IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ඉහළ වරදින් පව් ගෙවන ජනතාව

 අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මුස්ලිම් අන්තවාදීන්ගේ ත්‍රස්ත ප්‍රහාරය එතැනින් නතර නොවිණි. ඔවුහු දැන් ආරක්ෂක අංශ සමග සටනට ද පිවිස සිටිති. එය එසේ වූයේ ඇයිද සහ මින් ගැලවීමට කුමක් කළ යුතු දැයි අද “කළ යුත්තේ කුමක් ද” විශේෂාංගයෙන් සාකච්ඡා කෙරෙයි. 

ඒ පිළිබඳව අද රටට කරුණු කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් බර්නාඞ් ගුණතිලක මහතාය.  ඔහු 2002 සිට 2004 කාලයේ පැවැති සාම මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද විය. ඇමෙරිකාවේ සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද කටයුතු කළ ඒ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ද විය.

අන්තවාදීහු ලෝකයේ සෑම රටකම, සමාජයකම සිටිති. එසේම උම්මත්තකයෝ ද බලයට කෑදර මිනිස්සු ද සෑම සමාජයකම සිටිති. අන්තවාදීන් අනුගමනය කරන්නෝ උම්මත්කයෝය. සිය දිවි නසා ගනිමින් ඔවුන් සමූල ඝාතන කරන්නේ එහෙයිනි. දකුණු ඇමෙරිකාවේ රටක් වන ගුයානා :ඨමහ්බ්* හිදී ජිම් ජෝන් නමින් ආගමික අන්තවාදියෙක් සිටියේය. ඔහුගේ කීම අසා සයිනයිඞ් කා 918ක් මියගියේ 1978 දීය. අන්තවාදයේ හා උම්මත්කභාවයේ භයානකකම අවබෝධ කරගැනීමට එය කදිම උදාහරණයකි.

අප්‍රේල් 21 වැනිදා මෙරට කතෝලික පල්ලි තුනකට හා හෝටල් තුනකට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ද අන්තවාදියෙකි. උම්මත්කයෙකි. ඔහුගේ කීම් අසා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ පුද්ගලයෝ ද උම්මත්තකයෝය. අන්තවාදීන් වුවද ඔවුන් පසුපස යන ඔවුන් අනුගමනය කරන මිනිස්සු සිටිති. එසේ උම්මත්තකයන් වන්නේ නූගත් හා දුප්පත් අයම නොවේ. සහරාන් පසුපස ගොස් ඇත්තේ ඉගෙනගත් ධනවත් පුද්ගලයෝය. වේලුපිල්ලේ ප්‍රභාකරන් සේම ඇඩොල්ෆ් හිට්ලර් ද අන්තවාදියෝය. උම්මත්තකයෝය. හිට්ලර් බලයට පැමිණියේ ජනතා ඡන්දයෙනි. එහෙත් අන්තවාදියෙකි.

රටක, සමාජයක එවැනි මිනිසුන් සිටින බව රජය දැනගත් විට රාජ්‍ය යාන්ත්‍රණය නිසිලෙස මෙහෙයවා එවැනි මිනිසුන් කරන්නේ මොනවාදැයි සොයා බලා නිසි තැන නිසි වෙලාවට අවශ්‍ය පියවර ගත යුතුය. එහෙත් අපට එය කළ නොහැකි වූ බව හෝ හිතාමතාම නොකළ බව අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනාවරණය වෙයි. කළ යුතු දේ කළ යුතු වෙලාවට නොකළේත් නොකෙරුණේත් ලංකාවේ දේශපාලන ව්‍යුහයේ ප්‍රශ්න මතය. 1980 පමණ තෙක් ලංකාවේ මුස්ලිම් ජනතාව ගොනු වී සිටියේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සමගය. එහෙත් මුස්ලිම් ජනතාවටම වෙන් වූ දේශපාලන පක්ෂයක් 1981 දී බිහිවිය. එය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයි. මුස්ලිම් කොංග්‍රසයෙන් කැඩුණු රිෂාඞ් බදුර්දීන් තවත් දේශපාලන පක්ෂයක් ආරම්භ කළේය. ඒ කවුරුත් වෙන වෙනත් දේශපාලන පක්ෂ ආරම්භ කළේ ඔවුන්ගේ ජාතියට හෝ මුස්ලිම් සමාජයට සෙත සැලසීමේ අරමුණෙන් නොවේ. ඒ සියල්ලන්ගේ අරමුණ තමන්ගේ අභිමතාර්ථයන් සපුරා ගැනීමය.

