බරැති තිරිවානා ගල් යට ගොස් ගොමරිටි දිය මතුයෙහි පාවීම අරුමයක් නොව සාමාන්‍ය දෙයකි. එහෙත් කොසොල් රජ්ජුරුවන් දුටු සිහින දහසයෙන් එකක් වූයේ එම සිදු වීමය. එම සිහිනය දුටු රජු භීතියට පත්වී එහි පල අපල විමසීමට ගියේ බුදුන් වහන්සේ ළඟටය. මේ සාමාන්‍ය දෙයෙහි අසාමාන්‍ය පල විපාක ඇති බව ඉවෙන් මෙන් වටහාගත් කොසොල් රජුට එය සැක හැර දැන ගැනීමට එදා බුදුන් වහන්සේ සිටියහ. ඒ වාසනාව අද අපටත් අප පාලනය කරන්නන්ටත් නොතිබීම රටෙත් ජනතාවගේත් අවාසනාවය. එහෙම කෙනකු අද සිටියත් අප පාලනය කරන්නන් එවැන්නකුගෙන් අවවාද නොගැනීමට නොපැතීමට තරම් ‘ඥානවන්තයන්’ නිසා එසේ බුදුන් වෙත නොයනු ඇත.
බුදුන් වහන්සේ කොසොල් රජුගේ බිය තුරන් කළහ. එසේ කළේ මහරජ බියවෙන්නට කරුණක් නොමැත, මෙය තොපගේ කාලයට අදාළ වන පල අපලයක් නොව මතු අනාගතයේ ලෝ වැස්සන් මුහුණ දෙන අවිචාරී තත්ත්වයක් පිළිබඳව අඟවන සිහිනයක් ය යන්න පාදක කොටගත් පැහැදිලි කිරීමක් මාර්ගයෙන් ය. අනාගතයේ මතු යම් දිනක වටිනා කියන දෑ අවමානයට සහ අවතක්සේරුවට ලක් වී යට ගොස් නො වටිනා දේවල් පූජනීයත්වයට සහ ගෞරවයට ලක්වන බව මෙම සිහිනයෙන් ප්‍රකාශවන බව බුදුන් ගේ පැහැදිලි කිරීමේ සරල තේරුම ය.
එදාම උපන් වසු පැටියන්ගෙන් මව් දෙනුන් කිරි බොන ආකාරය රජු දුටු තවත් සිහිනයකි. ජව සම්පන්න ගොනුන් සිටියදී වයසට ගිය ජරපත් ගොනුන් ගැල් අදිනු දැකීම තවත් සිහිනයකි. රන් තලියකට සිවලකු මුත්‍ර කරනු දැකීම තවත් සිහිනයකි. මේ සෑම සිහිනයක්ම අනාගතය විපරීත බව අඟවන ඒවා ය. පිළිවෙළින් සහ සරලව කිවහොත් නුසුදුස්සන් ගෙන් සුදුස්සන් යැපීම, සුදුස්සන් සිටියදී නුසුදුස්සන් බලවත් වීම සහ අඥානයන් වටිනා කියන දෑ නින්දාවට ලක්කොට කෙලෙසීම මේ සිහින පලාපලය. සමස්තයක් ලෙස ගත් විට මේ සිහින කීපයෙන් ප්‍රකාශ වුණේ අනාගතයේ යම් දවසක, නිසි අර්ථ විරහිත වී, අනිසි සහ ව්‍යාජ අර්ථකරුවන් සහ ව්‍යාජ අර්ථ බලවත් වන බවය. හොඳපිට නොව කණපිට බලවත් වන බවය.
