IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


19 ඉලක්ක සපුරා ගත්තාද

19 වැනි සංශෝධනය ගැන මේ වනවිට කිසියම් විවේචනයක් දේශපාලන ලෝකයෙන් පැමිණ තිබේ. එහෙත් එහි ඇත්ත නැත්ත වටහාගැනීමට නම් කිසියම් ආකාරයකට ඊට අදාළ දේශපාලන ඉතිහාසය ද විමසිය යුතුවේ. එම පෙරළියේ මූලික තර්කනය වූයේ විධායක ජනාධිපති ධුරය මේ රටට හානිකරය යන්නයි. 2015 ජනවාරි 8 සිදු වූ එකී දේශපාලන වෙනසට මතවාදී වශයෙන් ආලෝකය සපයනු ලැබුවේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් විසිනි. සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හැටියට උන්වහන්සේගේ නායකත්වය ලැබුණු එම දේශපාලන ව්‍යාපාරය එක්තරා ආකාරයකට සමාජ ව්‍යාපාරයක් ද විය. 

ජනාධිපතිවරණ ජයෙන් දින 100 ක් ඇතුළත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම එහි මූලික සටන් පාඨයක් වුවද ජනමත විචාරණයකට යෑමට සිදු වූ තත්ත්වය විසින් ඉලක්කය පමා කරනු ලිබිණි. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය විට එයින් නිර්දේශ වූයේ ඇතැම් සංශෝධන සඳහා ජනමත විචාරණයකට යා යුතු බවය. එවිට ආණ්ඩුව කළේ ජනමතවිචාරණයකට නොයා කළ හැකි සංශෝධන මගින් විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමය. සරලව කිවහොත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමක් එයින් නොවීය. ඒ වනවිට පැවැතියේ පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති ආණ්ඩුවකි. එම සීමා මායිම් 19 වැනි සංශෝධනයට ද බලපෑවේය. කවර සීමාසහිතකම් පැවැතිය ද 19 වැනි සංශෝධනයේදී ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කැපකිරීම් ප්‍රශංසනීයය. ජනාධිපතිවරයා තනි මන්ත්‍රීවරුන් වෙත පෞද්ගලිකව කතාබහ කර ඊට ලබාගත් සහාය අගය කළ යුතු කැපකිරීමකි. 19 වැනි සංශෝධනය යථාර්ථයක් වූයේ ජනාධිපතිවරයාගේ එකී කැපකිරීම නිසාය. එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත් කිරීම මගින් පොලිසිය ඇතුළුව නීති පද්ධතිය ද නිසියාකාරව ක්‍රියාත්මක වීමට මග පෑදීමය. ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් නිර්මාණය වීමය. ඊට හොඳම උදාහරණය නම් රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයා ද ඇතුළුව ඕනෑම දේශපාලකයකු නිර්භයව විවේචනය කිරීමට හැකි තත්ත්වයක් පුරවැසියන්ට උදා වී තිබීමය. මෙය කිසිවකුටත් ප්‍රතික්ෂේප කළ නොහැකි ඉදිරිගාමී දේශපාලන පරිසරයකි. 

කෙසේ වෙතත් 19 වැනි සංශෝධනයෙන් පසුව ජනිත වූයේ බල කේන්ද්‍ර දෙකකි. එසේ ද්විත්ව බල කේන්ද්‍ර හටගත්තත් දේශපාලන වෙනස වෙනුවෙන් කැප වූ ජනතාවට පැවැතියේ එකම අභිලාෂයකි. ඒ, ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන්ට දුන් දේශපාලන පොරොන්දු පත්‍රය වෙනුවෙන් එකාවන්ව වැඩ කරනු ඇතැයි කියාය. අවාසනාව වූයේ එය යථාර්ථයක් නොවීමය. උද්ගත වූ දේශපාලන ප්‍රශ්න හමුවේ සාකච්ඡා කර විසඳාගැනීමේ පිළිවෙතක් මේ නායකයන් දෙදෙනාට නොවීම ඊට මූලිකවම බලපෑවේය. 19 වැනි සංශෝධනය යනු රට ඉල්ලා සිටි දේශපාලන පරිවර්තනයේදී එක තැනක සිට තවත් තැනකට යන කාලය දක්වා වූ තාවකාලික ලැගුම්හලකි. එහි අවසාන යථාර්ථය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි. මෙකී ද්විත්ව බල කේන්ද්‍ර එක් කේන්ද්‍රයක් බවට පරිවර්තනය වන්නේ එමගිනි. එහෙත් මේ නායකයන් දෙදෙනා එය තේරුම් ගත්තේ නැත. ජනාධිපතිවරයා යනු මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක්සේ සලකා පැවැත් වූ ඡන්දයෙන් තෝරාපත් කරගත් අයෙකි. ශ්‍රේෂ්ඨාධිකරණයට අනුව ඔහුගේ බලතල හුදු ව්‍යවස්ථා සංශෝධනයකින් කප්පාදු කළ නොහැකිය. එනිසා මෙම දේශපාලන පරිවර්තනයේ නිම නොකළ වැඩ කොටස පැවැරී ඇත්තේ ඊළඟට පත්වන ආණ්ඩුවටය. එහෙත් එය සිදුවනු ඇත්තේ එයට ඇත්ත වුවමනාවක් තිබුණහොත් පමණි. 

