IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


අන්තවාදී තනි කල්ලිය වැනසිය යුතුයි

පාස්කු ඉරිදා ප්‍රහාරය අමානුෂික, කෲර ක්‍රියාවකි. එය සැවොම අවිවාදිතව පිළිගනිති. මේ ප්‍රහාරය එල්ල කළේ අහිංසක ජනතාව ඉලක්ක කරගෙනය. ඒ වගේම මේ පිරිස තම ආගම අදහන අවස්ථාවේ ප්‍රහාරය එල්ල කිරීම තවත් ඛේදජනකය. ආගමික සිද්ධස්ථානවලට පහර දීම කිසිවෙක් අනුමත නොකරති. ඒ වගේම හෝටල්වලට එල්ල කළ ප්‍රහාරවලින් මිය ගිය වැඩි පිරිස විදේශිකයෝය. ඔවුහු අපේ රටේ අමුත්තෝය. වසර දහයක කාලයක් අපි සාමකාමීව ජීවත් වුණෙමු. ඒ සියල්ල දැන් අහිමිවී ගොසිනි. ඒ නිසා ආණ්ඩුව පළමුවෙන්ම කළ යුත්තේ මෙයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකර ගැනීමය. එයට අදාළව යම් කටයුතු කෙරෙන ස්වභාවයක් ද දැක ගන්නට පුළුවන. 

මේ අමානුෂික ප්‍රහාරය මුස්ලිම් ප්‍රජාවට සම්බන්ධ නොවූවකි. එල්.ටී.ටී.ඊ.ය. ත්‍රස්ත ක්‍රියාවල යෙදුණේ හරි හෝ වැරැදි හෝ යම් වැඩ පිළිවෙළක් ඇතිවය. 

ඔවුන්ගේ යම් ඉල්ලීම් තිබුණි. එහෙත් මේ ප්‍රහාරය එල්ල කළ අය එවන් ඉල්ලීම් නොකළහ. මුස්ලිම් ජනයාට අසාධාරණයක් වන බව හෝ ඒ සම්බන්ධව ඉල්ලීම් සමාජය හමුවේ නොතැබූහ. ඒ කණ්ඩායමේ සිතැඟි මත පමණක් ක්‍රියා කළ බව පැහැදිලිය. මේ අනුව මෙම ප්‍රහාරය එල්ල කිරීමම මුස්ලිම් ජනයාට පුදුමයකි. ජාතික තව්හිත් ජමාත් සංවිධානය පිළිබඳව දැන ගන්නේ මේ ප්‍රහාරයෙන් පසුවය. කලින් සුළු පිරිසක් දැන සිටියා විය හැකිය. 

මේ කණ්ඩායම අන්තවාදී අදහස් දරන අය වශයෙන් ලැයිස්තු ගතකොට මුස්ලිම් ප්‍රජාවෙන්ම බුද්ධි අංශවලට දී තිබුණි. මීට වසර තුනකට පෙරත් පසුගිය ජනවාරියේත් තවත් අවස්ථා කීපයකදීත් එම ලැයිස්තු දී තිබේ. සහරාන් හසීම් කරන දේශන සම්බන්ධ වීඩියෝ පට පවා බුද්ධි අංශයට දී තිබුණි. ඒ අනුව බලනවිට මේ අය සම්බන්ධ බුද්ධි අංශ දැනුවත්ව සිටි බව පැහැදිලිය. මේ අන්තවාදී අදහස් ප්‍රචණ්ඩත්වයට හැරෙනවිට ඒ පිළිබඳ මුස්ලිම් ජනතාව දැන සිටියේ නැත. මුලින්ම මේ තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් මුලදී ඉන්දීය බුද්ධි අංශ වලිනි. ලැයිස්තුගත කර බුද්ධි අංශවලට ලබා දුන් පුද්ගලයන් සම්බන්ධව නිරන්තර විමසිල්ලෙන් සිටියා නම් පසු විපරම් කළානම් කලින්ම තොරතුරු අනාවරණය කර ගැනීමට තිබුණි. එසේ නොවීමෙන් පෙන්නුම් කරන්නේ කුමන හෝ අඩු පාඩුවක් සිදුව ඇති බවය.
 බුද්ධි අංශයේ දුර්වලතාවක් නැති බව සිද්ධිය දෙස බලන විට පැහැදිලිය. බුද්ධි අංශයට අවශ්‍ය තොරතුරු තිබුණි. ආරක්ෂාව පැත්තෙන් ක්‍රියා කිරීමේ දුර්වලතාවක් සිදුව තිබේ. එය පැහැදිලිය. බුද්ධි අංශ තොරතුරු ආරක්ෂක අංශවලට ලැබී නැත. එය සිදුව ඇති බරපතළ අඩුපාඩුවකි. 

