නිදහසෙන් පසු බලයට පත් වූ විවිධ ආණ්ඩු මගින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති වල පැවති ව්‍යුහාත්මක හා මූලධර්ම දෝෂ සහ නිවැරදි නොවූ ආර්ථික කළමනාකරණය හේතුවෙන් දිගින් දිගටම ලංකාවේ ආර්ථික ගැටලු ගණනාවක් නිර්මාණය වෙමින් පැවැතිණ. එහි උච්චතම අවස්ථාව එළැඹෙන්නේ 2022 වසරේ මුල් භාගයදී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බවට පත්වීමත් සමගය.
2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් බව ප්‍රකාශයට පත්කිරීමත් සමගම මෙරට ඉතිහාසයේ රටක් හැටියට අප මුහුණ දුන් බරපතළම සමාජ-ආර්ථික අර්බුද ගණනාවකට මුහුණ දෙන්නට අපට සිදුවිය. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළ පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 51 කට අධික විදේශ ණය සේවාකරණය තාවකාලිකව අත්හිටුවීමට 2022 අප්‍රේල් මාසයේ දී රජය තීරණය කර තිබුණි. අප්‍රේල් මාසය තුළ ගෙවිය යුතුව තිබූ ස්වෛරීත්ව ණය වාරික සහ පොලිය ගෙවීම සඳහා 2022 මැයි මාසය 12 වැනිදා දක්වා කාලය හිමිවුවද, 2022 මැයි මාසය තුළදී ද එම ගෙවීම් පැහැරහැරීම හේතුවෙන් එදින සිට ශ්‍රී ලංකාව නිෂ්චිත වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බව නම් කෙරුණි. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 ජූලි මාසය වනවිට අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වෙමින් ජනතාවට දැනෙන දැඩි ආර්ථික අර්බුදයක ආරම්භය සටහන් විය. එයින් මාස 20 කට පසුව වුවද මෙරට සියලුම පුරවැසියෝ එහි ප්‍රතිවිපාක අඩුවැඩි වශයෙන් අත්විඳිමින් සිටිති.
ඉතා වේගයෙන් ඉහළ ගිය භාණ්ඩ හා සේවාවල මිල මට්ටම (උද්ධමනය), රටේ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව තිරසාර නොවූ අධික ණයබර, ව්‍යවස්ථාපිත සංචිත සිඳීයෑම සහ එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය යනාදී කරුණු කාරණා හේතු කොට ගෙන රටේ ජනතාව වීදි බැස පැවති රජයට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කිරීමට පවා පෙළඹුණහ.
එම පරිසරය තුළ රටේ පැවති ආර්ථික ගැටලු විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහයෝගය ලබා ගැනීමට එවකට පැවැති රජය තීරණය කරන ලදී. එම තීරණය දැඩි ලෙස විවාදාත්මක තීරණයක් වූ අතර, එයට ප්‍රධානම හේතුව වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ යම් යම් කරුණු කාරණා බොහෝමයක් මේ රටේ පුරවැසියන්ට සහ ව්‍යවසායකයාට මෙන්ම රටේ සුබසාධනයට යම් ආකාරයක සෘණාත්මක බලපෑමක් ඇති කරයි යන විශ්වාසය සමාජගත කර තිබීමයි. ගෝඨාභය රාජපක්ෂ සමයේ සාකච්ඡා ආරම්භ වූ මෙම ගිවිසුම විනිවිද භාවයකින් තොරව කිරීම මෙම අවිශ්වාසයට යම් හේතුවක් වන්නට ඇත. විපක්ෂයේ සිටි සියලුම පාර්ශවයන් මෙන්ම විවිධ සිවිල් සංවිධාන සහ අනෙකුත් සමාජ බලවේගයන් IMF ගිවිසුමට එරෙහිව තම මතය විවෘතව ප්‍රකාශ කරන්නට විය. එම පාර්ශ්ව අතර ඉතා ප්‍රබල හඬක් සමාජ ගත කළේ වර්තමානයේ බලය හොබවන ජාතික ජනබලවේගයයි.
