IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ජාතික ආරක්ෂාවට කුමක්වීද

යටත්විජිතභාවයෙන් නිදහස් කළ ද බෙදා වෙන්කර පාලනය නමැති සදාතනික ව්‍යාධිය යටත්විජිත පාලකයන් විසින් අපට උරුම කරනු ලැබීය යන මතය අපි අදටත් විශ්වාස කරමු. ඒ අනුව 1948 නිදහසින් පසුව පළමු වැනි වරට වාර්ගික ගැටලුවක් හටගත්තේ 1958 දීය. රජයේ බොහෝ උසස් නිලතල දෙමළ ජාතිකයන්ට සීමා වූ බව ද සිංහල දෙමළ බෙදීමට එය තදින්ම බලපෑ බව ද එකල කියැවිණි. 1956 දී සිංහලය රාජ්‍ය භාෂාව කිරීමත් 1971 දී විශ්වවිද්‍යාල ප්‍රමිතිකරණයත් මුල්කරගෙන තමන් අසමානයන් සේ සලකන්නේ යැයි වූ සිතුවිල්ල සිංහල දෙමළ වාර්ගික කලහයක් දක්වා වර්ධනය වූ බව ද ඇතැමුන්ගේ මතයයි. 

වාර්ගික කලහයකින් ආරම්භ වුවද 1983න් පසුව ත්‍රස්තවාදී මුහුණුවරක් ගත් මේ විනාශය 2009 දී අවසන් වීය යන්න තවත් මතයකි. ඒ කවර අර්ථකථන පැවැතිය ද මේ තිස් වසර ගෙන බලද්දී කිවහැක්කේ ආසන්න අතීතයෙහි ශ්‍රී ලාංකිකයන් යනු යුදමය අත්දැකීම්වලින් සපිරි ජාතියක් බවය. විශේෂයෙන්ම 1971 කැරැල්ලෙන් පසුව එවක ආණ්ඩුව අපේක්ෂාභංග වූ තරුණ ප්‍රජාව නැවත නඟාසිටුවීමට විවිධ පියවර ගත්තේ තරුණ අසහනය ඊට මුල් වීය යන උපකල්පනයෙනි. එහෙත් 1988/89 වනවිට නැවතත් සිදුවූයේ තරුණ සන්නද්ධ නැඟිටීමකි. එය ආණ්ඩුවෙන් මර්දනය කෙරුණ ද අර්බුදයට පිළිතුරක් ලැබුණේ නැත. අනෙක් අතට දෙමළ ජනතාව අතරේ ද දෙමළ දේශපාලකයන් ඇතිකර තිබුණේ සිංහල සමාජයෙන් තම ජාතියට අසාධාරණයක් වීය යන අදහසයි. 

එහෙත් පෙරේදා (21) දිනයේ වූ සිදුවීම් මාලාව මේ අප කතා කළ සන්නද්ධ ගැටුම් ඉතිහාසයට සපුරා වෙනස් අත්දැකීමකි. දැනට තිබෙන තොරතුරු අනුව මේ ප්‍රහාරය පසුපස ස්වදේශිකයන් සිටින බව වාර්තා වුවද ඒවායේ අරමුණ කුමක්ද යන්න තවමත් කාටවත් නිවැරැදිව කියන්නට බැරිය. මෙහි ඇත්තේ රටෙන් කොටසකට අයිතිය කියාපෑමක් හෝ පළාත් සභාවක බලය ඉල්ලීමක් නොවේ. පැහැදිලිවම මෙහි ඇත්තේ රට තුළ දේශපාලනය ඉක්මවා ගිය සාධකයකි. අප සිටින්නේ මෙහි ඇත්තේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාරයක සම්බන්ධයක්ය යන උපකල්පනයේය. ශ්‍රී ලංකාව මෑත භාගය වනවිට මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් වී ඇති බව අපි කවුරුත් දනිමු. විශේෂයෙන්ම එකී මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මර්දන යාන්ත්‍රණයක් ද දියත් විය. මත්ද්‍රව්‍ය හා ත්‍රස්තවාදය යනු දෙකක් නොව එකකි. ඒවායේ ඇත්තේ එකිනෙකට ප්‍රතිබද්ධ සම්බන්ධයකි. ලෝක පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ව්‍යාපාරය දියත් වන මූලික අරමුණක් වන්නේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලට අවශ්‍ය අරමුදල් සපයා ගැනීමය. මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දියත් වුවද ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය බෙදාහැරීම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට අවැසි ත්‍රස්තවාදී සංවිධාන කවුදැයි සොයාබැලීමට උපායමාර්ගික වුවමනාවක් ආණ්ඩුවලට තිබුණේ නැත. 

