කරන්දෙණිය එම්. සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ
පිටිගල බල පදේශයට අයත් ගම් නියම්ගම්වල බොහෝ ඇත්තන්ගේ ජීවන කතන්දරය ලියවී ඇත්තේ කෘෂිකර්මාන්තයත් සමගය. නියාගම, පිටිගල, හත්තක, මත්තක, බඹරවාන යන ආදී ගම්මානවල ජනතාව මේ අතර සිටිති. ඔවුන්ගෙන් අයෙක් වී ගොවිතැන් කළෝය. තවත් පිරිසක් අය තේ කර්මාන්තයේ යෙදුණෝය. කිතුල් කර්මාන්තයේ යෙදෙන අයද සිටියහ. අලබතල වගාකළ අයද නොසිටියාම නොවේ. මේ සියලුම කෘෂිකර්මාන්ත රැකියා සඳහාම කෘෂි උපකරණ අනිවාර්යය. කැත්ත, දෑකැත්ත, විසිකැත්ත, කොකැත්ත, උදැල්ල, මුල්ලුව, මන්නා පිහිය ඒ අතරය.
නියාගම ඇත්තන්ට එදා මේ සියලුම කෘෂි උපකරණ නිෂ්පාදනය වූයේ නියාගම එකම තැනකින්ය. එහෙමත් නැත්නම් එකම ආයතනයකි. ඒ නියාගම පොදු සේවා තාක්ෂණික ආයතනයෙනි. මේ ආයතනය පාලනය කළේ සීමා සහිත පිටිගල පොදු තාක්ෂණික සේවා සමුපකාර සමිතියෙනි. එදා මේ සමුපකාර සමිතිය ප්‍රයෝජනවත් වූවේ නියාගමටම පමණක් නොවේ. පොදුවේ ලංකාවටමය. ඒ ලොරි බොඩි ගැසීම, මෝටර් රථ අලුත්වැඩියා කිරීම වැනි දහසකුත් එකක් රාජකාරි නිසාය. ඒ විතරක්ම නොවේ මේ ආයතනයෙන් නිෂ්පාදනය කෙරුණු උපකරණ රජයේ බඩු ගබඩාවට ගත්තේ ලංකාවේ මුළු කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය කෘෂි උපකරණ බෙදාදීමටය. සහන මිලකට කෘෂිකර්මාන්තයේ නියැළෙන අයට එම උපකරණ අලෙවි කිරීමටය.
එවක සිටි පාලකයන් එදා මේ ආයතනයෙන් රන් ආභරණ නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය රන් ලබා ගැනීමට අවසරය ද ලබා දුන්නේය. එදා සිටි පාලකයන්ගේ ලොකු බලාපොරොත්තු හා ලොකු විශ්වාසයක් තිබූ මේ ආයතනය දෙස බලධාරීන් නිලධාරීන් නොබැලුව නිසාම අද මේ මධ්‍යස්ථානයට උදාවී ඇත්තේ කනගාටුදායක ඉරණමකි. එවන් වටිනාකමක් ඇති මේ ආයතනය වසා දමා වසර ගණනාවක්ම ගතවී තිබේ.
වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති පිටිගල පොදු සේවා තාක්ෂණික මධ්‍යස්ථානය අද තිබූ තැනක්වත් සොයා ගැනීමට නොහැකි ආකාරයට කැලෑවට යටවෙමින් තිබේ.
නියාගමටම නියම සේවයක් කළ පිටිගල පොදු සේවා තාක්ෂණික ආයතනය පිළිබඳව නියාගම පදිංචිවූවන්ට ඇත්තේ ලොකු කනගාටුවකි. කලකිරීමකි. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ පිටිගල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති පියතිලක තේනුවර මහතාය. මේ ඔහු කී කතාවය.