 ජාති හා ආගම් ලෙස පෙනී සිටින පුද්ගලයන්ගෙන් පිරි සමාජයක ස්ථාවරභාවය සඳහා රාජ්‍ය බුද්ධි අංශ ශක්තිමත්ව තිබිය යුතුය. අප්‍රේල් 21 වැනිදා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය බුද්ධි අංශ නිෂ්ක්‍රීය කිරීමේ ප්‍රතිඵලයකි. නිවෙසක් ගොඩනගා තිබෙන්නේ කනු හත අටක් මත නම් ඉන් එක් කනුවක් හෝ බිඳ වැටුණු විට ඉතා සුළු කලෙකින් සමස්ත නිවෙසම කැඩී වැටෙන බව කවුරුත් දන්නා සත්‍යයකි. එය ක්ෂණිකවම සිදු නොවෙයි. යම් කාලයකින් උදාවන අනිවාර්ය ප්‍රතිඵලයකි. අප්‍රේල් 21 වැනිදා වූයේ ද එයමය. ප්‍රධාන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් තමන්ට බලය ලබා ගැනීමටත් ලබා ගත් බලය තහවුරු කරගැනීමටත් තහවුරු කරගත් බලය ව්‍යාප්ත කිරීමටත් සුළු ජාතික පක්ෂවල සහාය ලබා ගැනීම දශක හය හතක් තිස්සේ ලංකාවේ සිදුවන දෙයකි. 1981ට පෙර එය සුළු වශයෙන් වුව ද ඉන්පසු තත්ත්වය වඩා බැරෑරුම් විය. වර්තමාන ආණ්ඩු පවතින්නේම සුළු ජාතිකයන්ගේ හා සුළු කණ්ඩායම්වල සහයෝගයෙනි. සභාග ආණ්ඩු ගොඩ නැගෙන්නේත් පවතින්නේත් ඔවුන්ගේ සහයෝගය මතය. යළි බලය ලබා ගැනීමට අපේක්ෂා කරන නායකයන්ටත් පක්ෂවලටත් ඒ සහයෝගය නැතිවම බැරිය. එය ඒ නායකයන් සේම සුළු ජාතික පක්ෂවල නායකයෝ ද දනිති. වතුකරයේ සිටි සෞම්‍ය මූර්ති තොන්ඩමාන් ද දශක ගණනාවක් කළේ මේ කේවල් කිරීමේ දේශපාලනයයි.

 මහපොළොවේ පවතින යථාර්ථය එය වූ විට ප්‍රධාන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයන් තමන් මත යැපෙන බව ඒ සුළු ජාතික පක්ෂවල නායකයෝ දනිති. එහෙයින් ඔවුහු ප්‍රධාන පක්ෂවල නායකයන්ට විවිධ බලපෑම් කරති. ගැමි ව්‍යවහාරයෙන් කියන්නේ නම් ඒ ඇතැම් සුළු ජාතික නායකයෝ මස් රාත්තලම ඉල්ලති. බලය නැතිවීමේ හා බිඳ වැටීමේ බිය නිසා ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් අර සුළු ජාතික පක්ෂවල නායකයන්ට අවනත වන්නේ නිරායාසයෙනි. ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට පෙළඹෙන්නේ සහේතුකවය. එහෙත් ජාතික නායකයන් කල්පනා කළ යුත්තේ ජාතික ආරක්ෂාව ගැනය. ඔවුන් නිතර මොරදෙන භෞමික අඛණ්ඩතාවය ගැනය.