මේ විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබුණේය. එහෙත් එම අවස්ථාව ගිලිහී ගියේය. 

ජාතික තවුහිද් ජමාත් සංවිධානය තහනම් කිරීම ප්‍රයෝජනවත් ක්‍රියාවක් ද? මෙවන් සංවිධානයක් සම්බන්ධව බොහෝ අය දැන නොසිටියහ. එහෙත් කණ්ඩායමක් සිටින බව පැහැදිලිය. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව එම සංඛ්‍යාව දෙසිය ගණනකි. ඒ නිසා මෙම පුද්ගලයන් කීප දෙනෙකු එක්ව කළ ක්‍රියාවකි. එය සංවිධානයක් වශයෙන් හඳුන්වා දීමේ හැකියාවක් නැත. මෙම කණ්ඩායම තහනම් කිරීමෙන් ඔවුන්ට යම් අනන්‍යතාවක් ලැබෙනු ඇත. මේ පිළිගැනීමකට ඔවුන් ලක්වන බව පැහැදිලිය. මේ හරහා එය වර්ධනය කිරීමට ඉඩ කඩ තිබේ. උදාහරණයක් ආශ්‍රයෙන් මෙය තවත් පැහැදිලි කර ගත හැකිය. ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධව හෙළි කළේ නාමල් කුමාර නැමැත්තෙකි. ඔහු හඳුන්වා දුන්නේ දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂක හැටියටය. 

මෙම සංවිධානය භයානක එකක් නොවන බව වෙනම කතාවකි. මේ සිදුවීම හරහා එම සංවිධානය සම්බන්ධව කියැවෙනතෙක් එවැන්නක් ගැන අප අසා තිබුණේ නැත. ඔහු කරළියට පැමිණියායින් පසුව හෝ එම සංවිධානයේ ක්‍රියාකාරීත්වයක් අපි අසා නැත්තෙමු. දැක නැත්තෙමු. මාධ්‍යයෙන් ද ඔහු හඳුන්වා දුන්නේ ඉහත තනතුරු යොදා ගනිමිනි. මේවා හරහා ඔහුට නොතිබූ තත්ත්වයක් ආරෝපණය කළ බව පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන. මෙයින් ලොකු හානියක් වූයේ නැත. 

ජාතික තවුහිද් ජමාත් තහනම් කිරීම හරහා ද සිදු වන්නේ එවැන්නකි. එහෙත් ඉහත සංවිධානය මෙන් නොව මෙම සංවිධානයෙන් අනතුරක්වීමට ඉඩ ඇති බව අමතක නොකළ යුතුය. අන්තවාදී කණ්ඩායමක් වශයෙන් හඳුන්වා දෙන මෙම කණ්ඩායම තහනම් කිරීම හරහා අනවශ්‍ය ආකාරයට එය වර්ධනය වන්නට පුළුවන. මෙවන් පසුබිමක කළයුතු වන්නේ මෙයට සම්බන්ධ පුද්ගලයන් නීතියේ රැහැනට හසු කරගෙන නිසි දඬුවම් ලබා දීමය. එවිට මෙය යටපත් වනු ඇත. ඉන් පසුව බුද්ධි අංශ නිති විමසිල්ලෙන් සිටිය යුතුය. ආරක්ෂක අංශ නිසිලෙස ක්‍රියාත්මක විය යුතුය. 

