ඉකුත් සතියේදී අපි 73 වැනි නිදහස සැමරුවෙමු. අතීතය දෙස බැලීමේදී නිදහස් පසු රටේ ආර්ථික කාර්යසාධනය සම්බන්ධයෙන් අපට සතුටු හෝ සෑහීමකට හෝ පත්විය නොහැක.
ආර්ථිකයට ඉහළ වර්ධනයක් සඳහා ගමන් කිරීමට සුදුසු පරිසරයක් මුලදී තිබුණ ද නිදහසින් පසු අපේ ආර්ථිකය අපේ විභව හැකියාවට සහ බලාපොරොත්තුවලට වඩා පහළින් විය. අපේ ආර්ථිකය නැති වූ අවස්ථා පිළිබඳ කතාවකි.
කෙසේ නමුත් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ සමාජ සුව පහසුකම් දෙස බැලීමේදී රටේ ආර්ථිකය සැලකිය යුතු වර්ධනයක් අත්පත් කරගෙන තිබෙන අතර පශ්චාත් නිදහස් කාලයේදී රටේ සමාජ සංවර්ධනය ද සුවිශේෂී වර්ධනයක් අත්පත් කරගෙන තිබේ.
අනාගතය
නුදුරු අනාගතයේ සමාජ එකමුතුව, අන්තර්ග්‍රහණය, දරිද්‍රතාව අඩු කිරීම සහ විරැකියාව සම්බන්ධයෙන් රටේ ගමන් ගමන අවිනිශ්චිතය. සමාජ ප්‍රගතිය අත්පත් කරගැනීමට නම් ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය පූර්ව කොන්දේසියකි.
ආර්ථික කාර්යසාධනය
තිරසර සහ ඉහළ ආර්ථික වර්ධනය රටට මඟහැරී තිබේ. නිදහසින් පසු කාලයේදී, එනම් (1950-2020) කාලයේදී රටේ ආර්ථික වර්ධන වේගය සාමාන්‍ය අගයක් ලෙස ගත්විට සියයට හතරකි. එය කනගාටුදායක අගයකි. ඇතැම් වසරවලදී ඉහළ ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළ ද එය පවත්වාගෙන යෑමට නොහැකි විය.
මෑතකාලීන ආර්ථික වර්ධන
දීර්ඝකාලීන ආර්ථික වර්ධනයටත් වඩා කනගාටුදායක තත්ත්වය නම් මෑත වසරවල ආර්ථික වර්ධන වේගය නිදහසින් පසු ශ්‍රී ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධන වේගයටත් වඩා අඩු වීමයි. වසර 2013 කාලයෙන් පසු මෙරට ආර්ථිකය අඩු වර්ධන වේගයක් පෙන්නුම් කළ අතර 2019 සහ 2020 වසර දෙකේදී මෙරට ආර්ථික වර්ධන වේගය තවදුරටත් පහළ වැටිණි. ඉතිහාසයේ කෙදිනකවත් මෙරට ආර්ථිකය මෙතරම් අගාධයකට වැටී නැත. ශ්‍රී ලංකාවේ තත්ත්වය එසේ වුවද දකුණු ආසියානු කලාපයේ ආර්ථිකය සියයට හතකින් වර්ධනය වී තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් ආර්ථිකයට කිසිදු දිනක සිදු නොවූ අයුරින් එල්ල වූ බාධා පසුගිය වසරේ (2020) ඍණ ආර්ථික වර්ධන වේගය තේරුම් ගත හැකිය. ඒ හේතුවෙන් අපගේ දුර්වල සහ වෙළෙඳාම මත යැපෙන ආර්ථිකය දරුණු කඩාවැටීමකට ලක්විය. කෙසේ නමුත් කොරෝනා වසංගතය පැමිණීමට පෙර එනම් 2019 වසරේ දී ද ආර්ථිකය වර්ධනය වූයේ ඍණ 2.6ක අගයකිනි.
දීර්ඝකාලීන වර්ධනය
නිදහසින් පසු රටේ ආර්ථික වර්ධන වේගය, රටේ නියම හැකියාවට වඩා අඩු වුවද දීර්ඝකාලයක් මුළුල්ලේ සියයට හතරක ආර්ථික වර්ධන වේගයක් පවත්වාගෙන ඒමද සැලකිය යුතු ජයග්‍රහණයකි. කෙසේ නමුත් සමාජ අභිලාෂ ඉටු කිරීමේදී එය ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම නිදහස ලබන අවස්ථාවේදී තිබූ හිතකර තත්ත්ව දෙස බැලීමේදී එය සතුටු විය හැකි හෝ සෑහීමකට පත්විය හැකි හෝ තත්ත්වයක් නොවේ. රටේ ආර්ථික ජයග්‍රහණ ඇත්තේ, රටේ නියම හැකියාව, ධාරිතාව සහ බලාපොරොත්තුවලට වඩා පහළිනි.