ජනාධිපති හා අගමැති යන ධුර දෙකම එකම පක්ෂයකට ලැබුණොත් මේ ගැටලුව විසඳාගැනීම පහසු කරනු ඇතැයි ඇතැම්හු පවසති. එහි කිසියම් සත්‍යයක් තිබේ. එහෙත් පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී බලපායි. එකම පක්ෂයෙන් වුව දුර්වල පුද්ගලයකු තනතුරකට පත්වුවහොත් එය පාලනයේ ගුණාත්මකභාවයට බලපෑම නොවැළැක්විය හැකිය. උදාහරණයකට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අගමැතිකම දැරූ රණසිංහ ප්‍රේමදාස මහතා පසුව පැවසුවේ එකල තමාට කාර්යාල කාර්ය සහායකයකුගේ බලයවත් නොතිබූ බවය. කෙටියෙන් කිවහොත් ඔහුට ක්‍රියාත්මක කිරීමට බලතල තිබී නැත. මේ තත්ත්වය 19 වැනි සංශෝධනය යටතේ ද දූරිභූත වේ යැයි සිතිය නොහේ. එකම දේශපාලන පක්ෂයෙහි පවා පුද්ගල ගැටුම් හටගත හැකිය. එනිසා අප මෙහිදී මතුකළ යුතු මූලික ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ධුරයෙන් රටට හොඳක්වී තිබේ ද නැද්ද යන්නයි. එය අවංකව විමසුවහොත් පැරැණි පාර්ලිමේන්තු ක්‍රමයට යාමේ වටිනාකම හඳුනාගැනීම දුෂ්කර නැත. මගේ අදහස නම් සමස්තයක් වශයෙන් බලද්දී 1978 සිටම විධායක ජනාධිපති ධුරයෙන් රටට සිදු වූ යහපතක් නැති බවය. ජනාධිපති ක්‍රමයක් යනුම තනි පුද්ගලයකුගේ පාලනයකි. තනි පුද්ගලයකුගේ පාලනය යනු ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර පරිසරයක් නොවේ. බොහෝවිට ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ තම පෞද්ගලික උපදේශකයන්ගේ අදහස් මතය. එම උපදේශකයෝ රටේ ජනතාවට වගකියන්නට බැඳී නොසිටිති. එහෙත් පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයේදී අගමැතිවරයා රට පාලනය කළයුත්තේ කැබිනට් මණ්ඩලය සමඟය. හිතුවක්කාරී තීන්දු ගැනීමට එහි ඉඩක් නැත. කැබිනට්ටුව පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුව ජනතාවටත් වගකියන්නට බැඳී සිටී. එම ක්‍රමයේදී ජනාධිපතිවරයා ද පාර්ලිමේන්තු රැස්වීමට පැමිණිය යුතු අතර ප්‍රශ්න කිරීමට ලක්වේ. එකී පාර්ලිමේන්තුව යනුම මහජන නියෝජිත මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස්වලට ඉඩක් ඇති වේදිකාවකි. 