අයි.එස්.අයි.එස්. සංවිධානය හරහා මෙම කණ්ඩායම නිර්මාණය වූ බවට මතයකි. අල්කයිඩා හෝ අයි.එස්.අයි.එස්. හෝ වෙනත් එවන් සංවිධානයක් ආදර්ශයට ගැනීමට මෙම ත්‍රස්ත කණ්ඩායම යොමුවූවා විය හැකිය. 

නවසීලන්තයේ ප්‍රහාරය එල්ල කළේ තනි පුද්ගලයෙකි. ඔහු තනිවම ඒ සියල්ල සැලසුම් කර ගත්තේ කෙසේ ද? ඔහු එය කළේ මෙවන් සංවිධාන දෙස බලා හෝ අන්තර්ජාලයෙන් එවන් ක්‍රියා අධ්‍යයනය කිරීමෙන් විය හැකිය. කෙසේ වුවත් ජාතික තවුහිත් ජමාත් හි සාමාජිකයන් කීප දෙනකු අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වුවා වන්නට පුළුවන. ඒ වගේම ඔවුන්ගෙන් පුහුණුව ලබා ගත්තා ද විය හැකිය. එහෙත් මා දරනා මතය අනුව පාස්කු ප්‍රහාරය අයි.එස්.අයි.එස්. සංවිධානයේ ක්‍රියාවක් වශයෙන් නිශ්චිතවම කිව නොහැක. ප්‍රහාරය එල්ල වූයේ පාස්කු ඉරිදාය. අයි.එස්.අයි.එස්. සංවිධානය එය ඔවුන්ගේ ප්‍රහාරයක් බව කියන්නේ පැය 48කට පසුවය. ඔවුන් මේ ප්‍රහාරයට සම්බන්ධ නම් වහා නිවේදනයක් කළ යුතුව තිබුණි. එම සංවිධානයේ නායකයා ද පසුගිය සතියේ ප්‍රකාශයක් කරමින් පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කියා තිබුණි. 

එහෙත් මොහු සම්බන්ධව පසුගිය වසර පහේදී කිසිදු ආරංචියක් තිබුණේ නැත. මොහු ඝාතනය වූ බවට ද ජාත්‍යන්තරයේ මතයක් තිබුණි. එවන් පසුබිමක වසර පහකට පසුව මේ පුද්ගලයාගේ මතුවීම ප්‍රශ්නයකි. කෙසේ වුවත් මේ සියල්ල සම්බන්ධව බුද්ධි අංශ විමසිල්ලෙන් සිටීම සුදුසුය. මේ තනි කල්ලිය තමන්ගේ මානසිකත්වය මත කටයුතු කළ බව පැහැදිලිය. එසේ නැතිව මුස්ලිම් ජනතාවට කතෝලික ජනයා සමඟ වෛරයක් ප්‍රශ්නයක් තිබුණේ නැත. අනෙක් ජන කණ්ඩායම් සමඟ ද එසේය. 

කෙසේ වුවත් මේ ක්‍රියාව අපේ රටේ එක්සත් භාවයට මරු පහරකි. සාමයට සමගියට මරු පහරකි. මේ කල්ලියට ඒවා පිළිබඳ හැඟීමක් තිබී නැත. යම් මානසික විකෘතියකින් මේ අය සිටි බව ද පැහැදිලිය. සාමාන්‍යයෙන් ත්‍රස්ත ක්‍රියාවල නිරතවන අය තම පවුලට දරුවන්ට ආරක්ෂාව සහතික කරනු ඇත. එහෙත් මේ අය ඊට වඩා වෙනස්ව කටයුතු කළ බව පැහැදිලිය. සාමාන්‍ය මනුෂ්‍ය සංහතිය සාමාන්‍යයෙන් හැසිරෙන ආකාරය මෙය නොවේ. 