පන්සිය පනස් ජාතක පොතේ එන මහ සුපින ජාතක කතාවෙහි සඳහන් සිහින දහසයෙන් කීපයක් ගැන කතා කරන්නට සිදුවූයේ පසුගිය 26 වැනිදා මෙරට සෞඛ්‍ය ඇමැතිවරයා ගේ අපූරු ප්‍රකාශයක් අසන්නට දකින්නට ලැබුණු නිසා ය. ඇමැතිවරයා ගේ ප්‍රකාශය වූයේ “බුදුරජාණන්වහන්සේ දේශනා කළේ ගිලනුන්ට උපස්ථාන කරන්න කියලා. එහෙත් අද භික්ෂුන් වහන්සේ නමක් නායකත්වය ලබාදෙන හෙද සංගමය වැඩ වර්ජනයක නිරත වෙනවා. බුදුන් වහන්සේගේ බුදු දහමටත් පිටු පා තමයි වර්ජනය කරන්නේ” යන්න ය.
මේ ආකාරයට භික්ෂුන් ගේ සමාජ භාවිත පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථා ඉතිහාසයේ එමටය. ඒ අතුරින් එකක් ගැන සඳහන් කරමි. අධිරාජ්‍ය ගැති ස්වදේශික ධනපති පාලකයන්ට එරෙහිව සහ අධිරාජ්‍ය විරෝධීව පැන නැඟුණු සමාජ දේශපාලන ක්‍රියාකාරකම් 1940 දශකයේ මැද හරියේ දී ප්‍රබල වූයේ පෑලියගොඩ විද්‍යාලංකාරය කේන්ද්‍රීය භික්ෂුන් වහන්සේලා එකී ව්‍යාපාරයේ මුල් තැනක් ගත් නිසාය. “සමාජවාදී භික්ෂුන්” බවට ඇතැමුන් විසින් නම් කරනු ලැබූ මේ භික්ෂුන් වහන්සේලාගේ ක්‍රියාකාරකම්වලට ඩී.එස්. සේනානායක ප්‍රමුඛ දක්ෂිණාංශික පාලකයෝ දැඩි ලෙස විරුද්ධ වූහ. ඔවුන්ට අනුව භික්ෂූන්ට දේශපාලනය අකැප ය. ඒ ගැන කීමට පෑලියගොඩ විද්‍යාලංකාරයට ආ ඩී.එස්. ට ආපහු හැරී යන්නට වූයේ හිස් අතින් නොවේ. එනම් “ශාසනේ වැඩ අපි බලා ගන්නම්, තමුන්නැහෙලා ගේ වැඩක් බලාගෙන මෙතනින් පිටවෙන්න” යැයි යක්කඩුවේ පඤ්ඤාරාම නායක හාමුදුරුවන්ගේ අවමන් සහගත සහ එඩිතර ඍජු වාග් ප්‍රහාරයේ පහස ද ලබමිනි.
ඊට ටික දවසකට පසු කැලණිය තොරණ හන්දියේදී වල්පොල රාහුල හිමි ඇතුළු තරුණ භික්ෂූන්ට දරුණු මැර ප්‍රහාරයක් එල්ල විය. ඒ ප්‍රහාරයට වගකිව යුතු, අදාළ චෝදනා ලත් නම් ලැයිස්තුවේ මුලට එවකට කැලණියේ පාලක බලවතා වූ ජේ.ආර්. ජයවර්ධනගේ නම ද ගෑවී තිබුණි. වල්පොල රාහුල හිමි අතින් “භික්ෂුවකගේ උරුමය” නම් වූ ග්‍රන්ථය ලියැවෙන්නේ ඒ පසුබිමේ ය. එය මුල් වරට ප්‍රකාශයට පත්වන්නේ 1946 දී ය. බහු ජනයාගේ හිත සුව පිණිස වැඩකරන ලෙස තම ශාස්තෘවරයා කළ ඉගැන්වීම් අනුව යමින් භික්ෂුන් සමාජ හිත සුව පිණිස වැඩකරන විට කවුරුන් හෝ එය දේශපාලනය යැයි නම් කරනවානම් ඒ පිළිබඳව භික්ෂූන්ට කරන්නට දෙයක් නැති බව රාහුල හිමි තම කෘතිය හරහා ප්‍රකාශ කළේ නිකම්ම නොවේ. එය සිදු කළේ බුදුන්ගේ ඉගැන්වීම් මනාව උපුටා දක්වමිනි. මේ දක්වාම එතරම් බලවත් එවන් කෘතියක් සම්පාදනය වී නැත.
