IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


මඟුල් ගෙදර සිට අගමැති පුටුවට

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රජපක්‍ෂ මහතා අතර පසුගිය සතිය ආරම්භයේ දී ඇතිවුනු එකඟතාවය අවසාන වනතෙක්ම පැවතුනේ රහසක් ලෙසය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගෙවුණු සිකුරාදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස ද මේ පිළිබද කිසිත් නොදැන සිටියෝය.

“මට අලුත් රජයක් පිහිටුවන්නට වුවමනායි. ඔබ සියලුදෙනාට කිසිදු ගැටලුවක් ඇති නොවන බවත් මම සහතික කරනවා” ජනපතිවරයා පැවසුවේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 24 දෙනෙකුගේ සහාය හිමි ජනපති සිරිසේනටය. ඔවුන් ඇතැමෙක් දැනට දරමින් සිටින අමාත්‍යධූරවල වෙනසක් සිදුනොවන බවත් ඇතැම් විට තවත් විෂයයන් එකතු විය හැකි බවත් ජනපතිවරයා පැවසුවේය.

පස්වරු 5.00ට පමණ ආරම්භ වී පස්වරු 7.30ට පමණ අවසන් වූ මෙම රැස්වීම සති අන්තය සදහා සූදානම් වෙමින් සිටි කොළඹට තවත් සාමාන්‍ය දෙයකට වඩා වැඩි යමක් නොවීය. පැමිණ සිටි පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු ඇතැමෙක් වැදගත් යමක් සිදුවන්නට යන බව වටහාගෙන සිටියද ඒ කුමක්දැයි ඔවුන් පවා දැන සිටියේ නැත. 

ජර්මනියේ සිටි මුදල් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවා කොළඹට පැමිණීමට ලහිලහියේම ගුවන්යානයකට ගොඩවූයේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය.

රැස්වීම අවසාන වූ පසු වහාම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නොනිල නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇමතූ ජනපතිවරයා කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස ඔහුට දැන්වූයේය. 

එම අවස්ථාවේ දී හිටපු ජනපතිවරයා සිටියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලේ පැවැති විවාහ උත්සවයකට සහභාගී වෙමිනි. ජනාධිපති මන්දිරයට පැමිණි වහාම රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවට ශ්‍රී ලංකාවේ 15 වැනි අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ජනපති සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දුන්නේය.

නව රජයට නායකත්වය දෙනු ඇත්තේ කවුරුන්දැයි යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු පවා දැනගත්තේ ඉන් පසුවය. ඇතැමෙක් වහ වහා ජනාධිපති මන්දිරයට පැමිණියත් ඒ වන විට දිව්රුම්දීම අවසන්ව තිබිණ.

පුවත ඇසුණු වහාම ඒ වන විට ගාල්ලේ සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉක්මනින්ම කොළඹට පැමිණියේ ය.තමන් තවමත් ශ්‍රී ලංකාවේ අගමැතිවරයා බව අවධාරණය කළ ඔහු, පාර්ලිමෙන්තුවේ බහුතරය තමන් වෙත ඇති හෙයින් මෙසේ වෙනත් පුද්ගලයකු තමන් වෙනුවට පත්කිරීම ව්‍යවස්ථානුකූල නොවන බව පැවසුවේය.

වික්‍රමසිංහ මහතා සිකුරාදා රාත්‍රිය ගතකළේ අරලියගහ මන්දිරයේය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු අතලොස්සක්ද ඔහු සමග වූහ. ඊට මද වේලාවකට පෙර අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න සහ පාර්ලිමෙන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන මහත්වරුන් රූපවාහිනී පරිශ්‍රයට ඇතුල්වීමට දැරූ උත්සාහයක් අසාර්ථකව තිබිණ. 

රටේ අගමැතිවරයා රනිල් වික්‍රමසිංහ මහතා බවත් කැබිනට් මණ්ඩලය තවමත් ක්‍රියාත්මක බවත් ප්‍රචාරණය කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් ඒ වන විටත් රූපවාහිනී පරිශ්‍රය වටකර තිබූ අතර, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගෙන් ගලවාගෙන ආරක්ෂාකාරීව පිටත් කර හැරීමට පොලිසියට මැදිහත්වීමට සිදුවිය.

එදින රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායමේ රැස්වීමක් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු 60 දෙනෙක් පමණ ඊට සහභාගීව සිටි අතර, වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව සදහන් කර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිව්රුම් ප්‍රකාශයන් ලබාගැනීම මෙම රැස්වීම සංවිධානය කර තිබීමේ ප්‍රධාන අරමුණ විය. 