මේ මධ්‍යස්ථානය නැවත ආරම්භ කරලා පිටිගලටම නියාගමටම ලොකු සේවයක් ලබා දෙන්න මම ගන්නා වෙහෙස ගැන දන්නේ උඩ ඉන්නා දෙවියන් සහ මෙහේ කීපදෙනෙක් පමණයි. මේ සම්බන්ධයෙන් ලියන්න ඕන හැමතැනකටම අපි ලිව්වා. අපේ වෙළෙඳ සංගමය විදිහට ඉල්ලීම් කළා. කියන්න ඕන හැමතැනටම කිව්වා. මේ වන විට මේ රජයේ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාටත් මේ මධ්‍යස්ථානය ගැන කිව්වා. ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්වත් කිරීමකුත් කළා. මේ මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පිඹුරුපත් සකස් වෙන්නේ 1957 කාලයේදී. ඒ පිටිගල පාරම්පරික කම්හල් කර්මාන්ත කරුවන්ගේ සමුපකාර සමිතියක් විදිහට, පසුව එය 1961 වසරේදී පිටිගල පොදු තාක්ෂණික සේවා මධ්‍යස්ථානය ලෙස ආරම්භ කළා. මේ මධ්‍යස්ථානය පාලනය කළේ සීමාසහිත පිටිගල පොදු තාක්ෂණික සේවා සමුපකාර සමිතියෙනි. එදා මේ මධ්‍යස්ථානයෙන් මොනවද නිෂ්පාදනය නොකළේ. කෘෂිකර්මාන්තයට අවශ්‍ය සියලුම කෘෂි උපකරණම නිෂ්පාදනය කළා. එවන් වැදගත් මධ්‍යස්ථානයක් අද කැලෑවටම යටවෙමින් තිබෙනවා. කර්මාන්ත ශාලාව වගේම, ගරාජ් එකත් කැලෑවටම ගිහිල්ලා. කණගාටුවයි කියන්නේ මේ මධ්‍යස්ථානය කැලෑවට යටවෙමින් තියෙන්නේ එහි තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා යන්ත්‍ර, සූත්‍ර සමගයි. වෙල්ඩින් ප්ලාන්ට්, ලියවන පට්ටල් වගේ උපකරණ විශාල ප්‍රමාණයක් විනශ වෙවී යනවා.
මම නම් රජයට යෝජනා කරන්නේ මේ ස්ථානයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න කියල නෙමෙයි අර තිබුණු විදිහටම කර්මාන්ත ශාලාවක්ම ආරම්භ කරන්න කියලයි. එහෙම වුණොත් පිටිගලට අලුත් කර්මාන්ත ශාලාවක් එනවා. අලුත් වෙළෙඳපොළක් හැදෙනවා. අපේ ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ, තරුණියන්ට රැකියා ලැබෙනවා. දැන් ඕන ලංකාව දියුණු කරන්න නම් අලුත් අලුත් කර්මාන්ත ශාලා. අලුත් අලුත් නිෂ්පාදනාගාර. මේ ස්ථානය ඒ සඳහා ඕනෑවටත් වඩා සුදුසුයි.
මේ මධ්‍යස්ථානය තවම ගොඩගත හැකිය කියන මතයේ අපි ඉන්නේ. මුලින්ම කරන්න ඕන මේ මධ්‍යස්ථානය වසාගෙන සිටින කැලෑව එළිපෙහෙළි කිරීම. මේ මධ්‍යස්ථාන ගොඩනැගිල්ල සුළු අලුත්වැඩියාවකින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. එය හොඳ තත්වයේ තියෙනවා. මේ ස්ථානය යෝග්‍යම වන්නේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටයි. මොකද පිටිගල අවට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඕනෑ තරම් තියෙනවා. අපිට අවශ්‍ය පිටිගල ශ්‍රමදායකත්වයෙන් බිහිවෙන දේශීය කර්මාන්ත ශාලාවක්. එහෙම නැතිව වෙන වෙන දේවල් මෙතන ස්ථාපිත කිරීමෙන් තේරුමක් නැහැ.
කේ.පී.සරත්:- එදා මේ මධ්‍යස්ථානයෙන් නිෂ්පාදනය කරපු කුරුඳු කපන කැත්තට ගහන්න කැත්තක් නැහැ. ඒ තරම්ම ඉස්තරම්ම තත්වයේ කුරුඳු කපන කැති මෙතනින් නිෂ්පාදනය කෙරුණා. උදැල්ල, මුල්ලුව වගේ කෘෂි උපකරණත් ඉතාම හොඳ මට්ටමේම තිබුණා. ලොරි බොඩි ගැහැව්වා. ටින්කරින් වැඩකළා. වෑල්ඩින් වැඩ කළා. අපේ ගම්මානවල බොහෝ අය මෙහි රැකියාව කළා. තවත් අය රැකියා පුරුදු පුහුණුවුණා. අද අපේ කෘෂි කර්මාන්තයට අවශ්‍ය කැත්ත, උදැල්ල අපිට ගන්න වෙලා තියෙන්නේ වෙනත් ප්‍රදේශවලින්. නැත්නම් පිට රටින්. ඒවා ප්‍රමිතියෙන් බාලයි. අපිට තිබූ කර්මාන්ත ශාලාව වහලා දැන් අපි වෙනත් ප්‍රදේශවලින් හෝ පිටරටින් උපකරණ ගෙන්වනවා.
