේ.
රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය (ppp) සම්බන්ධව නව පනතක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(17)
ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඊයේ (17) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර මෙවර සමස්ත අයවැය හිඟය රුප
මෙම වසරේ ලක්ෂ 25 ඉක්ම වූ සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බව අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.
වී ගොවිතැන ආරක්ෂා කිරීමට මෙවර අයවැයෙන් තීන්දු රැසක් ගෙන ඇති බවත් 2024 - 2025 මහ කන්නයේ සිට ප්‍රමාණවත් වී තොග පවත්වාගෙන යෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා ප්
කොටුව දුම්රිය ස්ථානයත් කොළඹ වරායට මැදිව අතීතයේ සුන්දර මල්වත්තක් වුණු අද මහ වීදිය දක්වා විහිදෙන මල්වත්ත පාර අද වන විට සපත්තු හා බෑග් වෙළෙඳාමට නම් දැරූ
2025 වසර සඳහා අයවැය යෝජනා ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ඊයේ (පෙබ. 17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අයවැය රටක පැවැත්ම ඉදිරි පැ
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
2025 අයවැයේ දිශානතිය