IMG-LOGO

2025 මාර්තු මස 06 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවත් චීනයත් අතර තෙරපී විඳවීම

ජනපතිවරයා මෙන්ම අගමැතිවරයා ද එකිනෙකාට පරස්පර ප්‍රකාශ නිකුත් කරමින් සිටී. පසුගිය අගහරුවාදා ජනපති සිරිසේන මහතා පාර්ලිමේන්තුව ඇමතූ අතර, ඔහු මෙවැන්නක් පවසා සිටියේ ය.

“අපේ බුද්ධි අංශ ඉතාම හොදින් ක්‍රියාත්මකව සිටිනවා. දින තුනක් ඇතුළත වගකිවයුතු අයගෙන් 99% ක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දින 3 දී ඉතිරි අයත් අත්අඩංගුවට ගන්නවා”

නමුත් එදිනම අගමැති වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.

“මම අවස්ථා කිහිපයකදීම පවසා සිටියා වගේ, මේ තර්ජනය තවමත් අවසන් නැහැ. මොකද අපි අන්තර්ජාතික ත්‍රස්තවාදයකට හසුව සිටිනවා. ශ්‍රී ලංකාවේ මෙයට හවුල්ව සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබුනත්, මේ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ කටයුතුවලට අතපෙවිය හැකි වෙනත් මාර්ග තිබෙනවා”

මෙය 2009 වසරේ කොටි ත්‍රස්තයින් පරාජය කිරීමේ මෙහෙයුමට නායකත්වය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද පිළිගත් අතර, පසුගිය බදාදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මෙම නව ත්‍රස්තවාදී වියරුව මර්දනය කිරීමට අවම වශයෙන් වසර 2ක් වත් ගතවනු ඇති බවය.

මෙසේ එකිනෙකට වෙනස් අදහස් දැක්වීම සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ එකම හඬකින් අදහස් දැක්වීම රජයක වගකීම වන බවය. පාලක පක්ෂයේ නායක දෙපළ අතර විසරකය කොතරම් දුරකට ගොස් ඇති ද කිවහොත්, ඒ දෙපළ සමගි කරවීමට වඩා ශ්‍රී ලංකා පුරවැසියකු හඳට යැවීම වඩා පහසු කටයුත්තක් වනු ඇත.

අගහරුවාදා පැවැති සතිපතා කැබිනට් රැස්වීමේ දී අදහස් දැක්වූ ජනපති සිරිසේන මහතා, අයිඑස් සංවිධානයේ සහාය ලැබ මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත කල්ලිය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ හෙළා තිබෙන බව පැවසුවේය. ඔහු ඇමරිකාවේ හිටපු ජනපති බැරක් ඔබාමා අනුගමනය කරන සෙයක් පෙනී ගියේය. 

අයිඑස් සංවිධානය, ‘අයිඑස් සංවිධානය‘ ලෙස කිසිදු අවස්ථාවක සදහන් නොකළ ජනපතිවරයා ඒ වෙනුවට ඔවුන්ව හදුන්වාදුන්නේ, අර අකුරු දෙකේ සංවිධානය හෝ අකුරු හතරේ සංවිධානය, ලෙසය.

එක්සත් ජාතික පක්ෂය පිටතට පෙන්වන තරම් සාමයක් එහි ඇතුළත නොමැති බව පෙන්වා දුන් අවස්ථාවක් එම කැබිනට් රැස්වීමේදීම සනිටුහන් විය. වරාය හා නාවික අමාත්‍ය සාගල රත්නායක මහතා වරාය බදු වැඩිකිරීම සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණ. ප්‍රථමයෙන්ම එයට විරෝධය දැක්වූයේ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාය. පසුගිය 6 වැනිදා මෙරට ව්‍යාපාරික ප්‍රජාව හා පැවැති හමුවක දී තවදුරටත් බදු නොපනවන බවට ජනපතිවරයා පවසා තිබෙන බවත්, රත්නායකගේ කැබිනට් පත්‍රිකාව ජනපතිවරයා ලබා දී තිබෙන පොරොන්දුවට එරෙහිව යන්නක් බවත්, ඔහු කීවේ ය. 

මේ හමුවේ රත්නායක සහ අගමැති වික්‍රමසිංහ මහතා, සමරවික්‍රම මහතා සමග විවාදයක පැටලින. අවසානයේ සාගල රත්නායකගේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි නොවිණ. මෙය පක්ෂයේ ඉහළම තලවල අවධානයට ලක්ව තිබෙන අතර, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය නව මානයන් කරා එළැඹෙමින් තිබෙන බව දැන් පැහැදිලිය.