යම් රටක් හෝ ගමක් නගරයක් දියුණු කරන්න ඕනෑම නම් ඒ ඒ ප්‍රදේශවලට ආවේනිකවූ නිෂ්පාදනාගාර බිහි කරන්නම ඕන. කර්මාන්ත ශාලා වහලා හරියන්නේ නැහැ. තියෙන කර්මාන්ත ශාලා වැඩි දියුණු කරලා අලුතින් කර්මාන්ත ශාලා ආරම්භ කරන්නම ඕනෑ. එහෙම වුණාම තමයි අපේ ප්‍රදේශ දියුණු වෙන්නේ. පිටිගල හා ඒ අවට කොච්චරනම් ඉන්නවද රැකියාව නැති තරුණ කොටස්, රැකියාවක් නැති උපාධිධාරීන්. අපි ඉල්ලන්නේ මේ මධ්‍යස්ථානය ආයෙමත් ආරම්භ කරන්න කියලයි. වර්තමාන තත්වයට ගැළපෙන වැඩබිමක් මේ ස්ථානයේ ආරම්භ කරන්න කියලයි. අපි හිතනවා එහෙම වුණොත් අපේ ප්‍රදේශය එය ලොකු සම්පතක් වගේම අපේ කොල්ලන් කෙල්ලන්ගේ රැකියා ප්‍රශ්නයටත් හොඳ උත්තරයක් වේවි.
නියාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රූපසිංහ ලියනගම:-
මේ මධ්‍යස්ථානය තිබුණේ අපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේයි. මේ මධ්‍යස්ථානය වැසීයාමෙන් පිටිගල හා ඒ අවට ගම් දනව්වලට වූ පාඩුව විශාලයි. අපි සභාවේ ඉන්න විට මේ මධ්‍යස්ථානය ප්‍රාදේශීය සභාවට පවර ගන්න සැලසුම් කළත් එය ඉටුවුණේ නැහැ. අපි ඒක පවරගත්තා නම් මෙය සම්පතක් කරගෙන පිටිගල දියුණු කරන්න මොනවා හෝ වැඩකට ගන්න තමයි සැලසුම් කරලා තිබුණේ. එහෙම වුණානම් මේ ස්ථානය අඩු තරමින් කැලෑවට යටවෙන්නේ නැහැ.
මේ මධ්‍යස්ථානයට අලුත් ආණ්ඩුවේවත් අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලනවා. මොකද වෙන කිසිම ආණ්ඩුවක අවධානය මේ මධ්‍යස්ථානය බේරා ගන්න යොමුවුණේ නැහැ කියන එක බොරුවක් නෙමෙයි. රටක් දියුණු කරන්න ඕනෑ නම් නිෂ්පාදනය වැඩි කරන්න ඕනෑ. නිෂ්පාදනාගාර ආරම්භ කරන්නම ඕනෑ. එහෙම නැති රටවල් කවුරු කොහොම කිව්වත් දියුණු වෙන්නෙත් නැහැ. දියුණු කරන්නත් බැහැ. මේ ස්ථානය මුළු පිටිගලම දියුණු කළ හැකි නිෂ්පාදනාගාරයක් බවට පත් කළ හැකියි. ඊට අවශ්‍ය දක්ෂ ශිල්පීන් තවම පිටිගල ඉන්නවා. එදා තිබූ කර්මාන්තයන්ම මේ මධ්‍යස්ථානයේ යළි ස්ථාපිත කළහොත් ඒ කර්මාන්තයේ නියුක්තිකයන්ගේ පාරම්පරික කර්මාන්තය යළි පිබිදේවි. පාරම්පරික කම්මල් කර්මාන්තයට පිටිගලින් හොඳ තල්ලුවක් ලැබේවි.