2015 දී ආණ්ඩු මාරුවක් සිදුවූයේ යුද්ධ නිමාවෙන් වසර හයකට පසුය. ඒ වනවිට එල්.ටී.ටී.ඊ සංවිධානය සන්නද්ධමය වශයෙන් මුලිනුපුටා තිබූ තත්ත්වයක ජාතික ආරක්ෂාව පැවැතියේ ද ශක්තිමත් තැනකය. එහෙත් බලයට පත් නව පාලක පන්තිය ජාතික ආරක්ෂාව ගැන වගකීමෙන් කටයුතු කළේ දැයි පාලනය ආරම්භයේ සිටම අපට දැනුණු ප්‍රශ්නයකි. ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පසුගිය අයවැය විවාදයේ දී කළ උද්වේගකර කතාව අප මේ කියන ජාතික ආරක්ෂා ප්‍රශ්නය පිළිබඳ හරස්කඩකි. රාජ්‍ය බුද්ධි අංශවල කඩාවැටීම හා අනපේක්ෂිතව හටගන්නා යුද්ධයකට රටක් හැටියට ඇති සූදානම ගැන ඔහු කළ කතාව මට හිතෙන හැටියට නම් ඔහුගේ දේශපාලනයේ කළ විශිෂ්ටතම කරුණු දැක්වීමය. 2009 යුද්ධය අවසන් කිරීමට මෙරට ආරක්ෂක බුද්ධි අංශවලින් වූ මෙහෙය අපමණය. අමිලය. ත්‍රිවිධ හමුදාවේත් පොලිස් දෙපාර්තමේන්තුවේත් ප්‍රභූ ආරක්ෂක අංශවලත් ආදී වශයෙන් වූ බුද්ධි තොරතුරු ජාලය විශිෂ්ට එකක්ම විය. මේ දේවල් සමස්තයක් හැටියට ගත් කල අපට දැනෙන්නේ රාජ්‍ය බුද්ධි අංශයත් එම අංශ ලබා දෙන තොරතුරු මත තීන්දු තීරණ ගන්නා අධිකාරි තන්ත්‍රයත් දුර්වල අඩියකට වැටුණු බවය. බුද්ධි නිලධාරින් මෙන්ම තොරතුරු සැපයූ ඔත්තුකරුවන් පාවාදීම මෙම තත්ත්වයට ප්‍රමුඛවම බලපෑවේය. බුද්ධි අංශයකට ස්වායත්ත පැවැත්මක් නැත. එහි පැවැත්ම උදෙසා බලයේ සිටින දේශපාලන අධිකාරියේ ප්‍රතිපත්තිමය එළඹුම අතිශය වැදගත්ය. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් වූ කතිකාවේ දී පළ කෙරෙන අදහස්වලින් ද එළියට එන්නේ මේ කියන දෑය.

අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ සාකච්ඡාවේ දී ද මතුවන්නේ බුද්ධි අංශ මගින් යම් යම් තොරතුරු ලබා දුන්න ද ඉන්පසුව ගත යුතු තීන්දු නිවැරැදිව ගත්තේදැයි යන පැනයයි. ඒ අනුව බිඳ වැටී ඇත්තේ බුද්ධි ඒකක හා පාලනාධිකාරිය අතර අන්තර්සම්බන්ධය බව පැහැදිලිය. බලධාරින් කටයුතු කර ඇත්තේ මෙවැනි බිහිසුණු තත්ත්වයක් ලංකාවේ නිර්මාණය විය නොහැකිය යන පූර්ව උපකල්පනයේ පිහිටාය. කෙසේ වුවද ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වය ගැන පොදු සමාජයට විවේචනයක් තිබුණේ පහුගිය වසර තුන හතරක කාලය තිස්සේ බව ද කිව යුතුමය. ලංකාව යනු භූගෝලීය වශයෙන් ගත්කල ඉතා කුඩා රටකි. එනිසා බාහිරින් පැමිණෙන ත්‍රස්ත ව්‍යාපාරයකට පැවැත්ම පහසු නැත. විශේෂයෙන්ම දශක ගණනක යුද අත්දැකීම සමඟ ජනතාව වුවද නිසල සමාජයට නුහුරු යමක් සිදුවන විට ඒ ගැන වාර්තා කිරීමට අනාවරණයට දක්වන උනන්දුව ද එහිදී වැදගත්ය. ජනතාව එසේ තොරතුරු ප්‍රදානය කළ ද ඒවා ලබාගනිමින් අවශ්‍ය පියවර ගැනීමට සෙසු පාර්ශ්වවලින් දැක් වූ මැලිකම ද මෙහිදී නොසලකා හැරිය නොහැකිය. සිදුවීම් වූ ආකාරය අනුව නම් මෙම ප්‍රහාර හුදෙක් රජයකට එරෙහිව කළ වැඩක් හැටියට සරල අර්ථකතනයකට යන්නට අපට නොහැකිය. 