මෙවන් අවිනිශ්චිත තත්ත්වයක් පවතිද්දීම, අනපේක්ෂිත කිසිවක් සිදුනොවනු ඇතැයි පවතින විශ්වාසය නිසා හෝ ඉක්මනින් ක්‍රියාත්මක විය යුතුව ඇතැයි හැඟීමක් ජනිතව ඇති නිසා හෝ, ජනපති සිරිසේන මහතා මෙම මස 12 වැනිදා සිට 16 වැනිදා දක්වා යෙදී තිබෙන චීන සංචාරයක් සදහා දිවයිනෙන් බැහැරව යාමට නියමිතව සිටියේය. මෙම කාලය පුරාවට චීනයේ බීජිං නුවර රැදී සිටිනු ඇති හෙතෙම, චීන ජනපති ෂි ජින්ග් පින්ග් සහ අගමැති ලී කෙකුයැන්ග් හමුවනු ඇත.

ජනපතිවරයාගේ චීන සංචාරයේ නිල අරමුණ වන්නේ ආසියාතින ශිෂ්ඨාචාරයන් සම්බන්ධයෙන් වන සංවාදාත්මක සමුළුවකට සහභාගීවීමය. මෙම සමුළුව සදහා 2000 කට අධික රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ ආසියානු රටවල් 47 ක නියෝජිතයන් සහභාගීවීමට නියමිතය.

ජනපතිවරයා හදිසියේම චීන සංචාරයක නියැලීම කොළඹ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවගේ විමතියට හේතු වී තිබේ. 

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග නැගුනු දේශපාලන උණුසුම තවමත් පහව ගොස් නොමැති අතර, ජනපතිවරයාගේ චීන සංචාරය අරබයා නොයෙකුත් විමසුම් මේ වන විට එකක් පසු පස එකක් නැගෙමින් තිබේ. ජනපතිවරයාට සමීප ආරංචි මාර්ග නොනිල මට්ටමින් සදහන් කර තිබෙන ආකාරයට අයිඑස් ප්‍රහාරවල ඉලක්කය වී තිබෙන්නේ චීනයේ එක් තීරයක් - එක් මාවතක්, ව්‍යාපෘතිය බවයි. 

මේ සම්බන්ධයෙන් ජනපති සිරිසේන මහතා, චීන ජනපතිවරයා හා සාකච්ඡා කරනු ඇති අතරම, ශ්‍රී ලංකාව මේ දක්වා ගෙන ඇති පියවර පිළිබදව ද ඔහුව දැනුම්වත් කරනු ඇති බව, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර තිබේ. අප්‍රේල් 21 වැනිදා ඝාතනයට ලක්වූවන් අතර කොළඹ ෂැන්ග්‍රිලා හෝටලේ රැදී සිටි චීන ජාතික විද්‍යාඥයින් සිව්දෙනෙකු ද සිටියහ. ඔවුන් මෙරටට පැමිණ සිට ඇත්තේ එක් මාවතක් - එක් තීරයක් ව්‍යාපෘතිය නියෝජනය කරමිනි.

ජනපතිවරයාගේ චීන සංචාරය පසුබිමෙන් දිවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර දිනෙන් දිනම එකිනෙකා කෙරෙහි මිලිටරිමය වශයෙන් වර්ධනය වෙමින් තිබෙන අවිශ්වාසයයි. එක්සත් ජනපද ඉන්දු - ශාන්තිකර කලාපයේ අණදෙන නිලධාරී අද්මිරාල් පිලිප් ඬේවිඞ්සන්, එරට සෙනට් සභාවේ විදේශ සබඳතා පිළිබද කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් සිදුකරමින්, චීනයට චෝදනා නගන අතරවාරයේ ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර මිලිටරිමය සබදතා තවදුරටත් ශක්තිමත් කරගත යුතුව තිබෙන බව කියා සිටියේ මීට සති කිහිපයකට පෙරය. ඔහුගේ එම ප්‍රකාශයෙන් ගත් වැදගත් කොටස් කිහිපයක් පහත වේ.

හම්බන්තොට පිහිටි ගැඹුරු දිය වරාය වසර 99 ක බදු පදනම යටතේ චීනයට පවරාදීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබේ. එසේ කර තිබෙන්නේ ශ්‍රී ලංකාව, චීනයට පියැවිය යුතුව තිබෙන ණය ප්‍රමාණයට පිළිතුරක් ලෙසය. මෙය අන්තර්ජාතික තලයේ අවධානයට ලක්ව තිබෙන කාරණයකි. 