මේ කල්ලිය තුරන් කිරීමට කෙටි කාලීනව සහ දිගු කාලීනව පියවර ගත යුතුය. කෙටි කාලීනව ගතයුතු පියවර ආණ්ඩුව දැනටමත් ක්‍රියාත්මක කරමින් තිබේ. මේ කටයුතු සාර්ථකව කෙරුණොත් තවත් සතියකින් දෙකකින් ප්‍රචණ්ඩත්වයේ අවදානම පහව යනු ඇත. ඒ වගේම නීතියේ ආධිපත්‍යයේ තහවුරුව අත්‍යවශ්‍ය බව මේ හරහා පෙන්නුම් කර තිබේ. 2015ට පසුව එහි යම් ප්‍රගතියක් තිබුණි. එහෙත් ප්‍රමාණවත්ව එය සිදුව නැත. කුමන තරාතිරමක, ආගමක, ජාතියක අයකු කුමන වරදක් කළත් එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුය. පාස්කු ප්‍රහාරය මෙතරම් බරපතළ වූයේ ඊට පෙර සිදු වූ කුඩා කුඩා සිද්ධි සම්බන්ධව නිසි පියවර නොගත් නිසාය. නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම මේ පසුබිමේ අත්‍යවශ්‍ය කරුණක් ලෙස ඉස්මතුව තිබේ. මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කළ යුතුය. 

ඒ වගේම වෛරී ප්‍රකාශන ද නොකළ යුතුය. එය ද කෙටි කාලීනව අනුගමනය කළ යුතු පියවරකි. බොහෝ ක්‍රියා වර්ධනය වන්නේ වෛරී ප්‍රකාශ හේතුවෙනි. කාදිනල්තුමා සහ කතෝලික ප්‍රජාව ආවේගශීලී නොවී ඉවසීමෙන් කටයුතු කළ බව පැහැදිලිය. එය රටටම ආදර්ශයකි. නායකත්වයක් හැසිරෙන ආකාරය පෙන්නුම් කරන්නකි. එහෙත් ඇතැම් අය වෛරී ප්‍රකාශ කරමින් සිටිති. එය රටේ සමඟියට හානි කරන්නකි. වෛරී ප්‍රකාශ විස බීජ හා සමානය. එය ක්‍රමයෙන් වර්ධනය වනු ඇත. අවසානයේ එය ප්‍රචණ්ඩත්වයක් බවට හැරෙනු ඇත. ඒ නිසා මේ කාරණයෙන් වගකීමට වග බලා ගත යුතුය. 

යම් කලබලකාරී වතාවරණයකදී හදිසි නීතිය ක්‍රියාත්මක වන පසුබිමක සාමාන්‍ය නීතිය ඉක්මවා ගොස් නීතිය අවභාවිත වේ. හදිසි නීතියේ කරුණු ක්‍රියාත්මක කරන්නේ පහළ මට්ටමෙනි. මේ සම්බන්ධව හොඳ අවබෝධයකින් ආරක්ෂක අංශ කටයුතු කළ යුතුය. මේ අංශවලට අවශ්‍ය පහදා දීම් කිරීම ආණ්ඩුවේ වගකීමකි. ඒ වගේම බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් පැහැදිලි දැනුම්වත් කිරීමක් අවශ්‍යය. හිස ආවරණය කිරීම ඉවත් කිරීමට ඇතැම් ස්ථානවල දී යොමුවීම එයට හේතුවය. ඒ නිසා මේ සම්බ්න්ධව පවත්නා නීතිය නිසිලෙස පහදා දීමට ආණ්ඩුව කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් අපේක්ෂා නොකරන ප්‍රතිඵල ඇති වීමට පවා ඉඩ තිබේ. බැලූ බැල්මට පෙනෙන ප්‍රතිඵලයට වඩා වෙනස් ප්‍රතිඵලයක් මාස ගණනාවකට පසු ඇති වන්නට පුළුවන. ඒවාට ඉඩ නොතැබිය යුතුය. 