පළමු මිනිස් බිල්ල හැටියට යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඞ් දොරේඅප්පා ඝාතනයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානය වැඩපටන්ගත්තේ 1975 දීය. ඒ අවස්ථාව වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකත්වය සංඛ්‍යාත්මකව 13 කි. එහෙත් 1978 විධායක ජනාධිපති ධුරයේ බලතල සමඟ සිදුවූයේ කුමක් ද? එල්.ටී.ටී.ඊ සංවිධානය වේගයෙන් ශක්තිමත් වීමය. එමගින් රටට සිදු වූ විනාශයේ දිග පළල විස්තර කිරීමට අවශ්‍ය නැත. දළදා මාළිගාවට, ජය ශ්‍රී මහා බෝධියට, කාත්තන්කුඩි පල්ලිවලට, මහ බැංකුවට, කටුනායක ගුවන් තොටුපොළට, ගාල්ල නාවික හමුදා කඳවුරට ආදී වශයෙන් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වැල නිමක් නොවීය. අවසානයේදී ප්‍රධාන පෙළේ දේශපාලකයන්ගේ සිට යුද හමුදාපති, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්  දක්වාම එය ප්‍රසාරණය විය. මේ විධායක ජනාධිපති ධුරයේ තීන්දුවල අනුහසින් හටගත් තත්ත්වය බව අවංකව සිතුවොත් බැහැර කරන්නට බැරි ඇත්තයි. එහෙත් ඉන් පෙර හටගත් තත්ත්ව පාර්ලිමේන්තු ක්‍රමයේදී කැබිනට්ටුවේ කෙරුණු සාකච්ඡාවලින් සමථයකට කරගැනීමට හැකියාව ලැබිණි. ආරක්ෂාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ක්‍රමයේ සමත්භාවය ගැන අවශ්‍ය නම් ගෝලීය උදාහරණ වුව තිබේ. ඊට කදිම නිදසුන නම් දෙවැනි ලෝක සංග්‍රාමයයි. කෙසේ වෙතත් මේ වනවිට ඇතැම් පාර්ශ්වවලින් රටට ශක්තිමත් පුද්ගලයකු පාලනයට අවශ්‍ය බවට වූ යෝජනාවක් මතුව තිබේ. ඔවුන්ගේ දේශපාලන ශබ්ද කෝෂයට අනුව නම් මේ ශක්තිමත් පුද්ගලයා වනාහි ඒකාධිපතියෙකි. එහෙත් යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී අප විශ්වාසය තැබිය යුත්තේ පුද්ගලයන් කෙරෙහි නොව ආයතන ගැනය. සිදුවිය යුත්තේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය. මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්නේ පුද්ගලයකු මත විය නොහැකිය. මේ චින්තනයම ප්‍රජාතන්ත්‍රවිරෝධීය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන විට එහි නිසග ප්‍රතිඵලය වන්නේ මිනිසුන් ශක්තිමත් වීමය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේදී ආණ්ඩුව වරදක් කළහොත් ඊට විරෝධය දැක්වීමට පුරවැසියන්ට යම් උපකරණ තිබේ. උද්ඝෝෂණ, වැඩ වර්ජන, අතරමැදි එකඟතා ආදී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලට ද ප්‍රතිචාරයක් නැතිනම් වසර පහකින් හෝ හයකින් සිය ඡන්ද බලය මගින් පාලකයන් ආණ්ඩුමට්ටු කිරීමට පුරවැසියාට හැකියාව ඇත. එහෙත් ශක්තිමත් පාලකයන් තනන්නට ගොස් නිර්මාණය වන ආඥාදායක පාලනාධිකාරියකදී මේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩක් නැත. එවැනි අභ්‍යාස ඇතැම්විට කැඳවනු ඇත්තේ බිහිසුණු ඉරණමකි. 