දේශපාලනික වශයෙන් විරෝධයක් පැවතියත්, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග මිලිටරිමය සහයෝගීතාවයක් සහ සම්බන්ධීකරණයක් පවත්වාගැනීමට අපට වැදගත්ය. ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමග සහයෝගයෙන් කටයුතු කරමින්, සමුදුරු ආරක්ෂාව සහ සමුදුරු කටයුතු සම්බන්ධයෙන් අවධානය වර්ධනය කිරීම සදහා කුසලතා දියුණු කිරීම, මානවාදී සහාය ලබාදීම, ආපදා සහන, වෛද්‍ය සහාය, සාමසාධක මෙහෙයුම් දියත් කිරීම, යනාදිය, යූඑස්ඉන්ඩෝපැකොම් සහයෝගීතාවය යටතේ සිදුවේ...

ජනපතිවරයාට සමීප ආරංචි මාර්ග සදහන් කළ ආකාරයට චීන සංචාරයේ දී ඔහු සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අනෙක් කාරණය වන්නේ එරටින් ශ්‍රී ලංකාවට ලබාගත හැකි සහාය, විශේෂකොටම කිවහොත් ව්‍යාපෘතීන් සම්බන්ධයෙන්ය. මෙම ව්‍යාපෘති අතරට චීනයේ මැදිහත්වීම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීමට ඔහුට අවැසිව තිබෙන ව්‍යාපෘතින් ද ඇතුළත්ය. නිවාස යෝජනා ක්‍රමයක්, ජල යෝජනා ක්‍රමයක්, නවීන දුම්රියමාර්ග පද්ධතියක්, ජලඅපවහන පද්ධතියක්, මෙම ව්‍යාපෘති අතර වේ.

චීන සමාගම් කිහිපයක් සහ රජය හා ඉහළම පෙලේ සබදතා ඇති ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරික එකමුතුවක් එක්ව මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් වන බිම් මට්ටමේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන බව දැනගන්නට තිබෙන අතර, ආරංචි මාර්ග සදහන් කළේ ඇතැම් ව්‍යාපෘති යෝජනා ප්‍රසිද්ධියට පත්කර හෝ නොමැති බවය. එම එක් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් සිටි චීන සමාගමක් අරබයා ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගතව තිබේ. ඒ හා හවුල්වී තිබෙන මෙරට නිලධරයකු දැනට සිටින්නේ නීතියෙන් සැඟවීය. ඔහුව සොයාගැනීමට අන්තර්ජාතික පොලිසියේ සහාය පවා මේ වන විට ඉල්ලුම් කර තිබේ.

පෙළොන්නරුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දීමට ජනපතිවරයා ගෙන තිබෙන පියවරෙන් ගම්‍ය වන කාරණය නම් ඉක්මන් ජනපතිවරණයක් කැඳවීමට ඔහුගේ කිසිදු සැළසුමක් නොමැති බවයි. නව ව්‍යාපෘති ඉක්මනින් ක්‍රියාත්මක කැරෙන බව සහ, ඒ හරහා ජනනය වන රැකියාවලින් තමාට අවැසි මනාප ප්‍රමාණය එකතුවනු ඇති බව සහතික කිරීමට ඔහුට අවැසිය.

එසේ ඡන්ද දිනාගැනීම, ජනපතිවරයාට පමණක් නොව එක්සත් ජාතික පෙරමුණට ද ඉතාම බරපතල අභියෝගයකි. අයිඑස් ත්‍රස්තයින් හා පැටලී සිටින සටනට වඩා බරපතල මට්ටමින් පැවතෙන බව කිව හැකි දෙපාර්ශවය අතර ගැටුම්වලින් බොහෝ ක්ෂේත්‍රවලට බරපතල ලෙසම බලපෑම් එල්ලව තිබේ. උදාහරණයක් වන්නේ රජයේ නොසැළකිල්ල හේතුවෙන්, සිය ගණනක් අහිංසක කතෝලික ජනතාවට, කාන්තාවන් - පුරුෂයින් - දරුවන් ඇතුලුව, සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවීමය. 

මෙය පසුගිය සතියේ කොළඹ අගරදගුරු නිවසේ පැවැති රදගුරු සම්මේලනයේ දී සාකච්ඡාවට බඳුන් වූ අතර, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයෙක් ලෙස සහභාගීව සිටියේය. සම්මේලනයේ දී අදහස් දැක්වූ දේශකයෝ ජනපති සිරිසේන මහතාව සහ අගමැති වික්‍රමසිංහ මහතාව ඉතාම දැඩි ලෙස විවේචනය කළහ.