මද්‍රසා සම්බන්ධ යම් මත භේදාත්මක තත්ත්වයක් තිබේ. අරාබි භාෂාවෙන් මද්‍රසා යනු පාසලය. අරාබියට ගියහොත් එහි සියලු පාසල් හඳුන්වන්නේ මද්‍රසා යනුවෙනි. එහෙත් ලංකාවේදී මද්‍රසා යනුවෙන් අර්ථ ගැන්වෙන්නේ ආගමික උගැන්වීම් කරන ආයතනයකි. ඉන්දියාවේ පාකිස්තානයේ ද එසේය. එහෙත් පාකිස්තානයේ මද්‍රසාවල යම් ප්‍රශ්න ගත සිද්ධි ඇති වී තිබේ. පිරිවෙන් යනු බෞද්ධාගම උගන්වන සාමාන්‍ය පාසලක් නොවේ. මද්‍රසා ද එසේය. ඇතැම් මද්‍රසාවල දිනකට පැය දෙකක් උගන්වන්නේ ආගමේ මූලික කරුණුය. තවත් මද්‍රසාවල කෙරෙන්නේ වසර හයක් පමණ ආගමේ සෑම අංශයක්ම මවුලවී තුමන්ලා වෙනුවෙන් උගැන්වීමය. ඒවා කතෝලික සෙමනේරි හා සමානය. තවත් මද්‍රසාවල කෙරෙන්නේ කුරානය කට පාඩම් කිරීමය. එය ලොකු පිනක් වශයෙන් ඉස්ලාම් ආගමේදී සැලකේ. 

මද්‍රසා සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධය කුමක්ද? මද්‍රසා අවශ්‍ය නොවන බවට ඇතැම් අය සිතන්නට පුළුවන. ඒ සම්බන්ධ වෙනම සාකච්ඡාවක් කතිකාවක් වෙනම අවස්ථාවක කළ යුතුය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධව ප්‍රතිචාරයක් වශයෙන් එවැන්නක් අවශ්‍ය නැත. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයෝ මද්‍රසාවල උගත්තෝ නොවෙති. සහරාන් මද්‍රසාවලට ගිය ද එහි ව්‍යුහයට අනුගත නොවු නිසා නෙරපා තිබුණි. ඒ නිසා මේ සිද්ධිය මද්‍රසා සමඟ සම්බන්ධ කිරීම සාධාරණ නැත. බෞද්ධයන් තම දරුවන් දහම් පාසල් යවන්නේ හොඳ මිනිසුන් කිරීමටය. මුස්ලිම් අය තම දරුවන් මද්‍රසාවලට යවන්නේ ද එම අරමුණෙනි. මද්‍රසා සම්බන්ධ සැකයක් බියක් තිබේ නම් එයට විවිධ ක්‍රම සහ විධි ඔස්සේ ප්‍රතිකර්ම යෙදිය හැකිය. එහෙත් ඒ කතිකාව පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නොකළ යුතුය. මර්දනයක් යන හැඟීම ජනිත නොවන ආකාරයට කටයුතු කිරීම අවශ්‍යය. සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡා කර සෑම දහම් පාසලකටම පොදු රාමුවක වැඩ කිරීමේ පරිසරය සැකසීමට ආණ්ඩුවට පුළුවන. කුමන ආගමකට හෝ අයත් දහම් පාසලක් ආරම්භ කරන්නේ නම් එය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය කළ හැකිය. අවශ්‍ය විෂය නිර්දේශ ලබා දීමට පුළුවන. එවිට ක්‍රියාත්මක වන්නේ සැමට පොදු වූ වැඩ පිළිවෙළකය. කිසිවකුටත් හානියක් නැත. සිත් රිදවීම් නැත. බොහොම සංවේදීව මේ කටයුතු කළ යුතුය. 

පිටරටින් පැමිණ මද්‍රසාවල උගන්වන හය සියයක් සම්බන්ධව ද කියැවී තිබේ. මෙතරම් සංඛ්‍යාවක් සිටි දැයි ප්‍රශ්නයකි. එසේ පැමිණෙනවිට වීසා ලබා ගත යුතුය. මෙතරම් සංඛ්‍යාවක් පැමිණෙන්නේ කුමක් සඳහා ද යන ප්‍රශ්නය වීසා දීමේදී මතුවනු ඇත. මේ අය අන්තවාදී දෙයක් උගන්වන බවට පැමිණිලි ලැබුණොත් සොයා බලා ඒ අය පිටමං කිරීමට පුළුවන. යම් කෙනකුට වීසා දෙන ලෙස මද්‍රසාවලින් ඉල්ලීම් කෙරන විට එවන් අවශ්‍යතාවක් තිබේ ද නැද්ද කියා පරීක්ෂා කළ යුතුය. එවිට ගැටලු නිරාකරණය කර ගැනීමට පුළුවන. 