ආර්ථික ජයග්‍රහණ
ආර්ථික වර්ධන වේගය අඩු වුව ද ආර්ථිකමය අතින් සහ සමාජමය වශයෙන් රට සැලකිය යුතු ජයග්‍රහණ ද අත්පත් කරගෙන තිබෙන බව සඳහන් කළ යුතුය. ඒ අතරින් ආහාර බෝග කෘෂිකර්මය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සුවිශේෂීව සඳහන් කළ යුතුය.
ආහාර නිෂ්පාදනය
නිදහසින් පසු කාලයේදී රටේ සහල් සහ අනෙකුත් ආහාර අවශ්‍යතාවෙන් අඩකඩ වඩා වැඩි ප්‍රමාණයක් ආනයනය කරන ලදී. රටේ ජනගහනය මිලියන හතකට පමණ ආසන්න වූ අතර රටේ ආනයන වියදමෙන් භාගයකට ආසන්න ගණනක් ආහාර ආනයනය සඳහා වෙන් කරන ලදී. අද වනවිට රටේ ජනගහනය මිලියන 22ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය නිදහසින් පසු රටේ ජනගහනය මෙන් තුන් ගුණයකි. අද වනවිට රට අඩු වැඩි වශයෙන් සහලින් ස්වයං පෝෂිත අතර අනෙකුත් ආහාර ආනයන මත යැපීම ද අඩුය.
බෝග නොසලකා හැරීම
බෝග කෘෂිකර්මය නොසලකා හැරීම විශාල අනුවණකමකි. තේ, රබර් සහ පොල් මත නිදහසින් පසු ද මෙරට ආර්ථිකය ප්‍රධාන වශයෙන් යැපුණු අතර කොකෝවා වගාව ද ඉන් එකකි. තේ, රබර් සහ පොල් වගාව නොසලකා හැරුණු අතර කොකෝවා වගාව දරුණු වශයෙන් නොසලකා හැරුණි. තේ වගාවේ කාර්යසාධනය පහළ වැටීම, රබර්, පොල් සහ කොකෝවා වගාවේ නිෂ්පාදනය අඩු වීම නිදහසින් පසු මෙරට ආර්ථිකයේ දරුණු අසමත්කම්ය.
විවිධාංගීකරණය වූ ආර්ථිකය
දළ දේශීය නිෂ්පාදිතයෙන් කෘෂිකාර්මික අංශයේ දායකත්වය සියයට හතක් වන අතර සේවා අංශය සියයට 55ක් ද නිෂ්පාදන අංශය (ඉදිකිරීම් ද ඇතුළත්ව) සියයට 35කි. එම විවිධාංගීකරණය ආර්ථික සංවර්ධනයේ එක් අගයකි. කෙසේ නමුත් මෙම විවිධාංගීකරණය ළඟා කරගත යුතුව තිබුණේ කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නංවාගනිමින් කර්මාන්ත සහ සේවා අංශ ද වර්ධනය කරගනිමිනි. මේ තුන එකට යා යුතුව තිබිණි.
ඒකපුද්ගල ආදායම
ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි වී තිබේ. කෙසේ නමුත් 1950 දශකයේදී ඉතා අඩු ඒකපුද්ගල ආදායමක් තිබුණු රටවල් මේ වනවිට ඉහළ ඒකපුද්ගල ආදායමක් අත්පත් කරගෙන තිබේ. දරිද්‍රතාව පහත වැටී තිබේ. රටේ නිල දරිද්‍රතා මට්ටම සියයට 4.1ක් දක්වා අඩු වී තිබෙන 2020 ට පෙර මෙරට විරැකියා අනුපාතය සියයට පහට ආසන්න අගයක පැවැතුණි. කෙසේ වෙතත් කලාපයේ ආදායම් ලැබීම් අතර විශාල විසමතා දක්නට ලැබේ.
මානව සංවර්ධනය
නිදහසින් පසු රට ලබාගත් සුවිශේෂීම ජයග්‍රහණය වන්නේ සමාජ සංවර්ධනයයි. එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන අභියෝග 2015 වසර ළඟා වීමටත් සපුරාලීමට රට සමත් විය.
අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබේ. රටේ සාක්ෂරතාව, පාසල්වලට ඇතුළත් කරගැනීම ඉහළ ගොස් තිබේ. මරණ අනුපාතිකය පහළ ගොස් තිබේ. ආයු අපේක්ෂාව ඉහළ ගොස් තිබේ. නිවාස, පානීය ජලය, සනීපාරක්ෂාව, ජල විදුලි බලයට සහ දුරකතන සේවාවලට ප්‍රවේශ වීම යනාදී සමාජ සුවපහසුකම් අතින් ද රට සැලකිය යුතු දියුණුවක් අත්පත් කරගෙන තිබේ.
කෙසේ නමුත් ඇතැම් ග්‍රාමීය ප්‍රදේශවලට මෙම සමාජ සුවපහසුකම් ප්‍රමාණවත් නොවන බව සිහිපත් කළ යුතුය. ග්‍රාමීය ප්‍රදේශවල මෙම පහසුකම් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මහත් ඕනෑකමක් පෙන්වා ඇත.
නිදහස ලබාගන්නා විට උපතේදී ආයු අපේක්ෂාව අවුරුදු 55ක් විය. එය මේ වනවිට අවුරුදු 75ක් දක්වා ඉහළ ගොස් තිබේ. කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 77ක් තරම් ඉහළ අගයක් ගන්නා අතර පිරිමි අයගේ ආයු අපේක්ෂාව අවුරුදු 72කි.
මාතෘ මරණ, ළදරු මරණ සහ අවුරුදු පහකට අඩු මරණ යන අංශවලින් ද රටේ සෞඛ්‍ය අංශය සැලකිය යුතු ප්‍රගතියක් පෙන්නුම් කර තිබේ. නිදහස ලබාගන්නා විට අවුරුදු පහකට අඩු මරණ අනුපාතිකය උපත් ලක්ෂයකට මරණ 560ක් විය. නිදහසින් පසු ගෙවීගිය කාලයේදී එය 100ක් දක්වා අඩු වී තිබේ. එම කාලයේදී සියයට 82ක් වූ ළදරු මරණ අනුපාතිකය 2015 වසර වනවිට සියයට 8ක් දක්වා අඩු වී තිබේ.
රෝග
බොහෝ බෝ වන රෝග මේ වනවිට රටින් තුරන් කර තිබේ. කෙසේ නමුත් රට තුළ බෝ නොවන රෝගවල වැඩිවීමක් දක්නට ලැබේ. රටේ වයස්ගත ජනගහනයට සම්බන්ධ රෝග ද වැඩිවෙමින් තිබේ. ලබන වසර, එනම් 2022 වසර උදා වනවිට මෙම කොරෝනා වසංගතය පාලනය වී ඇතැයි අපේක්ෂා කළ හැකි ය.
සාක්ෂරතාව සහ අධ්‍යාපනය
වසර 1945 දී වැඩිහිටි සාක්ෂරතාව සියයට 57.8ක් වූ අතර එය 2017 වසර වනවිට සියයට 93ක් දක්වා ඉහළ ගොස් තිබේ. කාන්තාවන්ගේ සාක්ෂරතාව මේ කාලයේදී සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 1945 වසරේ දී සියයට 43.8ක් වූ කාන්තාවන්ගේ සාක්ෂරතාව සියයට 92.4ක් දක්වා ඉහළ ගොස් තිබේ. පිරිමි පාර්ශ්වයේ සාක්ෂරතාව සියයට 70.1ක් වූ අතර 2015 වනවිට එය සියයට 94.1ක් දක්වා ඉහළ ගොස් තිබේ. අවුරුදු 5-19ත් අතර දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම අගය 1945 දී සියයට 54.1ක් වූ අතර 2016 වනවිට එය සියයට 75.2ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මානව සංවර්ධන දර්ශකය
මානව සංවර්ධන දර්ශකය යනු සංවර්ධනය පෙන්නුම් කරන සියලු සංරචකවලින් සමන්විත දර්ශකයකි. ශ්‍රී ලංකාව 2015 දී සියයට 0.745ක අගයක් පෙන්නුම් කරමින් රටවල් 177ක් අතරින් 99 වැනි ස්ථානයට පත්ව තිබිණි. සමාන ආදායම් මට්ටම් ඇති රටවල් සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාව බොහෝ රටවලට වඩා ඉදිරියෙන් පසුවෙයි. කෙසේ නමුත් 1950 සහ 1960 දශකයේදී අපට පසුපසින් සිටි නැගෙනහිර ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ රටවල් අප පසුකර ගොස් තිබේ.