කතෝලික ජනතාව වත්මන් රජය කෙරේ පැවැති විශ්වාසය දැන් ඔවුන් අහිමිකරගෙන සිටින බැවින්, තම තමන් නියෝජනය කරන ප්‍රදේශ ආවරණය කරමින් නව රජයක් පිහිටුවීම සදහා අවැසි මුල් පියවරයන් තැබිය යුතුව තිබෙන බව අදහස් දැක්වූවන් අතරින් අවම වශයෙන් දෙදෙනෙකුවත් පවසා සිටියේය. ජයග්‍රාහක දේශපාලන පක්ෂයකට මධ්‍යස්ථ සහ වගකිවයුතු මුස්ලිම් දේශපාලඥයින් සමග කටයුතු කිරීමට හැකියාව තිබෙන බව එක් දේශකයෙක් පෙන්වා දුන්නේය. 

මන්නාරම දිස්ත්‍රික්කය නියෝජනය කරන, දෙමළ භාෂාවෙන් ඔහුගේම රූපවාහිනී නාළිකාවක් පවා පවත්වාගෙන යමින් සිටින, මුස්ලිම් ජාතික අමාත්‍යවරයකු ඉතාම දැඩිව විවේචනය කැරුණු අතර, ඔහු අයිඑස් අන්තවාදීනට ආධාර හා අනුබල ලබා දී ඇතැයි චෝදනා නැගිණ. එසේ තිබියදී පවා ඔහුට එරෙහිව මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොතිබීම සම්බන්ධයෙන් සමුළුවේ දී අදහස් දැක්වූවෝ සිය කණගාටුව පළකළහ. 

සිකුරාදා, සිය පුතුගේ පෝරුවේ චාරිත්‍ර අවසන් වූ වහාම ජනපති සිරිසේන මහතා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට පැමිණියේය. ඔහු නැවත කොළඹ හිල්ටන් හෝටලයට ගියේ එයින් පසුවය. රටේ ජනපතිවරයාගේ අවධානය දිනාගැනීමට තරම් ශ්‍රී ලංකාවේ කතෝලික නායකයින් අතර පැවැති හමුවක් ප්‍රබල වූයේ මේ ආකාරයෙන්ය.

මෙම අවස්ථාවේදී ද, රට නැවත සාමාන්‍ය අතට පත්ව තිබෙන බව අගරදගුරු හමුවේ කියා සිටියේ ජනපති සිරිසේන මහතා පමණකි. ආරක්ෂක තත්ත්වය ඉතා පැහැදිලි ලෙසම ස්ථාවර කර තිබෙන බව අවධාරණය කළ ඔහු, එළැඹෙන ඉරිදා සුපුරුදු පරිදි ඉරුදින දිව්‍ය පූජා යාගයන් පවත්වන ලෙස ද ඉල්ලා සිටියේය. කතෝලික පාසල් විවෘත කරන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළේය. ඒ අනුව මාධ්‍ය හමුවක් කැදවූ අගරදගුරුවරයා, ලබන ඉරුදින සිට දිවයිනපුරා දේවස්ථානවල සාමාන්‍ය පරිදි දිව්‍යපූජාවන් පැවැත්වෙනු ඇති බව නිවේදනය කළේය .පාසල් ආරම්භ කිරීම ගැන ද සදහන් කළ උන්වහන්සේ, පවත්නා තත්ත්වය සැළකිල්ලට ගෙන, එළැඹෙන දිනයේදීම පාසල් ආරම්භ කිරීමට හැකිවන පරිද්දෙන් තමා ලබන 14 වැනිදා වන විට තීරණයක් ගන්නා බවත්, නොඑසේ නම් පාසල් ආරම්භ කැරෙනු ඇත්තේ බොහෝවිට වෙසක් නිවාඩුවෙන් පසුව බවත් කීහ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු - ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවාදය

පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දූත පිරිසට අනෙක් පාර්ශවයෙන් හිමිවූයේ එතරම් යහපත් පිළිගැනීමක් නොවේ. සාකච්ඡාව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් එක්ව සිටියේ ජී.එල්.පීරිස් සහ ජගත් අගලවත්ත යන මහත්වරුන් පමණි. ඩලස් අලහප්පෙරුම මහතා උත්සවයකට සහභාගීවීම සදහා මාතර බලා ගොස් සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය නියෝජනය කළහ. 