ආණ්ඩුවකින් වැරැදි අඩුපාඩු වෙනවා නම් ඒ බව දැන්වීමට ජනතාවට ඇති හොඳම ප්‍රජාතන්ත්‍රවාදී අවිය ඡන්දයයි. එහෙත් 2015 බලයට පැමිණි යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණ පැවැත්වුවේ දිගු කල් ඉකුත්වීමකින් පසුය. පළාත් සභා මැතිවරණ ගතහොත් තවම පවත්වා නැත. මේ නිසා ආණ්ඩුවේ දුර්වලතා සම්බන්ධයෙන් අනතුරු අඟවන්නටවත් ජනතාවට අවස්ථාවක් ලැබුණේ නැත. පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණයක දී ඡන්දයෙන් පල්ලම් බැසීම යනු බලයේ සිටින්නන්ට එරෙහිව ඇති මහජන විවේචනයයි. මිනිසුන් තමන්ගෙන් ඈත් වී යන්නේ ඇයිදැයි ආපසු හැරී බැලීමක් කිරීමට ආණ්ඩු පොළඹවන්නේ මහජන ඡන්දයයි. එහෙත් පාලකයන් කවදාවත් මේ මැනීම කරන්නට කැමැති වුණේ නැත. තමන් විශිෂ්ට ලෙස ආණ්ඩුකරණයෙහි නියැලෙන්නේය යන සිතුවිල්ලෙන් ඔවුහු දිගටම කටයුතු කළහ. ඒ අනුව මහජන මතය විමසා බැලීමකට නොයාමෙන් ආණ්ඩුව ලොකුම වරදක් කරගත් බව දැන් පාලකයන්ටම වැටහෙනු ඇත.

අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව ජනමාධ්‍යට අදහස් දක්වන ඇතැම් විද්වතුන්ගේ අවධාරණයන්හි ප්‍රමුඛ වන්නේ ගැටුම් ඇති කරගන්නට එපාය යන පණිවුඩයයි. එහෙත් මා දකින හැටියට මෙමගින් සිදුවන්නේ මේ සිදුවීම්වල ඇති බිහිසුණු යථාර්ථයට පිටුපෑමක් බවයි. මන්දයත් මේ ප්‍රහාරවල පතුලේ තිබෙන්නේ ලංකාවේ මිනිසුන් අතර ගැටුමක් නොවන බැවිනි. මෙය වූ කලී මා දකින හැටියට ජාත්‍යන්තරමය මෙහෙයවීමක් මත සමස්ත රටටම කළ අනතුරු ඇඟවුමකි. එනිසා ආණ්ඩුව පළමුව කළ යුත්තේ බිඳ වැටී ඇති බුද්ධි අංශ යථාවත් කිරීම සඳහා අවංක ප්‍රතිපත්තිමය වෙනසක් කිරීමය. එහෙත් අවාසනාවකට අපේ දේශපාලනයේ වත්මන් සාකච්ඡාවල ප්‍රමුඛතා ලැබී තිබෙන්නේ වෙනත් අවශේෂ කාරණාවලටය. උදාහරණයකට මේ මොහොතේ අප කතා කරමින් සිටින්නේ මානව හිමිකම් අර්බුද ගැනය. එහෙමත් නැත්නම් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ගැනය. සුළු ජාතීන්ගේ ඡන්ද නැතිව ජනාධිපතිවරණයක් දිනාගත නොහැකිය යන මතය ගැනය. මේ චින්තනය තුළම කෙරෙන්නේ කිසියම් ආකාරයකට ජාතින් අතර ධ්‍රැවීකරණ රේඛාවක් සිතුවම් කිරීමය. 

