IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


ආර්ථික විශේෂඥයන් අත දෙකොණ විලක්කු

ගෙවුණු සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ දක්නට ලැබුණේ කිසියම් නිෂ්ශබ්දතාවකි. එහෙත් රටේ ජනපතිවරයා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහු කෙරෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් සිටින ඔහුගේම එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ නැගී තිබෙන ගැටළු සමනය වෙමින් පවතින බවක් එයින් පෙනෙන්නට නැත. 

සැබෑවටම සැළකුවහොත් ඇතැම් ගැටළු දැන් හිස ඔසවමින් පවතින අතර, එක් ගැටලුවක් පවතින්නේ පුපුරා යාමේ අවදානමකය. දෛවෝපගත ලෙස දෝ, මෙම ගැටලුවට අදාළ වන්නේ රටේ ප්‍රධාන මුල්‍ය ආයතනයයි.

පසුගිය සමයේ සිදුවූ බැඳුම්කර වංචාව අරබයා පවත්වන්නට නියමිත වූ වෝහාරික විගණනය තවමත් එතැනමය. එවැනි තත්ත්වයක් පවතින්නේ එම විගණනය වහාම පවත්වන ලෙසට ජනපතිවරයාම නියෝග කර තිබියදීය. 

බැඳුම්කර අර්බුදය සම්බන්ධයෙන් පවත්වන්නට නියමිත වූ පාර්ලිමෙන්තු විවාදය ද, අද දක්වාම පවතින්නේ දෙපැත්තට වැනෙමින්ය. වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමේ තත්ත්වය ද එසේමය. ප්‍රශ්න කිරීම සදහා අත්‍යාවශ්‍යම වී සිටින පුද්ගලයා වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් තවමත් සිටින්නේ නීතියෙන් කට්ටි පනිමිනි. 

සිය සිංගප්පූරු සංචාරය අතරතුර දී ජනපති සිරිසේන මහතා එරට අගමැති ලී හ්සියෑන්ග් ලූන්ග් ගෙන් ඉල්ලා සිටියේ මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකාවට එවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය. මෙම බැංකුකරුවා යෙදී ඇතැයි සැක කෙරෙන වංචනික ක්‍රියාවන් පිළිබද තොරතුරු රැගත් ලිපිගොනුවක් ද ඔහු සිංගප්පූරු අගමැතිවරයා අතට පත් කළේ ය.

දැන් ගැටළුව ඇතිව තිබෙන්නේ එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ශ්‍රී ලංකා සම්භවයක් ඇති බි්‍රතාන්‍ය ජාතික ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා හට විකුණා දැමීම මුල් කරගෙනය. 

ජනසන්නිවේදන ක්ෂේත්‍රය නියෝජනය කරන සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම ඇතුලු තවත් සමාගම් කිහිපයකම හිමිකරු වන සුභාෂ්කරන්, බි්‍රතාන්‍යයේ පාලක කොන්සර්වටිව් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු ලෙස ද ප්‍රකටය. බි්‍රතාන්‍යයේ පළවන සන්ඬේ ටයිම්ස් පුවත්පතට අනුව 2014 දී මෙම ආන්දෝලනාත්මක ව්‍යාපාරිකයාගේ වත්කම ස්ටර්ලිං පවුම් ලක්ෂ 4750 කි.