මෙම අවස්ථාවේ දී ජාතික ආරක්ෂාව හැර වෙනත් කිසිදු කරුණක් ගැන සාකච්ඡා කිරීමේ කිසිදු ඵලක් නොමැති බව කතාබහ ආරම්භ කරමින් පීරිස් මහතා පැවසුවේය. ඒ සම්බන්ධයෙන් දෙපාර්ශවයට සාකච්ඡා කළ හැකි බව ඔහු කීවේය. එය ද, සම්මත කරගැනීම සදහා අගමැතිවරයා දැඩි උත්සාහයක යෙදෙන ප්‍රති ත්‍රස්ත පණත ගැන සාකච්ඡාවකින් තොරව සිදුකිරීම ද නිශ්ඵල බව පීරිස් මහතා පෙන්වා දුන්නේය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවා මෙම පණත් කෙටුම්පත අධ්‍යනය කිරීම සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙන බව ඔහු පැවසුවේය. 

පසුගිය අගහරුවාදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබද ආංශික කමිටු රැස්වීමේ දී අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධරයෝ පවසා සිටියේ ත්‍රස්තවාදය මර්දනය කිරීම සදහා නව නීති සම්පාදනය කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි. දැනට තිබෙන නීති සහ ජනපතිවරයා සතුව තිබෙන බලතල ඒ සදහා හොදින්ම ප්‍රමාණවත් බව ඔවුහු කීහ. කෙටුම්පතෙන් සළසා දී තිබෙන ප්‍රතිපාදනයන් බොහෝමයකට තමන් දැඩි සේ විරුද්ධ බව ද එම නිලධරයෝ පැවසූහ.

අනපේක්ෂිත දෙයක් සිදුවූයේ මෙම අවස්ථාවේදීය. අඩුම තරමින් එක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් හෝ සාකච්ඡා පැවැත්වීමෙහි ලා පක්ෂයට තිබෙන අරමුණ පසෙකට කරමින්, සිය නායකයා උදයේ එක් දෙයක් පවසා සවසට තවත් දෙයක් පවසන පිළිවෙත විවේචනය කළේය. ඔවුන්ගේ දුක්ගැනවිල්ල හමුවේ පීරිස්ගේ ස්ථාවරය මදක් ලිහිල් විය. සාකච්ඡාව පැය භාගයකට පමණක් සීමා වූ අතර නැවත මැයි 30 වැනිදා හමුවීමට ඇතිකරගත් එකඟතාවයකින් පසුව දෙපාර්ශවය විසිර ගියේය. දැනට කිසිදු ඵලයක් නොමැති බව පැහැදිලිවම පෙනෙතත් මෙම සංවාදය දිගටම පවත්වාගැනීමේ වුවමනාවක් දෙපාර්ශවයටම තිබෙන බව පෙනෙන්නට ඇත.
 



අදහස් (0)

ඇමරිකාවත් චීනයත් අතර තෙරපී විඳවීම

ඔබේ අදහස් එවන්න

 

කොලම

ස්වාධීන අභිවෝදක මිථ්‍යාව යථාර්ථය
2025 මාර්තු මස 03 81 0

අපරාධ නඩුකටයුතු මහජනතාව දැඩි උනන්දුවක් දක්වන තීරණාත්මක කරුණකි. නඩුකටයුතුවල ප්‍රතිඵලය කුමක් වුවත්, පුරවැසියකු අපරාධ නඩුකීමට ලක් කිරීම, අපරාධ නඩුවක වි


ආණ්ඩුවේ මග කියන අයවැය
2025 පෙබරවාරි මස 28 143 0

වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙ


දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය
2025 පෙබරවාරි මස 21 2100 12

ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප


අයවැයේ දිශානතිය කොයි අතටද?
2025 පෙබරවාරි මස 17 317 0

ශ්‍රී ලංකාව නැවුම් ආර්ථික හා දේශපාලන අත්දැකීමක් සඳහා සූදානම්ව සිටියි. එනම් සමාජවාදී නැඹුරුව සහිත දේශපාලන සන්දර්භයක් යටතේ ඉදිරිපත් වන පළමු අයවැය ‍ලේඛ


ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි?
2025 පෙබරවාරි මස 14 176 2

මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව


අයවැය අපේක්ෂාවේ අභියෝග
2025 පෙබරවාරි මස 10 285 0

2025 වසර සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය නොබෝ දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම අයවැය කරුණු කිහිපයක් හේතුවෙන් සුවිශේෂ වේ. ඉන් පළමුවැන්න න


වැඩි දෙනා කියවූ පුවත්



රනිල් මැතිසබයට?
2025 පෙබරවාරි මස 20 20067 50



මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 140 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 465 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 540 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site