එම්. ඥානසිරි මහතා:-
මේ මධ්‍යස්ථානය එදා පිටිගල අපිට ලොකු හයියක් වුණා. පිටිගලට ලොකු ශක්තියක් වුණා. පිටිගල මේ මධ්‍යස්ථානයෙන් නිෂ්පාදනය කළ කැත්ත, උදැල්ල ගැන රටම කතා කළා. ඒ උපකරණ නිෂ්පාදනය කිරීමට ඇණවුම් රටවටෙන්ම ආවා. අපේ අය හරි තෘප්තියකින් මෙහි වැඩ කළා. මෙතන වැඩ කරන අය කෑම එකක් කෑවේ පිටිගල කඩේකින්. තේ එකක් බිව්වත් බිව්වේ අපේ නගරයේ කඩේකින්. වැඩ ඉවරවෙලා යන ගමන් නිවසට බඩුවක් මුට්ටුවක් ගෙන ගියෙත් පිටිගල නගරයේ කඩේකින්. මම මේ පෙන්වන්න හදන්නේ යම් නගරයක කර්මාන්ත ශාලාවක් තිබේ නම් එම නගරයේ අනෙක් වෙළඳාමටත් එය සෘජුවම බලපාන ආකාරයයි. මෙතන සිය ගණනක් රැකියාව කළා. තවත් පිරිසක් ඒවා පුරුදු පුහුණු වුණා. ජනතාව නිතර නිතර නගරයේ ගැවසෙනව නම් නගරයේ වෙළෙඳාම වැඩිවෙනවා.
එවන් වූ තැනකට අද වෙලා තියෙන නස්පැත්තිය දැක්කාම ඇඬෙනවා. කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න අවශ්‍ය පහසුකම් උපරිමයෙන්ම තියෙනවා. තව තවත් බලා නොයිඳ ආයෙමත් මේ ප්‍රදේශයට සුදුසු නිෂ්පාදනාගාරයක් මේ ස්ථානයේ ආරම්භ කරන්න කියලයි අපි ඉල්ලන්නේ.
අප මේ මධ්‍යස්ථානය පිළිබදව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගෙන් කළ විමසීමක්දී ඒ මහතා ඒ ගැන මෙසේ කීවේය.
පිටිගල මේ මධ්‍යස්ථානය පිළිබඳව අවධානය යොමු කරන්න කියලා අපිට පිටිගල එක්සත් වෙළෙඳ සංගමයෙන් ඉල්ලීමක් ආවා. ඒ සංගමයේ අය මේ සම්බන්ධයෙන් අපිට වාචිකව වගේම ලිඛිතවත් දැනුම්වත් කළා. ඒ නිසාම රජයේ අවධානය යොමු කරලා මේ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් කළ හැකි දෙයක් කරන්න මැලි නොවන බව ද සඳහන් කරනවා. ඉදිරියේදී මේ මධ්‍යස්ථානය සුබවාදී දෙයක් සඳහා යොදවා ගන්න බලාපොරොත්තු වෙනවා.
ඉතිහාසයේ ඉපැයූ වැඩිම අපනයන ආදායම වාර්තා කරමින් ශ්‍රී ලංකාව 2024 වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 16.17 ක් අපනයනය ආදායමක් උපයා ඇති බවත් එය 2023 වසරට සාපේක්ෂව සියය
රජයේ “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව 2030 වන විට අපනයන ආදායම ඩොලර් බිලියන 36 ක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිප
වී ඇස්වැන්න පෞද්ගලික ව්‍යාපාරිකයන් කුණුකොල්ලට ගැනීමෙන් පසුව ආණ්ඩුව වීවලට මිලක් තීරණය කිරීමෙන් ඵලක් නොමැති බවත් ආණ්ඩුව හැකි ඉක්මනින් වී සඳහා සාධාරණ
ශ්රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වෙළෙඳ සබඳතා තරකර ගැනීමේ අදහසින් එක්සත් රාජධානියේ ඉන්දු - ශාන්තිකර කලාපය සඳහා වූ අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් ඊයේ (27
රාත්‍රී පවත්වන සංගීත සංදර්ශන සහ සංගීත ප්‍රසංගවල කාලසීමාව සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය සාකච්ඡාවක් ආරම්භ කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහත
ඇන්ජින් අමතර කොටස් නොමැතිකම හේතුවෙන් ගුවන්ගත කිරීමට නොහැකිව තිබුණු ගුවන් යානා තුනක් වෙනුවෙන්, ශ්‍රීලංකන් ගුවන් සේවයේ බලධාරීන්, වසර තුනකට මසකට ඩොලර්
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
වල් වැදුණු නියාගම පොදු සේවා තාක්ෂණික ආයතනය