IMF විශ්ලේෂණයන් තුළ ලංකාවේ ආර්ථික අර්බුදයට හේතුපාදක වූ කරුණු පිළිබඳ විවිධ සංවාදය සහ මතවාද මතුවෙමින් පවතී. එම කරුණු අතර ප්‍රධාන ස්ථානයක් හිමිවන්නේ තිරසාර නොවූ ණය බරයි. රටක ආදායම සහ වියදම කළමනාකරණයේ දී (අයවැය සැකසීමේදී) රජයක් සැලකිය යුතු පැතිකඩ දෙකකි. එයින් ප්‍රධානම පැතිකඩක් වන්නේ රජයට අවශ්‍ය වියදම් පියවා ගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගන්නා ආකාරයයි. අනෙක් පැතිකඩ වන්නේ රජය අපේක්ෂිත ආදායමට වඩා වියදම වැඩි වන්නේ නම් එයින් ඇතිවන අයවැය හිඟය පියවාගන්නා උපායමාර්ග තීරණය කිරීමයි. පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩු දිගින් දිගටම රාජ්‍ය ආදායම කළමනාකරණය කිරීම වෙනුවට අයවැය හිඟය පියවා ගැනීමට විවිධ මූලාශ්‍ර මගින් අධික ලෙස ණය ලබා ගැනීම ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිරිහීමට ප්‍රධාන හේතුව විය. ඒ අනුව 2022 වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 118 වඩා ණය ප්‍රමාණයක් එකතු වී තිබුණි. රාජ්‍ය ආදායම දිගින් දිගටම පහළ යන පරිසරයක 2019 වර්ෂයේ දී විශාල වශයෙන් සිදුකළ බදු කප්පාදුව, සහ කෝවිඩ් 19 වසංගතය මෙන්ම ලෝක ආර්ථික අර්බුදය ද දේශීය ආර්ථිකයට විශාල පීඩනයක් ගෙනදෙන ලදී. එයට අමතරව දේශීය ආර්ථිකයේ කාලයත් තිස්සේ ව්‍යාප්තවුණ ව්‍යුහාත්මක ගැටලුද ලංකාවේ ආර්ථිකය බංකොළොත් වීමට දායක විය. දැඩි ලෙස ආනයන මත යැපීමත්, අපනයන විවිධාංගීකරණය නොවීමත්, රාජ්‍ය ව්‍යාපාර විශාල වශයෙන් පාඩු ලැබීමත් මෙම ව්‍යුහාත්මක ගැටලුවල ප්‍රතිඵලය.
කාලයක් තිස්සේ දිග්ගැස්සුණු මෙම අර්බුදවලට සමස්ත විසඳුමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂාකළ නොහැකි වුවද ඒවන විට රටතුළ නිර්මාණය වෙමින් පැවති ආර්ථික ආර්බුදයට යම්කිසි ආකාරයේ තිරසාර විසඳුමක් එයින් අපේක්ෂාකරණ ලදී. ප්‍රායෝගික විසඳුමක් සොයනු වෙනුවට IMF මැදිහත් වීමට එරෙහිව දාර්ශනික අර්ථකතන පමණක් ඉදිරිපත් කළ බොහෝ දෙනකුගේ විවේචනය වූයේ IMF සහය ලැබූ බොහෝ රටවල් අසාර්ථක වූ බවය. එහෙත් කඩාවැටුණු ආර්ථිකයක් නැවත ගොඩනැංවීමේදී IMF හි භූමිකාව වඩා පුළුල් සහ සංකීර්ණ ක්‍රියාවලියකි.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනයට පත්කිරීමට IMF මැදිහත් වන්නේ පැතිකඩ තුනකිනි. එම පැතිකඩ වන්නේ මූල්‍ය සහය (Financial Assistance), තාක්ෂණික විශේෂඥතාව (Technical Expertise), සහ ප්‍රතිපත්ති මාර්ගෝපදේශනය (Policy Guidance) සැපයීම මගිනි. මෙම ප්‍රතිපත්තිමය රාමුව තුල IMF ක්‍රියාතමක කළ උපායමර්ග 05 ක් හඳුනාගත හැකිය. ඒවානම්
ක්ෂණික මූල්‍ය සහන ලබාදීම
මේ යටතේ 2023 මාර්තු මාසය තුළ ඩොලර් බිලියන 3.0 කට ආසන්න විස්තීරණ මූල්‍ය පහසුකමක් (Extended Fund Faciliy) මාස 48 ක් තුළ වාරික 08 කින් ලබාදීමට මූල්‍ය අරමුදල එකඟවිය. එහි පළමු වාරිකය ලෙස ලැබුණු ඩොලර් මිලියන 330 කට ආසන්න මූල්‍ය පහසුකම මගින් ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීම සහ පිරිහී තිබුණු විදේශ සංචිතය නැවත ගොඩනැංවීම ආරම්භවිය. එමෙන්ම ජාත්‍යන්තර ණය හිමියන්ට සහ ආයෝජකයනට ලංකාව නැවත යථා තත්වයට පත්වන බවට සංඥාවක් ලබාදීමද එමගින් සිදුවිය.
සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම
IMF මැදිහත්වීම මූලික වශයෙන් ලංකාවේ සාර්ව ආර්ථික විචල්‍ය ස්ථාවර කිරීමේ අරමුණින් සිදුවූවකි. දේශීය බදු ආදායම ක්‍රමිකව වර්ධනය කිරීමත්, එයට සාපේක්ෂව වියදම් කළමනාකරණය කිරීමත් මගින් අයවැය හිඟය අවමකිරීම එහි ප්‍රධාන ඉලක්කයකි. එමෙන්ම මිල ස්ථායිතාව ඉලක්ක කරගත් මූල්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමත් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීමත් අපේක්ෂා කර ඇත. දේශීය රුපියල කෘත්‍රිමව පාලනය කිරීම වෙනුවට නිදහස් වෙළඳපොළෙන් එහි වටිනාකම තීරණය කිරීමට ඉඩ දීමෙන් තරගකාරීත්වයක් නිර්මාණය කිරීමද මෙම වැඩසටහනේ තවත් එක් අරමුණක් විය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය
ලංකාව ගෙවිය යුතු දේශීය සහ විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ද ඉක්මවා ඇත. ඩොලර් බිලියන 85 ක වැනි ආර්ථිකයකට මෙම ණය ප්‍රමාණය දැරිය නොහැකි බැවින් එය තිරසාර මට්ටමක් දක්වා ගෙන ඒම වැදගත්ය. ලංකාව බංකොලොත් බවින් මිදීමටත්, ණය ශ්‍රේණිගත කිරීම් වල වර්ධනයක් ලබාගැනීමටත් මෙම ණය, විශේෂයෙන්ම ඉන්දියාව, චීනය, සහ පැරිස් ක්ලබ් එකට අයත් රටවල ණය වගකීම ප්‍රතිව්‍යුගතකරණය කිරීම අත්‍යාවශ්‍ය සාධකයක් විය. එම ක්‍රියාවලිය සැමට සාධාරණව සහ විනිවිදභාවයකින් සිදුවන බවට අදාළ ණය හිමියන්ට තහවුරුකිරීම සඳහා මූල්‍ය අරමුදල ණය ප්‍රතිව්‍යුහගතකිරීම අධීක්ෂණය කරයි.
ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ
ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් මිදීමේදී කෙටිකාලීන සහ ක්ෂණික සහනවලට අමතරව දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා ද IMF මැදිහත් වීම කරඇත. විශේෂයෙන්ම ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය ලබන පාඩුව අවම කිරීම සඳහා ඒවාහි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට, සහ අවශ්‍ය විටක දී එම ආයතන පෞද්ගලීකරණය හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සහ අධීක්ෂණය ලබා දීමට ද මූල්‍ය අරමුදල කටයුතු කරමින් සිටී. එමෙන්ම වෙළෙඳපොළ ලිහිල් කිරීම හරහා අපනයන විවිධාංගිකරණයටත්, ආනයන මත යැපීම යම් ආකාරයකින් අවම කිරීමටත් අවශ්‍ය නිර්දේශ ඔවුන් ලබාදෙයි. මෙම අර්බුදය හමුවේ අසරණවූ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල ආරක්ෂාව වෙනුවෙන් සමාජ ආරක්ෂණ දැල පුළුල් කිරීම සඳහා ද මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදෙයි.
ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීම
IMF නිර්දේශ සහ අනුමැතිය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සහ සැකසීම හේතුවෙන් එම ප්‍රතිපත්ති පිළිබඳ ආයෝජකයන් තුළ ඇති විශ්වාසය ශක්තිමත් වේ. එමගින් රටතුළට සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට ලංකාවට හැකිවනු ඇත. එමෙන්ම IMF වැඩපිළිවෙළ හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ගනුදෙනුවල විනිවිදභාවය වැඩිවීමත්, යහපාලනය වඩා ශක්තිමත් වීමත් හේතුවෙන් දිගුකාලීන ආයෝජන ආකර්ෂණය කිරීමටද හැකි පරිසරයක් නිර්මාණය වෙමින් පවතී.
ඉහත දැක්වූ විවිධ උපායමාර්ග හරහා මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සමනය කිරීමට මැදිහත් වුවද ඒ සඳහා ඇති ජනතා විරෝධය ද ඉතා ඉහළ මට්ටමක පවතී. විශේෂයෙන්ම විවිධ දේශපාලන පක්ෂ විසින් සමාජගත කරන ලද IMF විරෝධය හේතුවෙන් මූල්‍ය අරමුදල පිළිබඳ ජනතාව තුළ ඇත්තේ වෙනම කියවීමකි. වර්තමානයේ බලය හොබවන ජාතික ජන බලවේගය ද තමන්ගේ දේශපාලන වේදිකාව මත මූල්‍ය අරමුදල දැඩි ලෙස විවේචනයට ලක් කළ පක්ෂයකි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද IMF එකඟතාවට තම දේශපාලන නොඑකඟතා ප්‍රකාශ කර ඇත.
කෙසේ වුවද එම විවේචන හුදෙක් දේශපාලන විවේචනයන් පමණක් ම වීම හේතුවෙන් වර්තමාන රජයද ණය ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු යම් යම් IMF එකඟතා සමග ඉදිරියට යෑමට තීරණය කිරීම පැසසිය යුතුය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා කරන මැදිහත්වීම පිළිබඳ ඇති විවේචන අතර ප්‍රධානම විවේචනය වන්නේ රාජ්‍ය ආදායම ඉහළ නැංවීමට බදු අයකිරීම ඉහළ නැංවීමට රජයට කරන නිර්දේශවේ. එලෙස අධික බදු අයකිරීමෙන් වැඩ කරන ජනතාවට සහ ව්‍යවසායකයන්ට වන බලපෑමත්, ඒ මගින් ඇතිවන්නා වූ බුද්ධිගලනය පිළිබඳත් දැඩි විවේචන පවතී.
එමෙන්ම මූල්‍ය අරමුදල යනු ඇමෙරිකානු ගැති ධනවාදී මූලධර්ම මත පදනම් වූ දේශපාලනික යාන්ත්‍රණයක් බවට ද විවේචනය ඇත. විශේෂයෙන්ම රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ පෞද්ගලීකරණය කිරීමට ශ්‍රී ලංකා රජයට කරන බලපෑම මෙම විවේචනවලට හේතුවී ඇත.
තවද, ලංකාව තම ආර්ථිකයේ ව්‍යුහාත්මක දුර්වලතා නිවැරදි නොකරගන්නා තාක්කල් දිගටම මූල්‍ය අරමුදල මත යැපෙන ආර්ථිකයක් බවට පත්වන බවත්, 2022 ට පෙරද අවස්ථා ගණනාවක මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගත්තද අදටත් ලංකාවේ ආර්ථිකය දුර්වල මට්ටමක පැවතීමද තවත් එක් විවේචනයකි.
චීනය සහ ඉන්දියාව සමඟ ස්වෛරීත්ව සහ ද්විපාර්ශවික ණය ප්‍රතිව්‍යුගතකරණය කිරීම භූ-දේශපාලනික සංවේදීතාවක් ඇති කරුණක් බැවින් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ වලට වඩා පුළුල් රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් අවශ්‍ය බවත් මෙම විවේචන තුළ සාකච්ඡාවන කරුණකි.