දිනකට පස්වතාවක් වැඳිය යුතු බව ඉස්ලාම් ආගමේ සඳහන්ය. ඊට වඩා වැඩි අවස්ථා ගණනක් වැඳීමෙන් වැඩියෙන් පින් රැස් කළ හැකිය. ඒ නිසා ඇතැම් අය දිනකට වැඩි වාර ගණනක් වඳිති. මේ අය නිතරම ආගම කියවන බව නිතරම පල්ලියේ සිටින බව අනෙක් අය කියන්නට පුළුවන. නිතරම වැඳීම අන්තවාදය ලෙසින් හැඳින්වීම වැරැදිය. කුමනවාදය පැවැතියත් අනෙක් අයට හානියක් වන ක්‍රියාවකට පොළඹවනවා නම් එවැන්නක් ආගමේ සඳහන්ව නැත. ඒ නිසා වඩා නිවැරැදි දේ අවබෝධ කර ගත යුතුය. 

පල්ලිවලින් කඩු ආදිය සොයා ගැනීම සිදුව තිබේ. කොම්පඤ්ඤවීදියේ පල්ලිය එයට උදාහරණයකි. පල්ලිවලට මෙවන් ආයුධ අවශ්‍ය නැත. ආරක්ෂක අංශ රට පුරා සෝදිසි මෙහෙයුම්වල නිරතය. මේ හරහා රට පුරා  තිබෙන අනවසර ගිනි අවි ඇතුළු ආයුධ හමු වෙමින් තිබේ. සිද්ධියට අදාළ දෑ සොයා ගන්නා අතරම අපරාධවලට සම්බන්ධ ආයුධ ද හමුව තිබේ. මේවා සියල්ල මාධ්‍ය මගින් ප්‍රචාරය කරන විට ඒ සියල්ල බැර වන්නේ මුස්ලිම් සමාජයටය. ඒ නිසා අදාළ අංශ මේවා සම්බන්ධව නිසි දැනුම්වත් කිරීමක් කළ යුතුය. සෑම මුස්ලිම් පල්ලියකටම භාරකරුවකු සිටී. අදාළ පල්ලියේ තිබෙන භාණ්ඩ සම්බන්ධව එහි භාරකරු වග කියන පසුබිමක් සකස් කළ යුතුය. එක් එක් අය කරන වැරැදි වලට සමස්ත මුස්ලිම් සමාජයේම ප්‍රතිරූපය විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුය.



අදහස් (1)

අන්තවාදී තනි කල්ලිය වැනසිය යුතුයි

ravi Thursday, 09 May 2019 08:47 AM

හොඳයි .. මගෙනුත් පුංචි අදහසක් ... මේ අන්තවාදීන්ගේ ක්‍රියාකාරීත්වය දිහා බලනකොට අපිට හොඳින් තේරුම් ගන්න පුළුවන් කරුණු කිහිපයක් තියනවා. මේ ත්‍රස්තයෝ හැමතැනම පුංචි පුංචි කල්ලි හදාගෙන එයාලගෙම මුදල්, දේපල, ශ්‍රමය වැයකරමින් තමයි මෙවැනි ,, අනිත් ජාතීන්ට සහ ආගම්වලට එරෙහිව ක්‍රියාත්මක වෙන්නේ. පිටරටවල්වල ඉන්න සහෝදර අන්තවාදීන්ගෙන් මොවුන්ට ලැබෙන්නේ මුදල් සහ අවවාද ,, අනුසාසනා වගේ දේවල් සහ බෝම්බ හදන හැටි ඒවා මොන මොන ස්ථානවල , මොන විදිහටද පිපිරවිය යුත්තේද .. වගේ දේවල්.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 856 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site