 බුද්ධි අංශවලට නිසි ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලැබුණේ නම් සහ ඒ බුද්ධි තොරතුරු මත අනෙක් ආරක්ෂක අංශ නිසි පියවර නිසි වේලාවට ගත්තේ නම් අප්‍රේල් 21 ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව බොරුවක් නොවේ. බුද්ධි අංශ කඩා වැටුණේත් රජයේම පිරිසකගේ වරදින් බව දැන් ජනාධිපතිවරයා ද පිළිගනියි. ජනාධිපතිවරයා රජයේ හා ආණ්ඩුවේ නායකයාය. තම ආණ්ඩුව යටතේ බුද්ධි අංශ කඩා වැටුණු බව ජනාධිපතිවරයාම පිළිගනියි. එසේ නම් දැන් කළ යුත්තේ කුමක් ද? බුද්ධි අංශ ශක්තිමත් කළ යුත්තේ කෙසේදැයි දැන් රජය තීරණය කළ යුතුය. ඒ සඳහා ගතයුතු අත්‍යවශ්‍ය පියවර ගත යුතුය. ජනාධිපති හා අගමැති අතර පවතින කඹ ඇදිල්ල බුද්ධි අංශ කඩා වැටීමට හා අප්‍රේල් 21 ප්‍රහාරයට කෙතරම් දුරට බලපෑවේදැයි සොයා බැලීම ද අනිවාර්යයෙන්ම කළ යුත්තකි. ප්‍රහාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කළ කතාවේදී අනාවරණය කළේ 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගි නොවූ බවයි. තමා එහි නොකැඳවූ බව ද අග්‍රාමාත්‍යවරයා කියයි. ආරක්ෂක මණ්ඩලයේ නායකයා කවුද? එහි සාමාජිකයෝ කවරහුද? ඒ සාමාජිකයින් එහි යන එන එක නවත්වන්නේ කව්ද යන්න දැන් රටට රහසක් නොවේ. ජාතික ආරක්ෂක මණ්ඩලයේ වටිනාකම අවතක්සේරු කිරීම බරපතළ කාරණයකි.

ජනාධිපතිවරයා එසේ කරන්නට ඇත්තේ යම් හේතුවක් මත විය හැකිය. ඒ නිසාම වුවද ආරක්ෂක මණ්ඩලයේ වටිනාකම අවතක්සේරු කිරීම අමනෝඥ ක්‍රියාවකි. අපේ බුද්ධි අංශ කඩා වැටීම පැත්තකින් තියමු. එහෙත් විදේශීය බුද්ධි අංශ ද මේ ප්‍රහාර ගැන කල්තියාම ලංකාවට දන්වා තිබිණි. එවැනි තොරතුරක් ලැබුණු විට බුද්ධි අංශ ඒ ගැන වාර්තා කරන්නේ කාටද? ආරක්ෂක ලේකම්ට නම් ඉන්පසුව එතුමා වාර්තා කරන්නේ කාටදැයි පැන නගින්නේ ප්‍රශ්නයකි. ඒ ක්‍රියාදාමය එසේ නොවුණේද? කැඩුණේ කාගෙන්ද? එසේ වූයේ ඇයි යනාදිය සොයා බැලීම ද අත්‍යවශ්‍ය ක්‍රියාවලියකි. අප මේ කතා කරන්නේ දේශීය බුද්ධි අංශවල කඩා වැටීමක් ගැන නොව විදේශීය බුද්ධි අංශවලින් ලැබුණු තොරතුරු මත ක්‍රියාත්මක නොවීම පිළිබඳවය. අතීතයේදී නම් මෙවැනි තොරතුරු ලැබුණු වහාම ඒ තොරතුරු යැවිය යුතු තැන්වලට යවන්නේ ජනාධිපති ලේකම්වරයා විසිනි. ඉන් අනතුරුව ගත යුතු පියවර ගන්නේ අදාළ නිලධාරීන් ගෙන්වා ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුවය. එහෙත් මෙවර එසේ නොවුණේ ඇයි? එවැනි බුද්ධි තොරතුරු පිළිබඳව තීන්දු තීරණ ගත්තේ ලිපි යැවීමෙන් නොවේ. කළ යුත්තේ අදාළ නිලධාරීන් සමග සාකච්ඡා කර තීන්දු ගැනීමය.