කෙසේ වෙතත් අප කියන මේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් රටක් හැටියට අප නඩත්තු කරන දේශපාලන සාකච්ඡාව දරිද්‍රතාවෙන් පෙළෙන එකකි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශ්වාස කරන දේශපාලන පක්ෂ එහි වටිනාකම් ගැන පණිවුඩය හරියාකාරව ජනතාවට සන්නිවේදනය කරන බවක් අපට පෙනෙන්නේ නැත. අනෙක් පාර්ශ්වය සිවිල් සමාජයයි. සිවිල් සමාජයට දේශපාලන පක්ෂවලට ගැතිබවක් තිබිය නොහැකිය. සිවිල් සමාජය හැටියට අප හඳුනා ගන්නේ ස්වාධීන ලෙසත් පැණසර ලෙසත් ප්‍රශ්න දෙස ගැඹුරින් බැලිය හැකි පිරිස්ය.  කලබලකාරිත්වය වෙනුවට විවේක බුද්ධියෙන් ප්‍රශ්න දෙස බැලීමට ඔවුන්ට අනිවාර්යෙන්ම හැකිවිය යුතුය. දේශපාලන වශයෙන් මෙවැනි වියවුල්සහගත සහ කලබලකාරී සාකච්ඡා හටගන්නා අවධියකදී රටටත් ජනතාවටත් ප්‍රඥාලෝකය දිය යුත්තේ ඔවුන්ය. අවාසනාවකට මෙකී සිවිල් සමාජ පාර්ශ්වය ද අද සිටින්නේ දුර්වල තැනකය. උත්ප්‍රාසජනක ලෙස ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමේ උපරිම වාසිය ගනු ලබමින් සිටින්නේ දුෂ්ට බලවේග විසිනි. රටේ ප්‍රගතියට හේතුවන කටයුතු කරන පිරිස් පවා එහි වාසිය නිසියාකාරව ගන්නා බවක් පෙනෙන්නට නැත. අප අද කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයත් මීට අඩ සියවසකට ඉහතදී කතා කළ ප්‍රජාතන්ත්‍රවාදයත් අතර ලොකු වෙනසක් තිබේ. එකල ප්‍රජාතන්ත්‍රවාදයේ අතිමූලික ලක්ෂණය හැටියට සැලකුවේ සර්වජන ඡන්ද බලයයි. එම ඡන්ද බලයෙන් ආණ්ඩු පත්කිරීම හා මාරු කිරීමයි. එහෙත් අද එසේ හුදු ඡන්ද ප්‍රකාශයෙන් පමණක් සෑහී අත පිසදාගන්නට වගකිව යුතු පුරවැසි සමාජයකට නොහැකිය. ආණ්ඩුවක් පිස්සු නටනවා නම් එය නිවැරැදි මාවතට අවතීර්ණ කිරීමේ ශක්‍යතාවය සිවිල් සමාජයට තිබිය යුතුය. අනෙක් අතට අප මෙසේ විවේචනය කරන අතරේ පවා සිවිල් සමාජයේ උපකුලක හැටියට ක්‍රියා කරන ප්‍රගතිශීලී තරුණ කණ්ඩායම්, කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් ආදී පිරිස් සැලකිය යුතු සමාජ මැදිහත්වීමක් කරන බව ද අමතක කළ නොහැකිය. ඔවුන්ගේ මෙකී මැදිහත්වීම් පැණසර නොවන දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් තරමට සමාජගත නොවන්නේ ඇයි? අප විමසිය යුත්තේ එයයි. අප කවුරුත් දන්නා සමාජ යථාර්ථය නම් ආර්ථික වශයෙන් දැඩි පීඩාකාරී පරිසරයක් සහිත සමාජයක පුද්ගලයන් වශයෙන් සියලු පුරවැසියන් ගතකරන්නේ දුෂ්කර ජීවිතයකි. චෝදනාවට ලක්වන සිවිල් සමාජයේ තනි පුද්ගල පුරවැසියන් සිය සමාජ දේශපාලන මැදිහත්වීම් කළයුත්තේ දෛනික ජීවිකාව ද සරිකර ගනිමිනි. සංවිධිත දේශපාලන පක්ෂ ව්‍යාපෘති දියත් කරන්නන්ට තරම් මේ මැදිහත්වීම් කිරීම පහසු නැත. උදාහරණයකට කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන දේශපාලන වැඩසටහන්ම ගත හැකිය. අද දේශපාලන සම්මන්ත්‍රණයකට රැස්වීමකට එම ශාලාව පුරවන්නට මිනිසුන් ගෙන්නා ගැනීමම ප්‍රශ්නයකි. එහෙත් 1977ට පෙර පැවැති තියුණු සමාජ දේශපාලන මැදිහත්වීම් ක්‍රියාවලියෙහි එසේ නොවේ. ජාතික වැදගත්කමක් ඇති සම්මන්ත්‍රණයකට රැස්වන ජනයා ගණනින් අතිවිශාලය. වාමාංශික පක්ෂ තනි ආණ්ඩු හැදුවේ නැතත් පූර්ව හා පශ්චාත් නිදහස් අවධිය පුරාම මනුෂ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කළ මැදිහත්වීම් සටන් ප්‍රශංසනීයය. ජාතික වැදගත්කමකින් යුත් කතිකාවලදී සංකල්ප නිර්මාණයෙන් ඒවා ජනගත කිරීමෙන් ඔවුන් දැක් වූ දායකත්වය සම කළ නොහැකිය. සමසමාජ කොමියුනිස්ට් වැනි පක්ෂ දුර්වල වීමෙහි විපාකය වූයේ මෙකී තියුණු සමාජ දේශපාලන මැදිහත්වීම ද දුර්වල වීමය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ එම රික්තය පුරවන්නට සැලකිය යුතු මැදිහත්වීමක් කරන බව ඇත්තය. එහෙත් එම පක්ෂයට ජනතාවගෙන් පෙරළා ලැබෙන ශක්තිය හා ආධාරය ප්‍රමාණවත් නැත. 