කුමන විවේචන තිබුණද මූල්‍ය අරමුදල සමග කරන ගනුදෙනු මගින් ශ්‍රී ලංකාවට ලැබුණු ප්‍රතිලාභ අපට අවතක්සේරු කළ නොහැක. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් යම් ධනාත්මක සහ සාධනීය ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස 2022 ට සාපේක්ෂව 2024 අගවන විට සැලකිය යුතු මට්ටමෙන් ආර්ථිකමය ස්ථායීතාවක් ළඟා කර ගැනීමට මෙරටට හැකි විය. අතිශය ඉහළ මට්ටමක පැවැති උද්ධමනය පාලනය කිරීමටත් රුපියල ශක්තිමත් කිරීමටත් එමඟින් හැකි විය. විශේෂයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ එමගින් ණය නැවත ගෙවීමේ කාලය 2028 දක්වා කල්දමා ගැනීමත්, ණය තිරසාර මට්ටමකට ගෙන ඒමට පදනම සැකසීමත් යන කාර්ය සඳහා IMF මැදිහත්වීම අවතක්සේරුකළ නොහැක,
ශ්‍රී ලංකාව IMF සහයෝගයෙන් පූර්ණ වශයෙන් වාසි ලබාගැනීමට නම් කළයුතු කාර්ය කිහිපයකි. පළමුවැන්න වන්නේ IMF වැඩසටහන සඳහා අවංක සහ තිරසාර දේශපාලන කැපවීමක් රජයේ පාර්ශවයෙන් ලබාදීමයි. විශේෂයෙන්ම ප්‍රතිපත්ති සම්පාදනයෙන් මූල්‍ය අරමුදල මගින් නිර්දේශිත සහ රටට හිතකර ප්‍රතිසංස්කරණ කිරීමට කැපවීමක් පෙන්විය යුතුය. එමෙන්ම සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීම මගින් ආර්ථික අර්බුදය සහ ඒ අර්බුදයෙන් මිදීමට කරන ලද ප්‍රතිසංස්කරණ මගින් පීඩාවට පත් අහිංසක ජනතාව රැක ගැනීමේ වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කිරීමද අත්‍යවශ්‍යවේ.
එමෙන්ම මූල්‍ය අරමුදල පෙන්වාදී ඇති පරිදි ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුවිය යුතු අතර එමගින් ව්‍යාපාර කිරීමේ පහසුකම් දර්ශකය ඉහළ නැංවීම, ආර්ථිකය ඩිජිටල්කරණය, සහ නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු කෙරෙහි රජය අවධානය යොමුවීම වැදගත්ය. අවසාන වශයෙන් රජයේ යහපාලන ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමෙන් දූෂණය සහ වංචාව අවම කිරීමත්, ආර්ථික ගනුදෙනුවල විනිවිදභාවය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් ඉතා වැදගත්වේ.
2024 වසරේදී මෙරට ජාතික තේ අලෙවියේ වටිනාකමේ සාමාන්‍ය තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 1,225.17ක් (එ.ජ. ඩොලර් 4.08ක්) බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිකුත් කළ අලුත්ම දත්ත
පසුගිය ඔක්තෝබර් මාසයට සාපේක්ෂව නොවැම්බර් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 8,665 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාව
ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) උප සභාපති හාරා ෂෝහෙයි (HARA Shohei) මහතා පැවසීය.
SLT-MOBITEL විසින් SEA-ME-WE 6 (අග්නිදිග ආසියාව-මැදපෙරදිග-බටහිර යුරෝපය6) සබ්මැරීන් කේබලය පසුගිය දෙසැම්බර් 29 වැනි දා මාතර ප්‍රදේශයේ සාර්ථකව ස්ථානගත කළේය. ශ්‍රී ලංකාවේ
දේශීය අපනයනකරුවන් සහ දේශීය කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනකරුවන්ට අවශ්‍ය සේවා සම්බන්ධයෙන් කාර්යක්ෂම ආකාරයෙන් පහසුකම් සැලසීම සහතිකිරීමට රජය “
රාත්‍රී සැණකෙළියක සිරි ගන්වා ඇති අයුරින් විවිධ මාදිලියේ විදුලි බුබුළු අලවි කරන වෙළෙඳසල් පළමුවැනි හරස් වීදිය පටන් ගත් තැන සිටම අපට දැකගත හැකිය. ඒ වෙළෙ
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ආර්ථික අර්බුදය: මුල්‍ය අරමුදලේ භූමිකාව