IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


අගමැතිගේ දෙසතිය ජනපති සතියක් කරයි

 නැගෙණහිර බහාලුම් පර්යන්තයට එන බහාලුම්වලින් 75% ක්ම ඉන්දියාව බලා යන බව අමාත්‍ය සමරසිංහ මහතා කැබිනට් රැස්වීමේදී පෙන්වා දුන්නේය. මෙය නෞකා ප්‍රවාහන සමාගම් හා අදාළ වන්නක් බැවින් ඉන්දීය රජයට ඒ සඳහා මැදිහත්වීමේ අපේක්ෂාවක් නොමැති බව ඔහුගේ තර්කය විය. එහෙත් ජනපති සිරිසේන මහතා නැවත වරක් තම මතය ගෙන හැර දැක්වූයේය.

“අපේ රජය අන්තර්ජාතික ප්‍රජාවගේ අවධානයට ලක්වෙලා තිබෙනවා. හම්බන්තොට වරාය කියන්නේ ඒකට හොදම උදාහරණය. අන්තර්ජාතික ප්‍රජාවගේ සැළකිල්ලට ලක්වෙන සම්පත් එකතු කරගන්න එක අපට ගැටලුවක් බවට පත්වන ලකුණු පෙනෙන්නට තිබෙනවා.” යයි කී ජනාධිපතිවරයා අනතුරුව ඔහු ‘රෝ’ ඔත්තු සේවයේ සාමාජිකයකු වන ඉන්දියානු ජාතිකයකු තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින්නේයැයි පළව තිබෙන වාර්තා සම්බන්ධයෙන් අදහස් දැක්වූයේය.

“මේවා ගැන අපි සොයා බැලිය යුතුව තිබෙනවා. ඉන්දියානු අගමැතිවරයා හෝ මේවා ගැන දන්නේ නැතිව ඇති. විමර්ශන කටයුතු වහාම කඩිනම් කළ යුතුවීමේ අවශ්‍යතාවයක් තිබෙනවා.” යයි ජනපති සිරිසේන මහතා අවධාරණය කළේය.

විශ්වසනීය අමාත්‍ය ආරංචි මාර්ග කිහිපයකට අනුව ඔහු මෙම අදහස් දක්වා ඇත්තේ කෝපයෙන් සහ ආවේගාත්මකවය. ඇමරිකාවේ සී.අයි.ඒ. සංවිධානයද එරට ජනපතිවරුන් දෙදෙනෙකු ඝාතනය කළේ යැයි චෝදනාවට ලක්ව සිටින බව කියා ඇති ජනාධිපතිවරයා, “මම මේ රටට ආදරෙයි” යැයි පවසා ඇත. 

එහිදී හඬ අවදි කර ඇති මුදල් අමාත්‍යවරයා, ඔවුන් සියලුදෙනාම මේ රටට ආදරය කරන බව ජනපති සිරිසේන මහතාට සිහිපත් කර ඇත. ශ්‍රී ලංකාවේ පැතිරෙමින් තිබෙන චීන ආධිපත්‍ය සම්බන්ධයෙන් මලයාසියා ජනපති මහතීර් මොහොමඞ්ද වරක් අවවාදාත්මකව අදහස් දැක්වූ නමුත් ඔහු ඊට වැඩි යමක් සඳහන් නොකළේ ය.

ජනපතිවරයාගේ අදහස් දැක්වීම හමුවේ උද්වේගකරව අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියා සිටියේ මෙයයි.
“මේ කතාව මෙතන කෙරෙන්නේ නැහැ. අපිට ලෝකෙත් එක්ක රණ්ඩු වෙන්න බැහැ. මගෙන් අහනවා නම්, මම කියනවා එහෙම කතාවක් මෙතන වෙන්නේ නැහැ කියලා”

ජනපතිවරයාට ඉතාම සමීප ඉහළම පෙලේ ආරංචි මාර්ගයක් කියා සිටියේ ‘රෝ’ සංවිධානය සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා කිසිදු චෝදනාවක් එල්ල නොකළ බවයි.

“තමන් ඝාතනය කිරීමට සැළසුම් සකස් කිරීමක් සම්බන්ධයෙන් ඉන්දියා ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියා ජනපතිවරයා කීවා. ‘රෝ’ සංවිධානය ද මේ පසුපස සිටින්නේ කියා බොහෝ දෙනෙක් තමාගෙන් විමසන බව ඔහු පැවසුවා. බුද්ධි ඒකකයන්, තමන් අයත්වන රජය නොදැනුවත්ව ඇතැම් මෙහෙයුම්වල නිරත වන අවස්ථා තිබෙනවා. ඇතැම් අවස්ථාවල රටේ ජනපතිවරුන් පවා එම රටේම බුද්ධි ඒකකවලින් ඝාතනය කර තිබෙනවා” යයි නම හෙළි කිරීමට අකමැති වූ ඔහු පැවසුවේ ය.