ශ්‍රී ලංකාව යනු දේශපාලන වශයෙන් ගත්කල නායකයන් හිඟ දේශයකි. මේ නිසා දේශපාලනයෙහි නායකත්වය ගන්නට එන බහුතරය පැනසර නොවන අවස්ථාවාදී චරිත බව ජනාධිපතිවරයාම පසුගිය දිනෙක පවසා තිබිණ. අනෙක් අතට දේශපාලකයන්ට මෙසේ චෝදනා කරද්දී පෙරළා ඇඟිල්ල දිගුවන්නේම අපටය. හොඳින් නිරීක්ෂණය කරන්නේ නම් ආසන්න කාලය පුරාම අධිකරණවලදී අල්ලසට, දූෂණයට, වංචාවට වැරැදිකරුවන් වූ දේශපාලකයන්ගේ අතීත ක්‍රියා බැලුවහොත් ඔවුන් සිය ඡන්ද බල ප්‍රදේශවල කිසි කරදරයක් නැතිව විරාජමානව සිටි පිරිස් බව පැහැදිලිය. මේ හොරකම් මැරකම් කරන බොහෝ දෙනා ගැන අදාළ බල ප්‍රදේශවල ජනතාව හොඳින් දනිති. එහෙත් මැතිවරණවලදී වැඩි ඡන්දවලින් බලයට පැමිණෙන්නෝ ද ඔවුහුය. එසේ නම් හුදෙක් දේශපාලකයන්ට පමණක් චෝදනාවලිය තබා අත පිසදාගැනීමට අපට හැකිද? කිසිසේත් නොහැකිය. ජනතාවට පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහම එකවර ප්‍රඥාවන්තයන් කරන විප්ලවයක් කිරීමට නොහැකි බව ඉඳුරා පැහැදිලිය. එහෙත් අඩුම තරමින් ඔළුවක් ඇති අවංක මිනිසුන් දහයක් පහළොවකටවත් ඉඩක් දෙන්නට ඔවුන්ට හැකිය. එවිට අවංක හා සබුද්ධික දේශපාලන කතිකාවක්වත් එයින් නිර්මාණය වනු ඇත. පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටි හරවත් සහ විද්‍යාත්මක විවාද බවට පත්කරගත හැක්කේ එමගිනි. ආණ්ඩුකරණය ගුණාත්මක පරිවර්තනයකට භාජනය කරගත හැක්කේ එමගිනි. ඉතින් ජනතාව ද රටට අවංකව ආදරේ නම් මේ විවේචන කරන්නේ යහපත් රටක් වෙනුවෙන්දැයි කියා තමන්ගේම ඇසිය යුතුය. එකී අවංක දේශපාලන අභිලාෂය නොමැතිව නම් මේ රටට යහපත් අනාගතයක් උදාකිරීම පහසු නොවනු ඇත. 

 



අදහස් (0)

19 ඉලක්ක සපුරා ගත්තාද

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

අධිකරණයට අපහාස: නීතිය - නව පනත විමර්ශනයක්
2025 අප්‍රේල් මස 29 52 0

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවත්වාගෙන යාම සඳහා ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන තුන පැවතිය යුතු අතර ඒවායේ බලතල ස්වාධීනව පවත්වාගෙන යාම


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 937 5

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 251 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 953 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 106 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 28 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1062 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site