හෙද සංගමයේ නායක හාමුදුරුවන් පිළිබඳ සෞඛ්‍ය ඇමතිවරයා මතු කරන කරුණ ඉහත සන්දර්භය තුළ තබා විවරණය කිරීම සාධාරණ යැයි සිතෙන්නේ ඔහුද ඩී.එස්. මෙන්, වර්තමාන භික්ෂුවගේ සමාජ-දේශපාලන භාවිත මූලධාර්මික ආකාරයෙන් ප්‍රශ්න කර ඇති නිසා ය. එහෙත් ගැටලුව වන්නේ මේ ආකාරයේ මූලධාර්මික ප්‍රශ්න කිරීමක් තමන් නියෝජනය කරන පාලක කණ්ඩායම්වල භාවිත ගැන පමණක් නොව තමා නායකත්වය දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය අරබයා ද මතුකළ හැකි බව සෞඛ්‍ය ඇමතිවරයා අමතක කිරීමය. එසේම අනුන් පදනම් විය යුතු මූලධාර්මික ආස්ථාන පෙන්නුම් කරන අන් අය විසින් තම ක්ෂේත්‍ර අරබයා මේ ආකාරයෙන් ප්‍රශ්න කිරීමක් සිදු නොකිරී ම ය.
සමස්ත සමාජයම කණපිට හැරී විකෘති වී අශීලාචාරව මං මුළා වී ඇති මොහොතක ඊට වගකිව යුත්තන් අනිකුත් වගකිවයුත්තන්ගේ ඇස්වල කෙස් ගස් දැක තම දෑස් මත පතිත වී ඇති පොල්ගස් නොදැකීම හෝ නොතකා හැරීම හෝ නො පෙන්වා සිටීමට වැර දැරීම සාමාන්‍ය දෙයක් මිස අරුමයක් නොවේ ය. එහෙත් සෞඛ්‍ය ඇමතිවරයා ගේ ප්‍රකාශය නො සලකා නො සිට අවධානයට ලක්කිරීම අතිශයින්ම වැදගත්ය. මන්ද ඒ හරහා සමාජ ප්‍රගමනයට අවැසි පොටක් පාදා ගත හැකි නිසා ය.
රටක් සමාජයක් පිහිටා සිටිය යුතු මූලධාර්මික පදනම් සහ දේශික අභිලාෂ නොතකා හැර රට සහ සමාජය අවරට යාමට මඟ කැපුවෝ මෙරට පාලකයෝ, ව්‍යාපාරික ජාවාරම්හු සහ උන්ට ගැතිකම් කරමින් මඩිය සහ තනතුරු ලබා ගත් නිලධාරීහුය. මේ තුන් හවුල එකතුව ඔවුන්ගේ ඒකාබද්ධ ත්‍රිකෝණික සංවර්ධනය සඳහා රටේ නො නැසූ දහමක් නැත. නො නැසූ සංස්කෘතික වටිනාකමක් නැත. නොකෙලසූ ආයතනයක් නැත. නො කැපූ කැලයක් නැත. නො හෑරූ පොළොවක් නැත. ඉතුරු කළ දිය පහරක් නැත. පරිස්සම් කළ අහසක් නැත. ඝෝෂාවට සහ දූෂණයට ලක් නො කළ සන්සුන් තැනක් නැත. සොරා නො කෑ පොදු සම්පතක් නැත. උදුරා නො ගත් ජන අයිතියක් නැත. නො කෙලසූ මනසක් නැත. අපවිත්‍ර නො කළ සමාජයක් නැත. ඒ සියල්ල කළේ පාලකයන්, ව්‍යාපාරික ජාවාරමුන් සහ නිලධාරීන් සහිත ත්‍රිකෝණයේ පල ප්‍රයෝජන වෙනුවෙනි.