අප කැමැති වුණත් නැතත් මේ රටේ සාතිශය බහුතරය වන්නේ සිංහල ජනතාවයි. ඔවුන්ගේ දේශපාලන සිතුම් පැතුම්වලට ගරු කිරීමට සෙසු ජාතීන්ට ද ඉවසීමක් තිබිය යුතුවේ. කෙසේ වෙතත් සුළු ජන වර්ගවලට දෙවැනි පුරවැසියන් ගණයෙහි ලා කරන සැලකිල්ලක් එයින් සාධාරණීකරණය නොවේ. බොහෝ දෙනෙකු අවධානය යොමු නොකළ ද සුළු ජන ඡන්ද කේවල් කරන පරිසරයක ඇති කරන දේශපාලන බැඳීම සම්මුතිකාමී දේශපාලනයකට කරන යහපතක් නැත. මන්දයත් පොදු යහපතට වඩා කොන්දේසි සහගත තීරණ ගැනීමකට එයින් මඟ පාදන බැවිණි. එනිසා මෙකී කාරණා ගැන විවෘත දේශපාලන සාකච්ඡාවක් වහ වහා ආරම්භ කළ යුතු බව මගේ හැඟීමයි. නොඑසේව මෙම තීරණාත්මක තත්ත්වයට පිළිතුරු සොයාගැනීම පහසු නොවනු ඇත. නූතන ජාතික රාජ්‍ය සියල්ලම පාහේ මේ වන විට සිය ආරක්ෂක හමුදා නවීකරණයට භාජනය කරමින් සිටී. එහෙත් රටක් හැටියට අප අපේ ආරක්ෂක අංශ ගැන එවැනි නවීකාරක ඇසකින් බලනවාද යන්න ප්‍රශ්නයකි. නවීකාරක හමුදාවකට අවශ්‍ය තොරතුරු තාක්ෂණික ඥානය, නවීන යුද මෙවලම්, ප්‍රබල ප්‍රහාරක යානා ගැන දැඩි පසුවිපරමක් කළ යුතු අවස්ථාවකට අප පැමිණ තිබේ. 

අද වනවිට රටේ දේශපාලන තත්ත්වය තිබෙන්නේ අන්තිම නරක තැනකය. ආණ්ඩුව සිය පාලනය ගෙනයන්නේ දැඩි දේශපාලන අස්ථාවරභාවයක ගිලීය. ආණ්ඩුවට තීන්දු තීරණ ගැනීමට සිදුව තිබෙන්නේ ණයට ඉල්ලා ගත් ඡන්ද කීපයකිනි. යම් හෙයකින් දෙමළ ජාතික සන්ධානය සහයෝගය නොදැක්වුවහොත් ආණ්ඩුවට සිදුවන්නේ කුමක් ද? උදා වී ඇති තත්ත්වය ගැන විවිධ අදහස් විවිධ පැතිවලින් පළවනු පෙනේ. එහෙත් මෙය සරලමතික දේශපාලන විවේචනවලින් විසඳුම් දිය හැකි තත්ත්වයේ තිබෙන්නක් නොවේ. හුදෙක් එක් දේශපාලන පක්ෂයකට පමණක් විසඳිය හැකි තත්ත්වයක් නොවන බව ද දේශපාලන නායකයන් දැන ගත යුතුය. අප්‍රේල් 21 ප්‍රහාර මාලාව යනු හුදෙක් මේ රටේ ආරක්ෂාවට පමණක් සීමා වන ප්‍රශ්නයක් නොවේ. ජාතික ආර්ථිකයට එමගින් කරන බලපෑම සුළුපටු නැත. ප්‍රහාර මාලාව සිදු වූ විගස රටින් පිටව යන්නට වෑයම් කරන සංචාරකයන්ගේ පෝලිම් අපට නොකියා කීවේ එයයි. එහි සෘජු බලපෑම ලංකාවේ සංචාරක කර්මාන්තයටය. මේ නිසා නිසැකයෙන්ම අපේ ආර්ථිකයට විසල් පහරක් එල්ල වනු ඇත. 