එක්සත් ජාතික පක්ෂය අපිරිසිදු දේශපාලන පක්ෂයක් වන බැවින් ඔවුන් හා එක්ව ඉදිරියටත් ජාතික රජයක් ලෙස කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව ජනපති සිරිසේන මහතා සන්ඬේ ටයිම්ස් හා පවසා සිටියේ පසුගිය සතියේය. එදිරිසිංහ ට්‍රස්ට් ඇන්ඞ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විකුණා දැමීමේ ගනුදෙනුව හා එක්සත් ජාතික පක්ෂය අතර තිබෙන සම්බන්ධය, ඔවුන් හා අත්වැල් බැඳගැනීම තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් බවද ඔහු පැහැදිලි කළේ ය. එම සමාගමේ පැවැත්මට ශ්‍රී ලංකා මහ බැංකුව ද සැළකිය යුතු දායකත්වයක් දක්වා තිබෙන අතර, සමාගම කඩාවැටීමෙන් වළක්වාගනු වස් එය වෙත මුදල් පොම්ප කිරීමට ද මහ බැංකුවට සිදුවිය.
පසුගිය සතියේ පැවැති ජාතික ආර්ථික කවුන්සිල රැස්වීමක මුලසුන හෙබවූ ජනපතිවරයා කියා සිටියේ තවමත් යෝජිත අදියරේ පවතින මෙම ගනුදෙනුව අනාගතයේ බරපතල ගැටළුවක් බවට පත්වනු ඇති බවයි. පෙර අවස්ථාවක මහ බැංකුව තමන් යටතේ පවත්වාගෙන ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම දැන් මහ බැංකුවේ පාලනය අතට ගෙන ඇති මුදල් අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරු දෙපළම මෙම රැස්වීමට සහභාගීව නොසිටියහ.

අගමැති වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මකව පැවැති ආර්ථික කලමණාකරනය පිළිබද කැබිනට් කමිටුව අහෝසි කර ඒ වෙනුවට ජාතික ආර්ථික කවුන්සිලයක් ඇති කෙරුණේ 2017 වසරේ අගෝස්තුවේය. එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ගනුදෙනුව විනිවිදභාවයකින් තොරව සිදුව ඇති බවත්, එය මේ සා ඉක්මනකින් අවසානයක් දක්වා රැගෙන යාමට තිබෙන උනන්දුව සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් මතුවන බවත්, ජනපතිවරයා ඉතා දැඩිවම විශ්වාස කරයි.

එසේම රජයේම ඇතැම් පාර්ශවයන්ගේ මේ පිළිබදව තිබෙන උනන්දුව නිසාම දේශීය ආයෝජකයින් ඉවතට තල්ලු කර තිබෙන බවත් ඔහු විශ්වාස කරයි. පසුගිය සමයේ අදට වඩා බලතල අතැතිව සිටි කිහිපදෙනෙක් ඇතුලු ප්‍රකට එක්සත් ජාතික පෙරමුණු සාමාජිකයන් කිහිපදෙනෙක්ම මේ පසුපස සිටින බවත්, ගනුදෙනුවෙන් ඔවුනට වාසි සැළසෙන බවත්, සදහන්ය.

ඊ.ටී.අයි. (එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්) සමාගම විකිණීමට නියමිතව තිබී ඇත්තේ ඩොලර් ලක්ෂ 750ක මුදලකටය. 

ජාතික ආර්ථික කවුන්සිලයේ නිලධරයන් පවසන ආකාරයට එය පසුව ඩොලර් ලක්ෂ 700 ක් දක්වා පහත දමා තිබෙන අතර, එයට හේතුව ලෙස සදහන් වන්නේ ගැනුම්කරුවා වූ සුභාෂ්කරන්, ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් අංශය මිලයට නොගැනීමට තීරණය කිරීමය. ඒ අනුව සැළකුවහොත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් මිල දී නොගැනීමට තීරණය කිරීම නිසා ඊටිඅයි සමාගමේ මිල පහළ ගොස් තිබෙන්නේ ඩොලර් ලක්ෂ 50කිනි. 

සමාගම වෙනුවෙන් ගෙවීමට නියමිත වූ මුදලෙන් දැනට ඩොලර් ලක්ෂ 540ක්ම ගෙවා අවසන් කර තිබෙන අතර, තවත් ගෙවීමට ඉතිරිව තිබෙන්නේ ඩොලර් ලක්ෂ 160ක මුදලකි.මේ අතර මහ බැංකුව දියත් කළ ඇගයීමක් යටතේ ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් අංශයේ වටිනාකම ලෙස සදහන් කර තිබෙන්නේ ඩොලර් ලක්ෂ 29 ක අගයකි. එසේවුවත් මහ බැංකුවට එරෙහිව චෝදනා නගන ජාතික ආර්ථික කවුන්සිලයේ සාමාජිකයෝ, ඊටීඅයි සමාගමේ එක් එක් කොටස්වල වටිනාකම තක්සේරු කළ පදනම අභියෝගයට ලක්කර තිබේ.