මේ අවස්ථාවේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කුමක් කරමින් සිටින්නේදැයි ජනපතිවරයා කැබිනට් මණ්ඩලයේ විමසුවේය. 
ඝාතන තැත අනාවරණය වූ පසුව, විමර්ශන කටයුතු අවසාන වීමටත් පෙර සිටම, පොලිස්පතිවරයා සිටියේ ඒ සම්බන්ධයෙන් නොයෙක් අදහස් දක්වමිනි. ලැබී තිබෙන හඬ පටවල නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ හඩ නොමැති යැයි ඔහු තමා හා පවසා සිටි බව ජනපති සිරිසේන මහතා කීවේය. නමුත් රජයේ රස පරීක්ෂකවරයා පවා පවසා තිබෙන්නේ එම හඩ පටයන්හි නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හඩ සටහන්ව තිබෙන බවයි. 

එසේ නම් පොලිස්පතිවරයා තමා හා එවැන්නක් කියා සිටියේ කෙසේ ද? ජනපතිවරයා විමසුවේ ය. නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා යමක් කියා සිටීමට උත්සාහ කළද ජනපති සිරිසේන මහතා ඊට අවස්ථාවක් නුදුන්නේය. මෙසේ විවාදය ඇදී යනතුර, හඬ අවදිකළ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා විවාදය අවසන් කරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ ය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් දක්වමින් ඒකාධිපතිවාදය 2015 ජනවාරියෙන් පසු අවසන් වූ බව කියා සිටියේය. උද්ගතව තිබෙන තත්ත්වය අරබයා වෙනස්ම විස්තර කිරීමක් කරන්නට අගමැති වික්‍රමසිංහ මහතා උත්සාහ කළ නමුත් ගැටලුව දැන් අවසන්ව තිබෙන නිසා එවැන්නක් නොකරන මෙන් දැඩි මෛත්‍රී හිතවාදියකු වන සමරසිංහ මහතා ඔහුගෙන් ඉල්ලා සිටියේය. එහෙත් තමන් අගමැතිවරයා යයි කියා සිටි වික්‍රමසිංහ මහතා, නවතින ලෙස තමාගෙන් කිසිවෙකුටත් ඉල්ලා සිටිය හැක්කේ කෙළෙසකදැයි විමසා සිටියේ ය.

“බම්බු ගහගන්නවා” යයි අවසානයේ අගමැතිවරයා කෝපහරිතව කියා සිටියේය. 

නැවත වරක් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනපතිවරයා, “මම දන්නේ නැහැ කවුද මෙයාව ආරක්ෂා කරන්නේ කියලා” යැයි පැවසුවේය. අනතුරුව අගමැතිවරයා දෙසට හැරුනු ජනාධිපතිවරයා.... “ඇයි ඉන්දියාවටයි, ජපානයටයි බැරි කොළඹ වරායේ බටහිර පර්යන්තය ගන්න? ඒකට දැනටමත් ඩොලර් ලක්ෂ 800ක් වියදම් කරලා තියෙනවා” යැයි කීවේය. අවසන් නිගමනය කුමක්දැයි විමසා සිටි විට තමන්ට සති දෙකක කාලයක් ලබාදෙන ලෙස අගමැතිවරයා ඉල්ලා සිටියේ ය.

“මම ඔයාට දෙන්නම් සතියක්. දේශීය සම්පත් පිටස්තරයින්ට ලබාදෙන්නට අපට බැහැ” යැයි ජනපතිවරයා පැවසුවේය. මේ අරභයා පසුගියදා ඉන්දියා අගමැතිවරයා හා පැවැති සාකච්ඡාවේ තතු අගමැති වික්‍රමසිංහ මෙම සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

පසුගිය අගහරුවාදා පස්වරු 12.30 පමණ වන විට කැබිනට් සැසිය නිමාවට පත්වුව ද එහි දී සාකච්ඡාවට ගැනුණු කරුණු කාරණා කිසිවක් ඒ වන විටත් පුලුල් ලෙස පැතිර ගොස් තිබිණ. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනෙන ඇතැම් කරුණු මාධ්‍ය වෙත ඉතා ඉක්මනින්ම නිදහස් වීම සාමාන්‍යයෙන් සිදුවන්නක් වුවද මෙවර තත්ත්වය වාන් දොරටු සම්පූර්ණයෙන්ම විවෘත කර තැබුවාක් හා සම විය. 