ආර්ථිකය නඟා සිටුවීමේ දී මෑත කාලයේ ආණ්ඩු වැඩි වශයෙන් බර තැබුවේ සේවා අංශයටය. නිෂ්පාදන අංශයට නොවේ. එනිසා අසමබර වූ ආර්ථිකයක සේවා අංශය ද මෙසේ කඩා වැටුණහොත් එයින් රටේ ආර්ථිකයට එල්ල කරනු ඇත්තේ මරු පහරකි. මේ නිසා ඉදිරියේ දී විශාල වශයෙන් රුපියල අවප්‍රමාණය වීමකට පවා මේ තත්ත්වය තුඩු දෙනු ඇත. ඒ අර්ථයෙන් බලද්දී සැබැවින්ම මෙය හැඳින් විය හැක්කේ ව්‍යසනකාරී තත්ත්වයකටය. ඒ අනුව දැන් නම් රටට සැබෑ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව උදා වී තිබේ. එහෙත් එය 2015 අගෝස්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුළුමනින්ම ප්‍රතිපක්ෂව නිර්මාණය කළ පන්නයේ ව්‍යාජ ජාතික ආණ්ඩුවක් නොවිය යුතුය. මන්දයත් ජාතික ආණ්ඩුවට ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල එකතු විය යුතු වුවද මේ ව්‍යාජ ජාතික ආණ්ඩුවට එවැනි එකමුතුවක් තිබුණේ නැති නිසාය. ආණ්ඩුවේ කඩා වැටීමට හේතු වුණේ ද මේ රට රැවැට්ටූ ව්‍යාජ පාලනයයි. මේ තත්ත්වය මත අඩුම තරමින් මාස තුනක් වැනි කෙටි කාලයකටවත් පාට පක්ෂ භේද දුරැර ජාතික ආණ්ඩුවක් පිහිටුවා මේ ප්‍රමුඛ ජාතික අභියෝගයට එක්සත්ව මුහුණ දිය හැකි මඟක් සාකච්ඡා කළ හැකි නම් එය වටිනේය. මන්දයත් මොනවා කරන්නටත් අපට රටක් ඉතිරි වී තිබිය යුතු බැවිනි. සැබැවින්ම මෙම තත්ත්වය සමාන කළ හැක්කේ 2004 සුනාමි ව්‍යසන තත්ත්වයටය. බුද්ධිය පාවිච්චි කරන්නේ නම් වැටුණු තැනින් නැඟී සිටීමට මෙයම අවස්ථාවක් කරගත හැකිය.



අදහස් (5)

ජාතික ආරක්ෂාවට කුමක්වීද

අසංක අබේරත්න Tuesday, 23 April 2019 07:45 AM

මෙම ම්ලේච්ඡ ප්‍රහාර හමුවේ වත්මන් රජය ප්‍රමුඛ ආරක්ෂක අංශයේ වගකිව යුතු ඇතැම් අංශවල ක්‍රියාකලාපයෙන් අපට උගන්වන්නේ මොනවාද? පසුගිය 21 පාස්කු ඉරිදා දින එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් රජයේ හා ආරක්ෂක අංශවල ඇතැම් ප්‍රධානීන්ගේ හැසිරීම මෙයට ප්‍රධානතම හේතුවයි. ප්‍රහාර දියත් වීමට ප්‍රථම පසුගිය 11 වැනි දින රජයේ බුද්ධි අංශ මෙවැනි ප්‍රහාරයක පූර්ව සුදානමක් ඇති බවට ලබාදුන් තොරතුරු මත අදාළ අංශ ක්‍රියාත්මක නොවූයේ ඇයි? යම් හෙයිකින් ඔවුන් මේ පිළිබදව ක්‍රියාශීලී වූවා නම් ජීවිත හා දේපළ හානි සිදු නොවේ. නමුත් අවාසනාවකට මෙන් සිදු කළ යුතුව තිබූ වැදගත්ම දෙය සිදු නොවිණි. මම හිතන්නෙ මෙම ප්‍රහාර කුමන හෝ දේශපාලන ප්‍රභූවරයකු ඉලක්ක කර ගෙන සිදු වීමට නියමිතව තිබුණා නම් වත්මන් ආණ්ඩුව සහ ආරක්ෂක අංශවල හැසිරීම හාත්පසින්ම වෙනස්ය. මෙය කිතුනුවන් හා විදේශිකයන් පමණක් ඉලක්ක කරගත් ප්‍රහාරයක් නොව එය මහජනතාව ඉලක්ක කරගත් ඒවා බව නිරීක්ෂණය වේ. මෙම ත්ත්වයන් කෙරෙන් ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව අතර හිඩැස කුමක්ද යන්න පැහැදිළිය.