ඛේදනීය කාරණය වන්නේ ආර්ථිකයට අදාළ කරුණු කාරණා සිය අගමැතිවරයාගෙන් ඉවත් කළායින් පසුව රටේ ආර්ථිකයට අදාළ සියලු කටයුතු තමන්ම මෙහෙයවමින් සිටින ජනපති සිරිසේන මහතා, මෙවැනි ගනුදෙනුවක් සිදුවූයේ කෙසේදැයි නොදැන සිටීමය. දැන් දෙවැනි වතාවටත් මහ බැංකුවේ සිදුව තිබෙන බව පැවසෙන අකටයුත්තක් සම්බන්ධයෙන් මැදිහත්වීමට ඔහුට සිදුව තිබේ.
මේ අතරවාරයේ මහ බැංකුව එක හෙළාම කියා සිටින්නේ නියමාකාර නීති හා ක්‍රමවේද අනුගමනය කර තිබෙන බවත්, ඒවා උල්ලංඝණය කිරීමක් කිසිසේත්ම සිදුව නොමැති බවත්ය.

මෙම ගනුදෙනුවේ වාසි සහ අවාසි විවාදාත්මක විය හැකි අතර, දැනටමත් ඒ අරබයා ප්‍රසිද්ධියේම වාද විවාදයන් පැවැත්වෙමින් තිබේ. මෙහිලා වැදගත් කාරණය වන්නේ එම වාද විවාදයන් පැවැත්වෙමින් තිබෙන්නේ එක් අතකින් මහ බැංකුව සහ අනෙක් අතින් ජාතික ආර්ථික කවුන්සිලය අතර වීමය. තවත් වචනවලින් කිවහොත්, රටේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතන දෙකක් අතරය. එම ආයතන දෙකම ජනපතිවරයාගේ අධීක්ෂණයට යටත්ය. 

මේ හමුවේ නැගෙන ඉතාම වැදගත් පැනයකි. එය නම් රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් ඈඳී තිබෙන මෙවැනි ගැටලු, නිසි විසඳුමකින් තොරවම දිගින් දිගටම ඇති වෙමින් තිබෙන්නේ ද යන්න සහ වරදක් සිදුව තිබෙන බව අමු අමුවේම පෙනෙන්නට තිබිය දී ඒවාට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකිව තිබෙන්නේ ඇයි ද යන්නය. සිත් කළකිරවන තවත් තාරණයක් වන්නේ වසර 4ක දිගු කාලයක් තිස්සේ සිටම යහපාලන රජයේ ප්‍රධාන නායක දෙපළ වන ජනපතිවරයා සහ අගමැතිවරයා සිදුවන වැරදි සම්බන්ධයෙන් දිගින් දිගටම එකිනෙකාට ඇගිල්ල දිගු කරගනිමින් සිටීමය. මෙම තත්ත්වය හමුවේ සංවර්ධනය දෙවැනි තැනට වැටී තිබෙන අතර, ජනතාව ද සිටින්නේ කුමකින් කුමක් සිදුවන්නේදැයි නොදැන වියවුලට පත්වය.

උද්ගතව තිබෙන තත්ත්වය යටතේ ඒ හා සමාන තවත් සිදුවීම් එකක් පසු පස එකක් මතුවෙමින් තිබෙන වාතාවරණයක් දැන් නිර්මාණයවී තිබේ. ආර්ථික ක්ෂේත්‍රය හා සම්බන්ධ තවත් බොහෝ සමාගම් මේ වන විට සිටින්නේ අවදානමකය. ඊටීඅයි ගනුදෙනුව ජාතික ආර්ථික කවුන්සිලය හදුන්වාදෙන්නේ තොරතුරු සෙවීමේ මෙහෙයුමක ආරම්භය ලෙසය.