ගුවන්විදුලියේ, රූපවාහිනියේ පමණක් නොව පුවත්පත්වලද, කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනුණු සංවේදී තොරතුරු උණු උණුවේම ප්‍රචාරය විය. ඉන්දියාවේ චෙන්නායි ප්‍රාන්තය පදනම් කරගෙන ක්‍රියාත්මක වන ‘ද හින්දු’ පුවත්පතේ ද මේ පිළිබද වාර්තාවක් පළව තිබිණ. 

පසුව සතිපතා කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, එම පුවත්පතේ ශ්‍රී ලංකාවේ වාර්තාකාරිනිය වන මීරා සිරිනිවාසන් මහත්මිය කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතාගෙන් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ගැනී තිබෙන කරුණු සම්බන්ධයෙන් විශේෂයෙන් විමසුවාය. සේනාරත්න මහතා ඒ වන විටත් නැවත නැවතත් කියමින් සිටියේ මාධ්‍යවල පළව තිබෙන වාර්තා සාවද්‍ය හා පදනම් විරහිත බවය. 

තමන් කැබිනට් අමාත්‍යවරු සිව්දෙනෙක් හා සම්බන්ධව එම වාර්තා තහවුරු කරගත් බව සිරිනිවාසන් මිය කියා සිටියාය.

මෙසේ මාධ්‍ය වෙත තොරතුරු නිදහස් කිරීමෙන් අමාත්‍යවරු කිහිපදෙනෙක් හවුල්ව තිබුණේ ජනපති සිරිසේන මහතාව ජනතා උසාවියේ විත්ති කූඩුවට නැංවීමේ කාර්යයටය. තත්ත්වය පාලනය කිරීම සදහා පුලුල් පරිමානයෙන් යුතු හානි පූර්ණය කිරීමේ ව්‍යායාමයක් බදාදා උදැෑසන 7.30 පටන් ජනපති නිවස්නයේ සිට ක්‍රියාත්මක වෙමින් තිබිණ. මේ අතර ජනපති ලේකම් උදය පෙරේරා මහතා ජනපතිවරයාව ඇමතුවේය. 

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා තමන්ට වහාම ජනපති සිරිසේන මහතාව හමුවිය යුතුයැයි දැනුම් දී තිබෙන බවත්, ඒ නිසාම ඉන්දියා රජයේ නියමය පරිදි ශ්‍රී ලංකා අගමැතිවරයා පිළිගැනීමට නවදිල්ලිය බලා යෑමට තිබූ තම ගමන පවා අවලංගු කළ බවද ඔහු කියා සිටි බවත්, පෙරේරා මහතා පැවසුවේය. 

වහාම උදැෑසන 10.30 වන විට ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස්වරයා හා ජනපති සිරිසේන මහතා අතර හමුවක් සංවිධානය කෙරිණ.

“කැබිනට්ටුවේ දේශපාලනික වශයෙන් යම් යම් වෙනස්කම් තිබෙන බව ඔබ දන්නවා. ඒ ඇතැම් අය මා ඝාතනය කිරීමට තිබෙන සැළසුමක් ගැන මම කියූ දෙයක් විකෘති කොට ප්‍රසිද්ධ කර තිබෙනවා” යයි ජනපති සිරිසේන මහතා තරංජිත් සිං සන්ධු මහතා හමුවේ කියා සිටියේය. අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දියානු ජාතිකයා රෝ ඔත්තු සේවාවේ සාමාජිකයකුදැයි බොහෝ දෙනා තමාගෙන් විමසන නමුත් ඒ සම්බන්ධ කිසිවක් තමා නොකී බවත් ජනපතිවරයා අවධාරණය කළේය. 

අනතුරුව මේ සම්බන්ධයෙන් ඉන්දියානු අගමැතිවරයා හා පෞද්ගලිකවම අදහස් හුවමාරු කරගැනීමට ජනපති සිරිසේන මහතා කැමැත්ත පළකළ අතර, ඒ අරබයා කොළඹ හා නවදිල්ලිය අතර දුරකතන සංවාදයක් එදින පස්වරු 5.30ට සංවිධානය කැරිණ.
පළව තිබෙන වාර්තාවල සත්‍ය විකෘතිකොට තිබෙන බවත්, කැබිනට් මණ්ඩලයේ අර්බුද නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රත්වය පලුදු කරගැනීමේ හේතුවක් නොමැති බවටත් ඔව්හු එකඟ වූහ. 