එය වික්‍රමසිංහ මහතාට ආසන 225කින් යුතු පාර්ලිමෙන්තුවේ බහුතරය වන ආසන 113 ක සහාය ඇති බව සනාථ කෙරෙන සාක්ෂියක් වනවා පමණක් නොව අගමැතිධූරයෙන් ඉවත් කිරීම අරබයා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවීමට වික්‍රමසිංහ මහතා පියවර ගතහොත් ඒ සදහාද ඉතාම වැදගත්ය. කෙසේ වෙතත් ජනපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් කියා සිටියේ නව රජයක් තැනීමට ප්‍රථම, එසේ අගමැතිවරයා ඉවත් කිරීමේ ව්‍යවස්ථානුකූලභාවය පමණක් නොව පාර්ලිමෙන්තුවේ බහුතරය දිනාගත හැකිද යන්නත් ඉතාම අවධානයෙන් විමසුමට ලක් කැරුණු බවය. සවිමත් පදනමක් තිබෙන බව අපට විශ්වාසයි, නම සදහන් නොකිරීමේ පොරොන්දුව මත අදහස් දැක්වූ අයෙක් පැවසුවේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු අමතමින් කළ කතාවේදී නව රජය ස්ථාපිත කෙරෙන්නේ කෙසේද හෝ අගමැතිවරයා ලෙස හිටපු ජනපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් හෝ කිසිවක් ජනපති සිරිසේන මහතා සඳහන් නොකළේය. ඒ වෙනුවට ඔහුගේ කතාවේ වැඩි කොටසක් වෙන්වූයේ තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය ගැන අදහස් දැක්වීමටය. 

කළකිරුණු ස්වරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් ඇමතූ ජනපතිවරයා, කුමන්ත්‍රණය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයන්ට දේශපාලන බලපෑම් එල්ලවී තිබෙන බව පැවසූ අතර, වගකිවයුතු ලෙස කටයුතු නොකරන්නේයැයි පොලිස්පතිවරයාට දොස් කීවේ ය.

“විමර්ශන කටයුතු වෙනත් පැත්තකට යොමුකරන්න ඔවුන් උත්සාහ කරමින් සිටිනවා” යයි ඔහු පැවසුවේය. 

වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තනතුරින් ඉවත් කර ඒ වෙනුවට ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ මහතා පත් කිරීම ජනපතිවරයාගේ ඉදිරි කටයුතුවල ඉහළම ප්‍රමුඛත්වයක් හිමිව තිබෙන කාරණයකි. වහාම කොළඹට පැමිණ ජනපතිවරයාගේ ආරක්ෂක කටයුතු නියාමනය කරන ලෙස එස්.එම්.වික්‍රමසිංහ මහතාට ඒ වන විටත් උපදෙස් නිකුත් කර තිබිණ.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාද ජනපති සිරිසේන මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.

“මේ වගේ අය එක්ක මම කැබිනට් මණ්ඩලයක ඉදගෙන ඉන්නේ කොහොමද?” ඔහු ඇසුවේ ය.  

සභාග රජයෙන් ඉවත්ව නව රජයක් තැනීම සදහා ජනපති සිරිසේන මහතා ගෙන තිබූ තීරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායමේ ඒකමතික කැමැත්ත ප්‍රකාශයට පත් කෙරෙමින් රැස්වීමට නිමාවට පත්විය. අනතුරුව පක්ෂයේ පරිපාලන යාන්ත්‍රණය ක්‍රියාත්මක විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය සමග තනාගෙන සිටින සන්ධාන රජයෙන් ඉවත් වන බව කතානායක කරූ ජයසූරිය මහතාට ලිඛිතව දැන්වීමට සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පියවර ගත්තේය. 

සිකුරාදා රාත්‍රියේ ජනපති ලේකම් උදය.ආර්.සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කැරුණු ගැසට් නිවේදනයේ මෙසේ සදහන්ව තිබිණ.

අතිගරු ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජාවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව යටතේ, පාර්ලිමෙන්තු මන්ත්‍රී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 2018 ඔක්තෝබර් මස 26 වැනි දින සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යධූරයට පත්කළ බැව් මෙයින් දැනුම් දෙනු ලැබේ.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස දිව්රුම් දීම හමුවේ සැළසුම් කරගෙන සිටි ආකාරයට ලබන මස 05 වැනිදා අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇත. ඒ අතරවාරයේම පාර්ලිමේන්තුවේ සභාවාරය අවසන් කිරීමට ජනපතිවරයා පියවර ගෙන තිබෙන අතර නැවත පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් මස 16 වැනිදාය.

නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත දිනා ගැනීමට නව රජය සමත්වුවහොත් ඉදිරි කටයුතු දියත් කිරීම සදහා ව්‍යවස්ථාමය අවසරය ලබාගැනීමට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමටත්, ලබන වසර ආරම්භයේ දී අයවැය යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටත්, සැළසුම් කර තිබේ. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි වසර සදහා අයවැය සකස් කිරීමේ කටයුතුවල ගෙවුණු දින කිහිපයේද කාර්යබහුලව සිටි අතර, පසුගිය සතියේ ද බොල්ගොඩ ගඟ අසබඩ පිහිටි සිය නිවසේ සිටද එහි පැමිණ සිටි භාණ්ඩාගාරයේ ජේ්‍යෂ්ඨ නිලධරයන් හා ඔහු අයවැය යෝජනා සකස් කළේ ය.