 අනෙක තවුහිත් ජමාත් සංවිධානය ආරම්භ කර තිබෙන්නේ අද ඊයේ නොවේ. දැනට අනාවරණය වී තිබෙන්නේ එය 2014 දී පටන් ගත් බවය. එහි නායක සහරාන් හෂීම් ආගම් විරෝධි හා ජාති විරෝධි ප්‍රකාශ කීපයක්ම කර තිබෙන බව ද අනාවරණය වෙයි. ඒවා ගිනි ඇවිලෙනසුළු ප්‍රකාශ බව කවුරුත් දනිති. ඒ ප්‍රකාශවලට එරෙහිව බොදුබල සේනාව ප්‍රතිචාර දැක්වූ බව ද රටම දන්නා කරුණකි. සහරාන්ගේ ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගතයුතු බුද්ධි අංශ හා වෙනත් ආරක්ෂක අංශ තම වගකීම ඉටුකර නැති බව ද සත්‍යයකි. ඔවුන් තම වගකීම ආරම්භයේදීම ඉටු කළේ නම් අප්‍රේල් 21 විනාශය නොවන බව ද දැන් රටම දන්නා කරුණකි. ඒ වගකීම ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන් මත පැටවීම ද අසාධාරණය. නිදහසේ ස්වාධීනව බලපෑම් හා ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුනට තම රාජකාරියමය වගකීම ඉටුකිරීමට නොදෙන්නේ ද දේශපාලනඥයන්මය. ඇතැම් අවස්ථාවල බුද්ධි නිලධාරින් දේශපාලන නායකයන්ට යම් තොරතුරක් දැන්වූ විට ඒ නායකයන් ඒවා ගණන් ගන්නේ නැත. ඔවුහු ඒවා ඉවතලති. බැහැර කරති. ඇතැම් විට එසේ කරන්නේ අවඥාවෙනි. ඇතැම් විට ඒ තොරතුරු දන්වන නිලධාරින්ට යම් යම් කරදර පමුණුවති. මා මේ තොරතුරු කියන්නේ පුරා වසර 40ක රාජ්‍ය සේවා අත්දැකීමෙනි. ඒ දේශපාලන නායකයන් එසේ කරන්නේ ද විවිධ පුද්ගලයන්ගේ බලපෑම් හේතුවෙනි. බලය රැකගැනීමේ හෝ ලබාගැනීමේ පටු අරමුණු මත පිහිටා කටයුතු කිරීම හේතුවෙනි.

 අපට මේ පිළිබඳව කදිම උදාහරණයක් සපයන්නේ මේ ආණ්ඩුවේ හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතාය. තවුහිත් ජමාත් නමින් ත්‍රස්තවාදී කල්ලියක් මෙරට ක්‍රියාත්මක වන බව 2016 නොවැම්බර් 18 වැනිදා තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය  කළ බව රාජපක්ෂ මහතා අප්‍රේල් 23 වැනිදා කියා තිබිණි. තමා එදා කළ ඒ හෙළිදරව්වෙන් පසුව ආණ්ඩුවේම ඇමැතිවරුන් තමාට වටකරගෙන පහර දුන් බවත් රාජපක්ෂ මහතා කියයි. අපේ රටේ කටයුතු සිදුවන ස්වභාවය සහ දේශපාලන නායකයන් තීන්දු තීරණ ගන්නා ආකාරය වටහා ගැනීමට එය කදිම නිදසුනකි. එදා විජයදාස ඇමැතිවරයාට දෝෂාරෝපණය කළ අය අද වෙනත් කතාවක් කියනු නියතය. එසේම හෙට ඔවුන් තවත් කතාවක් කිව හැකිය. අවලාද නැගීම හැර මේ මනුස්සයා කිව්වේ මොනවාදැයි සොයා බැලීමේ වුවමනාවක් අපේ නායකයන්ට නැත.