“අපි මෙතැනට ඇතුළු වුනේ තොරතුරු සොයන්නන් හැටියට. ගැටළු පවතින තැන් ගණනාවක් සොයාගන්නට අපට හැකි වුනා” යයි ජාතික ආර්ථික කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන ආර්ථික විශේෂඥයා වන මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසුවේ ය. පසුගිය බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් මෙම අදහස් දැක්වූ මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ අදාළ ගැටළු ජනපතිවරයාගේ අවධානයට ද යොමු කළ බවය. 

කෙසේ වෙතත් ජාතික ආර්ථික කවුන්සිලය නියෝජනය කරන මෙම වෘත්තිකයන් කණ්ඩායමේ මෙහෙයුමෙන් ජනපති සිරිසේන මහතාට වූ සෙතක් නැත. මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබුණේ සිංහල භාෂාවෙන් පමණක් වූ අතර, ඒ හමුවේ බැංකු සහ අන්තර්ජාතික ආයතනයන් මහත් කලබලයෙන් රජයේ නිල ස්ථාවරය කුමක්දැයි විමසන්නට ගත්තේ ය. 

එවැනි ප්‍රකාශයන් ප්‍රසිද්ධියේ කිරීම විදෙස් ආයෝජනයන්ට සෘජුවම බලපෑමක් එල්ල කරන්නක් බව ජාතික ආර්ථික කවුන්සිලයේ මහ මොළකරුවන්ට අමතකව ගොස් තිබූ සෙයකි. අධ්‍යනය කිරීම සහ ජනපතිවරයාට වාර්තා කිරීම හැරෙන්නට කවුන්සිලයේ නිලධරයන්ට කිරීමට වෙනත් දෙයක් තිබුණේ නම් එය ඉතාම සුලු දේවල්ය. එනිසාවෙන්ම මෙම මාධ්‍ය හමුව පැවැත්වුනේ ඔවුන්ගේ දුක රටට ප්‍රකාශ කිරීමට මිස අනෙකකකට නොවේ. 

ඊටීඅයි ගනුදෙනුවේ සියලුම තොරතුරු, (සාක්කි තිබුණත් නැතත්) කෙදිනක හෝ අධිකරණය ඉදිරියේ අනාවරණය වනු ඇති බව පැවසීමට කෙනෙකු ආර්ථික විශේෂඥයකු වීමට හෝ දක්ෂ අපරාධ පරීක්ෂකයකු වීමට අවශ්‍යම නැත. විදෙස් රටවල සහයෙන්, ඩොලර් ලක්ෂ ගණන් ගෙවමින්, රට රටවල කළ සංචාරයන්ගේ තොරතුරු අනාවරණය කර ගැනුණු හා සමාන තවත් ප්‍රකට විමර්ශනයන් ගොන්නටම මෙය ද අයත් වනු ඇත.

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ද එහි අමාරුව, යන සිංහල ආත්තෝපදේශය මෙතැනට මනාව ගැලපේ. මහ බැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කටයුතු දිගින් දිගටම ප්‍රමාද කෙරෙමින් තිබෙන අතර, සැකකරුවන් බොහෝ දෙනෙකු තවමත් නිදැල්ලේය. 

දැනට පෙනෙන්නට තිබෙන කරුණු අනුව අභිනවයෙන් වැඩකටයුතු ආරම්භ කිරීමට යන එක්සත් ජාතික පෙරමුණු රජය සමයේ සිදුව ඇතැයි පැවසෙන අල්ලස්, වංචා හා වෙනත් අකටයුතුකම් විමර්ශනය කිරීම සදහා වන ජනපති විමර්ශන කොමිසම හමුවේ ඊ.ටී.අයි. ගනුදෙනුව දිගහැරෙන්නට යන සෙයකි. අගතියට පත්ව සිටින පාර්ශවයන් දැන් තියාම ඒ සදහා සූදානම් වෙමින් සිටී. සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සැදුම් ලබන කොමිසමට නායකත්වය දෙන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාය.

 

 



අදහස් (0)

ආර්ථික විශේෂඥයන් අත දෙකොණ විලක්කු

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 837 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 230 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1012 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 437 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 583 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site