නැගෙනහිර බහාලුම් පර්යන්තය සහ තමා ඝාතනය කිරීමේ තැත යනු කරුණු දෙකක් වුවත්, ඇතැම් මාධ්‍ය වාර්තාවලින් එම සිදුවීම් ද්විත්වය එකම සිදුවීමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර තිබෙන බව ද, ජනපති සිරිසේන මහතා ඉන්දියානු අගමැතිවරයාට පැහැදිලි කර දුන් බව එම මුලාශ්‍රය වැඩිදුරටත් සදහන් කළේය.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ අරබයා පළව තිබෙන වාර්තා බැහැර කිරීම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා සතිපතා පවත්වන මාධ්‍ය හමුවේදීද මෙම වාර්තා බැහැර කිරීම, කැබිනට් ලේකම් කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් ප්‍රකාශයන් නිකුත් කිරීම හානි පූර්ණයට ගැනුනු අනෙක් පියවරයන් විය.

අමාත්‍ය සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී නැගුනු පැනයන් කිහිපයක් හා ඔහු ඒවාට ලබාදුන් පිළිතුරු මෙසේය.

පැනය - අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් ජනපතිවරයා සහ අගමැතිවරයා අතර විවාදයක් ඇතිව තිබෙන බවට වාර්තා තිබෙනවා. එය බහාලුම් පර්යන්තයක් සම්බන්ධයෙන් ද?

පිළිතුර - එහෙම යෝජනාවක් තිබුණේ නැහැ. දොඹකර මිල දී ගැනීමක් තමයි එහි සඳහන්ව තිබුණේ.

පැනය - එහෙම නම් දෙදෙනා අතර වාදයක් ඇතිවුනු බවට පළව තිබෙන වාර්තා ගැන මොකද කියන්නේ ?

පිළිතුර - මේ ගැන කැබිනට් ලේකම් කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඉන්දියා රජය, පෞද්ගලික අංශය, සංවර්ධනය හෝ යටිතල පහසුකම් ගැන කිසිම දෙයක් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනුනේ නැහැ. කැබිනට් මණ්ඩල තීරණ සම්බන්ධයෙන් වාර්තා කරන කොට කැබිනට් ප්‍රකාශකගෙන් අදාළ තොරතුරු ලබාගන්න කියා කැබිනට් ලේකම් සුමිත් අබේසිංහ මහතා නිකුත් කර තිබෙන නිවේදනයේ සදහන් වෙනවා.

පැනය - වාර්තා ප්‍රතික්ෂේප කිරීම අපට තේරුම්ගන්න පුලුවන්. නමුත් ජනපතිවරයා රෝ සංවිධානය ගැනත් යමක් පවසා තිබෙනවා?

පිළිතුර - ජනපතිවරයා කීවේ අත්අඩංගුවට ගත් පුද්ගලයා රෝ සංවිධානයේ බව කියන්න ඔවුන් උත්සාහ කරනවා කියා. ඉන්දියාව සමග අපට තිබෙන හොද මිත්‍රත්වය විනාශ කරන්නට ඔවුන් උත්සාහ කරන බවයි ජනපතිවරයා කීවේ. සමහරවිට මේ තොරතුරු මාධ්‍යයට ලබාදුන්න පුද්ගලයා එය වටහාගත්තේ ඔය විදිහට වෙන්න ඇති.

පැනය - රෝ සංවිධානය කුමන්ත්‍රණය සම්බන්ධ බව මාධ්‍ය වාර්තාවේ දැක්වෙනවා?

පිළිතුර - ජනපතිවරයා එහෙම කිසිම දෙයක් කීවේ නැහැ.

පැනය - ඔබ කියන්නේ හින්දු පුවත්පතේ වාර්තාව අසත්‍යයි කියා ද?

පිළිතුර - හින්දු පුවත්පත විතරක් නොවෙයි. ඔක්කොම පුවත්පත් ටික වාර්තා කරලා තියෙන්නේ වැරදියට.

 



අදහස් (0)

අගමැතිගේ දෙසතිය ජනපති සතියක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1810 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 870 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 308 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


ආර්ථ්ක නවෝදයකට යා යුතු මග
2025 මාර්තු මස 24 222 0

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2024 වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.4කින් වර්ධනය වී තිබේ. එය සුවිශේෂ වන්නේ වසර කිහිපයක් තිස්සේ ආර්ථිකය සං


හොරුන් ඇල්ලීමේ නාටක
2025 මාර්තු මස 21 400 1

අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනා


ආරක්ෂාව නිදහස විවරණයක්
2025 මාර්තු මස 17 153 1

ඉතිහාසයේ ආරම්භයේ සිටම ශිෂ්ටාචාර වේගයෙන් වෙනස්වන තත්වය සහ ප්‍රමුඛතා හරහා සමාජයේ මූලික අවශ්‍යතා දෙකක් වන ආරක්ෂාව සහ නිදහස යන දෙක අතර නිවැරදි සමතුලිතතා


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 123 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 893 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site