 මාවනැල්ලේදී බුදුපිළිමවල සිරස කඩා දැම්මේ 2018 දෙසැම්බර් මාසයේදීය. එසේම අන්තවාදී ත්‍රස්තවාදීන් පුහුණු කරන වනාතවිල්ලුව පුහුණු කඳවුර ආරක්ෂක අංශ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ 2019 ජනවාරි මැද භාගයේදීය. ඒ වැටලීමේදී අත්අඩංගුවට ගත් භාණ්ඩ හා අවි ආයුධ හොර කල්ලියක් හෝ මැර කල්ලියක් පාවිච්චි කරන ඒවා නොවේ. ඒවා ත්‍රස්තවාදී ක්‍රියාවලට යොදාගන්නා භාණ්ඩය. අවි ආයුධය. පුපුරණ ද්‍රව්‍ය හා නයිටි්‍රක් ඇසිඞ් ද එහි තිබී හමුවිය. එහිදී හතර දෙනෙක් අත්අඩංගුවට ගත් බව කීවත් ඔවුහු කවරහු ද, ඔවුන්ට වූයේ කුමක් ද, දැනටත් අත්අඩංගුවේ ද, ඔවුන්ට එරෙහිව නඩු දැම්මා දැයි රටේ පුරවැසියෝ නොදනිති. ඔවුන් සිව්දෙනා නිදහස් කරන්නැයි බලපෑම් කළේ කවුද? නිදහස් කරන්නැයි නියෝග කළේ කවුද? යනාදී තොරතුරු ද රටේ ජනතාව නොදනිති. ඒ නියෝගය දුන්නේ ඉහළම දේශපාලකයකු බව නම් නිසැකය. ඉහළ දේශපාලකයන් එසේ කළ විට ඉන්පසු  එවැනි දේවල් පසුපස හඹායාමට, වැටලීම් කිරීමට හා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ නිලධරයෝ  නොපෙළඹෙති. මක්නිසාද යත් ඒවා නිරර්ථක වීමය. එසේම එසේ කිරීමෙන් තමන්ට නැති කරදර උදාවන හෙයිනි. අප්‍රේල් 21 වැනිදා මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ අය අතර එදා වනාතවිල්ලුවේදී අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදියකු ද සිටි බව දැන් රටට හෙළි වී තිබේ. ඒ අනුව අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තේ අන්තවාදී ත්‍රස්තවාදීන් නිදහස් කරන්නැයි අපේ දේශපාලන නායකයන්ට බලපෑම් කළ පුද්ගලයන් සහ ඒ බලපෑම් මත ඒ ත්‍රස්තවාදීන් නිදහස් කළ දේශපාලන නායකයෝය. අල්ලාගත් ත්‍රස්තවාදීන් මුදාහරින්නැයි නියෝග කළ හැක්කේ ජනපතිට හෝ අගමැතිට පමණකි. ඇතැම් විට රටේ පවතින අරාජක භාවය නිසා එසේ අණ දිය හැකි ඊට පහළ පුද්ගලයන් දැන් රටේ සිටිනවා ද විය හැකිය.

 මෙවැනි බරපතළ ප්‍රහාරයක් බලාපොරොත්තු නොවූ බව හිටපු ආරක්ෂක ලේකම් කියයි. එසේ නම් ඔහු බලාපොරොත්තුව සිටියේ මොන වගේ ප්‍රහාරයක්ද, ඔහු බලාපොරොත්තු වූ මට්ටමේ ප්‍රහාරයක් වුණාට කමක් නැතැයි ඔහු සිතුවේද, හිටපු ආරක්ෂක ලේකම් කියන හැටියට වී තිබෙන්නේ තමන් බලාපොරොත්තු වූවාට වඩා වැඩි ප්‍රහාරයකි. ජීවිත හානි සුවිශාලය. සංචාරක කර්මාන්තය එහෙම පිටින්ම කඩා වැටිණි. ආරක්ෂක ලේකම් දැන සිටියේ ගල් ගසනවා පමණක් කියා නම් ඒ බව හෝ පල්ලිවලට හා හෝටල්වලට දැන්විය යුතුව තිබිණි. ඔහු කල්තියා ඒ බුද්ධි තොරතුරු සමාජගත කළේ නම් සමාජය ඊට මුහුණ දීමට පියවර ගන්නේය. හානි අවම කරගැනීමට හැකියාව තිබිණි. අප්‍රේල් 21 වැනිදායින් පසුව මේ වනතුරුත් සිදුවන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් කළ යුතුව තිබුණේ ඒ බුද්ධි තොරතුරු ලැබුණු දිනවලමය. අප්‍රේල් 4 හා 8 වැනිදා සේම 11 වැනිදා ද මේ ප්‍රහාරය ගැන බුද්ධි අංශ මගින් අනතුරු අඟවා තිබිණි. 11 වැනිදා අනතුරු ඇඟවීම කළේ අපේ දේශීය බුද්ධි අංශ විසිනි. අප්‍රේල් 04 හා 09 වැනිදා අනතුරු ඇඟවීම් කළේ විදේශීය බුද්ධි අංශ විසිනි. විශේෂයෙන් ඉන්දීය බුද්ධි අංශ මගිනි. එතරම් කල් තබා මේ තොරතුරු ලැබී තිබියදීත් අපේ ආරක්ෂක ලේකම් නිහඬව සිටියේ ඇයි?