ගෙවුණු සිකුරාදා දිගහැරුණු පරිච්ඡේදය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක් ලෙස සැළකුවහොත්, ඒ හා සම්බන්ධ තවත් කරුණු කාරණා රැසක් ඉදිරි සතියේ දී කරළියට පැමිණෙනු ඇත. 

ජනපති සිරිසේන මහතා ඊයේ (28 වැනිදා) ජාතිය ඇමතූ අතර, නව අගමැතිවරයකු යටතේ නව රජයක් පත් කිරීමට සිදුවූ හේතු කාරණා මෙන්ම, යටගසා ඇතැයි කියන මහා පරිමාන දූෂණ හා වංචා කිහිපයක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය කළේය. එපමණක් නොව තමන් ඝාතනය කිරීමට දියත් කර තිබූ කුමන්ත්‍රණයේ තතු හෙළි කිරීම ද ජනපතිවරයාගේ සැළසුම විය. 

පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය ජනපතිවරයා යටතට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇත. නීතිපති දෙපාර්තමේන්තුවද එසේ ජනපතිවරයා යටතටම පත්වීමේ ලකුණු පළව තිබේ.

දිව්රුම් දීමෙන් පසුව නව අගමැති රාජපක්ෂ මහතා නාරාහේන්පිට අභයාරාමයට ගොස් එහි පැවැති ආගමික වතාවත්වලට සහභාගීවිය. හුණුපිටියේ ගංගාරාම විහාරයද ඔහු වැදපුදා ගත්තේය. නව අගමැතිවරයා පිළිගැනීමට විශාල පිරිසක් රාජපක්ෂ මහතාගේ විජේරාම මාවතේ පිහිටි නිවස අසළට පැමිණ සිටියහ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප්‍රමුඛ නියෝජ්‍ය පොලිස්පතිවරු කණ්ඩායමක් මෙන්ම ආරක්ෂක අංශවල මුල් පෙළ සාමාජිකයා්ද ඔවුන් අතර වූහ. 

නව අගමැතිවරයාට සුභ පැතීමට බෞද්ධ භික්ෂූහුද පැමිණ සිටියහ. 

“දිනෙන් දිනම උග්‍ර වෙමින් තිබූ ආර්ථික තත්ත්වය හමුවේ පීඩා විදිමින් සිටි ශ්‍රී ලංකා ජනතාවට උපකාර කිරීමේ නව අභියෝගයක් මම භාරගෙන තිබෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම පහත වැටෙමින් තිබෙන අතරේ, ජීවන වියදම අහස උසට නැගෙමින් තිබෙනවා. මේ ගැන එක්සත් ජාතික පක්ෂ රජය කිසිම සැළකිල්ලක් දක්වා නැහැ” යයි නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සන්ඬේ ටයිම්ස් පුවත් පතට පැවසුවේ ය.

- මතු සම්බන්ධයි

 



අදහස් (1)

මඟුල් ගෙදර සිට අගමැති පුටුවට

vipula Monday, 29 October 2018 05:57 AM

ජනපතිට පහුවෙලා හෝ රට බාරදිය යුතු පුද්ගලයා තේරුම් යාම රටේ වාසනාවයි. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක තිබුණත් රටේ ජනතාවට හිටපු අගමැතිට තුනෙන් එකක්වත් නැහැ .

:       1204       473

ඔබේ අදහස් එවන්න

කොලම

අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 256 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 828 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


​දැක්මක ගමනක ජයග්‍රහණ
2024 සැප්තැම්බර් මස 13 774 4

හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැ


විකල්ප තේරීම් ඕනෑද?
2024 සැප්තැම්බර් මස 09 619 2

නිදහසින් පසු මෙරට පැවැත්වූ සහ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ අතරින් මෙවර පැවැත්වෙන්නේ තීරණාත්මක එකකි. මෙවර අපේක්ෂකයෝ තිස්අට දෙනෙක් ඉදිරිපත්ව සිටිති


ජනපතිවරණ සාකච්ඡා තේමාව
2024 සැප්තැම්බර් මස 06 268 0

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ක


බදු ගෙවන්නන් බිත්තියට හිරකිරීම
2024 සැප්තැම්බර් මස 02 869 0

දැනට පවතින බදු අභියාචනා පටිපාටියට සංශෝධන ගෙන ඒම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට 2024.07.22 දින කැබිනට් අනුමැතිය හිමි වූ බව ටික දිනකට ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site