සීමා
මරණ අනුපාතිකය, සාක්ෂරතාව, පාසල්වලට ඇතුළත් කරගැනීම යනාදියේ වර්ධනයක් පෙන්නුම් කළ ද දරිද්‍රතාව හා සම්බන්ධ රෝගවල ඉහළ අනුපාතයක් තිබෙන අතර දුප්පත් ජීවන තත්ත්ව ද තවමත් පවතී. ඊට අමතරව අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශවල ගුණාත්මකභාවය අපේක්ෂිත මට්ටමට තවමත් පැමිණ නැත. එමෙන්ම ග්‍රාමීය සහ නාගරික අතර කලාපීය විසමතා විශාල වශයෙන් පවතී.
සමාජ සංවර්ධනය
ඉහත කී කරුණු සියල්ල සැලකීමේදී රටේ සමාජ සංවර්ධනය සහ මානව සංවර්ධන දර්ශක ඉහළ තත්ත්වයක පවතින බවට විවාදයක් නොමැත. මේ ප්‍රතිඵල ලැබෙන්නේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින සහ ඇතැම් සංවර්ධිත රටවල් කරන සංසන්දනය කිරීමට ප්‍රතිඵලයක් ලෙසය. කෙසේ නමුත් ආර්ථික වර්ධනය ශීඝ්‍ර වූයේ නම් මෑත වසරවල සමාජ දර්ශක මීට වඩා ප්‍රගතියක් පෙන්නුම් කිරීමට ඉඩ තිබිණි.
අවසංවර්ධනයට හේතු
රටේ ආර්ථික සංවර්ධනය ප්‍රමාණවත් පරිදි සිදු නොවීමට බලපෑ හේතු රැසක් තිබේ. වාර්ගික ප්‍රචණ්ඩත්වය, සිවිල් යුද්ධය, ආර්ථිකය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වෙනුවට දේශපාලන සහ සංස්කෘතික සිදුවීම්වලට අවධානය යොමුවීම, නිරන්තරයෙන් ආණ්ඩු වෙනස් වීම, අවිනිශ්චිත ආර්ථික ප්‍රතිපත්ති, ආර්ථික සංවර්ධනයට කිසිදු සැලකිල්ලක් අවධානයක් යොමු නොකර දේශපාලනය සමඟ සිදුවන පූර්ව නියුක්තිය යනාදී කරුණු රැසක් මෙරට ආර්ථිකය ප්‍රමාණවත් පරිදි සංවර්ධනය නොවීමට හේතු වී තිබේ.
අවසාන වශයෙන්
රට 73 වැනි නිදහස් දිනය සමරන වනවිට රටේ ආර්ථික වර්ධන වේගය පහළ වැටී තිබෙන අතර රට විදේශ ණය අර්බුදයක සහ මැදි ආදායම් උගුලක පැටලී තිබේ. ශීඝ්‍ර ආර්ථික වර්ධනයට උපකාරී නොවන දේශපාලන ව්‍යුහයක සහ සමාජ සහ සංස්කෘතික වටපිටාවක/ පරිසරයක රට හිර වී තිබේ. ශීඝ්‍ර ආර්ථික වර්ධනයට එල්ල වන බාධා මඟ හරවමින් සංවර්ධනය කරා ගමන් කිරීම සඳහා දැඩි අධිෂ්ඨානයක් අත්‍යවශ්‍ය වේ.
(***)
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ
හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද
Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදි
NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම්
LPEC Campus, Iconic Awards 2024 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිප
LOLCදිවි සවිය ශ්‍රී ලංකාව පුරා පාසැල් 4,100 කට සවියක් වෙමින් සිය අධ්‍යාපන සත්කාර වැඩසටහනේ තුන්වැනි අදියර සාර්ථක ලෙස අවසන් කරන ලදී. මෙම ජයග්‍රහණයෙන් වැඩසටහන
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, කොළඹ කිංග්ස්බරි හිදී පසුගියදා පැවති ශ්‍රී ලංකා සෙරමික් හා වීදුරු කවුන්සිලයේ (SLCGC) 18 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේ තාක්ෂණික සැසි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිදහසින් පසු ආර්ථිකයට වුණේ මොකක්ද?
E.A.J Thilakaratne Wednesday, 14 August 2024 07:45 AM
නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඇති වු සිවිල් ආරවුල් විශේෂයෙන්ම 1971, කැරල්ල, 1988/1989 කාලය තුළ ඇති වු ජවිපෙ භීෂණය , LTTE සිවිල් යුද්ධය ආදී හේතු සාධක නිසා ආර්ථිකය ට ඇති වු පසුබෑම පිළිබඳව විග්‍රහ කරන ලිපියක් සකස් කරන මෙන් ඉල්ලා සිටිමි .