ඒ අනතුරු ඇඟවීම් පිළිබඳ තොරතුරු ලැබුණු පුද්ගලයන් ඒ පිළිබඳව ඉහළ දැනුවත් කළා ද, ඒ දැනුම් දීම ගණන් ගත්තේ ද නොගත්තේ දැයි රටේ පුරවැසියෝ නොදනිති. එහෙත් එය දැනගැනීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. මක්නිසාද මේ සියල්ල අවසානයේ විඳවන්නේ රටේ සාමාන්‍ය ජනතාවම වන බැවිනි. ඒ බුද්ධි තොරතුරු ලැබුණු වහාම කළ යුතුව තිබුණේ ආරක්ෂක මණ්ඩලය රැස් කරවා ඒ පිළිබඳව සාකච්ඡා කිරීමය. එහෙත් එය එලෙස නොවුණේ ඇයි? එසේ වුණේ නූතන ලංකාවේ අක්‍රිය රාජ්‍යයක් (Disfunctional State) පවතින හෙයිනි. මේ පාලන තන්ත්‍රයේ කිසිවෙක් ක්‍රියාත්මක නොවෙති. ක්‍රියාත්මක වන්නේ නම් අවස්ථා තුනකදී බුද්ධි අංශ මගින් අනතුරු අඟවා තිබියදී ප්‍රහාරය මැඩපැවැත්වීමට හෝ විනාශය අවම කරගැනීමට ක්‍රියාත්මක නොවුණේ ඇයි?

 මින් ඉදිරියටවත් ආරක්ෂක මණ්ඩලය රැස්විය යුතුය. එහි කෙරෙන සාකච්ඡා මත ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කළ යුතුය. බුද්ධි අංශ යළි ශක්තිමත් කර බාධා හා හිරිහැර කිරීම්වලින් තොරව ඔවුනගේ රාජකාරිමය වගකීම් ඉටුකිරීමට ඔවුනට නිදහස ලබා දිය යුතුය. පටු දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වන පුද්ගලයින්ට ඉඩ නොදී රටේ හා ජනතාවගේ වුවමනා හා අභිවෘද්ධිය සැලසෙන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතුය. එහි මූලික වගකීම ඇත්තේ ජනාධිපතිටය. අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට පත් කළ ත්‍රිපුද්ගල කොමිසමට අවශ්‍ය සහාය සහ සහයෝගය බාධා කිරීම්වලින් තොරව ලබා දීම ද අත්‍යාවශ්‍ය කාරණයකි. එසේම ඒ කොමිසමේ වාර්තාව හමස් පෙට්ටියට නොදමා ප්‍රසිද්ධියට පත්කර එහි නිර්දේශ ක්‍රියාවට නැංවිය යුතුය. විදේශ බුද්ධි අංශ සමග දැනට පවතින සබඳතා තව තවත් තරකරගත යුතුය. මේ සියල්ල කළ හැකි වන්නේ දේශපාලකයන් ලෙස කටයුතු කිරීමෙන් නොව සැබෑ රාජ්‍ය තාන්ත්‍රිකයන් ලෙස කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කරමු.

 



අදහස් (1)

ඉහළ වරදින් පව් ගෙවන ජනතාව

sandy123 Wednesday, 01 May 2019 05:55 AM

සහතික ඇත්ත. ඉතාමත් හොද ලිපියක්.

:       0       162

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 856 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site