1977 සිට ඇරඹුණු ස්වදේශික ආර්ථික සහ සංස්කෘතික සංහාරයේ පෙර සහ පසු ගමන්කරුවන් තම වෘත්තියට සහ තනතුරු නාමයට ගැළපෙන සියලු මූලධාර්මික පදනම් නො සලකා හරියේ අලුයම ලූ කෙළ පිඩක් සේ ය. දේශපාලකයන් නොකළේ දේශපාලනය ය. ඔවුන් වැඩකළේ සහ වැඩ කරන්නේ දේශපාලන සංස්කෘතියක නොව ව්‍යාපාරික සංස්කෘතියකට වඩා ජාවාරම්කාර ව්‍යාපාරික අසංස්කෘතියක ය.
ජනමාධ්‍ය සංස්කෘතිය යට ගොස් ‘ලාබ සිනා මාධ්‍ය සංස්කෘතිය’ බලවත්ව මතු වී ඇත. මහජන සෞඛ්‍ය සේවය යට ගොස් වෙළෙඳ සෞඛ්‍යය බලවත් වූයේ මහජන සෞඛ්‍යය සඳහා වූ වෘත්තිකයන්ගේ සහ දේශපාලකයන්ගේ ඍජු අනුග්‍රහය සහිතවය. ගොවිජන සේවය බහු ජාතික කෘෂි වෙළඳ මාෆියාවේ අතරමැදි සේවය බවට පත් වී ඇත. පොදුජන අධ්‍යාපන ක්‍රමය පෞද්ගලික අධ්‍යාපන වෙළෙන්දන්ගේ පහසුකාරකයා සහ පසුබිම් සාදන්නා බවට පත් කොට ඇත. පොදුජන සේවා කේන්ද්‍රීය මගී ප්‍රවාහන සේවය ව්‍යාපාරික කේන්ද්‍රීය වෙළඳාමක් බවට පත් කොට ඇත. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනය නිලධාරී සහ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන වෘත්තියක් වී ඇත. රාජ්‍ය සේවය හුදු පුද්ගල කේන්ද්‍රීය නිලධාරී සේවයක් බවට පත්ව ඇත. මේ අයුරින් මූලධාර්මික පදනම් කණපිට ගැසූ කලාප අනන්තය, අපමණය. ඒවා සිදු වුණා නොව හිතාමතා හුදු බලය සහ ලාභ අපේක්ෂාවෙන් කළ දෑ ය.
එවැනි පසුබිමක හාමුදුරුනමක් හෙද සංගමයක නායකකමක් දැරීම සහ වැඩ වර්ජන මෙහෙය වීම අරුමයක් වන්නේ තරමක හෝ දේශපාලනයක් තිබුණු තරමක හෝ මුලධාර්මික පදනම් ආරක්ෂා කෙරුණු හැට හැත්තෑව දශකයට සාපේක්ෂව මිස සියල්ල කණපිට ගැසුණු අදට සාපේක්ෂව නොවන බව අප වටහා ගත යුතුමය. එසේ නොවුනහොත් අනුන්ගේ ඇසේ කෙස්ගස් පෙන්වමින් තම ඇස්වල ඇති පොල්පරාල වසන් කරන අයට නැවත නැවත අප මුළාවේ දැමීමට හැකිවනු ඇත.
ධම්ම දිසානායක
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබු
ජනාධිපති අනුර කුමාර දිසානායක වගකීම දරන එක් විෂයක් වන්නේ කෘෂිකර්මාන්තයයි. අනෙක් අතට ආහාර සුරක්ෂිත භාවය හා සෞඛ්‍ය වැනි කෘෂිකර්මයට සම්බන්ධ ඒ මත රැඳුණු ව
පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොම රිටි මතු වන අදේශපාලනය
smn Friday, 29 March 2019 06:27 AM
හරවත් ලිපියකි. එහි හරය 1977 න් පසු අප රටේ සියලුම කටයුතු කණපිට පෙරළී ඇති බවයි. එවැන්නක් පිළිබද බුද්ධ භාෂිතයක්ද ඇතැයි සඳහන්ය... අපට කළ හැකි දෙයක් නැත. අපි අසරණය… අනාථය..