:       0       20

අසංක අබේරත්න Tuesday, 23 April 2019 07:46 AM

මෙම තත්ත්වයන් කෙරෙන් ජාතික ආරක්ෂාව හා මහජන ආරක්ෂාව අතර හිඩැස කුමක්ද යන්න පැහැදිළිය. ජාතික ආරක්ෂාව යනු මහජන ආරක්ෂාව නොවේ. මහජනතාවගේ ආරක්ෂාව ලංකාවේ ජාතික ආරක්ෂාවෙන් පිටමන් කර ඇත. එබැවින් ජාතික ආරක්ෂාව යනු ආර්ථික බලවතුන් හා දේශපාලන ප්‍රභූ ආරක්ෂාවයි. ජාතික ආදායමෙන් ඉහළ ප්‍රතිශතයක් වියදම් කරනුයේ ජාතික ආරක්ෂාව සදහාය. සියලු ආරක්ෂක වියදම් සමස්ත පුරවැසියන්ගේ ආරක්ෂාව සදහා යොදවයි නම් මෙවන් දෙයක් සිදු වූයේ කෙසේද. ස්කොඩ්, ආරක්ෂකයින්, මහා පරිමාණ හමුදාව, අවි ආයුධ, වෙඩි නොවදින වාහන, අධි ආරක්ෂිත කලාප, බුද්ධි සේවා, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත්, නීති, අධිකරණ, විමර්ෂණ මේ කිසිවක් මහජන ආරක්ෂාව හෝ සුබසෙත උදෙසා නෙවේ. එසේ නම් එය කාගේද? කුමක් ද? කුමක් සදහාද?

:       0       22

sam Wednesday, 24 April 2019 09:00 AM

ඊයේ ආරක්ෂක ලේකම්තුමා සමග විදේශ මාධ්‍යවේදියෙක් කතා කරපු වෙලාවේ එතුමා තමන්ගේ දැනුම, වගකීම, පරිණතභාවය, පිළිබඳව ඉතාම විශිෂ්ඨ ලෙස ලොවටම හෙළිකළා. මට පුදුම මේ සිදුවීම් ගැන නොවෙයි, මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් යටතේ ලංකාව කියලා රටක් තවදුරටත් ඉතිරි වී තියන එක ගැනයි...

:       1       17

එච්.ප්‍රනාන්දු Friday, 26 April 2019 08:32 PM

ඇයි මොකද වෙලා තියෙන්නේ? මම දුන්නා සුද්දට කන් දෙකේ ඇඟිලි ගහ ගන්නම ඉංග්‍රීසි වලින්. ඒ වුණාට ඒ සුද්දට එච්චර ඉංගිරිස් බැහැනේ...

:       0       0

Deepal Nirosh Saturday, 27 April 2019 08:10 AM

මෙවැනි ව්‍යවසනයකට ප්‍ර‍ධාන හේතුව පවතින රජය හා නායකත්වය ජාතික ආරක්ෂාව යන කාරණයට ප්‍ර‍මුඛතාව තබා 2, 3 ස්ථානවත් නොදී එය 4, 5 වන තැනෙකලා ප්‍ර‍තිපත්තියක කටයුතු කිරීමයි. ආරක්ෂක ලේකම් හා පොලිස්පති රාජකාරි කළේද එම ප්‍ර‍තිපත්ති අනුවයි. හැබැයි 2004 සුනාමි ව්‍යසනය, 2009 යුද ජයග්‍ර‍හණය වගේ පවතින රජයට නැවත රට නැගිටුවීමට ඉතා හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

කොලම

ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 857 2

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 232 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


භාරත ආසියා මොඩලය
2025 අප්‍රේල් මස 18 250 0

සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟ


ට්‍රම්ප් අභියෝගය ට්‍රම්ප්ටම
2025 අප්‍රේල් මස 07 1978 2

2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලු‍ම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන


පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව
2025 අප්‍රේල් මස 04 952 5

ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස


ජනමතය උරගා බැලීමක්
2025 මාර්තු මස 28 321 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1018 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 438 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 586 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site